Sunday, December 30, 2018

මයිකල්

ලඟදි දවසක බස් එකේ ටවුමට ගියා තනියම. එහෙම ගියාම වැඩිපුර වෙලාවක් ටවුමේ ගත කරන්ඩ පුළුවන්. වෙනදා වගේ කාර් එක පාක් කරන්නේ කොහෙද කියල හිත හිතා ටවුමට යනවට වඩා හිත හරිම නිදහස් මෙහෙම ගියාම.

කාලෙකට පස්සේ ටවුමට ගියාම අපි කොච්චර වයසට ගිහිල්ලද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ දන්නා අඳුනන මූණු වෙනුවට හරියට අපි අගහරු ලෝකෙන් ආවා වගේ නුහුරු නුපුරුදු මූණු වලින් පිරිච්ච පාරවල්, බස් හෝල්ට්, කඩ, ස්වීප් විකුණන මිනිස්සු, පොළ, පොලේ තියන එළවලු....මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියන බව තේරෙනවා. ඒ විතරක් නං බැරියැ ටවුමේ තියන ගොඩනැගිලි වල පාට පවා සම්පූර්ණයෙම්ම වෙනස්. කාණු වලින් එන ගඳ පවා වෙනස්! ඉස්සර ආපු මඩ කුණු වෙච්ච ගඳ දැන් නෑ. ඒ වෙනුවට තියෙන්නේ ඩීසල් දුම වතුරෙන් දිය කරලා ගත්තා වගේ දැනෙන ගඳක්. ඒක එහෙම වෙන්ඩ එපෑ. ඉස්සර තිබ්බේ ලංගම බස් තුන හතරකුයි, සීට් විසි හයේ රෝස බස් පහ හයකුයි මුළු බස් ස්ටෑන්ඩ් එකටම. අනික්වා ඔක්කොම හුණ්ඩු වෑන්. දන්නවනේ අර සීට් දොළහේ වෑන්. දැන් එහෙමද තට්ටු දෙක තුනකට බස් ස්ටෑන්ඩ් එක හැදුවත් පාක් කර ගන්ඩ මදි වෙන තරමට බස් පිරිලා. මෙච්චර සෙනග කන්දරාවක් කොහෙන් පාත් උනාද කියල හිතෙනවා. ඉස්සර තිබ්බ ඔතෑනි, කොළ පාට ටවුම දැන් හරි කාර්ය බහුලයි. දුඹුරු පාටයි. හැමෝම හරි හදිස්සියකින් එහෙ මෙහෙ යනවා. හරියට මුළු ලෝකෙම පවතින්නේ ඒ අය ඉක්මනට ගමන් කරන හින්ද කියල හිතාගෙන වගේ.

Monday, December 24, 2018

සවණ රේඩියෝවත් එක්ක කට්ටකාඩුව




කැනඩාවෙන් ගුවන් ගතවෙන සවණ අන්තර්ජාල රේඩියෝවට කට්ටකාඩුවේ කතා කීපයක් ගත්තට කමක් නැද්ද කියල අහල මේල් එකක් ආවේ මාස දෙක තුනකට කලියෙන්. මගෙ මොකෝ කියල උත්තර යැව්වම තවත් මේල් තුන හතරකින් අපි අදහස් හුවමාරු කරගත්තා. මෙන්න අද අහම්බෙන් වගේ මේල් එක දිහා බලද්දී වැඩ සටහන් දෙකක් යූ ටියුබ් එකට මුදා හැරියා කියල මහත්තැන්ලා කියල තියනවා. හරි පුදුම වැඩේ කියන්නේ මාසෙකට වඩා දීර්ඝ නිහැඩියාවකට පස්සේ කට්ටකාඩුවට ඊලග ලිපිය ලියමින් ඉන්නකොටමයි මේක දැක්කෙත්.

අර ලියන ලිපිය දින කීපයක් පස්සට දාලා ඔබ තමුන්නැහෙලාත් එක්ක සවණ නිෂ්පාදනය අහන්ඩයි මේ සූජානම.

සුභ නත්තලක් වේවා!!

පළමු වැඩසටහන

දෙවැනි වැඩසටහන


අපේ ඉයන් තුමාගේ අදහසකට අනුව මේ රේඩියෝ කෙටිකතා වලට පාදක වෙච්ච කට්ටකාඩුවේ ලිපි වලට සම්බන්ධතා පහත දක්වනවා. බලන්ඩ එකම කතාව ශ්‍රවනය කරන කොටයි කියවන කොටයි වෙනස් හැගීම් ඉපදෙනවද කියල?

පළමු වැඩසටහන
තුන්දෙනෙක් ගැන දිග කතාවක් 
අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ 

දෙවැනි වැඩසටහන
සරුංගල් ජීවිතේ 
තිත්තවැල්ගොල්ලේ වධකයා

Saturday, October 20, 2018

සරුංගල් ජීවිතේ



පොත් අල්මාරිය පෙරල පෙරල ඉන්නකොට කාලෙකට ඉහතදී කියවපු ඒත් අමතක වෙලා ගිහින් තිබ්බ පොතක් හම්බ උනා. ඛාලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් (සරුංගල් යවන්නා). මම ආසම පොතක්. ඛාලිඩ් හොසේයිනි තරම් අපූරුවට චිත්ත රූප මවන ලේඛකයෙක් ගේ පොතක් මම කියවලා නෑ. ඒ පොතේ තියෙනවා ලස්සන දෙබසක්. කතා නායක අමීර් සහ එයාගේ තාත්තා අතර.

මුල්ලා මොනවා ඉගැන්නුවත් මේ ලෝකේ තියෙන්නේ එකම පවයි. එකම එකයි. තමයි හොරකම. අනිත් ඕනෑම පවක් හොරකමේ වෙනස් විදියක් විතරයි. පුතේ උඹට ඒක තේරුනාද?

නෑ තාත්තා.......

ඔයා මිනිහෙක් මැරුවොත් ඔයා ඒ මනුස්සයාගේ ජීවිතය හොරකං කරනවා. ඔයා එයාගේ බිරිඳට ස්වාමියෙක්ගේ රැකවරණය ලබාගන්ඩ තියන අයිතිය හොරකං කරනවා. එයාගේ දරුවන්ට තාත්තෙක් එක්ක හුරතල් වෙන්ඩ තියන අයිතිය හොරකං කරනවා. ඔයා බොරුවක් කියනකොට ඒක අහන කෙනාට ඇත්ත දැනගන්ඩ තියන අයිතිය ඔයා හොරකං කරනවා. ඔයා වංචාවක් කරනකොට ඒ වංචාවට අහුවෙන කෙනාට සාධාරණත්වය වෙනුවෙන් තියන අයිතිය හොරකං කරනවා. තේරුනාද?

තේරුනා තාත්තා!!     

මේ දෙබස දකින කොට මට අපූරු කතාවක් මතක් උනා පහුගිය දවසක අහපු.  කතාව කට්ටකාඩුවට ලියන්ඩ ඕන කියල මට හිතුනේ කතාවේ තිබ්බ අපූරු සිදුවීම් රැසක් හිංදා.

Friday, October 12, 2018

අලු වෙනුවට සල්ලි දුන්නු - අරුම ලොවක අපි ඉපදුනු


ඕනෑම භාෂාවක ලස්සන මතුවෙන්ඩ නං භාෂාවට ආවේණික  හැඩ තල, නීති රීති ගැන අපිට අවබෝධයක් තියෙන්ඩ ඕන. මෑතකදී පිදුරංගලදී වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් ලොකු කතා බහක් ඇති උනානේ. මගේ යාලුවෙක් ගැන ලස්සන කතාවක් කිව්වා.

"හෙලුවෙන් නටපු එක ගැන හෙලුවෙන් ඉඳගෙන උත්තර දෙන එක වැරදියි. හැබැයි හෙළුවෙන් උත්තර දෙන එකනං හරියටෝම හරි"

ටිකක් අපබ්රංශ වගේ පෙනුනත් මිනිහ කියපු දේ හරියටෝම හරි. ඒකට හේතුව සිංහල භාෂාවෙන් හෙලුව කියන්නේ නිර්වස්ත්රව ඉඳීමට හැබැයි හෙළුව කියල කියන්නේ සිංහල භාෂාවට එහෙම නැත්තං හෙළයන්ගේ බසට. හෙළුව නොදැන වනන්නෝ හෙලුවෙන් වනන්නෝ වැනිය කියල තමයි මගේ යාලුවා කලේ.

මට ඔය ,, , බේධය එච්චර හොඳට තේරෙන්නේ නෑ. කොටිම්ම මම සාමාන් භාවිතයේදී කැපිටල් ලයන්න කියල තමයි මුර්ධජ යන්න හඳුන්වන්නේ. දන්තජ යන්න මං හඳුන්වන්නේ සිම්පල් ලයන්න විදිහට.

සමහර දේවල් ඕනවට වඩා සිම්පල් විදිහට ගත්තහම මහා විනාශයක් වෙලා කැපිටල් පනිෂ්මන්ට් (මරණීය දණ්ඩනය) තත්වෙට පත්වෙන්ඩ පුලුවන්. ගැන කතාවක් දෙකක් තමයි මම අද කියන්ඩ යන්නේ. එක කතාවක් උතුරු අයර්ලන්තෙන්. අනික ඉතින් වෙන කොහෙන්ද මේ අපේ සිරි ලංකාවෙන් මිසක්. කැමතිද කියවන්ඩ. ඔන්න එහෙනං ලිව්වා . 

Saturday, October 6, 2018

තිරුවානා එක්ස්ප්‍රස්



කාලෙකට පස්සේ කැම්පස් එකේ කතාවක් ලියන්ඩ හිතුනා. අපේ යාලුවා එන්නේ දුම්බර මිටියාවතේ ඉඳලා. නම තිරුවානා. ඒක නියම නම නං නෙවෙයි. නියම නම නොකියන්නේ කිව්වොත් ලොකු මලයාගේ ජීවිතේ අනතුරට පත් වෙන්ඩ ලොකු ඉඩක් තියන හිංදා.  අනික නම මොක උනාම මොකද වැඩ හොඳ නං. වැඩි වැල්වටාරන් නැතුව කතාවට බහිමු මොකද කතා එකක් නෙවෙයි දෙක තුනක්ම කියන්ඩ තියන හිංදා.


ඔන්න අපි ඔක්කොමලා කැම්පස් එකට ගිය අලුතම වෙච්ච වැඩක්. ඔය කාලේ කඩිනම් ඉංග්රීසි පාඨමාලාව පැවැත්වෙන කාලේ. අපි ඉගෙන ගත්තත් මාත් තිරුවානාත් කාලේ ඉඳම්ම හොඳ යාළුවො. තිරුවානා නැවතිලා හිටියේ නුවර ටවුන් එකේ බොහොම ප්රසිද්ධ පැත්තක. ඉතින් එහෙ ඉඳලා හැමදාම උදේ කැම්පස් එන දවසක් ගෙනාවේ හරි අපූරු ආරංචියක්. තමයි නුවර ෆිල්ම් හෝල් එකකට කාම සූත් කියන ෆිල්ම් එක ඇවිල්ලා කියන එක. ඔය කියන කාලේ කාම සූත් කියන නම ඇහිච්ච පමණින් ඇගේ රුධිර පරිවහනය ඉක්මන් වෙච්ච කාලයක්. ආය ඉතිං ඉඳල මොටද කියල දැන් අපි දෙන්නගේ සූදානම මේ ෆිල්ම් එක බලන්ඩ යන්ඩ. එකම පුරස්නේකට තියෙන්නේ කොයි වෙලාවෙද යන්නේ කියන එක. තිරුවානට හවස නැවතුම්පොලින් පිටත් වෙන එක හිතන්ඩවත් දෙයක්. හින්ද 6.30 බැලිල්ල බොරු. 2.30 ෆිල්ම් එක පෙන්නුවට පට්ට දවාලේ ඔය ෆිල්ම් එක බලලා ආතල් එකක් ගන්ඩ බෑ කියල තමයි තිරුවානා ගේ තක්සේරුව. ඉතින් ඉතුරු වෙච්ච එකම වෙලාව 10.30 යන එක. හැබැයි කියන්නේ එදා ක්ලාස් කට් කරන්ඩ වෙනවා.

Sunday, September 23, 2018

එළදෙන සහ සමාගම - අවසාන කොටස


කාකාස ඉස්ටෝරු කාමරේට දුවල ගිහිල්ල ටෝච් එකක් අරං ආවා. මැනේජර් මහත්තයා එළදෙනගේ කට ඇතුලට ටෝච් එක ගැහුවා. එතකල් එළදෙනගේ කට ඇරලා අත් දෙකෙම්ම අල්ලගෙන ඉන්ඩ උනෙත් කාකාස ටම තමයි.

නියමයි! පොටෝකාරයා කිව්වා.

මට ඕනේ ඌ කට බලියාගෙන වගේ ඇරගෙන ඉන්න විදිහට ගන්ඩ මැනේජර් මහත්තයා කිව්වා. ඊ ගාවට එම්.ඩී. පැත්තට හැරිලා මෙහෙම කිව්වා. සර් එළදෙන දවස පුරාම මොනවා හරි හප හප තමයි ඉන්නේ. හැම හින්දුවෙක්ම එළදෙනට ආදරෙයි. ඒ හිංදා අපි එළදෙනක්ව පොස්ටරේට දැම්මොත් උන් කැමති වෙයි අපේ චුවින්ගම් වලට!

ඔහු ආයෙත් ටෝච් එක ගැහුවා. එළදෙන කලබල ගතියෙන් ඔලුව වැනුවා. ඊ ගාවට ඌ දුවගෙන ගියේ පොටෝ කාරයයි මනුස්සයාගේ අනික් පොටෝ ගහන බඩු ටිකයි තිබ්බ තැනට!

ඉක්මනටම අරූව මෙතනිං අරං යනවලා! එම්.ඩී. මහත්තයා කෑ ගැහුවා. මට හුස්ම ගන්නවත් බෑ. මේ ගන්දස්සාර ජරාව අහක් කරනවා මෙතනින්! මෙතන කුණු බිංදුවක් නැති වෙන්ඩ හොඳට සුද්ද කරනවා අද දවස ඉවර වෙන්ඩ ඉස්සර!! එහෙම කියල එම්.ඩී. මහත්තය ගෙදර යන්ඩ ගියා.

දැන් තුන් දෙනාම එක්කහු වෙලා එළදෙනව අදිනවා පල්ලෙහාට යන්ඩ. එළදෙන ඔලුව ගස්සපු ගමං තුන්දෙනාම වැටුනා බිමටම. මෙහෙම තුන් දෙනාම බිමට වට්ටපු එළදෙන ඊගාවට හැරුනේ ෆයිල් කාමරේ දිහාවට.

ඔය අතරේ තමයි කාකාසට මතක් උනේ එදා හවස ලියුම් දැම්මේ නෑ නේද කියලා. මිනිහ සුටුස් ගාලා ගියා ලියුම් කාමරේට. ගත්ත ලියුම් ටික. ඊ ගාවට කුස්සියට දුවගෙන ගියේ මනුස්සයාගේ සෙරෙප්පු දෙක දා ගන්ඩ. ආ...මුද්දර ගහන්ඩ සල්ලි එපැයි...කාකාස දුවගෙන ගියා එකවුන්ටන් මහත්තයා ගාවට. මුද්දර සල්ලිත් ඉල්ලගෙන පන එපා කියල හැතැම්ම බාගයක් දුර තියන තැපැල් කන්තෝරුවට දුවලා යනකොට ඒක වහන්ඩ තව ඉතුරු වෙලා තිබ්බේ විනාඩි දෙකයි! ලියුම් ටික දාලා ආපහු කාකාස ඔෆිස් එකට එනකොට හවස පහ පහුවෙලා. ඔෆිස් එක හිස්. කාකාස දැක්කේ ෆයිල් කාමරේ දොරට හේත්තු වෙලා බිම ඉඳගෙන හති අරින මැනේජර් මහත්තයා. පොටෝ කාරයත් එක්ක වෙච්ච සංගදියෙන්  පස්සේ එළදෙන පස්සේ දුවපු මැනේජර් මහත්තයාට පුළුවන් උනා ෆයිල් කාමරේ ඇතුළට එලදෙනවා දක්කලා පිටිං ලොක් එක දාන්ඩ. ආය එළදෙන එළියට එනව බොරු!

Wednesday, September 19, 2018

එළදෙන සහ සමාගම


කෝ එළදෙන?” එහෙම ඇහුවේ කන්තෝරුවේ මැනේජර් මහත්තයා.

එළදෙන?” කනිෂ්ට නිලධාරියා ඇහුවා.

ඔව්වෙන මොකෙක්ද?”

ඕ...ආ....එළ...දෙ..න…!”

මම උඹට කිව්වේ දවස් දෙකකකට කලින්!”

ඔව්... ඔව්... මට අමතක් උනේ නෑ….අද හවස් වෙනකොට... එයාට උත්තරේ ඉවර කරන්ඩ හම්බ උනේ නෑ.

නෑ. හවස් වෙනකොට නෙවෙයි දවල් දොළහ වෙනකොට...ඉස්සරහ ලොබියට!!”

මම හිතුවේ එයා කිව්වේ විහිලුවට කියලා…” කනිෂ්ට නිලධාරියා එහෙම කිව්වේ එයාගේ මේසෙ ගාවට යන ගමං.

එළදෙනක්?” එකවුන්ටන් මහත්තයා ඇහුවා

ඔව්!!”

ඇත්ත එකෙක්?”

ඔව්...ඔව්..එළදෙනක්!...ඇත්ත එකෙක්!!..ජීවත් වෙන එකෙක්!!!...දැන් යං මාත් එක්ක.