Saturday, August 4, 2018

හаදය සාක්ෂිය එල්ලා මරණු!



මේ දවස් වල මොකක් හරි වැඩකට දෙතුන් දෙනෙක් එක්ක සෙට් උනොත් ඔන්න ටික වෙලාවකින් මාතෘකාව වෙනස් වෙලා මරණීය දණ්ඩනයෙන් තමයි වැඩේ නවතින්නේ. මෙහෙම ෆිෆ්ටි ෆිෆ්ටි බෙදිච්ච මතයක් මීට ඉස්සර මම දැක්කේ 2005 ජනාධිපතිවරනෙට ටික දවසකට ඉස්සර විතරයි. සමහරු එල්ලා මැරීමට තදින්ම විරුද්ධයි. සමහරු තදින්ම පක්ෂයි. අනික ජනාධිපතිතුමා කියල තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට අහුවෙලා මරණීය දණ්ඩනය නියම වෙලා හිරබත් කද්දි තවදුරටත් ඒ ජාවාරමේ ඉන්න එවුන්ව එල්ලනවා කියලනේ. ඉතින් එහෙව් එකෙක් එල්ලනවට විරුද්ධ වෙන්නේ මොකාද? මෙච්චර කල් මිනිස්සුන්ගේ වියදමෙන් කන්ඩ බොන්ඩ දීලා මේ අපරාධකාරයන්ව තියාගන්ඩ තීරණය කරපු එකාවයි එල්ලන්ඩ ඕන.නැද්ද මං අහන්නේ? අනික් අතට මිනිහෙක්ව එල්ලලා හරි වෙන විදිහකින් හරි මරන්ඩ තවත් මනුස්සයෙකුට අයිතියක් තියනවද?

අපරාධකාරයෙකුට දෙන්ඩ පුළුවන් උපරිම දඬුවම මරණයද නැත්තං සමාවද? මෙන්න මේ වගේ කතන්දරත් ඕන තරං ඇහෙනවා.

අපරාධකාරයා අමතක කරලා රටේ මානව හිමිකම් පැත්තෙන් මේක දිහා බලන චරිතත් ඉන්නවා. අපි මොකෙක් හරි එල්ලලා මැරුවොත් ජී.එස්.පී. ප්ලස් අහක් කරයිද? අපිට විරුද්ධව මානව හිමිකම් වලි වැටෙයිද? නිකං මොකටද ඕන නැති නයි රෙද්ද අස්සෙ දා ගන්නේ? බුදු හාමුදුරුවන්ගේ කාලෙත් දඬුවමක් විදිහට අපරාධ කාරයාගේ දිවි තොර කිරීම තිබ්බා. ඉතින් දැන් නමට විතරක් බෞද්ධ වෙච්ච අපේ රටේ එහෙම එකක් තිබ්බට මොකෝ? අනික ඇත්තටම මේක ත්‍රස්ත උපායක්. මැරෙන්නේ එකෙක් දෙන්නෙක් උනාට බය වෙන උන් වැඩියි. ඒ හින්දා අපරාධ වලට පෙළඹෙන උන් අඩු වෙන්ඩ පුළුවන්. මෙන්න මේ වගේ කතාත් ඕන තරං මම පහුගිය ටිකේ ඇහුවා.


ඇත්තටම අනිත් මිනිස්සුන්ගෙ අදහස් පැත්තකින් තිබ්බොත් මටම කියල මේ ගැන අදහසක් තියනවද? ඔන්න එතකොට තමයි තේරුනේ යකඩෝ මමත් මේ එක එකා කියන එව්වා අහ අහ ඉන්නවා මිසක්ක මගේම කියල අදහසක් නෑ නේද කියල. ඒ හින්දම මම නීතීඥයෙක් නොවුනත් ඉන්ටනෙට් එකෙන් බා ගත්තා අපරාධ නඩු විධාන සංග්‍රහය. ලං කරගත්තා තව පොත් දෙක තුනකුත්. ඔන්න මම කියවනවා. ඒ ගමන් හිතනවා. ඒ හිතන දේ ලියනවා. ඔබ තමුන්නාන්සෙලා කැමති නං කියවලා මම මේ සද්ද ඇහෙන විදිහට හිතෙන - අර ඉංගිරිසියෙන් කියන්නේ තින්කින් ලවුඩ් ද මොකද්ද කියලා- දේවල් ගැන අදහසක් කිව්වොත් වටිනවා.

ඔය දණ්ඩ නීති සංග්‍රහයේ 35 චේදයේ මෙන්න මෙහෙම තියනවා (පරිවර්තන දෝෂ ගැන මට සමාවෙන්න ඕන).

ක්‍රියා කිහිපයක එකතුවක් ලෙස යම් වරදක් සිදු කරනු ලැබුව හොත්, තනි තනිව හෝ තවත් පුද්ගලයෙකු සමග කණ්ඩායමක් ලෙස ඒ එක් එක් ක්‍රියාවන් සඳහා චේතනාන්විතව දායක වන සියලු දෙනා එම වරද සිදු කිරීමට වග කිව යුත්තෝය.

මෙන්න මේක විස්තර කරන්ඩ උදාහරණ දෙකක් එහිම දීලා තියනවා. මෙන්න දෙවෙනි උදාහරණය.

A සහ B යනු Z යන සිරකරුවා සම්බන්ධ වගකීම් දරන ජේලර් වරුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා පැය හයේ කාලාන්තරයක් එකිනෙකාගෙන් පසු අනෙකා ලෙස සිරකරු පිලිබඳ වගකීම් දරයි. Z ගේ මරණය සිදු කිරීම සඳහා චේතනාන්විතව තම තමුන්ගේ මුර කාලය තුලදී නීති විරෝධී ලෙස Z හට ආහාර ලබා දීම A හා B විසින් වළකනු ලැබේ. ආහාර නැති කමින් Z මිය යන අතර ඔහුගේ මරණය සම්බන්ධයෙන් A හා B වරදකරුවන් වෙති.
ඔන්න දැන් අපි මතක් කරගන්ඩ ඕන අපි ජීවත් වෙන්නේ ආයුද පෙන්නන්ඩ එහෙම නැත්තං හංගපු ඇඳුම් පෙන්නන්ඩ ගෙනියන අත්වලට මාංචු දාපු හිරකාරයෝ එක පාරටම අත් බෝම්බ අරන් පොලිසියට දමල ගහන්ඩ ගිහින් වෙඩි කාලා මැරෙන රටක කියලා.

මට නිකමට හිතෙන කාරනා දෙකක් තියනවා.

එක - මරණීය දණ්ඩනය නියම වෙලා හිරගේ ඇතුලට ආපු හිර කාරයෝ තාමත් පිට සමාජයේ කුඩු ජාවාරං මෙහෙය වනවා නං ඊකට කවුරු හරි හිරගේ ඇතුලේ උදව් කරන කෙනෙක් ඉන්ඩ ඕන. නැතුව මේ හිරකාරයෝ එර්දි බල තියන උන් නෙවෙයිනේ. එහෙම නං ඒ උදව් කරන එකාත් වැරැද්දේ හවුල් කාරයෙක් දණ්ඩ නීති සංග්‍රහයට අනුව. අපරාදෙට සම්බන්ධ එකෙක් එල්ලුම් ගස් යනවා. අනිකා ආණ්ඩුවෙන් පඩි අරගෙන දිගටම කුඩු බිස්නස් කරනවා. මොකද්දෝ අවුලක් තියනවා වගේ මට හිතෙන්නේ!!

දෙක - හිරගෙදර ඉන්න උත්තමයන්ට හරි කුඩු බිස්නස් එකේ ඉන්න තරගකාරී ව්‍යාපාරිකයන්ට හරි හිතෙනවා අහවලාව මරන්ඩ ඕන කියල. ඇත්තටම හිරේට ආවට පස්සේ කුඩු බිස්නස් වලට සම්බන්ධයක් නැති උනත් කුඩු පැකට් කීපයක්, මොබයිල් ෆෝන් දෙක තුනක්, කුඩු බෙදාහරින්නන්ගේ විස්තර ටිකක් තියන කොළ කීපයක්  අදාළ හිර කූඩුවට දාලා නඩුවක් පටලවන්ඩ බැරිද? ආය මොකටද කොන්ත්‍රාත් දීල මරවන්නේ මෙන්න ආණ්ඩුව ගානේ වැඩේ කෙරෙනවනේ. 

ඔන්න දැන් නීති පොත පැත්තකින් තිබ්බා. තව කියෙව්වොත් තව දේවල් හොයා ගන්ඩ පුලුවන් වෙයි හැබැයි මට වැඩිය දිරවන්නේ නැති සබ්ජෙක්ට් එකක් නීතිය. දැන් හැරෙමු බණ පොත පැත්තට. විනය පිටකය පාරාජික පාළිය තුන්වැනි පාරාජිකය. ඒකෙ නම මනුස්සවිග්ගහ පාරාජිකය. මෙන්න පොතේ තියෙන හැටියටම...

"යම් මහණෙක් දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කෙරේද, දිවි හරණ අවියක් උහු වෙත එළවා තබන්නේද, මරණයෙහි ගුණ හෝ කියන්නේද, මරණය පිණිස උපය උගන්වන්නේද, එම්බා පුරුෂය, තාගේ ලාමක වූ මේ දුක්ඛ ජීවිතයෙන් කිම? තාගේ ජීවත් වීමට වඩා මරණය උතුමි'යි මෙබඳු මරණ සිත් ඇත්තේ මෙබඳු මරණ සංකල්පනා ඇත්තේ නොයෙක් අයුරින් මරණයෙහි ගුණ හෝ වණා ද මරණය පිණිස උපාය උගන්වාද, මේ මහන තෙමේ ද පැරදුනේ වෙයි, සංවාසයට නුසුදුසු වෙයි."

ඒ කියන්නේ කොටිම්ම කිව්වොත් බුදු හාමුදුරුවෝ පැහැදිලිවම සංඝයා වහන්සේලාට නීතියක් පනවනවා මරණයේ ගුණ කියන්ඩවත් ඒ සඳහා ආවඩන්ඩවත් එපා කියල. එහෙම කරන එක මහන කමත් නැතිවෙන මහා විශාල වැරැද්දක්. ඊයේ පෙරේද මම දැක්ක පත්තරේක තියනවා ශුධෝත්තම පාප් වහන්සේත් කියල තියනවා කතෝලික පල්ලිය කිසිම වෙලාවක මරණ දණ්ඩනය අනුමත කරනනේ නෑ කියල.

හැබැයි කුඩු කියන්නේ මහා විනාශකාරී උවදුරක්. කොහොම හරි කුඩු උවදුර නැති කරන්ඩත් ඕන. මරණ දණ්ඩනය නැතුව ඒ වැඩේ කරන්ඩම බැරිද?

අපේ ජනාධිපතිතුමා කියල තියනවා දේශීය හෝ විදේශීය බලවේග වලට බයේ මරණ දණ්ඩනය පැනවීමේ තීරණය අකුලා ගන්නේ නෑ කියල. ඒ වගේ දැඩි තීරනෙක ඉන්න එතුමාට පුළුවන් දැඩි තීරණයක් අරගෙන එතුමා යටතේ තියන ත්‍රිවිධ හමුදාව මේ කුඩු මඩින වැඩේට යොදවන්ඩ. පොලීසිය මේ වැඩේට ඇත්තටම උනන්දු කරවන්ඩ. විශේෂයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩ හරියට වෙනවද එතෙන්ට යන කුඩු පාන් පිටි වෙන්නේ කොහොමද කියල හොයල බලන්ඩ. මම හිතන්නේ නෑ පාන් පිටි හොරෙන් ජාවාරම් කරන මිනිස්සු ඉන්නවා කියල. හැබැයි අපේ ගවර්ණමේන්තුවේ ඇනලිස්ට් තුමා නොහොත් රස පරීක්ෂක තුමාට අනුව නං එහෙමයි වෙන්නේ. ඔය කුඩු කුඩු කිව්වට එව්වා කුඩු නෙවෙයි හොඳේ!! පාන් පිටි!!!.ඊට අමතරව කුඩු නඩු ඉක්මන් කරවන ක්‍රමයක් හදන්ඩ. ඊට පස්සේ හිරේට ගියාම හිරේ ඇතුලේ ඉඳන් කුඩු ව්‍යාපාර මෙහෙයවන එක වලක්කන්ඩ.

මේ ඔක්කොමත් කරලා බැරි උනොත්? ඔන්න එතකොට මතක් වෙන්නේ ජෝර්ජ් ආර්. ආර්. මාටින් ලියපු ගේම් ඔෆ් ත්රෝන්ස් කතාව. අර සුප්‍රසිද්ධ ඉංග්‍රීසි මාලා නාටකයකුත් හැදුනේ. කොහොමත් මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉස්සරහට ඇවිල්ල තියෙන්නෙත් රජකම වෙනුවෙන් තියන ක්‍රීඩාවක් වෙනුවෙන් කියල සැක කරන්ඩ පුළුවන් හින්ද මේ පොතෙන්ම යමක් උපුටා දැක්වීම හොඳයි කියල හිතුන.

ඒ පොතේ විදිහට වින්ටර්ෆෙල් රාජ්‍යයේ සාමිවරයා වන එඩාර්ඩ් ස්ටාක් ගේ දෙවෙනි පුතා තමයි බ්‍රැන්ඩන් ස්ටාක්. එඩාර්ඩ් මරණ දඬුවම නියම වූවෙකුගේ හිස ගසා දමනවා. මේ දෙබස එන්නේ ඉන් පසුව ඔවුන් වධක භූමියේ ඉඳන් ආපහු මාලිගයට යන අතරවාරයේදී.
රොබ් කිව්වා ඒ මිනිහා මරුනේ බය නැති කෙනෙක් විදිහට කියල. හැබැයි ජෝන් කිව්වේ ඔහු හොඳම බය වෙලයි හිටියේ කියල.

ඔබ මොකද්ද හිතන්නේ? ඔහුගේ පිය ඇසුවේය.

බ්‍රෑන් ඒ පිළිබඳව සිතුවේය. මිනිහෙකුට බය වෙලා ඉන්දැද්දී නිර්භීත වෙන්නත් පුලුවන්ද?

ඒක තමයි එකම වෙලාව මිනිහෙකුට නිර්භීත වෙන්න පුළුවන්. ඔහුගේ පියා කිව්වේය. ඔබට තේරුනාද ඇයි මම ඒ දෙය කලේ කියල?

ඔහු වනචරයෙක්. බ්‍රැන් කිව්වේය. උං ගෑනුන්ව උස්සගෙන ගිහිං වෙන අයට විකුණනවා

ඔහුගේ පියා සිනාසුනි. වයසක නෑන් ඔබට ආයෙත් කතන්දර කියල දෙන්න පටන් අරගෙන. ඇත්තටම ඒ මනුස්සයා පොරොන්දු කඩ කරපු කෙනෙක්. ඔහු නයිට්ස් වොච් බලකායෙන් පැනලා ගිය කෙනෙක්. වෙන කිසිම කෙනෙක් එච්චර භයානක නෑ. පැනලා යන එක දන්නවා ඔහුව අල්ල ගත්තොත් ජීවිතේ නැති වෙනවා කියල. ඒ හින්ද මොන තරමේ හරි අලුකුත්තේරු වැඩක් කරන්ඩ ඌ පසුබට වෙන්නෙ නෑ. හැබැයි මම ඇහුවේ ඒ ගැන නෙවෙයි. ප්‍රශ්නය ඒ මිනිහට මැරෙන්ඩ උනේ ඇයි කියන එක නෙවෙයි. හැබැයි ඇයි මම ඒ දේ කරන්ඩ ඕන කියන එකයි.

බ්‍රැන් ට ඒකට උත්තරයක් තිබුනේ නෑ. රොබට් රජතුමාට අලුගෝසුවෝ ඉන්නවා නේද? ඔහු ඇහුවේ අවිස්වාසෙන්.

ඔව් ඉන්නවා. ඔහුගේ පියා උත්තර දුන්නා.  ඔහුට පෙර හිටපු අනික් ඕනෑම ටගේරියන් රජෙකුට වගේම. ඒත් අපේ විදිහ ඊට වඩා පරණ විදිහක්. ස්ටාර්ක් වරුන්ගේ නහර තුල තවම මුතුන් මිත්තන්ගේ ලේ දුවනවා. ඒ හින්දම අපි විශ්වාස කරනවා මරණ දඬුවම නියම කරන පුද්ගලයාම කදුඑන් ගෙල සිදින්ඩ ඕන කියල. ඔබ මිනිහෙක්ගේ ජීවිතයක් ඉවත් කරනවා නං ඔබ ඔහුගේ ඇස් දිහා කෙලින් බලලා ඔහුගේ අවසාන වචන ටික අහන්ඩ ලෑස්ති වෙන්න ඕන. ඒක ඔබේ ණයක් ඒ මැරෙන මනුස්සයාට තියන. හැබැයි ඔබට බැරි නම් ඒක විඳ දරා ගන්ඩ සමහරවිට අර මනුස්සයා මැරෙන්ඩ සුදුසුත් නැති වෙන්න පුළුවන්.

කුඩු කාරයෙක් හරි මොන අවලමෙක් හරි කමක් නෑ මරල දාන්ඩ පුලුවන්ද ඒ නියෝගය කරන කෙනාටම? පුලුවන්නං කමක් නෑ මරණ දඬුවම දෙමු. එහෙම නැත්තං හදවතට කතා කරලා අහමු ඇත්තටම අයි මම මේ මරණ දඬුවම දෙන්නේ කියල. රට හරි මාර්ගයට ගන්ඩ වෙන ක්‍රමයක් නැති හින්දද? නැත්තං වෙන මොකක් හරි ආරෝවක් පිරිමහ ගන්ඩද කියල.
මට හිතෙන්නේ මේ වෙන ගේම් එකක කෑල්ලක් මිසක් වෙන දෙයක් නෙවෙයි. කවුරු නොදැන ගත්තත් තීරණේ ගන්න අය ඒ දේ දන්නවා. ඔබේ හаදය සාක්ෂිය ඒක දන්නවා. හаදය සාක්ෂිය ඒ වැඩේට ඉඩ දෙන්නේ නැද්ද? එහෙනං ඉස්සෙල්ලාම එල්ලලා මරමු හаදය සාක්ෂිය!!!!


7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පොඩි මල්ලියේ, හිටං තුමා ගන්ටරේ හොලොපු දවසේ මටත් මතක් වුනේ එඩඩ් ස්ටාක් ගේ ඔයි ග්‍රේට් කතාව.

    මගේ අදහසත් එයමයි, කෙනෙකු ට මරණ දඩුවම ලබාදීමේ තීරණය ඔබ ගන්නවානම් එය ඔබගේ දෑතින්ම ඉටු කිරීමට ඔබ නිර්භීත විය යුතුයි හිටං.

    මෙතුමාට සමාන චරිතයක් නම් GOT එකේ නෑ නේද?

    ReplyDelete
  3. මට තියෙන ප්‍රශ්නේ මරණ දඬුවමත් නියම වෙලා ජීවිත කාලෙටම හිරේට වෙලා ඉන්ඩ වෙච්ච (මරණ දඬුවම ක්‍රියාත්මක නොවෙන නිසා ) එකෙක් මොන ලබ්බකටද එච්චර කට්ටක් කාගෙන එළියේ කුඩු බිස්නස් කරන්නේ? ඌට පොඩි හරි විශ්වාසයක් තියෙනවද ඌ ආයෙත් එළියට යයි කියලා? දැවෙන ප්‍රශ්න මහත්තයෝ

    ReplyDelete
  4. කට්ටකාඩු මල්ලි
    මටත් ඔය ගැන පොඩි අදහසක් තියෙනවා
    රස්සාවක් නැතිව ලන්ඩන් නුවර කරක් ගහපු කාලයක් මට තිබ්බා
    ඔය කාලේ නොමිලේ ඇතුල් වෙන්න පුළුවන් "LONDON MUSUEM "එක ඇතුලේ තිබ්බ පරණ පුවත් පත් කියවන්න මට අවස්ථාවක් ලැබුනා .

    ඔය අද මානුෂික අයිතීන් ගැන උඩ දාගෙන කතා කරන මිනිස්සු මේ අවුරුදු 100කට එහා බැටළුවෙක් හොරකම් කරපු එවුන්වත් මරපු හැටි , පාන් ගෙඩියක් හොරකම් කරපු එකාව ඕස්ට්‍රේලියාවේ අන්තිම කොනට පිටුවහල් කරපු හැටිත් ඒ පත්තරවල තිබ්බා .

    මම හිතන්නේ ඔය රටවල්වල එහෙම විනයක් හදපු හින්ද තමා , ඔය ප්‍රජාතන්තවාදය කියන උලව්ව සාර්ථක උනේ.
    අපි වගේ උඩ ඉදල පල්ලෙහටම කුණු උන සමාජයක් හදන්න, මරණ දඩුවම යම් පමණකට හරි ක්‍රියාත්මක වෙන්ඩ ඕනේ කියන අදහසේ තමා මම ඉන්නේ.
    හැබැයි ඉතින් එහෙම කරන්න පුළුවන් දේශපාලන නායකත්වයක් (යම් තරමකට හෝ අවංක ) තියෙනවද කියන ප්‍රශ්නේ තමා ඊළගට තියෙන්නේ

    ReplyDelete
  5. සාධාරණ ඒකාධිපතිවාදය! ඒක තමා මට මතක් වෙන සඳහන. හැබැයි ඕනිම මිනිහෙක් බලයට ආව ගමන්ම සාධාරණකම නැති වෙනවා. කොයි මිනිහටද තමන්ගේකම්, නෑදෑ හිත මිත්‍රකම්, රුචි-අරුචිකම් නැත්තේ? ඒ නිසා බලයේ ඉන්න අය, නීතිය කරන, කරවන අය සේරමලාව විනිශ්චය කරන්න පුළුවන් ව්‍යුහයක්..... අනේ මන්දා. ලෝක ඉතිහාසය කියන විදියට සොක්‍රටීස්, ප්ලේටෝ වගේ විද්වතුන් හිටි තැනවත් හරියටම නීතිය ක්‍රියාත්මක වෙලා නැහැනේ!
    වාසනාවට මයි3 උන්නැහේ ඔය ඉල්ලලා තියෙන්නේ රටේ ගැටළු විසඳන ක්‍රම විද්වතුන්ගෙන්.

    ReplyDelete
  6. මම මරණ දඬුවමට එදත් විරුද්දයි අදත් විරුද්දයි. හෙට ගැන කියන්න දන්නේ නැහැ. සමාජයක් හදන්න මරණ දඬුවමම ඕනේ නැහැ. අර ඉහත කියන සහෝදරයට කියනවා නම් එංගලන්තේ මරණ දඬුවම අහක් වුනේ රට සුඛිත මුදිත වෙන්න ගත්තට පස්සේ. උන්ටම තේරුණා කොපමණ අසාධාරන් විධිහට අහිංසක මිනිස්සු පෝරකේට යැව්වද කියල.

    ReplyDelete
  7. කට්ටාස්,

    අගෙයි.
    සෑම දෙයකටම අනෙකෙකුගේ අදහස් වලට යටත්ව නොඉඳ සෑම දෙයකටම තමන්ගේම කියලා අදහසක් තියා ගැනීම promote කල මේ ලිපිය අගෙයි.

    ඉතා අගනේය.
    ජීවිතය සහ මරණය පිලිබඳව ඔබ ඉතා ඉහල සදාචාරාත්මක අදහසක් පවත්වා ගැනීම ඉතා අගනේය. ඔය අදහස ඔබට ඉබේ කාන්දු වුනු සමකාලීන අදහසක් වෙන්න බැහැ. එවැනි උත්තම අදහසක්ඔබේ ආත්මය සිසාරා එන්න ඇත්තේ ඔබගේ උතුම් දෙමව්පියන්ගෙන් සහ ඔබට ඉගැන්වූ ගුරු දෙවිවරුන්ගෙන් වෙන්නට ඕනෑ.

    ඔබ ෆ්‍රැන්සිස් ශුදෝත්තම පියතුමා ගැන සඳහන් කර තිබුන නිසා කතෝලිකයකු ලෙස මටත් යමක් ඊට එක් කරන්න ඉඩ දෙන්න. (නිකංම Francis කියලා ලියපං මීට පස්සේ. එහෙම කිව්වා කියලා කතෝලිකයෝ ඔරොප්පු වෙන්නේ නැහැ.)

    මීට සති දෙකකට ඉස්සෙල්ලා Francis ලෝකේ හොල්ලන Holy order එකක් දුන්නා මරණ දඬුවම අහෝසි කරන්න-ලොව පුරා කතෝලිකයො මේකට විරුද්ධව ක්‍රියා කරන්න කියලා..පුරුදු විදියට US State Dept. එක මේ යෝජනාවට විරුද්ධ වුනා. සෞදි අරාබිය එහෙම පුකෙන් හිනා වෙන්න අැති මේ ultra modern අදහසට!

    කෙසේ වෙතත් ජීවිතය සහ මරණය පිලිබඳව Francis ගේ මෙමHoly order එකට පාදක වුනේ Cathechism of Catholic Church sections  2258-2329 දක්වා කොටස්.
    එහි Euthanasia , Abortion (of any kind), legitimate defence, intentional homicide ආදි සාමන්‍ය ලෝකයට දිරවා ගන්න බැරි මාර දේවල් ගොඩාක් තියෙනවා.

    Clement Peris

    ReplyDelete