Friday, March 22, 2019

සාජම්මහත්තයගේ කතා


ඊයේ කරඩුපොන හංදියේ භයානක රිය අනතුරක් එහෙම නැත්තං අපේ ගමේ කියන විදිහට ඇස්සිඩන්ට් එකක් උනා. ඇස්සිඩන්ට් කියපු ගමන් මතක් වෙන්නේ පොලීසිය. මට නං ඉතිං පොලීසිය කියපු ගමන් මතක් වෙන කෙනෙක් තමයි සාජම්මහත්තයා. දැන් කොළඹ පොලීසියක භාර ධූර නිලතලයක් දරුවට මනුස්සයා අපේ ගමට නං සාජම්මහත්තයා තමයි. ඔය සාජම්මහත්තයා කියල නම වැටිච්ච විදිහත් හරි අපූරුයි

ඒකෙත් හැටි. එතුමා අපේ ගමට එතුමා සාජම්මහත්තයා උනේ පොලීසියට බැදෙන්ඩ ඉන්ටවීව් ගිය දවසේමයි. ඉන්ටවීව් ගිය දවසේ හවස උන්දැ හැමදාම කන බුලත් විටට එදා මත් වෙන පුවක් ගෙඩියක් හපලා කානුවක වැටිලා ඉන්දැද්දී අපේ එකෙක් එතුමාගේ සරම ගලවලා ඔලුව වටේ ඔතලා එක අතක් සැලියුට් ගහන විදිහට හදලා හැමෝටම පෙන්නුවට පස්සේ. වාසනාවකටද අවාසනවකටද මංදා කාලේ ඔය හැම කොල්ලයි බල්ලයි අතේම කැමරා තියන ෆෝන් තිබ්බේ නැතිකොට අමර දසුනේ මතකය තියෙන්නේ අපේ - කාලේ කොල්ලෝ- කීප දෙනෙක් ගේ හිත් වල විතරයි. හැබැයි සාජම්මහත්තයා මුළු ගමටම ඇහෙන්ඩ කියපු කුණු හරුප ටිකත්, කවද හරි දවසක එතුමා පොලීසියේ සාජම්මහත්තයෙක් වෙච්ච දවසට අර නසරානි වැඩේ කරපු එකාගේ අම්මාට දඩාවතේ යන බල්ලෝ ලව්වා කරවනවා කියපු දේවල් ටිකත් අපේ ගමේ අදටත් පුරාවෘත්තයක් විදිහට පවතිනවා!

එදා ඉදන් තමයි සාජම්මහත්තයා කියන නම වැටුනේ.

අද කට්ටකාඩුවට අපේ සාජම්මහත්තයගේ වැඩ දෙක තුනක් ලියන්ඩ කියල හිතුවා. කැමතිනං කියවන්ඩ මගේ මොකෝ!!?

Saturday, March 9, 2019

ගුරු ගෝල සටන - ගුත්තිල මූසිල 3


ගියපාර මම කියාගෙන ආපු කතාවේ ඉතුරු කොටස කියන්ඩයි මේ සූදානම. මේ කතාව මම හිතුවට වඩා ටිකක් දිග වැඩි උනා. ඒකට හේතුව මේ කතාව කියන ගමන් එක එක ගුරුවරු, යාලු මිත්තරයෝ අහන ප්රශ්න වලට උත්තර සපයන්ඩත් වෙන එක. කොහොම උනත් මේ කතාවේ පළමුවැනි කොටස මෙතැනිනුත්, දෙවෙනි කොටස මෙතැනිනුත් කියවලා ආවොත් තමයි වඩා පහසු වෙන්නේ.

ඔන්න එහෙමනං එදා ඉවර කරපු තැන ඉඳලා අද කතාව.


ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද කියන්නේ මේ වාදය ගුත්තිල පඬිතුමාවත්, මූසිලවත් ඉල්ලපු එකක් නෙවෙයි, රජ්ජුරුවෝ බලෙන් පටවපු එකක් කියල?

මම කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. ජාතක කතා පොත් වහන්සේ රචනා කරපු කෙනාමයි එහෙම කියන්නේ.

කොහොමද?

මෙන්න මෙහෙම...අහගන්ඩකෝ හොදට...

Saturday, March 2, 2019

ගුත්තිල හා මූසිල 2


හැලපකඩේ ලියන අපේ හැලපතුමාට අපි ආදරේ කරන්නෙ කාරණා දෙකක් හින්ද. එක තමයි එතුම කට්ටකාඩුවේ පළමුවැනි හඹා එන්නා නොහොත් ෆලෝවර්. දෙක එතුමගේ ලිපි වලට යොදන මාතෘකා නොහොත් ශීර්ෂපාඨ වල තියන කලාව. තමන් කියන්ඩ යන දේ වෙනුවෙන් වචන පහ හයක මාතෘකාවක් නැත්නම් පොඩි චේදයක් උනත් මාතෘකාවක් විදිහට යොදාගන්ඩ පුලුවන් බව අපිට පෙන්නලා දුන්නෙ හැලපතුමා. මේකෙ කියන්නෙ මාතෘකාවක තියන වැදගත්කම තමයි තමන් ලියන්ඩ යන දේ මොකද්ද කියල පාඨකයාට ලේසියෙන් අවබෝධ කරවන්ඩ පුලුවන් වීම. උදාහරණයක් විදිහට මම මේ ලියන්නෙ ගුත්තිල -මූසිල කතාවෙ දෙවෙනි කොටස කියල මාතෘකාව දැක්ක ගමන් හැමෝම දන්නවා මේකා මේ තෙපරබාන්නෙ ගිය සතියෙ ලියපු ලිපියෙ දෙවෙනි කොටස ලියන්ඩ තමාය කියල. කාට හරි කොටස කියවන්ඩ බැරි උනානං මේං මෙතෙන්ඩ කොටාපුවම ලිපිය කියවන්ඩ පුලුවන්.


දැං ඔය කවි පන්සිය ගානක් තියන ගුත්තිල කාව්‍යය රචනා කරපු අපේ වෑත්තෑවේ හාමුදුරුවො සිංහල බාෂාව ගැන හොද අවබෝධයක් තියන උත්තමයෙක්. ඉතින් එතකොට ගුරු ගෞරවය නැති ගෝලයෙක් ගැන ලියන්ඩ එතුමාට ජාතක කතාවලට හැරෙන්ඩ ඕන කරන්නෙ නෑ. එතුම ජීවත් වෙච්ච කෝට්ටේ යුගයෙ අග භාගය කියන්නෙ සංදේශ කාව්‍ය ඕසෙට ලියවෙච්ච කාලයක්. කොටිම්ම තමුන්ගෙ ගුරු හාමුදුරුවෝ වෙච්චි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවොත් ගුරු හාමුදුරුවන්ගේ හෙවනේම හැදිල වැඩිච්ච තමන්ගේ සහෝදර හාමුදුරුනමක් වෙච්ච වීදාගම මයිත්‍රිය හාමුදුරුවොත් දෙන්නම තම තමුන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් රෙදි නැතුව කඩේ යමින් හිටි කාලයක් මේ. ගැන මතකය අලුත් කරගන්ඩ ඕන නම් මං ලියපු පැරණි ලිපි දෙකකට මෙන්න මේ සම්බන්ධතාවයත්, මෙන්න මේ සම්බන්ධතාවයත් ඔස්සේ ගිහින් බලා ගන්ඩ පුලුවන්. ඉතින් මං අද කියන්ඩ යන්නෙ මේ හාමුදුරුවො ඇයි ගුත්තිල ජාතකය ආශ්‍රයෙන්ම කවි පොතක් ලිව්වේ සහ පොතේ හංගලා ඉදිරිපත් කරනවාය කියල මට හිතෙන කතාව ගැන විස්තර. ඔන්න පටන් ගන්ඩ ඉස්සරලම කිව්වා මං මේ ගැන විශේෂ දැනුමක් තියන කෙනෙක් නෙවේය මේ ගැන උනන්දු වෙච්ච සාමාන්‍ය පාඨකයෙක් විතරක්‍ කියන එක.