Sunday, October 22, 2017

කව්රුවත් බය වෙන්ඩ එපා


අපේ ගමේ හිටපු අමරණීය චරිතයක් ගැන තමා අද කියන්ඩ යන්නේ. අමරණීය කියපුවම කෙනෙකුට ප්‍රශ්නයක් මතු වෙන්ඩ පුළුවන් මේකා අමුර්තේ බීපු දෙවියෙක්ද කියලා. අමුර්තේ බීපු දෙවිවරුත් පිං පිරිහුනාම චුත වෙනවලු. හැබැයි අපේ ගමේ මිනිස්සු ජීවත් වෙන තාක් කල් මේ චරිතේ මතක් කරනවා. ඒක  බඩේ බඩ්ඩිංග වගේ සුවර් තමා. මොකක් හරි චරිතෙකට සම්බන්ධ අවස්තාවක මිනිස්සුන්ට අනිවාර්යයෙන් අදාළ චරිතේ මතක් වෙනවනං අන්න අමරණීය චරිතයක්!!. උදාහරනෙකට  අවුරුදු කාලෙ ගම්මුකො. හැමෝටම  අවුරුද්ද මතක්  කොටම කොහාව මතක් වෙනවා. නත්තල් කාලෙට අපේ ගමේ එහෙමට නත්තල් සමරන්නේ  උනාට නත්තල් සීයා ගැන මතක් නොකරන්නේ කව්දබඩු මිල දවසින් දවස වැඩි වෙනකොට ආණ්ඩු කරන අයගේ අම්මලාත් අමරණීය තත්වෙට ලං වෙනවා.

ඒ කොහොම උනත් අපේ අමරණීය කතා නායකයට ගමේ අය කිව්වේ බාචි කියලා. එයාගේ උප්පැන්න සහතිකේ තියන නම වෙන එකක් උනාට මුළු ගමම අදුරනවා බාචි කිව්වහම. බාචි අඩි පහ මාරක් විතර උස, සුදු, හීන්දෑරි කොලු ගැටයා. පොරට ලස්සනට අකුරු ලියන්ඩ පුලුවන්. ඒක හින්දම ඒ කාලේ ඉස්කෝලෙ කොල්ලෝ කෙල්ලෝ අතරේ ලියුං කාරයාගේ ජොබ් එක හම්බ වෙලා තිබ්බේ බාචිට. දැන් කෙනෙක් හිතන්ඩ පුලුහං මට වැරදුනා ලියුං කාරයා නෙවෙයි ලියුං ලියන්නාගෙ චරිතේ නේද කියලා. හුහ්: එහෙම කොහෙද මට වරදින්නේ? ලියුං කාරයාගේ ජොබ් එක තමයි බාචිට හම්බ උනේ.


එකට හේතුව මේකයි. බාචිට අකුරු බෑ...ඒ කියන්නේ ඌට අකුරු ලියන්ඩවත් කියවන්ඩවත් බෑ. මිනිහා කරන්නේ අකුරු ලියන එක නෙවෙයි ලියල තියන අකුරක් දිහා බලාගෙන ඒක අදින එක. ඒකයි අකුරු ලස්සන. අකුරු කියවන්ඩ ලියන්ඩ බැරි හිංදා කොල්ලන්ට කෙල්ලන්ට බඩේ බඩ්ඩිංග වගේ සුවර් මේකා ඒ ලියුං කියවන්නෙ නෑ මේ සම්මජ්ජාතියේ කියලා. ඉතිං හොඳම තැපැල් කාරයා තමයි බාචි!!

ඇත්තටම මට ඕන උනේ බාචිගේ වැඩ වලට මූලික හේතු තමුන්නැහෙලට පැහැදිලි කරන්ඩ. ඉස්කෝලේ ගියාට මොකද අකුරක් ඉගෙන ගත්තේ නැති බාචිගේ ගෙදරත් අංජ බජල් ලෝකයක්. බාචිගේ තාත්තව ගෙදරින් පන්නලා දාපු එයාගේ අම්මා බාප්පෙක්ව ගෙදරට එක්කගෙන ආවා. බාප්පා විතරක් නෙවෙයි ගමෙන් හතරෙන් තුනක් බයයි බාචිලගේ අම්මගේ කටට. හපේ හප්පෝ ඔලිම්පික් තරඟයක් තිබ්බොත් විනාඩියකට වැඩිම වචන ගානක් කතා කරන්ඩ අපේ ගමම රං පදක්කන් ඔලිං වහන්ඩ තිබ්බා ඕං ආය බඩේ බඩ්ඩිංග වගේ සුවර්!! ඉතිං බාචි ගෙදර ආපු වෙලාවේ ඉඳලා උත්සාහ කරේ කොහොමද ගෙයින් එලියට පැන ගන්නේ කියලා. අනික් පැත්තට ඕන බලු වැඩක් කරලා ගෙදරට සල්ලි අරං ගියොත් එදාට අම්මා ලොකු බත් පිඟානක් බෙදලා දෙනවා කියලා බාචිම අපිත් එක්ක කියලා තියනවා.

ඔය වගේ පරිසරේකින් ආපු බාචි පොඩි පොඩි හොරකං වලට පුරුදු උනා. පස්සේ ටිකක් ලොකු ලොකු හොරකං වලට. ඒ කාලේ ගමේ හිටපු වැඩිහිටියෝ බාචිට ළඟදීම ආණ්ඩුවේ බෝඩිමේ බත් කන්ඩ වෙන බව පැහැදිලි කරලා හැදෙන්ඩ දැනමුතුකං දුන්නා. බාචිත් ඒ උපදෙස් අරගෙන රස්සාවක් කරන්ඩ ගිහිං මූන දීපු සිද්දි දෙකක් තමා මේ කියන්ඩ යන්නේ.

බාචිගේ මුල්ම රස්සාව උනේ ප්‍රයිවෙට් බස් එකක කොන්දොස්තර කමක්. අකුරු ලියන්ඩ කියන්ඩ නොමැති වීමත්, තමුන්ගේ පරණ පුරුදු සුලු සුලු හොරකං නිල වසයෙන්ම කරන්ඩ පුලුවන් වීමත් හිංදා බාචියට මේ වැඩේ අල්ලලා ගියා. දවසේ හම්බ වෙන පඩියට වඩා වැඩි පඩියක් මාටියා ගැහිල්ලෙන් හොයපු හිංදා බාචියට හොඳ ආදායමක් හම්බ උනා. දවල්ට කඩෙන් කාලා ගෙදරට ලොකු සල්ලියක් අරං ආපු හිංදා අම්මත් හැමදාම බාචිට ලොකු බත් පිඟානක් බෙදලා දුන්නා. ඉස්සර මූව හොරා කියල හෙලා දැකපු කට්ටිය බස් එකේ නිකං යන්ඩ ඕන කමට බාචි පුතා කියල ආදරෙන් කතා කලා. ඔයිට වඩා ඉතිං වෙන මොනවද නේද?

ඔය කාලේ බස් වල එක දිගට බෝම්බ පිපිරෙන්ඩ ගත්තු කාලේ. කෑගල්ල පොලීසිය මේ තත්වේ වලක්වා ගන්ඩ අපූරු වැඩක් කළා. ඒ තමයි බස් වල ඩ්‍රයිවර් මහත්තුරුයි කොන්දොස්තර මහත්තුරුයි ගෙන්නලා හදිසි අවස්තාවකදී කරන්ඩ ඕන දේ ගැන පුහුණුවක් දීපු එක. අපේ බාචිත් මේ පුහුණුවට ගියා. අකුරු නොදැන ගත්තට පුහුණුවේ ප්‍රතිපල ලබා ගන්ඩ එච්චර අපහසුවක් උනේ නෑ. ඔය කාලෙම කෑගල්ල ටවුන් එකේ සැක කටයුතු විදිහට හිටපු කෙනෙක්ව මේ පුහුණුව ලබපු බස් කොන්දොස්තර මහත්තයෙක්ගේ විමසිලිමත්කම හිංදා අල්ලගත්තලු. බැලින්නං ඒ අල්ල ගත්ත එකා නොම්බර එකේ කොටියෙක්ලු. ඉතින් ඒ ඔත්තුව දුන්න එකාට ලොකුවට තෑගි හෙමත් හම්බ උනා කියල තමයි ඒ කාලේ කතාව ගියේ. ඒක කෝක කෝක හරි බාචිට දැන් තවත් ජොලි රස්සාවට යන එක. ඇයි සී.අයි.ඩී. කාරයෙක්ගේ පාට් එකකුත් තියනවනේ.

තව සතියකට විතර පස්සේ ඒ 'සුන්දර' දවස උදා උනා. දවල් දොළහට එකට විතර කෑගල්ලේ ඉඳලා මාවනැල්ලට එන්ඩ සීට් විසි හයේ රෝසා බස් එකක් පිටත් උනා. ඒ බස් එකේ සීට් විසි හය උනාට අඩු ගානේ අසූවක්වත් ඉන්ඩ ඇති සෙනග. වහලෙයි ටයර් උඩයි විතරයි සෙනග නැත්තේ!!. මේ බස් එකේ කොන්දොස්තර මහත්තයා තමයි අපේ බාචි!!

බස් එක මොලගොඩ හරියට එනකොට බාචිට සෙනග අස්සෙන් පේනවා කවුරු හරි ඉඳගෙන ඉන්න මිනිහෙක් වයර් එකක් එහාට මෙහාට කරනවා. අප්පද බොල මෙන්න කොටියෙක් බස් එක ඇතුලේ!

හුඟක් සෙනග හිටගෙන ඉන්න හිංදා හරියට පේන්නෙත් නෑ අරූ මොකද කරන්නේ කියලා. ඌ ලඟට යන්ඩත් බෑ මොකද සක හිතුනොත් එහෙම ඌ සටස් ගාලා බොම්බේ පුපුරුවා ගත්තොත්? මේ වෙලාවට තමා ගණ දෙවි නුවණ පහල වෙන්නේ. ඔන්න බාචිට අර පුහුණුව මතක් වෙනවා....බාචි තුන් හතර පාරක් මතක් කරා පොලිසියේ මහත්තුරු කියල දීපු දේවල්. ඒත් මොකක් හරි දෙයක් අමතක වෙලා. ඒ මොකද්ද කියල මතක් කරන්ඩ තැනුවා, තැනුවා, ම්හ්.... මතක් වෙන්නෙම නෑ.  ඔය මගුල මතක් කර කර ඉන්ඩ ගියොත් අරූ බෝම්බෙ පුපුරුවා ගන්ඩ පුලුවන්. හැම තප්පරයක්ම වටිනවා. ඒත් ලොකුම දේ කලබල නොවී ඉන්න එක. මතකනේ පොලිස් පුහුණුව! ඉතින් බාචි උගුර හෙම පාදලා බොහොම සාන්ත දාන්ත විදිහට මෙහෙම කිව්වා!!

"කව්රුවත් කලබල වෙන්ඩත් එපා...කවුරුවත් බය වෙන්ඩත් එපා...කව්දෝ බස් එකේ බෝම්බයක් හයි කරනවා!!!"

අප්පද බොල බේං ඒක කිව්වා විතරයි ඩ්‍රයිවර් කාරයා ගැහුවා බ්‍රේක් එකක් ලෙල්ලටම!!. මිනිස්සු මර ලතෝනි දෙන්ඩ පටන් ගත්තා! බුදු අම්මේ!, මිනී මරනවෝ!! අපි නැතෝ!!!!
පාර මැද්දෙම බස් එක නවත්තපු ඩ්‍රයිවර් දොර ගලවාගෙන වගේ පැනල දිව්වා. මිනිස්සු දොරෙන් බහින්ඩ පොර කෑවා. පිරිමි, ගෑනුන්ව පෙරලගෙන ජනෙල් වලින් පැන්නා. අම්මලා ළමයින්ව බස් එකෙන් පිට ඉන්න අයට දුන්නා තමුං කෙසේ වෙතත් තමුන්ගෙ දරුවන්වත් බෝම්බෙන් බේරගන්ඩ!!! මහ පාරේ දිගට මිනිස්සු වැටි වැටි දිව්වා. සමහරුන්ගෙ ලේ පෙරෙනවා අත් කකුල් වලින් පැනපු පාරවල් වලට. සමහර ගෑනු අයගේ සාරි ගැලවිලා පනින්ඩ පොර කාපු පාරට. අහල පහල ගෙවල් වල හිටපු මිනිස්සුත් තක්බීර් වෙලා බලා ඉන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා!

විනාඩි දෙක තුනක් යනකොට ඉතුරු උනේ වටේ පිටෙන් ඇහෙන විලාප හඬ විතරයි. බස් එක පාර මැද. බොම්බේ හයි කරපු එකාත් පැනලා ගිහින්ද කොහෙද!!පාරෙ ගිය වාහනත් සෑහෙන දුරින් නවත්තලා බලා ඉන්නවා. විනාඩි දහයක් පහළොවක් යනකොටත් මොකුත් නොවිච්ච හිංදා බාචියි ඩ්‍රයිවරුයි දෙන්න ඇවිත් බැලුවා බස් එක ලඟට. බස් එකේ බිම තැන් තැන් වල බඩු මලු විසිරිලා තිබ්බත් බෝම්බයක් තියන පාටක් නම් නෑ. ඩ්‍රයිවර් බස් එකෙන් එළියේ ඉන්දැද්දී බාචි බස් එක ඇතුලට ගිහිල්ලත් බැලුවා අර කොටියා හිටපු තැනට. එතන මොනවත්ම නෑ. හැබැයි වහලේ බස් එකේ බෆල් එකට යන වයර් එකක් එල්ලි එල්ලි තිබ්බා!!.

බාචි එලියට බැහැලා හැමෝටම ඇහෙන්ඩ කිව්වා. "කවුරුවත් බය වෙන්ඩ එපා ඒක බෆල් එකේ වයර් එකක්!!" කියලා. 

ඒත් එක්කම එතෙන්ට දුවගෙන ආපු ඩ්‍රයිවර් ඇත දිග ඇරලා බාචියගේ කන හරහා දඩ ප්‍රහාරයක් එල්ල කළා. බාචිට ඔන්න එතකොට තමයි මතක් උනේ අර ඉස්සරලා මතක් කරන්ඩ උත්සාහ කරපු පුහුණු උපදෙස.

"ඩ්‍රයිවර්ටත් සැක කටයුතු සිද්දිය දන්වලා බස් එක සුදුසු තැනක් නවත්තලා මිනිස්සුන්ට බස් එකෙන් බහින්ඩ කියන්ඩ!!! සක කටයුතු දේ ගැන එක පාරටම මිනිස්සුන්ට කියන්ඩ එපා!!!"

ඔය සිද්දියෙන් පස්සේ බාචිට කොන්දොස්තර රස්සාව නැති උනා. මිනිහ පොඩි වෙළඳාමක් පටන් ගත්තා. ඒ තමයි අම්පාරේ පොලට පොල් ගෙනියන එක.

ගණන් හිලව් ලියා කියා ගන්ඩ පොතේ පතේ දැනුමක් නොතිබ්බ එකේ මූ ලාබ පාඩු බැලුවේ හිතෙන්. ගමෙන් රුපියල් පහට විතර පොල් ගෙඩියක් අරං (පොල් ගෙඩියක් රුපියල් සීයට යන දැන් කාලේ පොල් ගෙඩියක් රුපියල් පහකට ගත්තු කාලයක් තිබ්බද කියලත් හිතෙනවා නේද?) අම්පාරේ පොලේ රුපියල් හයට විතර තමා මූ විකුනන්නේ.

දවසක් අපේ ක්‍රිකට් ටීම් එකට බාචි ආවා. එදා මූට හොඳට ලාබ තිබ්බ දවසක්ලු. මූ අපිටත් කියනවා මේ ක්‍රිකට් ගැහිල්ල නවත්තලා, ඉස්කෝලේ යන එක නවත්තලා අම්පාරේ පොලට යං කියලා බඩු ටිකක් එක්කහු කරගෙන. මාසෙන් දෙකෙන් හොඳ ගානක් ඉතුරු කර ගන්ඩ පුලුවන්ලු. ඉස්කෝලේ යන එක නං නැවැත්තුවා නැවැත්තුවා කියමුකො ඒත් ක්‍රිකට් ගැහිල්ල නවත්තලා කොහොමද? ඒත් ඉතින් ගානක් සල්ලි හොයන්ඩ පුලුවන් නම් මේ චාන්ස් එක ඇත අරින එකත් අපරාදේ. ඉතිං අපි බාචියගෙන් ඇහුවා ලාබ කොහොමද කියලා.මෙන්න බාචිගේ පැහැදිලි කිරීම.

"මෙහෙන් පොලයක් රුපියල් පහට අරං අම්පාරේ පොලේ හයයි පනහට විකුනනවා. එක පොලේකින් 1.50 ලාබයි. ඉතින් මදිද?"

මෙහෙ ඉඳන් එහාට පොල් ගෙනියන්නේ කොහොමද?”

ගෝනි වල දාලා. එක ගෝනියක පොල් හැත්තෑවක් විතර දම්මහැකි 

"ඒ ගෝනි ගෙනියන්නේ කොහොමද?" 

ගෙනියන්ඩ ලොරියට එක ගෝනියකට රුපියල් සීයයි!

එතකොට එහෙදී කන්ඩ බොන්ඩ?”

ආ ඒකටත් දවසකට රුපියල් දෙසීයක් විතර තිබ්බහම වැඩිත් එක්ක

පොල් කීයක් විතර ගෙනියනවද?”

තුන්සීයකට වඩා විකුනගන්ඩ අමාරුයි දවසකට

එතකොට උඹට  පාඩුයි නේ?”

ඒ කොහොමද එක පොලෙකින් 1.50 ලාභයි නේ. පොල් 300 වික්කහම 450 ලාබයි නේ!!

යකෝ ඒ 450 න් ලොරියට හාරසීයකුයි කන්ඩ දෙසීයකුයි 600 ගියාම තව 150 පාඩුයි නේ ගල් මෝඩයො!!!

එතකොට මගෙ අතේ සල්ලි ඉතුරු වෙන්නේ කොහොමද?”

තෝ හොරෙන් පොල් කඩලා විකුණන හිංදා!!!!

දැන් තේරුනා නේද බාචිගේ කෙරුවාව!! ටික කාලෙකට පස්සේ කසාදයක් හෙම කරගෙන බාචි තමුන්ගේ නෝන මහත්තයාගේ ගමේ පදිංචියට ගියා. දැනුත් අපේ ගමේ මගුලක් මල ගෙයක් උනාම බාචි එනවා. ඌ ආවත් නොආවත් මොකක් හරි ගොං වැඩක්, පොඩි හොරකමක් වගේ දෙයක් උනාම ගමේ මිනිස්සු බාචිව මතක් කරනවා!!  අන්න එහෙමයි ඌ අමරණීය උනේ.


බාචි හොර වැඩක් කලත් උගේ තිබ්බ මෝඩකං හිංදා එව්වා එලියට ආවා. ඊට පස්සේ සමාජෙන් ගැරහීමට ලක් උනා.ඇත්තටම බාචි කෙනෙක් බිහි උනේ කොහොමද? ගෙදරින් ආදරය, රැකවරණය, ඉගෙනුමට ඕන පරිසරය නොලැබෙනකොට ඉස්කෝලෙන් උනත් ලොකු උනන්දුවක් සාමාන්‍ය වේගෙට අඩු වේගෙකින් ඉගෙන ගන්න අය කෙරෙහි නොදැක්වෙනකොට සමාජේ හුඟක් දෙනෙක් බලා ඉන්නේ මේ වගේ චරිත වලින් වාසි ලබා ගන්ඩ වෙනකොට බාචිලා බිහි වෙන එක පුදුමයක් නෙවෙයි. එහෙම කට්ටිය ආපහු ඉහලට ගන්ඩ අපේ සමාජේ තියන අවස්ථා හරි ආයතන හරි මොනවද? බාචිගේ වැඩ වලට හිනා වෙන අපි බාචිලාගේ ලෝකය තේරුම් ගන්ඩ උත්සාහ කරනවද?

9 comments:

  1. හොඳ වෙලාවට අරූ බස් එකේ හිටපු මිනිස්සුන්ගෙන් කෑවෙ නැත්තෙ.
    ඔය වගේ සීන් එකක් උනා මෙහෙත් බස් එකක පිටිපස්සෙ සීට් එක යට මනුස්සයෙක් ගෙනත් තියපු බැටරියක කණු දෙක මොකකින් හරි ෂෝට් වෙලා.

    ReplyDelete
    Replies
    1. සබරගමු පළාතේ එහෙම සිද්දි වෙනවා වගෙයි නිතරම!!!

      Delete
  2. බාචි ලා බිහිවෙන්නේ කොහොමද කියන එක තමයි මටත් දිගටම හිතුන දේ..

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ ඒකට හේතු ගණනක් බලපානවා. දුප්පත්කම, නොසැලකිල්ල, අඩු අද්යාපන අවස්ථා...පෝලිම තව දිගයි....

      Delete
  3. බචිල බිහිවෙන්නේ ගෙදරින් ආදරය හා රැකවරණය නොලැබීම නිසා කියලයි මට හිතෙන්නේ.මෙතනදී උනෙත් එක නේද??

    ReplyDelete
    Replies
    1. මට හිතා ගන්ඩ බෑ ඒකමද කියලා. ඒ පව්ලේ තව කට්ටිය හිටියා ඒත් ඒ අය මෙහෙම හැසිරීමක් දැක්වුයේ නෑ.

      Delete
  4. බාචිගේ සිද්දියේදී ඇත්තටම වෙලා තිබුනේ බෆල් එකේ ගලවිච්ච වයර් එකක් අර මනුස්සයා උඩට දාපු එක. මාත් අම්බලන්ගොඩයා ගේ කතාව කියෙව්වා. ඔහුගේ අදහස ක්‍රියාවට නැගීමට අවස්තාවක් හොයමිනුයි දැන් ඉන්නේ.

    ReplyDelete