Saturday, October 6, 2018

තිරුවානා එක්ස්ප්‍රස්



කාලෙකට පස්සේ කැම්පස් එකේ කතාවක් ලියන්ඩ හිතුනා. අපේ යාලුවා එන්නේ දුම්බර මිටියාවතේ ඉඳලා. නම තිරුවානා. ඒක නියම නම නං නෙවෙයි. නියම නම නොකියන්නේ කිව්වොත් ලොකු මලයාගේ ජීවිතේ අනතුරට පත් වෙන්ඩ ලොකු ඉඩක් තියන හිංදා.  අනික නම මොක උනාම මොකද වැඩ හොඳ නං. වැඩි වැල්වටාරන් නැතුව කතාවට බහිමු මොකද කතා එකක් නෙවෙයි දෙක තුනක්ම කියන්ඩ තියන හිංදා.


ඔන්න අපි ඔක්කොමලා කැම්පස් එකට ගිය අලුතම වෙච්ච වැඩක්. ඔය කාලේ කඩිනම් ඉංග්රීසි පාඨමාලාව පැවැත්වෙන කාලේ. අපි ඉගෙන ගත්තත් මාත් තිරුවානාත් කාලේ ඉඳම්ම හොඳ යාළුවො. තිරුවානා නැවතිලා හිටියේ නුවර ටවුන් එකේ බොහොම ප්රසිද්ධ පැත්තක. ඉතින් එහෙ ඉඳලා හැමදාම උදේ කැම්පස් එන දවසක් ගෙනාවේ හරි අපූරු ආරංචියක්. තමයි නුවර ෆිල්ම් හෝල් එකකට කාම සූත් කියන ෆිල්ම් එක ඇවිල්ලා කියන එක. ඔය කියන කාලේ කාම සූත් කියන නම ඇහිච්ච පමණින් ඇගේ රුධිර පරිවහනය ඉක්මන් වෙච්ච කාලයක්. ආය ඉතිං ඉඳල මොටද කියල දැන් අපි දෙන්නගේ සූදානම මේ ෆිල්ම් එක බලන්ඩ යන්ඩ. එකම පුරස්නේකට තියෙන්නේ කොයි වෙලාවෙද යන්නේ කියන එක. තිරුවානට හවස නැවතුම්පොලින් පිටත් වෙන එක හිතන්ඩවත් දෙයක්. හින්ද 6.30 බැලිල්ල බොරු. 2.30 ෆිල්ම් එක පෙන්නුවට පට්ට දවාලේ ඔය ෆිල්ම් එක බලලා ආතල් එකක් ගන්ඩ බෑ කියල තමයි තිරුවානා ගේ තක්සේරුව. ඉතින් ඉතුරු වෙච්ච එකම වෙලාව 10.30 යන එක. හැබැයි කියන්නේ එදා ක්ලාස් කට් කරන්ඩ වෙනවා.


එක දවසක් ක්ලාස් කට කරාට විශේෂ පාඩුවක් වෙන්නේ නෑ. වැඩියක්ම කාම සූත් වගේ ෆිල්ම් එකක් බලන්ඩ එක දවසක් නෙවෙයි සතියක්ම උනත් ක්ලාස් නොගිහිං ඉන්ඩ තිබ්බ උණේ හැටියට අපි පසුබට වෙන්නෙ නෑ. ඉතින් මේ එක දවසක් මොකක්ද?

ඔන්න අපි දෙන්නා කතා උනා එක්තරා බදාදා දවසක ක්ලාස් කට කරලා ෆිල්ම් එක බලන්ඩ යන්ඩ. දැන් ප්ලෑන් එක උදේ 8.30-9.30 ක්ලාස් එකට ඉඳලා පනින්ඩ. 9.45 ගලහ හංදියට ගිහිං 10.00 වෙනකොට ෆිල්ම් හෝල් එකට යන්ඩ. ඊට ඉස්සරලා දවසේ හීනෙනුත් දැක්කේ කාම සූත් බලනවා!!

අපි පුවක් ගහක නැග්ගොත් ඒකෙත් දෙබලක්ලු! මගේ අවාසනාව කියන්නේ බදාදා උදේ පන්තියට ආපු මැඩම් කිව්වා අපිට ටෙස්ට් එකක් දෙනවා කියල ඉන්ටවල් එකෙන් පස්සේ. කැම්පස් එකට ආපු ගමන් දෙන මේ ටෙස්ට් එක මොකක් උනත් අතපසු කර ගන්ඩ පොඩි බයක් හිතට ආවා මට. කාම සූත් හීනය කොච්චර බලවත් උනත් මම තීරනය කළා එදා ටෙස්ට් එකට මූණ දෙන්ඩ. උදේ ක්ලාස් එක ඉවර වෙනවත් එක්කම තිරුවානා ගේ ක්ලාස් එක ලඟට ගිය මම මේ පණිවිඩේ තිරුවානට කිව්වා.

යකෝ අදනං කාම සූත් බලන්ඩම ඕන...යමං යමං ඔය ටෙස්ට් එකට ඉන්නේ නැතුව!

අනේ බෑ මචං මොකද්ද දැනේ නෑනේ මේ ටෙස්ට් එක. හින්ද මම ඉන්නවා.

කියන්නේ උඹට එන්ඩ බෑ ?

බෑ මචං.  හෙට යමු!

චැ: අද වැඩ  හෙටට කල් දාන එකෙක් නෙවෙයි මේ තිරුවානා. අදම අරක බලන්ඩ ඕන මට.

එහෙනං ඉතිං උඹ ගිහිං බලපං. මම පස්සේ දවසක යන්නං...

හ්ම්....එහෙනං මම යනවා. කමක් නෑනේ?

කමක් නෑ... අද බලන්ඩ බැරි උනොත් මේක කවදාවත් බලන්ඩ බැරි වෙන්ඩත් ඉඩ තියනවා...
.
ඔන්න ඔහොමයි තිරුවානා දාලා කාම සූත් බලන්ඩ ගියේ. පහුවදා ඉන්ටවල් එකේ අපි කොමන් රූම් එකට යනකොට ටිකක් පරක්කු වෙලා. වෙනකොට  හෙන සෙට් එකක් වටවෙලා මොනවදෝ බලනවා. සීනියර්ස් ලා බක බක ගගා හිනා වෙන අතරේ අපේ බැච් එකේ කෙල්ලෝ ලජ්ජාවෙන් ඇඹරෙනවා. කොල්ලෝ හිනාව තද කරගෙන මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා. මාත් බැලුවා මොකක්ද වෙන්නේ කියල කොමන් රූම් එක මැද.

තිරුවානා කාම සූත් එකේ විශේෂිත කොටස් රග පානවා මන:කල්පිත ගෑණු ළමයෙකුත් එක්ක. ගෑණු ළමයෙක් කියල දැනගත්තේ කොහොමද කියල ඇහුවා? ඇයි දෙයියනේ මූ ඩබල් ඇක්ටිං. විනාඩියක් කොල්ලා විදිහට ඊගාව විනාඩිය කෙල්ල විදිහට. බෑක් ග්රවුන්ඩ් මියුසික් එකකුත් කටින් දාගෙන!! නිකමට හිතේ මවා ගන්ඩ ඩබල් එක්ස් ෆිල්ම් එකක් ඒක පුද්ගල රංගනයක් විදිහට වේදිකා නාට්යයක් වගේ රග දැක්වෙනවා...අන්න සද්කාර්යයට රංගනයෙන් විතරක් නෙවෙයි සංගීතයෙනුත් දායක උනේ අපේ තිරුවානා.

විනාඩි පහළොවකට විතර පස්සේ කාම සූත් විශේෂ දැක්ම ඉවර උනා. මම හිමීට කිට්ටු කරලා ඇහුවා මොකද උනේ කියල තිරුවානා ගෙන්.

මචං හු.. සීන් එකක් නේ උනේ!

ඇයි?

ඇයි කියන්නේ මචං මම ෆිල්ම් එකේ ඉන්ටවල් එකේදී කැන්ටින් එකට ගියා අයිස් ක්රීම් එකක් කන්ඩ කියල.

ඉතිං?

මම යනකොට සින්නෙකුත් (සීනියර් බැච් එකේ එකෙක්) එතන. මාව අඳුනා ගත්තා.

අප්පට සිරි!

ඊට පස්සේ මාව අල්ලගෙන ගියා අනිත් එවුන් ලඟට. බැලින්නං සින්නො දහයක් විතර ඊයේ ෆිල්ම් එක බලන්ඩ ගිහිං!!

උන් මට කාම සූත් රගපාලා පෙන්නන්ඩ කියල ෆුල් ආතල් එකක් ගත්තා බං!!  තිරුවානා එහෙම  කිව්වේ හිනා වෙන ගමන්....අඩු ගානේ සහයට කෙල්ලෙක් වත් දුන්නනං අවුලක් නෑ මම ඔයිට වඩා හොඳට රගපාලා පෙන්නනවා!!!

කොහොම උනත් මම පහුවදා කාම සූත් බලන්ඩ යන අදහස අත් ඇරියේ නිකං ඉල්ලගෙන පරිප්පු කන්ඩ තියන චාන්ස් එක අඩු කර ගන්ඩ. හැබැයි මාසෙකට විතර පස්සේ අපේ රැග් සීසන් එක ඉවර උනාම ආයෙත් මමයි තිරුවානායි නුවර ගිහින් කාම සූත් බැලුවා. ම්හ්...මට නං තිරුවානා ගේ ඒක පුද්ගල රංගනය තමයි මට අදත් මතක තියෙන්නේ.
කොහොම උනත් තිරුවානා ගේ වැදගත් චරිත ලක්ෂණයක් සමහරවිට දැනටමත් පැහැදිලි ඇති. තමයි අධික හදිස්සිය. ඕනෑම වැඩක් ඉතාම ඉක්මනින් කරන්ඩ තමයි තිරුවානාට ඕන උනේ.  එකට තව උදාහරණයක්.

අපේ ෆැකල්ටි එකේ එක්සිබිෂන් එකක් එහෙම නැත්තං ප්රදර්ශනයක් තිබ්බා  දවස් වල. අහල පහල ඉස්කෝල වල නංගිලා හෙම වල නොකැඩී මේ කැම්පස් එක්සිබිෂන් බලන්ඩ එන හිංදා අපිටත් මේක මාර චෑන්ස් එක!! නිකං ඉන්න අපිට අහල ගියත් මොකෝ කියනවනේ...ඉතිං කොහොමින් කොහොමින් හරි අපි මාසයක් විතර තිස්සේ මේ එක්සිබිෂන් එකට ලැස්ති උනා.එක එකා තම  පැවරිච්ච ඩිපාර්ට්මන්ට් වල දවල් රෑ නැතුව වැඩ.

තිරුවානා සෙට් වෙලා තිබ්බේ කෘෂි ඉංජිනේරු අංශයට. කියන්නේ ඔය කෘෂි උපකරණ නිපදවීම, එකලස් කිරීම, වාරි තාක්ෂණය වගේ දේවල් අයිති වෙන අංශයට. ඔන්න දැන් තිරුවත් බැහැලම වැඩ කියමුකෝ.

අලුත් උපකරණ හදන්ඩ යකඩ රත් කරන්ඩ ඕන කියල අපි හැමෝම දන්නවනේ. ඉතින් විශේෂ ගෑස් දාහකයක එහෙම නැත්තං තේරෙන බාසාවෙන් කිව්වොත් උදුනක එහෙම නැත්තං ලිපක දාලා යකඩ කෑල්ලක් ගිනියම් වෙනකල් රත් කරන වැඩක් තමයි එදා තිරුවානාගේ උදේ වරුවේ රාජකාරිය. දිග අඩුවකින් යකඩ කෑල්ල අල්ලාගෙන දැන් මූ යකඩේ රත් කරනවා. හැබැයි සෑහෙන වෙලාවක් ගියත්  දිලිසෙන ගතිය එන්නේ නෑ. තීරුවට මේක බලාගෙන ඉන්ඩ බෑ. මනුස්සයට හදිස්සියි යකඩේ රත් කර ගන්ඩ. ඔය අතරේ ආචාර්ය වරයෙක් යනවා මූ ලගින්.

...සර්..සර්...!

ඇයි?

සර් මේ යකඩේ රත් වෙන්නේ නෑනේ?

යකඩේ රත් වෙන්නේ නෑ?

ඔව් සර් දැන් පැයක් විතර රත් කරනවා මේක රත් වෙන්නේ නෑ!!

කෝ බලන්ඩ!

සර් කල්පනා කරනවා පැයක් රත් කරලත් රත් නොවෙන යකඩේ  මොකද්ද කියල. කල්පනාවෙන් එන සර්ට තිරුවානා යකඩද කෑල්ල දික් කරනවා අල්ලන්ඩ. සර් අල්ලනවා උදුනේ තිබ්බ යකඩේ!!!

ඊගාව මොහොතේ සර් මහ බයංකාර හඩකින් මර ලතෝනි දෙනවා. සර් ගේ අත රත් වෙච්ච යකඩ කෑල්ලේ ඇලිලා. මස් පිච්චෙන පුළුටු සුවද මුළු පැත්තෙම පැතිරිලා යනවා.

ස්..සොරි සර් මං හිතුවේ යකඩේ රත් වෙලා නෑ කියල...! තිරුවානා එහෙම කිව්වත් සර් ගේ කෑ ගැහිල්ලයි  එවුන් සර්ව ඉස්පිරිතාලේ ගෙනියන්ඩ දගලපු දැගලිල්ලයි එක්ක   ඉල්ලීම කාටවත් ඇහෙන්නේ නෑ.

එක්සිබිෂන් එක ඉවර වෙලත් මාස දෙක තුනක් යනකල් සර් ගේ අත බැන්ඩේජ් කරලයි තිබුනේ. ඇත්තටම වෙලා තියෙන්නේ තිරුවානාට පැයක් විතර කියලා හිතුනට ඇත්තටම යකඩේ රත් කරලා තියෙන්නේ විනාඩි පහ හයක් විතරයි. යකඩේ රතු පාටට හැරිච්ච නැති හින්දා තමයි මූ හිතල තියෙන්නේ යකඩේ රත් වෙලා නෑ කියල. සර්ගෙන ඇහුව නං කියයි යකඩේ රත් වෙලා තිබ්බ තරම!

ඔන්න දැන් තිරුවානන ගේ තවත් චරිත ලක්ෂණයක් මං කිව්වා. ඒක තමයි නිස්කාරනේ හදිස්සි වෙලා කලබල ඇති කිරීම. මෙන්න එකත තව උදාහරණයක්.

ඔය කියන කාලේ අපි හිටියේ මාර්ස් හෝල් එකේ එහෙම නැත්තං හොස්ටල් එකේ. දවසක් තිරුවානා කාමරේ ඉන්න කොට පූසෙක් ඇවිත් කාමරේට. මූට පූසෝ පෙන්නන්ඩ බෑ. ගහන්ඩ මොකක් හරි හොයා ගන්ඩ ඉස්සර මුගේ ජම්ම හදිස්සිය ඉස්මතු උනා. මූ අතින් ගැහුවා පූසට. පූසා මුගේ අත හූරලා පැනල දිව්වා. දැන් අගල් බාගෙක විතර පොඩි හීරීමක් මුගේ අතේ. අගල් බාගේ උනත් අඩි දෙක තුනක් උනත් තුවාලී නං තුවාලෙමයි. මේකට වහාම හදිසි වෛද් ප්රතිකාර ලබා ගන්ඩ ඕන...එහෙම තමයි තිරුවානා හිතුවේ. ඉතින් තව යාලුවෙක් එක්ක මූ හෙල්ත් සෙන්ටර් එකට කියන්නේ කැම්පස් එකේ තියන වෛද් මධ්යස්ථානෙට යන්ඩ පිටත් උනා.

මචං මම අහලා තියනවා පූසන්ගෙනුත් ජාල භීතිකාව බෝ වෙනවා කියල! අර යාලුවා හෙල්ත් සෙන්ටර් එකට යන ගමන් නිකමට වගේ කිව්වා.

අප්පට සිරි...ඇත්තද?

ඔව්...හැබැයි හරියටම ෂුවර් නෑ... මොක උනත් අපි හෙල්ත් සෙන්ටර් එකේ ඩොකාව හම්බ වෙනවනේ ඉතිං උන් කියයි මොකද්ද කරන්ඩ ඕන කියල...

යකෝ එහෙම පරක්කු වෙවී ඉඳලා බෑ අපි පූසව හොයා ගන්ඩ ඕන!

මොකටද?

පූසටත් ජල භීතිකාව තියනවනං දවස් දෙක තුනක් ඇතුලත මැරෙනවද කියල බලන්ඩ ඕන!

ඒක කරන්නේ කොහොමද?

එක තමයි යකෝ මම කිව්වේ අපි හෙල්ත් සෙන්ටර් ගිහින් හරියන්නේ නෑ දැන්. ඉස්සෙරලා පුසව හොයා ගන්ඩ ඕන. කොහේ හරි ගියොත් වසල හමාරයි! 

බෑ උඹට ඕන නං ඔය පූසා හොයා ගනිං!

හිටපංකෝ මම ඔය හු.... හොඳ වැඩක් කරන්ඩ!

මෙහෙම කියපු තිරුවානා මුළු හෝල් එකේම හොයලා හොයලා අන්තිමේදී පූසව අල්ලගත්තා. අල්ලගත්තා කිව්වට ලොකු පෙට්ටියකට දා ගත්තා.ඊට පස්සේ තමයි  ප්රශ්නේ ආවේ. පූසා අල්ලගත්තා වගේ නෙවෙයි මේකව දවස් හතර පහක් තිස්සේ බලා ගන්නේ කොහොමද? ටික වෙලාවක් කල්පනා කරන කොට ඒකටත් විසඳුමක් ටිකිරි මොලේට කල්පනා උනා. තවත් යාලුවෙක් එක්ක එක්කහු වෙච්ච තිරුවානා වදෙන් පොරෙන් පූසාගේ බෙල්ල වටේ ලණුවක් ගැට ගැහුවා. ලණුවේ අනිත් කොන කාමරේ මේසේ ගැට ගැහුවා. දැන්  පුළුවන් පැනල පලයන්කෝ හුහ්!

වෙනකොට පූසා හූරලා පැය හතරක් පහක් ගත වෙලා. කොහොම හරි හෙල්ත් සෙන්ටර් එකට යන වැඩෙත් බකල් උනා මේ පූසෙක් හිංදා...හැබැයි එක අතකින් ටිකක් දුර තියන හෙල්ත් සෙන්ටර් එකට යන එකේ වැඩකුත් නෑ දැන් පූසා අල්ලාගෙන ඉන්න හිංදා...මොකටද නිකං මහන්සි වෙන්නේ...පූසා දවස් දෙක තුනකින් මැරුනොත් විතරක් හෙල්ත් සෙන්ටර් යනවා. එහෙම හිතපු තිරුවානා හෙල්ත් සෙන්ටර් ගමන කල් දැම්මා.

පොඩි ප්රශ්නෙකට තිබ්බේ පූසට කන්ඩ බොන්ඩ දෙන එක දවස් හතර පහක්. මදිවට ජරා කරපුවම එව්වා අදින්ඩත් ඕන. කාමරේ උන්ගෙන් තිත්ත කුණු හරුප අහන්ඩත් ඕන. ඔක්කොම නව නිංගිරා විඳගෙන තිරුවානා පූසව බලාගත්තා. සතියක් විතර ගිහිල්ලත් පූසා ජීවතුන් අතර. ඇත්තටම් වෙනදාටත් වඩා හොඳින් හිටියා තුන්වේලට කන්ඩ බොන්ඩ ළඟටම හම්බ වෙච්ච හිංදා. ඉතින් තමන්ගේ ජලභීතිකා අනතුර පහ උනා කියල දැනගත්තු තිරුවා අර පූසාගේ බෙල්ලට දාලා තිබ්බ ලනුව ගැලෙව්වා.

හැබැයි තිරුවානා පූසේක්ව කාමරේ තියාගෙන ඔබ්සර්වේෂන් හැටි මුළු ෆැකල්ටියම වෙනකොටත් දැනගෙන හිටියා. විතරක් නං මදෑ නොසන්ඩාලයෝ ඔය සිද්ධිය මතක් කර කර තිරුවානා පූසත් එක්ක කරපු කියපු දේවලුත් ප්රචාරය කරලා තිබ්බා. හින්දමද මංදා කැම්පස් එකෙන් අවුට් වෙනකල්ම තිරුවානාට පූසා මතක් කරපුවම සුද්ද සිංහලය කොයි තරං පොහොසත් භාෂාවක්ද කියන එක දැන ගන්ඩ පුළුවන් උනා.

දැන් කතා ඉවරයි. අද වෙනකොට තිරුවානා පෞද්ගලික අංශයේ ආයතනයක ප්රධාන කළමනාකරුවෙක්. හැබැයි මේ ව්යාපාරය ඉතාම හොඳ ඉවසීමකින් කරන්ඩ ඕන බොහොම සූක්ෂම වැඩ ගණනාවක් තියන ව්යාපාරයක්. මට ඇත්තටම හිතා ගන්ඩ බෑ තිරුවානා වගේ හදිස්සි කාරයෙක් මේ වැඩේ විශේෂඥයෙක් උනේ කොහොමද කියල.

ඕනවට වඩා හදිස්සිවෙන බොහෝ දෙනෙක් තමන්ව වගේම අනුන්වත් අමාරුවේ දානවා.   
මොනවා හරි වැඩක් කරන්ඩ අපේ තියන උවමනාව වැඩි වීම හින්දම තමයි මේ අනවශ් හදිස්සිය ඇති වෙන්නෙත්. ඒත් සමහර දේවල් එහෙම හදිස්සි වෙලා කරන ගිහිං හත් අතේ ඇණ ගන්ඩ වෙන අවස්ථා ඉතා බහුලයි. නමුත් අවාසනාව අදාළ සිද්ධියට මුහුණ දෙන කෙනාට තමන් අනවශ් හදිස්සියකින් පෙලෙන බව තේරුම් නොයෑම. අන්න වෙලාවට තමයි හොඳ යාලුවන්ගේ අවශ්යතාවය තියෙන්නේ. සමහර විට යාළුවො කියන දේ අහක දාලා උපදෙස් දෙන අයටත් බැනලා අපි වැඩ කරනවා වෙන්ඩ පුළුවන්. හැබැයි උපදෙස් වල වටිනාකම තේරෙන්නේ අනවශ් හදිස්සිය හිංදා වැඩ අවුල් උනාම. එතකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. මේකෙ අනිත් පැත්ත තමයි ඕනවට වඩා වැඩ කල් දාන එක. එකත්  හාණිකරයි. මට තේරෙන්නේ නැත්තේ කොහොමද මේ අන්ත දෙකෙන්ම මිදිලා සාමාන් මිනිස්සු වැඩක් කරන්ඩ ඕන හරි වේගය තීරණය කරන්නේ කියන එක. හැබැයි මම එක දන්නවා. මේ ලෝකේ සුන්දර වෙන්නේ මේ හැම ආකාරෙකම මිනිස්සු අපිත් එක්ක ජීවත් වෙන හින්දා බව.

17 comments:

  1. අම්බෝ...
    පට්ට කැරැක්ටර් එකක් නේ බං...

    ඕකා ගෑනිත් එක්ක කොහොම ද දන්නේ නෑ ඉන්නේ නෙහ්...
    පිස්සු හැදෙනවා නේ,,,.
    ---------

    මචෝ, ෆස්ට් ටයිම් ගොඩවුනේ උඹේ බ්ලොගට...
    ස්ටොරිය සුපර්..

    ගොහින් එන්නම්...

    ReplyDelete
    Replies
    1. මචෝ සාදරෙන් පිලිගන්නවා කට්ටකාඩුවට. වරෙල්ලකො වෙලාවක තලපයක් කොටා බාලා බෙලි මල් වතුර ජුංඩක් බීලා යන්ට. තිරුවා පට්ට චරිතයක් තමා...

      Delete
  2. මිනිහ නාට්‍ය එහෙම රඟ පෑමට එකතු වුනේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. දන්න තරමට නෑ.හැබැයි ඒකට හේතුව වෙන්ඩත් ඇත්තෙ මුගෙ හදිස්සියම තමා...මොකද මනුස්සය විනාඩියට වචන විස්සක් විතර කතා කරනව...

      Delete
  3. ආතල් බුවෙක්නෙ බලාගෙන යනකොට.
    මොනව උනත් සතියක්ම පූසෙක් බැඳල තියාගෙන බලාගත්ත කියන්නෙ අගේ කරන්න ඕන වැඩක්.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. කොල්ලො මූට කියපු කතා ටික අහගෙන රත්තරන් බිත්තර දාන කිකිළියක් උනත් බැදගෙන ඉන්ඩ පුදුමාකාර පුරුස ශක්තියක් තියෙන්ඩ ඕන සභාපතිතුමා ...

      Delete
  4. පුසා බලා ගත්ත කතාව නම් මරේ මරු.. තිරුවානා නියම එකෙක්නේ....

    ReplyDelete
    Replies
    1. තව කතා තියනව තිරුවගේ. ඌ මේක දැකල ඇවිත් මාව මැරුවෙ නැත්තං පස්සෙ දවසක කියන්නංකො...

      Delete
  5. තිරුවානගේ හදිස්සිය කෙසේවෙතත් පුසව ඔබ්සර්ව් කරල ජල්බීතිකාව නැහැ කියල හොයා ගත්තා.බැරිවෙලාවත් පුසට ජල්බීතිකාව තිබිල තිරුවානා ඉන්ජෙක්ෂන් ගහල බේරුනත් වෙන එකෙක් දෙන්නෙක් යටියන්තොට යන්ඩ තිබ්බ.

    ReplyDelete
    Replies
    1. මගෙ හිතේ ඒ දවස්වල ඒ කාමරේ කියවෙච්ච කුනුහරුප තොගේට ජල භීතිකාව උනත් බයවෙනවා...

      Delete
  6. හරිම ෂෝක්. ලොකූ, නැද්ද තිරුවානාගේ ෆොටෝ එකක්, හොරෙන් හරි බලාගන්ඩ!

    ReplyDelete
    Replies
    1. අපොයි අම්මේ මාව විනාස කොරන්ට උගුලක් තමා ඕං ඔය අටවන්නේ....හරි අර ඔබතුමාගෙ රෙසිපි ටික පොතකට අච්චු ගහපු දවසකට මම තිරුවානාගේ ෆොටෝ එකක් පෙන්නනවා...ඔට්ටුද?

      Delete
  7. මරු සෙට් එකක්නෙ ලොකු අයියට ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මලය මරුදත් අහනවා...ඒකනේ අවුරුදු ගානකට පස්සෙත් මතක....

      Delete