Saturday, February 2, 2019

රෙද්ද චීනගේ - ඒත් සිංහයා අපේ

පෙබරවාරි මාසෙත් ඇවිල්ල. මේ පාරත් අපේ ගමේ කට්ටිය අලගල්ලෙ කන්ද නගින්ඩ ලක ලෑස්ති වෙනවා. අපේ ගමේ විතරක් නෙවෙයි හතර කෝරලේ හුග දෙනෙක් පෙබරවාරි හතර වෙනිද ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ (සුද්දා අපෙන් නිදහස් වූ දවසේ!!!) කදු නගින කතාවත් හේතුවත් මං කිව්වනේ ගිය අවුරුද්දේ. කාට හරි ඒක බලාගන්ඩ ඕන නං මේ සම්බන්ධතාවය තියෙන්නෙ එතෙන්ට ඕං.

ඉතිං ඔය කදු නගින්ඩ යන කාන්ඩෙ අපේ දිහාට ආවෙ ලොකු ජාතික කොඩියක් තියනවද කියල අහන්ඩ. තිබ්බ කොඩිය පෙන්නුවම උන් අහනවා ඊට වඩා ලොකු එකක් නැද්ද කියල. මං ඇහුව යකෝ කොයි ජාතික කොඩියෙත් ඉන්නෙ එකම සිංහයා වෙච්චි ආය ඕකෙ ලොකු පොඩි බේදෙ මොකද්ද කියල. උං කියනව එහෙම බෑලු. අහල ගං හතකට පේන්ඩ ලොකු සිංහ කොඩියක් ඕනලු. මං කිව්වා එහෙනං ඉතිං ඇදගන්ඩ තමයි වෙන්නෙ ලොකු රෙද්දක කියල. ඒකටත් අපේ උං පස්ස ගහනවා. මං දන්නව ඒ මොකද කියල. සිංහය ලොකු කොඩියක නියම හැඩතල ඇතුව අදින්ඩ මෙලෝ ජගතෙකුට බෑ ආයිබොවන් හොද සිත්තර ගුරුන්නාන්සෙ කෙනෙක් නෙවෙයි නං. ඔන්න සිංහයා එතන ඉන්න එකේ වාසි. අද මං කියන්ඩ යන්නෙත් සිංහයා කොඩියෙ ඉන්න එක ගැන.


මේ ලගදි මගෙ යාලුවෙක් කියනවා සිංහයා කොඩියෙ ඉන්න එක මහ ලැජ්ජාවක් කියල. මං ඇහුව ඒ මොකෝ කියල.

ඔය සිංහයගෙන් පිලිබිඹු වෙන්නෙ සිංහල ජාතිය. ඉතිං ලංකාවෙ තාමත් ප්‍රධාන ජනවර්ගය වෙච්චි එකේ සිංහල ජාතිය වෙනුවෙන් සිංහයා හිටපුවම තියෙන වැරැද්ද මොකද?

නෑ ඉතිං ඌ තිරිසන්  සතෙක් නේ?

කොයි සතාත් තිරිසන් නේ. ඉතින් සිංහයට විතරක් මොකද්ද විශේෂය?

ඒකෙන් කියවෙන්නෙ සිංහයෙක් ගෙන් අපි පැවත එනවයි කියන එක නේද?

ඒක ජන කතාවක් නේ. ඇයි ඔච්චර ගනං ගන්නෙ? මං ඉස්සරල හිතුවෙ යාලුවා විහිලුවක් කරනවා කියල. හැබැයි මනුස්සයා හිටපු බැරෑරුම් කල්පනාව දැක්කහම හරි සීරියස් ගතියක් තමයි දැනුනේ.
ඒක බොරු කතාවක් විතරක් නෙවෙයි නං?

ඒ කියන්නෙ?

ඒ කියන්නෙ අපි ඇත්තටම පැවත එන්නෙ සිංහයෙක් ගෙන්නං?

මට එක පාරටම මතක් උනේ සිංහබාහු නාට්‍යය. අපේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තය ලියපු ඔය නාට්‍යය ඉස්සරෝම මං බැලුවෙ ඉස්කෝලෙදි. මට මතක විදිහට දහය වසරෙදි විතර. එදා නිශ්ශංක දිද්දෙනිය මහත්තයා කියපු විදිහට ඒක තමයි එෆ්. එම් මයික් යොදාගෙන ඔවුන් රග පෑ මුල්ම දවස. මොකද තුන්දාහක් විතර පොදි කකා හිටපු ඉස්කෝලෙ ශාලාවෙ හැමෝටම ඇහෙන්ඩ තාල රිද්ම බිද ගන්නෙ නැතුව නාට්‍යය කරන එක ලේසි වැඩක් නෙවෙයි. මුලු සිංහබාහු නාට්‍යයේ ම තියන සාරය අර අපූරු සිංදුවේ තියනවා කියලයි මට හිතෙන්නෙ...වෙන මොන සිංදුවද ඉතිං ගල් ලෙන බිදලා...ලෙන් දොර හැරලා මිසක්. මතකද ඒ සිංදුව?

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
සිංහබා... සිංහබා... සිංහබා....
මා සොදුර ..... මා සොදුර..... මා සොදුර.....
සිංහ සීවලී ...... මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
සිංහබා සිංහබා සිංහබා

මෙතෙක් තමන් ආරක්ශා කරපු කුටුම්භය...ඒක ගල් ගෙයක්ද, පොඩි අතු පැලක්ද, ෆ්ලැට් එකක්ද, තනි තට්ටුවේ, තට්ටු දෙකේ හෝ තුනේ ගෙයක්ද රජ මාලිගාවක්ද කියන එක වැදගත් වෙන්නෙ නෑ. වැදගත් වෙන්නෙ තමුන් පුලු පුලුවන් විදිහට යමක් කමක් හොයාගෙන හවසට එහෙම නැත්තං සති අන්තෙට එහෙමත් නැත්තං අවුරුද්දකට දෙකකට පාරක් හරි ගොඩවෙන ඒ සොදුරු නවාතැන. ඕනම තාත්තෙක් ලෝකෙ කොහේ හිටියත් තමුන්ගෙ රාජකාරි ඉවර කරපු වෙලාවෙ ගතින් නැති උනත් හිතින් හරි ගොඩ වදින්නෙ ඒ ‘සුර විමනට’.

බිරිදත් දරු දෙන්නත් බලන්ඩ එන සිංහයා එදා දකින්නෙ තමන්ජීවිත කාලයක් පුරා ගොඩ නගාගත්තු රාජධානිය හිස් වෙලා තියෙන හැටි.

ලෙන තුල නොවෙති
පෙරලා නොඑති
මම දැන ගතිමි මම සැක කලෙමි.....

සිංහයෙකුට පුලුවන්ද ඔවුන් නැවත නොයෙන්නටම ගිහින් ඇතිබව දැන ගන්ඩ. කවදාහරි තමන්ගේ රැකවරණයෙන් ඔවුන් මිදී යාවි කියල සැක කරන්ඩ. ඒක කරන්ඩ පුලුවන් මිනිහෙකුට විතරයි. ඒ කියන්නෙ මෙතන මියන සිංහයා ඇත්තම සිංහයෙක් නෙවෙයි. සමහරවිට ටිකක රුදුරු ගති තියෙන්ඩ ඇති මනුස්සයෙක්. ඒ කියන්නෙ අපේ ආරම්භය සතෙක් ගෙන් නෙවෙයි. මනුස්සයෙක්ගෙන්මයි.

ඔය කිව්වට හැම තැනම කියන්නෙ ඌ සිංහයෙක් කියලනෙ! මගෙ යාලුවා කිව්වෙ බොහොම විස්සෝපයෙන්.

සමහරවිට ඒ මනුස්සයාගේ ගෝත්‍රය සිංහයන් අදහන්නට හරි සිංහ නම පාවිච්චි කරන්ඩ හරි ඇති. ඔය ඉස්සර නාගයෝ කියල කියන කට්ටිය ඇත්තටම නයි නෙවෙයි නේ. ඒ නාග කියල හදුන්නපු ගෝත්‍රයක් විතරයි.

ඉතින් එහෙනං ඇයි අපි විතරක් සිංහයව කොඩියට දාගෙන ඉන්නෙ?

කවුද කියන්නෙ අපි විතරක් කියල. එංගලන්තෙ ලාංචනෙත් සිංහයෝ තුන් දෙනෙක්ම ඉන්නවා. ඉන්දියාවෙ රාජ්‍ය ලාංචනෙත් සිංහයො තුන්දෙනෙක්. දැං ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නවා කියන භුතානෙ කොඩියෙ ඉන්නෙ මකරෙක්. චීනෙ සලකුනත් මකරා. තව කොච්චර නං රටවල් වල වෙන වෙන සත්තු කොඩි වලම ඉන්නවද?

ඒකත් එහෙමද? යාලුවා කිව්වෙ තවත් එල්ලෙන්ඩ යමක් හොයනවා වගේ ගතියකින්.

ඔය සිංහයට ගැරහිල්ල පටං ගන්නෙ මචං අපේ ඉතිහාසය ගැන මොකුත් නොදැන අපේ පරණ ඉදන් පැවතගෙන හැම දේම අහක් කරන්ඩ දගලන එකෙන්නේ.

ඒ කියන්නෙ පරණ ඉදන් එන ඔක්කොම හොදයිද?

නෑ මම එහෙම කිව්වෙ නෑනෙ. මං කිව්වෙ පරණ හරි අලුත් හරි හොද දේ හොදයි නරක දේ නරකයි කියන එක.

ඒ උනත් අපිට අපේ රටේ හිටපු හරි ඉන්න හරි සතෙක් ගන්ඩ තිබ්බා!

එතකොට චීන්නු මකර ගත්තේ ඒ රටේ ඉන්න හින්දද?  ඕක සතාගෙ වැරැද්දක් නෙවෙයි මචං ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්දක්. උන් භූත නැටුවට සිංහයා පලිද?

ඒ උනාට මං නං කියන්නෙ අපේ රටේ ඉන්න, ගැලපෙන සතෙක් ගන්ඩ තිබ්බා. දිවියා වගේ.

ඊට හොදයි කක්කුට්ටා ගත්තනං

ඒ මොකද ඒ?

ලංකාවෙ ඉන්න සත්ත්ව කාන්ඩ අතුරෙන් වැඩිම ඒක දේශික සත්ත්ව විශේෂ ප්‍රතිශතයක් ඉන්නේ මිරිදිය කක්කුට්ටෝ. අනික ඒක අපේ කල්කිරියාවටත් ගැලපෙනවනේ.

ඒ කියන්නෙ?

ඇයි මහ උං ඇදේට යන ගමන් පොඩි උන්ට කෙලින් යන්ඩ කියන එක!!

ඒ උනාට මචං මං අහල තියෙන්නෙ සිංහයා හෙන කම්මැලි සතෙක් කියල. ඌ පැත්තකට වෙලා ඉන්නවලු. ගෑණිලු කන්ඩ ගෙනැල්ලා දෙන්නෙ නේද?

නෑ. ඒකත් ඇත්තම නෙවෙයි. සිංහයෝ ක්‍රම තුනකට ගොදුරු හොයා ගන්නවා. එක. අනුන් මරපු ගොදුරක් හොරකං කරන එක. දෙක. පොඩි මුවෝ වගේ සූපිං ගොදුරු අල්ලා ගන්න එක. තුන. අලි, කුලු හරක්, රයිනෝ ලා වගේ ඩූ ඕ ඩයි ගේම්. මෙන්න මේ තුන්වෙනි ටයිප් එකට පිරිමි සිංහයොත් ගේම් එකට එන්ටර් වෙනවා. අනික ඉතිං අපිත් ඒ වගේමනේ.

ඒ කොහොමද ඒ?

ඇයි මනුස්සයෝ රටක් විදිහට ලංකාවත් යැපෙන්නේ අපේ රටේ කාන්තාවො දහදුක් හම්බ කරල ගේන සල්ලි වලින් නේ. ඒ අතිනුත් අපිට සිංහයා ගැලපෙනවා. ඒ මදිවට ගෙදරක උනත් උයල පිහල කන්ඩ ටික හදල දෙන්නෙ බවලත් උදවියනේ. ලංකාවෙ නර්ස්ලගෙන්, ගුරුවරුන්ගෙන් 70% ට වඩා ඉන්නෙත් කාන්තාවො. තව ටික කාලෙකින් අනිත් ජොබ් වලත් වැඩි ප්‍රමාණයක් ඉදියි ඒ කට්ටිය.

සිංහයොත් හොරකං කරනවද මචං?

ඔය පොත් වල තියෙන්නෙ...උන්ගෙයි අපෙයි හොරකමේ නං වෙනසක් තියනවා.

ඒ මොකද්ද?

කිසිම සතෙක් ගොඩ ගහන්ඩ හොරකං කරන්නෙ නෑ. උං හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ ඕන මූලික දේවල් ටික ලබා ගන්ඩ.ඒක අපි කරනවට වඩා අහිංසක හොරකමක්. තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි උන් හොරකං කරන්නෙ.

සිංහබාහු එකේ සිංහයත් පවුල බේරගන්ඩ නේ!

යාලුවා එහෙම කිව්වම තමයි මතක් උනේ අර සිංදුවේ ඉතුරු ටික. ඇත්තටම මට හිතෙනවා සිංහයා ගොඩක් දුක් උනේ ගෙදර උන්දැ තමන්ව දාල ගිය එකටවත් පුතා දාල ගිය එකටවත් නෙවෙයි තමුන්ගෙ හුරතල් දුව තමන්ව දාල ගිය එකටයි කියල. පස්තැන කලු උනාට ඕනම දුවෙක් තාත්තට පොඩි එකීම තමයි. ඔන්න අහන්ඩකො සිංහය හිතපු විදිහ.

සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය
ඈත් ගොසින්ය... ඈත් ගොසින්ය....

පුතෙක් අම්මව අයිති කරගන්ඩ හදනවා වගේ දුවෙකුත් තාත්තව අයිති කරගන්ඩ හදනවලු. ඊඩිපස් කම්ප්ලෙක්ස්, එලෙක්ට්‍රා කම්ප්ලෙක්ස් වගේ බරසාර කතා පැත්තකින් තිබ්බත් මේක තමයි අපි කවුරුත් අත්දැකලා තියන ඇත්ත. අනික් පැත්තෙන් අම්මලාත් තමුන්ගේ පුත්තුන්ට වැඩියෙන් ආදරය කරන ගමන් තාත්තලා තමන්ගේ දුවලාට ආදරය කරනවා. ඒකනේ සිංහයා මෙහෙම අහන්නෙ.

ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ..//
සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත...//
ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී..//??

මේ විදිහට අම්මගේ තාත්තගේ ආදරය එක්ක හැදිච්ච දුවලා දවසක කසාද බදිනවා.... අම්මට ආදරෙන් සලකන පුතෙක්ව. ලංකාවෙ මෑතකාලීන දත්ත බලපුවාම (දිස්ත්‍රික්ක හතරක 2013 කරපු සමීක්ෂණ ප්‍රතිඵල අනුව) අර විදිහට ආදරෙන් හදපු දරුවො 48% එකිනෙකාට ගහගෙන තුවාල කරල තියනවා එක පාරක් හරි. අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක ගත්තම මේ තත්වය තවත් බරපතලයි. ලෝක සෞඛ්‍ය සංවිධානය 2018 නිකුත් කරපු වාර්තාවක කියන විදිහට මේ විදිහට ශාරීරික අපයෝජනයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය එහෙම වෙන්නෙ තමුන්ගෙ ස්වාමි පුරුෂයා අතින්. ඊලගට ඉන්නෙ නැන්දම්මා. ඊගාවට සොහොයුරා. ඊටත් පස්සෙ ඉන්නෙ තාත්තලා. ලංකාව පුරාම තත්වය සැලකුවොත් 18% විතර කාන්තාවො කවද හරි ශාරීරික අපයෝජනේකට ලක්වෙලා තියෙනවා. කියන්ඩ ලැජ්ජයි ගර්භනී සමයේදී පවා ශාරීරික අතවර වලට ලක්වෙච්ච කාන්තාවන්ගෙන් 59%එහෙම වෙලා තියෙන්නෙ තමුන්ගෙ ස්වාමි පුරුශයා අතින්. පුදුමෙ ගර්භනී සමයෙ අත්දැකීම් විදපු නැන්දම්මලා අතිනුත් 20% විතර අපයෝජන සිද්ධ වීම. අනේ මේ සිද්ධි අති බහුතරය ගෙදර බිත්ති හතර ඇතුලේ හැංගිලා වැලලිලා යනවා. මේ ස්වාධීන සමීක්ශනයකින් හෙලි වෙච්ච කරුනු මිසක් පොලිස් පොතේ කරුණු නෙවෙයි.

අපි ලෝකෙට සිංහයෙක් පෙන්නුවට වැඩක් නෑ ගෙදර ඇතුලෙ ඉන්නෙ පිසාචයෙක්, පෙරේතයෙක් වගේ ගද ගහන දෙකේ කැලෑසියේ වැඩ කරන චරිතයක්නං. අනිත් හැම අතින්ම අපේ කොඩියේ සිංහයෙක් ඉන්නෙ ඇයි කියල සාධාරණීකරනය කරන්ඩ පුලුවන් උනත් මේ වගේ සමාජ අපචාර ගැන හිතන කොටනං මට හිතෙන්නෙ යන යන තැන ගද ගස්සන උරුලෑවෙක් අපේ ජාතික කොඩියට දැම්මනං හොදයි කියල.

කොච්චර ණය උනත්, කොච්චර හිගා කෑවත්, 1520 ගණං වල ඉදන් 1948 වෙනකං තිබුන වගේ අපේ සමහ‍ර වරායවල් විදේශිකයො අතේ තිබ්බත්, එදා ඉදනපිට හුරු පුරුදු බටහිර අධිරාජ්‍යවාදය වෙනුවට චීන නව යටත්විජිතවාදය එහෙම නැත්තං මකරාගේ නව අධිරාජ්‍යවාදය නැගෙනහිර ක්ෂිතිජයෙන් පායා එමින්තිබුනත්, කොඩිය මහන රෙද්ද පවා චීනෙන් ගෙනාවත් මේ පාරත් අපේ ගෙවල් වල සිංහ කොඩිය ලෙළදේවි. අඩු ගානෙ ලෝකෙට පරකාසෙ පෙන්නන ගමන් අපේ ගෙවල් වල ඉන්න අපේ ආදරබර දියණිවරුන්ට, සහෝදරියන්ට, බිරින්දැවරුන්ට හා අම්මාවරුන්ට මේ නිදහස අර්ථවත්ව ගත කරන්ඩ පුලුවන් සුරක්ෂිත හෙට දවසක් උදා කරමු!!අපි හැබෑ සිංහබාහු සිංහ වංශයේ බව මතක් කර ගනිමු.

මම යනවා මගේ දියණියත් බිරිදත් එක්ක සිංහ කොඩියක් දාන්ඩ.

සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය
අහර පිසන්නිය
කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ආවඩා ආයුබෝ වේවා!
දිනු නිදහස අර්ථාන්විත කර ගනිමු!!!


10 comments:

  1. හොඳ ලිපියක්. ඇඟෙන්ම එකඟයි. සිංහයාගෙන් ආවද නැත්ද කියන එක අදාල නැහැ ඒක සංකේතාත්මක දෙයක් විතරය්

    ReplyDelete
  2. අයිවර් ජෙනින්ග්ස් මහත්මියගේ උපන් දිනය සමරනවා අපි..


    ඩී බී ජයතිලක ඇතුළු කිහිප දෙනෙක් ඉවත් කරමින් ඩී එස් ට අගමැති කම අරගෙන දුන්න උපකාරයට
    ප්‍රති උපකාරය ලෙස ලංකාවේ නිදහස් දිනය ලෙස අයිවර් ජෙනින්ග්ස් මහත්මියගේ උපන් දිනය සමරනවා අපි..

    ayye me gana liyapankoo.. mama podi kale diwaayin pattare column ekaka ekaa oka thibbe passe kiyyewwa oka wadi wisthara athi dan mathaka na ban

    ReplyDelete
  3. හොඳ පැහැදිලි කිරීමක්.

    දැන්නං කොඩිය ලොකු රෙද්දක අඳින්න ඕන නෑ ඩිජිටල් ප්‍රින්ට් එකක් ගත්තනං ඉවරයිනෙ.

    ReplyDelete
  4. මමත් දවසක් පොඩ්ඩක් අපහසුතාවයට පත්වුනා දවසක් චීන මහත්මයෙක් මගෙන් ඔය සිංහයාගේ කතාව අහල... වෙලාවට එයාලගේ මකරා වගේ තමා අපේ සිංහයා කියල මම ෂේප් වුනා.

    හොඳ ලිපියක්... මේක කියවද්දී මතක් වුනේ, මම කවදාවත් මනමේ නාට්‍යය බලල නෑ... හෙහ් හෙහ්..

    ReplyDelete
  5. Good analysis, stats given tells us we are not Lions but dogs (no insult to my dog) only if we can learn and improve our behavior?

    ReplyDelete
  6. කට්ටකාඩුවෙ ලොකු මල්ලි අයිය මහත්තයගෙ ලියමනෙං ගම්‍ය වෙන තේරුම වටහාගන්න නං මුලු ලියමනම කියවන්න ඕනැ. ආං ඒ ලියමං ක්‍රමයට මං හරිම මනාපයි.

    ReplyDelete
  7. අගෙයි ලොකු, //නෑ මම එහෙම කිව්වෙ නෑනෙ. මං කිව්වෙ පරණ හරි අලුත් හරි හොද දේ හොදයි නරක දේ නරකයි කියන එක.// තවමත් වැඩි දෙනෙකුට බැරි ඔය ටික කරන එකනේ!

    ReplyDelete
  8. https://www.news24.com/xArchive/Archive/Outrage-over-incestuous-lions-20020730

    ReplyDelete
  9. සුප්ප ඈ!.. (සුප්පා නෙවෙයි ඈ! :) මමනං ප්‍රතිපත්තියක් විදියට ගෙදරවත් වාහනේවත් ජාතික කොඩි එල්ලන්නේ නෑ..

    ReplyDelete