Monday, December 2, 2019

කදිරා


කොටට කපා උඩට පීරා ඇති කොණ්ඩය ජෙල් ගා සකස් කොට ඇත්තේ ළඟ ඇති විදුලි පංකාවේ සුළඟිනිදු වෙනස් නොවෙන පරිදිය. සුදු කමිසය රතු දුඹුරු ටයි පටියක් පැළඳ කළු පැහැ කෝට් එකක් පැළඳ සිටින්නේ ඔහු යැයි හඳුනා ගැනීමත් අපහසු  තරම්ය.  මගේ සිත වසර කීපයක් ඈත අතීතයට දිව යයි.

අපේ වත්තේ කෙහෙල්කැනක් කපලා. අම්මා මට කිව්වේ සති අන්තයේ ගෙදර විටකය. අප්පච්චී ගේ මරණයෙන් වනවිට ගෙවී තිබුනේ මාස කීපයකි. අප්පච්චී ඉන්න කාලයේ කිසි හොරෙක් හතුරෙක් නොහිටි අපට දැන් මේ එළඹෙන්නේ නොනගත සමයක්ද?

සතියේ දිනවල අම්මා ඉන්නේ ගෙදර තනිවීය. අසල්වැසි සොහොයුරියන් කීප දෙනෙකු ඇගේ තනි නොතනියට රෑ අපේ ගෙදරට ආවද හොරෙක් හතුරෙක් පැන්නොත් ඔවුන්ගෙන් එතරම් සේවයක් නොවේ. අපත් සමග කොළඹ යන්නට එන්නැයි කොතෙක් කීවද අම්මාගේ රාජධානිය අතහැර කොළඹ යන්නට ඇගේ කිසිදු කැමැත්තක් නැත. ගියත් සිටින්නේ එන්නේ කොයිවෙලේ දැයි දින ගනිමිනි. අප්පච්චී සමග ගෙවූ තිස් තුන් වසරක යුග දිවිය ගැන සිතමින් පාළුවේ ඉන්නට තරම් ඇය කැමති වෙන කිසිවක් නොවීය.