Sunday, August 12, 2018

තුන් දෙනෙක් ගැන දිග කතාවක්



 තරුරසී ප්‍රනාන්දු සොයුරිය ඇගේ තරුරසී බ්ලොග් අඩවියේ ලඟදි ලස්සන සටහනක් තියල තිබුන තුන් දෙනෙක් ගැන කතාවක් පමණක්මද? කියන මාතෘකාවෙන්. ඔය ලිපිය කියවගෙන යනකොට මටත් මතක් උනා කතන්දර තුනක්. ඒ කතන්දර තුන ගැන තමයි අද ලියන්ඩ හිතුවෙ. ලියන්ඩ හිතුවට මොකද කොහෙන් කතාව පටං ගන්නද කියල නිච්චියක් නෑ. අතීතෙන් පටන් අරං වර්තමානෙට එනවද, පිටරටකින් පටන් අරං ලංකාවට එනවද, උතුරේ ඉඳන් දකුණට එනවද නැත්තං නැගෙනහිර ඉඳන් බටහිරට යනවද? ඒ කොහොම උනත් මේ කතා තුනම මගේ හිත ඇතුලේ ඉඳගෙන මතක් වෙන මතක් වෙන පාරට තිගැස්මක් ගෙන දෙන කතා.


පළවෙනි කතාව 

මම අනුරාධපුරෙන් පටං ගන්නං. ඒ හැත්තෑව දශකේ මැද කාලේ. අපේ අප්පච්චි රඹෑවේ කල්ලංචිය කියන ගමේ ඉස්කෝලෙ විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කාලේ. ගමේ ඩිස්පෙන්සරියට එනවා දෙමල දොස්තර මහත්තයෙක්. නම වේලායුදම්. මනුස්සයා සේවයට ඇප කැප වෙච්ච චරිතයක්. හවස් වරුවට ඉස්කෝලේ උගන්නන පිට ගම් කාරයෝ ටික එක්කහු වෙලා කොහොඹ ගස් හෙවනේ කයියක් ගහගෙන ඉන්න කොට මේ දෙමළ දොස්තරත් එනවා කාන්සිය මකා ගන්ඩ. හැබැයි මනුස්සයාට හොඳට සිංහල කතා බහ කරන්ඩ බෑ. බේත් දෙන්නෙත් පරිවර්තකයෙක්ගේ උදව්වෙන්. අප්පච්චිලාගේ සැන්දෑ සාදයන්ට එක්කහු වෙන මේ දොස්තර සිංහල සිංදුවල තාලෙට අප්පුඩි ගහනවා. හිටපු ගමං දෙමළ සින්දුවක් ගායනා කරනවා අනික් අයගේ ඉල්ලීමට. මහා රෑ දොළහට එකට ලෙඩෙක් ආවත් බේත් දෙනවා. වෙලාවක් කලාවක් නෑ ලෙඩෙක් හිටියොත් ගෙදරට හරි ගිහිල්ල බේත් දුන්න කියලයි අප්පච්චි කිව්වේ.


ටික කාලයක් යනකොට මේ දොස්තර ටික ටික සිංහල ඉගෙන ගත්තා. එයාගේ සේවාව වඩාත් හොඳින් මිනිස්සුන්ට දෙන්ඩ පටන් ගත්තා. හැබැයි මේ සිංහල ඉගෙන ගැනිල්ල ඩිස්පෙන්සරියේ බේත් කලවන් කරපු මනුස්සයාට වැඩිය ඇල්ලුවේ නෑ. ඒ මොකද මනුස්සයා තමයි දොස්තරගේ සිංහල පරිවර්තක. දොස්තරම සිංහල ඉගෙන ගත්තම බේත් කලවන් කරන කෙනාට ගමේ මිනිස්සු දක්වපු සැලකිල්ල අඩු වෙනවා. දැන් ගමේ මිනිස්සුන්ට තෝල්කයෙක් නැතුවම දොස්තරගෙන් බේත් ගන්ඩ පුළුවන්.

ඔන්න සිංහල ලේ කකියන්ඩ පටං ගන්නවා!! කොහොමද යකෝ මේ සිංහල ගමේ දෙමළෙක් බේත් දෙන්නේ? ඔය බේත් ගෑණු වඳ කරන්ඩ දෙන එව්වා වෙන්ඩත් පුළුවන්. පුළුවන් විතරක් නෙවෙයි එහෙම්ම තමයි...ආය දෙකක් නෑ. දෙයියනේ අවුරුදු දෙදාස් පන්සීයක් තිබ්බ ජාතිය නැති වෙනවා...ඊට කලින් මේ දෙමළව පන්නන්ඩ ඕන!!!

බේත් කලවන් කරන කෙනයි අප්පච්චිලගේ ස්ටාෆ් එකේ එක්කෙනෙකුයි එක්කහු වෙලා පෙස්සමක් ගහනවා දොස්තරට විරුද්ධව! චෝදනාව දොස්තර සිංහලයන්ට විරුද්ධව කටයුතු කිරීම. චෝදනාව ඔප්පු නොවුනත් දොස්තරට මාරු වීමක් හම්බ වෙනවා යාපනේට.

අවුරුදු දෙකකට පස්සේ අපේ අප්පච්චිටයි අම්මටයි මාව හම්බ වෙනවා. ඊට සතියකට පස්සේ අප්පච්චිට ටෙලිග්‍රෑම් එකක් එනවා.

මට දුවෙක් හම්බ උනා. ආරංචියෙන් ඔබත් සතුටු වෙයි කියල හිතුනා- වේලායුදම්  

අප්පච්චිත් හැරෙන තැපෑලෙන් ටෙලිග්‍රෑම් එකක් ගැහුවලු මාව හම්බ වෙච්ච ආරංචිය දන්වලා. මෙන්න මාස හයකට පස්සේ තව ටෙලිග්‍රෑම් එකක්.

ලබන සෙනසුරාදා දවල් දෙකට අනුරාධපුර ස්ටේෂන් එකට එන්න - වේලායුදම්

ඔන්න අපේ අප්පච්චිත් ගිහිං ඒ කියපු දවසේ කියපු වෙලාවට අනුරාධපුර ස්ටේෂන් එකට. 

මෙන්න කෝච්චියෙන් වේලායුදම් එනවා. 

"මෙන්න මේ පාර්සලේ හංගගන්ඩ!" ඔහු සෑහෙන තරමේ පාර්සලයක් අප්පච්චිට දෙන ගමන් කිව්වා. 

අප්පච්චි ඒ පාර්සලේ තමුන්ගේ බෑග් එක ඇතුලට දා ගන්න ගමන් ඇහුවා මොනවද මේ කියල.

"SMA ටින් තුනක්!" (ඔය කියන කාලේ ලංකාවේ මධ්‍යම පාන්තික හා දුප්පත් මිනිස්සුන්ට සලාක හා භාණ්ඩ හිගතාවක් තිබ්බ කාලයක්. SMA වැනි ළදරු කිරිපිටි පවා ඊට ඇතුලත්.)

"ඇයි?"

"මගේ දුවට කිරි හොයන කොට මට උඹේ පුතාවත් මතක් උනා! වැල්වැටිතුරේට හොර බඩු ගේන කෙනෙකුට කියල ගෙන්න ගත්තේ. ආයෙත් සති හයකින් වරෙන් මෙතෙන්ට මම කිරිපිටි ගෙනත් දෙන්නං!!!"

ඔය විදිහට මාස හයක් විතර වේලායුදම් දොස්තර මහත්තයා අපේ අප්පච්චිට පිටි ටින් තුන ගානේ ගෙනත් දීලා. සල්ලි දෙන්ඩ තිබ්බොත් ගන්නවා. නැත්නං ණයට!

ටික කාලෙකින් ආණ්ඩුව පෙරලුනා. නිදහස් ආර්ථිකය ආවා.

83 ජූලි කළබල අස්සේ අප්පච්චි යාපනේ යනවා වේලායුදම් දොස්තරව හොයාගෙන. එතකොටත් ඔහු අතුරුදන් වෙලා.

වේලායුදම් දොස්තර මහත්තය අද කොහෙද? එතුමගේ දුව කවද හරි යාල්දේවියෙන් කොළඹ ඒවිද?
---------------------------------------------------------------------------------------------------------
උතුරින් එන දුම්රියේ කවුළුව ලඟට වෙලා
නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා
මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ
ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ.....?
------------------------------------------------------------------------------------------------------
දෙවෙනි කතාව

තමිල්නාඩුවේ මදුරෙයි නගරයට කිලෝ මීටර් හැටක් විතර ලංකාව දිහාට වෙන්ඩ තියන වෙල්යායක් මැදින් තියන පාරක් දූවිලි අවුස්සමින් යන මෝටර් බයිසිකලයක්. බයිසිකලේ පදින සිරිපරන්ට මෙන්ම පිටි පස්සේ ඉඳගෙන යන මටත් හෙල්මට් නෑ. දූවිල්ලත් පාරේ වලවල් වල වැටි වැටි යන ගමනත් මාව මහන්සියට පත් කරලයි තිබුනෙ. එකම ලස්සන දෙකට තිබුනේ කොළ පාට කුඹුරු යායවල් වලට වතුර පොම්ප වලින් භූගත ජලය අරගෙන දාන දර්ශනය විතරයි. ඒ හින්ද ගමන් ඉවර වෙනකල් මම හුගක් බලාපොරොත්තුවෙන් හිටියේ. 

අපි නතර උනේ පොඩි පැලක් ගාව. හරියටම කිව්වොත් හරක් මඩුවක්.

"මේ මම කියපු මහත්තයා" සිරිපරන් මාව හඳුන්වලා දුන්නේ වතන හිටපු වයස හැත්තෑවක විතර කාන්තාවන් හය හත් දෙනෙකුට.  

"වණක්කම්!" අපි එකිනෙකාට ආචාර කර ගත්තා.

"ඔබතුමා අපේ ගමට ආපු එක හරි සතුටක්. මෙහෙට පිටින් කවුරුවත් එන්නේ නෑ!" ඔවුන් කියනවා.

"මටත් සතුටුයි ඔබලාව දකින්ඩ පුළුවන් වීම ගැන. අපි ඉඳගෙන ටිකක් කතා කරමුද?"

"හොඳයි!"

ඔවුන් මටත් සිරිපරන්ටත් පුටු දෙකක් ගෙනැත් දුන්නා. 

"කොහෙද ඔය කට්ටිය ඉඳ ගන්නේ?" මම ඇහුවා

"මෙතැන"

"මේ බිමේ?"

"ඔව්"

අලුත් ගොම වැටිලා තිබුණු තැන ඇරුනම අනිත් තැන් වල ඔවුන් ඉඳ ගත්තා. ලංකාවේ නං කිසිම මනුස්සයෙක් එහෙම තැනක ඉඳ ගනියි කියල හිතන්ඩ අමාරුයි. මට ලොකු අපහසුවක් දැනුනත් ආපු වැඩේ කරගන්ඩත් ඕන හින්ද මම සාකච්චාව පටන් ගත්තා. මදුරෙයි ප්‍රදේශයේ පාරම්පරික ගොවිතැන ගැන ඔවුන් වැඩි යමක් දැනගෙන හිටියේ නෑ. ඒ හිංදා කතාව ටිකකින් ඉවර උනා.

"මහත්තයා ඇයි මේ තොරතුරු හොයන්නේ?" එක කාන්තාවක් ඇහුවා.

"මම ලංකාවේ කෘෂිකර්මයට ඔබලාගේ දැනුම එක්කහු කරන්නේ කොහොමද කියල හොයනවා"

"ඇයි මහත්තයා ලංකාවට උදව් කරන්ඩ හදන්නේ?"

"මම ලංකාවේ හිංදා!"

මෙතෙක් වෙලා ඔවුන් හිතාගෙන ඉඳලා තියෙන්නේ මම කේරළ ප්‍රාන්තෙන් කියල. ඒ කාලේ තමිල්නාඩුව පුරාම ශ්‍රී ලංකා විරෝධී මතවාද වැපිරිලා තිබ්බ කාලයක්. ඒ හින්දමද කොහෙද ඔක්කොම ගෑණු කට්ටිය ඉක්මනට මාව මග ඇරලා ගියා. ඔක්කොමලා...... එක්කෙනෙක් ඇරුනම.

"මහත්තයා ලංකාවේ කොහෙද?"

පිටරැටියෙක් ලංකාවේ දැනගෙන ඉන්න පුළුවන් නගර කීපය ඇසුරෙන් උත්තර දෙන්ඩ මම දැනගෙන හිටියා.

"මම රට මැද. නුවර."

"නුවර කොහෙද?"

"නුවර කිව්වට නුවර නෙවෙයි කෑගල්ල කියල වෙන ටවුමක"

"කෑගල්ල නුවරට සෑහෙන දුරයි නේ!"

"ඔයා දන්නවද ලංකාව ගැන?" මම ඇහුවා.

"ඔව්. මම ඉන්දියාවට ඇවිත් අවුරුදු දහයයි. මම ඉපදුනේ හැටන් වල. අවුරුදු තිහක් වතු වල වැඩ කළා. පස්සේ කොළඹ ගෙදරක වැඩට ආවා. එතකොට තමයි කරදර ආවේ. මමත් අනිත් කට්ටිය එක්කම ඉන්දියාවට පැනලා ආවා"

තව ටිකක් හොයල බලන කොට ඇය 83 කලබල වලට පසු තමිල්නාඩුවට ඇවිල්ලා අවුරුදු විස්සක් විතර වෙලා මාව හම්බ  වෙනකොට. ඇයට කාලය ගැන එච්චර ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. ඉපදුන දවසේ ඉඳලම කාට හරි බැලමෙහෙවර කරපු තංගම්මා ගේ හිතේ ඒ වෙනකොටත් තිබ්බේ ආසාවල් දෙකයි. එක නල්ලුර් කෝවිලට යන එක. දෙක එය ඉපදුනු හැටන් වල තේ වත්තේ තවමත් ජීවත් වෙනවා යයි සැක කල හැකි ඇගේ සොහොයුරු සොහුයුරියන් එක වතාවක් හෝ දැක බලා ගැනීම. ඇයට වත්තේ නම මතක නෑ. ඒත් දැක්කොත් අඳුන ගන්ඩ පුළුවන්ලු!
-----------------------------------------------------------------------------------------
පිරිත් පුරන බෝ මළුවෙන් පිරිත් පැන් අරන්
සමන් පිච්ච මල් අරගෙන කෝවිල් මිදුලෙන්
රාමලාන් සඳ එළියේ වාංගු කියමින්
අපි කල්වාරියෙ කන්ද නගිනවා
අපි සිරී පාද කන්ද නගිනවා
-------------------------------------------------------------------------------------------------------
තුන්වෙනි කතාව

මඩකලපුවේ වෙරළ තීරයේ මමත් අපේ ආයතනයේම වැඩ කල දෙමල තරුණියකුත් ඇවිදිමින් හිටියේ අපේ ආයතනය සම්බන්ධ වූ ව්‍යාපෘතියක ප්‍රගතිය නිරීක්ෂණය කරමින්. ඒ එක්කම වෙරළේ තිබුණු පොඩි කෝවිලක් දැක්ක මම ඒ පැත්තට ගියා. උදේම කෝවිල හෝදමින් හිටියේ අඩි හයක් විතර උස හැඩි දැඩි තරුණයෙක්.

මෙයා අපිට හුගක් උදව් කළා වැඩේ කරගෙන යන්ඩ නම වසන්දම් මගේ මිතුරිය කිව්වා
වසන්දම් දෙමළෙන් දීර්ඝ විස්තරයක් කරා අපේ වැඩේ ගැන. ඔහුගේ විස්තරේට පස්සේ මගේ මිතුරිය ඒ කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කරන්ඩ පටන් ගත්තා.

"ඇයි එයාට දෙමළ බැරිද?" වසන්දම් ඇහුවා.

"නෑ එයා සිංහල!"

"කිව්වනං මම සිංහලෙන් කතා කරනවනේ....!" වසන්දම් උත්තර දුන්නේ දෙමළ ඌරුවට උච්චාරණය කෙරුණු සිංහලෙන්.

"මගේ උප්පැන්න සහතිකේ තියන නම වසන්ත පෙරේරා. තාත්තා සිංහල. එයාගේ මුල් ගම මාතර දික්වැල්ල. නවසිය පනස් ගණන් වල මෙහෙට ඇවිත් බයිසිකල් රෙපෙයාර් කරන වැඩපොළක් පටන් අරං. එතකොට තමයි අපේ අම්මත් එක්ක යාළුවෙලා බැඳලා තියෙන්නේ. කලබල එනකල්ම අපි තාත්තගේ මහගෙදර ගියා සිංහල අවුරුද්දට. ඊට පස්සේ තාත්තා එහෙ යන එක නැවැත්තුවා."

"දැන් කිසිම සම්බන්ධයක් නැද්ද?"

"නෑ..අවුරුදු ගානකින් අඩුම ගානේ ලියුමක් වත් ආවේ නෑ තාත්තාගේ නෑයින්ගෙන්."

"තාත්තාව හම්බ වෙන්ඩ කැමතියි මම."

"අනේ මහත්තයා අවුරුදු හයක් පරක්කුයි. තාත්තා දෙදාස් තුනේ නැති උනා!"

ජේමිස් පෙරේරා නෑයන් සමග යුද්ධයට ගිහිං. ඔහු නෑයන් සතුරන් ලෙස සලකන්නට පටන් ගත්තු 83 ගෙවිලා අවුරුදු 26 කින් යුද්දය ඉවර වෙන බවක් ඔහු දැන හිටියේ නෑ. ඒ හිංදා ඔහු ගිහිං තමන්ගේ පිය බිරිඳවත් දරුවන්වත් බාර නොගත් දකුණේ නෑයින් එක්ක ඉවර නොවෙන යුද්දෙකට.
---------------------------------------------------------------------------------------------------
යුද භටය යන යුදයට
හිදින්නෙමි මම ඔබ එන තුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුද බිම

නොඑන මුත් සැම දෙන මිදී ඉන්
හිදින්නෙමි මම ඔබ එනතුරා

ඇහැළ  ගස මල් පල දරන විට
ඇහැළ ගස යලි කොළ හලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට

යන යුදට හැම අයම එනතුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යළි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමින්
------------------------------------------------------------------------------------------------------
වේලායුදම් දොස්තර මහත්තයා, තංගම්මා අම්මා වසන්ත අයියා විතරක් නෙවෙයි තව දාහක් දෙනාගේ කතාව තමයි මේ. ඔවුන්ගේ මිත්‍රත්වය, සහෝදරත්වය, උණුසුම මේ ලක් මාතාවට ආයෙත් දැනෙන දවස කවද්ද? ජයතිලක බණ්ඩාර ගේ හඬ මට ඇහෙන්නේ එතකොට....

මේ පොලොව පුරා මල් පිපුනේ අපට මල්ලියේ
අතු රිකිලි නවා පල සැදුනේ අපට නංගියේ
මේ පොලොව බෙදූ මායිම් පැන එන්න මල්ලියේ
අපිට හිතේ පිපුණු මල් දෝතක්  දෙන්න නංගියේ



23 comments:

  1. කට්ටකාඩුවේ මල්ලී,ඔබ කැමති ඇති ධනාත්මක පිළිතුරකට.ඒත් ඇත්තනම් ඒ සහෝදරත්වයේ උණුසුම කිසිදා අපට නොදැනෙනු ඇති.එය දැනුනාවූ ටිකදෙනා නිහඬවම එම සතුට හදවතට එක්කරගනී.ඒ අයනම් නිරහංකාර,සරළ,බුද්ධිමත් පුද්ගලයෝම පමණි.ඔබතුල ජීවත්වන සැබෑ මිනිසත්බවට මම හිසනමා ගරු කරමි.

    ReplyDelete
    Replies
    1. ලලිත් ගුණවර්ධන තුමනි ඔබ කියන දේ ඇත්ත අපේ පරම්පරාවට. ඒත් අපේ දරුවන් හෝ නිදහස් රටක සහෝදරත්වයෙන් ජීවත් වෙන දවසක් උදා වේවි. එදා වෙනුවෙන් අපේ පරම්පරාව ඉතුරු කරන යමක් තියෙයිද? තියෙනවානම් ඒ මෙවැනි මතක පමණයි. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  2. අඳුරට ශාප කරමින් සිටිනවාට වඩා එක පහනක් හෝ දැල්වීම වටිනා බැවින් පොදුජන මනස පුබුදුවාලනු සමත් මෙවන් හරවත් ලිපි දිගටම පලකරනමෙන් ඔබගෙන් ගවුරයෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එක පහණක් හෝ දැල්වීම අපේ පරම්පරාවේම යුතුකමක් අනාගතය අදුරු නොවනු පිනිස. එහෙම නේද?

      Delete
  3. උතුරෙයි දකුනෙයි දේශපාලකයෝ නැත්නම් ඔය කියපු අපුරු සහෝදරත්වය අපිට ලැබෙනවා.මම දැන් මාසෙකට විතර කලින් යාපනේ ගිය වෙලාවේ දෙමල අය දක්වපු සෙනෙහස හින්දයි මම එහෙම කියන්නේ .මට එහෙ දෙමල පුද්ගලයෙක් කියපු විදිහට ඉරණමදුවෙන් යාපනේට වතුර දෙන්ඩ ගියාම මිනිස්සුන්ව උසිගන්නල විරෝධතාව කරලා තියෙන්නේ යාපනේ දේශපාලකයෝ.මොකද මිසිස්සුන්ගේ ප්‍රශ්න විසදුනොත් උන්ට තැන නැතිවෙනවා කියල.අපේ දේශපාලකයොත් කරන්නේ ඕකම නේද.?

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. දේශපාලකයොන්ට ලේසියි දෙගොල්ල කොටවලා චන්ද ගරා ගන්න එක. රටට වැඩ කරලා ගෞරවනීය විදිහට කැමැත්ත ලබා ගැනීම කල හැක්කේ දක්ශයන්ට පමණයි.

      Delete
  4. මේ ලිපියෙන් ඔබ කීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද?

    පුළුවන්නම් ඔබට හමුවී ඇති නරකම දෙමළු 3 දෙනෙක් ගැන ලියන්න.

    දෙමළාද මනුෂ්‍යයෙකි ඔහුට දෙවියකු ලෙස නොසලකන්න.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි. දෙමළ ජාතිකයාද මිනිසෙක් සිංහල ජාතිකයා වගේම. ඉතින් ඕනෑම මනුස්ස වර්ගයක් තුල සිටිය යුතු පරිදිම සෑම ආකාරයකම මිනිස්සු සිංහල වර්ගයා තුලත් දෙමළ වර්ගයා තුලත් ඉන්නවා. ජගත් මහත්තයා ගැන මම දන්නෙ නෑ හැබැයි මගේ වයසෙ ඉන්න හුග දෙනෙකුට පළමු වතාවට යාපනේ යන්ඩ ලැබුනේ 2009 ‍යුධ ජයෙන් පස්සෙ. හැබැයි ඔවුනුත් අපි වගේම ලේ මස් නහර තියන හදවතක් ඇති මිනිස්සු කියල අපේ හිතේ පැල පදියං වෙන දවසක් එනකල් අපි ඉන්නෙ දෙකට බෙදිලා. අන්න ඒක සමහන් කරන්ඩයි මම මේක ලිව්වෙ. දෙමළ ඔවුන් සිංහල අපේත් සිංහල අපි දෙමළ ඔවුන්ගේත් හොද දකින තුරු -නරක නෙවෙයි- අපි එක ශ්‍රී ලාංකික ජාතියක් වෙන්නෙ නෑ මට හිතෙන විදිහට. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  5. ටීවී එකෙයි, පත්තරයෙි, දේශ පාලුවොයි මවන්නනෙ බිල්ලෝ කියල හිතෙනව.

    නිකමට හිතන්න ගන්ජ ටිකක් තියන් ඉදපු මුහුදු වෙරලක බියර් එක බීීපු. කොල්ලෙක් කෙල්ලක් අල්ලගත්තාම දාන නිවුස් එක දැක්ක ?ගමන් අපි දන්නව මේක මහ වරදක් නෙමේ කියල.
    අන්න ඒ විදියටම ඇති අපිට අන් ජාතීීන් ගැන කනට එන ප්‍රවෘත්තිත් කියල මහ හිතනෙව

    ReplyDelete
    Replies
    1. බිල්ලංව මවල පොඩි කාලෙ අපිව නිදිකෙරෙව්වෙ අම්මලා තාත්තලා. දැං බිල්ලංව පෙන්නලා අපේ කැමැත්ත ගන්නෙ තකතීරු දේශපාලකයො.

      Delete
  6. මේ කතා ටික බොක්කටම වැදුණා බං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොම. ඔබතුමාට මදුරාසියෙදි ලංකාවෙන් ගිය සරණාගතයින් හම්බ උනාම මොනවද කිව්වෙ?

      Delete
  7. මහින්දලා ගම්මන්පිලලා විමල්ලා වගේම විග්නේශ්වරන්ලා සුමන්තිරන්ලා විජයකලාලා නැති දවසක ට්‍රයි එකක් දාලා බලමු. (මේ කියන්නේ රනිල්ලා සිරිසේනලා හොඳයි කියලා එහෙම නෙමේ ඕං.)

    ReplyDelete
    Replies
    1. එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන.....

      Delete
  8. හැම ගඟක්ම පටන් ගන්නේ පුංචි උල්පතකින්. අපි අපට පුළුවන් දේ කරමු. මෙහෙම පෝස්ට්වලින් අපේ හිත සුසර වෙන එකම මදිද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි තුමනි....අපි හිතමු මේ පොඩි දිය බුබුලු දවසක මහ ගගක් වෙලා කෙත් යායවල් සරු කරවයි කියල...

      Delete
  9. සිංහල ජාතිකත්වය , දෙමල ජාතිකත්වය හෝ මුස්ලිම් ජාතිකත්වය පැත්තකින් දාලා
    මිනිස්සු ශ්‍රී ලංකික ජාතිය හැටියට හිතන්න පුරුදු කරන්න කල යුතු දේවල් ටිකයි .

    ජාතිකත්වය මත බෙදනු ලැබූ බූමිය (උතුර දෙමල, නැගෙනහිර මුස්ලිම් ) සමාන ලෙස සම්පත් බෙදී යාමේ ක්‍රමවේදයකට
    සකස් කල යුතයි
    උතුරට දකුණේ සිට පැයක් හමාරක් ඇතුලත ගමන් කල හැකි මාර්ග පද්දතියක් හැදිය යුතුයි\,
    දෙමල ප්‍රදේශ වල සිංහල සහ මුස්ලිම් ජාතිනුත් , මුස්ලිම් ප්‍රදේශ වල සිංහල සහ දෙමල අයත් පදිංචි කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අදහස් වලට. මාත් හිතනවා අඩු ගානෙ ඔබතුමා කියන ඔය දේවල් ටික කරලා මිනිස්සුන්ගෙ හිත් යා කරන්ඩ ඕන වටපිටාව හැදුවොත් අපිට හොද අනාගතයක් ලැබෙයි කියල.

      Delete
  10. ඔය වේලායුදන් දොස්තර මහත්තයාව පෙත්සම් ගහල යාපනේට පන්නපු කාලෙම උඩරටින් ගිහින් මඩකලපුවේ රජයේ නිල නිවසක පදිංචි වෙලා හිටි සිංහල ජෝඩුවකට එයාලගේ හයවෙනි දරුවා හම්බ වෙනවා මඩකලපුව ඉස්පිරිතලේදී. උප්පැන්නේ රෙජිස්ටර් කරන්නේ මඩකලපුව කච්චේරියේ .. තාමත් උප්පැන්න සහතිකයක් ගන්න උනත් ඒ ළමය යන්න ඕනි මඩකලපු. අර යුද්දේ තිබ්බ කාලේ.. අයිඩෙන්ටිකාඩ් එකේ උපන් ස්ථානය මඩකලපුව කියල තිබ්බ උපතින්ම 'දෙමල පාට' ඒ ළමයට සැහෙන්න කරදර උනා ලු චෙක් පොයින්ට් වලදී එහෙම.. :)))

    ReplyDelete
    Replies
    1. ආ ඒ දරුවට උප්පැන්නෙ ගන්ඩ එහෙම අමාරු උනාට ඒ දරුව අනික් අයත් එක්ක එක්කහු වෙලා හැමෝටම ජීවත් වෙන්ඩ නිදහස් රටක් හදල දුන්නනෙ....:):):)

      Delete
  11. ඔබේ ලියවිලි එක දිගට කියවාගෙන යන්න පුළුවන්. කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝවේ දින නැති දිනපොත කෙටිකතාවට කොටස් ගන්න පුළුවන්ද ? අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේ මගේ යොමුවට දන්වන්න . ඔබේ අවසරය බලාගෙන ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. අනුරුද්ධතුමනි ඔන්න ඔබට ඊ මේල් පණිවිඩයක් එව්වා. උත්තර බලාපොරොත්තු වෙනවා. ස්තූතියි.

      Delete