Saturday, March 10, 2018

අන්ධයා සහ කොරා



ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ කවුද කියල නොදන්න කෙනෙක් ගන්න එක  ගිය සතියේ මහනුවරදී උනේ මොකද්ද කියල නොදන්න ලාංකිකයෙක්  එකට වඩා අමාරුයි. ඔය අයින්ස්ටයින් මහත්තයා  ප්‍රසිද්ධ කියමනක් තියනවා. ඒ තමයි ආගමකින් තොර විද්‍යාව කොරකු වැනිය. විද්‍යාවකින් තොර ආගම අන්ධයෙකු වැනිය කියල. මට හිතෙනවා ගිය සතියේ උනේ මේ කොරයි අන්ධයයි දෙන්න එක්කහු වෙලා ගමන් කරන්ඩ පටන් ගත්තු එක කියල. අන්ධයාගේ පිටේ කොරා නැග්ගහම සාමාන්‍ය මනුස්සයෙක් විදිහට නොවුනත් දෙන්නටම අනතුරුදායක තැනකින් බේරිලා පැනල යන්ඩ පුළුවන්. ඒ කියන්නේ ශික්ෂණයකින් තොර දැනුමටත්, දැනුමකින් තොර ශික්ෂණයටත් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්ඩ හොඳ අවස්ථාවක් තමයි ගිය සතියෙදි ලැබුනේ.



අද මම කියන්ඩ යන්නේ ඒ ගැන කතාවක්. කැමතිනං එන්ඩ කියවන්ඩ අන්ධයා සහ කොරාගේ වික්‍රමය!


පලවෙනි කතාවේ නායකයා ගැන මම මීට ඉස්සර ලිපි දෙකක්ම ලියලා තියනවා. ඒ තමයි බාචි. බාචි කියන්නේ අපේ ගමේ හිටපු චරිතයක්. පොඩි පොඩි හොර මැරකම් වලට වගේම පොඩි පොඩි මෝඩ වැඩවලටත් ඒ වගේම පොඩි පොඩි කපටිකම් වලටත් ප්‍රසිද්ධ වෙලා හිටපු චරිතයක් තමයි බාචි. හැබැයි කොහොමද බාචි වගේ චරිතයක් බිහි උනේ කියන එකට බාචිගේ සමාජ වටපිටාව ඒ කියන්නේ අම්මලා තාත්තලා කරපු කියපු දේවල්, බාචි කරපු කියපු දේවල් වලට අසල්වැසියෝ දක්වපු ප්‍රතිචාර වගේ හුගක් දේවල් බලපෑවා. කැමති කෙනෙක් ඉන්නවනං බාචි ගැන පරණ කතා පළමුවැන්න මෙතනිනුත් දෙවැන්න මෙතනිනුත් කියවන්ඩ පුළුවන්.

කොහොම නමුත් අද කතාව බාචිගේ ප්‍රේමය ගැන. ඉස්කෝලේ යන වයසෙදි හෝමෝන නිෂ්පාදනය නිසියාකාරව සිද්ධ වෙන කොයි කාගෙත් හිතේ ආයිබොවන්ඩ පොඩි 'හඳුන්පොත කී ගෑමක්' වෙනවනේ.   ගෑල්ලමයෙක් දකිනකොට පොඩි කිචියක් දැනෙන්ඩ පටන් ගත්තු කාලයක් අපේ බාචියාටත් තිබ්බා. හැබැයි ප්‍රශ්න වැලක් තියනවා විසඳා ගන්ඩ. කසාද බැඳලා පදිංචි වෙන්නේ කොහෙද?...... ඊට කලින් අම්මලා තාත්තලා මේ මංගල්ලෙට කැමති වෙයිද?....... ඊට කලින් කෙල්ලගේ ගෙදර ගියාම එහෙ අම්මලා තාත්තලා කැමති වෙයිද?...... ඊට ඉස්සර හොඳ රස්සාවක් හොයාගන්ඩ පුළුවන් වෙයිද?...ම්ම්ම්..... ඔය ඔක්කොටොම කලින් විබාගේ පාස් වෙන්ඩත් එපෑය හොඳ රස්සාවකට ඉල්ලන්ඩ නං...ඊටත් හපන් අනික් ප්‍රශ්නේ කෙල්ල කැමති වෙයිද බාචිට?.... විකාර නෙවෙයි බොලව් ලොකුම ප්‍රශ්නේ තමයි මුලිම්ම තියෙන්නේ විසදා ගන්ඩ. ඒ තමයි කෙල්ලට බාචිගේ ආදරය කියන්නේ කොහොමද?

බාචියා අකුරු සෑත්තරේ දන්නේ නෑ. දැන් වගේ මූණු පොත් අනං මනං ඒ කාලේ නෑ. ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ටියුෂන් පංති යෑමක් අපි අහලවත් තිබ්බේ නෑ. ටැලිපෝන් නෑ. අම්මපා ඒ කාලේ හිටපු ප්‍රේමවන්තයෝ කොච්චර අසරණද? මෙව්වා එකක්වත් නැතුව කොහොමද ලව් කරන්නේ? අන්තිමට බාචිගේ පිහිටට ආවේ අකුරු ලියන්ඩ දන්න නිමල් අයියා. බාචි සිකරට් හතරක් අරන් දෙන පොරොන්දුව පිට නිමල් අයියා කැමති උනා ලියුමක් ලියල දෙන්ඩ බආචිගේ හිත දිනූ ඒ වාසනාවන්තියට!

පට්ට දවාලක මුන් දෙන්නා ලියුම ලියන්ඩ එක්කහු උනේ අපේ වොලිබෝල් කෝට් එක ළඟ තිබ්බ කොස් ගහ යටට.

"ඔන්න එහෙමනං අපි ලියුම පටං ගත්තා...සීතල සඳ එළිය ඇති රෑකදීය!...."

බාචියා උඩ බිම බලනවා..."කෝ බං හඳ? අනික මේ රෑ ද?"

"නෑ... හු%^$&* එහෙම තමයි කෙල්ලන්ට ලියන්නේ!!"

"අම්මප? හා එහෙනං ලියපන්කො..."

"බුදු සරණයි!"

"හා..."

"ඕකිගේ නම මොකද්ද බං..?"

"ලතා!!"

"කොහේ ඉඳන් එන එකියද්ද?"

"එහා ගමේ!"

"ඔය කියන්නේ අර සිමියොන් මාමලාගේ ලතා ද?"

"අම්මප උඹලගේ නෑදෑයොද ඒ කට්ටිය?"

"න්....නෑ....න්....නෑ...!"

ඉතින් දෙන්න එක්කහු වෙලා ලියුම ලියලා ඉවර කළා. නිමල් අයියා සිකරට් හතරක් ගත්තා ලියුමකට. ලතාගේ පොත් අස්සට ලියුම දාලා දෙනවට තව කෙල්ලෙකුට බාචි හැමදාම අයිස් පැකට් එකක් අරං දුන්නා. ලතාගෙන් කිසි උත්තරයක් නැතත් බාචි දවස් දෙක තුනකට සැරයක් කොටිම්ම සිකරට් හතරක් ගන්ඩ සල්ලි හොයා ගත්තු පරක්කුවෙන් නිමල් අයියා ලව්වා ලියුමක් ලියලා ලතාගේ පොත් අස්සට දැම්මෙව්වා. කෙල්ලගෙන් හා...කැමතියි වගේ උත්තරයක් ලැබීම තමයි වෙනද පුළුවන් හොඳම දේ.

ඊගාවට වෙන්ඩ පුළුවන් හොඳම වැඩේ කිසි උත්තරයක් නැති වීම. ඉතින් ඒ දෙවෙනි උත්තරෙන් සෑහීමකට පත් වෙලා බාචියා දැන් ඕසෙට ලියුම් ලියනවා...නෑ ලියවනවා!
ඔහොම මාස හතර පහක් ගියාට පස්සේ අර බාචිගේ සහායක ගෑල්ලමයා දැනගත්තා බාචිට අකුරු බැරි බව. එහෙව් එකේ මූ මොනවද ලියුම් වල ලියන්නේ බලන්ඩ දවසක් අර ළමයා ලියුමක් දිග ඇරලා බැලුවා. ලියුම හරි ලස්සනයි. හිත ඇද ගන්නවා. පෙන විදිහට ලතාත් මූට ලියනවා. ඒත් පොඩි පරහකට තිබ්බේ ලියුම අස්සං කරලා තිබ්බ එකා..ආදරණීය නිමල් අයියා!! බැලින්නං නිමල් අයිය යාලු වෙලා හිටපු ගෑල්ලමයා තමයි ලතා. බාචියා කරලා තියෙන්නේ ලියුං කාරයාගේ ජොබ් එක. ඒ වගකීම දෙන එකට තමයි බාචියා සිකරට් හතර ගානේ කඹුරලා තියෙන්නේ. උදව් කරපු එකීට තව අයිස් පැකට් එක ගානෙත් දීලා!!!

මෙතන අන්ධයා තමයි බාචි. ඌට වෙන විදිහක් තිබ්බේ නෑ ආදරේ කියන්ඩ. කොරා වෙච්ච නිමල් අයියට බෝනස් එකක් තමයි බාචි හරහා ලියුම් ගනුදෙනුව. හැබැයි ඌට බාචි නැතුව උනත් ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ මේ සිද්ධිය හින්ද යකා නැග්ග බාචි සුටුස් ගාලා මේ ආරංචිය සිමියොන් මාමගේ කනේ තිබ්බේ නැත්තං. බාචියා කලේ ඒක. එයින් අවුරුදු දෙක තුනක් තිස්සේ තිබ්බ නිමල් - ලතා සම්බන්ධෙට සොරි ඩොට් කොම් උනා.

අන්ධයාට සිද්ධ උනා කොරාව කර උඩ තියාගෙන යන්ඩ. ඒ තමන්ගේ පැවැත්ම වෙනුවෙන්. කොරාට මේක බෝනස් එකක්. හැබැයි කොරා හරි පැත්තට අන්ධයාවත් ගෙනිච්ච නං දෙන්නම ගොඩ. හැබැයි තව එකෙක්ගේ කරේ යන්ඩ හම්බෙච්ච ආතල් එක වැරදි විදිහට පාවිච්චි කරපු කොරාටත් ගේම හම්බ උනා. මට හිතෙනවා ආගම්වාද ජාති වාද වගේ දේවලුත් අන්ධයෝ කියලා. අපි තාක්ෂනේ පාවිච්චි කලේ වැරදි දේවල් පතුරුවන්ඩ. ආදරය වෙනුවට වෛරය පතුරුවන්ඩ. මෙතෙන්දි සිංහල මුස්ලිම් දෙපැත්තේම ඉන්න අඳ බාල අන්තවාදියෝ එකයි. මේ ප්‍රශ්නේ ඔච්චර ඔඩු දිව්වේ දියුණු තාක්ෂනේ වැරදි විදිහට පාවිච්චි කරපු හිංදා.

මෙතෙන්දි විතරක් නෙවෙයි හැම තැනකදීම අපි තාක්ෂනේ හරි දේට හරි විදිහට පාවිච්චි කරන්ඩ උත්සාහ ගම්මු. ආගම් වාදය ජාති වාදය විතරක් නෙවෙයි ෆෙං ෂුයි වාදය, බොරු වෛද්‍ය උපදෙස් වාදය වගේ මෝඩ අදහසුත් තාක්ෂනය හරහා පතුරුවන එක නවත්තමු. එහෙම අලුතෙන් හිතලා අලුතෙන් වැඩක් කරන හෙට දවසක් අපේ රටට උදා කර ගම්මු!!
අපි දෙගොල්ලම එකම පන්තියේ. අපි එක එකා අපි අතරෙම සටන් කරනවා වෙනුවට අපි එක එකා වෙනුවෙන් සටන් කරමු!!!

හැමෝටම ආවඩා ආයුබෝ වේවා!!!


21 comments:

  1. //මෙතෙන්දි විතරක් නෙවෙයි හැම තැනකදීම අපි තාක්ෂනේ හරි දේට හරි විදිහට පාවිච්චි කරන්ඩ උත්සාහ ගම්මු. ආගම් වාදය ජාති වාදය විතරක් නෙවෙයි ෆෙං ෂුයි වාදය, බොරු වෛද්‍ය උපදෙස් වාදය වගේ මෝඩ අදහසුත් තාක්ෂනය හරහා පතුරුවන එක නවත්තමු. එහෙම අලුතෙන් හිතලා අලුතෙන් වැඩක් කරන හෙට දවසක් අපේ රටට උදා කර ගම්මු!!
    අපි දෙගොල්ලම එකම පන්තියේ. අපි එක එකා අපි අතරෙම සටන් කරනවා වෙනුවට අපි එක එකා වෙනුවෙන් සටන් කරමු!!!//

    මේ සිරි ලංකාවේද මල්ලි?

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපතුමනි ඔව්. ඇයි හා බැයිද?

      Delete
  2. muslima agama danne nathiwa owa liyana eka waradi...
    wena agamaka ewunwa maruwama deviyan langata yanna puluwani

    ReplyDelete
  3. හිතට නොගෙන බෙදෙන්නෙ ඇයි ගෙන සල්ලී
    රටට එයින් අවැඩක්මයි වන පිල්ලී
    හොඳට හිතමු කුමටද වෛරයෙ එල්ලී
    ඔබට තුතිය දෙමි ලිපියට ළොකු මල්ලී.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ.... කවි වලින් උත්තර දුන්නම අපි කොහොමෙයි ආපහු උත්තර දෙන්නේ? මේක හරි අසාධාරණ ලෝකයක් අප්පා....ඇයි අපිට කවි ලියන්ඩ බැරි?

      Delete
  4. මට ආපු අදහසක් හරිද දන්නෙ නෑ.

    ෙෆ්ස් බුක් එක බ්ලොක් කරනවට වඩා
    අපිට බැරිද එක ටීම් එකක් හදන්න බුකිය හරහා අන්තවාදය පතුරන උදවියව රිපෝට් කරල ඒ එකවුනට් ටික බ්ලොක් කරල දාන්න?
    මම දැකපු සමහර ගෘප් වල ෙසට් එකක් ඉනනව උන්ට එරෙහිව කව්රු හරි මොනාහරි කීවොත් උන් ඒ කෙනාව එකදිගටම රිපෝට් කරනට ඊට පස්සෙ අරුට සදා සොත්ති.

    ජාතවාදය පිටු දකින්න කැමති අයව දාල ගෘප් එකක් හදාගන්නව ඊට පස්සෙ දකින හැම ජරා පෝස්ට් එක්කම ලිනක් එක ඒකට දානව පැය ගානක් ඇතුලට බබා හම්ම වෙයි.
    මට ආපු අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි, හෙට අනිද්දා වීදූරු බෝතල් තහනමක් ගෙන එන්න යන්නේ. මොකෝ ඉලාස්ටික් බෝතල්ලොල පැස්ටෝල් බෝම්බ හදන්න බෑ නේ...

      Delete
  5. මද්ද කියල තියෙනව වගේ අදහසක් තමයි මටත් තියෙන්නෙ. පසුගිය ගංවතුර කාලෙ ෆේස්බුක් වල හැසිරීම අනුව ඒක කරන්න බැරි වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි, හෙට අනිද්දා වීදූරු බෝතල් තහනමක් ගෙන එන්න යන්නේ. මොකෝ ඉලාස්ටික් බෝතල්ලොල පැස්ටෝල් බෝම්බ හදන්න බෑ නේ...

      Delete
    2. කො.ක.ස. සභාපති තුමා විදිහට පටං ගත්තොත් මක්ක වෙයිද එහෙම වැඩක්?

      Delete
  6. බොහොම හරි ලොකු මල්ලි තුමනි. ඔය අන්දය කොරාව උස්සන් යන අතරේ ගිජු ලිහිණියෙක් කොරාගේ උරිස්සේ වහලා ඉන්නවා අත්තටු දෙකම විදහාගෙන. අපේ යාළුවො දෙන්න හිතන්නේ සෙවන දෙන්න කියලා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගිජු ලිහිණි ඉන්නවද අප්පා? මගේ හිතේ පොඩි ගේ කුරුල්ලෙක් වෙන්ටෑ!! ඔය ගේ කුරුල්ලෝ මහා භයානක වැඩ කරනවා හිටපු ගමන්. ගිජු ලිහිණි වගේ නෙවෙයි.

      Delete
  7. මුණු පොතේ සමහර aය ලියන්නේ අමු තිත්ත කුණුහරුප . හිතන්නේ එක තමයි පොරත්වය කියල ඒ අයගේ විස්තර බලපුවම දුකක් හිතෙනවා.ඒ අතරේ සමහර ඉගෙන ගත්තු අයත් ඉන්නවා.මමනම් හිතන්නේ මේකටත් යම් පාලනයක් ඕන කියල.

    ReplyDelete
    Replies
    1. මොකද්ද එහෙම අයගේ උගත්කම දසනායක තුමනි. පොත් පාඩම් කරපු එක උගත් කමක් නෙවෙයි නේද?

      Delete
  8. පිස්සන් මන්ද බුද්ධිකයින් හා අන්තවාදීන් lunatic fringe එකේ හැම රටේම ඉන්නවා
    ඒත් ලංකාවේ ප්‍රවණතාවයක් ආවා උන් main stream වෙන්න. විශේෂයින් සමාජ මාධ්‍යවල. ඒවායේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙන් සෑහෙන කොටසකුත් අරුන් තමයි හරි කියන මට්ටමට හා උන්ගේ විකාර ශෙයාර් කරන පුරුද්දට ආවා.
    රිසල්ට් එක රට ගිනිගන්නවා හැමෝටම පාඩු වෙනවා.

    ReplyDelete
  9. මල්ලි නං කියයි.... වෝල් එකේ තියෙන හැම කුණුගොඩටම ලයික් එකක් දාල, ශෙයාර් කලේ නැත්නම්, කට්ටිය තරහා වෙනවා...සමහර එවුං වලියටත් එනවා. යුතුකං දන්නේ නෑ කියලා බැනුම් අහන්නත් වෙනවා ;-)

    ReplyDelete