Friday, December 29, 2017

විල්පත්තුවේදී මුව හමට තඩි බෑම


අද වෙනකොට විල්පත්තුව ගැන දන්නේ නැති එකෙක් වත් හොයාගන්ඩ අමාරුයි. විල්පත්තුවට ජීවිතේට අඩිය නොතිබ්බ හුග දෙනෙක් දැන් විල්පත්තුවේ  මායිම් ගැන දන්නවා. මේ ලගදි කැලෑ කන්තෝරුවේ ලොකු මහත්තැන් කෙනෙක්ව එල්ලුම් ගස් යවන්ඩ සුදුසුයි කියලත් සමහරු කියනවා මං අහගෙන. කාලෙකට ඉස්සර නං අම්බ හොරු රෑනක් ගෝල් පේස් පිට්ටනියට ගෙනැත් එල්ලන කල් අපි බලා ගෙන හිටියා. ඒත් එහෙම කවුරුවත් ඇත්තටම එල්ලුම් ගස් යැව්වේ නෑ.  මේ පාරත් ඔය කවුරු පාරම් බෑවත් කවුරුවත් එල්ලුම් ගස් යන එකක් නෑ. හැබැයි හැලපතුමා දාලා තිබ්බ පෝස්ට් එකක් හිංද මට හිතුනා ඔය විල්පත්තු කතන්දරේ තව පැත්තක් පෙන්නලා දෙන්ඩ. ඔන්න පුලුවන්නං මේ හේතු ටික නැතිකරලා දාන්ඩ පුලුවන් ජගතෙක් හිටියොත් අපේ කැලෑ ටික බේර ගන්ඩ පුළුවන් වෙයි.


ඊට කලින් කතන්දරයක් කියල හිටින්නං කොහොමද සමහර නිලධාරියෝ අතීතේදී කැලෑ ටික බේර ගත්තේ කියල කාටත් තේරෙන්ඩ. අපේ කැලෑ දෙපාර්තමේන්තුවේ ඉහලම පුටුවේ හිටියා බණ්ඩාර මහත්තයා කියලා උත්තමයෙක්. එතුමා බොහොම දිග කාලයක් ඒ තනතුර දැරුවා. ඔය කාලේ කැලෑ බාර ඇමතිතුමා විදිහට පත් වෙලා හිටියේ මාතර පැත්තේ චරිතයක්. එතුමා කම්පනා කළා මේ එක එකා හොරෙන් කැලෑ කපන එක නවත්තන්ඩ හොද ක්‍රමයක්. දවල් රෑ මේ ගැන කම්පනා කරපු ඒ ඇමැත්තා ඒකට හොඳ කෙරේමයක් හොයා ගත්තා. ඒ තමයි කැලෑ ටික නීත්‍යානුකූලව කපලා දාන එක!!! හොරෙන් කපන්නේ කැලෑ තිබුනොත්නේ. කැලෑ නැති උනාම මක්කද කපන්නේ???? කොහොමද එතුමගේ ටිකිරි මොලේ?   

Sunday, December 24, 2017

ප්‍රාග් නුවර කැරකොප්පුව

අවුරුද්දේ අන්තිමත් ලංවෙනවා. මේ අවුරුද්දේ කරපු කියපු දේවල් ගැන හැරිලා බලන්ඩ, ඒ දේවල් වලින් ඉගෙන ගන්ඩ කියලා ටී වී එකේ නිතර දෙවේලේ කියවන හිංදා මම ඒක වහලා දැම්මා. අපි ඔක්කොමලා ඒ කියන්නේ මුළු මිනිස් සමාජයම එක්කහු වෙලා ඔය ටී වී එකේ ඉන්න පණ්ඩිතයෝ කියන දේ අහලා අපේ තියන ඔක්කොම වැරදි ටික හදා ගත්තොත් මොකක් වෙයිද? හරිම නීරස, ඒකාකාරී, මුඩුම සමාජයක් බිහිවේවි එතකොට. මං මේ කියන්නේ හැමෝම නිවන් දැක්කොත් වගේ දාර්ශනික ප්‍රශ්නයක් ගැන නෙවෙයි අපි මේ දිනපතා කරන වැරදි ගැන. 

මම කොහේ හරි රටකට යනකොට පුළුවන් හැම වෙලාවේම ඉල්ල ගන්නවා ගුවන් යානයේ ජනේලේ ළඟ සීට් එකක්. මොකද මට ඕන අලුත් රටකට එහෙම නැත්තන් අලුත් නගරෙකට යනකොට උඩ ඉඳන් බලන්ඩ ඒ නගරේ ගොඩනැගිලි කොයි වගේද කියලා. හරි හතරැස් පෙට්ටි පෙට්ටි වගේ බොහොම පිළිවෙලට හදපු ගොඩනැඟිලි  නං මට පෙන්ඩ තියෙන්නේ, මට හිතෙන්නේ ඒ නගරේ හරිම කෘතීම එහෙම නැත්තං හරි අස්වාභාවික විදිහට කවුරු හරි පිට ලෝකෙකින් ගෙනත් දාපු සත්තු ටිකක් හදපු මැෂින් එකක් වගේ. කිසිම ජ්‍යාමිතික හැඩේකට නැතුව විසිරුණු හැඩ තියන ගොඩනැගිලි නං පේන්ඩ තියෙන්නේ මගේ හිත සතුටින් පිරෙනවා. හරියට මගේ ගමට ආවා වගේ හැගීමක් මට හම්බ වෙන්නේ එතකොට.  ඒ මගේ හැටි.

Thursday, December 21, 2017

බල්ලෝ, බූරුවෝ,හරක් සහ ගොන්නු


ඉස්සර කාලේ බොහොම ගැඹුරු කට හඬකින් විදේශ ප්‍රවෘත්ති, විස්තර විචාර ගෙනාපු ආචාර්ය මොහාන් සමරනායක මහත්තයා මතකදඅද එක එක දේශපාලන පක්ෂ වල මාධ්‍ය ප්‍රකාශක වගේ තුට්ටු දෙකට වැටිලා හිටියට එතුමා හොඳ බුද්ධිමතෙක්. හරි සුන්දර මනුස්සයෙක්. කාලෙක එතුමත් අපේ කන්තෝරුවට කිට්ටුවෙන් වැඩ කළා. ඉතින් සමහර දවස් වල අපි උදේ කෑම ගන්න වෙලාවෙදි හම්බෙනවා කැන්ටිමේදී. මෙන්න එහෙම කියපු එක කතාවක්.

දවසක් එක සීබ්‍රාවෙක් සත්තු වත්තේ කූඩුවෙන් එලියට පැන ගත්තා. ඊට පස්සේ ඌ කල්පනා කළා සත්තු වත්තේ ඉන්න අනික් සත්තුන්ව බලන්ඩ යන්ඩ. එහෙම යනකොට ඉස්සොරෝම හම්බ උනේ බල්ලා.

ආ යාලුවේ ඔයා කව්ද?” සීබ්‍රා ඇහුවා

බුහ්....බුහ්...මම තමයි බල්ලා කියන්නේ

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

මම මිනිස්සුන්ගේ හොඳම යාලුවා. මම ඒ අයව ආරක්ෂා කරනවා...!!!”

ඒකත් එහෙමද?” කියපු සීබ්‍රා ගමනේ යෙදුනා. ඌට ඊළඟට හම්බ උනේ පූසෙක්.

ආ...යාලුවේ ඔයා කව්ද?”

මම පූසා..ඥාව්..."

ඔයා මොනවටද ප්‍රසිද්ධ?”

ඥාව්...මම ගෙවල් වල ඉන්න මීයෝ අල්ලන්ඩ තමයි ප්‍රසිද්ධ!!!”.

ආ හොදයි මම එහෙනං ගිහිල්ලා එන්නං කෝ...

ඔහොම එක එක සත්තු හම්බ වෙච්ච සීබ්‍රා අන්තිමට ආවා පට්ටි ගොනෙක් (stud bull) දාලා හිටපු කූඩුවක් ලඟට.

Sunday, December 17, 2017

දක්ෂිණාංශික සමාජවාදියා සහ බෞද්ධ කොටියා


 හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා. මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා. මොන පිස්සුද වෙනද වගේම තාප්පේ නිල්, කොළ, කහ, රතු, දුඹුරු සහ පාට පෙට්ටියක මං කවදාවත් දැකල නැති පාට වලිනුත් පෝස්ටර් වැහි වැහැලා. ඔය අතරේ අපේ සුනිල් කන්නංගර දිසාපති තුමා (ඒ මහත්තැන්  කොයි තරං ලොකු තානාන්තර  වලට පත් උනත් මට නං එතුමා අම්පාරේ හිටපු මහ දිසාපති උන්නාන්සෙම තමයි. එතුමට මාව මතක නැති උනාට එතුමගේ සහයෝගෙන් අපි අම්පාරේ කරපු වැඩ ගැන මං පස්සේ දවසක ලියන්නංකෝ) මේ පුංචිචන්දේ ගැන දාලා තිබ්බ ලිපිය කියෙව්ව ගමම්ම මගේ කල්පනාවට කස් ගාලා ආවේ අපේ ගම්පැත්තේ ඉන්න චරිත දෙකක්. 

එක්කෙනෙකුට 'අබේ අයියා' කියලත් අනික් කෙනාට 'ලූලාපානේ ඉන්ද්‍රසිරි' කියලත් කියමුකෝ. හැබැයි රජෝ මේ උන්දලාගේ හැබෑ නං නෙවෙයි. ඒ මොකෝ මේ චරිත තාම අපේ ගම් පළාතේ ක්‍රියාකාරී දේශපාලනේ ඉන්න දැවැන්ත චරිත දෙකක් හිංදා!!


මෙතුමන්ලා ගැන ලියන්ඩ හේතු උනේ අපේ ගම්පලාතේ පිනටම පහල වෙච්ච උත්තමයෝ දෙන්නෙක් හිංදා. දෙන්නම වෘත්තීමය දේශපාලකයෝ දෙන්නෙක්. සමහර විට මේ දෙන්න ඉල්ලපු චන්ද ප්‍රමාණය උන් දෙන්නටවත් මතක නැතුව ඇති. මං ඉත්තේරුවෙන්ම දන්නවා දෙන්නගෙන් එක්කෙනෙක් වත් ජනාධිපතිවරනෙකට ඉදිරිපත් උනේ නෑ කියලා. හැබැයි ඉං මෙහා මොන චන්දෙකට උනත් මේ දෙන්න ඉල්ලලා තියන බවයි මගේ හැගීම!! තව එක දෙයක් කියන්නං මේ අය ගහපු පෝස්ටර් ප්‍රමානේ එක්කහු කරා නං අද මධ්‍යම අධිවේගී මාර්ගේ පාලං කණු දෙක තුනක් වෙනුවට පාවිච්චි කරන්ඩ තිබ්බා. අනික ඒ පෝස්ටර් ප්‍රමානෙට චන්ද හම්බුනානං අද ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් ගොයිය නෙවෙයි අපේ අබේ අයියා නැත්තං ලූලාපානේ ඉන්ද්‍රසිරි!!!

Thursday, December 14, 2017

ෆුඩ් ග්රූප් කෙරුවාව-දෙවෙනි කොටස

මම කියන්ඩ පටන් ගත්තනේ  මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප් කෙරුවාව ගැන. ඒ ගැන මුල් ලිපිය මෙතනින් බලලමු එමු. නැත්තං අගමුල නැති වල පෑගුනා වගේ තමයි බැද්දෙදි. ඉතින් කොහොම කොහොම හරි වදෙන් පොරෙන් බැච් එකෙන් එකතුවෙච්ච ඔක්කොම සල්ලි වලට බඩු ටිකත් අරං අපි දඹුල්ලෙන් එන්ඩ පිටත් උනා.



“මචං අපි ලොකු බාස්ගෙනුයි සැන්ඩෝ අයියගෙනුයි මේ සතියේ උපරිම වැඩ ගන්නවා වගේම හොඳට සලකන්ඩත් ඕන...” ඩව්වා නායකත්වයේ දේශනයක් පටං ගත්තා.

“ඔව් වොව් ඒක ඇත්ත” අපි ඔක්කොම එක පයින් ඒක අනුමත කරා.

“ඒ හින්ද අපි ගල් අරක්කු බෝතල් දෙකක් ගම්මුද උං දෙන්නට?”

“බෑ...බෑ...”ඔක්කොම එක හඩින් ඒකට විරුද්ධ උනා.

“එහෙනං කසිප්පු දෙමු කියලද උඹලා කියන්නේ?”

“නෑ...නෑ...”ආයෙත් ඔක්කොම කිව්වා?

“එහෙනං මොකක් කරමු කියලද තොපි කියන්නේ?”

“බෝතල් දෙකක් මදි කියලා!!”

“උං දෙන්නට වැඩිය බොන්ඩ දෙන්ඩ නරකයි”

“නෑ...නෑ...උන්ට නෙවෙයි”

“එහෙනං?”

“අපිට...අපිට!!!!”

“එහෙනං දීපියව් සල්ලි...!!!”ඩව්වත් එක පයින් කැමති උනා මේ සද්කාර්යයට! අන්තිමට අපි කැකිරාවෙන් පිටත් වෙනකොට අපේ වියදෙමෙන් ගත්තු ගල් අරක්කු බෝතල් හයකුත් වෑන් එක ඇතුලට ඇවිල්ලා තිබුනා!!!

Monday, December 11, 2017

දවස් පහක් ලියූ සති හතක් කියවූ කට්ටකාඩුව


අදට මාස පහකට හයකට විතර ඉස්සර හරියටම කිව්වොත් 2017 ජූලි 05 අපි කට්ටකාඩුවේ පළවෙනි පැලේ හිටෙව්වා.අද වෙනකොට පැල 49 හිටවලා මේ 50 වැනි එක!! ඉතිං මං කම්පනා කොලා කට්ටකාඩුව එලි පෙහෙළි කරලා, පැල ඉන්දලා, මේ ඉඩෝර කාලේ ඒ ඉන්දවාපු පැල ටික මැරෙන්ඩ නොදී රැක බලා ගත්තු හැමෝටම සෙත් පතන්ඩ. උන්දැල කරපු කියපු දේවල් මතක් කොරල පින් අනුමෝදන් කොරන්ට. 

ඊට කලියෙන් කියල හිටින්නංකෝ කට්ටකාඩුව පටන් ගත්තු විදිහ.


මීට අවුරුදු තුන හතරකට උඩදී රාජකාරි වැඩකදී එක්තරා ගුරුවරයෙක් හම්බ උනා. අපි කියමුකො මේ ගුරු උතුමට ආචාර්ය ඩී කියලා. එතුමගෙන් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙන ගන්නවා. ඔය අතරේ මගේ තියන නොසන්ඩාල කමට එතුමා කැන්ගරු දේසෙට රාජකාරි උවමනාවකට යන්ඩ  දරපු උත්සාහයක් ගැන පොඩි මඩක් ගහන්ඩ හිතක් පහල උනා. ගූගල් ඒ වෙනකොටත් ඉංග්‍රීසි අකුරු කොටද්දී සිංහල අකුරු පහළවෙන විජ්ජාව හොයා ගෙන තිබ්බේ. මට ඔය දවස් වල නිවාඩු දෙක තුනකුත් හම්බ උනා. කරුම පල දෙන්ඩ යනකොට ඔක්කොම දේවල් එකට එක්කහු වෙනවා කියන්නේ ඕකනේ. ඔය එක දෙයක් හරි නොවී තිබ්බ නං මට බේරෙන්ඩ තිබ්බා.

Friday, December 8, 2017

මහ ඉලුප්පල්ලමේ ෆුඩ් ග්රූප්


මේ ලඟදි අපි ගියා ආරණ්‍ය සේනාසනේකට දානයක් දෙන්ඩ. එහෙ හාමුදුරුවරු වැඩ ඉන්නේ 10-12 විතර. පැවිද්ද බලාපොරොත්තුවෙන් ඉන්න අයත්, ආවතේව වලට ඉන්න අයත් එක්ක ඔක්කොම 15 විතර. හැබැයි මේ දානේ පිළියෙළ කරන්ඩ 20-25 විතර කට්ටියක් ගියා. ඉතින් මේ දානෙට උයන පිහන දේවල් මොනවද කියල අපි කල්පනා කරන්ඩ පටන් ගත්තේ මාසෙකට විතර ඉස්සර ඉඳන්. හැබැයි ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂමද කියනවනම් දානේ හෙට කියල අද දවල් වෙනකලුත් එකතු කිරීම්, අඩු කිරීම් උනා. 

අන්තිමට දානේ ඉවර උනාමයි දැනගත්තේ 50 විතර සෑහෙන්ඩ හදපු සමහර ව්‍යාංජන හට්ටිය පිටින්ම අතුරුදහන් වෙලා කියලා. සමහරක් ව්‍යාංජන හිටපු කට්ටියෙන් බාගෙකටත් මදි. සමහරක් මාළු පිනි තව හැටකට හැත්තෑවකට උනත් කෑම දෙන්ඩ තරං වැඩියි. අන්තිමට දානෙට බැහැලම වැඩකරපු දෙතුන් දෙනෙකුට ඉතුරු උනේ බතුයි, මැල්ලුමකුයි, කොහිල මාලුවකුයි විතරයි.විතරයි. අපේ පැත්තේ ඕනෑම දානේ ගෙදරක සන්සිතෑසිය මේක උනාට මං හිතුවේ නෑ 30-40 දෙනෙකුට හදපු කෑම මේ තරමට මදි වෙයි එහෙම නැත්තං වැඩි වෙයි කියලා. අනේ අපි තියන විදිහට කමු  ආය මොකද අපි ඔව්ව නොකාපු දේවල්යැ…. වැඩිපුර තියන එව්වා ඔතාගෙන ගෙදර ගෙනියමුකියල අපි හිත හදා ගත්තට එහෙම කරන්ඩ බැරි වෙච්ච කාලයක් ගැන මට මතක් උනා. අද කතාව ඒ ගැන.

මහ ඉලුප්පල්ලමේ ඉන්දැද්දී වෙච්ච සිද්ධි කීපයක් මං මීට ඉස්සරත් කියල තියනවනේ. එව්වා ඔක්කොම මගේ යාලුවන්ට වෙච්ච දේවල්. ඉතින් මං හිතුවා ඔය MI කාලේ මට වෙච්ච සිද්දියකුත් කියන්ඩ.

Sunday, December 3, 2017

පවුලත් රටත් පාවාදී පාචනයෙන් මියගිය පුංචිරාළ


ඉතිහාසය කියන්නේ මං පොඩි කාලේ ඉදම්ම ආසා කරපු විෂයයක්. කවදාවත් නියමාකාරයෙන් ඉගෙන ගන්ඩ බැරි උනාට ඉතිහාසේ ගැන ලියවිච්ච පොත පත කොහේ හරි දැක්කොත් එක්කහු කරන පුරුද්දක් මට තියෙනවා.ඒත් මම හිතා මතා මග ඇරපු ලංකාවේ එක කාල පරිච්චේදයක් තිබ්බා. තමයි 1815 දෑලේ ලංකාවේ උනේ මොකද්ද කියන එක තේරුම් ගන්ඩ උත්සාහ කරන එක. ඒ උනාට මට ජීවිතේ මෑත කාලේ හම්බවෙච්ච එක ගුරුවරයෙක් හිංදා ඒ අදහස වෙනස් උනා. මම ඒ කාලේ ගැන ලියවෙච්ච පොත් එක්කහු කරන්ඩ පටන් ගත්තා. ඒත් මොකද්දෝ ලොකු හිස් බවක් හිංදා ඒ මට ඒ කියවපු හැම පොතක් ගැනම තිබ්බේ පොඩි සැකයක්. කොහොමත් ඉතිහාසය කියන්නේ එක්තරා කලාවක්. ඒ හිංදා හැම විටම ඇත්ත දේවල්ම අපිට කියවන්ඩ අහන්ඩ හම්බ වෙනවා කියලා හිතන්ඩ අමාරුයි. ඒත් අර අමුතු හිස්තැන හිංදා මං 1815 තේරුම් ගැනීම කල් දමමින් හිටියා. ඒත් මෑතකදී මට හම්බවෙච්ච පොතක් (The Doomed King – A requiem for Sri Vikrama Rajasinha (2017)- Gananath Obeysekere) හිංදා ඒ හිස් තැන් සෑහෙන මට්ටමකින් පුරවගන්ඩ පුළුවන් උනා. ඒ සතුටටත් එක්ක 1815 දෑලේ ලංකා ඉතිහාසය වර්ණවත් කරපු එක චරිතයක් ගැන විස්තර ඔයාලත් එක්ක බෙදා ගන්ඩ මං හිතුවා. ඒ තමයි පුංචිරාළගේ කල් කිරියාව.

පුංචිරාළ කිව්වට කාටවත් මතක් වෙන්නේ නැති උනාට අපේ රටේ නිදහස සුද්දන්ට පාවා දෙන්ඩ කරන්ඩ පුළුවන් හැමදේම කරපු උඩරට රජකමට විතරක් දෙවැනි වෙන පල්ලෙගම්පහේ අධිකාරම් ධූරය 1811 ඉදන් 1814 වෙනකල් දරපු ඇහැලේපොළ මහා අධිකාරම් කිව්වම ලංකාවේ ඉතිහාසය ගැන දන්න හුග දෙනෙකුට මතක් වෙනවා. තවත් මතක් වෙයි අපි පොඩි කාලේ ඉදලම අහලා තියන වීර මද්දුම බණ්ඩාරගේ  තාත්තා කියල කිව්වොත්. මෙන්න උන්දැගෙ කතාව!!