Thursday, October 26, 2017

බාචිගේ බඹර චක්කරේ


පහුගියදා බාචි ගැන ලියපුවාම (මේ තියෙන්නේ පෝස්ට් එක) කීප දෙනෙක් මගෙන් ඇහුවා 'අමරණීය චරිතයක්' කියල මං බාචි ගැන කිව්වට මොකද, ඔය වගේ වැඩ දෙක තුනක් වෙච්ච ඕන තරං මිනිස්සු හැම ගමකම වගේ ඉන්නවය හිංදා බාචිගේ ඔය කියන තරං විශේෂත්වයක් නැතිය කියලා. මගේ පපුව හෝස් ගාලා ගියා හත් දෙයියනේ අපේ ගමේ හිටපු අමරණීය චරිතෙකට මං මහා අසාධාරණයක් කෙරුවා නේදෝ කියලා. හරියට අර අමරණීයයි කියල ලෝකෙම දැනගෙන හිටපු ජර්මන් වීරයා සිග්ෆ්රීඩ්ගේ මරණෙට හේතු වෙච්ච පුංචි කොළ කෑල්ල වගේ මාව අකම්පාල වෙලා ගියා. අපේ ගමට ඔහොම මිනිස්සු හිටියේ හරි අඩුවෙන්. එහෙම හිටපු එකාටත් මං මදි පුංචි කමක් කළා නේද කියලා මට වාවන්නේ නැතුව ගියා. ඉතින් මං කල්පනා කළා බාචිගේ තවත් කතා දෙකක් ඔක්කොමලා එක්ක බෙදා හදා ගන්ඩ.

සිංහල අලුත් අවුරුද්ද කියන්නේ හරි පුදුම කාලයක්. මිනිස්සු හරි සන්තෝසෙන් ඉන්න එහෙම කාලයක් අවුරුද්දකට දෙතුන් වතාවක් වත් එනවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඒත් ඉතින් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් අපිට කරන්ඩ පුළුවන් දේ තමයි එහෙම අවුරුදු කාලෙක වෙන දේවල් මතකේ තියාගෙන ඉඳලා රස විඳින එක. ඔන්න එහෙම අවුරුදු කාලෙක තමයි මේ සිද්දිය උනේ.


අවුරුදු කාලෙට ගමේ කව්රුවත් වැඩකට යන්නේ නෑ. පොඩි එවුන් ඔන්චිලි පදිද්දි, මහා උන් බූරු ගහනවා. පොඩි උන් එල්ලේ ගහද්දි බඩ වැටිය උඩ සෙට් වෙන ලොකු උන් කසියා ගහනවා. මොකද එල්ලේ ගහන බෝලේ බඩ වැටියට ආවොත් අහුලලා දාන්ඩ පුලුවන්නේ ඒකයි! තව අපේ කාලේ අපි ගහපු ගැහිලි වගේද මේ හුජ්ජ කොල්ලෝ ගහන එව්වා කියලා පොර ටෝක් දෙන්ඩත් මේ වැඩිහිටියෝ පසුබට වෙන්නේ නෑ. පස්සේ දෙගොල්ලම කියන්නේ පොඩි උනුයි ලොකු උනුයි දෙගොල්ලම සල්ලි ඔට්ටුවට කැට ගහනවා. ඊට පස්සේ පොඩි උන් ගෙදර යනවා. ලොකු උන් ආපහු බොන්ඩ යනවා. පොඩි උන් පංච දානවා. ලොකු උන් බොනවා. පොඩි උන් ඔලිඳ කෙලියේ. ලොකු උන් සුරා කෙලියේ. ලොකු පොඩි බේදේ ආයෙත් නැති වෙන්නේ රතිඤ්ඤ, අහස්  කූරු, බඹර චක් වගේ පත්තු කරන්ඩ පටන් ගන්න රෑ කාලේදී. එහෙම පත්තු කරලා ඉවර වෙලා පොඩි උන් නිදා ගන්ඩ යනවා මහ උන්.....නෑ මං මොකටද ඔව්ව කියන්නේ?

ඔය දින චරියාව හිංදා අවුරුදු කාලෙත් මං කැමතිම කොටස තමයි රෑ හතට අටට විතර උදා වෙන අර රතිඤ්ඤ, අහස්  කූරු පත්තු කරන වෙලාව.

ඔය වෙලාවේ තමයි තරඟෙට රතිඤ්ඤ පත්තු කරන්ඩ පටන් ගන්නේ. එක ගෙදරකින් රතිඤ්ඤ දහයක් විතර පත්තු කරන කොට අනිත් ගෙදරින් රතිඤ්ඤ විස්සක් විතර දානවා. රතිඤ්ඤ ටික බැරල් එකකට දාන්නේ සද්දේ වැඩි කර ගන්ඩ. හැබැයි අතේ තියාගෙන රතිඤ්ඤ පත්තු කරන්නේ  (රතිඤ්ඤ කොහොමද අතේ පත්තු කරන්නේ කියල කාට හරි හිතා ගන්ඩ බැරි නම් මෙන්න මෙහෙමයි එක කරන්නේ - රතිඤ්ඤ කරලේ යට තියන මැටි කට්ට තදින් අල්ල ගන්ඩ. ඊට පස්සේ නූලට ගිනි තියන්ඩ. ඔන්න දැන් රතිඤ්ඤ පිපිරෙන සද්දේ ඇහෙනවා. ඊගාවට බලනවා අතේ ඇඟිලි ටික ඔක්කොම එහෙමම තියනවද කියලා. හරියට ගනං කරලා බලන්ඩ මොකද තුවාල උනාම අත හිරි වැටිලා වේදනාව නැතුව යනවා ටික වෙලාවකට. දැන් මොකුත් අනතුරක් නැත්තං ඊළඟ රතිඤ්ඤ කරලා ගන්ඩ....) ඇයි කියලා මට හිතා ගන්ඩ බෑ. සමහරවිට වැඩ පෙන්වීමේ මානසිකත්වය හිංදා වෙන්ඩ පුළුවන්. හැබැයි අපේ ගෙදර අම්මයි, අප්පච්චියි නීතියක් දාලා තිබ්බා ඔය වගේ ගොන් වැඩ තහනම් කරලා. ඉතින් අපිට කොච්චර උවමනාවක් තිබ්බත් වැඩ දාලා රතිඤ්ඤ පත්තු කරන්ඩ චෑන්ස් එකක් අපිට ලැබුනේ නෑ. අනිත් උන් එහෙම කරද්දී අපි විරුවපට්ටන් ගහල වගේ රතිඤ්ඤ නූල් අවුලුවලා ඈතට වෙලා බලා හිටියා. අල්ලපු ගෙදර එව්වෝ වැඩ දාලා රතිඤ්ඤ පත්තු කරද්දී අපි නිකං හිපාටුවෝ වගේ හිටියා.

ඔන්න ඔහොම දවසක තමයි බාචි ආවේ අපේ ගෙදර. අව්රුද්දට බූරු ගහලා දිනපු සල්ලි වලින් ගත්තු අලුත්ම සුදු අත් දිග කමිසෙකුත් අලුත්ම සුදුපාට සරමකුත් ඇඳගෙන. බලන්ඩ එපායැ නිකන් අවුරුදු කුමාරයා වගේ හැඩයි!!

“බලහන්කො බාචි අපිට අතේ තියාගෙන රතිඤ්ඤ පත්තු කරන්ඩ දෙන්නේ නෑනේ අපේ අම්මලා” මං කිව්වා.

“අයියෝ මං දැන් මේ රතිඤ්ඤ සීයක් විතර පත්තු කරලා ආවේ...ඒකෙ කිසි ගතියක් නෑ!!”

“ඇත්තද?”

“හ්ම්..ඊට වඩා ෂෝක් වැඩක් මට පුලුවන්!!”

“ඒ මොකක්ද ?”

“අතේ තියා ගෙන බඹර චක් පත්තු කරන්ඩ!”

“පලයන් බොරු නොකිය. බඹර චක්රේ කැරකෙන කොට අතෙන් බිමට වැටෙනවනේ!”

“ඒක තමයි වැඩකාරයන්ට විතරයි දිගටම ඒක අතේ තියා ගෙන ඉන්ඩ පුලුවන්”.

“හා පෙන්නපන් උඹ ඔච්චර වැඩ කාරයද කියලා...”

ඔන්න දැන් බාචි අතේ තියාගෙන බඹර චක් පත්තු කරන්ඩ පටන් ගන්ඩයි යන්නේ. මං අහල පහල ඔක්කොටම එන්ඩ කිව්වා වැඩේ බලන්ඩ. මේක අර අතේ තියා ගෙන රතිඤ්ඤ පත්තු කරන එක වගේ දැලි පිහියෙන් කිරිකන වැඩක් නොවෙන හිංදා අපේ අම්මාහෙමත් ආවා මූ කරන වැඩේ බලන්ඩ. බාචියා මේ රැස් වෙලා ඉන්න සෙනග දැකලා තවත් සතුටු උනා.

ඇත්තටම මූ බඹර චක්රෙට බිමට වැටෙන්ඩ නොදී  බඹර චක්රේ නිවෙන කල්ම අල්ල උඩ තියාගෙන හිටියා. ඇත්තටම අත උඩ ඒක කැරකෙනවා බලං ඉන්ඩ ලස්සනයි. එකක් ඉවර උනාම තව එකක්. ඒක ඉවර උනාම තව එකක්. මේ විදිහට බඹර චක් විස්සක් විතර මූ පත්තු කරලා පෙන්නුවා. දැකපු කට්ටියට හරි සතුටුයි. දහයක් දොළහක් මිනිස්සු තමන්ගේ වීර ක්රියාව දිහා බලා හිටපු බව දැකලා බාචියගේ කට කනේ!! ඉතින් බාචියා ඔව්ව ඔක්කොම ඉවර වෙලා ගෙදර ගියා කියමුකෝ. ඊට පස්සේ වෙච්චි හරිය අපිට කිව්වේ පහුවදා. මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නේ.

 “මල්ලි මාර වැඩේනේ ඊයේ රෑ උනේ!”

 “ඇයි මොකද උනේ?”

“මං ගෙදර ගියාම අත් දෙකම දන්ඩ පටං ගත්තා. ඉතින් මං අම්මට කිව්වා මොකද බලන්ඩ කියලා”.

“ඉතිං?”

“ඉතින් කියන්නේ අතේ මයිල් ඔක්කොම පිච්චිලා බඹර චක් වලට. අම්මා බැන බැන තෙල් ගෑවා. එතකොට තමයි පෙනුනේ?”

“මොකක්ද?”

“ගිනි පුපුරු වැදිලා ෂර්ට් එක පුරාම පොඩි පොඩි හිල්. සරමෙත් ආය අඳින්ඩ බැරි ගානට හිල්!”

“නෑ...!!”

“නෑ නෙවෙයි. අම්මට හොඳටම තරහ ගිහිං මාව ගෙයින් එලියට දැම්මා!”

මේක අහලා මට හරියට දුක හිතුනා. මං කිව්වා අපේ අම්මට කියලා සරමකුයි කමිසෙකුයි ගෙන්නලා දෙන්නම් කියලා.

"නෑ එපා. අපේ අම්මට වැඩියක්ම තරහ ගිහිං තියෙන්නෙ කමිසෙයි සරමයි පිච්චුනාට නෙවෙයි. මං බූරුවා ගහලා දිනපු සල්ලි අම්මා අතට නොදී මට ඕන දේවල් ගත්තට!! මට ඊයේ රෑ ඉතින් ඉන්ඩ තැනකුත් නෑනේ ඉතින් මං බූරු පොලට ගිහිං රෑ එලි වෙනකල් බූරු ගැහුවා. දෙයියෝ දුන්න වගේ මං තමයි දිනුවේ!!" බාචි කිව්වා.

කව්ද වැරදි කව්ද හරි කියලා කියන්ඩ මං දන්නේ නෑ. ඒත් බාචි කරපු ගොන් වැඩ පිටි පස්සේ බාචිටත් පාලනය කර ගන්ඩ බැරි හේතු හුඟක් තිබුනා කියලයි මට හිතෙන්නේ.

දෙවෙනි කතාව බාචියට අතේ සතේ නැති වෙච්ච දවසක වෙච්චි දෙයක්. ගානක් හොයා ගන්ඩ එක එක විදි කල්පනා කලත් එකක්වත් හරි ගියේ නෑ. ගෙදර ගියත් අතේ සල්ලි නැත්තං කන්ඩ ලැබෙන එකත් ෂුවර් නෑ. ඉතින් බාචියා ගම වටේ ඇවිදින්ඩ පටන් ගත්තා. ඔහොම යනකොට පල්ලෙහා ගෙදර මාමලාගේ වත්ත පත්ටටත් යැවුනා. එක කනාටු පොල් ගහයි මුළු වත්තටම තිබ්බේ. ඒකෙ පොල් ගෙඩි දෙකක් තියනවා බාචි දැක්කා. ටිකක් හෝදිසියෙන් වට පිට බැලුවේ පල්ලෙහා ගෙදර මාමා හරි නැන්දා හරි පේන්ඩ ඉන්නවද බලන්ඩ. ම්හ්...කවුරුවත් පෙන තෙක් මානෙක නෑ. ඉතින් බාචියා ආය හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගහට නැග්ගා. පොල් ගෙඩි දෙක කඩා ගෙන දෙක අතින් අල්ල ගෙන බිමට බැස්සා. හොර පොල් ඔපරේෂන් එකට විනාඩියක් වත් යන්ඩ නැතුව ඇති

මෙන්න මේ වෙලාවේ බාචියා කල්පනා කළා ගණදෙවි නුවන දාලා. පොල් ගෙඩි දෙකම වික්කොත් සල්ලි හම්බ වෙනවා. ඒත් සල්ලි ටික ගෙදරට දුන්නොත් බාචිට මොකුත් නෑ. හින්දා එක පොලයක් විකුනලා සල්ලි අරන් ටික බාචි තියා ගන්නවා. ඉතුරු පොලේ ගෙදර අරන් යනවා. එතකොට වැඩ දෙකම ෂේප්. එහෙම හිතලා බාචි කටින්ම එක පොලයක් ලෙලි ඇරියා. දැන් කාටද මේක විකුනන්නේ? අනුන්ගේ දේ සොරා ගැනීම පව් සිද්ද වෙන වැඩක්. ඉතින් පොලේ අයිති පල්ලෙහගෙදර මාමලාට හිංදා ගෙදරටම පොලේ විකුණන්ඩ බාචි තීරණය කළා. ලෙලි පිටින් තියන පොලේ අකුලක් අස්සේ හංගලා බාචියා ලෙලි ගහපු ලේත් අරන් ගියා පල්ලෙහා ගෙදර මාමලාගේ ගෙදරට. යනකොට නැන්දම්මා ඉන්නවා ඉස්තෝප්පුවේ පුටුවට වෙලා ඉඳගෙන.

“නැන්දම්මේ පොල් ඕනද?”

“ආ.. ඔව් පුතේ ගෙදර හරියේ පොල් ගෙඩියක් නෑ. පොල් කීයක් තියනවද?”

“එක ගෙඩියයි නැන්දම්මේ”.

“එහෙනං ඕක කුස්සියේ තියන මහ පෙට්ටිය යටට දාපංකෝ මං සල්ලි අරං එනකල්!”

බාචි පොලේ මහ පෙට්ටිය යටට දාලා නැන්දම්මගෙන් සල්ලිත් අරන් ගෙදරින් පිට උනා. හැබැයි හිත තිබ්බේ නැන්දම්මා කියපු වචන වල... "ගෙදර හරියේ පොල් ගෙඩියක් නෑ. පොල් කීයක් තියනවද?" කියන්නේ තව පොල් ගෙනිච්චොත් නැන්දම්මා ගන්නවා සල්ලි දීලා. ඒත් ඉතින් අය කොහෙද පොල් තියෙන්නේ? ඉතුරු පොලේ ගෙනිච්චොත් ගෙදර ගෙනියන්ඩ දෙයක් නැති වෙනවනේ. .....අයි දෙයියනේ අර මහා පෙට්ටිය යටට දාපු පොලේ!!!!

බාචියා අල්ලපු ගෙදර මාමලාගේ ගෙදර පිළිකන්න පැත්තෙන් ගියා කුස්සියට. නැන්දම්මා තාම ඉස්තෝප්පුවේ පුටුව උඩ නිදි කිරනවා. බාචි අර පොලේ අරං ආපහු නැන්දම්මා හම්බ වෙන්ඩ ආවා.

“නැන්දම්මේ පොල් ඕනද?”

“ආ...උඹ තව පොලයක් හොයා ගත්තද? අනේ ඕකත් අර මහ පෙට්ටිය යටටම දාපංකෝ මං සල්ලි අරන් එන්නං....”

බාචි ආපහු ටිකකින් අර පොලේම අරන් ආයෙත් නැන්දම්මට විකුනනවා. නැන්දම්මත් පොලේ මහ පෙට්ටිය යටට දාන්ඩ කියල සල්ලි දෙනවා. ඉතින් හතර පස් සැරයක් මේ වැඩේ උනා කියමුකෝ. දැන් නැන්දම්මට සැකයක් ඇති උනා මේකා කරන දේ ගැන. එක වගේම පොලයක් නේ මූ හැම වෙලාවේම ගේන්නේ. ඉතින් බාචියා යනකල් ඉඳලා නැන්දම්මා බැලුවා මහ පෙට්ටිය යට. බැලින්නං සැකේ හරි. තියෙන්නේ එකම එක පොලයයි. නැන්දම්මට ෂුවර් මේකා තව පාරක් මේ පොලේ ගන්ඩ එන බව. හිංදා කාමරේට වෙලා හැංගිලා බලා හිටියා.

පිංවතුනි දැන් අපිට පේනවා බාචියා හිමීට හිමීට පිළිකන්න පැත්තෙන් ඇවිල්ලා මහ පෙට්ටිය යටට එබෙනවා. පොලේ නෑ. හැබැයි බාචි දන්නවා මේ පෙට්ටිය යට පොලයක් තිබ්බ විත්තිය. හිංදා සරීර කූඩුවෙන් බාගයක්ම පෙට්ටිය යටට දාලා හොයනවා පොලේ.

ඊගාවට අපිට පේන්නේ බිම දිගා වෙලා මහා පෙට්ටිය යටට ඔලුව දාගෙන ඉන්න බාචි ගාවට දොර පොල්ලක් අරං කිට්ටු කරන පල්ලෙහා ගෙදර නැන්දම්මා.

ඔන්න ඊගාවට දර්ශනීය විදිහට පේනවා අර දොර පොල්ලෙන් දෑත බදලා නැන්දම්මා බාචියාගේ කකුල් වලට තඩි බානවා. ඊගාවට බාචි නැන්දම්මට වැඳ වැඳ දුවනවා ගෙදරට!
තව ටිකකින් අපිට ඇහෙන්නේ හිස් අතිං ගෙදර ආපු හිංදා බාචියගේ අම්මා බාචියාට කන්කළු සුද්ද හෙළ බසින් අමතන ආකාරය...ඒක ගැන වැඩි විස්තර කිව්වොත් මේක බලන පොඩි එව්වෝ නරක වෙන්ඩ පුළුවන් හිංදා කතාව මෙතකින් නවත්තනවා!!!

බාචි හොරෙක්ද? නෑ ලොකු හොරෙක් නෙවෙයි! කවදාවත් ගෙවල් කඩලා වටිනා බඩු හොරකං කළා කියලවත්, මාල කඩා ගත්තා කියලවත් ආරංචි වෙලා නෑ. බාචි හොරකං කරේ බඩ ගින්න නිවා ගන්ඩ. එහෙම නැත්තන් ගෙදර ගියාට කන්ඩ හම්බ වෙන්නේ සල්ලි අරන් ගියොත් විතරක් හිංදා. බාචි මෝඩයෙක්ද? වෙන්ඩ පුලුවන්. හැබැයි මේ ලෝකෙ හැමෝම හැම දේකටම දක්ෂ නෑ.බාචිට ඉස්කෝලේ පරිසරය ඇල්ලුවේ නැත්තේ හේතු ගණනාවක් හිංදා වෙන්ඩ පුළුවන්. ඉතින් බාචිට මූණ දෙන්ඩ තිබ්බ ප්රශ්න ගැන නොහිතා කරපු දේවල් විතරක් කල්පනා කරන එක වැරදියි. කොහොම උනත් අදත් අපේ ගමේ මෝඩ වැඩක් හරි පොඩි පොඩි හොරකමක් හරි උනොත් මිනිස්සු බාචිව මතක් කරනවා...මේක හරියට බාචියගේ වැඩක් වගේ කියලා. ඉතින් දැන් අපේ ගමේ නැති උනත් බාචි කියන්නේ අපේ ගමට අමරණීය චරිතයක්!!


11 comments:

  1. රතිඤ්ඤ අ‍තේ පත්තු කරන එක ඒ හැටි දෙයක් නොවුනත් යකෝ බඹර අත උඩ තියල කරකවනව කියන එක මාර වැඩක් නෙ.

    ඔහොම පොඩි හොරකං කරන එවුවො ලොකු කේස් වලට යන්නෙ නරක ආස්සරේ නිසා. බාචිට එහෙම පරිසරයක් නොතිබිච්ච හන්ද ඔය තත්වෙන්ම නවතින්න ඇති.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ලංකාවට එක හිර කාරයෙක් අඩු උනා. හැබැයි වැරැද්දට මුල් වෙච්ච කාටවත් සමාජෙන් කිසිම ගැරහීමක් නෑ!!

      Delete
  2. ‍‍//මේ තියෙන්නෙ පෝස්ට් එක// ලිංක් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න. ඔබේ කමෙන්ට් එක දැක්ක ගමං මං ඒ අතපසු වීම හැදුවා.

      Delete
  3. අපොයි... මට හිනා ගියේ නැහැ. ඒ වෙනුවට දුක හිතුනා

    ReplyDelete
    Replies
    1. අපි අඩන්ඩ ඕන තමා මේ වගේ සමාජයක කොටස් කාරයෝ වීම ගැන! බාචිලා අදත් හෙටත් බිහි වෙනවා. අපි උන්ව එල්ලුම් ගස් යවනවා. හැබැයි බාචිලා නිර්මාණය කරන සමාජය නිර්දෝෂ බවයි හිතා ගෙන ඉන්නේ.

      Delete
  4. ඹබර චක්කර අතේ පත්තු කරන අය තාම ඉන්නවා බං , රෙද්ද ගැන වගේ වගක් නැ , හිතාන ඉන්නේ ඹබර චක්කර පත්තු කරල පෙන්වන අය මැටි කට්ටෙන් අල්ලලා ඔම්බදු පත්තු කරලවත් නැ කියල , පව් ඉතිං ... බට්ටෝ පළල මද කාපු අපට .. බඹර චක්කරේට ඇගිල්ල තියල පෙන්වන එව්වා ... සුම්මා නේ .... පව් ඉතිං..... ඒවා කොහොම උනත් උඹේ ලියවිල්ල රහයි.

    ReplyDelete
  5. මාමන්ඩි හිටියනම් බචියෙක් ආයේ අලුතින් හදන්ඩ වෙයි.ඇත්තටම මේ වගේ අය තාමත් ගම්වල ඉන්නවා හරිම දුකයි

    ReplyDelete
    Replies
    1. පොල් ගෙඩි තුනක් හොරකං කරපු හිංදා පොඩි ළමයෙක් පොලිසි එක්කං ගියා. අඹ වගයක් හොරකං කරපු වයසක ගෑනු කෙනෙක් මේ ලඟදි පොලිසි එක්කං ගියා. හොඳ වෙලාවට බාචි පොලිසි එක්ක ගියේ නෑ කවුරුවත්.

      Delete