Thursday, October 19, 2017

වල් ඌරන්ගේ සතුරෝ


ඉස්සර කාලේ වල් ඌරෙක් එලා ගන්නවා කියන්නේ ලොකු රාජකාරියක්. අපේ පැත්තෙ භාවිතා වෙච්ච මදු වලින් ඌරෙක් වගේ ලොකු සතෙක් අල්ලගන්නවා තියා හිතිල්ලත් බොරු. හින්දා බේත් කොටන තුවක්කුවෙන් හරි බොරු වලක් කපලා හරි තමයි ඌරෙක්ව අල්ල ගන්ඩ වෙන්නේ. අනික වල් ඌරෙක් හොයනවාට වඩා ලේසියි කෝදුරු තෙල් හත් පට්ටයක් හොයා ගන්න එක. හැබැයි පස්සෙන් පහු වෙනකොට මේක ටිකක් ලේසි උනා. හාවෝ බෝවෙන්නැහේ ඌරො බෝ වෙන්ඩ පටං ගත්තා. හමුදාවේ වැඩ කරලා පැන්සොං අරන් ආපු නොම්බර එකේ වෙඩික්කාරයෝ ගමට එකතු උනා. බේත් කොටන තුවක්කුවට වඩා හොදින් එල්ලේ ගන්ඩ පුළුවන් තුවක්කු දෙක තුනකුත් ගමට ආවා. කොහොමද කියල අහන්ඩ එපා. ඒක කෝක කෝක හරි තුවක්කු හම්බුනා කියල ලියල තියා ගන්ඩකෝ. ඔය අල්ල පනල්ලේ අපේ ගමේ අයියලාගේ අක්කලාගේ ඌරු මස් කෑමේ ආසාවත් දවසින් දවස ඉහල ගියා. ඉතින් සැපයුම කොච්චර වැඩි උනත් ඉල්ලුම ඊට හපං විදිහට ඉහල ගිය හංදා ඌරු මස් වල වටිනාකමත් ඉහලටෝම නැගගෙන නැගගෙන ගියා.

මේ කාලේ සිද්ද වෙච්චි කතා දෙකක් තමා අද මං මේ කියන්ඩ තනන්නේ. කැමතිනං හොමරි කමට ගුලි ගැහිලා ඉන්නෙ නැතුව එන්ට ඌරු මස් සුට්ටක් හොයා ගන්ට...

Sunday, October 15, 2017

කෙල්ලක් නැති ජීවිතේ - වගෙයි නිකං සාගතේ


කාලෙකට පස්සේ ආයෙත් පේරාදෙණිය ගැන කතාවක් ලියන්ඩ හිතුවා. එහෙම හිතුනේ කව්ද ගොබිලෙක් මූණු පොතේ දාලා තිබ්බ, පේරාදෙණිය කැම්පස් එකේ තියන මල් පිපුනු රොබරෝසියා ගහක පින්තූරයක් දැකලා. අම්මපා ඒක නම් බලන්ඩම වටින දෙයක්. දැන් වගේ සෙල්ෆි මේනියාවක් නොතිබ්බ කාලේ මල් පිපුනාම මුළු පොළවත් එක්ක රෝස පාටයි. එක්කෝ කහ පාටයි. හරියට පොළොවේ සාරය උරා ගෙන එක තැනකින් පේරාදෙණි අහසට එක්කහු වෙනවා වගේ තමයි ඈතට පේන්නේ (දැන් කාලේ  බොලල්ලා මල් පිපිච්ච වෙලාවේ ඉඳල කොල්ලෝ කෙල්ලෝ රොත්තම ගහ යටට ඇවිත් සෙල්ෆි ගහනවා. අර ලස්සන බලන්ඩ මේ සෙල්ෆි කාරයන්ඩ වෙලාවක් නෑ!!). ඔය මල් පිපෙන කාලෙට ආදර හැඟුම් පහල වෙනවා වැඩියි.

ආදර හැඟුම්…. ආදර හැඟුම්….
නුපුරුදුයි මට නුපුරුදුයි
හැඟුම්....
කිති කවයි හද කිති කවයි
හැඟුම්....

.........

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොයින්නේ……

වෙලාවට, අනෙ අප්පේ මේ ලස්සන තව දැරිවියෙක් එක්ක බෙදා හදා ගන්ඩ බැරි වෙනවනේ කියල අපිත් එක්ක යාලු වෙන්ඩ බෑ කියන කෙල්ලෝ ගැන මහා අනුකම්පාවක් ඇති වෙනවා. චැහ් : මොන අලුගුත්තේරුවද හිතුවේ කෑල්ලක් සෙට් කර ගන්ඩ බැරි හිංදා අපිම තමයි දුක් වෙන්නේ කියලා. අනේ අපිට නං ඕකේ වගේ වගක් නෑ. මේ අවුරුදු විස්සක් තිහක් වෙනකල් තනිකඩව හිටි එකේ ඉතුරු දෙදොහ මොකද්ද නේද රංජනී? අපිට දුක කෙල්ලෝ ගැන!!.

Wednesday, October 11, 2017

ගෙදර යන ගමන්....- අන්තිම කොටස



කතාවේ මුල් කෑල්ල කියෙව්වේ නැත්තං මෙතෙන්ට ටොක්කලා ඒකත් කියවගෙනම එන්ඩ ලා. ‘ගෙදර යන ගමන්’ තියන දාහක් රාජකාරි අතරේ ආපහු මුල ඉඳන් කතාව කියන්ඩ වෙලාව නෑ ඒකයි.

..........................................................................................................................................................

ඔහොම දවස් දෙක තුනක් ගියා. ආයෙත් මෙන්න දවසක අනුර කතා කරනවා. මං හිතුවා මේ පාරත් මොකක් හරි කල් පැනපු දෙයක් අරගෙන ජැක්පොට් එකක් පාදාගෙන කියලා (හැබැයි එදා මොකුත් බරපතල දෙයක් නොවිච්ච එක හොඳයි නැත්තං අද මේ කතාව කියන්ඩ වෙන්නේ කඳුලු පිහදාන ගමන්!).

Monday, October 9, 2017

ගෙදර යන ගමන් අහපු දැකපු විඳපු කථා



අද මං මේ කියන්ඩ යන්නේ 'ගෙදර යන ගමන්' අහපු දැකපු කථා තුනක්. මං මෙච්චර කල් හිතන් හිටපු දේවල් අද දවසේ වෙච්ච සිද්ධි දෙකක් හිංදා වෙනස් කර ගන්ඩ උනා. ඉතිං කතාව උණු උණුවෙම ඔයාලත් එක්ක කියන්ඩයි මේ සූදානම. උණු උණුවෙම කියලා අපිට අහන්ඩ, දකින්ඩ හම්බ වෙන හුගක් දේවල් වගේම මේ කතාවලත් ඕන තරම් වැරදි තියෙන්ඩ පුළුවන්. සමහර විට මෙච්චර කාලයක් මගේ හිතේ තිබ්බ අදහස් අද වෙච්ච සිද්ධි දෙකකින් වෙනස් උනා වගේ හෙට අනිද්දා වෙන සිද්ධි වලින් මේ අදහසත් වෙනස් වෙන්ඩ පුළුවන්. ඒත් මට කියන්ඩ ඕන කරන පණිවිඩෙත් එක අතකින් ඒකමයි. අපි මතු පිටින් දකින දේවල් වලින් මිනිස්සු ගැන තීරණ ගන්ඩ යන එක එච්චරම හරි දෙයක් නෙවෙයි කියන එකයි මම අද ආයෙත් ඉගෙන ගත්තු පාඩම.

අනික මේ මම කියන්ඩ යන කතාවලට පසුබිම සපයන්නේ එක සුපිරි වෙළඳ සැල් ජාලයක් උනාට වෙනත් රාජ්, පෞද්ගලික හෝ රාජ් නොවන ආයතනයක් වෙන්ඩත් ඕන තරං ඉඩ තියනවා. අනික අර ජයලත් මනෝරත්න මහත්තයා අන්දරේලා නාට්යයේ කියනවා වගේ ...එදා හිටිය, අද ඉන්නව, හෙට ගැන කුමට? ඉතිං හෙන්රි ජයසේන මහත්තය කුවේණි නාට්යයේදී කියනවා වගේ අන්දකාරෙන් දහස් වසරෙක, මෝහයෙන් තව දහස් වසරෙක, මානයෙන් යළි පන්සියක් කල් වහල හංගල දාන්නේ නැතුව ඔන්න කතාව කියනවා.

Thursday, October 5, 2017

අපේ රට ඉස්සරහට යන්නෙ නැත්තෙ ඇයි?

   
ගිය සතියේ දවසක මගේ මිතුරියක්, ඇගේ දොළොස් හැවිරිදි පුතා එයා ගෙන් අහපු ප්‍රශ්නයක් මටත් කිව්වා. ප්‍රශ්නේ බොහොම සරළයි. ඒත් උත්තරේ එච්චරම සරළ නැති බවකුයි මට එක පාරටම හිතුනේ. ඔක්කොටොම කලින් ප්‍රශ්නේ කියන්නම්කො. අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ නැත්තෙ ඇයි?” දීපල්ලකො උත්තර!!!? වටේ පිටේ යාළුවො දෙතුන් දෙනෙක් ගෙනුත් ඇහුවා මේ ගැන. පොඩි ළමයෙක් ප්‍රශ්නයක් අහපුවම හරියටම උත්තර දෙන්ඩ එපෑ. ඒ කාටවත් හරි එක උත්තරයක් තිබ්බේ නෑ!!. පොඩි එකා ඉල්ලන්නේ තනි උත්තරයක්ලු!!. ඒ උත්තරේ විස්තර කරන්ඩ පුළුවන් උනාට උත්තර දෙක තුනක් කියන්ඩ බෑලු. උත්තර නැති ප්‍රශ්නෙකුත් අහලා තව කොන්දේසිත් දානවා. ඒ පොඩි එවුන්ගෙ හැටි!!!

මේ කොන්දේසි හිංදා උත්තර දෙන එක දවසින් දවස කල්ගියා. ඔයිං මෙයිං පෝය නිවාඩුවක් හම්බවෙච්ච එකේ මේ ප්‍රශ්නේ ගැන ටිකක් ගැඹුරින් හිතුවා. දුර දකින දේශපාලකයෝ නැති කම, එක ප්‍රතිපත්තියක පිහිටලා වැඩ කරන්නේ නැති කම, එක එක පැති වලින් හිස් ඔසවන ආගමික අන්තවාද, විදේශීය බලවේගවල් අදින දාං ගේමක ඉත්තෙක් වීම වගේ කාරණා ගණනාවක් ඔලුවට ආවත් තනි උත්තරයක් නං හොයා ගන්ඩ බැරි උනා. තනි උත්තරයක් නැතුවා වගේ පේන සමහර සංකීර්ණ ප්‍රශ්න වලට හරි සරළ උත්තර තියනවා කියල මතක් උනේ ඒ පාඩම මට මුලින්ම කියල දීපු උපාලි ද සිල්වා සර් ගැනත් මතකය අලුත් කරමින්. ඉතින් මං හිතුවා ඒ කතාව ඔක්කොමල්ල එක්ක බෙදා ගන්ඩ.