Wednesday, December 10, 2025

සූරියකාන්ත මල් සහ ගංජා මිටිය

 

චාල්ස් ඩිකන්ස් කියන එංගලන්ත ලේඛකයා- අපේ අප්පච්චිට අනුව නං ඒ.ජේ.ක්‍රොනින් තමයි හොඳම ඉංග්‍රීසි නවකථා කාරයා ඊට පස්සෙ ඉන්නෙ මේ කියන ඩිකන්ස් උන්දැ- ලියල තියෙනවා පොතක්. නම A Tale of Two Cities. ඕක සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දෙනුවර අන්දරය කියලත්. ඒ කොහොම උනත් මං මේ කියන්ඩ හදන්නෙ ඒ පොතේ මුල්ම පරිච්ඡේදය ගැන.

It was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of foolishness, it was the epoch of belief, it was the epoch of incredulity, it was the season of Light, it was the season of Darkness, it was the spring of hope, it was the winter of despair, we had everything before us, we had nothing before us, we were all going direct to Heaven, we were all going direct the other way—in short, the period was so far like the present period, that some of its noisiest authorities insisted on its being received, for good or for evil, in the superlative degree of comparison only.

ඒකෙ සිංහල පරිවර්තනයක් ගත්තොත් මට තේරෙන විදිහට මෙන්න මෙහෙමයි.

"එය වනාහී හොඳම කාළය විය. එමෙන්ම එය ඉතාම නරක කාළයද විය. එය බුද්ධි මහිමයේ යුගය විය. එමෙන්ම එය මුග්ධබවේ යුගයද විය. ඒ යුගය විශ්වාසයේ පරප්‍රාප්තිය මෙන්ම සැකයේ, අවිශ්වාසයේ සහ අතීරණයේ යුගයද විය. සියල්ල අප ඉදිරියේ තිබුණි. එහෙත් අප ඉදිරියේ කිසිවක් තිබුනේ නැත. අප සියල්ලන්ම කෙළින්ම දිව්‍ය ලෝකයට යන මාවතකට වැටී සිටියෙමු. එහෙත් එහි ප්‍රතිවිරුද්ධ දෙසට අප යන බවක්ද දිස්විය.කෙටියන්ම කිවහොත් ඒ යුගය වත්මන් යුගය මෙන්ම විය. සමහර ඉතා ඝෝෂාකාරීව සිය මත ඉදිරිපත් කරන අධිකාරයන් සපථ කල පරිදිම එය අන්තයන්ගේ යුගය විය. එක්කෝ ඉතා හොඳය. එක්කෝ ඉතා නරකය. සුදු හෝ කළු මිස අලු කිසිවක් නොවීය".

කට්ටකාඩුවට අන්තිමට පැලයක් හිටෙව්වෙ අවුරුදු එක හමාරකට විතර ඉස්සර. ජීවිතේ වගේම විවිධ හැල හැප්පිලි තිබ්බත් හීං සීරුවේ වැවේ සොරොව්වෙන් වතුර ගලාගෙන ගිහිල්ලා කුඹුරු සරුවට පැහෙන කල් කාටවත් වැවේ ආරක්ෂාවට තියෙන කට්ටකාඩුව මතක් වෙන්නෙ නෑ. මහ වැස්ස ඇවිල්ලා, සොරොව්වට දරා ගන්ඩ බැරි වතුරක් වැවට එක්කහු වෙනකොට තමයි කාට කාටත් වැව් බැම්මේ, කට්ටකාඩුවේ අගය තේරෙන්නේ. ඉතිං අපි ජීවත් වෙන්නෙත් අන්න එහෙම නා කපන වැහි වැටිච්ච අබුද්දස්ස කාලෙක වෙච්චි, මටත් ආයෙත් කට්ටකාඩුවට පැලයක් දෙකක් එක්කහු කරන්ඩ හිතුනා.



ඇත්තටම ලොකු මලයා අත්දැකපු ලොකුම විනාසේ තමයි මේ පහුගියදා ඇති වෙච්ච ගංවතුරයි නායයෑමයි. සුනාමියෙන් වෙච්ච අනතුර- ජීවිත හාණි විදිහට විශාල උනාට ආර්ථික, සමාජයීය විදිහට මේතරම් විශාල නෑ කියලයි මට හිතෙන්නෙ. මේ ගංවතුරයි නායයෑමුයි, ජාතියක් විදිහට ශ්‍රී ලාංකිකයන්ගෙ මතකයේ රැඳිලා පවතියි පරම්පරා ගණනක් යනතුරුම. ඉතිං ඒ තමයි මේ යුගයේ කලු බව- මුග්ධ බවේ, සැකයේ, අවිශ්වාසයේ, අතීරණයේ, අපායගාමීබවේ, හිස් බවේ සංකේතය! . කෝ එතකොට සුදු?  

සුදු එහෙම පෙනෙන්නෙ නෑ. මැණික් වගේ අපි අමාරුවෙන් මතු කර ගන්ඩ ඕන. හැබැයි ඒක එච්චර අමාරුත් නෑ. මං කියන්නංකො කතා දෙකක්. ඕං අහගන්ඩ.

Saturday, June 22, 2024

පුටු සැටිය

 

අපේ ගෙදර සාලයේ අපි පොඩි කාලයේ තිබුනේ වේවැල් පුටු කීපයකි. ඒවා අප්පච්චීට සල්ලි යහමින් තිබුනු ඈත කාළයකදී රදාවඩුන්නෙන් (මෙහි මුල් කතාවේ වේවැල් බඩු ගෙනාවේ වේවැල්දෙනියෙන් බව සඳහන් වීම වැරදි සහගත් බව පෙන්වා දුන් ප්‍රියන්තතුමාට නොවක් තුති!!) ගෙනා මිල අධික පුටුය. එහෙත් අපේ ගෙදර කවමදාකවත් කිසිම දෙයක් පෙනුමට පමණක් තිබුනේ නැත. ගෙදර අබ ඇටයක් තරම් හෝ දෙයක් තිබුනේ නම් ඒ පාවිච්චියටය. අප්පච්චීගේ නීතිය එයයි. හරියටම කිව්වොත් ඒ නීතිය අප්පච්චීගේ නොවීය. ඒ අම්මාගේ නීතියකි. ම්හ්...මතකය කියන විදිහට ඒ දෙන්නාටම එකිනෙකාට සුන්දර නෝක්කාඩුවක් නොකියා එකඟවිය හැකි යමක් තිබුනේ නම් ඒ මේ නීතියය. හොඳම දේ නොව හැමදේම දරුවන්ටය!

ඉතින් ගෙදරට එන ඕන කෙනෙකුට ගෙදර මැද සාලයේ තිබුණු වේවැල් පුටු සැටියේ ඉඳගැනීමට හැකිවිය. ඇත්තම කිව්වොත් වේවැල් පුටුවල් ඉඳ නොගත්තේ නම් ඉඳගන්නට තිබුනේ බිමය. අපි පොඩි කාළයේ පුටුවලද බිමද යන්නෙහි ලොකු වෙනසක් නොතිබුණෙන් ගෙදරට කවුරුන් හෝ පැමිණි විට අපි බිම ඉඳ ගැනීම මහ අරුමයක් නොවීය.



ඉතින් ඔහොම ටික කාළයක් යනවිට වේවැල් පුටු වලට මකුණන් බෝවිය. මකුණන් යනු මහා කරදරකාරී සතෙකුබව නොදන්නේ මකුණු කරදරය ඉතා අවම අද ඊයේ ඉපදුනෙකු විය යුතුය. අපි පොඩි කාළයේ පුටුවලද, මෙට්ට වලද, ඇඳන් වල දාරවලද බංකු වලද, පිචැර් හෝල්වල පුටුවලද කොටින්ම මිනිස්සු ඉඳගන්නා, නිදා ගන්නා, හේත්තු වී ඉන්නා ඕනෑම අටමගලයක මකුණන් වරදින්නේ නැත. ඉතින් අපේ ගෙදර් පුටුවල විතරක් මකුණන් නොඉන්නට හේතුවක් නැත.

Saturday, January 28, 2023

ලොතරැයිය

 

කෝච්චියේ ගියත්, බස් එකේ ගියත්, මළ ගෙදරකට, පිංකම් ගෙදරක්ට ගියත්, යාලුවෙක් එක්ක කතා කරත් මේ දවස් වල හැමෝගෙම කතාව ලඟ ලඟ එන්ඩ පුලුවන් චන්දේ ගැන. චන්දයක් කියන්නේ අපේ ගම් පළාතේ අයට නං පොඩි ලොතරැයියක් වගේ දෙයක්. හැමෝටම වගේ ඕන මන්ත්‍රීලා වෙන්ඩ. කසිප්පු මුදලාලිලාගේ ඉඳන් හොරෙන් ගස් කපන ගස් මුදලාලත්, හොර පොල් කඩන අයත්, අරගලයේ වාසිය ගන්ඩ මාන බලන ලංකාවෙ තියෙන තරමක් පක්ෂ වලින් මිට ඉස්සර ඉල්ලපු අයත් මේ පාර චන්දේ ඉල්ලනවා.  දේශපාලන පක්ෂ ගත්තත් අති දක්ෂිණාංශික ඉඳන් අති වාමාංශික දක්වා විවිධ කණ්ඩායම් පොර පිටියේ ඉන්නවා.

මේ අය අපිට ගේන ලොතරැයිය ගැන මට නං තියෙන්නේ බයකුයි, පිළිකුළකුයි. ගිනි පෙනෙල්ලෙන් කාපු බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. ඉතිං හිතේ කාංසිය යන්ඩත් එක්ක කෙටි කතාවක් කට්ටකාඩුවට ගේන්ඩ හිතුවා.



මේ ඇමරිකානු ජාතික Shirley Jackson, 1948 දි ලියපු The Lottery කෙටි කථාව හෙළ බසට නැඟුමකි. වෙනත් බසකින්, වෙනත් සංස්කෘතියක් අරභයා ලියැවුනක් තවත් සංස්කෘතියක වෙනත් බසකට නැඟුම අපහසුය. එනිසා බොහෝ අතපසුවීම්, දෝෂ සිදුවිය හැකිය. එනිසා සුධීහු කමත්වා!!!

Sunday, January 22, 2023

ආලයෙන් පාරාජිකාවීම හෙවත් මට නැත්තං තොටත් නෑ

 

අපේ සමාජෙට කාලෙන් කාලෙට අලුත් මාතෘකා එනවා. මේ මාතෘකා නිකම්ම එනවද, කවුරු හරි එවනවද, අපි ඒ මාතෘකා ගැන කතා කරන්ඩ ඕනද නැද්ද වගේ අපේ ගමේ බාසාවෙන් කියනවා නං මහප්පරාණත් ඒත් එක්කම එනවා. ඔය මාතෘකා ඇතුලේ කතා කරන අය වගේම එහෙම කතා කරන්ඩ විරුද්ධව මහප්පරාණ කියවන අයත් කරන්නෙ අර මාතෘකාව වටේම යන එක තමයි.

මේ දවස්වල ලංකාවෙ මාතෘකාව කොළඹ විශ්ව විද්‍යාලෙ සිසුවියක් ඇගේ පරණ පෙම්වතා අතින් ඝාතනය වීම. ඒ ගැන පරණ කවි සිංදු වල ඉඳන් ෆේස්බුක් පෝස්ට් දක්වා අටෝ රාසියක් ලියවිලි මම දැක්කා. ඒ කිසිම එකක මම නොදැක්ක කාරණයක් තියෙනවා. ඒ තමයි ඒ ළමයි දෙන්නා තමුන් කරන්නෙ මොකද්ද කියන එක ගැන දැනගෙන හිටියාද එහෙම නැත්තං කරන්ඩ යන දේ ගැන පැහැදිලිව අනෙකාට සන්නිවේදනය කරාද කියන එක. වෙන්ඩ ඇත්තෙ මෙහෙමයි කියල දැන් අඬලා වැලපිලා පලක් නෑ. දෙන්නම තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙවලා ඉවරයි. හෝව් හෝව් අනීවාරතේ ටිපර් වෙන්ඩ එපා. එක්කෙනයි මැරුනේ අනිකා හොඳින් ඉන්නවා කියල හිතන්ඩ, කියන්ඩ එපා. ඒ කොල්ලා (මේ සිද්ධියේදි කෙල්ල මැරිලා කොල්ලා හිරගෙට ගියාට හෙට අනිද්දා කොල්ලා මැරිලා කෙල්ල හිරගෙට යන්ඩ පුලුවන්. එහෙම සිද්ධි ලංකාවෙ එච්චර නොවුනට වෙන රටවල්වල ඕන තරං වෙලා තියෙනවා). හැබැයි අපේ අත්දැකීම් බෙදා ගම්මුද අනාගත තරුණ පරපුරත් එක්ක. කොහොමද හරියට ලව් කරන්ඩ පටන් ගන්නේ කියලා? අපි ඒ ගැන කතා කරලා තියෙනවද? සමාජයක් විදිහට අපි ආදරය කතා නොකලයුතු තහනම් මාතෘකාවක් විදිහට පවත්වා ගන්නා තාක් නොලැබුනු ආදරයක් වෙනුවෙන් වන තරුණ මරණ අපිට අහන්ඩ ලැබේවි.



කාලෙකට පස්සෙ මට ලැබිච්ච පොඩි නිවාඩුවක්, මේ මාතෘකාව ගැන මගේ සත දෙක ඉදිරිපත් කරන්ඩයි මේ උත්සාහෙ. මොකද කියන්නෙ? කියවලා බලමුද?

Sunday, August 28, 2022

සේසතේ දේවතාවී

 

මට කොහොමත් සිංහලෙන් අකුරු ටයිප් කරන්න හරි අමාරුයි අපි අයිති වෙන්නේ සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසිත් ‘ඒ කෝ බී කෝ’ ක්‍රමයට ටයිප් කරන්න පුරුදු වෙච්ච පරම්පරාවකට. ඉතින් කීබෝඩ් එකේ තියෙන ඉංග්‍රීසි අකුරු ටයිප් කරගන්න අමාරු වෙනවා නම් කීබෝඩ් එකේ පේන්ඩ නැති, ඒ වගේම සාපේක්ෂකව වැඩි අකුරු ප්‍රමාණයක් තියෙන සිංහල ටයිප් කරන්න කොච්චර අමාරු ද කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. දෙදහස් තුන හතර වගේ අවුරුදු වදී මම සිංහල ටයිප් කරේ symbol විදිහට insert කරලා. ඒ විදිහට වාක්‍යයකට දෙකකට  වඩා ටයිප් කරන්න හොඳ ඉවසීමක් වගේම පැයක දෙකක කාලයකුත් ඕන වෙනවා. ඊට පස්සේ google transliteration කියන සේවාව පාවිච්චි කරලා තමයි සිංහල අකුරු ටයිප් කරේ. ඇත්තටම බ්ලොග් එකේ මුල්ම ලිපි බොහොමයක් ලියවුනේ මේ translitaration ක්‍රමයට. ඊටත් පස්සෙ හෙළකුරු app එක පාවිච්චි කරලා ලිපි ලියන්න පටන් ගත්තා. එන්න එන්න අඩු කාලයකින් වැඩි පහසුවකින් සිංහලෙන් ලියන එක කරගන්න මේ මෙවලම් හින්දා පුළුවන් වුණා.

ගිය සතියේ මට ඉගෙන ගන්න හම්බවෙච්ච මට අලුත් ක්‍රමයකට තමයි මේ ලිපිය ලියන්නේ. ඒ තමයි google docs මෙවලමේ ඇති කථන-ලිඛිත පහසුකම පාවිච්චි කරලා. අපිට ඕන විදිහට කතා කරනකොට google සිංහලෙන් අපි කියන දේවල් ලියලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් නැතුව නෙමේ. හැබැයි වඩා ඉක්මනින් පහසුවෙන් සිංහලෙන් යමක් ටයිප් කරන්න මෙය හසු ක්‍රමයක්. අවශ්‍ය කරන එකම දේ ටිකක් හොඳ අන්තර්ජාල පහසුකමක් විතරයි. කාට හරි මේ ක්‍රමය ගැන දැනගන්න ඕන නම් මම දන්න දේවල් කියලා දෙන්න ලෑස්තියි.

ඊට කලින් අපි කට්ටකාඩුවේ අද කතාවට බහිමු. පහුගිය දවසක මම කල්පනා කර කර හිටියා ලංකාවේ දැනට ඇති වෙලා තියෙන ආර් ථික අවපාතය හින්දා අවුරුදු හැට හැත්තෑ ගණන් ගණනක් තිස්සේ ඇති කරගත්තු, ලබාගත්තු මහර ජයග්‍රහණ නැති වෙලා යනවා නේද නේද කියලා. උදාහරණයක් විදිහට අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ ක්ෂේත්‍රවල ලබපු ජයග්‍රහණ පෙන්නලා දෙන්න පුළුවන්. අපි පරම්පරා ගණනක් තිස්සේ ආයෝජනය කරලා මන්දපෝෂණය වගේ ප්‍රශ්න සෑහෙන මට්ටමකට විසඳ ගත්තා. ඒත් වත්මන් දරු පරම්පරාව මේ ආර් ථික ප්‍රශ්නත් එක්ක ආපහු පරම්පරා ගණනකට ඉස්සර තිබුණු තත්ත්වයට ආපස්සට ගණන් ගමන් කරලා කරනවා නේද කියලා මට හිතෙනවා.

 


 එහෙම ඇතිවෙන පෝෂණ ඌනතා එක්කම හිතන පතන විදිහ විදිහෙත් ඌනතා අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්. අද මම කියන්න යන කතාව එහෙම එකක්. උපුටා ගන්නේ සද්ධර් මාලංකාරය කියන පරණ බණ පොතෙන්. මේ පොත ලිව්වා කියලා විශ්වාස කරන්නේ ගම්පොළ යුගයේදී