Saturday, June 16, 2018

ඇති හිටියා සෙනෙවිරුවන්


අපේ ගමේ පිරිමි පරාණ වල මධු විත පානය කිරීමේ අසම සම හැකියාව ගැන මම ගිය සතියේ ලියපුවාම (කවුරු හරි බීලා හිටපු කෙනෙකුට ඒ ලිපිය මග ඇරුනා නං මෙන්න ලිංක් එක ඒ ලිපියට) මගේ යාළුවො දෙතුං දෙනෙක්ම මට කතා කරලා -අයියෝ ඔව්ව මොනවද අපේ ගමේ අහලකින් වත් තියන්ඩ පුලුවන්ද උඹලට, ඔය වගේ වැඩ අපි කලේ උඹලා මොන්ටිසෝරි යන කාලෙය වගේ අපිව පීචං වෙන කතා ගොන්නක්ම කියලා දැම්මෝය. මේක අපේ ගමේ ප්‍රෞඩත්වයටද මොකද්ද එකට නව නිංගිරාවක්ය. කොහොමද ඒ කැළල මකා ගන්නේ කියල කම්පනා කර කර ඉන්න අල්ල පනල්ලේ ආයෙත් මතක් උනේ නැද්ද අපේ සෙනෙවිරුවන් අයියා ගැන. සෙනෙවිරුවන් අයියා යනු අපේ ගමේ බීමත්කමේ කොඩිය ඉදිරියෙම්ම ගෙනියන පෙරමුණේ රාල කෙනෙකි. හැමෝටම තේරෙන බාසාවෙන් කියනවා නං සෙනෙවිරුවන් අයියා යනු අපේ ගමේ බීමත්කම ගැන කේස් ස්ටඩි එකකි.

බෝතලයක් ඔට්ටුයි  හැම ගමකම නෑ කියල. මොකෝ කියන්නේ අල්ලමුද ඔට්ටුවක්.

Wednesday, June 13, 2018

බීම සහ බීම


 මිනිස්සු හරි පුදුමය. ඉනුත් අපේ ගමේ මිනිස්සු හරිම පුදුමය. අපේ ගමේ පිරිමින්ට තරං එක හිතක් ඇතිව යමක් කරන්ඩ පුළුවන් තව මිනිස්සු මේ ලෝකෙටම ඉන්නවාදැයි හිතා ගැනීමත් ටිකක් අමාරුය. මම එහෙම කිව්වේ මොකක් නිසාදැයි ඔබට තේරෙන විට මේ ලිපියේ අවසානය ළඟාවී තිබෙනු ඇත. හැබැයි ලිපියේ අවසානයට පෙරම ඔබට ඒ කරුණ තේරුණහොත් මේ ලිපිය කියවීම නවත්වන්න. ඒ ඉතුරු වේලාවේ හිතලා බලන්ඩ එහෙම මිනිස්සු මේ ලෝකේ තවත් ඉන්නවාද කියලා.

මම අද ලිපිය ඇතුලේ කතා තුනක් කියන්ඩයි හිතාගෙන ඉන්නේ. මෙන්න පලවෙනි කතාව.
එදා මගේ කසාදෙ දෙවෙනි ගමන නොහොත් ඇට්ටෝන් එක තිබ්බ දවස. ගමේ යාලුවන්ට වගේම අහල පහල අයට එන්ඩ කිව්වේ එදාට. මොකද වෙඩින් එකට ඒ කියන්නේ පළවෙනි දවසේ උත්සවේට සල්ලි වියදම් කරන්නේ අපේ නෝනගේ පැත්තෙන් හිංදා මගුල කෙරෙන්ඩ නං තිහකට වඩා කට්ටිය ගේන්ඩ එපා කියලා ඒ පැත්තෙන් රෙඩ් නෝටිස් දීම හිංදා. අනික අපේ එව්වෝ කොහොමත් ඉතින් ටිකක් බොන්ඩ කන්ඩ ප්‍රිය කට්ටිය. ඉතිං අපේ කට්ටියට අඩුවක් පාඩුවක් උනොත් ඒක හරි මදි නේ. ඒකයි මම අපේ කට්ටියට ඇට්ටෝන් එකට එන්ඩ කිව්වේ වෙඩින් එකට නෑවිදින්. වයි ෂුඩ් වී ලුක් ඇට් දෙයා ලොකුකං. මයි කාර්, මයි පැට්‍රල් කියල මෙතැන් බොන්ඩ දෙන්නේ මම. කවුරු හරි අකමැති කෙනෙක් ඉන්නවා නං යන්ඩ පුළුවන්. නැත්තං එන්ඩ සෙට් වෙන්ඩ.

Saturday, June 9, 2018

යවෙස් ලූ මිනිසා


මේං ආයෙත් තියනවලු! අපේ නෝන මහත්තයා කිව්වා.

මොකක්ද?

අර පොත් ප්‍රදර්ශනේ!

මොන? මගේ මතකයට එන පොත් ප්‍රදර්ශනේ තියෙන්නේ සැප්තැම්බර් වලය. මේ කියන්නේ ඒ ගැන වෙන්නට බැරිය.

බිග් බෑඩ් වුල්ෆ්!

නෑ..! කවද්ද තියෙන්නේ?

මේ දැම්මම කියන්නේ ගියාට කමක් නෑ කියවනවනං විතරක් පොත් ගේන්ඩ. නැතුව ගොඩ ගහගෙන තියන්ඩ නං මේ පැත්ත පළාතේ ගේන්ඩ එපා හොඳද...

මොනවද මම ගෙනැල්ලා නොකියවපු පොත්?

අර තියෙන්නේ තොගයක්ම...

ඒ කියන්නේ මේ පාර බිග් බෑඩ් වුල්ෆ් එකට යන්ඩ කලියෙන් ඒ පොත් ටික කියවලා ඉවර කරන්ඩ ඕන බවය. නැත්තං මේ කන්කෙඳිරිය තව හය හත් වතාවක් වත් අහන්ඩ වෙනු ඇත. මේ දිනවල අපේ පැත්තට ඇද හැලෙන අනෝරා එක්ක කරන්ඩ හොඳම වැඩක් තමයි පොතක් කියවන එක. ඉතිං මාත් බැලුවා මොනවද මම ගෙදරට ගෙනැල්ලා නොකියවපු පොත් කියලා. මෙන්න තියනවා ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ සුප්‍රසිද්ධ තුන් ඈඳුතු නවකතාව. ඩාහ් ටැන්යොන් ගේ කතාව! එහෙම කියන එක ටිකක් වැරදියි. මොකද මාටින් වික්‍රමසිංහ මහත්තයා ලිව්වේ තිස්සගේ කතාව නෙවෙයිනේ...ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය . ඒ හිංදා ඩූමා ලියපු නවකතා ටිකේ නම් වලින්ම කියනවා නං   ත්‍රී මස්කටියර්ස්, ට්වෙන්ටි ඉයර්ස් ආෆ්ටර් සහ ද විකොම් ඔෆ් බ්‍රජ්ලන් - ටෙන් ඉයර්ස් ලේටර් (මම මේ ප්‍රංශ වචන කියවන විදිහ වැරදි නං හරි විදිහ කියල දෙන්ඩ ඕන මේක කියවන නෝනලා මහත්තුරු). සුප්‍රසිද්ධ මෑන් ඉන් ද අයන් මාස්ක් එහෙම නැත්තං යවෙස් ලූ මිනිසා හම්බ වෙන්නේ මේ තුන්වැනි නවකතාවේ දී.

තදින් වැස්ස වැටෙන වෙලාවක පුටුවේ හාන්සි වෙලා පොතක් කියවන එක මොන තරං ජොලි වැඩක්ද!!!

Saturday, June 2, 2018

තිත්තවැල්ගොල්ලේ වධකයා


මම ලඟදි දවසක පොඩි වැඩ වගේකට මිහින්තලේ ගියාම දවල්ට කන්ඩ වෙලාව එළඹුනා. මගේ මිතුරෙක් මාව එක්ක ගියා හරි අපූරු තැනකට. ( තැන ගැන මම ලඟකදී බ්ලොග් අඩවියකත් කියවලා තිබුණු බව මතක නමුත් කොයි බ්ලොග් එකේද කියලා හොයා ගන්ඩ බැරි උනා).  එතැන තමයි ඔරිජිනල් නෙලුම් කොළේ කියන කෑම කඩේ. රඹෑව ටවුන් එක ළඟ තියෙන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක් එහෙම ව්‍යවසායකයෙක් දකින්ඩ ලැබීම. ඊට අමතරව තව වැදගත් දෙයක් උනේ කෑම කඩේ තිබුණු දැන්වීමක්.

හරියටම වචන මතක නැති උනත් එයින් කියැවුනේ මෙහෙම අදහසක්. "වැරදි කල අයෙකුට සමාව දිය හැක්කේ ශක්තිමත් පුද්ගලයෙකුට පමණි". මම කල්පනා කළා ඒක ඇත්තද කියල. වෙන කෙනෙක් ගැන හිතනවට වඩා තමන් උපමා කරලා යමක් හිතන්ඩ කියලනේ බුදු හාමුදුරුවොත් කියල තියෙන්නේ...ඉතිං මම මං ගැනම කල්පනා කරලා බැලුවා. මට වැරද්දක් ඒත් මගේ හිතේ පැහැවන තරහක් තියන කෙනෙක් කවුද?

ඔන්න එතකොට මතක් උනා කලාබර ගැන. කැමතිද කතාව කියවන්ඩ.

Saturday, May 26, 2018

නිගණ්ඨ ජීවිතේ මතකය


ගිය පාර මම කියපු මහ ඉලුප්පල්ලම ගැන කතාවෙදි මම කිව්වනේ පේරාදෙණියේ ඉන්න කාලේ තිබ්බ සමහර අත්‍යවශ්‍යතා MI වලට එතරම් තදින් දැනුනේ නැති බව. මම දුන්න එක උදාහරණයක් තමයි සරම! අපේ ප්‍රසන්න මහත්තයා (කමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපති තුමා) අහලා තිබ්බ එහෙම වෙන්නේ කොහොමද කියලා. ඔන්න එතකොට තමයි මට තේරුනේ මේ ගැන පැහැදිලි කිරීමක් නොකලොත් MI ජීවිතේ ගැන වැරදි වැටහීමක් කාට කාටත් ඇති වෙන්ඩ පුළුවන් බව. ඉතිං ඒ  ගැන තමයි අද කියන්ඩ හිතුවේ.

ලංකාවේ හතර දිග් බාගෙන් ආවත් පේරාදෙණියේ සැපදායක පරිසරය අපි හැමෝටම ගෙනාවේ හරිම සුන්දර හැගීමක් ඔය සැපදායක පරිසරයේ පුරා අවුරුදු දෙකක් ගත කරාම MI වල තිබුන වියළි දේශගුණයට හුරු වෙන්ඩ ටිකක් අමාරු උනා. මේ අමාරුවත් එක්කම ආවේ දවල් දවස පුරාම එළිමහනේ මහන්සි වෙලා පොළව කොටන, වතුර අදින, වල් පැල ගලවන කාලයක්. අපි හුගක් දෙනෙකුට මේ වැඩේ අලුත් අත්දැකීමක් උනා. පොඩි පොඩි මට්ටමෙන් ගොවිතැන් වැඩ කරලා තිබුනට මාස ගාණක් එක දිගට මුළු උදේ වරුවම හවස් වරුවම ගොවිතැන් වැඩ වල යෙදිලා අපි හුග දෙනෙකුට පුරුද්දක් තිබුනේ නෑ. ඒ මදිවට රෑ එලි වෙනකල් නින්දක් නැතිව මදුරු විමානෙක ගතකරපු දුෂ්කර ජීවිතය. මේ ඔක්කොමත් එක්ක තමයි අපි හුග දෙනෙක් ශ්වේතාම්බර පට සළු අදින්ඩ පටන් ගත්තේ. අනික හොස්ටල් එකේ ඔක්කොම සම වයසේ තරුණයෝ. ඉතිං එහෙමටෙයි කියල ලොකු අවුලක් නෑ සරමක් නැතුව හිටියට.


හැබැයි අනිවාර්යයෙන් කියන්ඩ ඕන තව දෙයක් තියනවා. ඒ තමයි අපි අපිම පවත්වා ගත්තු ස්වයං විනය. ගෑණු ළමයි ගැවසෙන මානෙකට පිරිමි ළමයෙක් යනවානං අනිවාර්යයෙන් දිග කලිසමක් ඇඳගෙන යන්ඩ ඕන බවට අපි අතර පිළිගත් සම්ප්‍රදායක් තිබුනා. කවුරුහරි කෙනෙක් ඇහුවොත් ඒ ළමයි ගෙවල් වලදී තාත්තලා, අයියලා සරම් ඇඳගෙන ඉන්නවා දැකලා ඇති නේද ඉතිං මොකටද MI වලදී විතරක් අමුතු ආචාරශීලී බවක් කියල මට දෙන්ඩ තියන උත්තරේ අපි MI වල ගෙවල් වලින් හැතැම්ම ගානක් ඈත් වෙලා හිටපු එකම තමයි ඒකට හේතුව කියල. MI වලදී අපිව රකින්ඩ කෙනෙක් නෑ ඉතිං අපේ සහෝදරියන්ගේ ගෞරවය රකින එක අපේ යුතුකම වගේම වගකීමත් වෙලා තිබුනා. ඉතිං මම මේ කියන්ඩ යන කතා එකකටවත් ගෑණු ළමයින්ගේ සම්බන්ධයක් නෑ.