Monday, December 2, 2019

කදිරා


කොටට කපා උඩට පීරා ඇති කොණ්ඩය ජෙල් ගා සකස් කොට ඇත්තේ ළඟ ඇති විදුලි පංකාවේ සුළඟිනිදු වෙනස් නොවෙන පරිදිය. සුදු කමිසය රතු දුඹුරු ටයි පටියක් පැළඳ කළු පැහැ කෝට් එකක් පැළඳ සිටින්නේ ඔහු යැයි හඳුනා ගැනීමත් අපහසු  තරම්ය.  මගේ සිත වසර කීපයක් ඈත අතීතයට දිව යයි.

අපේ වත්තේ කෙහෙල්කැනක් කපලා. අම්මා මට කිව්වේ සති අන්තයේ ගෙදර විටකය. අප්පච්චී ගේ මරණයෙන් වනවිට ගෙවී තිබුනේ මාස කීපයකි. අප්පච්චී ඉන්න කාලයේ කිසි හොරෙක් හතුරෙක් නොහිටි අපට දැන් මේ එළඹෙන්නේ නොනගත සමයක්ද?

සතියේ දිනවල අම්මා ඉන්නේ ගෙදර තනිවීය. අසල්වැසි සොහොයුරියන් කීප දෙනෙකු ඇගේ තනි නොතනියට රෑ අපේ ගෙදරට ආවද හොරෙක් හතුරෙක් පැන්නොත් ඔවුන්ගෙන් එතරම් සේවයක් නොවේ. අපත් සමග කොළඹ යන්නට එන්නැයි කොතෙක් කීවද අම්මාගේ රාජධානිය අතහැර කොළඹ යන්නට ඇගේ කිසිදු කැමැත්තක් නැත. ගියත් සිටින්නේ එන්නේ කොයිවෙලේ දැයි දින ගනිමිනි. අප්පච්චී සමග ගෙවූ තිස් තුන් වසරක යුග දිවිය ගැන සිතමින් පාළුවේ ඉන්නට තරම් ඇය කැමති වෙන කිසිවක් නොවීය.


හොඳම වැඩේ ලොකු භීෂණයක් දෙන එක! මගේ මිතුරෙක් කීවේය.

කියන්නේ?

කෙහෙල් කන කපපු එකා හොයා ගෙන අමතක නොවෙන පාඩමක් උගන්නන එක. තව මොනවහරි හොරකං කරන්ඩ හිතං ඉන්න එකෙක් ඉන්නවා නං උන්ටත් පාඩමක් වෙන්ඩත් එක්ක. අනික කෙහෙල් හොරා උනත් ආයෙත් ඔයිට වැඩි දෙයක් උනත් හොරකං කරන්ඩ ඉඩ තියෙනවා උඹ මොකුත් නොකලොත්!

ඒකත් ඇත්ත...

හොරාව හොයා ගන්ඩ එච්චර අමාරු උනේ නෑ. පොඩි එකෙක්. නම ජගත්. උනාට ගමේ කට්ටිය කිව්වේ කදිරා කියල. කදිරව මට හම්බ උනේ පාරේ බෝක්කුවක් උඩ වාඩි වෙලා ඉන්න කොට.

ඒයි කදිරා මම උඹව හම්බ වෙන්ඩ හිටියේ

ඇයි අයියා?

ඇයි? තෝව නලවන්ඩ! පරයා තෝ අපේ කෙහෙල් කැනක් කැපුවා නේද?

......අයියා...

මං දන්නවා තෝ ඒක කැපුවා කියල. තව බොරු කියන්ඩත් එන්ඩ එපා. මීට පස්සේ තව මොනවා හරි උනොත් තෝව අල්ලලා පොළොවේ ගහනවා දැනගං පායා!!

කදිරා බිම බලා ගත්තා මිසක් වචනයක් වත් කතා කරේ නෑ.

ඊට පස්සේ සති අන්තේ ගෙදර ආපුහම අම්මා මගෙන් ඇහුවා කදිරට බැන්නා කියන්නේ ඇත්තද කියල.

ඔව්..ඇයි?

පව් ලොකු පුතා කාත් කවුරුවත් නැති අසරණයා. අපිට කෙහෙල් කැනක් නැති උනා කියල මහා පාඩුවක් වෙන්නේ නෑනේ. උනාට ඌට ඒක ලොකු දෙයක්.

කොහොමද?

මං කදිර ගැන දන්නවා. ඒකයි මම එහෙම කියන්නේ. කාත් කවුරුවත් නැති අසරණයා. මීට පස්සේ ඔය වගේ දේවල් වලට කලබල වෙන්ඩ ඉස්සර හිතල බලන්ඩ...

අම්මා මොකක් හරි දෙයක් හිත ඇතුලේ තියාගෙන මට බාග කතාවක් කියපු බව තේරිච්ච හිංදා කදිර ගැන තව හොයල බැලුවා. වෙනකොට මම කැම්පස් යන්ඩයි, රස්සාවටයි ගෙදරින් පිට වෙලා අවුරුදු පහළොවක් විතර වෙලා. කාලේ ගමේ වෙච්ච දේවල් සමහරක් මම දන්නේ නෑ.

ඔව් මචං...කදිරා කියන්නේ තාත්තෙක් නැති එකෙක්. කියන්නේ නං  උගේ අම්මාව දූෂණය කලේ ඒකිගේම අයියා කියලා....

කියන්නේ කදිරගේ තාත්තා...???

උගේ ලොකු තාත්තාම තමයි තාත්තත්!!!

ඊට පස්සේ?

ඊට පස්සේ එහා ගමේ වයසක පොරක් කදිරගේ අම්මාව බැන්දා...හැබැයි මිනිහා මූට උගන්නන්ඩ උත්සාහ කළා. මැඩම් තමයි උදවු කලේ උප්පැන්න සහතිකේ අඩුපාඩු තියෙද්දී ඉස්කෝලෙට බාර ගන්ඩ

මගේ යාලුවා මැඩම් කියන්නේ අපේ අම්මාටය. වසර තිස් ගණනක් පුරා ඉස්කෝලේ ඉගැන්වූ ඇයට ගමේ බොහෝ දෙනා කතා කරන්නේ මැඩම් කියලයි. ඇය පරම්පරා දෙකකට පමණ උගන්වා තිබ්බ හිංදා.

හරි එහෙම නං අම්මා මූ ගැන දන්නේ එහෙම තමයි!

උනාට කදිරා ඉස්කෝලෙන් කට්ටි පැන්නා. උගේ බාප්පත් එක්ක හොර පොල් කඩන්ඩ පුරුදු උනා.

ඔය පොඩි එකා?!!

ඔව්. ඕක පොඩි වයසෙනුයි ඇඟෙනුයි විතරයි. හොරකං කරලා ඇති කප්පරක්!

ඌට මොකේටද සල්ලි?

කසිප්පු බොන්ඩයි ගංජා ගහන්ඩයි...වෙන මොනවටද? ඇයි තව බාප්පාගේ ගෙදරට කන්ඩ දෙන්ඩ!! යාළුවන්ට බොන්ඩ දෙන්ඩ!! 

මුගෙන්ද උන් යැපෙන්නේ?

මූ පොඩි එකා. ඌට තේරෙන්නේ නෑ අනිත් උං ඌව ගොනාට අන්දවාගෙන බොනවා කියල.
ඊට පස්සේ මම ගෙදර ආපු වෙලාවල් වල කදිරා ගැනත් හොයල බැලුවා. තව මොනවා හරි අපේ දෙයක් හොරකං කරලා ඇති කියල හිතමින්. ඒත් අය කවදාවත් අපේ දෙයක් හොරකං කලේ නෑ.

අයියා...!! කදිරා මාව දැක්ක හැම වෙලාවේම බොහොම ලෙන්ගතුව කතා කරා. මට විතරක් නෙවෙයි ගමේ හැමෝටම කදිරා හොඳින් කතා බහ කරලා හිටියා. ඒත් කවදාවත් බීමත් ගංජා ඉරිල්ලත් නතර උනේ නෑ. වෙච්ච එකම දේ කසිප්පු වෙනුවට කසිප්පු, අරක්කු, බියර් මික්ස් එකකට පුරුදු වීම.

කදිරට තිබුනේ පුදුම හයියක්. එක දවසක් මහා රෑ උගේ බාප්පත් එක්ක හොරෙන් පොල් කඩන්ඩ ගිහිල්ලා ඉන්දැද්දී කදිරා ගහ පල්ලේ වැටුනා. ඔලුව වැදුනේ ගලක. බාප්පා පැනලා ගියා මිනී මැරුමට අල්ලයි කියල බය වෙලා. ගමේ මිනිස්සු පැය ගානකට පස්සේ කදිරව ඉස්පිරිතාලේට ගිහින් දැම්මත් ඉස්පිරිතාලෙන් කදිරව අයි. සී.යූ. එකට දැම්මත් හැමෝම දැනගෙන හිටියා කදිරා මැරුණා කියල. කොටිම්ම වෙනකොට යුද්දෙට ගිහිල්ලා හිටපු ආමි එකේ කට්ටියටත් ටෙලිග්රෑම් ගැහුවා මරණේ දන්වලා. මොකද කාලේ ගමේ කවුරු හරි මැරුණොත් තමුන්ගේ නෑදෑයෙක් කියල ටෙලිග්රෑම් එකක් ගහලා යුද්දෙන් පොඩි නිවාඩුවක් ගන්ඩ පුළුවන්. ඉතිං කදිරගේ මරණෙනුත් අපේ ගමේ අය පොඩි සපෝට් එකක් ගත්තා තමුන්ගේ කට්ටිය යුද බියෙන් මුදවා ගන්ඩ ටික දවසකට හරි.

මගේ යාලුවෙක් වෙච්ච සුගත්, රෑ වෙලා රඹුක්කන ස්ටේෂන් එකට මුලතිව් ඉඳන් ආවේ එහෙම යවපු ටෙලිග්රෑම් එකකට පින් සිද්ද වෙන්ඩ.

අයියා..!!

සුගත් ගේ ඇස් දෙක උඩ ගියා. මෙන්න ස්ටේෂන් එකේ අඳුරේ තිබ්බ බැංකුවක් උඩ කදිරා වාඩි වෙලා ඉන්නවා. සුදු ඇඳගෙන. අතේ සේලයින් බෝතලයක්. ඒක අනිත් අතට තාමත් සම්බන්ධයි. ඔලුවේ පදාසයක් පුරා ලොකු ප්ලාස්ටර් එකක්. අතෙත් බාගෙකට වඩා වෙලලා.
කදි...රා?!! සුගත් ඇහුවේ තිබ්බ ඔක්කොම ඩම් එක එක්කහු කර ගනිමින්.

අනේ...සුගත් අයියෙ මාව ගෙදර එක්ක යන්ඩ කෝ...කදිරා හීනි හඬින් මිමිණුවා...සුගත් ත්රී වීල් එකක කදිරව දාගෙන ගෙදර ගෙනාවත් වෙනකොටත් කදිරගේ ගෙදර උදවිය කදිරාගේ මිණිය බාර ගන්ඩ යන්ඩ ලැස්ති වෙලා ඉඳල තියෙන්නේ. ඇයි ඉස්පිරිතාලෙට කදිරා බලන්ඩ ගිය කෙනෙක් පණිවිඩයක් එවලා කදිරා නැති වෙලා කියල.   කදිරගේ ඇඳ හිස් වෙලා තිබ්බ හින්ද. කවුද හිතන්නේ මේ මැරෙන්ඩ වැටිලා හිටපු එකා ඉස්පිරිතාලෙන් පැනලා එයි කියල දවස් තුනෙන්?!!

බැලින්නං මූ පැනලා ඇවිල්ලා තියෙන්නේ බාප්පව හොර පොල් කැඩීමට අල්ලලා දෙන්ඩ වෙයි කියල!!!

කොහොම හරි කාලය ගත උනා. කදිරා හොරකම ඇත ඇරලා ලී මුදලාලි කෙනෙක් ගාව කොට අදින්ඩ ගියා. තව ටික කාලෙකින් ආරංචි උනා කදිරා කසාදයක් බැඳපු විත්තිය. සමහරු නං කිව්වේ ගෑණු කෙනාට පරණ කසාදෙකින් කදිරාටත් වඩා වයස ළමයි ඉන්නවා කියල. කොහොම උනත් කදිරා තැන්පත් වෙන්ඩ පොඩි හරි උත්සාහයක් ගත්ත එක වටිනවා. මොනවා වෙනස් උනත් කදිරා ගෙන් වෙනස් නොවිච්ච දේවල් කීපයක් තිබ්බා.

කැහැපට ගහ ගත්තු සරමත් නිරුවත් උඩු කයත් අතරින් අංක එක. දැක්ක තැනක අයියා... කියල බොහොම ලෙන්ගතුව කතා කරන්ඩත් කදිරා කවදාවත් අමතක කලේ නෑ. එක්කම බීමත් කමයි, බීමටම ඇබ්බැහි වෙච්ච යාළුවො ආස්සරේ කිරීමයි. මේ ඔක්කොම ලක්ෂණ කැටි උනාම කදිරා කියන්නේ නමට ගැලපෙන අයුරින්ම පොඩි 'වැදි' චරිතයක්!

එහෙව් කදිරා මං ඉස්සරහ කළු කෝට් එකක් ඇඳන්, ටයි එකක් දාලා ඉන්නකොට මට පුදුම හිතුනා. කළු පාට කලිසමත් හොඳට මැදලා. වෙනදට පුරුදු නොපීරපු කොණ්ඩේ වෙනුවට හොඳට ජෙල් ගාලා උඩට කරලා කොන්ඩේ පීරලා. හරිම පිළිවෙලයි.

කදිරා ගැන තව දෙයක් කියන්ඩම ඕන. කදිරාව ඉපැද්දුවේ මේ සමාජය. තාත්තෙක් නැතුව මේ ලෝකෙට ඉපදුන කදිරාට අම්මගේ ආදරෙත් ලැබුනෙත් යලට මහට. කදිරාව නිර්මාණය කලෙත් මේ සමාජය. බීමට, හොරකමට කදිරව ඇබ්බැහි කරපු මේ සමාජය කදිරාගෙන් යුතු ප්රයෝජන ගත්තා. අන්තිමට කදිරව මේ විදිහට මම මීට කලින් කවදාවත් දැකලා නැති විදිහට  'මහත්තයෙක්' කලෙත් සමාජය. හැබැයි සමාජය එහෙම වෙනස් වෙද්දී කදිරත් වෙනස් වෙලා. වෙනදට හිනා වෙලා අයියා.. කියන කදිරා අද ගරු ගාම්භීරව ඉන්නවා සද්ද නැතුව.

මම බලාගෙන ඉන්නවා සුගත් ඇවිල්ලා මට කියන කල් ඌට ආයෙත් රඹුක්කන ස්ටේෂන් එකේදී කදිරව හම්බ උනා කියල කියනකල්. සුගත් ඒක නොකියා කොලේක මොනවදෝ ලියනවා. මම බැලුවා උගේ උරිස්සට උඩින් එබිලා...

වසර තිස් දෙකක් ආයු වළඳා සිය දිවි නසා ගත්....

සුභ අනාගතයක් කදිරා!!

19 comments:

  1. ඈබන් මට අහන්න දැන ගන්න දෙයක් තියෙනවා.
    උප්පැන්නේ අඩුපාඩු තියෙනවා කියන්නේ 5 තීරැව ඉඳන් ගිස් තියන එක නේද?
    ඒක ගිස් උනා කියලාදරඅවෙක්ට අධ්‍යාපනය ලැබිමට බාධා වෙනවා නම් ඒරටේ තියෙන්නේ නිදගස් අධ්‍යාපනයක්ද?

    ReplyDelete
    Replies
    1. පියාගේ නම ගම කියන කෑල්ල හිස් විතරක් උනා නං මං හිතන්නේ නෑ එච්චර ප්‍රශ්නයක් වෙයි කියල. හැබැයි තාත්තෙක් නැති දරුවෙකුට හුගක් වෙලාවට උප්පැන්න සහතිකයක් දෙන්ඩ කවුරුවත් නෑ. මේක සමාජ ප්‍රශ්නයක්. වැඩියක්ම මේ කතාවේදී වගේ කාගේ වත් හවුහරණයක් උපතේදී ඉඳන් නොලබපු දරුවෙක් ඒ දරුවාගේ නෑදෑයින් ඔක්කොටම බරක් විතරයි.

      Delete
  2. මේ සංසාරෙම ඔහොම තමයි. හැම එකාම තමුන්ගෙ බහට අවනත ගොනෙක් හොයනවා තමුන් බය තැංවල ඉස්සරහින් දක්කං යන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන් සුරංග මලය ඕක තමයි වෙන්නෙ. අන්තිමට ලොකු උන්ට ගොම් පස් අල්ලන එක නවත්තන්ඩ වෙන්නෙ ජීවිතෙන් වන්දි ගෙවලා...මේ සමාජය වරප්‍රසාද ලත් අයට හොදයි...නැති අයට සොරි තමයි...කදිර වගේ දාස් ගනනක් අපිට ඕන විදිහට උපද්දවලා, අපිට ඕන විදිහට ජීවත් කරවලා අපිට ඕන විදිහට මරලා දානවා...

      Delete
  3. දැන් තත්වය නම් කියන්න දන්නේ නැහැ. ඉස්සර නම් ඉස්කෝලෙකට දාන්න අමාරු වුණු සිදුවීමක් දන්නවා. උප්පැන්නේ තාත්තගේ නම නැතිනම්.

    අනේ කදිරාට සුගතියක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. බෞද්ධ දර්ශනය අනුව නං කදිරා කියන්ඩ තරමේ පිංකමක් කරගත්තේ නෑ දන්න තරමින්. හැබැයි කදිරට විතරක් නෙවෙයි ඒ පව් රෙජිස්ටර් වෙලා තියෙන්නේ...කදිර දිහාට එක ඇගිල්ලක් දික් වෙනකොට අපි - සමාජය- දිහාට ඇගිලි හතරක් දික් වෙනවා...කදිර අපායෙ ගියොත් ලොකා, අපිට යන්ඩ 'වෙනම අපායක් හදන්ඩ වෙනවා'.

      Delete
  4. ලොකු මල්ලී, උඹ ජීවත් වෙන්නෙත් අපි ජීවත් වෙන ලෝකයේම තමා. ඒ උනත් අපි හැමෝම දකින ලෝකයේ අපිට නොපෙනෙන දෙයක් උඹ ඇදලා අරගෙන අපිට පෙන්නනවා.එහෙම කරන්ඩ පුළුවන් හොඳ තියුණු සංවේදී ඇහැකට විතරයි.ඒ ඇහැ උඹට කියනවා.අපිට ලෝකය දිහා බැලිය යුතු විදිහ කියලා දෙනවා.මේක හොඳ ගෙත්තමක්. හොඳ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විපුලතුමනි ඔබතුමාගේ අදහස් දැක්වීමට..කවුදෝ කියල තියෙනවනේ සත්‍යය, ප්‍රබන්ධයට වඩා සිත් ඇදගන්නවා කියල...මේ කතාව හිතට වදිනවනම් ඒකට හේතුව ප්‍රබන්ධයක් නොව එය සත්‍යයම වෙන එක නිසා වෙන්න ඇති.

      Delete
  5. මිනී පෙට්ටියෙ දපල ඉන්නකොට හැම එකාම මහත්තයෙක්. ඒත් ඒකෙන් ඒ මනුස්සය සමාජෙ හිටපු හැටි මනින්න බෑ.

    කිට ගහල ටයි දාල කොණ්ඩෙ ජෙල් කරපු කදිරට වඩා සරම කැහැපට ගහගත්තු, කසිප්පු ගහන කදිරව වටිනව.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සභාපතිතුමා...මං හරි කැමතියි මේ කමෙන්ටුවේ මුල් වාක්‍යයට...මිනී පෙට්ටියෙ දපල ඉන්නකොට හැම එකාම මහත්තයෙක්...පන තියෙද්දි කරන වැඩ තමයි අවුල්!!!

      Delete
  6. ෆුල්කිට ගැහුවම ‌ක‌ෝමත් මනී ‌පෙට්ටිය‌ෙ ඉන්නව වග‌ේ තමා.
    සරමක් ගහලන කැලයක් කිට්ටුවට ව‌ෙලා ඉද්දි දැන‌ෙන සැහැල්ලුව

    ReplyDelete
    Replies
    1. ඒ අර්ථයෙන් ගත්තහම නං කදිර හරිම සැහැල්ලුවෙන් හිටපු මනුස්සයෙක්!!!

      Delete
  7. එහෙම වෙලත් බේරුන කෙනාට දිවිනසාගන්න හිතුනේ මොකද... මොනවා උනත් සුබ ගමන් කදිරා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කදිරා එල්ලිලා මැරුනෙ ඇයි කියල කවුරුවත් දන්නෙ නෑ...මට හිතෙන්නෙ ප්‍රශ්න හිංද මැරෙනවනං මැරෙන්ඩ තිබ්බෙ ඔයිට හුගකට කලින් නේද කියල...එච්චර අමාරු කාලයක් පහු කරපු කදිරට වෙන මොකක් හරි හිතේ අමාරුවක් හැදුනා ඉවසගන්ඩ බැරි...ඕං ඒකෙත් හැටි ඇත්තට!!!

      Delete
  8. තාප්පයක චිත්‍රයක් ඇඳ තිබෙනු දුටුවිට අහේතුක වෛරයක් ඇතිවීම මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ කුමන නමකින්ද?

    ReplyDelete