Saturday, November 18, 2017

අලිය ගේ තරම ඌ දන්නේ නෑලූ!!


අලියා කියන්නේ දැනට ගොඩබිම මත ජීවත් වෙලා ඉන්න ලොකුම සතාය. පොඩි කාලේ පටම්ම අලියෙක් දැක ගන්ඩ අපිට තිබ්බේ ආසාවක්. නිතරම ලොකු ලොකු දේවල්ම කරන්ඩ අම්මලා තාත්තලා අපිව පොළඹවන හින්දමද කොහේදෝ පාරේ අලියෙක් ගියත්, අඩුම ගානේ දම්වැල් එකට හැප්පෙන ලොකු සද්දයක් පාර පැත්තෙන් ආවත් අම්මලා අපිව එක්කගෙන යනවා අලි බලන්ඩ. කව්ද කියල තියනවනේ අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩ දෙකක් කියලා. ඒක හිංදා වෙන්ඩැති තාමත් අපි අලි බලන්ඩ කැමති. මේ ලඟදි දවසක අලියෙක් එන සද්දයක් ඇහිලා පාර දිහා බලනකොටම මගේ හිතට ආවා අලි කියන්නේ මොක්කුද කියලා ටිකක් හොයල බලන්ඩ. මං ඉතිං ඔය සත්ව විශේෂඥයෙක්වත්, අලින්ටත් වඩා අලි ගැන දන්න ලංකාවේ හීලෑ අලින්ගේ අයිතිකරුවන්ගේ සංගමේ කෙනෙක් වත් නොවෙන හිංදා පොතක් පතක් බලලා තමයි කරුණු හොයා ගත්තේ.  



අලි ගැන පොතේ පතේ තියන දේ ඇත්තමද කියල අහගන්ඩ මං අපේ ගමේ ඉන්න අලි පිලිබඳ විශේෂඥයා - කඩේ මාමා - වත් සම්බන්ධ කරගත්තා. උන්දැගේ ගෙදර ඉස්තෝප්පුවේ සද්දන්ත කොළ පාට  ඇතෙක් ගේ පිංතූරයක් ගහලා තියන හින්දත්, ඔය ලංකාවෙ අලි රැහැට විඩෙන් විඩේ නායකත්වය දුන්න 'අලි කාරයෝ' කීප දෙනෙක්ගේ පින්තූර එල්ලලා තියන හින්දත් මට හිතුනා උන්දැ තමයි මේ වැඩේට අල්ලගන්ඩ හොඳම චරිතේ කියල. ඉතින් ඔන්න වැඩි වැල් වටාරම් නැතුව කතන්දරේ.

Tuesday, November 14, 2017

අපි හරියට කන්ඩවත් දන්නවද?


අපේ කන්තෝරුවේ කෑම සඳහා නියමිත වෙලාවක් නැතිමුත් බොහෝ දෙනා දවල් දොළහ හමාරත් එකත් අතර දිවා ආහාරය ගැනීමට පුරුදු වී සිටිති. කුඩා කැන්ටිමක් තුල බොහෝ දෙනා ආහාර ගන්නා බැවින් එකිනෙකා ආහාර ගන්නා රටාවන් අනෙක් අයටද දිස්වීම අනිවාර්යයෙන් සිදුවේ. අනෙකුන් ආහාර ගන්නා ආකාරය ගැන මගේ එතරම් තැකීමක් නොවූවද කාලෙකට ඉහත අපත් සමග එකට සේවය කල සහෝදර සේවක මහතෙකු දවල් කෑමට යන කාල පරාසය මග හැර කැන්ටිමට යාමට මම ප්‍රිය කලෙමි. ඒ මුළු බත් පතම අනා ගෙන, ඉන් ලොකු අහුරු අහුරු කට තුලට දමාගෙන, ඒ කෑම හපන අතර අනෙකුන් සමග කතා බහ කිරීමට අපේ යාලුවා පුරුදු වී සිටි නිසාය. ඒ දර්ශනය කෙතරම් අජූව දැයි තේරෙන්නේ ඔහුත් සමග එක් වේලක් හෝ බත් කෑ කෙනෙකුට පමණි. වැසිකිලි වලක බැස කෑම ගැනීම අර අත්දැකීමට වඩා ප්‍රියජනක එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.



බුදුන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු භික්ෂුනීන් හට දානය වැළඳීම පිළිබඳව යම් යම් නීති රීති පනවා ඇති බව අසා තිබුනත් ඒ මොනවාදැයි මා කවදාවත් දැන සිටියේ නැත. කුඩා කල 'මල පෙරේතයෙක් වගේ' කන්ඩ එපා යැයි අම්මා අපිට කිව්වේ ඇඟිලි වල ගෑවී තිබූ ඉඳුල් ලෙවකන විටය. ඊට අමතරව මල පෙරේතයන් කන්නේ කෙසේදැයි දැන ගැනීමට උවමනාව තිබුනත් පෙර කී මිතුරා හමුවන තුරු එය තේරුම් ගත නොහැකි විය. මේ හැරුණු කොට කෑම ගැනීම ගැන පිළිගත් නීති රීති එක්තැන් කල කිසිදු තැනක් සොයා ගත නොහැකි විය. කැම්පස් ජීවිතය අගදී 'එටිකට්' පිලිබඳ දින දෙකක පාඨමාලාවකට අපව යොමු කලද එය තනිකරම බටහිර පන්නයට කෑම ගැනීම නිසි පරිදි කරන්නේ කෙසේදැයි කියා දීමට සීමා වී තිබුනෙන් පෙරදිග චාරිත්‍ර දන ගැනීමට මගක් නොවිණි.  මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ලැබුනේ මෑතකදී කියවූ පොතකිනි. ඒ දැනුම ඔබත් සමග බෙදා ගන්නේ අපිට කෙසේ වෙතත් අපි කන හැටි බලා ඉන්න අයටවත් ඉන් සෙතක් සැලසෙනු ඇතැයි යන කල්පනාවෙනි.

Saturday, November 11, 2017

අකලට පුරන් වූ කුඹුරු


ඕන්න අයියලා අක්කලා අහගන්ටකෝ මේ පහුගිය දොහේ මට වෙච්ච ඇබැද්දිය. මොර සූරන වැස්සේ මේ සම්මජ්ජාතියේ වැඩක් කොරන්ට හිත දෙන්නැති සීතලේ ගේ ඇතුලට වෙලා වහින හැටි බලාගෙන උන්නා. මේ වෙලාවෙ මතක් උනේ නැතෑ කවියක්. ඒ එක්කම ඒ කවියට උත්තර විදිහට දෙන්ඩ පුලුවන් කවි හතරක්!



කවිය කියන්ට මූලික වෙන්නේ ඉටිකිරිස් රූපයක් තියන ඉස්තිරියාවක්. අනේ අප්පෝ කොච්චර ලස්සන උනත් මේ ඉස්තිරියාවගේ සුවාමි පුරුසයා වල කජ්ජං ගහලා. කොටිම්ම කියනවනං උන්දෑ වැන්දඹුවක් ආයිබෝං. ඉතින් ඔය ඉස්තිරියාව දකින අපේ ගොයියෙකුට අදහසක් පහල වෙනවා. උන්දැ කයියකිම්ම මුන්නෙ අදහස කියා පානවා...

අකලට පුරන් වූ කුඹුරක් දකින                   විට
ඇඟ පත කහන ගතියක් එයි ගොවියෙ     කුට
අඳ කුඹුරකින් වී ලාහක් නැතු                    වාට
සින්නක්කර කුඹුරු නැතුවා නොවෙයි       මට

තෙරුනානේ කතන්දරේ! උන්දැ මේ හදන්නේ කුඹුර 'අඳේට වැඩ කොරන්ට' මිස සින්නක්කර ගන්ට නෙවෙයි. මොකද උන්දැට අයිති 'සින්නක්කර කුඹුරක්' වෙනම තියනවා.

දැන් අර ඉස්තිරියාවගෙ වාරේ. මොන වගේ උත්තරයක් දෙන්ඩ ඇද්ද උන්දැ? පුලුවන්නං කියමු බලන්ඩ!!!

Tuesday, November 7, 2017

පැතලි ලෝකය රවුම් කල හතරවැනි රාමා

“අද .ටී එකේ ෆිල්ම් එකක් පෙන්නනවා බලන්ඩ?”

“මොකක්ද ෆිල්ම් එක?”

“ඇණ ගත්තද කිං!”

“මොකා ?”

“ඇණ ගත්තද කිං!”

“අපෝ සිංහල ජරාවක්ද?”

“නෑ බං ඉංග්රීසි”

“එහෙම නං තියනවද බූරුවෝ ඉංග්ලිෂ් ෆිල්ම් වල?”

“ඒකට හැමෝම කියන්නේ නම!!!”

මොකාද මේඇණ ගත්තු’රජ්ජුරුවෝ කියල බලන්ඩ මාත් ගිය එදා හවස . ටී. එකට. ටිකට් එක රුපියල් දහයයි. ඒක හිංදා ෆිල්ම් එකක් ඕන කෙනෙකුට බලන්ඩ අවස්තාව තිබ්බා. මෙහෙම චෑන්ස් එකක් තියෙන්නේ පේරාදෙණියේදී විතරයි. ආර්ට් තියටර් එහෙම නැත්තං කලාගාරයට හිටපු ගමං මොකක් හරි සංගමේකින් ෆිල්ම් ගෙන්නනවා. එහෙම බලපු මේ 'ඇනා ඇන්ඩ් කිං' කතාවේ තියෙන්නේ තායිලන්තේ රජ කෙනෙක් තමන්ගේ දරුවන්ට උගන්නන්ඩ මිෂනාරී ගුරුවරියකගේ සේවය ලබා ගත්ත හැටි ගැන. මට මතක විදිහට අපි කට ඇරගෙන බලා ගෙන හිටියා  රජ්ජුරුවෝ අර ටීචර් දැන් බඳී දැන් බඳී කියලා. ම්හ්...රජා ෆිල්ම් එක අන්තිම වෙනකලුත් බැරි වෙනවා ටීචව බඳින්ඩ.

ඔය කතාව මට මතක් උනේ පහු ගිය දවසක මගේ චාරිකා සටහන් ලියපු පොඩි කොළ කෑලි කීපයක් හම්බ වෙච්ච හිංදා. කොළ කෑල්ලේ උඩිම්ම ලියල තිබ්බ මාතෘකාව තමයි පැතලි ලෝකය රවුම් කල හතරවැනි රාමා! මොකාද යකෝ මේ දස වැඩේ කරපු එකා කියල හිත හිත මං අර සටහන් ටික කියෙව්වා. කැමතිද එව්වා බලන්ඩ?

Saturday, November 4, 2017

ෆෙඩරල් අමරපුර නිකාය


 මේ දවස් වල ෆෙඩරල් ක්‍රමය හොඳද නරකද කියලා දෙලෝ කෝටියක් කතා බහ සමාජේ පුරාම පැතිරිලා තියනවා. මහා සංඝරත්නය එක්සත්ව ඒ ගැන අදහස් දක්වපු බවකුත් පහුගියදා කියවුනා. මේ සතියේ පත්තරේක අමරපුර නිකායෙන් නිකුත් කරපු ප්‍රකාශයක් පලවෙලා තිබුනා. ඒකෙ විදිහට ෆෙඩරල් ක්‍රමය හොඳ නෑලු. ෆෙඩරල් ක්‍රමය හොඳයිද නරකයිද කියන එක වෙනම කතා කරන්ඩ ඕන දෙයක් උනත් කවුරු හරි තමන් ෆෙඩරල් ක්‍රමය භාවිතා කරමින්ම ඒක හොඳ නෑ කියල කියනවනං එක ගැන ටිකක් හොයල බලන්ඩ වටිනවා. ලංකාවේ දැනට පවතින නිකායවල් අතරින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය නොහොත් සියම් මහා නිකායත්, රාමඤ්ඤ නිකායත් දෙකම ඒවගේ ආරම්භයේ ඉඳම්ම බොහොම මධ්‍යගත පාලන ක්‍රමයකටයි සකස්වෙලා තියෙන්නේ. හැබැයි අමරපුර නිකාය ඒකෙ අනිත් පැත්ත. විවිධ කණ්ඩායම් රාශියකගේ එකමුතුවෙන් තමයි ඒ නිකාය හැදිලා තියෙන්නේ. ෆෙඩරල් කියන්නේ ස්වාධීන කොටස් එකතුවෙලා නිර්මාණය වෙන එකමුතුවක් නම් අමරපුර නිකායත් ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය කරන 'ආයතනයක්'. ඉතිං මට පොඩි හිතක් පහල උනා අමරපුර නිකායේ ඉතිහාසය හොයලා බලන්ඩ. අද ලිපිය ඒ හොයාගත්තු කරුණු සමහරක් ඔබත් සමග බෙදාගන්න අරමුණෙන් ලියවෙනවා.