Sunday, December 24, 2017

ප්‍රාග් නුවර කැරකොප්පුව

අවුරුද්දේ අන්තිමත් ලංවෙනවා. මේ අවුරුද්දේ කරපු කියපු දේවල් ගැන හැරිලා බලන්ඩ, ඒ දේවල් වලින් ඉගෙන ගන්ඩ කියලා ටී වී එකේ නිතර දෙවේලේ කියවන හිංදා මම ඒක වහලා දැම්මා. අපි ඔක්කොමලා ඒ කියන්නේ මුළු මිනිස් සමාජයම එක්කහු වෙලා ඔය ටී වී එකේ ඉන්න පණ්ඩිතයෝ කියන දේ අහලා අපේ තියන ඔක්කොම වැරදි ටික හදා ගත්තොත් මොකක් වෙයිද? හරිම නීරස, ඒකාකාරී, මුඩුම සමාජයක් බිහිවේවි එතකොට. මං මේ කියන්නේ හැමෝම නිවන් දැක්කොත් වගේ දාර්ශනික ප්‍රශ්නයක් ගැන නෙවෙයි අපි මේ දිනපතා කරන වැරදි ගැන. 

මම කොහේ හරි රටකට යනකොට පුළුවන් හැම වෙලාවේම ඉල්ල ගන්නවා ගුවන් යානයේ ජනේලේ ළඟ සීට් එකක්. මොකද මට ඕන අලුත් රටකට එහෙම නැත්තන් අලුත් නගරෙකට යනකොට උඩ ඉඳන් බලන්ඩ ඒ නගරේ ගොඩනැගිලි කොයි වගේද කියලා. හරි හතරැස් පෙට්ටි පෙට්ටි වගේ බොහොම පිළිවෙලට හදපු ගොඩනැඟිලි  නං මට පෙන්ඩ තියෙන්නේ, මට හිතෙන්නේ ඒ නගරේ හරිම කෘතීම එහෙම නැත්තං හරි අස්වාභාවික විදිහට කවුරු හරි පිට ලෝකෙකින් ගෙනත් දාපු සත්තු ටිකක් හදපු මැෂින් එකක් වගේ. කිසිම ජ්‍යාමිතික හැඩේකට නැතුව විසිරුණු හැඩ තියන ගොඩනැගිලි නං පේන්ඩ තියෙන්නේ මගේ හිත සතුටින් පිරෙනවා. හරියට මගේ ගමට ආවා වගේ හැගීමක් මට හම්බ වෙන්නේ එතකොට.  ඒ මගේ හැටි.


මගේ හැටි කියන කොට තමයි මතක් උනේ මේ අවුරුද්දේ මම කියවපු හොඳ පොතක් ගැන. උම්බෙර්තෝ එකෝ ගේ  The Prague Cemetery - ප්‍රාග් නුවර කැරකොප්පුව!!. ඒ පොතේ මම කියවපු සමහර චේද දෙතුන් පාරක් ආපහු ආපහු කියවන්ඩ මට හිත දුන්නත් තාම සම්පූර්ණයෙන් පොත කියවලා ඉවර කරන්ඩ බැරි උනා. ඒ උනත් ඒ පොත කොච්චර මගේ හිත ඇද ගත්තද කියල කියනවනං මට හිතුනා ඉන් කොටසක් ඔබත් එක්ක බෙදා ගන්න. හරියටම කිව්වොත් දෙවෙනි චේදෙන් ගත්තු කොටස් කීපයක්. මේ සම්පූර්ණ පරිවර්තනනයක් නෙවෙයි. මේකේ ඕන තරම් අඩු පාඩු ඇති. කවුරුහරි පෙන්නලා දුන්නොත් හදන්නම්. ඒ මොනවා උනත් ඒ කොටසෙන් කියවෙන ව්‍යංගාර්ථය අපේ සමාජෙටත් ගලප්ප ගන්ඩ පුලුවන්.

උම්බෙර්තෝ එකෝ 

ඔන්න එහෙනං අපි පොත දිහා බලමු.....

1897 මාර්තු 24
............
මට කාවද පේන්ඩ බැරි? මට කියන්ඩ පුළුවන් යුදෙව්වන්ව කියලා. ඒත් මම අර ඔස්ට්‍රියානු එහෙම නැත්තං ජර්මානු (යුදෙව්) දොස්තර කියන දේ කොයි තරං හොඳින් පිළිපදිනවද? ඒකෙන්ම තේරෙනවා අවලං යුදෙව්වන්ට මම විරුද්ධ නෑ කියලා.

මම යුදෙව්වෝ ගැන දන්නා ඔක්කොම කියල දුන්නේ අපේ සීයා. සීයා නිතරම කිව්ව විදිහට "උන් තමයි දෙයියෝ ගැන කිසිම විශ්වාසයක් නැති ජාතිය!! . උන් පටන් ගන්නෙම හැම සැපක්ම මේ ලෝකෙදීම ලබන්ඩ ඕන කියන කල්පනාවෙන්. මිනීවලෙන් එහා ලෝකය ගැන උන්ට කිසි හැගීමක් නෑ. ඉතින් උන් වැඩ කරන්නෙම මේ ලෝකේ යටත් කර ගන්ඩ".

මගේ ළමා කාලය උන්ගේ හොල්මං හිංදා අප්‍රසන්න උනා. එක බැල්මකින් අපිව පිපිහළු කරවන්ඩ පුලුවන් උංගේ බැල්ම...ඒ බැල්ම නිකුත් වෙන, අපේ ඔත්තු බලන්ඩ යොමුවෙච්ච උන්ගේ ඇස්...උන්ගේ බර, දූෂණය වෙච්ච කෲර බැල්ම!!! ඒ ඇස් තමා ඇස්...! උන්ගේ ඇහේ බබා කර කරපු පාන් වල පාටයි. ඒ පාටින් කියවෙන්නේ උන්ගේ කැවුත්ත හොදටම නරක වෙලා කියලයි. නරක වෙන්නේ නැතුව තියෙයිද පහුගිය ශත වර්ෂ දහ අට පුරාම උන්ගේ ඇඟ ඇතුලේ වෑස්සුනේ වයිරය නේ!! 

මං දැනුං තේරුං තියන වයසට ආපුවාම සීයා මට මතක් කරලා දුන්නා යුදෙව්වෝ ස්පාඤ්ඤ කාරයෝ තරම්ම තුච්චයි කියලා. උන් ක්‍රොයැට් වරු තරම්ම මෝඩයි, ලේවන්ටීනයෙක් තරමටම ලෝභයි. මොල්ටානුවෙක් තරමටම ගුණමකුයි. අහිගුන්ටිකයෙක් වගේ අහංකාරයි. එංගලන්ත කාරයෙක් වගේ අපිරිසිදුයි.කල්මික් වැසියෙක් තරමට චාටු කාරයි. ජර්මානු කාරයෙක් තරමට ආඩම්බරකාරයි. ඕනම අස්ටි වරයෙක් වගේ අපවාදාත්මක වචන වලින් පිරිලා!!! ඒ මදිවට චර්මචේදනය කරලා ඉන්න හිංදා උන්ගෙ කාමාශාව පාලනය කර ගන්ඩ බැරි තරම්. ඉතිං අනාචාරයේ හැසිරෙනවා කියන එක අහන්ඩත් දෙයක්ද? උන්ගේ ඇග කුරුමිටි සයිස් උනාට ඒ ඇගට කිසිම අනුපාතික බවක් පෙන්නන්නේ නෑ අර එලියට පැනලා තියන, බාගෙට කපා දාපු අවයවයේ!!!

මට උන්ව නිතරම හීනෙන් පෙනුනත් වාසනාවට කවම කවදාවත් මුණ ගැහිලා නෑ. ඔවු අර මම පොඩි කාලෙදි ටියුරින් නුවර ගුබ්බෑයමට ගිය වෙලේ හම්බෙච්ච වේස ගෑනියි, ඔස්ට්‍රියානු (සමහරවිට ජර්මානු වෙන්ඩත් පුළුවන් ...දෙකෙන් මොකක් උනත් එකයි) දොස්තරයි ඇරුණම.

ඕ.... ජර්මන් කාරයෝ!! මං උං ගැන දන්නවා. ඒ විතරක්යැ මං උං යටතේ වැඩ කරලත් තියනවා. අන්තිම පහත්ම මිනිස්සු ජාතිය!! ජර්මානුවෙක් සාමාන්‍යයෙන් ප්‍රංශ කාරයෙක් වගේ දෙගුණයක් රෙනවා. ඒකට හේතුව උන්ගේ බඩේ කොටස් අධි වේගෙන් වැඩ කිරීම. මේ වේගේ ලබා ගන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ උන්ගේ මොලේ ඉතා හිමිං වැඩ කරන්ඩ හිංදා. ඒ හින්දම තමයි උන් කායිකව දුර්වල. ම්ලේච්චයෝ ජර්මනිය ආක්‍රමණය කරන කොට ජර්මන් පාදඩයෝ අර ම්ලේච්චයන් එන පාර පුරා මල පහ කරාලු. මෑත කාලේදී ඕනෑම ප්‍රංශ කාරයෙකුට පුළුවන් තමුන් ජර්මන් දේශ සීමාව පහු කරපු බව දන ගන්ඩ පාර දෙපැත්තේ තියන අසාමාන්‍ය ප්‍රමාණයේ බෙටි ගොඩවල් දැක්කම. ඒ මදිවට හරි ජර්මන් කාරයෙක්නම් ඌට බ්‍රොම්හයිඩ්රෝසිස් -ගඳ ගහන දාඩිය දාන ලෙඩේ- තියනවා. පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියනවා ජර්මන් කාරයන්ගේ චූ වල නයිට්‍රජන් සීයට විස්සක් තියනවා කියලා!!!. අනිත් ඕනෑම මිනිහෙක්ගේ තියෙන්නේ සීයට පහළවයි.

...................උන් කොච්චර නං බියර් අපයෝජනය කරනවද කියනවනං උන්ගේ අශිෂ්ටත්වය ගැන අංශු මාත්‍රයක් හරි තේරුම් ගන්ඩ බැරි තරමට හැම වෙලේම උන් වෙරි වෙලයි ඉන්නේ. මේ අශිෂ්ටත්වයේ උපරිමය තමයි උන්ට ජර්මන්කාරයෝ වීම ගැන කිසි ලැජ්ජාවක් නැතිවීම!! 

උං අර ලුතර් වගේ ලැජ්ජා නැති, සල්ලාල පූජකයෙක්ව බරපතල විදිහට ගණන් ගත්තේ, ලුතර් බයිබලේ ජර්මන් බාසාවට පරිවර්තනය කරලා විනාශ කරපු හිංදා.

කව්ද කියල තියනවා ජර්මන් කාරයෝ යුරෝපයේ තියන විශිෂ්ටම බේත් දෙකම, ඒ කියන්නේ මධ්‍යසාරයි ක්‍රිස්තියානි ආගමයි දෙකම අපයෝජනය කරනවා කියල!

අනික ජර්මන් බාසාව. කිසිම දෙයක් පැහැදිලිවනිරවුල්ව කියන්ඩ බැරි තරම්  නියමයක් නැති බාසාවක්. ප්‍රංශ බාසාව වගේ නෙවෙයි. 

ඔන්න මට මතක් උනා ප්‍රංශ කාරයෝ ගැන.

ප්‍රංශකාරයෝ හරි කම්මැලි, රැවටිලිකාර, අනුන්ව නුරුස්සන, ඉරිසියාකාර, හිතාගන්ඩ බැරි තරං ආඩම්බරකාර ජාතියක්. කොටිම්ම උන් හිතන්නේ ප්‍රංශකාරයෝ ඇරුනම අනිත් හැමෝම මහ ම්ලේච්ඡ, අවිචාරවත් මිනිස්සු කියලා. මම හොයාගෙන තියනවා ප්‍රංශකාරයන්ට උන්ගේ ජාතියේ තියන වැරැද්ද පෙන්නලා දෙන්ඩ පුළුවන් ක්‍රමයක්. ඒ තමයි අනුන්ගේ වැරද්දක් ගැන කතා කරන එක. 

ඒ මෙහෙම.."අපි පෝලන්ත ජාතිකයෝ වෙච්චි...අපේ මේ මේ දුර්වලකම් තියනවා". ප්‍රංශ කාරයන්ට ඕන නෑ කාටවත් දෙවැනි වෙන්ඩ. වැරද්දකදී උනත් දෙවෙනි වීම උන්ට හුරු නෑ. ඉතින් උන් මෙහෙම කියනවා  "අයියෝ නෑ..ප්‍රංශේ අපි ඊට වඩා දුර්වලයි!!! ඊට වඩා නරකයි!!!!". ඊට පස්සේ උන් ඉක්මනටම පටන් ගන්නවා ප්‍රංශේ විනාශ කරන්ඩ.... අර කියපු තත්වෙට ඇත්තටම උන්ගේ රට ගේන්ඩ. උන්ට තේරෙන්නේ නෑ උන්ව උගුලකට අහු උනා කියලා!!!!

උං කැමති නෑ උන්ගේ ජාතියේ එකෙකුට. සමහරවිට වාසියක් හම්බ වෙන්ඩ තියන වෙලාවල් වලදී පවා මේ ගතිය මග ඇරෙන්නේ නෑ. ප්‍රංශ තානායම්පල්ලෙක් තරං නපුරු මිනිස්සු තවත් නෑ.  උන් හරියට පාරිභෝගිකයන්ට වයිර කරනවා වගේ ( සමහරවිට ඇත්තටම එහෙම වෙන්ඩත් පුළුවන්) හරියට අර පාරිභෝගිකයෝ නො ආවානං හොඳයි වගේ!!

ප්‍රංශකාරයෝ හරිම නපුරුයි. උන් කම්මැලිකම යන්ඩ මිනී මරා ගන්නවා. ඒ අය තමයි ලෝකේ එකම ජාතිය මිනිස්සුන්ට රස්සා හොයල දෙන්ඩ එක එකාගේ බෙලි කපාගන්ඩ ඉඩ ඇරපු!! හොඳ වෙලාවට නැපෝලියන් ඒ උන්ගේ වයිරය වෙන පැත්තකට යොමු කෙරෙව්වේ. නැත්තං උන් ඉවරටෙම ඉවරයි. නැපෝලියන් එක්ක උන් තමුන්ව විනාශ කරගන්නවා වෙනුවට යුරෝපෙ විනාශ කරන්ඩ පටං ගත්තා.

මං ප්‍රංශ පුරවැසි බාවය ලබා ගත්තේ ඉතාලි ජාතිකයෙක් වෙලා ඉඳීම මට එපා වෙච්ච හිංදා.
ඉතාලි කාරයෝ කියන්නේ කිසිම විස්වාසේකට ගන්ඩ බැරි, බොරු කාර, නීච පාවාදෙන්නෝ ජාතියක්. වහ බිව්වම බේත් බිව්වට වඩා හොඳින් ඉන්න ජාතියක්. උන් ස්ථීර විදිහට කරන එකම දේ පැති මාරු කරන එක විතරයි.  අද අපිත් එක්ක. හුළඟ වෙනස් උනාම සතුරෝත් එක්ක. ඇත්තටම එහෙම උනේ ඇයි? ඒ ඉතාලි කාරයෝ තමුන්ගේ පරමාදර්ශේ විදිහට පූජකයන්ව තොර ගත්තට පස්සේ.

පූජකයෝ....! උන් නිකං ඉන්න, හොරුයි පාදඩයොයි තරම්ම භයානක පන්තියකට අයිති වෙච්ච කට්ටියක්. උන් පූජකයෝ වෙලා තියෙන්නෙම නිකං කකා බිබී ජීවත් වෙන්ඩ ක්‍රමයක් හදා ගන්ඩ. මේ කම්මැලි විදිහට ජීවත් වෙන්ඩ පුළුවන් වෙලා තියෙන්නෙම උන්ගෙ ප්‍රමාණය හිංදා. මිනිස්සු දාස් ගානකට හිටියේ එක පූජකයයි නං වැඩ ගොඩක් තියන හිංදා ඔය විදිහට නිකං ඉන්ඩ බැරිවෙනවා. කිසිම විශ්වාසයක් තියන්ඩ බැරි පූජකයන් අතරින් මෝඩම කට්ටිය තෝර ගන්න ආණ්ඩුව ඒ අයට බිෂොප් පදවි ලබා දෙනවා.

ඔබ ඉපදිච්ච ගමම්ම ඔන්න  පූජකයෙක් එතැන ඇති.  ඒ ඔබව බෞතීස්ම කරන්ඩ. ඔබේ දෙමාපියෝ උනන්දු වෙලා ඔබව ඉස්කෝලෙකට යැව්වොත් ඒ අය ඉස්කෝලෙත් ඉන්නවා. ඊගාවට පළමු සත්ප්‍රසාදය. ඔබේ මගුල් දිනයේදී එන පූජකයෝ මගුල් දවසේ රෑ ඔබ ඇදේදී කලයුත්තේ මොකක්ද කියල කියල දෙනවා. ඊගාවට පහුවදා ඔබ පාපොච්චාරණය කරන වෙලාවේදී අහනවා ඔබ කී පාරක් ඒ දේ කලාද කියලා....ඔවුන් දෙවියන්ව කනවා, බොනවා ඊට පස්සේ කක්කා කරලා, චූ කරලා ඒ දෙවියන්ව ශරීරෙන් පිට කරනවා.

ඒ අය දිගටම, නොනවත්වා කියන්නේ ඔවුන්ගේ රාජධානිය මේ ලෝකේ නැති බව. හැබැයි එහෙම කියලා රැස් කරගන්ඩ පුළුවන් හැමදේම උන් රැස්කර ගන්නවා.  ශිෂ්ටාචාරය කවදාවත් පරිපූර්ණ වෙන්නේ නෑ අන්තිම පල්ලියේ, අන්තිම ගල, අන්තිම පූජකයා උඩට වැටිලා මේ පොලොව ඒ යක්ෂ සේනාවෙන් ගැලවෙනකල්. 

පොත තව දිගයි. ඒත් ඒ ඔක්කොම ලියන්ඩ ගියොත් මට පෝස්ට් එකක් වෙනුවෙන් වෙන් කරන්ඩ පුළුවන් වෙලාව ඉක්මවලා යනවා. ගෙදරින් බැනුම් අහන්ඩත් වෙයි. ඉතිං හොඳම දේ තමයි මෙතනින් නවත්තන එක.

මේ පොතේ කියවෙන යුදෙව්වෝ, ජර්මන් කාරයෝ, ප්‍රංශ කාරයෝ, ක්‍රිස්තියානි පූජක වරු ගැන උම්බෙර්තෝ එකෝ ලියලා තියෙන්නේ ප්‍රාග් නුවර කැරකොප්පුවට ගැලපෙන විදිහට. ඒ වගේ පොතක් ලංකාවේ ලියවුනොත් කොහොමට හිටීද? එහෙම පොතක අපිට නුපුරුදු විදේශික ජාතීන් වෙනුවට හුරු පුරුදු කට්ටිය ඉඳීද? නැත්තං ලංකාවේ ඉන්න කිසියම්ම කිසි කෙනෙක් ගැන කියන්ඩ තරං වැරැද්දක් නැද්ද? ඒ ගැන හිතන එක, තීරණේ කරන එක ඔබ තමුන්නාන්සේලාට බාරයි.


කට්ටකාඩුවට ගොඩවෙන, නොවෙන හැමෝටම සුභ නත්තලක් වේවා!!!  

13 comments:

  1. මේ කියවපු ටිකේ හැටියට අපි දියුණුයි කියලා හිතන ඉන්න සියලුම යුරෝපියන් කමකට නැති එවුන්.කිව්වත් වගේ ලංකාවේ අය ගැන ලිව්වොත් කොහොම හිටීද?

    ReplyDelete
    Replies
    1. දසනායක තුමනි මේ නවකතාවේ එන විදිහට ඒ ඒ ජාතීන් ගැන හැදින්වීමක්. අපිට කිසිම ජාතියක පොදු ගති ගුණ දකින්ඩ හෝ අදුනා ගන්ඩ බෑ නේද? හැබැයි අර නවකතාව නං හරිම හිත් ඇද බැද ගන්නා සුළුයි.

      Delete
  2. බැලුවහම ලෝකෙ එක්කොම ජාතිකයෝ මහ හුප්පො නෙ. චික්කිතරක්. ජර්මන් කාරයො බතල කනව ඇති.

    යේසුස් නම් අහිංසක මිනිසාගේ ජීවන දර්ශනය අනුගමනය කරන අතලොස්සක් වූ වාසනාවන්තයින්ට යහපත් නත්තල් සැමරුමක් වේවා!

    ReplyDelete
    Replies
    1. හොයල බලන්ඩ ඕන ජර්මන් කාරයෝ බියරුයි සොසේජසුයි එක්ක බතලත් කනවද කියලා. ස්තූතියි සුරංග තුමනි මේ පැත්තේ ඇවිත් අපි වගේ නවකයන් දිරි ගැන්වීම ගැන.

      Delete
  3. ඉතාලි ජාතිකයෝ බොහොමයක් දෙනා කෙලින් කතා කරනවා.ඉංග්‍රීසි ජාතිකයෝ වගේ නොවේ.මම මේ ලියන්නේ මගේ අත්දැකීම්.කපටිකම් හා අනෙක් දේවල් කාගෙත් තියෙනවා.ලංකාවේ මිනිස්සු වන අපි ගැන අපි දන්නවනේ.උතුරු ඉතාලි අය කල්පනාකාරී මිනිස්සු,හරි නිර්මාණශීලීයි.අපි රැකියාවකට ඉන්ටර්වීව් එකකට ගියාම ඉතාලියෙදී තෝරාගත්තොත් ගත්තමයි.ඒ අය වචනය වෙනස් කරන්නේ නෑ.ඉංග්‍රීසි මිනිසා එසේ නෑ.අපිට තෝරාගත්තා වගේ බලාපොරොත්තු දෙනවා හරි ලස්සනට....එපමනයි.දන්නෝ දනිති.ලංකාවේ අපි කොලිටි බඩු ගැන කතාකලොත්,මිනිස්සු ගැන කතාකලොත් ඉතාලි,ජර්මන්,ප්‍රංශ ඉහල තත්වයේ.උගත් ඉහල රැකියා කරන මගේ මිතුරු මේ ජාතිකයෝ හරිම දැනුවත් ඒ වගේම මානුශිකයි,පිලිවෙලයි.ඇංග්ලෝ සැක්සන් ක්‍රමයට ආවඩන්න අපේ මොළ සෝදලා තියෙන්නේ එංගලන්ත සුද්දා.ලියනවනම් ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට පෞද්ගලිකව අත්දැකීම් ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන් ගැන පමණයි. ඔබේ අත්දැකීම් අනෙක් අයත් එක්ක බෙදා ගැනීම වැදගත්. ඒ අපි ගිලිලා ඉන්න බොරුව අනෙක් යට පෙන්වා දීමට. අඩු ගානේ ඒ බොරුවෙන් ගොඩ එන්ඩ බැරි නං අපි ජීවත් වෙන්නේ බොරුවක් තුල බව වත් තේරුං ගඳ පුළුවන් වේවි එතකොට. එනිසා ලියන්ඩ. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ලලිත් ගුණවර්ධන තුමනි.

      Delete
    2. ඒක තමයි ලියන්ඩකො

      Delete
    3. ඔබතුමාලාගේ දිරිගැන්වීමට අවංකවම ස්තූතියි!ගෙදර වැඩ සහ අනෙක් රාජකාරි නිසා කාලය හරස්වෙලා.විදේශ ගතව සිට ලංකාවට ආවම පියා එකතැන් උනා.මව,පියා දෙදෙනාම වයසයි,රෝගී තත්වයේ.පවුලේ එකම පුතා උනාම පීඩනය වැඩියි.

      Delete
    4. ලලිත් ගුණවර්ධන තුමනි මතකද මහින්ද හාමුදුරුවන්ගේ කවිය

      කාටත් හිමි පොදු දේ නම්
      නැති බැරි හිග අවහිරකම්
      මේ දේ මැඩගෙන දස්කම්
      පෑම තමයි සුරු විරු කම්

      අලුත් බ්ලොග් එකක් පටන් ගන්නවනං එහෙම...ඒකටත් වෙලාව මදි නම් මං කැමතියි කට්ටකාඩුවේ ඉඩ වෙන් කරන්ඩ.

      පවුලේ වැඩිමහලු පිරිමි දරුවා වීමේ වගකීම දෙමාපියන් අසනීප වූ විටක දැනෙන අකාරය ගැන මට බොහෝ අත්දැකීම් තිබෙනවා. මට තේරුම් ගත හැකියි ඒ තත්වය. ඒ වගේ වෙලාවක දැනෙන මහන්සිය නැති කර ගන්ඩ එක හොඳ ක්‍රමයක් ලිවීම.

      Delete
    5. ඔබතුමාට බොහොම ස්තූතියි! ඔබගේ බ්ලොගයේ පවා ඉඩ වෙන්කරදීම ගැන.මිනිසත්බවින් පිරිපුන් ඔබවැනි අය වඩා අවැසි යුගයක් මේ.අපි ඉදිරියේදී බලමු.

      Delete
  4. මොලෙත් ෙකාලොප්පං වෙනව

    ReplyDelete
  5. ලංකාව ගැන ආයේ අමුතුවෙන් ලියන්න මහන්සි වෙන්න ඕනි නෑ.. ඔය පොතේම නම වෙනස් කරලා ගන්න බැරියැ!

    ඔබටත් සුභ නත්තලක් සහ සුභ නව වසරක්!

    ReplyDelete
  6. මරු නේ, ඉතුරුටිකත් කොටස් වශයෙන් හරි ලියන්ට, පොත හොයාගත්තත් දැන් ඉංග්‍රීසි කියවන්ට හරිම කම්මැලියි.

    ReplyDelete