Sunday, July 23, 2017

අපේ කටේ මැෂින් ගලවපියව් !


ඉතිහාසේ වෙනස් කරන්ඩ බැරිද? පුළුවන් නම් ඒ කොහොමද ?? මට හිතුනේ කන්ද කපා හද පායලා තිබුණු පහුගිය දවසක. බලන කදු පන්තියෙන් එහා කොහේදෝ නොදන්නා තැනකින් එබෙන හද දිහා බලාගෙන ඉන්නකොට මං ගාවට ආවේ ලෙව්කේ දිසාව. ඔව් ඔව් හතර කොරලෙන් බිහි වෙච්ච රණ සුරයා...එයා තමයි.


නිලමේ තුමා...කොච්චර ගව්රවයක්ද ඔබ තුමා මගේ ගෙදරට ආපු එක...මම මේ හිත හිතා හිටියේ....

මං දන්නවා බොල...ඉතිහාසේ වෙනස් කොරන්ඩ පුලුවන්ද කියලා නේද ?

එහෙමයි.. එහෙමයි එත් ඔබතුමා කොහොමද ඒක දන්නේ..”?

නායකයෙක් කියන්නේ හැමවෙලාවෙම තමුන්ගේ  වැසියන්ට වඩා ඉස්සරහින් ඉන්න කෙනෙක්...අවුරුදු සිය ගානක් ඉස්සරහට බලන්ඩ පුළුවන් කෙනෙක්...නැතුව හරක් පස්සේ යන ගොපල්ලෙක් නෙවෙයි බොල....මමත් මෙතනින් ඉද ගන්ඩද”? උන්නාන්සේ ඇහුවා....

එහෙමයි.. එහෙමයි.. කරුණා කරලා ඉඩ ගන්ඩ”. මං එහෙම කිව්වේ නිලමේ තුමා කියපු විදිහේ නායකයෝ දැනුත් ඉන්නවා වත්දෝ කියලා හිතන ගමන්.

ඉතිහාසේ නෙවෙයි වෙනස් කරන්ඩ පුළුවන්...හරියට හිතුවොත් අනාගතේ තමයි...අපි එහෙම හිතලා තමයි වැඩ කලේ

 ඒ කාලේ එහෙම උනත්.....?

ඇයි මොකද”?

දැන් කාලේ එහෙම වෙන්නෙ නෑ...!

එහෙම නො වෙන්නේ ඇයි....

අයි ඩෝන්ට් නෝ වයි”?

තෝ මාව බයිලා කාරයෙක් කියල හිතුවද ...

අනේ නෑ නිලමේ තුමා මට අපි ගැනම දුක හිතුනා.

මං කියන්ඩද අතීතෙන් පාඩම් ඉගෙනගෙන අපි අනාගතේ වෙනස් කරපු හැටි...

හොදමයි.. හොදමයි…”

අපේ කාලේ ගනින්නාන්සේලා වැඩි උනා ධර්මය දන්නා විනයධර හාමුදුරුවරු හොයාගන්ඩ අමාරු වුනා…”

ඒ කාලෙත් එහෙම උනාද”?

ඔව් ඊට ඉස්සර ඇතිවෙච්ච නරක කාලවලදී වගේම ඒ කාලෙදිත් එහෙම උනා...වැලිවිටියේ සරණංකර හාමුදුරුවෝ ආයෙත් උපසම්පදාව පිහිටුවන්ඩ පුදුම උත්සාහයක් ගත්තා...සිල්වත් සමාගම ගැන අහලා ඇතිනේ.

නැතුව නැතුව...

ඒත් සමහරු කල්පනා කළා අතීතයේදී උනා වගේම මේ පාරත් උපසම්පදාව පිහිටවෙව්වට ආයෙත් ඉක්මනින්ම ඒක නැතිවෙලා යාවි කියලා

ඉතිං ඉතිං…”

එක හින්දා හාමුදුරුවරු අතින් සිද්ද වෙන වැරදි නවත්තන්ඩ…”

ඇයි ඉතින් හාමුදුරුවරු අතින් වෙන වැරදි විතරක් ගිහියොත් වැරදි කරනවනේ…?”

මං කිව්වනේ නායකයෝ කියන්නේ ගොපල්ලෝ නෙවෙයි මිනිස්සුන්ට ඉදිරියෙන් ඉදගෙන හරි වැරදි තෝරලා හරි පාර පෙන්නලා දෙන පහන් තාරකා වගේ කියලා...ඉතින් සමාජයේ නායකත්වය දරන හාමුදුරුවරු තමන්ට ඒ නායකත්වය ලබා දෙන සිවුර පොරවාගෙන ඉදලා වැරදි වැඩ කලොත් මිනිස්සු තුල සිවුරට තියන ගරුත්වය තමයි නැති වෙන්නේ.. එහෙම උනොත් හරි භයානකයි...ගිහියෝ වැරදි වැඩ කලොත් මිනිස්සු කන පැලෙන්ඩ දෙකක් දීලා හදා ගනියි

අද සමාජයේ නම් නිලමේ තුමා ගිහියෝ අතින් වෙන වැරදිත් මිනිස්සු කට වහගෙන බලා ඉන්නවා. සමාජේ කාට ගරු කරන්ඩද කාට නිග්‍රහ කරන්ඩද කියලා තෝරා ගන්ඩ බැරි තරමට අවුල් වෙලා.

ඇත්තට…!!? ඒ කාලේ එහෙම උනේ නෑ... නිලමේ තුමාට එහෙම කියවුනේ හෝස් ගාල හුස්මක් වැටෙන ගමන්. 

ඒ කොහොම උනත් අපි කීප දෙනෙක් හැදුවා පොඩි මැෂින් දෙකක්. වැරදි දෙයක් දේවල් වෙන එක වලක් වන්ඩ.එකකින් කටෙන් වැරදි දෙයක් වීම වලක්වනවා අනිකෙන් ඇගෙන් වැරදි දෙයක් වීම වළක්වනවා.

එතකොට...හිතෙන් වෙන වැරදි...

හරියට පාවිච්චි කරනවානම් දැනටම ඒකට ක්‍රමයක් එකක් තියනවා ඒ තමයි ධර්මය. ඒත් අපිට මැෂින් එකක් හදා ගන්ඩ බැරි උනා හිතෙන් වෙන වැරදි වලක්වන්ඩ.

කොහොමද මැෂින් එක වැඩ කරන්නේ..?”

එක මැෂින් එකක් කටේ හයි කරපුවම කතා කරන ඔක්කොම අර මැෂින් ඉස්සරලා රෙකෝඩ්  වෙනවා ඊට පස්සේ ඒක සංසන්දනය කරලා බලනවා ධර්මයයි විනයයි එක්ක. ඒ දෙකටම ගැලපෙනවානම් විතරක් පිට කරනවා නැත්නම් අමතක කරලා දානවා.

හරියට දැන් තියන කොම්පියුටරයක් වගේනේ...! මොනවද නොගැලපෙන කතා?” මම ඇහුවා.

බලහන් අංගුත්තර නිකායේ දසක නිපාතයේ පටම කථා වත්ථු සූත්‍රය!!. එතන තියනවා භික්ෂුවක් නොකළ යුතු කතා 27 ගැන. කල යුතු කතා 10 ගැන.

මො...මොනවද නිලමේ තුමා ඒ කථා..?”

1. රජවරු ගැන
2. හොරු ගැන
3. මහා ඇමතිවරු ගැන
4. සේනා වල් ගැන
5. භය ගැන
6. යුද්ධ ගැන
7. කන දේවල් ගැන
8. බොන දේවල් ගැන
9. ඇදුම් ගැන
10.නිදන තැන් ගැන
11. මල් ගැන
12. සුවද වර්ග ගැන
13. නෑදෑයෝ ගැන
14. වාහන ගැන
15. ගම් ගැන
16. නියම් ගම් ගැන
17. නගර ගැන
18. ජනපද ගැන
19. ස්ත්‍රීන් ගැන
20. වීරයන් ගැන
21. පාර තොටේ ඇති දේ ගැන
22. නාන තොටේ ඇතිවූ කතා ගැන
23. පූර්ව ප්‍රේතයන් ගැන
24. එක එක ආත්මයන් ගැන
25. ලෝකයේ අග මුල ගැන
26. සාගරයේ අග මුල ගැන
27. මෙහෙම මෙහෙම උනා කියලා කියන දේවල් ගැන

එතකොට කතා කරන්ඩ ඕන මොන දේවල් ගැනද?

1. අල්පේච්ච බව ගැන
2. ලද දෙයින් සතුටු වීම ගැන
3. හුදකලාවේ වාසය කිරීම ගැන
4. පිරිස සමග නො ඇලී ඉදීම ගැන
5. පටන් ගත වීර්යය ගැන
6. සීලය ගැන
7. සමාධිය ගැන
8. ප්‍රඥාව ගැන
9. විමුක්තිය ගැන
10. විමුක්ති ඥාන දර්ශනය ගැන 

මට ලොකු දුකක් ආවා... ඒ හින්ද මං හයියෙන් ඇඩුවා....

මේ මේ ඇයි ඔයා අඩන්නේ...හීනෙන් බය උනාද ඒ මගේ බිරිද?”

ඒ මම දැක්කේ හීනයක්ද? බය වෙන්ඩ ඕන හීනේටද නැත්නම් හැබෑ ලෝකෙටද? මෙහෙම හිත හිතා ඉන්න ගමන් මං ටී වී එකේ නිවුස් බැලුවා...

"තම කටවල් වලට සවි කර ඇති කථා පරීක්ෂක උපකරණ ගලවන ලෙස ඉල්ලමින් ගොළු භික්ෂූන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිදින බොදු බල සේනා, රාවනා බලය වැනි සංවිදාන එක්ව අද කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී නිහඩ සත්‍යග්‍රහයක් පවත් වීය."


හීන් සතුටක් ආවා.... මගේ හීනේ ඇත්ත නොවුනත් අඩු ගානේ මටවත් ඒ හීනේ දිගටම දකින්ඩ පුළුවන් වෙච්ච එක ගැන...!!!! 

1 comment: