Saturday, November 11, 2017

අකලට පුරන් වූ කුඹුරු


ඕන්න අයියලා අක්කලා අහගන්ටකෝ මේ පහුගිය දොහේ මට වෙච්ච ඇබැද්දිය. මොර සූරන වැස්සේ මේ සම්මජ්ජාතියේ වැඩක් කොරන්ට හිත දෙන්නැති සීතලේ ගේ ඇතුලට වෙලා වහින හැටි බලාගෙන උන්නා. මේ වෙලාවෙ මතක් උනේ නැතෑ කවියක්. ඒ එක්කම ඒ කවියට උත්තර විදිහට දෙන්ඩ පුලුවන් කවි හතරක්!



කවිය කියන්ට මූලික වෙන්නේ ඉටිකිරිස් රූපයක් තියන ඉස්තිරියාවක්. අනේ අප්පෝ කොච්චර ලස්සන උනත් මේ ඉස්තිරියාවගේ සුවාමි පුරුසයා වල කජ්ජං ගහලා. කොටිම්ම කියනවනං උන්දෑ වැන්දඹුවක් ආයිබෝං. ඉතින් ඔය ඉස්තිරියාව දකින අපේ ගොයියෙකුට අදහසක් පහල වෙනවා. උන්දැ කයියකිම්ම මුන්නෙ අදහස කියා පානවා...

අකලට පුරන් වූ කුඹුරක් දකින                   විට
ඇඟ පත කහන ගතියක් එයි ගොවියෙ     කුට
අඳ කුඹුරකින් වී ලාහක් නැතු                    වාට
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි       මට

තෙරුනානේ කතන්දරේ! උන්දැ මේ හදන්නේ කුඹුර 'අඳේට වැඩ කොරන්ට' මිස සින්නක්කර ගන්ට නෙවෙයි. මොකද උන්දැට අයිති 'සින්නක්කර කුඹුරක්' වෙනම තියනවා.

දැන් අර ඉස්තිරියාවගෙ වාරේ. මොන වගේ උත්තරයක් දෙන්ඩ ඇද්ද උන්දැ? පුලුවන්නං කියමු බලන්ඩ!!!


වෙන්ට පුළුවන් පළවැනි කතන්දරේ

මෙන්න ඉස්තිරියාවගේ උත්තරේ....

අයියන්ඩී උඹ වැනි ගොවි රජෙක්                     හට
නියරක් මොටද කුඹුරක් හී හාන්න                     ට
කන්නක් දෙකක් කැකුලන් ඉහ බලන්න             ට
කාගෙන් තහනමක්දෝ යල මහ දෙක                ට

තේරුනානේ උන්දැ ඉහටත් උඩින් කැමතියි 'හාන්ඩ' බැයිනං 'කැකුලමට' හරි කන්නයක් දෙකක් වැඩ කරලා බලන්ට!!!.

වෙන්ට පුළුවන් දෙවැනි කතන්දරේ

හිමි නැති ගේ වී ලාහත්                               බුසලක්ය
කැඳ උගුරකට හකුරුත් අම                         බිඳුවක්ය
කුඹුරේ දෙහිය හෑමට ගොන්                       බානක්ය
අයියත් එක්ක පොඩි මල්ලිත්                        එනවාය

කැමතියි අකමැතියි!! පොඩි මල්ලිත් එනවා කුඹුර හාල දෙන්ඩ. අයියන්ඩිත් කැමති නං එන්ට. මොකද බිං නැගුමට (පලවෙනි හීය) පස්සේ දෙහිය (දෙවෙනි හීය) හාන්ඩ ගොං බානක් හිටියට වැඩි වෙන්නෙ නෑ. හැබැයි ඕං මං නෑ මොකක් හරි හුටප්පරයක් උනොත් හෙම ඈ!!

වෙන්ට පුළුවන් තුන්වැනි කතන්දරේ

වනචර කමට කට හොල්ලන ගොළු            බෙල්ලා
අවසර නැතුව හී හෑමට එන                           බල්ලා
කටුසර බෝග කමි කුඹුරින් නැත පල                  ලා
වට පැන්නොතින් කොටනවා අම්මා              පල්ලා

යකෝ කුඹුරින් හාල් නැත්තං  අලයක් ගලවං කාලා ජීවත් වෙනවා. තොපි වගේ කඩප්පුලි වැඩ කරන ගොයියෝ මොකටද මට! හුහ් වරෙංකො මේ පැත්තෙ කොටනවා කැත්තෙන්!!!
ආය අහනවා කැමතිද කියලා. මට නං බෑ ඕක තේරුං බේරුං කර ගන්ඩවත් ඒ පැත්තේ යන්ඩ. බොලාම ගිහිං අහගල්ලා!!

වෙන්ට පුළුවන් හතරවැනි කතන්දරේ

අකලට පුරන් වූ කුඹුරක් දකින                                    විට
ඇඟ පත රිදිය හැකි මුත් හොඳ                   ගොවියෙකුට    
ටැට්ටරයක් දමා මඩ  කල මහ                          කුඹුරකට  
මොන හෑමක්ද මොට වූ ලී                                නගුලකට

අපොයි අම්මේ මෙහෙමත් නව නිග්ගිරහාවක්!! බැයිනං බෑ කිව්වනං අහවරයි නෙව මේ අලුගුත්තේරු කතා නොකියා!!

ඔය සිද්ධි කොයි කාලේ උනාද එහෙම නැත්තං ඇත්තටම උනාද වගේ පුරස්න මගෙන් අහන්ට එපා අයියලා අක්කලා. ඉතින් මට වෙච්ච ඇබැද්දිය මොකද්ද දන්නවද...ඔය කවි වලින් දැන් වැඩක් ගන්ඩ බැයිදෝ කියල කම්පනා වීම. පුලුහන් බව තේරුනත් මොන කවිය කොයි වෙලාවේ කියන්ටද කියල හිතා ගන්ට බැරි උනා. පුලුහන් නං මෙන්න මේ අවස්ථා වලදී දෙන්ට ඕන උත්තරේ මොන කවියද කියල කියල දීහල්ලකෝ ඔක්කොම එකතු පහදු වෙලා.

1. පෞද්ගලික අධ්‍යාපනය කියන ඉස්තිරියාවට කවි කියන ජෙප්පොන්ටයි පෙප්පොන්ටයි

2. මහ බැංකුවට කවි කියපු  උන්ට

3. ව්‍යවස්ථාවට කවි කියන ජාතිවාදීන්ට

4. මහජනයගේ සල්ලිවලට කවි කියපු, කියන හැත්ත හැතිකරේ ඔක්කොටම
 
4. රටටම කවි කියන දියවන්නාවේ ඇත්තන්ට


කොන්දේසි - කුණු හබ්බ බෑ ඕං. හිතේ තරහ තිබ්බ කියල එව්ව වානා. දැක්කනේ අර ඉස්තිරියාව කොයියම්ම කොයි වෙලාවකවත් කුණු හබ්බ කිව්වෙත් නෑ. ලිප්ටන් හංදියට ගියෙත් නෑ. ජිනීවා ගියෙත් නෑ!!!!

චායාරූපය - ගූගල් සෙවුමක් හරහා ලබා ගත් කප්රුක.කොම් වෙබ් අඩවියේ පලව තිබූ බතික් මෝස්තරයකි.

18 comments:

  1. පලවෙනි උත්තරය හොදයි

    ReplyDelete
    Replies
    1. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම උත්තරයක් හරි...ඒකනේ අපි තාම මෙතන!!

      Delete
  2. ඔය පස් ගොල්ලටම වදින්ඩ හොඳ වස් කවියක් කියන්ඩ බැරිද හැඳිගෑවිලාම යන්ඩ.

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සු කියන්නෙම වස් කවි. වස් කවි වලට විරුද්ධව තවත් වස් කවි කියපු බවට අතීත කතා නම් තියනවා. සාමාන්‍ය මිනිස්සු උදේ රෑ සාප කරන එව්වා ගණන් ගන්ඩ බැරිද වස් කවි විදිහට?

      Delete
  3. දුමියට තමයි කියන්න වෙන්නෙ කවි හදන්න කියල.

    ReplyDelete
    Replies
    1. බලමු දුමින්ද එයිද කියලා මේ පැත්තේ හොද කවියක් අහ ගන්ඩ !!!

      Delete
  4. මරු කව් සැට් එක... පස්ට

    ReplyDelete
    Replies
    1. මාතලන් මහැදුරු තුමනි....මං බ්ලොග් එක පටන් ගන්න විදිහ ගැන දැනගත්තේ ඔබතුමාගේ ලිපි පෙලින්. ඉතින් මම ඔබ තුමාගේ ගෝලයෙක්. ස්තූතියි මේ පැත්තේ ආවාට.

      Delete
  5. මාර වැඩේ. මමත් ඔය වගේ කවි ගැන ලිව්වා මෙන්න මෙතැන වෙන අදහසක් ( පිස්සු නෑ හොඳේ!) ගම්‍ය වෙන විධියට.


    මම නම් කැමති අන්තිම කවියට....

    ReplyDelete
    Replies
    1. ඔය කියන ෂෝට් හෑන්ඩ් දන්න හාදයා තමයි හෙළ බස රසවත් කලේ. සිංහල මිනිස්සුන්ට තමන්ගෙ වැඩ ගැන මතක් කරලා හිනා වෙන්ඩ පුළුවන් ශක්තියක් එදා ඉදම්ම තිබ්බා. මතකනේ බුදල්. අර තනියෙන් සීගිරි ගිය අපේ කවියා. බුදල් ගේ කවිය එකල තිබූ විදග්ධ කවි දිහා උපහාසයෙන් යුතුව බැලීමක් නොවෙයි කියලද ඔබ කියන්නේ?

      Delete
    2. ඔව් ඔව්.. නෑ කියන්නේ නෑ... අනික ඒවා බොහොම රසවත් කවි. ඒ කවි වල ඇත්තටම තිබ්බේ ටැලන්ට් එකත් එක්ක ගියපු රසයක්. අමුවෙන් කිව්වහම මාරයි කියලා හිතාගෙන ඉන්න වර්තමානය ගැන බැලුවාම දුක හිතෙන්නේ ඒකයි.

      බුදල් ගැන සිරාවටම මට හිතුනෙත් ඔහොමමනේ...! මම ඉතින් සමාජෙන් කොන් වෙයි කියලා කිව්වෙත් නෑ. එක අතකට අමුතුවෙන් කොහේ කොන් වෙන්නද? හි හි හි...
      ලියමුද බුදල් ගැන?

      Interesting stuff

      Delete
    3. ඔන්න ඔහොම අදහසක් දෙන්ඩකෝ. මගේ ප්‍රියතම කවියා බුදල්. ඊට පස්සේ තමයි ආරියවංශ රණවීර හා විමලරත්න කුමාරගම.

      Delete
    4. හම්මියෝ.. එහෙමත් එකක්ද? එහෙනම් ඉතින් පටාන් ගන්ට අප්පා.. මම කියෝනවා..

      පොප් කෝන් එහෙම අරගෙන එන්නම් ඈ !

      Delete
    5. පොප් කෝන් ගෙනාවට කමක් නෑ ඒක කන විදිහ තමයි වැදගත්. ඒ හින්දා ඊළඟ පොස්ට් එක කන විදිහ ගැන!!! බලලම එන්ටකෝ!!

      Delete
  6. Replies
    1. හෙහ් කිව්වේ තාම කොයි කයියද සුදුසු කියල හිතනවාවත්ද?

      Delete