Sunday, January 20, 2019

මණ්ඩි රාජා

ටවුමෙ ලොරි බාගයක් තියාගෙන හයර් දුවන රාජා දන්නවා නේද? හැමෝම දන්න මනුස්සයා ඔයාල විතරක් නොදැන ඉන්ඩ හේතුවක් නෑ...අමතකයිද? හරි හරි මටයි වැරදුනේ. රාජා රාජා කියල කියන කී දෙනෙක් නං ඉන්නවද නේ? මං මේ කියන්නෙ මණ්ඩි රාජා ගැන. ඔව් අර පොකුටු කොන්ඩෙකුයි, ඉස්සරහට නෙරල ආපු ඇස් දෙකකුයි තියන අඩි පහක් පහමාරක් විතර උස තල එලලු, කෙට්ටු හාදයා. තාමත් අමතක නං අපේ ගෙවල් ලග ටවුම පහුකරගෙන යන වෙලාවක ලොරි පාක් එකේ කාගෙන් හරි අහන්ඩකො. පෙන්නයි සුටුස් ගාල. දෙමව්පියො දාපු නම අබ්දුල් හමීඩ් අක්‍රම් රාජා. උප්පැන්නෙ විදිහට තව කෑල්ලක් එකතු වෙනවා මුලට. ඒ තමයි බනගෙපිටියෙ ගෙදර කියන එක. එතකොට සම්පූර්ණ නම බනගෙපිටියෙ ගෙදර අබ්දුල් හමීඩ් අක්‍රම් රාජා.දරු දැරියො දොලහක් හිටපු පවුලක බාලයා. අද මං කියන්ඩ යන්නෙ කොහොමද රාජාට නම වැටුනෙ කියල.


ඔන්න ජීව විද්‍යා පාඩමක් පටන් ගන්ඩයි යන්නෙ. දරුවෙක් පිළිසිද ගන්නෙ තාත්තගෙන් ලැබෙන ශුක්‍රාණුවකුයි අම්මගෙන් ලැබෙන ඩිම්බයකුයි එක්කහු වෙලා. ගෑණු දරුවෙක් උපදින කොට ඩිම්බ කෝෂ ඇතුලෙ නොමේරුනු ඩිම්බ ඔක්කොම පිහිටලා තියනවා. පස්සෙන් පහු කාලෙක වෙන්නෙ එව්ව එකින් එක මෝරලා එලියට එන එක. හැබැයි පිරිමින්ගෙ ජීවිත කාලෙ පුරාම පාවිච්චි වෙන ශුක්‍රාණු එහෙම එකපාර හැදිල ගබඩා වෙලා නෑ. අපේ ටවුමෙ උං ඔය මහප්පරාණ දන්නෙ නෑ ආයුබොවන්ඩ...උං හිතුවෙ රාජගෙ තාත්තගෙ ශුක්‍රාණු ගබඩාවෙ මුල් ටික ඔක්කොම රාජගෙ අනික් සහෝදර සහෝදරියො හදන්ඩ පාවිච්චි උනාය...ඉතිං ඔය මඩිස්සලේ යටම ඉතුරු වෙච්ච මණ්ඩි ටිකෙන් තමාය අපේ රාජා බිහි උනේ කියල. ඔන්න ඔහොමයි අක්‍රම් රාජා, මණ්ඩි රාජා බවට පත් උනේ.



ප්‍රශ්නෙ තියෙන්නෙ එතන නෙවෙයි. කොහොමද රාජාට බනගෙපිටියෙ ගෙදර කියන වාසගම හම්බ උනේ කියල හිටං. ඉත්තේරුවෙම්ම රාජගෙ අතීත මුතුන්මිත්තෙක් ඉස්ලාම් ආගම වැළදගෙන තියෙනවා. මනුස්සයගෙ වාසගම තමයි බනගෙපිටියෙ ගෙදර. නමෙන් කියවෙන හැටියට නං ඒ පරම්පරාවට බන නොහොත් බුද්ධ ධර්මයත් එක්ක සම්බන්ධෙකුත්  තිබිල තියනව. ඒකනෙ අනිත් වාසගං ඉහල ගෙදර, පහල ගෙදර, ලිස්සන ගෙදර, පිටියෙ ගෙදර වගේ වෙද්දි මේ ගෙදර විතරක් බනගෙපිටියෙ ගෙදර උනේ. ඒත් ඉතිං කොහොමද බණ කියන ගෙවල් තිබ්බෙ? අපි දන්නෙ පංසල් වල ඉදන් බණ කියන හාමුදුරුවරුනේ.

අවුරුදු දෙසීය තුන්සීයකට ඉස්සර අපේ වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවො සියං දේසෙන් උපසම්පදාව ආපහු ගෙනැල්ල කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්නෙ කාලෙදි සිල්වත් සමාගම කියල අලුතින් ජීවයක් දෙන්ඩ ඉස්සර ලංකාව පුරාමත් මේ හතර කෝරළෙත් පැතිරිලා හිටියෙ ගණින්නාන්සෙලා.

ගණින්නාන්සෙ කියන්නෙ ගිහි ජීවිතයක් ගත කරන ගමං මහණ කමෙත් වැඩ කරපු කට්ටියක්. කවුරු හරි ආගමික අවශ්‍යතාවයක් ඉෂ්ඨ  කරගන්ඩ ආපුවම විතරක් මේ උන්දැලා සිවුරක්  පටලවා ගන්නවලු සරම උඩින්. අනික් වෙලාවට වතු පිටි හරක බාන බලා කියාගෙන අඹු දරුවො පෝෂණය කරමින් තමයි මේ කට්ටිය ජීවත් වෙලා තියෙන්නෙ. දන්න කියන ධර්මයක් නෑ. කරන බණක් බාවනාවක් නෑ. හැබැයි පන්සල් ටික අතුපතු ගාගෙන, පංසල් වලට අයිති වෙලා තිබ්බ ඉඩ කඩං ටික වගා දිගා කරගෙන ජීවත් වෙන එක තමයි මේ කට්ටියගෙ වැඩේ. අනුන්ට කියල දෙන්ඩ හෝ තමන්ට පුරුදු පුහුණු කරගන්ඩ බණක් දහමක් නොදන්න එකේ කොහොමද තමුන්ගෙ දායක කාරකාදීන් පහදවා ගන්නෙ? ඒ දායකයන්ගෙ හිත හැදුවෙ නැත්තං දානෙ ටිකක්, වෙන පිරිකරක් හම්බ වෙන්නෙ නෑ. කොටිම්ම වෙන ඕනම රස්සවක් කරන එහෙම නැත්තං කරන්ඩ බලාපොරොත්තුවෙන කෙනෙක් වගේ මේ ගණින්නාන්සේලාටත් තමන්ව මාකට් කර ගැනීමේ තදබල අවශ්‍යතාවක් පැන නැගුනා.

"......මේ ලබා දුන් දානයේ පිං බලයෙන් උපනුපන් ජාතියක අනේපිඩු සිටානන්ට, ජෝතිය, මහාධන ආදි සිටුවරුන්ට සමාන වස්තු සම්පත් ලැබී උපභෝග, පරිභෝග වස්තු, දැසි දස්, යාන වාහන, කුඹුරු වතු පිටි, ගේ දොර ඉඩ කඩම් ලැබී චක්‍රවර්තී මහා රාජ සැප සම්පත් ලබමින් කීකරු දූ දරු භාර්‍යාවන් ලබා නිදුක් නිරෝගීව වාසය කරමින්ද, යම් හේතුවකින් ස්ත්‍රී ආත්මභාවයක් ලබන්නේ වී නම් විශකා, මල්ලිකා, යශෝධරා, ආදී කිසිවක් කෙරෙන් අඩුපාඩුවක් අසන්නටවත් නොලැබෙන‍ ජීවිතද ඉන් අනතුරුව මනුශ්‍ය ලෝකයෙන් චුතවන කාලයක් වී නම් යාමය, පරනිම්මිත වසවර්තිය, තුසිතය, අකනිටාව ආදී සදිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක වල සැපසම්පත් විදිමින් නොයෙක් අසිරිමත් වස්තු ලබමින් ජීවත්වන කාලයෙහි, මනුලොව පහලව පස් මරුන් පරදවා අපගේ මයිත්‍රීය බෝධිසත්වයන් වහන්සේ බුදුව ශ්‍රී සද්ධර්මය දේශනා කරන සමයෙක තම තමා විසින් ප්‍රාර්තනීය බෝධියකින් නිර්වාණසම්පත්තිය ලැබීමට අප සැමට හේතුවාසනා වේවා!!!"

අහල තියනවද දානෙ හැන්දක් පූජා කරපුවම මෙන්න මේ වගෙ මහ දිග විස්තරයක් කියල පින් දෙනවා දැං ඉන්න සමහර හාමුදුරුවරුත්. මෙන්න මේකෙ ආරම්භය ඇති උනේ අර ගණින්නාන්සෙලාගෙන් තමාය කියල මං අහල තියෙන්නෙ. මොන මොනවහරි තම තමුන්ගෙ දායකයො පහදවගන්ඩ මොනව හරි යමක් කියල මඩිය තරකරගන්ඩ, බඩ වඩා ගන්ඩ මේ ගණින්නාන්සෙලා හරි සූරයො.

මේ ව්දිහට එක එක උප්පරවැට්ටි දාලා තමුන්නෙ බඩ රස්සාව පවත්තගත්ත මේ අයට වාසි පිලට හෝයියා කියන එක මහ ලොකු ප්‍රශ්නයක් උනේ නෑ. ඉතින් කොයියම්ම වෙලාවක හරි තමුන් නාමිකව අදහන බුද්ධාගමට වඩා මිල මුදල් තාන්න මාන්න හම්බ වෙන වෙන ආගමක් හම්බ උනොත් ඒ ආගමට හැරෙන්ඩත් මේ උන්දැලා පසුබට උනේ නෑ.

මෙන්න උදාහරණයක්. පෝල් ඊ පීරිස් මහත්තය ලියපු, ප්‍රෙමචන්ද්‍ර අල්විස් මහත්තයා පරිවර්තනය කරපු ලංකාවේ පෘතුගීසි  යුගය දෙවෙනි කාණ්ඩය පොතෙන්.

“ඒ අනුව ද සා (කොන්ස්තන්තිනෝ ද සා) ,  ජන සංඛ්‍යාව අතින් වර්ධනය වෙමින්, පෘතුගීසි බලධාරීන්ගේ හිසරදයක් ලෙස සැලකුනු මරක්කලයන් දෙසට හැරුනේය.වෙළෙදාම සදහා ඔවුන් පැමිණි වෙරළබඩ පෙදෙස්වල  පමණක් නොව හැම දිසාවකම පාහේ ඔවුහු විසිර සිටියහ..........එමෙන්ම එය සිංහලයන් තම ආගමට හරවා ගැනීමේ කාර්යයට බලවත් බාධකයක් බවද කතෝලික පූජකවරු දුටහ. කිතුනුවෙකු වීමට වඩා මහමදිකයෙකු වීම හොද යැයි කියන්නට ද සමහර සිංහලයෝ පෙළැබී සිටියහ. තමාන් කිතුනුවන් වීමේ ප්‍රතිඵලය පෘතුගීසීන්ගේ වඩාත් දැඩි පීඩනයකට හා ප්‍රචන්ඩත්වයකට ගොදුරු වීම බවත් ඔවුන් මරක්කලයන්ට ගරු සරු අන්දමින් සලකා ගම්වල විදානේ හා කනක්කපුල්ලේ තනතුරු තනතුරු පිරිනමන බවත් පමණක් නොව පෘතුගීසීන් ඔවුන්ගේ නිවෙස් වලට මරක්කලයන් කැදවා සංග්‍රහ කරන බවත් සිංහලයෝ දුටහ”. (පිටුව 207-209)

තව හොද උදාහරණයක් දෙන්ඩද? සුභාෂිතය ලියපු අලගියවන්න මුකවෙටි කියන කවියා ගැන අහල තියනව නේද? ඒ උන්නාන්සෙ තමයි මෙන්න මේ විදිහට තෙරුවන් වන්දනා කලේ.

සත වෙත පත මෙත සග හස සෙවි      පසිදු
අව නත සුර මත මිණි තර සර              පුබුදු
දිගු රත ගිලි දළ පෙළ මොක් සුවද           රැදු
සිය පත සිය සිය පත සිය පත               නමදු

උතුම් දහම් රජ මුව ගිරගින්                 පහළ
අදම් ම ගිම් හළ මොක්  වෙරළ’තිනි        දුළ
නොහිම් සියුම් නය මිණි පද අරුත්          රළ
සදම් සදම් ගග ම මුදුනැ බැතිනි              දළ

සියපත් සැදු බඹ සුර නර උරග                මත
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනි             පත
පිළිවෙත් සරු මහ සග ගණ මුනිදු           සුත
මුදුනත් දී බැතියෙන් නමදිම්                  සතත

ව්‍යවහාර වර්ශයෙන් 1552 දි විතර උපත ලබන මෙතුමා ඔය ඔක්කොම කවි පොත් ලියල තෙරුවන් ගුණ වන්දනා කර කර ඉදල තමන්ගෙ ආගමික මෙහෙවර වෙනුවෙන් රාජසිංහ රජ්ජුරුවන්නෙං ඉඩ කඩම් එහෙමත් තෑගි ලබනවා. ටික කාලෙකින් හුලං හමන්නෙ අනිත් පැත්තට කියල දැක්ක ගමන් මෙන්න එක පාරටම 1612 විතර කතෝලික ආගම වැලද ගන්නවා.ඒ කියන්නෙ වයස අවුරුදු 60දි. බව්තීස්ම වෙන්නෙ දොන් ජොරනිමෝ කියල. ඊට පස්සෙ පෘතුගීසින් යටතේ මොහොට්ටාල තනතුරකට පත් වෙනවා. පෘතුගීසින්ගෙ දෑත් ශක්තිමත් කරන්ඩ ඒ පැත්තට ගිය මේ මුකවෙටි...ආ වැරදුනා ජොරනිමෝ ඉඩම් තෝම්බු සකස් කරල රට පාලනය පහසු කරන්ඩත් උදව් කරල තියනව අගේට. 1622 විතර තමයි එතුම ස්වර්ගස්ත වෙලා තියෙන්නෙ.

ඔන්න ස්වර්ගස්ත කිව්වම තව කතාවක් මතක් උනා. ස්වර්ගය කියන්නෙ අමරණීය තැන නොහොත් අමරපුරයනෙ. ලංකාවෙ අමරපුර නිකාය 1803 දි හැදිලා ටික කාලෙකින් ඒ නිකායෙ පලවෙනි බේධය ඇති වෙන්නේ සලාගම කුළයේ කොටස් දෙකක් අතර ඇතිවෙච්ච නායකත්ව පොරයක්. පස්සෙ කාලෙක සීමා සංකර වාදය කියල විනය කර්මයක් ගැන මත ගැටුමක් ඇති වෙන්නෙත් මේ දෙගොල්ල අතරෙ. ඒකොහොම උනත් දඩැල්ල පාර්ශ්වය කියල හදුන්වන මේ දෙවෙනි කණ්ඩායම ඇතිකරන්ඩ මූලික වෙන්නෙ අමරපුර නිකාය ආරම්භ කරන කාලෙම බුරුමෙට ගිහිං උපසම්පදාව ලබා ගත්තු කපුගම ධම්මක්ඛන්ධ හාමුදුරුවො. මෙන්න මේ පුරෝගාමී නිකාය බේධක උන්නාන්සෙ 1916 දි සිවුරු ඇරලා නදෝරිස් සිල්වා කියල ක්‍රිස්තියානි ආගමට යනවා. බුදු දහම ගැන අවුරුදු ගානක් ඉගෙන ගෙන එක් නිකාය පාර්ශ්වයක නායකයා වෙලා ඉන්දැද්දිත් ආගම මාරු කරන්නෙ ඒ අලුත් ආගම කෙරෙහි ඇතිවෙච්ච පැහැදීමකින් විතරය කියල නං කියන්ඩෙපා මට නවත්තගන්ඩ බැරුව හිනා යනවා.

ඔය පැනිලි එතනින් ඉවර වෙන්නෙ නෑ. නීල පෙරුමාල් ලා, තම්බි මුදියන්සෙලා ජයවර්ධනලා, බණ්ඩාරනායකලා වෙන්නෙ ජාතියම වෙනස් කරගෙන. ඊට අමතරව ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි බණ්ඩාරනායකලා වගේම වික්‍රමසිංහලත් බුද්ධාගමට එන්නෙ චන්ද ගොඩ වැඩි කරගන්ඩ මිසක් බුද්ධාගම ගැන පැහැදිලා නෙවෙයි. මහ මුදලි වෙන්ඩ ඇංග්ලිකන් ක්‍රිස්තියානියට ගිය බන්ඩාරනායක ගෙ පුතා අගමැති වෙන්ඩ බුද්ධාගමට ආවත් එතුමට වෙඩි තියල මරපු සෝමාරාම උන්නාන්සෙ හිරගෙදරදි සිවුර ගලවලා ක්‍රිස්තියානි වෙනවා. බණ්ඩාරනායකලගේ ආගමික ඉතිහාසය මීට වඩා හුගක් වර්ණවත්. ඒත් මං ලග මේ වෙලාවෙ ඒ අතීතේ ගැන මූලාශ්‍ර නැති හින්ද කියන්ඩ බෑ.

ඔය විදිහට බලාගෙන බලාගෙන යනකොට යටත් විජිත යුගයෙන් පස්සෙ ආගම කියන එක තම තමුන්ගෙ ලෞකික ලාබ ප්‍රයොජන වෙනුවෙන් මාරු වීම එහෙමත් නැත්තං කාටත් තේරෙන බාසාවෙන් කියනවනං ගණිකා වෘත්තියේ යෙදවීම වෙලා තියනවා. ඒ ලොකු ලොක්කො ආගම, ජාතිය මාරු කරද්දි කට පියාගෙන ඉන්න අපි පොඩි උන් ආගම මාරු කරන කොට රෙදි උස්සගෙන කෑ ගහන්නෙ ඇයි? දැන් ඔන්න වරදවා වටහගන්ඩ එපා මම මේ ලාබ ප්‍රයෝජන තකා කෙරෙන අන්‍යාගම්කරණයට උඩ ගෙඩි දෙනවා කියලා. මං කියන්නෙ ලාභ ප්‍රයෝජන වලට වහල් වෙච්ච මිනිස් සමාජය තුල ලොකු හෝ පොඩි විවිධාකාර ලාභ වෙනුවෙන් ආගම මාරු කිරීම ඉතිහාසය පුරාම වෙලා තියනවා කියන එක. ඉතින් ඕකෙ අමුත්ත මොකද්ද?

මේ වැඩේ ජයටම සිද්ධ වෙන්නෙ අස්තාවරභාවයත් එක්ක. ආර්ථිකව අස්ථාවර කට්ටිය ආර්ථික වාසි හොයමිනුත්, දේශපාලනිකව අස්ථාවර අය ඒ ස්තාවරත්වය වෙනුවෙනුත් ආගම විතරක් නෙවෙයි අම්ම අප්ප උනත් වෙනස් කරන සමාජයක් මේක. හා නැද්ද කියන්නෙ...නිකමට හිතන්ඩකො තමන්ගෙ උප්පැන්න සහතිකේ අලුත් දවසක තමන් ඉපදුනා කියල වෙනස් කරගන්න මිනිස්සු ගැන. ඒ කියන දවස් වල උන්දැලාගෙ අම්මලාට තාත්තලාට ඇත්තටම ළමයෙක් හම්බෙලා නෑ. ඒ කියන්නෙ එහෙම උප්පැන්න හදන දරුවො තේරෙන සිංහලෙන් කියනවනං අම්ම අප්ප නැති කට්ටිය. එහෙම නැත්තං තවත් විදිහකට කිව්වොත් අම්ම අප්ප නොකරපු තරමේ පහත් වැඩ කරන අවජාතක ළමයි.

ඉතින් තම තමුන්ගෙ වාසි වෙනුවෙන් අහවල් දේ වෙනස් කිරීම සාධාරණයි හැබැයි අහවල් අහවල් දේවල් වෙනස් කිරීම සාධාරණ  නෑ කියල කියන්ඩ අපි කාටවත් බෑ.

මේ පිල් මාරු කිරීමේ පොදු වාසිත් තියනවා. ඔන්න එකක්.

අද අපේ ක්‍රිකට් ටීම් එක දිහා බලන ඕන කෙනෙකුට තේරෙනවා මුං හැදිල තියෙන්නෙනං මණ්ඩි වලින්ම තමයි කියල. හොදට බැට් කරොත් බෝල් දාන්නෙ ලෙඩ කපුටො වැල කනව වගේ. හොදට බෝල් දාන දවසට බැට් කරන්නෙ බඩයන්ඩ අරලු පෙති බීල අව්ව ටිකක් වැදෙන්ඩ පිට්ටනියට ආපු එවුන් වගේ. මේ දෙකම හොදට කරන දවස් තිබ්බොත් එදාට ෆීල්ඩිං කරන්නෙ බල්ලන්ට ලෙලි පොල් දුන්නම වගේ. ඉතින් මේ අටෝ රාසියක් දෝස, නවානූවක් රෝග, දෙසිය විස්සක් අතුරු ආන්තරා දූරීභූත වෙලා යන්ඩත් එක්ක මං යෝජනා කරන්නෙ අපිත් ‘පිල් මාරුකරන්ඩ’ පටන් ගම්මු කියල. උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාවත් එක්ක මැච් ටික අම්බානකට පැරදිලා යන බව පේන කොට අපි කියනවා අපිත් ඔස්ට්‍රේලියන් ටීම් එකේ කියල. තව ඕනනං ඔසී ටීම් එකටත් වැඩිය අපි ඔස්ට්‍රේලියන් විදිහට කතා බහ කරනවා, හැසිරෙනවා, අදිනවා, කනවා, බොනවා. ෆේස් බුක්, ට්විටර් මසේජස් දානවා..feeling awesome to be an Australian කියල මාලිංග ෆේස් බුක් profile එක update කරනවා මට මැවිලා පේනවා...oh sorry අනේ  i just imagined...how sweet it would have been!!!. My name is Mathews...I am proud to be an Australian!!! කියල කැංගරුවෙක් හුරතල් කරන ෆොටෝ එකකුත් දාන්ඩ පුලුවන්!!!

අන්තිමට අයි.සී.සී එක විතරක් නෙවෙයි ඔස්ට්‍රේලියන් කාරයොයි ලෝකෙ අනික් රටවල්වල මිනිස්සුයි පවා අපේ මේ වැඩේට අහු වෙන්ඩ පුලුවං. කවුද කියන්නෙ නෑ කියල? දැං ඔය බුදු හාමුදුරුවො ලංකාවෙ ඉපදුනාය කියල අර මීවනපලානෙ ගොයිය කියන කතා වගේම රාවණ රජ්ජුරුරුවො අරක කලාය , මේක කලාය, ඒ කාලෙ අපේ රටේ බස් එකක් නොතිබ්බට ගමන් ගියේ ප්ලේන් වලින්මය වගේ කතා කියන එව්වො වගේම එව්ව සාදුකාර දීලා විශ්වාස කරන එව්වොත් ඉන්නෙ!!! එච්චර ලොකු බොරු විශ්වාස කරන ලෝකේ අර වගේ පොඩි බොරුවක් විශ්වාස නොකරන්ඩ හේතුවක් නෑ....!!!

ඔන්න දැනුයි මටත් මොලේ පෑදුනේ. රාජා ඉපදුනේ වෘශණ කෝශ වල ගබඩා වෙලා තියෙන ශුක්‍රාණු වල අන්තිම ටිකෙන් එහෙම නැත්තං මණ්ඩි ටිකෙන් කියල කතාවක් අපේ පැත්තෙ කට කැඩිච්ච කතාවක් තියෙනවා කියල මං කිව්වනේ. බනගෙපිටියෙ ගෙදර කියන වාසගම තියෙන මුස්ලිම් මනුස්සයෙක් ඉන්නෙ කොහොමද කියන එක නෙවෙයි අපේ මිනිස්සුන්ට වැදගත් උනේ රාජා ඉපදුනේ  මණ්ඩි වලින්ද නැත්තං වෙන මොනවහරි දේකින්ද කියල හොයන එක. ජාති දෙකක් සමගි කරන්ඩ පුලුවන් දේ අමතක කරල අපි උලුප්පල ගත්තෙ තව කෙනෙක්ව පාගන්ඩ, සමච්චලේට ලක් කරන්ඩ පුලුවන් දේ විතරයි. අපි චූටි චූටි ආතල් ගනිද්දි අර මනුස්සයා  සමාජෙට මූන දෙන විදිහ අපි හිතුවෙ නෑ. මණ්ඩි රාජා විතරක්  නෙවෙයි අපේ සමාජේ අන්තිම වෙන එහෙම නැත්තං පෑගෙන පොඩිවෙන හැමෝගෙම කතන්දරේ ඔච්චරයි . කෙනෙකුට කියන්ඩ පුලුවන් මණ්ඩි විදිහට සලකපු සමාජ පැලැන්තියකින් ආපු ප්‍රභාකරන් ගැන. විජේවීර ගැන. සමහර විට ඉංග්‍රීසි වතුර වගේ හසුරුවන්ඩ බැරි සමාජයත් මණ්ඩි විදිහට තමයි අපි සලකන්නෙ. ඒ මිනිස්සු අපහාසය දරාගෙන විදගෙන ඉන්න එකේ සීමාවකුත් තියනවා. තවත් පස්සට යන්ඩ තැනක් නැති වෙච්ච වෙලාවක ඉස්සරහ ඉන්න ඔක්කොම යට කරගෙන පොඩි කරගෙන මණ්ඩි රාජලා වෙඩි කාපු ඌරෙක් වගේ හැසිරෙන්ඩ පටන් ගන්නවා. එතකොට වෙන්ඩ ඕන හරිය වෙලා ඉවරයි. මණ්ඩි රාජලා සමාජේ දරණ තනතුර මත ඔවුන් සමාජයට කරන බලපෑමත් වෙනස් වෙනවා.

අපේ මණ්ඩි රාජා තමුන්ගෙ කේන්තිය පිට කලේ ඒ නම කියල කෑ ගහපු කෙනෙකුගෙ ඔලුවට ගලකින් ගහල. දැන් රාජා රිමාන්ඩ් එකේ. මං යනව රාජව බලන්ඩ. ඒ අතරේ ඔබ තමුන්නැහේලාත් අපිට එදිනෙදා ජීවිතේදි හම්බ වෙන රාජලාගේ මණ්ඩි ගතිය නෙවෙයි සංහිදියාව ඇති කරන්ඩ පුලුවන් ඔවුන්ගේ වෙනත් ලකුණු දිහා බලන්ඩ.

ආයුබෝ වේවා!

16 comments:

  1. හරිම ෂෝක් ලොකු, සහතිකයි. තවමත් ගණින්නාන්සේලා නම් ඕසෙට!ඒ වගේමයි, ඇස් ගෙඩි තිබ්බත් නොපෙනෙන 'ජාති අන්ධයෝ'!

    ReplyDelete
  2. Replies
    1. කවි ලියන්ඩ බැරි අපි ලියපු එව්ව අගය කලාට ස්තුතියි

      Delete
  3. පොඩි යමක් උනත් ලියන්න මුලාශ්‍ර මහගොඩක් පරිශීලනය කරන උඹ ගැන ලොකු මල්ලි මට ඇතිවෙන්නෙ හරිම සුහද ගතියක්. අපි ඕපාදුපයක් ලියන්නත් යම් යම් දේ හොයල බලන විදියට මේ වගේ පෝස්ටුවක් ලියන්න උඹ කොච්චර මහන්සියක් වෙනවා ඇද්ද.
    ඒ ගැන මගේ ඉහළම මෙව්ව එක පිළිගනින්.

    ReplyDelete
    Replies
    1. හැලපතුමා ගේ මෙව්වා එක ඉත සිතින් බාරගන්නා ගමන්ම මේ පැත්තේ ඇවිල්ලා ගුරු හරුකම් දීම ගැන මගේත් මෙව්ව එක පිලිගන්වමි.

      Delete
  4. //රාවණ රජ්ජුරුරුවො අරක කලාය , මේක කලාය, ඒ කාලෙ අපේ රටේ බස් එකක් නොතිබ්බට ගමන් ගියේ ප්ලේන් වලින්මය වගේ කතා කියන //
    අපොයි බස් තියෙන්න ඇති. නිකම් බස් නෙමෙයි එයාර් බස් - විමාන මොඩල් එකේ. සීගිරියෙ මල්ටි ස්ටෝරි බේස්මන්ට් පාර්ක් එක බෙල් කොන්ක්‍රීට් දාල වැහුවනෙ. රාවණා නැගිටල ඒක ඇරියාම හෙල යක් රකුස් බ්‍රෑන්ඩ් ඉලෙක්ට්‍රික් බස් පවා හොයා ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්!! දරුවා ගේ සිතුම් පැතුම් සියල්ල රන් පත් ඉරුවක ලියා මා වෙත දෙන්න. ශ්‍රී රාවණ රදුන්ගේ නැගිටීමෙන් පසු උන්නාන්සේට කියා ඒ සියල්ල ඉටු කර දෙමි. මීට ශ්‍රී රාවණ දැහැන හිමි කකා.ලොකු මල්ලී

      Delete
  5. හැමදාම ඔබේ ලියැවිලි ආසාවෙන් කියවනවා . හැබෑ ඉතිහාසය තේරෙන සිංහලෙන් ලියන්න ඔබ කරන මෙහෙය අගෙයි. ඒ වගේම ඔබ පොදු සමාජයේ නිතර කතා නොවෙන සැබෑ වීර චරිත කරලියට ගේනවා . ඊලග ලියැවිල්ල එනකං මග බලාගෙන ඉන්නවා .

    ReplyDelete
  6. සෑර් රාජා කජු එහෙම කනවද ? මේ නිකමට ඇහුවේ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හලෝ ලොක්කා කොහොමද කාලෙකින්. 2018 ඉදන් කජු කියන්නෙ බල්ලන්ට දෙන කෑමක් නේද?

      Delete