Saturday, January 20, 2018

ගෙජ්ජියක් බඳිමුද?


අපේ රට හරි පුදුම රටකි. එහෙම කියන එකේ කිසි අලුත් දෙයක් තොරතුරක් නැත්තේ මේ රට ගැන දන්නා හැමෝම මේ රට මහ පුදුම රටක් බව හොදිම්ම දන්නා හින්දාය. ඒත් අපි හැමදාම වෙච්ච දේවල් ආයෙත් වෙනකොට අනිච්චේ දුක්කේ රටකට ගිය කලක්!!” කිය කියා විලාප තබන්නෙමු. එහෙම විලාප තැබිල්ලේ අලුත්ම නාටකය කාන්තාවන්ට තැබෑරුම් වලට යන එන එක තහනං කරපු ගැසට් නිවේදනය හා සම්බන්ධය. මේ නිවේදනය ගැන සමහරු බොහෝ සතුටු වන අතර සමහරු බොහෝ දුක් වෙති. නමුත් ඔය මල ජරාව කටේවත් නොතියන අපිට නං ඔය නිවේදනේ තිබ්බත් නොතිබ්බත් එකය. මොකෑ ගමේ කසිප්පු පොලට ඔය මහාණ්ඩුවේ රෙකුලාසි සතප්පහකට වැඩක් නැති හින්දාය. හැබැයි නිවේදනෙන් එලියට පැනපු එක එකාගේ පිරුවට වල පාට ගැන නං ටිකක් කතා කිරීම වටියි. ඉතින් ගැන තමයි අද කතාව.

මට මතක් වෙන්නේ අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බණක්. කාට හරි සැක නං බලා ගන්ඩලා මහා පරිනිර්වාණ සූත්රය. දීඝ නිකායේ තියන බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්ඩ යන අතරේ දේශනා කරපු ධර්ම කොටස් අඩංගු කරලා තියන සූත්රයක්. ඔය සූත්රයේ තියනවා බුදු හාමුදුරුවෝ දේශනා කරපු සතර මහා අපදේශ. මොනවද මේ සතර මහා අපදේශ?

Monday, January 15, 2018

ඒජන්ට් මෙට්‍රික්ස් සමග එක්ස් ෆයිල්ස්


මතකද එක්ස් ෆයිල්ස් කියල ඉංග්‍රීසි කතා මාලාවක් තිබ්බා? ඒජන්ට් මල්ඩර් සහ ඒජන්ට් ස්කලී කියලා එෆ්.බී.අයි. ඒජන්ත වරුන් දෙන්නෙක් සාමාන්‍ය ලෝකයේ සිද්දවෙන විද්‍යාත්මකව අසාමාන්‍ය දේවල් හොය හොයා ගිය අපූරු කතා මාලාවල් කීපයක්!! මේ නමින්ම චිත්‍රපටි දෙක තුනකුත් ආවා. ඉන්දියාවේ හදන ගොං පාට් කොපි කරන ඒවා රහ කර කර බලන (මට හිතෙනවා සමහරු ඒවා බලන විදිහට ටී වී එක බලනවා නෙවෙයි ගිලිනවා කියලා) අපේ රටේ මේ සම්මජ්ජාතියේ එක්ස් ෆයිල්ස් වගේ එකක කොපියක් හැදෙන්නේ නැති උනාට කාලෙකට ඉස්සර ජාතික රූපවාහිනිය මේ කතා මාලාව උප සිරැසි දාලා පෙන්නුවා. (මේ ලඟදි රෑ හතට පටන් ගත්ත විශේෂ වැඩසටහන් මාලාවේ බ්‍රහස්පතින්දා දවස වෙන් උනේත් එක්ස් ෆයිල්ස් වලට. ඒත් අපේ උන්දැලාට ඒක දිරවන්නේ නැති හින්දද කොහෙද දැන් එක නවත්තලා දාලා). 

ඔය කතා මාලාවේ ඉන්න ඒජන්ට් ස්කලී විතරක් නෙවෙයි මල්ඩර් වත් ඒ කාලේ අපේ හිත් පැහර ගත්තු චරිත. මගේ මතකේ හරිනං අගහරුවාදා හරි බ්‍රහස්පතින්දා හරි දවසක රෑ දහයට තමයි ඔය කතා පෙන්නුවේ. මාත් එක්ස් ෆයිල්ස් පිස්සෙක්. ඒ දවස් වල එක කතාවක් හරි බලන්ඩ බැරි උනොත් නිකං  සති දෙක තුනක් කෑවේ නෑ වගේ, ලංකාව බංග්ලාදේසේට පැරදුනා වගේ කොටිම්ම ගෙදර ගිහිං හිටපු නෝනා ආපහු ආවා වගේ.

                                               මේ ඉන්නේ ස්කලී සමග මල්ඩර් 

Saturday, January 13, 2018

තෑන්ක්ස් මචං මම මෙට්‍රික්ස්


කැම්පස් ජීවිතේට ඉස්සර කලනය (calculus) කියන ගණිතමය සංකල්පය ගැන අදහසක් වත් නොතිබ්බ අපිට, කෘෂි විද්‍යාවට අයිති සමහර සංකල්ප තේරුම් ගන්ඩ පහසු මගක් විදිහට කලනය ඉගෙන ගන්ඩ උනා. මේ කලනයේ එන එක කොටසක් තමයි න්‍යාස (matrix) ගැන තියන කොටස. කලනය, න්‍යාස වගේ දිව පටලවෙන අමාරු වචන වෙනුවට මෙව්වට ඉංග්‍රීසියෙන් කියන නං දෙකම පාවිච්චි කරන්නං මේ කතාව කියන්ඩ. ඒ තමයි කැල්කියුලස් සහ මෙට්‍රික්ස්.

කැල්කියුලස් කියපු ගමං අපිට ටැන් ටැන් (අපි Tin Tin කියන අකුරු ටික දිහා බලලා ටින් ටින් කියල පහසුවට කිව්වට හරි විදිහට මේ ප්‍රංශ වචනේ උච්චාරනේ කරන්ඩ ඕන ටැන් ටැන් කියලා) කතා මාලාවේ එන ප්‍රොෆෙසර් කැල්කියුලස් මතක් වෙනවා. වෙලාවකට එතුමා කරන වැඩ හිංදා හිනා කාලා පන යනවා. වෙලාවකට ඔහු තමයි විද්‍යාත්මක උපදෙස් දෙන්නේ ජාත්‍යන්තරවත්. සමහර විට එයාගේ තියන පොඩි පොඩි චර්යාත්මක ප්‍රශ්න යටපත් වෙනවා ඇති විද්‍යාත්මක වැඩ කරන්ඩ ගියාම. ඒ කොහොම උනත් තේරුම් ගන්ඩ ටිකක් අමාරු චරිතයක්. බීමත් කමට ඇබ්බැහි වෙච්චි කැප්ටන් හැඩොක්, වීරයාගේ සුරතලා ස්නොවි සහ බුද්ධිමත් වීරයා ටැන් ටැන් වගේ චරිත ගත්තහම එව්වා ඒකාකාරියි. හැම කතාවේම එකම ලක්ෂණ පෙන්නන චරිත. හැබැයි ප්‍රොෆෙසර් කැල්කියුලස් එහෙම නෙවෙයි.

මෙට්‍රික්ස් කියල අපි දන්න ප්‍රසිද්ධ චරිතයක් නැති උනාට හරි ප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටි මාලාවක් තියනවා මෙට්‍රික්ස් කියලා. 1999 දී මුලින්ම තිරගත වෙච්ච මේ කතා මාලාවේ කියවෙන්නේ මායාමය ලෝකයක් යතාර්ථයක් විදිහට සලකන අනාගත ලෝකයා ගැන. මේ මායාමය යතාර්ථය තමයි මෙට්‍රික්ස් කියලා ඒ චිත්‍රපටියේ දී හැඳින්වෙන්නේ. (ඕන ඔට්ටුවක් ඔය ෆිල්ම් එක පාරක් බලලා නං තේරුං ගන්ඩ බැරුවට!! මට යාන්තං ඕක තේරුං ගන්ඩ තුන් පාරක් බලන්ඩ උනා.)

Monday, January 8, 2018

ජෙරුසෙලම, තී නම් මනහරය


අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට ගිහින් බුද්ධගයාව වැඳ ගන්ඩ ගියාම දැක්කා බුද්ධගයාවට ඇතුල් වෙන්ඩ කිසිම බෞද්ධයෙකුට අවසර නෑ කියල. ඒ වෙනකොට ඒ කියන්නේ 1891 ජනවාරි 22, බුද්ධගයාව කියන්නේ මහන්තා කියල හින්දු පූජකයෙක් යටතේ පාලනය වෙච්ච ශිව කෝවිලක්. ඉතිං ධර්මපාල තුමා පටං ගන්නවා ජාත්‍යන්තර ව්‍යාපාරයක් මේ බුදුන් උපන්න ශුද්ධ භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ. විවිධ උත්සාහයන් ගණනාවකට පස්සේ 1914 දී එතුමාට පුළුවන් වෙනවා පොඩි සාර්ථකත්වයක් ලබා ගන්ඩ. ඉන්දියාවේ ලෝක ප්‍රකට කවියා රබීන්ද්‍රනාත් ටාකූර් 1922 දී මෙහෙම කියනවා.

"බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ උතුම් ස්ථානයේ, ඒ ආගම ගැන හෝ බෞද්ධ වන්දනා විධි පිළිබඳව හෝ මනා අවබෝධයක් නැති එම ආගමට තරඟකාරී ආගමකට අයත් පූජ්‍යස්තානයක්  නොපැවතිය යුතු බව හිංදු ආගමික ප්‍රතිපත්ති පිළිබඳව හොඳින් දන්නා සියලු හින්දූන් පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි" 

Friday, January 5, 2018

මහරජ කංසා


සාමාන්යයෙන් පිරිමි අපිට ටී. වී. බලන වෙලාවට රිමෝට් කොන්ට්රෝල් එක අතේ නිකං තියාගෙන ඉන්ඩ ටිකක් අමාරුයි. ඉතින් ඕකේ බොත්තන් මිරික මිරික ඉන්න වෙලාවක මම දැක්කා මහරජ කන්සා කියල ටෙලි නාට්ටියක් මොකද්දෝ චැනල් එකක පෙන්නනවා කියල මේ දවස් වල. දැක්ක ගමං මගේ හිත දුවලා ගියේ අපි කැම්පස් හිටපු කාලේ හිල්ඩා හොස්ටල් එක වාසභවනය කරගත්තු කාලෙට.

ඔය කාලේ බඩේ කැක්කුං, අතේ පයේ කැක්කුං, කොන්දේ කැක්කුං, ඉස රදේ, අධික සීතල, පීනස වගේ අටානූවක් රෝග දෙසිය තිහක් ව්යාධි හැදුනම හෙල්ත් සෙන්ටර් එකට යන එක මහා වදයක්. මොකද කෙහෙම්මල තිබ්බේ සංඝමිත්තා කන්දේ. අපි ඕකට ගෙහුං ආවත් අනිත් අපතයෝ හිතන්නේ අපි මේ කෙල්ලෝ පස්සෙන් ගිහින් එනවා කියල. එහෙව් එකේ අර කියාපු ලෙඩ වලට හරියන අත් බේත් අපි ළඟ තබා ගැනීමේ අවශ්යතාවක් පැන නැගුනා. එක එක අමාරු වලට වෙන වෙන බේත් අපි තියා ගත්තේ නෑ. තිබ්බේ එකම බේතයි. තමයි මහරජ කංසා. එහෙම නැත්තං ත්රයි ලෝක විජය පත් එහෙම නැත්තං ගංජා!!!


මේ අගනා අවුසදෙත් එක්ක අපේ තිබ්බ සම්බන්ධෙ කොච්චරද කියනවනං අපේ එක යාලුවෙක් පොඩී සූට්ටං ගංජා පැලයක් හුරතලේට ඇති කරන්ඩ පටං ගත්තා. මේ පොඩි හුරතල් පැලේ දවසින් දවස ලොකු වෙවී එද්දී අපිත් ගිහිං වතුර ටිකක් දාලා, කොළ ටිකක් අත ගාලා අපේ ආදරේ දක්වලා ආවා. ඒත් එක දවසක් හරිම ඇබැද්දියක් උනා. තමයි ශාලාධිපති තුමා තමුන්ගේ උප ශාලාධිපති වරුනුත් එක්ක අපේ කාමර වලට ආවා සැප දුක් බලන්ඩ. එදා අපේ කාමරේ තමයි අර හුරතල් පැලේ හිටියේ !!

Tuesday, January 2, 2018

2019 දී වස විස නැති රටක්?


අවුරුද්දේ මට හම්බ වෙච්ච එස්.එම්.එස් සුභපැතුම් ගණනාවක තිබුනේ බත බුලතින් සරු වෙන අවුරුද්දක් ලැබේවා කියලා. මේක අතීතයේ ඉඳන් පැවත එන සිංහල සුභ පැතුමක්. ඒ වෙලාවේ තමයි මට හිතුනේ මේ සුභ පැතුමේ ආරම්භය අද දවසට කොච්චර ගැලපෙනවද කියලා. 

ඈත අතීතයේදී බත් හා බුලත් අපේ ප්‍රධාන අහාර අවශ්‍යතා වෙන්ඩ ඇති. ඉතින් බතුයි බුලතුයි කාට හරි අවශ්‍ය ප්‍රමාණයට තියනවා නං ඔහුගේ හෝ ඇයගේ ජීවිතේ වාසනාවන්ත එකක් විදිහට සැලකෙන්ඩත් ඇති. සමහරවිට මේ  දේවල් ඇති පමණට ලැබුනේ සමාජයේ වැදගත් එහෙම නැත්නං ප්‍රධාන පුද්ගලයන්ට විතරක් වෙන්ඩත් ඉඩ වැඩියි. ඉතින් මේ සුභ පැතුම ලබන්නාට සමාජයේ වැදගත් තැනක් හිමිවේවා කියල පැතීමත් එක අදහසක් වෙන්ඩ ඇති. ඒ කොහොම උනත් බත් බුලත් අපේ පැරණි සමාජේ අඩුවෙන් තිබ්බ, දුර්ලභ දේවල් කියලනම් මේකෙන් හොඳටම ඔප්පු වෙනවා. බහුලව තිබ්බ එහෙම නැත්තං එච්චර අපහසුවකින් තොරව ලබා ගන්ඩ පුළුවන් දේවල් නැවත නැවත ලැබේවා කියල ප්‍රාර්ථනා කරන එක සිහි මොලේ ඇති කෙනෙක් කරයි කියල හිතන්ඩ අමාරු හින්දයි එහෙම තීර්ණේකට මම ආවේ.