Saturday, July 28, 2018

ඉටු දෙවි 'යුරු - දෙටු මහැ'දුරු



 ඔන්න අපි කට්ටියක් දවසක් පොඩි වැඩකට ගිහිං වැලිමඩ නුවර එලිය හරහා කොළඹ එනවා. සීට් විසි හයේ බස් එකක් උනාට හිටියේ දහ දෙනෙක් විතර. සිංහල අපි හැමෝටම තියනවනේ කොහේ හරි ගියොත් ඒ පැත්තට ආවේණික එහෙම නැත්තං අදාළ පැත්ත ගැන ප්‍රසිද්ධ යමක් ගෙදර අරං යන එක. කතරගම ගියොත් දොදොල් අරන් එනකල් ගෙවල් වල කට්ටිය මග බලාගෙන ඉන්නවා. අනුරාධපුරේ ගියොත් එළවලු ටිකක්. නුවර පැත්තේ එහෙම නැත්තං පඬුවස්නුවර ගියොත් මැටි බාජනයක්. කැළණි පන්සල් ගියොත් මැටි බළලෙක්...ඉතින් දැන් අපි කල්පනා කරනවා මොනවද ගෙදර ගෙනියන්නේ කියලා.

නුවර එලිය හරහා එනවනං මල් ටිකක් අරං එන්න කියල ගෙදරින් පිටත් වෙනකොට අපේ නෝන මහත්තය කියල තිබ්බ. ලස්සනට ගෙදර මල් පෝච්චියක දාලා තියනවටත් වඩා ඔය මල් වල වටිනාකම තියෙන්නේ මාස හය හතක් යනකල් ගෙදරට එන අයත් එක්ක පුරාජේරුව කියන්ඩ පුළුවන් වෙන හින්දයි. අපේ ගෙදර එක්කෙනා මේ ලඟදි නුවර එළියෙන් මල් වගයක් ගෙනාවා....හර්රී......ම ලස්සනයි. හරි ගණන් අඩුයි නේ එහෙ මල්....කියල පටන් ගන්න කතාව ඉවර වෙන්නේ වෙඩින් එකට නුවර එළියෙන් මල් ගෙන්නපු කතාවෙන්. ඒ කතා අහගෙන ඉන්න කොට හිතෙනවා නුවර එළියේ මල් ලොරියක් විතර රුපියල් දෙකට තුනට ගන්ඩ පුළුවන් වෙන ගතියක්.

ඉතින් ඔය වගේ වැලිමඩ නුවර එළිය පැත්තෙන් මොනවද ගෙනියන්ඩ පුළුවන් කියල කතා බහ යද්දි අල ගැන මතක් උනා. තව මොනවද හිතන්නේ මෙහේනේ අල තියෙන්නේ. අල ටිකක් ගෙදර ගෙනිච්චොත් හොඳයි.

ඔය ගමනට කට්ටකාඩුව කියවන අයට අමුත්තෙක් නොවෙන ඩොක්ටර් ඩී ත්, අද කතාවේ නායකයා වෙන ප්‍රොෆෙසර් කරුණාතිලකත්, ලංකාවේ වැදගත් දෙපාර්තමේන්තුවක ඉහලම නිලයක් දරපු බණ්ඩාර මහත්තයත්, තව කීප දෙනෙකුත් සම්බන්ධ වෙලා හිටියා.
ඔන්න ඉතින් මම අල ගැන යෝජනාව ඩොක්ටර් ඩී ට දැම්මා.

Saturday, July 21, 2018

අග මුල නැති ඩයරිය


එක රස්සාවකින් විතරක් අද කාලේ ජීවත් වෙන්ඩ අමාරු හිංදා ලොකු මල්ලි දැන් හවසට හවසට කුළියට බෝතල් පත්තර එක්කහු කරනවා. ඒ උනාට ඉතිං පරණ පුරුදු අමතක කරන්ඩ බෑ. පොතක්, කොලයක් දැක්කොත් ටිකක් කියවලා බලන්ඩමයි හිත. මේ පහුගිය සතියේ හම්බ වෙච්ච පොත් වගේක අස්සේ ඩයරියක කොළ ටිකක් හම්බ උනා. අනුන්ගේ දේවල් කියවන එක නරක පුරුද්දක් උනත් සාමාන්‍යයෙන් මිනිස්සු ඩයරි විකුණලා දාන්නේ නැති හින්ද මට ඒක කියවලා බලන්ඩ හිතුනා.   ඒක කියවගෙන යනකොට මට හිතුනා කට්ටකාඩුව කියවන ඔබ තමුන්නැහෙලත් මේක කියවන්ඩ මනාප වෙයි කියල. ඔන්න එහෙනං...

Sunday, July 15, 2018

වරේවා ක්‍රොයේෂියා!!



සමහර කාල වලට එන උණ හැමෝටම වගේ හැදෙනවා. අපේ ගමේ ඉස්සර නං පොඩි උන්ට අඹ ගැට කාලෙට හැදෙන උණේට කියන්නේ අඹ උණ කියලා. ඇස් ලෙඩ වගේ දේවල් හුග වෙලාවට හැදෙන්නේ නියං කාලයක් අල්ලලා. ඒ වගේම තමයි ක්‍රිකට් මැච් කාලෙට ක්‍රිකට් උණත් ඔලිම්පික්, ෆුට්බෝල් වර්ල්ඩ් කප් කාලෙට අපේ ගමේ අයට විතරක් නෙවෙයි මුළු රටේම හුග දෙනෙකුට ඒ ඒ ස්පෝට්ස් උණකුත් හැදෙනවා. මටත් එහෙමයි. 

ලොකු මල්ලි කොල්ල කාලේ වෙච්ච දේවල් තමයි තාම රහට මතක් වෙන්නේ. 96 වර්ල්ඩ් කප් එක අමතක වෙන ලංකාවේ මනුස්සයෙක් ඉන්ඩ බෑ කියල දකුණු කණ ඔට්ටුවට තියන්ඩ මම කැමතියි. ඒ වගේම මට මතකයි 88 ඔලිම්පික් එකේදි බෙන් ජොන්සන් දුවනවා. 2000 ඕස්ට්‍රේලියාවේ ඔලිම්පික් එකේ සුසන්තිකා දුවනවා මම බැලුවේ පේරාදෙණියේ වෙට් ෆැකල්ටි කැන්ටිමේදී. ඒ විතරක් නං බැරිය 94 ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකේ හැම මැච් එකක්ම බැලුවේ ඒ ලෙවල් විබාගේ කට උඩ තියාගෙන.  දැන් කාලේ ගෙවිලා. ඒ කාලේ තිබ්බ ජොහොර් එක ඇගේ නෑ. මගේ හිතේ වයසට යන හිංදා වෙන්නැති. කොච්චර වයසට ගියත් තාම පුළු පුළුවන් විදිහට ඔය ක්‍රීඩා තියන වෙලාවට ටී වී එක අල්ලාගන්ඩ තවම මම කැමතියි. ඒ කාලේ නං අප්පච්චිත් මාත් එක්ක හිටියා දැන් අප්පච්චිත් නෑ. හැබැයි මම හැමදාම චියර් කරන කණ්ඩායම එකයි.

ක්‍රිකට් නං ලංකාව. එහෙම නැත්තං ඉන්දියාවටයි, ඔස්ට්‍රේලියාවටයි විරුද්ධ කණ්ඩායම (තලේබාන් ටීම් එකක් උනත් කමක් නෑ ඉන්දියාවට රිඹ යන්ඩ ගහනවනං මම සපෝට් තලෙබාන්ලට ඕං). ඔලිම්පික් වලදී නං රුසියාව නැත්තං චීනේ. ෆුට්බෝල් නං ඉතිං ආය දෙකක් නෑ බ්‍රසීල් තමයි.

බ්‍රසීලේ නැති ෆුට්බෝල් වර්ල්ඩ් කප් ෆයිනල් එකක් නිකං පරිප්පු නැති හෝටලේ වගේ. වලියක් නැති මගුල් ගෙයක් වගේ. බෙර නැති පෙරහැරක් වගේ. මිනියක් නැති මළ ගෙයක් වගේ. අද රෑ තමයි ඔය වගේ කිසි ගතිමන්ට් එකක් නැති ෆුට්බෝල් ෆයිනල් එක තියෙන්නේ. හැබැයි මම අද ෆයිනල් එකනං බලනවා. මම මේ කියන්ඩ යන්නේ ඒකට හේතු. කැමතිද කියවන්ඩ?

Saturday, July 14, 2018

සෙන්ටිනේරියන් කට්ටකාඩුව


ඕනෑම කෙනෙක් ඕනෑම වැඩක් පටන් ගන්නේ මොකක් හරි බලාපොරොත්තුවක් ඇතුව. කට්ටකාඩුව බ්ලොග් එක පටන් ගත්තු විදිහ මම කිව්වනේ 50 වැනි ලිපිය ලියන වෙලාවේ. ආචාර්ය ඩී ගේ බල කිරීමට මේ අටමගල පටං ගත්තට මොකද එතනින් එහාට කොහොම කරගෙන යන්ඩද මොනවා ලියන්ඩද කියල මට කිසිම නිච්චියක් තිබ්බේ නෑ කියමුකෝ

මහාචාර්ය මාතලන් තුමාගේ බ්ලොග් පාඩම් මාලාවෙ සහසුද්දෙම්ම කියල තියනවා අර හිට් කවුන්ටර් එක මුල්ම කාලේ අටවාගන්ඩ එපාය එහෙම උනොත් මොකෙක් වත් මේ මැස්සෝ ඇහිරෙන බ්ලොග් බලන්ඩ එන්නේ නැතිය කියල. හුහ් එහෙම කොහොමද.... මම ඔය එක එක ගුරා ලා කියන දේවල අහන්නේ මොකටද කියල හිතපු මම දා ගත්තා ඒක මුලිම්ම.
අනේ අප්පෝ එහෙමත් නව නිංගිරාවක්! පලවෙනි මාසෙටම මම ලියපු එව්වා බැලුවේ 400 කටත් අඩු ප්රමාණයක්. දැන් මගේ කල්පනාව මේ බ්ලොග් කෙහෙල්මල නවත්තලා දාන්ඩ. මම නැහීගෙන කොටන අකුරු මොකෙක්වත් බලන්නේ නැත්නම් මම මොකටැයි කාලේ කන්නේ. එහෙම කියලා නවත්තන්ඩ හදන කාලේ හරි අපූරු වැඩක් උනා. ඔන්න ඔය වැඩෙත් එක්ක තමයි... නෑ ...දැම්ම නවත්තන්නේ නෑ තව ටික කාලයක් මේක කරගෙන යනවා කියල දහිරිය ගත්තේ. ඉතින් අද කට්ටකාඩුවේ සියවෙනි ලිපිය සමරන වෙලාවේ මට හිතුනා කතාව කියන්ඩ.

...අමතක උනා කට්ටකාඩුවත් එක්ක අවුරුද්දකුත් සතියක් හිටපු මේකේ මම ලියන ලට්ට ලොට්ට කියවන, කියවලා ගුණ දොස් පෙන්නන, ලිපි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න හැමෝටම ස්තූතියි කියන්ඩ මම මේක අවස්තාව කර ගන්නවා.

Sunday, July 8, 2018

කොරෝදාරාමය



අද කියන්ඩ යන්නේ අපේ ගමට ළඟ ගම දෙකක කතා දෙකක්. වැවයි දාගැබයි ගමයි පන්සලයි කියල ඈත අතීතේ ඉඳන් පවත එන කතාවක් තියනවනේ. උනාට මේ හතර කෝරළේ වැව් නෑ. පොඩි පොඩි ගම්මාන තියන හිංදා හැම ගමකටම පන්සලකුත් නෑ. මගේ හිතේ අතීතේ ඉඳම්ම උඩරට රජ්ජුරුවන්ටයි, කෝට්ටේ රජ්ජුරුවන්ටයි අතර මැද්දේ ටික කාලයක් සීතාවක රජ්ජුරුවන්ටයි, අපේම දැදිගම හිටපු රජ්ජුරුවන්ටයි වගේ එක එක රජා අතරේ මාරුවෙච්ච ෆුට් බෝලයක් වෙච්ච නිරන්තර යුද සූදානමක හිටපු මිනිස්සු ජීවත් වෙච්ච මේ හතර කෝරළේ හැම ගමකටම පංසලක් නඩත්තු කරන්ඩ තරං හයියක් හත්තියක් තිබ්බේ නැති හින්දම තමයි ලොකු ගං වල විතරක් පන්සල් හැදිලා තිබ්බේ.

අපේ ගමත් පොඩි ගමක් හිංදා  අපේ ගමටත් වෙනම පන්සලක් නෑ. හැබැයි එහෙම විශේෂයෙන් පන්සලක් නෑ අඩු පාඩුවකුත් නෑ. අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවරු අපේ ආගමික අවශ්යතාවන් ඉෂ්ට සිද්ධ කරලා දෙන හිංදා. හැබැයි හැම තැනම එහෙම වෙන්නේ නෑ. මම කියන්ඩ හදන්නේ අපේ ළඟ ආසිරාවේ තියන ගං දෙකක වෙච්ච කතා දෙකක් ගැන. කවුද හරි කවුද වැරදි කියලා තමුන්නැහෙලාම තීරණය කරන්ඩ හරිය.

Monday, July 2, 2018

පාර දිගේ ලේ ගැලුවත්...



ගිය මාසේ මම කිව්වනේ රුහුණේ දී හම්බ වෙච්ච තිත්තවැල්ගොල්ලේ වධකයා ගැන. ඉතිං ඔය ලිපිය දැකපු දෙතුන් දෙනෙක්ම මගෙන් ඇහුවා 'රුහුණේ විස්තර' එතකොට මතක් වෙච්ච තව කතාවක් කියන්ඩයි අද සූදානම. මේක අද සමාජයේ ඉන්න ප්රසිද්ධ පුද්ගලයෙකුටත් සම්බන්ධ හිංදා කියම්දෝ නොකියම්දෝ කියල හිතුනත් අපේ ගමේ කට්ටිය කියනවා වගේ 'ඕන ඉලව්වක් වෙන්ඩ ඔන්නොහෙ කියල දාන්ඩ' තමයි මගේ කල්පනාව.

අපේ තකතීරු අධ්යාපන ඇමැත්තෙක් ගේ මානසික රෝග සංසිදුවා ගන්ඩ සැටලයිට් තුමිය රාජ්ජය අවිචාරණ සමයේ අපිව ගාල් කරලා රුහුණේ කෘෂි කර්ම පීටයට යවපු හැටිත් කෘෂි කෙසේ වෙතත් අපේ පෙර කල කර්ම පළදෙන තැනක් බවට එතැන පත්වෙච්ච හැටිත් මම මීට ඉස්සර ලිපි දෙකකින් කිව්වනේ. දැන් කියන්ඩ යන්නේ කාලෙම අපි විරු සිසුවෝ වෙන්ඩ තිබ්බ චෑන්ස් එකක් නූලෙන් මිස් වෙලා ගිය හැටි. එදා වැඩේ ටක්කෙට උනා නං අද මේ ලොකු මලය සුන්දර සුරඹුන්ගේ අතේ.....


අපේ ෆැකල්ටිය පිහිටලා තිබ්බේ මාපලානේ. කියන්නේ ඉඳන් කඹුරුපිටිය පාරේ හැතැම්ම නවයක් දහයක් විතර එනකොට තියන හරියක. හැබැයි රුහුණු විස්සවිජ්ජාලේ ආට් ෆැකල්ටිය හෙම පිහිටුවලා තිබුනේ වැල්ලමඩමේ. කියන්නේ මාතර ඉඳන් තංගල්ල පාරේ හැතැම්ම තුනක් හතරක් විතර එනකොට තියන හරියක. කොටිම්ම කිව්වොත් මාපලානේ ඉඳන් වැල්ලමඩමට එන්ඩ බස් දෙකක හැතැම්ම දොළහක් දහතුනක් විතර එන්ඩ ඕන. ගමනට කාලේ පැය එක හමාරක් විතර ගත උනා කියලයි මතක තියෙන්නේ.