Saturday, June 9, 2018

යවෙස් ලූ මිනිසා


මේං ආයෙත් තියනවලු! අපේ නෝන මහත්තයා කිව්වා.

මොකක්ද?

අර පොත් ප්‍රදර්ශනේ!

මොන? මගේ මතකයට එන පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්තැම්බර් වලය. මේ කියන්නේ ඒ ගැන වෙන්නට බැරිය.

බිග් බෑඩ් වුල්ෆ්!

නෑ..! කවද්ද තියෙන්නේ?

මේ දැම්මම කියන්නේ ගියාට කමක් නෑ කියවනවනං විතරක් පොත් ගේන්ඩ. නැතුව ගොඩ ගහගෙන තියන්ඩ නං මේ පැත්ත පළාතේ ගේන්ඩ එපා හොඳද...

මොනවද මම ගෙනැල්ලා නොකියවපු පොත්?

අර තියෙන්නේ තොගයක්ම...

ඒ කියන්නේ මේ පාර බිග් බෑඩ් වුල්ෆ් එකට යන්ඩ කලියෙන් ඒ පොත් ටික කියවලා ඉවර කරන්ඩ ඕන බවය. නැත්තං මේ කන්කෙඳිරිය තව හය හත් වතාවක් වත් අහන්ඩ වෙනු ඇත. මේ දිනවල අපේ පැත්තට ඇද හැලෙන අනෝරා එක්ක කරන්ඩ හොඳම වැඩක් තමයි පොතක් කියවන එක. ඉතිං මාත් බැලුවා මොනවද මම ගෙදරට ගෙනැල්ලා නොකියවපු පොත් කියලා. මෙන්න තියනවා ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ සුප්‍රසිද්ධ තුන් ඈඳුතු නවකතාව. ඩාහ් ටැන්යොන් ගේ කතාව! එහෙම කියන එක ටිකක් වැරදියි. මොකද මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වේ තිස්සගේ කතාව නෙවෙයිනේ...ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය . ඒ හිංදා ඩූමා ලියපු නවකතා ටිකේ නම් වලින්ම කියනවා නං   ත්‍රී මස්කටියර්ස්, ට්වෙන්ටි ඉයර්ස් ආෆ්ටර් සහ ද විකොම් ඔෆ් බ්‍රජ්ලන් - ටෙන් ඉයර්ස් ලේටර් (මම මේ ප්‍රංශ වචන කියවන විදිහ වැරදි නං හරි විදිහ කියල දෙන්ඩ ඕන මේක කියවන නෝනලා මහත්තුරු). සුප්‍රසිද්ධ මෑන් ඉන් ද අයන් මාස්ක් එහෙම නැත්තං යවෙස් ලූ මිනිසා හම්බ වෙන්නේ මේ තුන්වැනි නවකතාවේ දී.

තදින් වැස්ස වැටෙන වෙලාවක පුටුවේ හාන්සි වෙලා පොතක් කියවන එක මොන තරං ජොලි වැඩක්ද!!!
මම බන්ධනාගාරේ අඳුරු කොරිඩෝවක් දිගේ යමින් හිටියා. පත්වීම හම්බ වෙලා දවස් දෙකයි. අද තමයි මේ පැත්තට අඩිය ගහන්ඩවත් හම්බ උනේ. මේ වෝර්ඩ් එක එහෙම නැත්තං හිර ගෙදර සාමාජිකයෝ කියන විදිහට වාට්ටුව අනිත් වාට්ටු වලට වඩා වෙනස්. හිරකාරයෝ උතුරලා ගිය අනික් වාට්ටු වලට වඩා මේ වාට්ටුව හරිම පාලුයි. එක අතකින් නිස්කලංකයි කිව්ව හැකි. හැබැයි මේ කාමර වල වෙන වෙනම රඳවලා ඉන්නේ රටේ ඉන්න භයානකම මිනිස්සු. එහෙම නැත්තං මොකක් හරි හේතුවකට කවදාවත් සමාජයත් එක්ක නැවත එක් නොවිය යුතුයි කියල ආණ්ඩුව කල්පනා කරන මිනිස්සු. අඩු ගානේ හිර ගෙදර පාලකයා විදිහට මට වත් ඒ අයත් එක්ක කතා කරන්ඩ අවසරයක් නෑ. ඉතින් මම තව ජේලර් ලා දෙන්නෙක් එක්ක ඔහේ ඇවිදගෙන යන ගමනුයි හිටියේ.

ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන්.... රබානක සද්දේ!

පළමුව මම වැන්ද බුදුන් සිහි කරගෙන ඒ ගුණ කඳ
දෙවනුව මහ ධර්මරත්නෙ මුදුනත් කර මෙන්න වැන්ද
තෙවනුව මහා සංඝරත්නෙ වැඳ සුරන්ට පින්දී නෙක
කියනව මම මගෙ අවනඩු බිත්ති හතරකට ඇහෙන්ඩ
ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන්....

මට එක පාරටම මතක් උනේ දයානන්ද ගුණවර්ධන මහත්තයගේ මධුර ජවනිකා නාට්‍යය. ජැක්සන් ඇන්තනිත් එක්ක අනුලා බුලත්සිංහල නෝන හරි ලස්සනට රඟ දක්වපු ජවනිකාවේ මුල් පද ටික වෙනස් කරලා මේ හිර කාරයා ගායනා කරනවා.

කවුද ඒ?

9115 සර්!

මොකා? මම ඇහුවේ මනුස්සයගේ නම...මට ඔය  නොම්මර කියන්ඩ එපා.

නමක් දන්නේ නෑ සර්

තමුසෙලා නෙවෙයිද මේ වාට්ටුවේ ජේලර් ලා?

අපි තමයි සර්....ජේලර් ලා දෙන්න සීරුවෙන් ඉඳ ගෙන සැලියුට් එකක් ගැහුවා

එහෙනං මේ මනුස්සයගේ නම දන්නේ නෑ කිව්වේ?

රෙජිස්ට්‍රියටවත් නමක් දාලා නෑ සර්!

ඒ මොකද?

දන්නේ නෑ සර්!

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන්....
ඉදිකටු ඇණ ඇස් උගුලා දෙතිස් වධය පමුණුවන්න ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන්....

ඒ ගමන මේ මනුස්සය නන්දා මාලිනි ගේ සිංදුවක් විරිදු විදිහට කියනවා. අනුන්ගේ දෙයක් උනත් මනුස්සයා අලුත් රහක් එක්කහු කරලා තමන්ගේ වගේ කියනවා. මම ඒ හිර කූඩුව ලඟට ගියේ මේ මනුස්සයා කවුද කියල බලාගන්ඩ ඇති වෙච්ච ආසාව හින්දමයි.

ඒත් අනික් ඕනෑම දරුණු හිර කාරයෙක් ගේ කාමරේ උනත් දොරේ තියන නැරඹුම් කවුළුවක් වත් මේ දොරේ නෑ. හරි පුදුම දොරක්!

අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්...
ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ට්‍රාන්....

මට දැන් මේ හිර කාරයා බලන කල් ඉස්පාසුවක් නෑ.

ගන්නවා මේ කාමරේ යතුර!

මේකට යතුරක් නෑ සර්!

යතුරක් නැති දොරවල් කොහෙද අයිසේ....තමුසෙලා අතින් යතුර නැති උනාද?

නෑ සර්...මේ හිර කාරයා ගෙනාපු අය දොර වැල්ඩින් කරලා ගියේ. යතුරු හිල වහලා දැම්මා ඒ අය.

යකෝ මේක මාර කතාවක්නේ....නමක් නැති හිර කාරයෙක් අරින්ඩ වහන්ඩ බැරි කාමරේක හිර කරලා රටේ තියන ආරක්ෂිතම හිර ගෙදර!

මතක තියා ගන්නවා මට බොරු කියලා අහු උනොත් මම තමුසෙලාව එල්ලනවා!

දෙයියම්පා ඇත්ත සර්. අපි ඉතිං මොනව කරන්ඩද ඉහලින් එන ඕඩර්ස් වලට!

මේ මනුස්සයට කන්ඩ දෙන්නේවත් කොහොමද?

මෙතනින් සර්...දොරේ යට හදලා තිබ්බ පොඩි කවුළුවක් ජේලර්ලා දෙන්න පෙන්නුවා.

රට ගිනි ගෙන ඇති වග දුටු මමත් මගේ සෝයුරන්
එගිනි නිවන මගසෙවීම වරදක් දැයි මට කියන්
ඩ්‍රන් ට්‍රන් ට්‍රන් ඩ්‍රන් ට්‍රන් ට්‍රන්....

මම බිම දිගා වෙලා කවුළුව ඇරියා. ඒ දැක්ක දෙයින් මගේ ඇඟ කිලි පොලා ගියා.

නමක් නැති හිරකාරයාට මූණකුත් නෑ! බෙල්ලෙන් උඩ කොටස වැහෙන්ඩ යකඩ හිස් වැස්මක් දාලා......!!!!!

යවෙස් ලූ මිනිසා......! මට හිමිහිට කියවුනා...දෙයියනේ මේක ඇත්තක්ද? මම හිතුවේ ඒ කතාව ඩූමා ගේ පොත් වල එන බොරු කතන්දරයක් කියලා...!!

සුදු නැෂනල් එකක් ඇඳ ගත්තු හීන්දෑරි විරිදු ගායකයා එක්ක වචනයක් හරි කතා කරන්ඩ මට ඕන උනා.

තමුසෙගේ නම මොකද්ද?

ඔහු රබන් වාදනය නවත්තලා දොර දිහා බැලුවා. ඊට පස්සේ හෙමිහිට දොර දිහාට ඇවිදගෙන ආවා.

ඔබතුමා කවුද?

මම මෙහෙට ආපු අලුත් බන්ධනාගාර පාලක

හොඳයි. රාජකාරිය හොඳින් කරන්ඩ. දූෂනේට යට වෙන්ඩ එපා

ඔහේගෙ නම මොකද්ද?

මහත්තයා මගේ නම දැනගත්තු බව අරුන් දැන ගත්තොත් උන් මහත්තයවත් කාර් එක ඇතුලෙම මරලා දායි!

ඔහෙට මොනවද ඕන?

මට ඕන දේ ඔබතුමාට දෙන්ඩ බෑ. අඩු ගානේ හරියට මේක පාලනය කරන්ඩකෝ මට ඒ ඇති....

වෙන හිරකාරයෙකුට එහෙම අවස්තාවක් හම්බ උනා නං මොනතරං දේවල් ඉල්ලනවද කියල මම අත්දැකීමෙන් දැනං හිටියා. ඒ හින්දම මේ හිරකාරයාගේ ලොකු වෙනසක් මට පෙනුනා. මොකා උනත් කමක් නෑ මනුස්සයෙක්නේ කියල හිතාගෙන ඊට පස්සේ ඉඩ ලැබෙන හැම වෙලාවේම මම යවෙස් ලූ මිනිසා බලන්ඩ ගියා. මුලින් වචන විස්සකට තිහකට සීමා වෙච්චි අපේ කතා බහ ටික ටික දික් උනා. හැබැයි තවම ඔහු තමුන්ගේ නමවත් වෙන පෞද්ගලික විස්තරයක්වත් මාත් එක්ක කිව්වේ නෑ. ගිය සතියේ මම ඔහු බලන්ඩ ගියා. 

මට අද හරි සන්තෝස දවසක්. මම කිව්වා.

ඇයි විශේෂ යමක් තියෙනවද? යවෙස් ලූ මිනිසා ඇහුවා

ඔව්...මගේ නෝනට පුතෙක් හම්බ උනා අද...

ඇත්තට හරි සතුටුයි. ඒත්.....

ඇයි ඒත් කියල නැවැත්තුවේ...?

මම මෙහෙම ඇහැව්වට තරහ වෙන්ඩ එපා. ඔබතුමාට වෙන පිටස්තර සම්බන්ධයක් එහෙම තියනවද?

ඒ කිව්වේ?

ඒ කියන්නේ නෝන මහත්තයාගෙන් පිට කවුරු හරි එක්ක

පිස්සුද? මට එහෙම සම්බන්ධයක් නෑ. ඇයි එහෙම ඇහුවේ?

අපේ තාත්තට එහෙම සම්බන්ධයක් තිබ්බා. මම ඉපදුනු කාලෙම තාත්තට දාව තව දරුවෙක් ඉපදුනා.

ඒ කියන්නේ අවජාතක දරුවෙක්..

හ්ම්...ඒ මල්ලිත් මං වගේමයි. හුගක් අය හිතුවේ අපි නිවුන්නු කියලා.

ඉතිං?

මම බොහොම අමාරුවෙන් මගේ බලාපොරොත්තු ඉලක්ක වලට යද්දී ඒ මල්ලි නරක යාළුවො ආශ්‍රය කළා. කරන්ඩ තියන දහ පදුරා වැඩ ඔක්කොම කළා. අන්තිමට....

ඇයි මොකද උනේ?

මම යහපාලනේ හැදුවා විතරයි ඒ මල්ලියි මගේ හතුරොයි එක්කහු වෙලා මාව අල්ලගෙන මෙහෙ හිරකලා!

මොනවා!!! ඒ කියන්නේ....තමු....ඔබ තුමා අපේ ජ.....?

හිහ්...හිහ්...ඔච්චර පුදුම වෙන්ඩ දෙයක් එපා මහත්තයා....ඇයි ඔබතුමාලා හිතුවේ මම මැරිලා ඉපදිලා කියලද කියපු කරපු ඔක්කොම අමතක වෙලා වගේ වැඩ කරන කොට...!

ඒ කියන්නේ දැන් ඉන්නේ අපි චන්දෙ දීපු කෙනා නෙවෙයි....

මහත්තයා නාට්‍ය බලලා තියනවා නේද?

ඔව්!

මහත්තයා දැකලා ඇති සමහරු නාට්‍යය ඉවරවෙන්ඩ ඉස්සරලා අප්පුඩි ගහනවා. ඒ අය හිතන්නේ නාට්‍යය ඉවරයි කියල එක ජවනිකාවකින්.

ඔව් මම එහෙම අය දැකලා තියනවා...

තව සමහරු ඉන්නවා නාට්‍යය ඉවර වෙලත් වේදිකාව දිහා බලාගෙන ඉන්නවා තව කෑල්ලක් තියෙයි. දැනට තිබ්බ අවසානෙට  වඩා වෙනස් අවසානයක් මේ නාට්ටියට තියෙයි කියලා.

අම්මප එහෙම අයත් ඉන්නවා නේන්නං

නාට්‍යය ඉවර වෙන්ඩ ඉස්සර අප්පුඩි ගහන මිනිස්සුන්ට වඩා මෝඩයි මහත්තයා නාට්‍යය ඉවර වෙලත් ස්ටේජ් එක දිහා බලා ඉන්න මිනිස්සු!!

ඒක ඇත්ත!

ඉතිං අයි මනුස්සයෝ එහෙමනං ඒක ඇත්ත ඒක ඇත්ත කිය කියා තවත් ඉඳගෙන උඩ බලාගෙන ඉන්නේ නැගිටලා යනවකො එලියට !!! 

මගේ ඔලුව කැරකිල්ල වගේ හැදුනා. ඒ හිංදා මම දුවගෙන දුවගෙන ආවා එළියට හුස්මක් ගන්ඩ...

දින සීය ගැන මම මොකුත් දන්නේ නෑ!! ඉස්සරහ පත්තර ලෑල්ලේ තිබ්බ පත්තරේක ලොකු අකුරින් තිබ්බා.

9115! හිරකාරයාගේ අංකය...මට දැනුයි තේරෙන්නේ...අපේ ඇස් ඉදිරිපිට පේන්ඩ තිබ්බත සමහර දේවල් අපිට පේනවා විතරයි අපි දකින්නේ නෑ. 9115 කියන්නේ 09.01.2015 ම නේද?

බිග් බෑඩ් වුල්ෆ් ඈත ඉඳන් හූ තුනක් තිබ්බා. මම නින්දෙන් ගැස්සිලා ඇහැරුනා.

මට මතක් උනා ප්‍රත්‍ය ශතකයේ අනූ අටවෙනි ශ්ලෝකය.

කාකොපි කාඤ්චන මිති යදි ගාත්‍ර සර්වේ 
මාණික්‍යනීලමණිකණ්ඨමයප්‍රපෙදෙ,
එකෙයිකක පත්‍ර නවරත්න මාණික්‍යබන්ධ:
තථාපි කාකො නව රාජ හංස:

කපුටාගේ සකල ශරීරයෙහි රත්තරං අඹරා ගාමින් නිල මාණික්‍ය ආදිය බොටුවෙහි එල්ලා නවරත්න මාණික්‍ය එම කපුටාගේ පිහාටුවල එක බැගින් බැඳ එල්වූ නමුත් හංස රාජයෙක් නොවෙයි. ඒ කපුටාම බව දත යුතුය.


18 comments:

  1. Big bad wolf coming back, when ?

    ReplyDelete
    Replies
    1. If you are referring to the book exhibition it will start from 28 june. If you are referring to a person your guess is as good as mine

      Delete
    2. Oh god, i meant the exhibition. Thankx bro

      Delete
  2. එහෙමයි එහෙනම් වෙලා තියෙන්නෙ....විස්වාසයි නේද එක වගේ දෙන්නයි හිටියෙ කියල?

    ReplyDelete
    Replies
    1. අඩු ගානේ දෙන්නෙක්...සමහර විට ඊට වැඩිද කියලත් හිතෙනවා නේද..

      Delete
  3. ඇඬෙනවා අයිෂේ. කට්ටිය අපරාදේ සිරාට බණින්නේ.අහිංසකයා දැනටමත් හිරේ

    ReplyDelete
  4. ඔබ ඔය කියන සිද්ධියට සමාන සිද්ධියක් යසලාලක තිස්ස රජ්ජුරුවන්ට හැබැහින්ම උනා නේ . ඊට පස්සේ ජේ ආර් ටත් ඔබ ඔය කියන සිද්ධියම (වෙනසකට තියෙන්නේ හැබෑ ජේ ආර් අංගොඩ ඇරිය බවත් පිස්සා රට පාලනය කල බවත් නේ ) උනා කියලා රටේම ප්‍රසිද්ධ කතාවක් තිබුනානේ. ඉතින් ඔබගේ කතාවත් ඉතාම කාලෝචිතයි. ස්තුතියි.

    ReplyDelete
  5. ඒකනම් වෙන්න පුළුවන් කරන්නෙම අවජාතක වැඩ

    ReplyDelete
  6. https://gadyanohothkavi.blogspot.com/2018/06/blog-post_98.html

    ReplyDelete
  7. What a creative writing!!!
    I enjoyed a lot reading it.
    Keep up the good work.

    ReplyDelete
  8. වෙන කියන්න දෙයක් නෑ

    ඇක්ස්ට්‍රා ඕඩිනරි...


    ReplyDelete
  9. මෙන්න කතාව /නාට්‍යය ඉවර වෙන්ඩ ඉස්සර අප්පුඩි ගහන මිනිස්සුන්ට වඩා මෝඩයි මහත්තයා නාට්‍යය ඉවර වෙලත් ස්ටේජ් එක දිහා බලා ඉන්න මිනිස්සු!!

    ඒක ඇත්ත!

    ඉතිං අයි මනුස්සයෝ එහෙමනං ඒක ඇත්ත ඒක ඇත්ත කිය කියා තවත් ඉඳගෙන උඩ බලාගෙන ඉන්නේ නැගිටලා යනවකො එලියට !//

    ReplyDelete
  10. ඔය යකඩ වැස්ම ගෙන හිටිය මිනිසා ඇත්ත කටහ්වක් නේ. ඩුමා ප්‍රබන්ධයක් වගේ ලිව්වට.
    The Man in the Iron Mask (French: L'Homme au Masque de Fer; c. 1640 – 19 November 1703) is the name given to an unidentified prisoner who was arrested in 1669 or 1670 and subsequently held in a number of French prisons, including the Bastille and the Fortress of Pignerol (modern Pinerolo, Italy). He was held in the custody of the same jailer, Bénigne Dauvergne de Saint-Mars, for a period of 34 years. He died on 19 November 1703 under the name "Marchioly", during the reign of Louis XIV of France (1643–1715). Since no one ever saw his face because it was hidden by a mask of black velvet cloth, the true identity of the prisoner remains a mystery; it has been extensively debated by historians, and various theories have been expounded in numerous books and films.

    ReplyDelete
  11. හෙනං ඒමයි සිද්ධවෙලා තියෙන්නෙ හිටං.

    ලියවිල්ල පංකාදු පහයි ලොක්කො.

    ReplyDelete
  12. +++++++++++++++++++++++++++++++++++++


    The Vicomte of Bragelonne: Ten Years Later (Le Vicomte de Bragelonne ou Dix ans plus tard.)

    http://www.rightpronunciation.com/languages/french/le-vicomte-de-bragelonne-16842.asp?id1=8&page=100
    "ල විකෝම් ඩි බ්‍රශලාන්" වගේ.

    ප්‍රංශ ප්‍රොනවුන්ස් කරන්න අමාරුම බාසාවක්නෙ. පුලුවන් තරම් හාර්ඩ් සවුන්ඩ් එන අකුරු සයිලන්ට් කරල "ශ" වැඩි කරල පුලුවන් තරම් blur කරල කරන්න වෙන්නෙ. :-D

    ReplyDelete
  13. this is one of your best writing bro...! supiri

    ReplyDelete