Tuesday, September 26, 2017

රෑට එන මෙසතා - හදුනා ගනිමු විගසා


තමුන්නැහෙලා අපේ ගම පැත්තේ ආපු වෙලාවක අහල බලන්ඩකෝ අපේ මිනිස්සු සතා සරුපයා හින්ද විදින දුක් කන්දරාව. ඌරගෙ, රිලවගේ, ඉත්තෑවගේ, දඬු ලේනගේ, මීයගේ රැස්පොට් බලන්ඩ වෙලා තියෙන්නෙ අපිට!! අපේ අපුච්චියේ මිනිස්සු කොහොම මේ නව නිංගිරා විඳගෙන ජීවත් වෙනවද කියල ඔහෙලට හිතෙයි එතකොට. දැන් දැන් මොඬරුත් තැනින් තැන එකා දෙන්න දකින්ඩ ඉන්නවලු!!!. හපොයි අම්මේ කොහොමද මේ සම්මජ්ජාතියේ මිනිහෙක් ගොඩ යන්නේ ගොයිතැනක් බතක් කොරලා මේ සත්තු කන්දරාවත් එක්ක??! ගෙඩි එන දෙයක් හැදුවොත් රිලව් කනවා, අල බහින දෙයක් හැදුවොත් ඌර කනවා. ඉතින් අපි කන්නේ මොකද්ද????


රෑට රෑට අපේ පැත්තේ කරක්ගහන තව ගොබිලෙක් තමා කලවැද්දා. ඉස්සර කාලෙ නං බේතට එකෙක් හොයා ගන්ඩ හිටියේ නෑ බේත් කොටන තුවක්කුයි, මදු ගැහිල්ලයි ඕසෙට වැඩ කරපු හිංදා. ඒත් පස්සෙන් පහු වෙනකොට අපි තේරුං ගත්තා සත්තු මැරිල්ල පවක් කියලා. හප්පේ මොකටද ඔය මස් ටිකක් වෙනුවෙන් ඊගාව ආත්මෙත් අස්පට් යවා ගන්නේ මේ පාර වගේම? ඉතිං අපි සත්තු මැරිල්ල අත් ඇරියා. අනුන් මරනවනං, අපිත් සූටි මස් කෑල්ලක් කොටා බාන එක වෙනම දෙයක්. අනුන්ට මරන්ඩ, අහවල් අහවල් තැන සත්තු ඉන්නවා කියල පෙන්නන එකත් කමක් නෑ. හැබැයි මරන්නෙ නෑ!!! අපි හොඳ සිල්වත්තු හරිය?!!!  


කිතුල් ගහක් පේන්ඩ බෑ කලවැද්දෝ බෝ වෙනවා. පස්සේ උන් වැස්සත් එක්ක ගෙදර වහලෙට අරක් ගන්නවා. ඊට පස්සෙ ඉතිං පැන්නිලි බොරු!! මේ දවස් වල අපේ ගෙයි වහලෙටත් කලවැද්දෝ රංචුවක් කඩා පාත් වෙලා. ඉතිං ලොකු මලය හොයල බැලුව මොකාද මේ කලවැද්දා කියලා. තමුන්නහලගෙ ගෙවල් වලටත් උන් ආවොත් පරයෝජනං වෙයි කියල තමයි මේ විස්තරේ ලියල දාන්ඩ හිතුවේ. ඕං ආය හිතන්ට කාරී නෑ කලවැද්ද කිව්වට මේ කියන්නේ අහවලා ගැන තමයි කීලා. සහසුද්දෙම්ම කිව්වා ඕං මේ කියන්නෙ කලවැද්ද ගැනම තමයි!!!.


අනික මේ තමුන්නැහෙලා වගේ නෙවෙයි අපේ ගංකරේ ඇත්තෝ කියන්ඩ තීන දේ සහසුද්දෙම්ම කියල දෙනවා අම්ම මෝ නැතුව. කොටිම්ම පැටිකිරිය මතක් කොරල තමයි සුද්ද සිංහල පටං ගන්නේ. ඉතින් කලවැද්දෙක් මූණට හම්බ උනොත් කාරිය දෙසා බාන්ඩ දන ගන්ඩ එපෑ උන්ගෙ පැටිකිරිය!!!. ඕං එහෙනං පටං ගත්තා...


සත්ත්ව රාජධානියේ කෝඩේටා (Chordata) එහෙම නැත්තං පිට කොන්දක් තියෙන වංශයට තමයි සිවට් (Civet) කියන පොදු නාමෙන් අඳුන්වන සත්තු සෙට් එකම අයිති වෙන්නේ. ඉතිං ‘පිට කොන්දක් නැති එව්වො’ මතක තියා ගල්ලා කලවැද්දට පිට කොන්දක් තියන බව වෙන මොක නැති උනත්!!. පිට කොන්දක් තියන සත්තු අතරෙත් ක්ෂීරපායී වර්ගයට තමයි මුං අයිති වෙන්නේ. ඉතින් මුං ‘කිරි බොන්ඩ’ ආසයි කියන එක පුදුමයක් නෙවෙයි. මුංගෙ ගෝත්‍රය කානිවොරා (Order- Carnivora). ඒ කියන්නේ මාංශ භක්ෂක එහෙම නැත්තං මස් කන සත්තු. ආය තණකොළ කන එකෙක් හෙම නෙවෙයි කලවැද්දා. ඔන්න මං නොකිව්වා කියන්ඩ එපා හොඳේ.  මේ ගෝත්‍රයට අයිති වෙන කුළ (family) කීපයකටම සිවට් කියන පොදු නම භාවිතා උනත් වැඩියක්ම ඉන්නේ විවරිඩේ (Viverridae) කියන කුළේට අයිති සත්තු. සමහරු මේ කුළේ අයට ජෙනෙට්ස් කියන පොදු නමකුත් පාවිච්චි කරනවා. හැබැයි ඉතිං මොන නමින් ඇදින්නුවත් මේ අයව අඳුනගන්න හැටි මං කියල දෙන්නං. ඉන්ඩකො අයියල අක්කල පොඩ්ඩක් හදිස්සි නැතුව.....!!


ඔය හදිස්සිය හිංදා තව ඩිංගෙන් අමතක වෙන්ට ගිය කාරණයක් තියනවා. මං කිව්වා නේද මුං අයිති වෙන්නේ අර මස් කාල ජීවත් වෙන කියන තේරුම ඇති කානිවොරා කියන ගෝත්‍රයට ඒ හිංද ආය මුං තණකොළ කන එවුන්ය කියල කව්රුවත් වැරැද්ද ගන්ඩ එපාය කියල. කියන කොට එහෙම කිව්වට කරන කොට පොඩි වෙනස්කං තියෙනවා හොඳේ!! මේකේ සමහර සාමාජිකයෝ -හරියට පැන්ඩා වගේ එවුන්- සම්පූර්නෙම්ම වගේ ගස් වල කොටස් කාල ජීවත් වෙන්නේ.. ඒ අතරේ සමහරු, ඒ කියන්නේ මේ ගොත්රේට අයිති වෙන අපි මේ කතා කරන සිවට් ලා වගේ අය සර්ව භක්ෂකයෝ. ඒ කියන්නේ පොඩි සත්තු, ගස් වල කොටස් වගේ ඕන දෙයක් බඩගින්නට කාල දානවා. එක අතකින් අපි මැරුණත් මස් මිසක් වෙන දේවල් කන්නෙ නෑ කියල ලෝකෙට සිංහ පාට් පෙන්නුවට බඩගින්න නිවා ගන්ඩ රහසෙන් 'බලු වෙන' වෙලාවලුත් තියනවා.


බලු' කියාපුවම තව කතාවක් මතක් උනා. කතාවට එච්චර අදාලත්වයක් නැති උනාට අදාල නෑ කියලම කියන්ඩත් බෑ. ආය මොකටෑ ගුරු මුස්ටිද මොකද්ද තියා ගන්නේ? ඉන්ටකො ඒකත් කියල හිටින්ට!!.


අවුරුදු මිලියන් 42 කට විතර ඉස්සර උතුරු ඇමරිකාවෙදි තමයි මේ කානිවොරා ගෝත්‍රය පරිණාමය වෙන්නේ. ඊට ටික කාලෙකට පස්සේ මේ ගෝත්‍රය දෙකට බෙදෙනවා ආකාර (forms) දෙකකට. එකක් Feliformia ඒ කියන්නේ පූසෝ වගේ සත්තු. දෙවෙනි කොටස Caniformia ඒ කියන්නෙ බල්ලෝ වගේ සත්තු. පූසෝ වගේම හෝතඹුවොත්, කලවැද්දෝ නැත්තං උගුඩුවොයි, උරුලෑවොයි අයිති වෙන අපි මේ කතා කරන සිවට්ල ගෙ හැත්ත බුරුත්ත පිටිම්ම අයිති වෙන්නේ මේ පූසෝ වගේ සෙට් එකට.


මං කතාවක් අහලා තියනවා බල්ලෝ තමංගේ හාම්පුතාට පන ඇරලා ආදරේ කරන අතරේ පූසෝ ආදරේ කරන්නේ තමං ඉන්න තැනට කියලා. ඒ කියන්නේ බල්ලෝ හාම්පුතා පිටි පස්සේ වැටිලා යනවා ඕන වලියකට. පූසො තමුන්ට කන්ඩ බොන්ඩ සහ අනිත් වැඩ ටික කොරගන්ඩ ලැබෙනවානං හාම්පුතාට හෙන ගැහුවත් කමක් නෑ කියලා හාම්පුතාගෙ ලොකුම හතුර එක්ක උනත් සෙට් වෙලා ‘තමුන්ගෙ තැන’ රැක ගන්ඩ මනාපයි!! ඉතින් කවුරුහරි මේ ටයිප් සත්තු එක්ක පයිරු පාසානං පවත්තනවනං ලොකු බලාපොරොත්තු තියා ගන්ඩ එපා හැමදාටම මූ මාත් එක්ක ඉඳියි කියලා. ඕං ලොකු මලය අද කිව්වා කියල මතක තියා ගන්ඩ!!!! 


හැබැයි වැඩේ කියන්නේ මුං පූස් පවුලට අයිති උනාට මොකෝ බල්ලන්ගේ වැඩත් කරනවා. තමුන්නැහෙලා දැකලා ඇතිනේ බල්ලෝ දෙන්නෙක් හම්බ උනාම පස්ස ඉඹලා බලනවා. ඒකට හේතුව තමයි උන්ගේ ගුද මාර්ගය ගාව තියන පොඩි ග්රන්ථි දෙකකින් තම තමන්ව වෙන් කරලා අඳුනා ගන්ඩ පුළුවන් දියරයක් හදන එක. එතකොට පස්ස ඉඹලා බලා ගන්ඩ පුළුවන් මූ කොයි ටයිප් පොරක්ද කියලා!!!. සිවට්ලටත් මේ විදිහේ ගැජමන්ට් එකක් තියනවා පාරෙම. උරුලෑවා  යන පාර හොයා ගන්ඩ පුළුවන් කියනවනේ. ඒකට හේතුව තමයි අර දියරය බිම දිගේ ගෑවෙන එක. කලවැද්දට නම් එහෙම ගඳක් තියන දියරයක් නෑ. එක හින්ද තමයි උං චූ කරලා තමුන්ගේ මායිම් ලකුණු කර ගන්නේ

විට්ටර් මහත්තයගෙ බනින්නෙපා සින්දුව මතක් වෙනව මට....

බනින්නෙපා කලවැද්දට ගහන්නෙපා......

චූ කර කර තැන තැන යන්නේ....

ඉන්ට තැනක් හොයන්ඩයි .....!!

උරුලෑවා ගේ පස්සෙන් එන දියරෙ ගඳ උනාට, සමහර සිවට්ලගේ (African Civet- Civettictis civeta) පස්ස පැත්තෙන් එන්නේ කස්තුරි සුවඳ දියරයක්ලු!!! ඔය ලොකු ගණන් වලට තියන සෙන්ට් හදන්ඩ මේ දියරෙ පාවිච්චි කරනවලු...පුහ් කොහොමද ආඩම්බරේ අරුංගේ පස්ස පැත්තෙන් එන සෙන්ට් එක ඇඟේ ගාගෙන යනකොට!!! මල් හතයි නේද? ලංකාවට ආවේණික එක කලවැද්දෙක්ගේ, කියන්නේ ශ්රී ලංකා බොර කලවැද්දා ගේ (Paradoxurus montanus) පස්ස පැත්තෙන් එන්නේ සපුමල් සුවඳක්ලු!!!! එහෙමට කියලා ඉතින් උගේ පස්ස ඉඹින්ඩ පුලුවනෑ නේද?


මේ බොර කලවැද්දටම කියන තවත් නමක් තමයි සපුමල් කලවැද්දා. සපුමල් කියන කොට මතක් උනේ හයවැනි පරාක්රමභාහු රජ්ජුරුවෝ කියන්නේ ලංකාව අන්තිමට එක්සේසත් කරපු සිංහල රජ්ජුරුවෝ යාපනේ අල්ල ගන්ඩ යැව්වෙත් 'සපුමල් කුමාරයාව'. පස්සේ මේ සපුමල් කුමාරයා හයවැනි පරාක්රමභාහු රජ්ජුරුවන්නෙ මුණුපුරා වෙච්චි ජයබාහු රජ්ජුරුවන්ව මරල දාල හයවැනි භුවනෙකභාහු කියල 1469දී විතර රජ උනා කියල තමයි කියන්නෙ. සපුමල් කලවැද්දෙක් ඔයවගේ වැඩකට ඊට පස්සෙත් සම්බන්ධ උනාදෝ, වෙන්ඩ ගියාදෝ කියල මට පොඩි මතකයක් තියනවා. හරිද මංදා?


රජ කාලේ ඉදම්ම ලංකාවේ හිටපු කලවැද්දෝ විශේෂ දෙකකට බෙදලා තිබ්බා. ඒ අපේ ගෙවල් වලට එන Paradoxurus hermaphroditus නොහොත් කලවැද්දා නොහොත් උගුඩුවා නොහොත් ටොඩි කැට් (Toddy cat).අනිකා Paradoxurus zeylonensis කියල අදුන්නපු පැණි උගුඩුවා එහෙම නැත්තං රන් හෝතඹුවා. සමහරු මූට සපුමල් කලවැද්ද කියලත් කිව්වා. එත් 2009 දී - කොයි අවුරුද්දෙදිද - 2009 දී මේ ගැන හුග කාලයක් හොයපු විද්‍යාඥයෝ තුන් දෙනෙක් හොයා ගත්තා ඇත්තටම මෙතන විශේෂ තුනක් ඉන්නවා කියලා. ඔන්න බලමු ඒකෙත් හැටි. කලවැද්දෝ වෙනස් කරල අඳුන ගන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ 2009 දී!!! එච්චරකල්ම හිතුවේ මුං එකා කියල. එකා වගේ හිටියට තුන් දෙනෙක් ඉඳලනෙ!!!! කොහොමද වැඩේ?

 මේ විශේෂ තුනට වෙන නං තුනකුත් දැම්මා.

1. Paradoxurus aureus නොහොත් Golden wet-zone palm civet (හරි සිංහල නමක් හොයා ගන්ඩ බැරි උනා!!)

2. Paradoxurus montanus ශ්‍රී ලංකා බොර කලවැද්දා නොහොත් සපුමල් කලවැද්දා

3. Paradoxurus stenocephalus ශ්‍රී ලංකා රන් කලවැද්දා

මේ තුං කට්ටුවම ලංකාවට ආවේණිකයි රජෝ. ඒක අපිට ආඩම්බරේට කාරණයක්!!

අන්තිමට මට හම්බ උනා කලවැද්දන්ගෙන් ගානක් හොයා ගන්ඩ පුළුවන් විදිහක් ගැන. අහල තියනවද කෝපි ලුවාක් ගැන. මං නං අහල තිබ්බෙ නෑ. ඉන්දුනීසියානු බාසාවෙන් කෝපි ලුවාක් කියන්නේ සිවට් කොෆී එහෙම නැත්තං සිංහලෙන් 'කලවැදි කෝපි' කියන්ඩ පුළුවන් බීමකට. මෙව්වා හෙණ ගණන්ලු!! මේවා රාත්තලක් 2010 දී ඩොලර් 100 - 500 (අද කාලේ හැටියට රුපියල් 16,000 - 80,000) අතර මිලකට විකිනුනාලු!!! හැබැයි මේ කෝපි හදන හැටි ඇහුවොත් තමුන්නැහෙලා කියයි චීයා කියල!! කොහොමද දන්නවද හදන්නේ - කලවැද්දෝ කාල මලපහ කරපු බාගෙට දිරවපු කෝපි ගෙඩි එක්කහු කරලා!!!! කොහොමද රස!!?? ම්.......රහයි නේ? 

එක අතකින් පුදුම වෙන්ඩ දේකුත් නෑ. එහෙම කෝපි අපි නොබිව්වට මෙහෙ ඉන්න කලවැද්දෝ මලපහ කොරාපු කොච්චර දේවල්  නං අපි රහයි රහයි කියල කනවද නේ?

වැඩිය ලියන්ඩ බෑ ඉක්මනට යන්ඩ ඕන කලවැද්දෝ සෙට් එකක් අල්ල ගෙන කෝපි හදන්ඩ....

වැදගත්

මේ ලිපියට කරුණු එක්කහු කරගත්තේ මේ තැන වලින්. වරදක් ඇතොත් සමා වෙලා කියල දෙන්ඩ. ලොකු මල්ලි කැමතියි වැරදි හදා ගන්ඩ.



16 comments:

  1. හෙහ්.. ඇඩෙනවා

    ලියමන නම් මසුරන්. ව්‍යංගය සියුම්ව පාවිච්චි කරන්න ඔබ හරි දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. අඩන්ඩ එපා කලවැද්දෝ කැමතියි මිනිස්සු අඩලා වැලපෙනවට!!

      Delete
    2. අඬන්න ඉතින් කොයි වෙලාවක්... මම කිව්වේ හිනාවෙලා කඳුළු පනිනවා කියල. කොහෙද අනේ දුකක් අඬන්න ! බැලු බැලූ හැමතැනම ජෝක්ස්

      Delete
  2. කලවැද්දා ගේ පින්තුරක් දහන් අපි මිට කලින් කලවැද්දෝ දැකලා නැහැ දඹානේ ඉන්න වැද්දෝ විතරයි පින්තුරවලින් දැකලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිහ්...හිහ්...දාන්ඩකො ටී වී එක. බලන්ඩකො පත්තරේ....ඔය ඉන්නේ එක එක කලවැද්දෝ....මං මොකටැයි තමුන්නැහෙලගේ ඩේටා පුච්චන්නේ නිකං අපරාදේ????

      Delete
    2. ශු... ශු... . මේවා ආණ්ඩුවේ ඩෙටා ඔයගොල්ලෝ බදු ගෙවා අපිට පිට ලැබේන ඩෙටා. උබේ පින්තුරේ යකෝ ඉල්ලුවේ උන්ගේ පින්තුරේ නෙවේ එහින්දා දහන්

      Delete
  3. උසස් පෙළ කළාට පස්සෙ ආයත් සූ ලොජි පාඩමක් ඇහැව්වමයි.
    දැං ඉතිං හොයපංකො කලවැද්දො

    ReplyDelete
    Replies
    1. කලවැද්දෝ ගැන දන ගත්තට පාඩුවක් වෙන්නේ නෑ ප්‍රසන්න....අඩු ගානේ උන්ගේ මලපහ නොකා ඉන්න හරි පුලුවන් උං ගැන දන ගත්තොත්...නේද?

      Delete
    2. ඔහේ පලයන් මේ සමනල් Praසන්ன කොලු කාරයත් ඉන්නේ කොබන් උඹේ තංගල්ලේ මල්ලි අද නැද්ද

      Delete
  4. කලවැද්දා ලංකාවට ආවේණිකයි
    \\මෙහෙ ඉන්න කලවැද්දෝ මලපහ කොරාපු කොච්චර දේවල් නං අපි රහයි රහයි කියල කනවද නේ?\\

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල ඉන්න සාමාන්‍ය කලවැද්දා (Asian Palm Civet) ලංකාවට ආවේණික එකෙක් නෙවෙයි. උං දකුණු හා අග්නිදිග ආසියාවේත් සමහර පැසිෆික් දූපත් වලත් වාසය කරනවා.

      Delete
  5. ෂා මරු...!

    ReplyDelete
  6. නියමයි... එන්න කියවන්න...අධ්‍යාපනය විනෝදය රැගත් කට්ටකාඩුවේ ලොකුමල්ලීගේ කළවැදි වණ්නනාව......

    කානිවොරස් කිව්වට කානිවොරස්ම නෙමේ...ඉඳහිට තන කන කලවැද්දෙක් නම් හිටියා...යා...මන් හිතන්නෙ ඌ වෙන්නැති 2009 දි ශ්‍රී ලංකා හොද්ද බොර කලවැද්දා නොහොත් සපුමල් කලවැද්දා කියල රී නේම් වුනේ

    ReplyDelete
  7. අඩේ මං හිතුවා ඉවර කරන්න කලිං වහලේ ඉන්න කළවැද්දන් එලව ගන්න ක්‍රමේකුත් කියයි කියල .. කළවැදි මස් කන වෙන සත්තු මොක්කුද?

    ReplyDelete
  8. මම අහල තියන විදිහට ඉන්දුනීසියාවේ අර කියපු කෝපි හදාගන්ඩ කලවැද්දෝ එහෙම නැත්නම් සිවිට්ස් ලව ඇතිකරනවා.ඒ කෝපි වල ඔව්ෂදීය ගුණ හින්දලු ඔයතරම් ගණන්.මේක අපේ දේශපාලකයෙකුට කිව්වනම් ව්‍යාපෘතියක් පටන්ගනී.

    ReplyDelete