Saturday, April 21, 2018

දවල් මිගෙල් රෑ ඩැනියෙල්


අපිට හම්බ වෙන මිනිස්සු හරි පුදුමාකාරයි. එලියට පෙන්නන මනුස්සය නෙවෙයි ඇතුලේ ඉන්නේ. අපේ නෝන මහත්තයගේ ගෙදර කට්ටිය මට කැමැත්ත දෙන්ඩ කලින් මගේ උපන්න වෙලාව ඉල්ලගෙන ගිහිං පොරොන්දන් බලවලා. ඊට අමතරව මගේ ගති ගුණ ගැනත් සාත්තර කාරයෙකුට කියල අස්සවලා. මනුස්සයා කිව්වලු ඔය උඩිං පෙන්නන මනුස්සයා නෙවෙයි ඇතුලේ ඉන්නේ, මහා දෙබිඩි චරිතයක්, කසාද බැඳලා ටික දවසකින් වහල් කමට ගියා වගේ දැනෙයි කියලා. අපේ නෝනත් ඔය කතාව ඇදලා ගන්නේ මොකක් හරි හිත් නොහොඳ කමක් ඇති වෙච්ච වෙලාවටමයි. මටත් එතකොට යකා නගිනවා. මගේ රෙඩිමේඩ් උත්තරේ තමයි සාත්තර කාරයා මට කියන්ඩ තිබ්බ දෙයක් වැරදිලා තමුන්ට කියලා තියෙන බව කීම. කොහොම උනත් ඊයේ ටී වී එකේ මම දැක්ක එක කතාවක් හිංදා මට එක එක දේවල් හිතෙන්ඩ පටං ගත්තා මේ කාරණේ ගැන.

අපේ වික්ටර් රත්නායක මහත්තයාගේ මාලිනියේ සින්දුව අහල තියනවා නේද?

මාලිනියේඉන්ද්‍රජාලය

මා මනසේ - අන්ධකාරය

මා දෑස සොයනා - ඔබ දෑස නැත

රුව ඇඳුනේ මාලිනියේ - නොරැවටෙන්

ඈන් ස්පොරි

මටනං හිතෙන්නේ මතුපිට සහ ඇතුලත චරිත ගැන කියවෙන මේ සිංදුවට ගැලපෙන චරිතයක් තමයි ඊයේ මම දැනගත්තු කෙන්යානු ජීවිත දහස් ගණනක් බේර ගත්තු වෛද්‍යවරියගේ කතාව. කැමති නං කියවන්ඩ මේ ඈන් ස්පොරි ගේ කතාව.

Tuesday, April 17, 2018

හොල්මං වලට බය කවුද?


හුග දෙනෙක් හොල්මං කියල දෙයක් විශ්වාස කරන්නේ නෑ. මාත් හොල්මං වැඩිය විස්වාස කරන කෙනෙක් නෙවෙයි. මම හොල්මං විශ්වාස කරන්නේ නෑමයි කියල දිවුරල කියන්ඩ නං බෑ. මොකද මට වෙච්ච එක ඇබැද්දියක් ගැන මීට කලින් මම ලියල තියනවනේ. ඒ ගැන කාට හරි කියවන්ඩ ඕන නං මෙතෙන්ඩ කොටන්ඩ. ඉතිං මම හොල්මං වගේ දේවල් විස්වාස කරන්නේ නැත්නං එහෙම වෙලාවක බයක් ඇති වෙන්ඩ විදිහකුත් නෑ. හැබැයි තර්කානුකූලව කල්පනා කරල බැලුවොත් හොල්මං ඉන්නවා කියල කියන්ඩත් බැරි තරං. හැබැයි අපේ ගමේ එක්කෙනෙක් ඉන්නවා සත්ත වෙනවා එයා හොල්මං හිටපු ගෙදරක් කුලියට අරං කාලයක් ජීවත් වෙච්ච බවත් අන්තිමට ඒ ගේ දාලා එන්ඩ උනේ හොල්මං වලින් වෙන කරදර ඉවසා දරාගෙන ඉන්ඩ බැරි වෙච්ච හිංදා බවත්.

ඔය කාරණේ හින්දම මම යුද හමුදාවේ දැනටත් සේවයේ ඉන්න මේජර් මිත්‍රයෙකුගෙන් අහල බැලුව කවදාවත් හොල්මනක් දැකල හරි ඇහිල හරි තියනවද කියල.මනුස්සයා ජොබ් එකට ගියදා ඉඳන් යුද්දේ ඉවර වෙනකල් මගේ හිතේ සීයෙට අසූවකට වඩා කාලයක් හිටියේ යුද බිමේ. සිය ගණන් මැරුණු තැන් මනුස්සයා දෑහින් දැකල තියන බව මම හොඳාකාරවම දන්නවා. එයා මට කිව්වේ අවුරුදු පහළවකට අධික රැකියා ජීවිතේ එකම එක වතාවක් ඇරුණම කවම කවදාවත් හොල්මනක් දැකල නැති බව. ඒ එකම එක වතාවෙත් එයා ඇත්තටම හොල්මනක් දැකලා නෑ ඇහිලා විතරයි. ඉතිං ඒ සද්දෙත් හොල්මනක්ද නැත්නම් ඒ පරිසරයේ තියන ස්වභාවික සද්දයක්ද කියන්ඩ මනුස්සයාට බෑ.

Thursday, April 12, 2018

කවුද ඩෝ චණ්ඩි?


අපේ ලයනල් රංවල මහත්තයගේ ලස්සන ගේය පදයක් නිතරෝම මේ දවස් වල ඇහෙනවා...


මේ අවුරුදු කාලේ ...හිනා වෙයං රාළේ

තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ....

අවුරුදු කාලේ ආපුවම කැවුම් මතක් වෙනවා නං මට ඊගාවට මතක් වෙන චරිතේ තමයි කිංස්ලි අයියා. කොහොම උනත් කිංස්ලි අයියා තරං කැවුම් කන්ඩ දස්සයෙක් මම නං ජීවිතේටම දැකලා නෑ. මනුස්සයට අතිරහ කැවුම් ගෙඩි හතළිහක් පනහක් කොටා බාන එක සුළු වැඩක්.කිංස්ලි අයියා ගැන කියන්ඩ කතා එමටයි. කිංස්ලි අයියලගේ පවුල අපේ ගමට පදිංචියට ආවේ අනූ ගණන් වල. ඊට ඉස්සර කිංස්ලි අයියලාට වෙච්ච වැඩ ගැන වෙනම දවසක කියන්ඩ තරං දේවල් තියනවා.

ඒ කොහොම වෙතත් කිංස්ලි අයියා කියන්නේ උපං ගෙයි මෝඩයෙක්. හැබැයි පොඩි 'වැඩ පෙන්නීමේ' දොළ දුකකුත් නොතිබ්බා නෙවෙයි. වැඩියක්ම ගෑල්ලමයි ඉන්න තැන වලදි මනුස්සයා පොර වෙන්ඩ හදනවා එක මොහොතෙන්. මම එක උදාහරණයක් කියන්නං කෝ මිනිහගෙ ගති සොබාව දැන ගන්ඩත් එක්කලා.

අපේ ගමේ පොසොන් පෝයට දන්සැලක් දෙනවා. ඔය දන්සැලට මූලිකත්වය ගන්නේ ගමේ කොල්ලෝ කෙල්ලෝ. ඉතිං ඔය සැට් එකම පොතකුත් අරං ගමේ ගෙවල් වලට යනවා මාසෙකට විතර ඉස්සර දන්සැලට දායකත්වයක් ඉල්ලමින්. ඔය කියන අවුරුද්දේ, ඒ කියන්නේ කිංස්ලි අයියලා අපේ ගමට පදිංචියට ආපු අවුරුද්දේ, ඉටිකිරිස් කෙල්ලෝ දෙතුං දෙනෙකුත් හිටියා මේ දන්සැල් ආධාර එකතු කරන සැට් එකේ. කිංස්ලියට ඕන උනා කලර්ස් පෙන්නන්ඩ. ඇයි යකෝ අතිං ගාණක් යන එකේ ඒ ගමම්ම සෙට් කර ගන්ඩ පුළුවන් උනොත් මල් හතයි නේද කියල හිතපු කිංස්ලි අයියා කල්පනා කළා මේ ආධාර කණ්ඩායම ඉස්සරහා ෆුල් සුද්දා වෙන්ඩ.

Sunday, April 8, 2018

ඇණපති දඟර පාඬියා


ලෝකෙ ප්‍රසිද්ධියට පත් වෙච්ච එක එක තෑගි, සම්මාන තියනවා. මොන්ටිසෝරි යන පොඩි එකෙක් ගෙන් ඇහුවත් කියයි නොබෙල් තෑග්ග එහෙම නැත්තං ඔස්කාර් සම්මානෙ එහෙමත් නැත්තං ෆිල්ම්ෆෙයාර් සම්මානේ වගේ සම්මාන ගැන. අද මම කියන්ඩ හිතුවේ එහෙම ප්‍රසිද්ධියක් ලෝකෙ පුරාම නැතුවත් අඩු ගානේ පේරාදෙණියේ කැම්පස් එකේවත් සෑහෙන ප්‍රසිද්ධියක් තියන සම්මානයක් ලබපු උත්තමයෙක් ගැන ලියන්ඩ. මගෙ හිතේ මේ සම්මානේ අනිත් කැම්පස් වලත් තියනවා. සමහර විට නම වෙනස් ඇති. හැබැයි සම්මානේ දිනන අයගේ වැඩ කොහෙ බැලුවත් එක හා සමානවම ඇති විශිෂ්ටයි. මේ මම කියන්ඩ තෙපර බාන සම්මානේ තමයි 'ඇණපති' සම්මානේ.


ඇණපති වෙන්ඩ නං 'ඇණ ගෙන' තියෙන්ඩ ඕන. කැම්පස් බාසාවෙන් ඇණ ගන්නවා කියන්නේ ගෑල්ලමයෙක් ගෙන් යාලු වෙන්ඩ අහලා ඒ ගෑල්ලමයා විසින් ප්‍රතික්ෂේප කිරීමට ලක් කිරීම. අද කාලේ දන්න විදිහට කියනවනං මෙන්න මෙහෙම.

"ඔනරබල් සිරිපිනා?"

"විරුද්ධා.....යි!"

ඔන්න එතකොට බැච් එකේ එවුං ගණන් තියාගන්නවා ලොකු මල්ලි.... ඇණ එකා....යි කියල. ඇණ එක දෙක වෙලා, දෙක තුන වෙලා , හතර පස් පාර කෙල්ලොන්ගෙන් ඇණ ගත්තු 'චරිතයක්' වෙනකොට බැච් එක ඇතුලේ වගේම කැම්පස් එක ඇතුලෙත් අර අහිංසක කොල්ලට විවිධ සමච්චලයන්ට භාජනය වෙන්ඩ වෙනවා. ඉතින් සමහරු කැම්පස් එක ඇතුලින් හිච් වීමේ හීනය මහවැලි ගගට දාලා පා කරනවා. හැබැයි සමහරු නං ඒ උත්සාහය අත් අරින්නේ නෑ. අන්න එහෙම නොපිරිහෙන ධෛර්යයක් තියන මහා පුරුෂ රත්නයකට තමයි බැච් එකේ වැඩියෙම්ම ඇණ ගත්තු සාඩම්බර යුග පුරුෂයාට සිය අද්විතීය මෙහෙවර වෙනුවෙන් ජීවිතයේ එක වරක් පමණක් හිමිවන මහා 'ඇණපති' සම්මානේ හම්බ වෙන්නේ.

අපේ බැච් එකේ මේ මහා සම්මානය හම්බ උනේ දඟර පාඬියා ට. 

Monday, April 2, 2018

පැණි රහ උනත් නිරසයි වැඩියෙන් කෑම!

හිතවත් බ්ලොග් සහෘදයනි, කට්ටකාඩුව කියවන සහෘදයිනි,

කාරුණික ඉල්ලීමයි....!

ඔබ මේ ලිපිය කියවා, එහි අඩංගු කරුණු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීමට සුදුසු දෙයකැයි සිතන්නේ නම් එළඹෙන උත්සව සමයේ 'නොසිතා වස පානය කරන' බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඔබ තුමන්ලා ගේ හා තුමියන්ලාගේ බ්ලොග් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න.

ස්තූතියි...........