Saturday, January 28, 2023

ලොතරැයිය

 

කෝච්චියේ ගියත්, බස් එකේ ගියත්, මළ ගෙදරකට, පිංකම් ගෙදරක්ට ගියත්, යාලුවෙක් එක්ක කතා කරත් මේ දවස් වල හැමෝගෙම කතාව ලඟ ලඟ එන්ඩ පුලුවන් චන්දේ ගැන. චන්දයක් කියන්නේ අපේ ගම් පළාතේ අයට නං පොඩි ලොතරැයියක් වගේ දෙයක්. හැමෝටම වගේ ඕන මන්ත්‍රීලා වෙන්ඩ. කසිප්පු මුදලාලිලාගේ ඉඳන් හොරෙන් ගස් කපන ගස් මුදලාලත්, හොර පොල් කඩන අයත්, අරගලයේ වාසිය ගන්ඩ මාන බලන ලංකාවෙ තියෙන තරමක් පක්ෂ වලින් මිට ඉස්සර ඉල්ලපු අයත් මේ පාර චන්දේ ඉල්ලනවා.  දේශපාලන පක්ෂ ගත්තත් අති දක්ෂිණාංශික ඉඳන් අති වාමාංශික දක්වා විවිධ කණ්ඩායම් පොර පිටියේ ඉන්නවා.

මේ අය අපිට ගේන ලොතරැයිය ගැන මට නං තියෙන්නේ බයකුයි, පිළිකුළකුයි. ගිනි පෙනෙල්ලෙන් කාපු බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. ඉතිං හිතේ කාංසිය යන්ඩත් එක්ක කෙටි කතාවක් කට්ටකාඩුවට ගේන්ඩ හිතුවා.



මේ ඇමරිකානු ජාතික Shirley Jackson, 1948 දි ලියපු The Lottery කෙටි කථාව හෙළ බසට නැඟුමකි. වෙනත් බසකින්, වෙනත් සංස්කෘතියක් අරභයා ලියැවුනක් තවත් සංස්කෘතියක වෙනත් බසකට නැඟුම අපහසුය. එනිසා බොහෝ අතපසුවීම්, දෝෂ සිදුවිය හැකිය. එනිසා සුධීහු කමත්වා!!!

ඒක හරි ලස්සන උදෑසනක්!! ජූනි මාසෙ විසි හත් වෙනිදා උදේ ඇහැරලා ඔබ නිදන කාමරේ ජනේලෙ ඇරියා නම් ග්‍රීෂ්ම කාලෙටම ආවේණික නැවුම්, උණුසුම් හුළඟ ඔබේ මුහුණ සිප ගනීවි. පපුව පිරෙන්ඩ හොඳ හුස්මක් ගන්ඩ. අපි පොඩි ගමනක් යන්ඩයි හදන්නේ. කොහෙද කියලද ඇහුවේ?? අනේ අනේ හොරගෙඩියා...අමතක උනා වගේ පෙන්නනවා නේද? අදනේ ලොතරැයිය අදින දවස. දිනන කෙනා කවුරු වෙන්න පුළුවන්ද කියලනේ ඔක්කොමලා බලන් ඉන්නේ!! අර බලන්ඩ අද දවස පිළිගන්ඩ ගස් පිරෙන්ඩ මල් පිපිලා. තණකොළ උනත් අද තද කොළ පාටයි. ඉක්මන් කරන්ඩ තව ටිකකින් උදේ දහයට මුලු ගමම එක්‍ රැස් වෙනවා අර තැපැල් කන්තෝරුවත් බැංකුවත් අතරෙ තියෙන හිස් ඉඩමට.  

මිනිස්සු හුඟක් ඉන්න නගරවල නම් මේ ලොතරැයිය අදින්ඩ දවස් දෙක තුනක් උනත් ගත වෙන්ඩ ඉඩ තියෙනවා. තුන් සීයක් විතර ඉන්න අපේ වගේ පොඩි ගම් වල නම් මේක පැයක දෙකක වැඩක්. දහයට පටං ගත්තම වැඩේ ඉවර කරලා දවල්ට කන්ඩ ගෙදර යන්ඩත් පුළුවන්...හිහ්..හිහ්. අඩු ගානෙ පැය දෙකක්වත් යන්නෙ නෑ!!

හැම පොදු වැඩකදී වගේම අදත් ලොතරැයිය අදින තැනට ඉස් ඉස්සෙල්ලාම, වෙලාවටත් ඉස්සර එන්නෙ පොඩි උන්. ඉස්කෝලෙත් ග්‍රීෂ්ම නිවාඩුවට නිවාඩු දීලානේ. ඒ හින්ද ලැබිච්ච නිදහස පොඩි උන්ගේ හිතේ පිරිලා. ටිකෙන් ටික එකින් එකා හිමීට ආවට, කාන්ඩෙ රංචු ගැහුනම තමයි දාංගලේ පටං ගන්නෙ. දන්නවනේ ළමයින්ට අලියන්ට නලියන්ටමයි හිත කියලා කියනවනේ. තාමත් උන්ගෙ කතාව ඉස්කෝලෙ ගැන, උගන්නන ගුරුවරු ගැන. දඬුවම් ගැන. ...අර පේන පොඩි එකා දන්නවා නේද? ඒ බොබී මාටින්. ඔව් ඔව් අර ඉන්නෙ සාක්කු වල ගල් පුරවාගෙන. ඔන්න දැන් වෙන වෙන කතාවල හිටපු කොල්ලො රෑණත් සාක්කුවල ගල් පුරවගන්ඩ පටන් ගත්තා. හොඳට ඔප වැටිච්ච, බෝල වගේ රවුම් ගල් තෝරාගන්ඩ තමයි ඔක්කොගෙම පොරේ. ඔය බොබී එක්කම ඉන්නෙ හැරී ජෝන්ස්. ඊට එහා පැත්තෙ ඩිකී ඩෙලකෲ- මං මේ කේළමක් කියනවා කියල හිතන්ඩ එපා. අපේ ගමේ උන්දැලාට තාම ඔය නම හරියට කියවා ගන්ඩ බෑ. උං කියන්නෙම ඩෙලක්‍රෝ කියලා...අනේ අම්මපා කවදා හැදෙයිද මුං!!

කොහොමින් කොහොම හරි කොල්ලො රෑණ ටික වෙලාවක් යනකොට මහ ගල් ගොඩක් එක්කහු කරා නේද හිස් ඉඩමේ කෙළවරකට!! මුන්ට වැඩක් බාර දුන්නොත් ඉතින් ගිනි කසයො වගේ කැපවීමෙන් කරනවා. කොල්ලොනේ!! අනිත් කොල්ලො කුරුට්ටො ටික ඒ ගල් ගොඩට අත ගහන එක වලක්වන්ඩ උන් ආරක්ෂක වලල්ලකුත් දායි. කෙල්ලො නං උන් උන්ටම කතා කර කර පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම මොනවද දන්නෙ නෑ ඔය තරම් කුටු කුටු ගාන්නෙ? අන්න..අන්න දැක්කද උන් කොල්ලො දිහා හොරෙන් බලනවා. අපි උනත් ටිකක් පිළිවෙලට ඉන්ඩ ඕන.

පොඩිම පොඩි උන් නං දූවිලි අවුස්ස අවුස්ස එහෙට මෙහෙට දුවනවා. නැත්තං උන්ගෙ අයියලාගෙ අක්කලාගෙ අත් වල එල්ලිලා ඔය ඉන්නෙ නිකං රිලා පැටවු වගේ. ඔන්න දැන් නං වැඩිහිටියොත් ඉඩමට එන්ඩ පටං ගත්තා. තම තම්න්ගෙ ළමයි කොහෙද, උන් මොනවගේ නසරානි වැඩකට අත ගහලද කියලනෙ ඔය ඉස්සි ඉස්සි, හැරි හැරී, වට පිට බලන්නෙ. ඒ අතරෙ ගොවිතැන් වැඩ ගැනයි, වැස්ස ගැනයි ට්‍රැක්ටර් ගැනයි බදු ගැනයි තව තවත් දේවල් ගැනයි තොර තෝංචියක් නැතුව කතාව. වැඩිහිටියො නං ගල් ගොඩට අනිත් පැත්තෙ එක පොදියට ගුලි වෙලයි ඉන්නෙ.

අනේ මංද උන්ට මොනව වෙලාද කියලා. උං නිකන් විරිත්තනවා විතරයි, හොඳ හිනාවක්වත් නෑ මූනේ. විහිළුවක් කළත් හරි හිමිහිට. ගෑණු කාන්ඩෙ ගෙදරට අඳින හම්පඩ ගැහිච්ච රෙදි කඩමාලුම නේ ඇඳගෙන ඉන්නෙ. මෙහෙම තැනකටවත් එනකොට එන්ඩ බැයිද අප්පා පිළිවෙලකට!!? අනික උන් ආවෙත් පිරිමි ටිකත් ඇවිල්ලා ඉවර උනාම. හරියට මස් කඩේට ගෙනියන සත්තු ටිකක් වගේ බයෙන් සැකෙන්. ඒ උනාට ආපු ගමන්ම පොඩි පොඩි ඕපදූප හුවමාරුව පටන් ගන්ඩ නං කිසි පමාවක් නෑ. එයාලා තමන්ගේ හස්බණ්ඩාරවරු ඉන්න තැනවලට හොයාගෙන ගිහිල්ලා ඒ අය ළඟම දැවටි දැවටී හිටියා. ඔන්න පටං ගත්තා අර සෙල්ලං කර කර ඉන්න පොඩි උන්ට අඬගහන්ඩ. පොඩි උන් කැමැත්තෙන් නෙවෙයි අම්මලා තාත්තලා ගාවට එන්නෙ. හතර පස් පාරක් කතා කරාමත් නොගිහිං හිටියොත් පාරක් දෙකක් වදින හිංදා අකමැත්තෙන් උනත් යන්ඩ වෙනවා.

ගමේ අනික කටයුතු වගේම ලොතරැයිය සංවිධානය කරන්නෙත් සමර්ස් මහත්තයා.එයාට විතරයි එහෙම පොදු වැඩකට නාස්ති කරන්ඩ තරං කාළයක් හරි ශක්තියක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. මනුස්සයා ගල් අඟුරු බිස්නස්කාරයා. රවුම් මූණක් තියෙන එයා හරි විනෝදකාමී කෙනෙක් බව අහන ඕන කෙනෙක් කියාවි. මිනිස්සු එයාට අනුකම්පා කලේ දරුවෙක් නැති හින්දමත් නෙවෙයි මනුස්සයගෙ ගෙදර උන්දෑ මහ කට සැර අම්මණ්ඩි හින්දා. එයා කලු පාට ලී පෙට්ටිය අරන් ඇවිල්ලා ඉඩම මැද්දේ තියන කොට සෙනග අතරින් පොඩි කසු කුසුවක් ඇතිවෙලා -පැතිරිලා -නැතිවෙලා ගියා.

ඔක්කොටම අත වනලා සුභ පතපු එයා අද ටිකක් පරක්කු උනා යාළුවනේකිව්වා.

තැපැල් කන්තෝරුවේ ලොක්කා, ග්‍රේව්ස් මහත්තයා ආවේ ඔහුට පිටිපස්සෙන්. කකුල් තුනේ කනප්පුවත් උස්සගෙන. මනුස්සයා කනප්පුව හරියටම ඉඩම මැද්දෙ තිබ්බා. සමර්ස් ගොයියා කළු පෙට්ටිය ඒ කනප්පුව උඩින් තිබ්බා. ගමේ මිනිස්සු තව ටිකක් පෙට්ටියෙන් ඈත් උනේ පෙට්ටියත් ඔවුනුත් අතරෙ පොඩි හිස් ඉඩක් හදමින්.

කාටද පුළුවන් මට ටිකක් උදව් කරන්ඩ? සමර්ස් ඇහුවා.

මාටිනුයි එයාගෙ ලොකු කොල්ලා බැක්ස්ටරුයි ඉස්සරහට ආවෙ පොඩි අදි මදි කිරීමකට පස්සේ. ඒ අයගෙ රාජකාරිය උනේ කනප්පුව උඩින් කළු පෙට්ටිය වැටෙන්ඩ දෙන්නෙ නැතුව අල්ලගෙන ඉන්න එක. සමර්ස් පෙට්ටියෙ ඇතුළෙ තිබ්බ තුන්ඩු කෑළි ටික හොඳට කලවං කලා.

කොහොමද මේ ලොතරැයිය ආරම්භ උනේ කියලා කාටවත් මතක නෑ. ඒ හේතුව හුඟ කාලෙකට ඉස්සරලා අමතක වෙලා ගිහිං. ඔය කනප්පුව උඩ තියෙන කළු පෙට්ටිය හදලා තිබ්බේ ගමේ ඉන්න වයසකම මනුස්සයා වෙච්ච වෝනර් සීයා ඉපදෙන්ඩත් කළින්. සමර්ස් ගොයියා නිතරම ගම්මුන්ට මතක් කරනවා මේ පෙට්ටිය අහක් කරලා අළුත් පෙට්ටියක් හදන්ඩ ඕන කියලා. ඒත් කවුරුවත් කැමති උනේ නෑ සම්ප්‍රදාය ඩිංගිත්තකින්වත් වෙනස් කරන්ඩ. දන්නවනේ අපේ ගම්වල මිනිස්සුන්ගෙ හැටි. ආය මම අමුතුවෙන් මතක් කරන්ඩ ඕන නෑනෙ. කවුද කෙනෙක් කිව්වා මේ පෙට්ටිය හදලා තියෙන්නෙ මීට ඉස්සර තිබ්බ පෙට්ටියක කෑලි වලින් කියලා. අන්න ඒ පෙට්ටියලු මේ ගමේ මිනිස්සු ඉස් ඉස්සෙල්ලාම පදිංචි වෙච්ච කාලෙ පාවිච්චි කලේ. හැම අවුරුද්දේම ලොතරැයිය අවසාන උනාම සමර්ස් ගොයියා කතා කරනවා අලුත් පෙට්ටියක් හදන්ඩ ඕන කියලා. ඒත් හැමදාම ඒ කතාව අමතක කරලා දාන එක තමයි ගමේ සිරිත. අම්මා අප්පා කාලේ ඉඳලා පැවතගෙන එන සිරිත් විරිත් එහෙම කඩ කරන්ඩ පුලුවන්ද. කලු පෙට්ටිය... කලු පෙට්ටිය කිව්වට දැන් ඒකෙ සායම ගිහිල්ලා ලීයෙ පාටත් පේනවා. තැනින් තැනින් ගුල්ලො ගහලා, ඇදවෙලා, කියන්නං වාලෙ කළු පෙට්ටිය කියන හිංදම කියනවා මිසක්ක ඒක කළුද නැත්තං වෙන පාටක්ද කියල නොදන්න කෙනෙකුට හිතා ගන්ඩත් බැරි තරම්.

ආදි කාලෙ පෙට්ටිය ඇතුලේ දාලා තිබ්බෙ නම් ලියපු ලී පතුරු. ඒත් මේ සම්ප්‍රදාය හැමෝටම අමතක වෙලා ගිහිං තිබ්බ හිංදා සමර්ස් ගොයියා ලී පතුරු වෙනුවට කඩදාසි කෑළි වල නම් ලියලා පෙට්ටිය ඇතුලට දැම්මා. පොර ඔය වෙනස සාධාරණීකරණය කරේ මෙහෙම.

ඉස්සර මිනිස්සු පොඩි ගානක් ඉන්න කොට ලී පතුරු පාවිච්චි කරන්ඩ පුලුවන් කම තිබ්බා. දැන් එහෙමද ගමේ තුන්සීයකටත් වඩා ඉන්නවා. දවසින් දවස කට්ටිය වැඩි වෙනවා. එතකොට කොහොමද ඔක්කොගෙම නම් එක පෙට්ටියක් ඇතුලට දාන්නේ?

කොහොම උනත් ලොතරැයියට ඉස්සෙල්ලා දවසේ රෑ, සමර්ස් ගොයියයි, ග්‍රේව්ස් උන්දැයි එක්කහුවෙලා තමයි හැමෝගෙම නම් ලියලා පෙට්ටිය ඇතුලට දාන්නේ. ඊට පස්සේ පෙට්ටිය පහුවදා උදේ වෙනකල් තියන්නේ සමර්ස් ගොයියගෙ ගල් අඟුරු කොම්පැනියේ කන්තෝරු කාමරේ සේප්පුවේ. ලොතරැයියට ඉස්සෙල්ලා දවස වෙනකල් ඔය පෙට්ටිය කොහෙ තියෙනවද කියලා මොකෙක්වත් හොයන්නෙ නෑ. එක කාලයක් ඕක ග්‍රේව්ස් උන්දැගෙ හරක් ගාලෙ තිබ්බ කියලත් හන්දියේ කොල්ලො කතා උනා.

ලොතරැයිය පටන් ගන්න එක නිකං ආවට ගියාට කරන්ඩ බෑ. ඒකට වෙනම වත් පිළිවෙත් තිබ්බා. චාරිත්‍ර වාරිත්‍ර තිබ්බා. හැම ගෙදරකම පවුලේ ප්‍රධානියන්ගෙයි, ගෙදර ඔක්කොම අයගෙ නම් ලැයිස්තුයි වෙන වෙනම හදන්ඩ ඕන. ඊට පස්සේ ලොතරැයියේ වැඩේ හොර බොරු වංචා නැතුව කරනවයි කියලා ප්‍රධාන තේරීම් භාර නිළධාරියා විදිහට සමර්ස්, තැපැල් ස්ථානාධිපති ග්‍රේව්ස් ඉස්සරහා දිවුරුම් දෙන්ඩ ඕන. එක කාලෙක තේරීම් භාර නිළධාරියා තමන්ගේ අපක්ෂපාතීබව ගැන කිසි තාලෙකට නැති ගීතිකාවක් ගයපු බවත්, තුණ්ඩු ගන්ඩ ඉස්සරහට එන ඔක්කොටම විශේෂ විදිහකට ආචාර කරපු බවත් සමහරු කිව්වත් දැන් ඒ සිරිත් අතුරුදහන් වෙලා ගිහිල්ලා.  දැන් කෙරෙන්නේ තුණ්ඩු ගන්ඩ එන අයට නිකං නම කියලා කතා කරන එක විතරයි. සමර්ස් මේ වැඩේට ටක්කෙටම ගැලපුනා. හොඳට හෝදපු සුදු කමිසයයි නිල් කලිසමයි ඇඳගෙන එක අතක් කළු පෙට්ටිය උඩ තියාගෙන මිනිහ ඉන්න හැටි හැබෑටම අපූරුයි.

සමර්ස් කතා කරලා නීති රීති පැහැදිලි කරලා ඉවර වෙනවත් එක්කම හචින්සන් අම්මණ්ඩි ඉඩමට දුවගෙන  දුවගෙන ඇවිත් මිනිස්සු ගොඩේ පිටිපස්සෙන්ම හිට ගත්තා.

හාංකවිසියක්වත් මතක නැති උනානෙ අද කවද්ද කියල එයා කිව්වෙ ඩෙලකෲ නෝනට. මං හිතුවෙ අපේ මිනිහ කළේට ගිහිං කියල දර කපන්ඩ. ඊට පස්සෙ පාර දිහා බලපුවම එක පොඩි එකෙක්වත් නෑ. එතකොටයි මතක් උනේ අද ජූනි 27 කියලා. මං මේ දුවගෙන ආවේ!! උන්දැ කිව්වෙ හති අරින ගමන්.

ආ.. තව වෙලාව තියෙනවා. දැන් කතාව ඉවර උනා විතරයි. ඩෙලකෲ නෝනා කිව්වා.

හචින්සන් අම්මණ්ඩි බෙල්ල දික් කරලා බැලුවා කොහෙද හචින්සන් ගොයියයි ළමයි ටිකයි කියලා. ඒ අය සෙනඟ ඉස්සරහින්ම ඉන්නවා. ඩෙලකෲ නෝනගෙ අතට පොඩි තට්ටුවක් දාලා යන්නම් කියල, ඒ උන්දැ සෙනඟ අතරින් ඉස්සරහට යන්ඩ පටන් ගත්තා. මිනිස්සුත් හිනා වෙවී උන්දැට යන්ඩ ඉඩ හදලා දුන්නා. මෙන්න හචින්සන් උඹේ සුරංගනාවි එනවා!! අප්පේ ඇති යන්තං වෙලාවටම ඇවිත්!! සමහර අය කුටු ගගා කතා කරමින් හික් හික් ගගා හිනා උනා.

මං හිතුවෙ ඔයා නැතුව අපිට ලොතරැයිය කරගෙන යන්ඩ වෙයි කියලා ටෙසී.. සමර්ස් හිනා වෙමින් කිව්වා.

මාව පිඟන් හෝදන්ඩ ගෙදර තියන්ඩ හිතුව මදි!! හචින්සන් උන්දැ කිව්වෙ රවමින්.

හරි දැන් එහෙනං අපි පටං ගම්මු. මේ වැඩේ ඉවර කරලා රස්සාවල්වලට යන්ඩත් එපායැ. තවත් කවුරු හරි අඩුයිද?

ඩන්බාර්...කීප දෙනෙක් කෑ ගැහුවා. ඩන්බාර් නෑ..ඩන්බාර් නෑ.

සමර්ස් එයාගෙ නම් ලැයිස්තුව බැලුවා...ආ ක්ලයිඩ් ඩන්බාර්..එයාගෙ කකුළ කැඩිලා නේද? කවුද එයාගෙ තුණ්ඩුව ගන්නේ?

මං හිතන්නෙ මටයි ගන්ඩ වෙන්නෙ...කවුදෝ ගෑණු කෙනෙක් කිව්වා. සමර්ස් හැරිලා බැලුවා ඒ කවුද කියලා. බැලින්නම් ඩන්බාර් ගෙ ගෑණි...

බිරිඳ ස්වාමියාගෙ තුණ්ඩුව ගන්නවා!! ඔයාට වැඩි විය පත් වෙච්ච පිරිමි දරුවෙක් නැද්ද ජෙනී? සමර්ස් එහෙම ඇහුවත් ඒකට උත්තරේ එයා වගේම මුළු ගමමත් හොඳටම දැනගෙන හිටියා. ඒත් ඒ ප්‍රශ්නේ අහන එක සමර්ස් ගේ රාජකාරිය.

හොරස්ට තාම දාසයක්වත් නෑ. ඩන්බාර් නෝනා කණගාටුවෙන් කිව්වා. ඒ හින්දා මේ අවුරුද්දේ තුණ්ඩුව ගන්ඩ වෙන්නෙ මටයි.

හරි... මම සටහනක් දා ගන්නම්. වොට්සන් ළමයාද මේ අවුරුද්දෙත් ගන්නේ?

උස පිරිමි ළමයෙක් සෙනඟ අතරින් ඉස්සරහට ආවා. ඔව්. මම තමයි අම්මගේ තුණ්ඩුවයි මගේ තුණ්ඩුවයි ගන්නේ. එයා එහෙම කිව්වෙ නොසන්සුන් කමින් ඇස් පිල්ලම් ගහමින්. සෙනඟ අතරින් කීප දෙනෙක්ම එක එක දේවල් කිව්වා..."ලැකී හොඳ කොල්ලා!! " ..."වොට්සන් අම්මණ්ඩි පින්කාරි, කොල්ලෙක් ඉන්නවනේ උන්දැගෙ තුණ්ඩුව ගන්ඩ!!".

හරි. එහෙනම් ඔක්කොම ඉන්නවා...ආ වෝනර් සීයා ආවද?

මේ මම ඉන්නවා!!. වෝනර් එහෙම කියද්දි සමර්ස් ඔලුව වැනුවා.

ඒ එක්කම හදිස්සියෙන් වගේ තද නිශ්ශබ්දතාවයක් පැතිරිලා ගියා.

හරි. එහෙමනං පටන් ගම්මු. දැන් මං නම් කියවනවා. ඉස්සරෝම ගෘහ මූලිකයන්ගේ නම්. ඒ අය ඇවිත් තුණ්ඩු කෑල්ලක් ගන්ඩ ඕන. හැමෝම තුණ්ඩු කෑල්ලක් ගන්න කල් තම්න්ගෙ අතේ තියෙන් තුණ්ඩු කෑල්ල දිහා බලන එක තහනම්. පැහැදිලිද? නොතේරෙන දෙයක් හෙම තියෙනවද?

මිනිස්සු මේ ලොතරැයියට කොච්චර වතාවක් සහභාගි වෙලා තියෙනවද කිව්වොත් ඔය උපදෙස් වලට කන් දෙන්ඩවත් කාටවත් ලොකු උවමනාවක් තිබ්බේ නෑ. හුඟක් අර බොහොම නිශ්ශබ්දව හිටියේ. සමහරු තමුන්ගේ තොල් පෙති ලෙව කමින් නොඉවසිල්ලෙන් හිටියා. එතකොටම සමර්ස් අතක් උස්සලා නම් කියවන්ඩ පටන් ගත්තා.

ඇඩම්ස්! එක මනුස්සයෙක් සෙනග ගොඩෙන් මෑත් වෙලා පෙට්ටිය පැත්තට ආවා.

කොහොමද ස්ටීව්? සමර්ස් ඇහුවේ ඇඩම්ස්ගෙන්.

හොඳින් ඉන්නවා ජෝ. ඔවුන් දෙන්නා එකිනෙකා දිහා නොසන්සුන්කමින් බැලුවා. ඊට පස්සේ ඇඩම්ස් කළු පෙට්ටිය ළංගට ගිහින් තුණ්ඩු කෑල්ලක් අරගෙන හදිස්සියෙන් වගේ ආපහු සෙනග ගොඩට ගියා. ගිහින් එයාගෙ පවුලේ කට්ටියට ටිකක් ඈතින් හිට ගත්තා. අතේ තියෙන කොළ කෑල්ල දිහා බලන්නෙවත් නැතුව.

ඇලන්...., ඇන්ඩසන්....., බෙන්තම්.. සමර්ස් නම් ලැයිස්තුව කියවනවා.

එක ලොතරැයියක් ඉවර වෙච්ච ගමන් ඊගාව ලොතරැයිය එනවා වගේ නේද දැන්? සෙනග අතර පිටිපස්සෙ පේළියේ හිටපු ඩෙලකෲ නෝනා කිව්වේ තම්න් ගාව හිටපු ග්‍රේව්ස් නෝනාට.

ඒක ඇත්ත. ගිය පාර ලොතරැයිය තිබ්බේ ඊයෙ පෙරේද වගේ නේද මතක?

කාලෙ යන ඉක්මන!!

ක්ලාක්...ඩෙලකෲ...

අන්න අපේ මනුස්සයා. ඩෙලකෲ නෝනා කිව්වේ උඩට ගත්තු හුස්ම පහලට දාන්නෙවත් නැතුව.

ඩන්බාර්...ඩන්බාර් ගෙ ගෑණි ඉස්සරහට යන්ඩ පටන් ගත්තා. ...යන්ඩ ජෙනී.. යන්ඩ...කවුදෝ කිව්වා.

ඊගාවට අපි..ග්‍රේව්ස් නෝනා කිව්වා. ග්‍රේව්ස් මහත්තයා පෙට්ටිය වටෙන් ඇවිල්ලා බොහොම ගරු ගාම්භීර විදිහට සමර්ස් ලොක්කට සුභ පතලා තුණ්ඩුවක් ගන්නවා ග්‍රේව්ස් නෝනා බලාගෙන හිටියා.

හර්බට්...හචින්සන්..

නැගිටපන් මිනිහො...හචින්සන් උන්දැ එහෙම කියන කොට මිනිස්සුන්ට හිනා ගියා.

ජෝන්ස්...

සමහරු කියනවා උතුරු පලාතේ ගම්වල මිනිස්සු දැන් මේ ලොතරැයි තියෙන එක නවත්තලා දාන්ඩ යනවයි කියලා. ඇඩම්ස් නෝනා කිව්වේ තම්න්ගේ ලඟින් හිටගෙන ඉන්න වෝනර් සීයාට.

මෝඩ හැත්ත!! වෝනර් සීයා ගෙරෙව්වා. දැන් ඉන්න කොල්ලො කෙල්ලොන්ට මොනවද කියහල්ලකො හොඳ? ඊගාවට උන් කියාවි ගල් ගුහාවල ජීවත් වෙන්ඩ යමු කියල. මොකෙක්වත් කැමති නෑ ඇඟපත හොල්ලලා වැඩක් කරන්ඩ.ඉස්සරනං කිව්වෙ ලොතරැයිය ජූනි වල - ඉරිගු එයි ලොකු මලු වලකියල. අස්වැන්න සාර වෙන්නෙ මේ ලොතරැයිය හින්ද කියලනේ දැනුම් තේරුම් තියෙන ඇත්තො කිව්වෙ!!  ඔය කොල්ලො කියන විදිහට කරන්ඩ ගියොත් නං අපිට කන්ඩ වෙන්නෙ ගස් වල කොළයි පොතුයි තමයි. ඕන්න මතක තියා ගනිල්ලා. ලොතරැයිය හැමදාටම තියෙන්ඩ ඕන!! අර... අර පේන්නැද්ද ජෝ සමර් ස් විහිළු කරන හැටි හැමෝ එක්කම.

සමහර තැන් වල දැනටමත් ලොතරැයිය නවත්තලා. ඇඩම්ස් නෝනා කිව්වා.

ඔය ගොන් වැඩ වලින් කරදරයක් මිස කවදාවත් හොඳක් නං වෙන්නෙ නෑ... ගොන් නාම්බෝ!!

මාටින්...!! බොබී මාටින් බලාගෙන හිටියා තාත්තා තුණ්ඩුව ගන්න විදිහ.

ඕවර්ඩයික්...පර්සි...

ඒ අය ඉක්මන් කරනවා නං හොඳයි. ඩන්බාර් කිව්වෙ එයාගෙ ලොකු පුතාට.

ඔක්කොම ඉවර වෙන්ඩ ළඟයි. පුතා උත්තර දුන්නා.

ඔයා දුවලා ගිහින් තාත්තට පණිවිඩේ කියන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ.

සමර්ස් එයාගෙ නමත් කිව්වා. ඊට පස්සේ ඉස්සරහට ගිහින් තුණ්ඩුවක් ගත්තා. ඊට පස්සේ වෝනර්!

මේ මං ලොතරැයියකට ආපු හැත්තෑ හත් වෙනි වතාව...එයා මිනිස්සු අතරින් ඉස්සරහට යන ගමන් කිව්වා. ඔව්...හැත්තෑ හත් වෙනි වතාව!!

වොට්සන්! උස කොලුවා සෙනග අතරින් ඉස්සරහට ආවා. ....නොසන්සුන් වෙන්ඩ එපා ජැක්...මිනිස්සු ආදරෙන් කිව්වා.

ඔයාට ඕන තරම් වෙලාව ගන්ඩ පුතා!! සමර්ස් මහත්තයා කිව්වෙ ජැක්ට.

සැනිනි!

ඔක්කොගෙම නම් ඉවරයි. ඊට පස්සේ දිග නිහඬ බවක්. හුස්මක් ගන්නේ, හුස්මක් වැටෙන්නේ නැති හිස් බවක්!!අන්තිමට සමර්ස් එයාගේ තුණ්ඩුව උඩට උස්සලා හරි යාලුවනේ කිව්වා.

එක මිනිත්තුවකට කවුරුවත් හෙල උනේවත් නෑ. ඊට පස්සේ හැමෝම තමුන්ගේ තුණ්ඩු කෑලි විවෘත කලා. එකපාරටම ඔක්කොම ගෑණු අය කතා කරන්ඩ පටන් ගත්තා. කවුද? කාටද හම්බ වෙලා තියෙන්නේ? ඩන්බාර් ටද?වොට්සන්ටද? ඊට පස්සේ එක පාරටම තවත් වටයක් කසු කුසුව පටන් ගත්තා...හම්බ වෙලා තියෙන්නේ බිල් හචින්සන්ට!!

ගිහිං තාත්තට කියන්ඩ..!! ඩන්බාර් නෝනා පුතාට කිව්වා.

මිනිස්සු වට පිට බලන්ඩ පටන් ගත්තා හචින්සන්ව හොයන්ඩ. බිල් හචින්සන් නිහඬව හිටගෙන තමන්ගේ අතේ තියෙන තුණ්ඩු කෑල්ල දිහා බලාගෙන හිටියා. එකපාරටම ටෙසී ඒ කියන්නේ හචින්සන්ගෙ බිරිඳ සමර්ස් ට කෑ ගහන්ඩ ගත්තා

උඹ ඉඩ දුන්නෙ නෑ මේ මිනිහට කල්පනා කරලා තුණ්ඩුවක් තෝරා ගන්ඩ ඕන තරම් වෙලාව ගන්ඩ. මං ඒක ඇස් දෙකින්ම දැක්ක නෙව. ඒක අසාධාරණයි.

ජය පරාජය දෙකම අපි පිළිගන්ඩ ඕන ටෙසී...ඩෙලකෲ නෝනත් ග්‍රේව්ස් නෝනත් දෙන්නම කිව්වා. අපි හමෝටම තිබ්බේ එකම අවදානම!

කට වහපිය ටෙසී...! බිල් හචින්සන් ගිගුරුවා.

හොඳයි. ඒ වැඩේ හොඳින් ඉක්මනටම ඉවර උනා. එහෙම නං අපි දැන් ටිකක් ඉක්මන් කරන්ඩ ඕන ඉතුරු වැඩ ටිකත් වෙලාවට කරන්ඩ. එහෙම කියලා සමර්ස් එයාගෙ ඊලග ලැයිස්තුව ගත්තා.

බිල්, ඔයා තමයි හචින්සන් පවුල වෙනුවෙන් තුණ්ඩුව ගත්තේ. තව පවුලේ කවුරු හරි ඉන්නවද හචින්සන්?

දොන් සහ ඊවා ඉන්නවා. ඒ අයටත් චාන්ස් එකක් දෙන්ඩ. ටෙසී හචින්සන් කෑගැහුවා.

දුවලා ගණන් ගැනෙන්නේ එයාලගේ ස්වාමි පුරුෂයන්ගේ පවුල්වලට ටෙසී. සමර්ස් බොහොම විනීතව කිව්වා. මේ අනිත් ඔක්කොමලා වගේ ඔයත් ඒ නීතිය දන්නවනේ.

ඒක අසාධාරණයි! ටෙසී කිව්වා.

මං හිතන්නෙ නෑ ජෝ. බිල් හචින්සන් කණගාටුවෙන් කිව්වා. මගේ දුවලා තුණ්ඩු ගන්නේ එයාලගේ ස්වාමි පුරුෂයින්ගේ පවුල් එක්ක. ඒක තමයි සාධාරණ. මගෙ පවුලේ වෙනිං කවුරුවත් නෑ පොඩි උන් ටික ඇරුනම.

ඒ කියන්නේ පවුල් විදිහට ගත්තහම ඔයා විතරයි ඉන්නේ තුණ්ඩු අදින්ඩ. හරිද?

හරි! බිල් කිව්වා.

ළමයි කී දෙනෙක් ඉන්නවද බිල්? සමර්ස් නිළ වශයෙන් ඇහුවා.

තුන් දෙනයි. කණිෂ්ට බිල්, නැන්සි එක්ක පුංචි ඩේව්. ඊගාවට ටෙසීයි මමයි.

හරි එහෙනං. හැරී ඔයා ඔක්කොම තුණ්ඩු ටික එක්කහු කර ගත්තද?

ග්‍රේව්ස් මහත්තයා ඔලුව වනලා කඩදාසි තුණ්ඩු ටික උස්සලා පෙන්නුවා

ඔය ටික පෙට්ටියට දාන්ඩ එහෙනං. සමර්ස් අණ දුන්නා. බිල් ගේ තුණ්ඩුවත් අරන් පෙට්ටියට දාන්ඩ.

මං හිතන්නේ අපි ආයෙත් මුළ ඉඳන්ම තුණ්ඩු ඇදිල්ල පටන් ගන්ඩ ඕන. ටෙසී පුලුවන් තරම් හිමිහිට, නිකං කොඳුරනවා වගේ සද්දෙන් කිව්වා. මං කියන්නේ ඒක සාධාරණ නෑ කියලයි. ඔයාලා අපේ මනුස්සයාට ඇති තරම් වෙලාවක් දුන්නෙ නෑ. හැමෝම දැක්කා ඒක.

ග්‍රේව්ස් මහත්තයා තුණ්ඩු පහක් විතරක් පෙට්ටිය ඇතුලට දාලා ඉතුරු තුණ්ඩු ටික බිමට දැම්මා. ඒ තුණ්ඩු හුළඟට අහුවෙලා ගහගෙන යන්ඩ පටන් ගත්තා.

හැමෝම අහගන්ඩලා...ටෙසී එයා වටේ හිටපු අයට කියන්ඩ පටන් ගත්තා.

බිල්, සූදානම්ද? සමර්ස් ඇහුවා. බිල් එක පාරක් තමුන්ගේ බිරිඳත් දරුවනුත් දිහා බලලා ඔව් කියලා ඔලුව වැනුවා.

මතක තියා ගන්ඩ. සමර්ස් කිව්වා. හැමෝම තුණ්ඩු අරන් ඉවර වෙනකල් තමන් ගන්න තුණ්ඩුව දිග ඇරලා බලන්ඩ තහනම්. හැරී, ඔයා පුංච් ඩේව්ට උදව් කරන්ඩ තුණ්ඩුවක් ගන්ඩ..... ග්‍රේව්ස් මහත්තයා පුංචි ඩේව්ගේ අත අල්ලා ගත්තා. ඩේව් කිසි කලබලයක් නැතුව පෙට්ටිය ගාවට ගිහින් තුණ්ඩුවක් ගත්තා.

ඩේව් ගෙ තුණ්ඩුව ඔයා ලඟ තියාගන්ඩ හැරී. ආයෙත් සමර්ස් කිව්වා. පුංචි ඩේව්, හැරී දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියේ මේ වෙන්නෙ මොකක්දැයි කිසිම තේරුමක් එයාට නොතිබ්බ හින්දයි.

ඊගාවට නැන්සි! නැන්සිට අවුරුදු දොළහයි.එයාගෙ ඉස්කෝලෙ යාලුවෝ උඩට ගත්තු හුස්ම පහළට දාන්නෙ නැතුව බලාගෙන හිටියා එයා තුණ්ඩුව ගන්න දිහා.

ඊගාවට කණිෂ්ට බිල්! එයාගෙ මූණ රතු වෙලා. නොසන්සුන්කම හින්දද කොහෙද තුණ්ඩුව ගනිද්දී තව ඩිංගෙන් පෙට්ටියත් පෙරළා ගන්නවා.

ටෙසී...! ටෙසී විනාඩියක් විතර වෙලාව ගත්තා කලපනාවෙන්. වටේට බැලුවා. ඊගාවට තොල තද කරගෙන පෙට්ටිය ගාවට ගිහින් තුණ්ඩුවක් ගත්තා. එයා තුණ්ඩුව තමන්ගේ පිටිපස්සට කරලා අල්ලගෙන හිටියා.

බිල්! බිල් අන්තිමට පෙට්ටිය ගාවට ගිහින් ඉතුරු වෙලා තිබ්බ තුණ්ඩුව ගත්තා.

සෙනඟ නිශ්ශබ්දයි. පොඩි ගෑණු ළමයෙක් කොඳුරනවා අපිටත් ඇහුනා. මං හිතනවා ඒ නැන්සි නෙවෙයි කියලා.

ඉස්සර මෙහෙම දේවල් උනේ නෑ. වෝනර් සීයා කිව්වා. ඉස්සර හිටපු මිනිස්සු වගේ නෙවෙයි නෙ දැන් ඉන්න මිනිස්සු!!

හරි දැන් තුණ්ඩු විවෘත කරන්ඩ. සමර්ස් කිව්වා. හැරී ඔයා පුංචි ඩේව් ගේ තුණ්ඩුව විවෘත කරන්ඩ.

ග්‍රේව්ස් තුණ්ඩුව ඇරලා හැමෝටම පේන්ඩ උඩට ඉස්සුවා. මිනිස්සු හැමෝටම සැනසුම් හුස්මක් හෙලුනේ හිස් තුණ්ඩුව දැකලා. දෙයියනේ ඇති යාන්තං... ඒ පුංචි ඩේව් නෙවෙයි එහෙනං.

නැන්සියි, පොඩි බිලුයි දෙන්නම තුණ්ඩු ඇරියේ එක වෙලාවට. ඔවුනුත් හිනා උනා. ඊට පස්සේ හැමෝටම පේන්ඩ හිස් තුණ්ඩු දෙක උස්සලා පෙන්නුවා.

ටෙසී... සමර්ස් කතා කරා. ඊට පස්සෙ තිබ්බෙ නිහැඬියාවක්. සමර්ස් බිල් දිහා බැලුවා. බිල් එයාගෙ තුණ්ඩුව දිග ඇරියා. ඊට පස්සේ ඔක්කොටම පේන්ඩ ඉස්සුවා. ඒක හිස්!!

එහෙමනං ඒ ටෙසී. අපිට එයාගෙ තුණ්ඩුව පෙන්නන්ඩ බිල්!

බිල් එයාගෙ බිරිඳ ගාවට ගිහින් එයාගෙ අතේ තිබ්බ තුණ්ඩුව බලෙන්ම වගේ ගත්තා. ඒ තුණ්ඩුවේ තිබ්බා කළු ලපය!! ඔව් සමර්ස් ඊයේ රෑ ගල් අඟුරු කොම්පැනියේ ඔෆිස් එකේ ඉඳන් තමුන්ගේ පැන්සලින් සටහන් කරපු කළු ලපය!!

හරි යාලුවනේ. අපි මේක ඉක්මනට ඉවර කරමු!!

මිනිස්සුන්ට අතීත චාරිත්‍ර වාරිත්‍ර අමතක වෙලා තිබුනත්, මුල්ම කළු පෙට්ටිය දිරා ගිහිල්ලා තිබ්බත් මේ ලොතරැයියේ අවසානය වෙනුවෙන් ගල් පාවිච්චි කරන්ඩ ඕන බව මිනිස්සු මතක තියාගෙන හිටියා.පොඩි ළමයි එක්කහු කරපු ගල් ගොඩ ඒ සඳහා සූදානමින්. සුලඟේ ආපු තුණ්ඩු කෑලි ඒ ගල් උඩ වැටිලා තිබුනා.

ඩෙලකෲ නෝනා කොච්චර ලොකු ගලක් උස්ස ගත්තද කියනවානං එක අතකින් උස්සගන්ඩ බෑ.. එන්ඩ එන්ඩ ඩන්බාර්..ඉක්මන් කරන්ඩ. ඩන්බාර් පොඩි ගල් කැට කීපයක් අතට ගත්තා. එයාට හුස්ම ගන්ඩ අමාරු බවක් දැනුනා. මට දුවන්ඩ බෑ. ඔයා ඉස්සරලා යන්ඩ. මං හෙමිහිට එන්නම්.

ළමයි ඒ වෙනකොටත් ගල් අහුලාගෙන. පුංචි ඩේවිටත් කවුදෝ ගල් කැට කීපයක් දීලා.

ටෙසී හිස් ඉඩමෙ මැද හිටගෙන හිටියා. එයා අත් උස්සගෙන බලාගෙන හිටියා ගමේ මිනිස්සු එයා දිහාවට දුවගෙන එනකොට

ඒක අසාධාරණයි එයා කිව්වා. එයාගේ ඔලුවේ පැත්තකට පළවෙනි ගල වැදුනා.

වෝනර් සීයා වරෙල්ලා ළමයිනේ වරෙල්ලා කියලා කෑ ගහනවා ඇහුනා. ස්ටීව් ඇඩම්ස් සෙනග ගොඩේ ඉස්සරහින්ම හිටියා. එයාට එහා පැත්තෙ ග්‍රේව්ස්.

ඒක අසාධාරණයි. ඒක වැරදියි ටෙසී මොර දුන්නා.ඒත් ඉක්මනින්ම ඒ හඬ නැතිවෙලා ගියා. ගල් එක්ක මිනිස්සු ඇය වසා ගත්තා!! 

 ----------------------------------------------------------------------------

කෙටි කතාව ඉවරයි. චන්දෙත් එක්ක අපි දිග කතාවකට යනවා. ඒ කතාවේ හචින්සන් නෝනා කවුද? පාට පෙට්ටියේ ඔක්කොම පාට වලින් එන වෝනර්ලා, ඩෙලකෲස් ලා, හචින්සන්ලා වගේම ග්‍රේව්ස් ලා සමර්ස් ලා ගැනත් හිතලා මතලා කතිරේ ගහපල්ලා මයෙ අම්මලා ඈ!

ඒ සඳහා ඔබට දුර දක්නා නුවණ පහල වේවා!!

11 comments:

  1. කතාව මසුරං. පරිවර්තනයත් ඉහලයි. ඔබ ආයෙ ලියන එක ඊටත් වඩා හොඳයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි පාඨකයන් ගේ මෙවන් දිරිගැන්වීම් මහත්
      ආශ්වාදනීය සතුටක් ගෙන එයි. ලිවීමට එයද උත්තේජනයකි .

      Delete
  2. නියම පරිවර්තනයක්

    ReplyDelete
  3. ඡන්දය දෙන්න සුදුසුද හැම දෙනම රටේ
    ගොඩ දෙන දන්නෙ නැහැ වෙනදේ හතර වටේ
    වැරදි ඡන්ද ගොඩ ගැහුණොත් හැටට හැටේ
    අපි සේරම නවතින්නේ මකර කටේ

    ReplyDelete
  4. හුම්... කතිර සටන නේ. දින්න එකාට ඉතීම් සුයිප් එකක් වාගේ තමා

    ReplyDelete
  5. ම කතාව පමණක් නොවේ චිත්‍රපටයත් (දෙකක්ම තියෙනවා) බැලුව. හැම වෙලාම හිතට දැනෙන වේදනව දැනෙනවා. චන්දය කියන්නෙත් එක අතකට එහෙම එකක් තමයි. ලක්මව කියල හිතුවොත්. අනර්ඝයි.
    මේ කෙටි චිත්‍රපටය.https://www.youtube.com/watch?v=s1TV1R1kK9A

    ReplyDelete
  6. අනිත් වර්ෂන් එක. https://www.youtube.com/watch?v=qyhNKjliXGc

    ReplyDelete
  7. ලියන එක නං නවත්තන්න හිතන්නවත් එපා. ඉක්මනින් පොතක් කරන්න.

    ReplyDelete