Tuesday, August 25, 2020

සළුපට අහසට

 

මේ සිරි ලංකාද්වීපේ ඕනෑම කැම්පස් එකක ඕනෑම බැච් එකක ඕනෑ තරම් බැච් ට්රිප් නොහොත් කණ්ඩායම් විනෝද චාරිකා යෑම අරුමයක් නෙවෙයි. ඒත් ආගමික භක්තිය, වීර ක්රියා, පීචං වීම, දේශ ගවේෂණ, ශ්රුන්ගාරය කියල යමක් හඳුන්වනවද අන්න ඒක, දේශපාලනය, වගේම යුධ මෙහෙයුම් ඇතුලත් එක බැච් ට්රිප් එකක් හොයා ගන්ඩ ලේසි නෑ. ලේසි උනත් එහෙම දෙයක් ගැන කියන්ඩ ලියන්ඩ කෙනෙක් ඉතුරු වෙන්නේ නැති තරං. මොකද වගේ භයානක වගේම විනෝදාත්මක සිද්ධි දාමයකට කෙනෙක් මූණ දුන්නම එක්කෝ සිද්ධි හිංදා දත කට පූට්ටු වෙලා ඔය ලබ්බල පැත්තේ කියන විදිහට විරුවපට්ටං ගහනවා. සමහර විට කම්පනය හින්දම කෝමා එකකට උනත් යන්ඩ පුළුවන්! අද කතාව අසමසම බැච් ට්රිප් එක ගැන.

(මගේ බැචාලට මේ කියන්නේ...අපේ ඔෆිස් එකේ ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් තියෙනවා වැඩ කරන කාලේදී මැරුනොත් ලක්ෂ විස්සක් තිහක් හම්බ වෙනවලු. මේ කතාව කියෙව්වම උඹලා මාව මරණ බව දන්නවා. හැබැයි මගේ මරණෙන් පස්සේ ගෙදරට හම්බ වෙන ඉන්ෂුවරන්ස් එක ගැන හිතලා මම හිත හදා ගන්නවා. අවුරුදු දහ නවයකට පස්සේ හරි අර බැච් ට්රිප් එක ලඟට හරි යන අත්දැකීමක් ලබන්ඩයි මම මේ ජීවිත අවදානම අරගෙන කතාව ලියන්නේ)  


ඕං ඉතිං අපෙ බැච් එක දෙදාස් එක අවුරුද්දේ විතර බැච් ට්රිප් එකක් යන්ඩ කතා කර ගත්තා. සංවිධායක කමිටුව බැච් එකේ ගෑල්ලමයින්ගෙනුත් -ඔව් කොහොමත් අපෙන් ඇහුවට වැඩකුත් නෑ...අපිට දැන ගන්ඩ ඕන උනේ කීයක් එක්කහු කරනවද කියන එක විතරයි, යන්නේ කොහෙද ඉන්නේ කොහෙද වගේ දේවල් අදාලම නෑ..අනික සංවිධාන කමිටුවේ සභාපති වෙච්ච නානා (මේ එතුමාගේ ආගම පිලිබඳ සංකේතයක් නොව වාසගම පිලිබඳ සංකේතයක් පමණි) වැඩිය කැමති උනේ කාන්තා හොස්ටල් වල ඔර්ගනයිසිං කමිටුවේ රැස්වීම් තියන්ඩ - දවස් තීරණය කරා ඔන්න අහවල් අහවල් දවස් දෙකේ මෙන්න මෙහේ මෙහේ යනවා කියල. බැලින්නං පේරාදෙණියෙන් පටන්ගෙන පලවෙනි දවසේ කතරගමට යනවා. දෙවෙනි දවසේ තංගල්ල, කොළඹ හරහා ආපහු පේරාදෙණියට. තව බලන්ඩ තැන් කීපයක් කිව්වා. එව්වත් අපිට අදාලම නෑ. මෙතන වැදගත්කම තියෙන්නේ පැය හතලිස් අටක ගමනක්. හිංද ඔය දෙහි, බොංගෝ, දෙහි, විජය පත්, දෙහි වගේ අත්යවශ් කළමනා සම්පාදනය කර ගන්න එක හොඳට හිතල මතල කරන්ඩ ඕන දෙයක්.

කොහොමින් කොහොමින් හරි ඔන්න අසිරිමත් දවස උදා උනා. අපි පේරාදෙණියෙන් පිටත් වෙන්ඩ ඉස්සර අපේ බැච් රෙපා එහෙම නැත්තං කණ්ඩායම් නායකයා එහෙම නැත්තං මහ හූරා වෙච්ච ගල් වඩ්ඩා (මෙය ඔහුගේ ලිංගික නැඹුරුතාවය හා කැමැත්ත ගැන සංකේතයක් නොව අපගේ ජ්යෙෂ්ට උත්තමයන්ගේ අදහසක් පිළිබඳ සංකේතයක් පමණි) අපි මේ දවස් දෙක තුල දැඩිව පිළිපැදිය යුතු ආචාර ධර්ම ගැන ලොකු දේශනයක් තිබ්බා. අවාසනාවකට දේශනාවේ රෙකෝඩ් එකක් නෑ. තිබ්බ නං කොටුවෙ සාදුත් එක්ක ගේමක් ඉල්ලන්ඩ තිබ්බ (හොඳම බණට).

අපි නුවර පහු කරා..ඊගාවට තැන්නේකුඹුර, මැද මහනුවර, හුන්නස්ගිරිය, උඩුදුම්බර ඊගාවට හුලංදාව, බුත්තල කතරගම (මං මේ ඔක්කොම ගං ටික ලිව්වේ කවුරුහරි ඉගෙන ගන්න කෙනෙකුට සෙතක් වෙන හිංද. මගදී තව ගං තියෙන්ඩත් ඇති බාගෙ විට ඒත් මං හොද සිහියෙන් ඉන්න කොට දැක්කේ ඔය ගං ටික විතරයි).

දැන් ඔන්න කතරගමට ගිහිල්ලා කට්ටිය  උයන්ඩ සෙට් උනා. උයල ඉවර වෙලා දේවාලේ පූජාවට යන්ඩයි සූදානම. දාඩිය දාගෙන වමනේ පෙරාගෙන දේවාලෙට යන්ඩ පුලුවන්ද? බෑ නේ. ඉතින් අපි මැණික් ගඟෙන් නාන්ඩ යන්ඩ එලියට බැස්සා. එතකොටත් අනේ අපරාදේ කියන්ඩ බෑ අපේ බැචීලා ඔක්කොම අපි හිටපු විශ්රාම ශාලාවේ නාන කාමර ටිකට අරක් ගෙන. ඉතිං මැණික් ගඟට යනවා අර වෙන විකල්පයක් තිබ්බෙත් නෑ අපිට. කොහොමින්  කොහොම හරි අපි නාන්ඩ යන කොට බිං කරුවල වැටෙන්ඩ පටං අරං.

නොදන්නා පැත්තක තියෙන ඔය වල් වලට ගංගා වලට බහින්ඩ ඉස්සර හොඳට හොයලා බලන්ඩ ඕන. ඉතින් අපි පාරේ තිබ්බ මල් කඩේකින් අහලා බැලුවා.

අයියේ ගඟේ වතුර හුගක් වැඩිද?

අපොයි මල්ලි මාර සැරයි වතුර!

අපිට පීනන්ඩ නං පුළුවන් ඒත් මේ කරුවලේ...ඒකයි අහලා බැලුවේ.

අහපු එක හොඳයි. ඕනනං බාල්දියක් දෙන්නං පඩිපෙළ උඩ ඉදං නාන්ඩ. 

පඩි පෙළ කිව්වේ?

ගඟට බහින්ඩ හදලා තියෙන පඩි පෙළවල් තියෙනවානේ නාන තොටුපොළවල් වල.

ඒක මිසක්.

අම්මෝ එච්චර වතුර සැරද?

මේ මොනවා අහනවද?

එහෙමනං දෙන්ඩකෝ බාල්දියක්. අපි එන ගමන් දෙන්නං.

ඔන්න දැන් අපි හය හත් දෙනා නාන තොටුපොලකින් බැහැලා අන්තිම පඩියට උඩින් පඩියක ඉඳ ගත්තා. එතකොට තමයි තේරුනේ අපි ඇඳගෙන ආපු ඇඳුම් මිසක් වෙන මොනවත් දෙයක් ගෙනල්ලා නෑ කියල. එකෙක් ගාව තුවායක් තිබ්බා. තව එකෙක් ගාව කඩෙන් ඉල්ලාගත්තු බාල්දිය.

කාටවත් පේන්නේ නෑනේ. හෙළුවෙන් නාමු! අදහස ගොට්ටා ගෙන්.

නැතුව ඉතින් වෙන කරන්ඩ දේකුත් නෑනේ...මම අදහස ස්ථිර කළා.

දැන් ඔන්න එක එක්කෙනා උපන් ඇඳුමට මාරු වෙලා පල්ලෙහා පඩියක වාඩි වෙලා නාන්ඩ පටන් ගත්තා.

අපි ඔක්කොම එකට නාමු.. අදහස ගෙනාවේ කවුද කියල මතක නැති උනත් එක එකා වෙන වෙනම බාල්දියෙන් නාන්ඩ  ගියාම අපිට දේවාලේ පූජාවට යන්ඩ වෙන්නේ කියල වෙනකොටත් අපිට තේරිලා තිබ්බ හිංද හැමෝම එකඟ උනා යෝජනාවට.

දැන් අපි කට්ටියම පෝලිමට වාඩි වෙලා බාල්දිය අතින් අත යවමින් නානවා. එකෙක් කුණු අතුල්ලනවා. තව එකෙක් මූණ හෝදනවා තමුන්ගේ බාල්දි වාරේ එනකල්. ඔන්න ඔය අතරෙදි තමයි ගඟේ එහා ඉවුරෙන් පොඩි එළියක් මතු උනේ. ඉස්සරෝම එකක්. ඊට පස්සේ තව එකක් විදිහට සෑහෙන මට්ටමේ එළි අටක් දහයක් මතු උනා.

අර දේවතා එළිද? ගොට්ටට තාම ටිකක් වැඩියි වගේ.

නෑ...මං හිතන්නේ දේවාලේ පෙරහැර වෙන්ඩ ඇති. තවත් විදග්ධ අදහසක්.

මොන පෙරහැරද? පිස්සුද තොපිට?? මිනිස්සු වගයක්...

මොන පිස්සුද මිනිස්සු කොහොමද දිලිසෙන්නේ? මොකද ලුමිනස් මිනිස්සු ඉන්නවද රෑට දිලිසෙන?

මට ගෑණු කට හඩකුත් ඇහෙනවා වගේ නේ... ප්රේමවන්තියක් නැති සොවින් තැවෙන එකෙක්. ඌට කාන්තාරෙක මිරිගුව උනත් පේන්නේ ගෑණු රූපයක් විදිහට. ගෙම්බෙක් කෑ ගැහුවත් ඇහෙන්නේ සුමිහිරි ගෑණු කට හඩක් විදිහට.

ඔන්න ඔහොම තර්ක විතර්ක මැද්දේ අපි එළි මොනවද කියල තේරුම් ගන්ඩ උත්සාහ කරන කොට එළිත්, එළි පිටිපස්සේ ආපු මිනිස් රූපත් තොටුපොළේ එහා ඉවුරට ආවා. බැලින්නං තවත් වන්දනා නඩයක්. නාන්ඩ තැනක් හොයනවා. දැන් පැත්තේ නඩේ ගුරා පැත්තේ පඩි පෙලේ අඩි දෙක තුනක් බහිමින් ටෝච් එළිය අල්ලනවා මෙහා ඉවුරටත් එක්කම.

......යකෝ උන් ආවොත් අපි ඉවරයි. අපේ ඇත්ත තත්වේ තේරුනේ ගොට්ටට.

ඇයි අපි ඉවර වෙන්නේ. උන් එහෙ නානවා අපි මෙහේ නානවා.

යකෝ අපි හෙලුවැල්ලෙන් ඉන්නේ...!!!

අපේ අසරණ ස්වභාවය තේරුනේ අන්න එතකොට. අසභ් ලෙස පොදු ස්ථානයක හැසිරීමේ චෝදනාවට අපි පොලිසියට එක්ක යන හැටි,  බත් එක තියෙද්දී අපිට ආණ්ඩුවෙන් රෑට කන්ඩ දෙන හැටි මට මැවි මැවී පේන්ඩ පටන් ගත්තා.

ඔන්න දැන් එහා පැත්තේ නඩේ ගුරා අඩි හත අටක්ම පල්ලෙහාට බැහැලා ටෝච් එළිය වනනවා. මගේ හිතේ ඔන්න වෙලාවේ එයා දැක්කා මෙහා ඉවුරේ ඉන්න වෘත සමාදන් වෙච්ච නිගණ්ඨ යතිවරු කණ්ඩායම! පස්වනක් ප්රීතියෙන් කෙසේ වෙතත් තමන්ගේ කණ්ඩායමේ ඉන්න ස්ත්රී පරාන වල සුභ සිද්ධිය තකා නඩේ ගුරාගේ ඔලුවට ගණ දෙවියන් වඩිනවා වෙලාවේ. 

මෙතන එච්චර වතුර හොඳ නෑ වගේ. අපි උඩහ වෙන තැනකට යමු. නඩේ ගුරා හයියෙන්ම කියනවා අපි අහගෙන. කොහෙන්ද මේ මිනිස්සු මෙච්චර පූජා නගරෙකට ඇවිල්ලත් හැසිරෙන්ඩ දන්නේ නෑනේ. හැම තැනම ජරා කරනවා.. චික් විතරක්!! කිය කියා ඔහු තමන්ගේ කණ්ඩායම වෙනිං තැනකට එක්කගෙන ගියා.

අපිට ලේ ටිකක් ඉනුවේ එතකොට.

හා..හා...අපි හොඳටම පරක්කුයි. අනික තව කවුරු හරි එන්ඩ ඉස්සර ඉක්මනට නාගෙන යමු...සෝමෙයා අපිව ඉක්මන් කෙරෙව්වා.

මට ටිකක් පීනන්ඩ පුළුවන්... හින්ද මම ගඟට බැහැලාම නානවා. ගොට්ටා හිතාගෙන හිටියේ ජුලියන් බෝලිං කියල. ඕන මගුලක් කියල මාත් බාල්දිය අරන් නාගෙන නාගෙන යන්ඩ පටන් ගත්තා.

මචං..... මේ ගඟේ වතුර නෑනේ! අඩි හතර පහක් ගඟ මැද්දට ගිය ගොට්ටා.

මොනවා!!!??? එහෙනං අර කඩේ එකා කිව්වේ හෙනට වතුර කියල!!

උගෙ ....! බොරුනේ කියල තියෙන්නේ. අඩු ගානේ දනිස්ස ගාවට වත් වතුර නෑනේ...

ඇත්ත තමයි.. ගොට්ටා පස්සෙන් ගඟට බැහැල හිටපු සෝමෙයි රොබායි.

දැන් කට්ටියම ගගට බහින්ඩ පටන් ගත්තා...බාල්දිය මට සින්න උනා.

මේ අලුත් හොයා ගැනීම හින්දා අපි ඔක්කොටම ඉක්මනට නාගෙන ගොඩට එන්ඩ පුළුවන් උනා.

උන්නු හැටියට මලා මදැයි කියල හිත හිතා කලිසමයි කමිසෙයි ඇඳ ගන්න කොට මට අහු උනා කලිසමේ තිබ්බ පෙන් ටෝච් එක. මං ඒක නාන්ඩ එනකොට දාගෙන ආවට ගැන හාංකවිසියක මතකයක් තිබ්බේ නෑ වෙනකලුත්.

මම නිකන් ඉන්න එකේ ටෝච් එක පත්තු කරලා අනිත් උන්ට ඇඳ ගන්ඩ උදවු කරමින් ඉන්න කොට සෝමයා තාම ගඟේ කියල තේරුනා.

සෝමේ වරෙන් මචං ඉක්මනට...!

හිටපං….. හිටපන් හදිස්සි නැතුව…. කියල කියන ගමන්ම සෝමෙයා වතුර ටිකක් අරගෙන කටේ දාගත්තා කට හෝදන්ඩ.

වතුර ටික එලියට කටට ගත්තු ගමන් එළියට විද්ද සෝමේ   චැ: මේ මොනවද මේ? කියල තු: තු: ගගා කෙල ගහන්ඩ පටන් ගත්තා.

අල්ලපන් අල්ලපන් ටෝච් එක මොනවද දන්නේ නෑ! කාගෙන හරි මට විධානයක්.

මමත් ටෝච් එළිය වතුරට  ඇල්ලුවා.

ගඟේ වතුර මතුපිට කැදලි කැදලි වගේ පාවෙලා යන්නේ උඩ ඉඳන් පාවෙලා එන මළපහ තොගයක් බව අපි ඔක්කොටම තේරුනා.

පූජා භූමිය කියල බලන්නේ නැතුව රොබා හොඳ හූවක් තිබ්බා. ඒ හූවට අනිත් අයත් එකතු උනේ ඒක අපේ ජාතික සිරිත හිංදා. ආපහු විශ්‍රාම ශාලාවට එන ගමන සෝමෙයා ටූත් පේස්ට් එකක්ම ගෙනැල්ලා පැයක් දෙකක් දත් මැද්දා. කොටිම්ම අපි දේවාලේ   ගිහින් එනකලුත් ඌ දත් මැද්දා.

එදා ඉඳන් අද වෙනකල්ම සෝමෙයා මැණික් ගඟේ දැක්වූ ශිල්පීය නිපුණත්වය වෙනුවෙන් ඌට බැච් එකේ උන් නම්බු නාමයක් දීලා තිබුනා ජී.කේ. සෝමේ කියල. ජී. කේ. කියන්නේ මොකද්ද කියල නොදන්නා කෙනෙක් ඉන්නවා නං වතුර අඩු කාලෙක මැණික් ගඟේ ඉවුරට ගිහිං බලන්ඩකෝ.

එකළ මැණික් ගඟේ ජී කෑ සෝමයා අද ශ්‍රී ලංකාද්වීපයේ එක්තරා විශ්ව විද්‍යාලයක වැදගත් තනතුරක් දරන්නේය. ගොට්ටා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහත් සේවාවක් කොට විදේශගත වී සිටින්නේය. රොබා දැන් වෘත්තීය ගුරුවරයෙකි. එකල්හි මැණික් ගඟේ නෑ මම නම් කට්ටකාඩුවේ ලොකු මල්ලී වම්හ.

(මගේ බැචාලා වෙත කරුණාවෙනි..හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා සේ ඔබ සම එදා ගාලු නගරයේදී අත් විඳි අති භයංකාර දර්ශන රැගත් සළුපට අහසට දෙවෙනි කොටස ඊට අදාළ චරිතාංග නළුවන් විසින් මා ඝාතනය නොකළ හොත් ළඟදීම බලාපොරොත්තු වන්න).

11 comments:

  1. තව ඩිංගෙන් බිබි හිටපු තේ එකත් ඉස්පොල්ලේ යනවා.
    තව සතියක් ඇතුලත දෙවන කොටස පළවුනේ නැත්නම් ලොකු මලයාව මිතුරන් විසින් ඝාතනය කරලා කියලා හිතාගන්නයි වෙන්නේ. මම හිතන්නේ උන් ලොකු මල්ලිව ඝාතනය කරලා පව් පුරවාගන්නේ නෑ. කෙසේවෙතත් ඉන්න වාට්ටුව මෙන්ෂන් කරපන් විසිට් එකක් ඇවිත් මලයා බලන්න ආපු උන් ගෙනාපු ඇපල් ගෙඩියක් දොඩමක් කාලා යන්න.

    ReplyDelete
  2. අම්මෝ බං... ඔය සීන් එක නැතත්, මැණික් ගඟේ නාන්ඩ හොඳ නෑ. තනිකර ගොම පාටයි වතුර. නානවනං ඔය බදුලු ඔය වගේ තැන් හොඳයි

    ReplyDelete
  3. ඇයි ලොකු මල්ලි දෙහි තුංපාරක් ගෙනියන්නෙ?

    ReplyDelete
    Replies
    1. //දෙහි තුංපාරක් ගෙනියන්නෙ?
      පෑලැනේ හොඳකමනේ බෝ 1- ඔලුවට 2-යටිපතුල්වලට 3-පොවන්න.

      Delete
    2. නෑ මයෙ හිතේ අනික් එව්වට වඩා තුං ගුණයක් ඕනෙ වෙනව...

      Delete
  4. බඩු ලිස්ට් එකේ හැම තැනම දෙහි නෙ බං?

    ReplyDelete
  5. අදාල වාක්‍ය ටික skip කරලා කියෙව්ව මටත් දවසම දත් මදින්න වෙයි කියල.

    අපි ඉන්දියාවට හිනා වුනාට අපේ රටෙත් තරමක් දුරට මෙහෙම ඇයි. අපේ අද්‍යාපනයේ ප්‍රශ්නයක්ද නැත්නම් අපේ මිනිස්සුන්ගෙ convenient opportunityද?

    Lotus

    ReplyDelete
  6. මැණික් ගඟට එක පාරක් කකුල් දැම්ම. වතුර නිකන් ඇලෙනවා වගේ තේරුණා. කකුලත් අරන් පස්සේ ටැප් එකකින් හොඳට හෝද ගත්ත. ඔය වගේ එකක් මට වුනා මෝදර කලපුවේ නාන්න ගිහින්. කොල්ලෝ කට්ටිය බැහැල නානවා. බැස්ස. මූන ඉස්සරහම ගූ කෑල්ලක් . එහෙම්ම ආපහු ගොඩට ආව. ගෙදර එනකන් කෑම වත් කෑවේ නැහැ. හැබැයි අනික් කොල්ලන්ට ඕක කියල ගොඩට එන්න කිවම උන් ආවේ නැහැ. ගෙවල් වලට හොරෙන් ගිය නිසා උන් නෑව

    ReplyDelete
  7. හුගක් කාලෙකින් කියෙව්වෙ.පහුගිය මිස් වෙච්ච එව්වත් බලන්ඩ ඉන්නෙ

    ReplyDelete