මේ ලඟදි අපි ගියා ආරණ්‍ය සේනාසනේකට දානයක් දෙන්ඩ. එහෙ
හාමුදුරුවරු වැඩ ඉන්නේ 10-12 විතර. පැවිද්ද බලාපොරොත්තුවෙන් ඉන්න අයත්, ආවතේව වලට ඉන්න අයත්
එක්ක ඔක්කොම 15 විතර. හැබැයි මේ දානේ පිළියෙළ කරන්ඩ 20-25 විතර කට්ටියක් ගියා.
ඉතින් මේ දානෙට උයන පිහන දේවල් මොනවද කියල අපි කල්පනා කරන්ඩ පටන් ගත්තේ මාසෙකට
විතර ඉස්සර ඉඳන්. හැබැයි ඒ තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොච්චර කාර්යක්ෂමද කියනවනම්
දානේ හෙට කියල අද දවල් වෙනකලුත් එකතු කිරීම්, අඩු කිරීම්
උනා.
අන්තිමට දානේ ඉවර උනාමයි දැනගත්තේ 50 විතර සෑහෙන්ඩ හදපු සමහර ව්‍යාංජන හට්ටිය
පිටින්ම අතුරුදහන් වෙලා කියලා. සමහරක් ව්‍යාංජන හිටපු කට්ටියෙන් බාගෙකටත් මදි.
සමහරක් මාළු පිනි තව හැටකට හැත්තෑවකට උනත් කෑම දෙන්ඩ තරං වැඩියි. අන්තිමට දානෙට බැහැලම
වැඩකරපු දෙතුන් දෙනෙකුට ඉතුරු උනේ බතුයි, මැල්ලුමකුයි, කොහිල මාලුවකුයි
විතරයි.විතරයි. අපේ පැත්තේ ඕනෑම දානේ ගෙදරක සන්සිතෑසිය මේක උනාට මං හිතුවේ නෑ 30-40 දෙනෙකුට හදපු කෑම මේ
තරමට මදි වෙයි එහෙම නැත්තං වැඩි වෙයි කියලා. අනේ අපි තියන විදිහට කමු ආය මොකද අපි ඔව්ව නොකාපු දේවල්යැ…. වැඩිපුර තියන එව්වා
ඔතාගෙන ගෙදර ගෙනියමු… කියල අපි හිත
හදා ගත්තට එහෙම කරන්ඩ බැරි වෙච්ච කාලයක් ගැන මට මතක් උනා. අද කතාව ඒ ගැන.
මහ ඉලුප්පල්ලමේ ඉන්දැද්දී වෙච්ච සිද්ධි කීපයක් මං මීට
ඉස්සරත් කියල තියනවනේ. එව්වා ඔක්කොම මගේ යාලුවන්ට වෙච්ච දේවල්. ඉතින් මං හිතුවා ඔය
MI කාලේ මට වෙච්ච
සිද්දියකුත් කියන්ඩ.
MI ඉන්න කාලේ අපේ
බැච් එකේ ළමයි 160 විතර හිටියා.
ඉතින් ගමන් පහසුකම් අඩු, බාහිර සේවා
සපයන්නෙක් විසින් පවත්තගෙන යන කැන්ටිමක් වගේ දෙයක් නැති (ලාභදායක විදිහට කැන්ටිමක්
පවත්තගෙන යන්ඩ තරම් කට්ටියක් හිටියෙ නෑනෙ බැච් එකේ) ඒ වගේම මහපොළ සහනාධාරෙන් ජීවත්
වෙච්ච ළමයි බොහෝ ගණනක් හිටපු හින්දම අඩු මිලට කෑම වේලක් ලබා ගැනීම අත්‍යවශ්‍ය
වෙච්ච වටපිටාවක් තමයි MI වල තිබ්බේ. මං
හිතන්නේ මේ ප්‍රශ්න අපිට කලිනුත් තිබ්බා, දැනුත් ඇති. කැම්පස් එක ගානේ කෝකියෙකුත්, සහායකයෙකුත්,
උයන පිහන් බදු සැට් එකක් එක්ක නොමිලේ ගෑස් සැපයුමකුත්
දීලා තිබ්බත් 160 කට දවසට තුන්
වේලක් කෑම දෙන එකයි, තේ තුන්
පාරක් දෙන එකයි ලේසි වැඩක් නෙවෙයි. ඉතින් විකල්පේ උනේ ස්වේච්චා කණ්ඩායමක් මේ වැඩේට
සහයට පත් කර ගන්න එක. අන්න එහෙමයි ෆුඩ් ග්රූප් බිහිවෙන්නේ.
බැච් එක කොටස් 15 කට බෙදන්නේ අපි එහෙ ඉන්න සති 15 ට එක කණ්ඩායම
ගානේ වැටෙන්ඩ. සාමාන්‍යයෙන් එක කණ්ඩායමකට 10-12 විතර වැටෙනවා එතකොට.
ඉන් 5-6 ගෑනු ළමයි. 3-4 පිරිමි ළමයි.
එකතුව 8-10 විතර නේද ඒක
ඉස්සරලා කියපු ගානත් එක්ක බලපුවාම 1-2 වෙනසක්
තියනවා නේද කියල ඔය නෝනලා මහත්තැන්ලා අහයි. උන් තමයි මේ දෙගොඩටම නැති එව්වෝ. ඒ
කියන්නේ නම තිබ්බට මෙලොව වැඩකට නොඑන ගොබිලෝ!!
ඒ කොහොම උනත් මෙන්න අපි ෆුඩ් ග්රූප් එක කරන්ඩ ගිහින් මූණ
දීපු කතා දෙකක්.
ෆූඩ් ග්රූප් එක වැඩ පටන් ගන්නේ බදාදා හවස. බැච් එකේ එක
ළමයෙක්ගෙන් සතියකට රුපියල් 400 එකතු කරනවා මට මතක විදිහට. එතකොට එක්කහු වෙන සල්ලි ටික
අදාළ ෆුඩ් ග්රූප් එකේ ලීඩර්ට දෙනවා. අපේ ග්රූප් එකේ ලීඩර් උනේ ඩව්වා. ඉතින්
අගහරුවාදා රෑ අපේ ග්රූප් එකේ රැස්වීමක් තිබ්බා ඊළඟ සතියේ මෙනු එක හදන්ඩ. බ්‍රහස්පතින්දා
උදේ ඉඳන් ඊලග සතියේ බදාදා රෑ දක්වා හැම වේලටම ළමයින්ට කන්ඩ දෙන්නේ මොනවද, තේ දෙන්නේ
කොහොමද (කිරි තේ ද? ප්ලේන් ටී ද
නැත්නම් කිරි කෝපි ද) යනාදී දාහක් ප්‍රශ්න වලට උත්තර හොයන්නේ මේ රැස්වීමෙදී. අනික්
අතට එළවලු වර්ග උයන්නෙ පිහන්නෙ කොහොමද කියලත් ඒ කියන්නේ නිකම්ම උයනවද, තෙල් දානවද, බදිනවද, තෙල් දාලා
උයනවද, පොල් කිරි
දාලා උයනවද...... සමහරු පරිප්පු කන්නේ නෑ සමහරු පාන් කන්නේ නෑ...ඊයා ඔය ජරාව මට නං
පේන්ඩ බෑ....බැයිද එක දවසක වත් චිකන් ඩෙවල් එකක් එක්ක ෆ්‍රයිඩ් රයිස් දෙන්ඩ
කට්ටියම සන්තෝසෙන් කයි...එහෙම කොහොමද මස් මාළු කන්නේ නැති අයට කන්ද දේවල් තියෙන්ඩ
ඕන...අපේ අම්ම හරි රහට පොලොස් හදනවා මෙහෙ ආවත් හරි පොලොස් කෑවෙම නෑ බැරි වෙයිද
දන්නේ නෑ පොලොස් ඇඹුලක් හදන්ඩ අනික ඉතුරු උනොත් ඊළඟ වෙලටත් ගන්ඩ පුළුවන් නරක
වෙන්නේ නෑ...... අපේ අම්මේ තියන ප්‍රශ්න!!!!
මේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ඊ ලඟට යන්ඩ ඕන ලොකු බාසුයි
ටාසන් අයියයි ගාවට. ඒ කියන්නේ ප්‍රධාන කෝකියයි එයාගේ අත් උදවු කාරයයි. යන එක
නෙවෙයි ප්‍රශ්නේ මුන් දෙන්නා බීලා නැති විවේක වෙලාවක් හොයා ගන්න එක!! උදේ හතරට
විතර පටන් ගන්න මේ දෙන්නගේ රාජකාරි ඉවර වෙන්නේ රෑ එකොළහට විතර. ඔය අතරේ නා ගන්ඩ
හරි දවාලේ පොඩි ඇලට් එකක් දාන්ඩ හරි යන වෙලාවට අමතරව හුස්ම ගන්ඩවත් වෙලාවක් නෑ.
ඉතිං ලොකු බාසුයි ටාසන් අයියයි බලා ගෙන ඉන්නේ රෑ එකොළහට විතර පොඩි අඩියක් ගහලා
නිදා ගන්ඩ. ඔන්න ඔය වෙලාවේ තමයි අපේ කණ්ඩායමේ අත්
අඩංගුවට මේ දෙන්නා පත් වෙන්නේ. ඉතිං කියපල්ලකෝ වේල් දෙකක් කට්ටියටම දෙන්ඩ
බෝංචි කිලෝ කීයක් ඕනද කියලා...ආ මුළු සතියටම මෙන්න මේ මේ බැදුම් වර්ග හදන්ඩ කොච්චර
තෙල් ඕනද කියලා....කිරි පිටි පැකට් කීයද? කිරිබත් දෙනවනම් තව පොල් ගෙඩි කීයක් ඕනද ? ඉතුරු වෙච්ච
තුන පහ තියනවනම් අපි ගේන්ඩ ඕන කොච්චරක්ද? ඔය වගේ ප්‍රශ්න 6000-7000 කට පස්සේ
ලොකු බාස්ටයි ටාසන් අයියටයි නිකම්ම නින්ද යනවා. අපි එතනින් එන්ඩ එනවා. ආපුහම මතක්
වෙනවා ඉතාම වැදගත් ප්‍රශ්නයක් අහන්ඩ අමතක උනා නේද කියලා...ඉතින් ආපහු යනවා ගිහිං
අර නිදා ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ව ඇහැරවලා අහනවා "අයියේ ලන්ච් ෂීට් 2,000 ක්ම ඕනද 1,800 තිබ්බොත් මදි
වෙයිද?" කියලා.
මේ විදිහට තිතට ගණන් හදන්නේ මොකද දන්නවද? එක්කහු කරන
ගානින් සතියක් කන්ඩ දෙන්ඩ අන්තිම අමාරු හිංදා. අනික පහුගිය සතිවල තිබ්බ ෆුඩ් ග්රූප් වලට වඩා හොඳට කෑම දෙන්ඩ පොඩි
තරගෙකුත් තියන හිංදා. ඒක මේ ලොකුකම පෙන්නන්ඩම කරන වැඩක් නෙවෙයි. පහුගිය වතාවල් වල
කෑම අවුල් උනාම ඒ ඒ ෆූඩ් ග්රූප් සාමාජිකයන්ගේ දෙමවුපියෝ පවා බැනුම් අහපු බව මතක්
වීමත්, ඒ ෆූඩ් ග්රූප්
වල අසාර්ථක බාවය ඉහලිම්ම පෙන්නලා දීම හිංදා මේ ග්රූප් එකේ සාමාජිකයන් දෙතුන්
දෙනෙකුටම රිටන් එක දෙන්ඩ උන් බලාගෙන ඉන්නවා කියලා අපි හොදාකාරවම දැනගෙන හිටපු
හින්දත් යන කාරනා තමයි මේ අහිංසක තරගෙට මුල.
ඉතින් කොහොමින් කොහොමින් හරි ඕන කරන බඩු ලැයිස්තුව හදා
ගෙන අපි බදාදා හවස හයර් එකට ගත්තු පොඩි වෑන් කබලකට ගොඩ වෙන්නේ දඹුල්ලේ වෙළඳ මධ්‍යස්තානෙට
යන්ඩ. වල ඉඳලා දඹුල්ලට එච්චර දුරක් නෑ. අනික් අතට තොග පිටින් එළවලු ගන්ඩ වෙන ලාභ
තැනකුත් නෑ. අපේ සතියෙදි ඩව්වා විතරක් ටිකක් හොඳට ඇඳලා මේ ගමනට ලැස්ති උනත් අපි
ඉතුරු කොල්ලෝ ටික ඔක්කොම ෆීල්ඩ් එකේ වැඩ කරන්ඩ අඳින 'මඩ කිට්' එකෙන්ම
සැරසුනේ අපිට පැවරෙන්නේ එළවලු ගෝනි කර තියාගෙන වෑන් එකට ගෙන ඒම වගේ රාජකාරි හිංදා.
අනික් අතට පොළට පිටින් ගන්න දේවල් වලට කඩවල් ගානේ ගිහිල්ල බඩු අරගෙන උස්සගෙන එන්ඩ වෙන්නෙත්
ඩව්වටම තමයි. මොකද අපි මේ විදිහට ටවුමකට බැස්සොත් හිගන්නෝ කියල පාරේ යන මිනිස්සු
රුපියල දෙක දෙන්ඩ පටන් ගන්ඩ ඉඩ තියන හිංදා.
ඉතිං අපි දඹුල්ලටත් ගිහිං වෑන් එක තැනක නවත්තලා, පොළ ඇතුලට
ගියා. ටික වෙලාවකින් මගේ කර පිටට බෝංචි ගෝනියක් පැට උනේ වෑන් එකට ගෙනිහින් දාන්ඩ.
දැන් මම මඩ කිට් එකත් ගහගෙන බෝංචි ගෝනිය
කරේ තියාගෙන වෑන් එක දිහාට එනවා. දඹුල්ලේ පොලේ ඉන්න දාහක් සෙනග අතරේ එක පාරටම මං
ඉස්සරහින් මතු උනේ පොඩි බණ්ඩයියා. මනුස්සයා තමයි අපේ ගමේ එළවලු එක්කහු කරලා
දඹුල්ලේ පොළට ගෙනිච්චේ ඒ කාලේ. මේ ඌමද ඒ වගේ වෙන එකෙද්ද කියල මං සැක කරද්දි පොර
මාව අඳුනා ගත්තා.
“ආ...ම්...මල්ලි
මෙහෙ?”
“ඔව්….. අයියා අපි දැන් මහ
ඉලුප්පල්ලමේ නේ ඉගෙන ගන්නේ..”
“ඉතින් මේ
එළවලු ගෝනියක් කර ගහගෙන...?”
මගෙ හිතට නිකං හොල්මනක් දැක්ක වගේ පොඩි සීතල ගතියක්
දැනුණා. මං ටකස් ගාල එළවලු ගෝනිය බිමින් තියල පොඩි බණ්ඩයියට පැහැදිලි කරලා දුන්නා
අපි ඇයි දඹුලු ආවේ කියල. මොකද මිනිහ ගමේ රොයිටර් කෙනෙක්!!
“හා...හා...යංකො
මාත් උදවු කරන්නං ගෝනිය ගෙනියන්ඩ!!” කියල මූ මාත්
එක්ක වෑන් එක ළඟටම ආවා.
ඒත් එක්කම මඩ කිට් එක පිටිං තව අපේ සෙට් එකේ දෙතුන්
දෙනෙකුත් එතෙන්ට ආවා එළවලු ගෝනි කරේ තියාගෙන. මං උන්ව පොඩි බණ්ඩයියට අඳුන්නලා
දෙන්ඩ පටන් ගත්තා විතරයි ක්ලීන් සූට් පිට හිටපු ඩව්වා එතෙන්ට පාත් උනේ යකා නැගලා.
“මොකද බල්ලෝ
මෙතෙන්ට වෙලා කරන්නේ තව එළවලු ගෝනි හයක් තියනවා අතන වරෙල්ල ඉක්මනට වැඩේ ඉවර
කරන්ඩ!!!” මූ මහා මුදලි
වගේ අපිට අණ දුන්නා!!!
“හා...හා...මල්ලිලා
යන්ඩ මටත් පරක්කු වෙනවා...” කියපු පොඩි
බණ්ඩයියා එතැනින් මාරු උනා.
අපි එළවලු ටිකත් අරන් ආපහු ගියා. මටත් ඔය සිද්දිය අමතක
උනා. සති දෙක තුනකට පස්සේ ගෙදර ආපු වෙලාවක අම්මා මට කිව්වා පොඩි බණ්ඩයියා මාව
දඹුලු ආර්ථික මධ්‍යස්තානෙදී එළවලු අදිද්දී හම්බ වෙච්ච බව ගමේ යාන්තන් විසි තිස්
දෙනෙකුට විතරක් කියලා තිබුණු බව. ඌ කියලා තියෙන්නේ මං ගමට ලජාවට කිව්වට කැම්පස්
එකේ ඉන්නේ කියලා ඇත්තටම දඹුල්ලේ එළවලු අදින බව. ඌට හය හත් පාරක්ම හම්බ උනාලු මාව
නාට්ටාමි වැඩේ කරද්දි!!!!
ඌ ඔය කතාව අයෙමත් ඇදලා ගත්තේ අවුරුදු හය හතකට පස්සේ. ඒ
කාලේ මම කැම්පස් එකෙන් අවුට් වෙලා රස්සාවක් කරනවා. ඔය අස්සේ ආණ්ඩුවෙන් උපාධිදාරී
අභ්‍යාසලාභී පත්වීම් දෙන්ඩ පටන් ගත්තා.
“මල්ලි ආණ්ඩුව
රස්සා දෙනවා නේද?” දවසක් පොඩි
බණ්ඩයියා මගෙන් ඇහුවේ ගමේ මහ ලිඳ ගාවදි (අර මම හොල්මනකට බය උන කතාවේ තිබ්බ මහා
ලිදම තමයි මේ).
“ඔව්… අයියා”
“මල්ලිටත් එකක්
හම්බෙයි නේ?”
“නෑ අයියා...මම
ඉල්ලුවේ නෑ”
“ඒ මොකද
ආණ්ඩුවේ රස්සාවක් එපා කියන්නේ”
“ආණ්ඩුවේ අභ්‍යාසලාභී
රස්සාවක් කරලා අපේ තියන ප්‍රශ්න මේ කපේට විසඳ ගන්ඩ හම්බෙන්නේ නෑ අයියා. එකයි
ඉල්ලුවේ නැත්තේ”.
“හා...” එහෙම කියලා ඌ වෙන
මොනවද මාත් එක්ක කතා කර කර ඉඳල යන්ඩ ගියා.
එදා හවසම කඩේ ගාවදි මූ කියල මෙන්න මෙහෙම.
“දැන් ඔය ලොකු
මල්ලි උපාධියක් ගත්ත කිව්වට අපි කවුද ඕක දැකල තියෙන්නෙ.අනික එහෙම එකක් තියනව නං
ආණ්ඩුවේ රස්සාවක් එපා කියයි යැ!! මට දෙතුන් දොහක්ම දඹුල්ලෙදී හම්බ උනා ඉස්සර
එළවලු ගෝනි උස්සනවා. මං හිතුවේ ඉගෙන ගන්ඩ සල්ලි හොයා ගන්ඩ කියල!!!”.
ඔන්න ඔය විදිහටයි මම MI වල ෆූඩ් ග්රූප් හින්ද පොඩි පොඩි රස්සාවල් කරන්ඩ තිබ්බ
ලැජ්ජාව නැති කර ගත්තේ!! දැන් මට ඕන රස්සාවක් කරලා බය නැතුව ගමට යන්ඩ පුළුවන්!!!.
ෆුඩ් ග්රූප් එකේ දෙවෙනි කතාව තව ටික දවසකින් කියන්නං.
එතකල් මතක තියා ගන්ඩ අපි හරි සිම්පල් දෙයක් කියල හිතුවට ගෙදරට ඕන කරන දේවල් හරියටම
ගණන් හදල කඩෙන් ගේනවා කියන එක හරි අමාරු වැඩක්. මං මේ 160 කට කන්ඩ දීපු
අත්දැකීමෙන් කියන්නේ. ඉතිං ඒ වැඩේ කරන කෙනා අතින් පොඩි පොඩි අතපසුවීම් උනා කියල
තරහ ගන්ඩ එපා.
+++++++++++
ReplyDeleteස්තූතියි ප්‍රා ජේ!!
Deleteකාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවනං මුට්ට කරගහල සල්ලි හම්බකරත් මොකද. ඔය වගේ තැනකින් පටං ගත්තොත් ආයෙ කිසිම වෙලාවක වරදින්නෙ නෑ.
ReplyDeleteඔය වගේ උයන සීන්නං කීයටවත් ලේසියෙන් හැන්ඩල් කරන්න බෑ. කුකාල කොච්චර හොඳට බඩු ලැයිස්තුව හදල දුන්නත් වැඩේ කෙරෙනකොට හත්අට පාරක් කඩේ යන්න වෙනව.
ප්‍රසන්නතුමනි මගේ අතින් වැරැද්දක් උනාද කියලත් හිතෙනවා...මට ඕන උනේ වෙච්ච සිද්දිය කියන්ඩ මිසක් බර උස්සන සහෝදරවරුන්ට අපහාස කරන්ඩ නෙවෙයි. මට අහවල් සුදුසුකම තියනවා ඒ හින්දා මම අහවල් අහවල් රස්සා නොකළ යුතුයි කියන පුහු මත අපි සමාජෙන් ඉවත් කරන්ඩ ඕන.
Deleteමගෙ කසින් කනෙුකත් ඔය කෝස් එක කලා. ෙපාරත් ෙගදර ඇවිත් ඔයසීන් එක කියල තියනෙව.
ReplyDeleteදහ පහළොස් දෙනෙකුට වඩා වැඩි පිරිසකට උයනවා නම් මගේ හිතේ කොහෙත් අකරතැබ්බ වෙනවා. එදත් උනා. අදත් වෙනව. අනිවාර්යයෙන් ඔබේ කසින් ටත් මහ ඉලුප්පල්ලම ගැන රසවත් මතක ගණනාවක් ඇති!!!
Deleteහාහ් හාහ් හාහ් හාහ් කඃ කඃ !! (සමාවෙන්න ඉස්මොල්ලේ ගියා)
ReplyDeleteමටත් ඔය හා සමාන වැඩක් වෙලා තියෙනවා. හැබැයි මේ වගේ නම් දරුණු උනේ නෑ, මොකද අම්මලාගේ නම්බුව නිසා.
එකපාරක් අපි අවුට්බවුන්ඩ් ට්‍රේනින් එකකට ගිහින් නම්, කිට් බිට් ගහගෙන පාරේ හකා එකක් කරලා, සල්ලි කැට හොලවලා ගතමනාවක් හොයාගන්න උනා මහා ටවුමේ නිතර යන එන පාරක. ඒ වෙලාවේ නම් දැනුනේම නැහැ. පස්සේ ගෙදර ගිහින් වෙන වැඩක් කර කර ඉන්නකොට එකපාරටම පත්තු උනා ' අම්මප... මාර වැඩක්නේ මම කලේ' කියල.
මමත් ඉස්සර හඩ්ඩෙක් වගේ පාර පුරා මෙලෝ සිඉයක් නැතුව දුවනකොට , අනේ ඉතින් අපේ අම්මලාගේ වැදගත් යාළුවො හම්බවෙලා තියෙනවා. මොකක් කරන්නද.
ඔන්න අපේ ලිඛිතා මැඩම්ගෙයි අපෙයි තියන වෙනස. " මමත් ඉස්සර හඩ්ඩෙක් වගේ...." .....ඒ කියන්නේ දැන් එහෙම නෑ කියන එක!!. මගේ නම් මඩ කිට් එක නැති උනත් හඩු ගතිය නම් තාම ඉතුරු වෙලා තියනවා!! ඇහෙම කොහොමද දෙයියනේ ජීවිත කාලයක් පුරා ගොඩ නගා ගත්තු හඩු කම නැති කර ගන්නේ? අනික මේ හඩු බව කොච්චර නම් නිදහසක් ගෙනත් දෙනවද?
Deleteමරු කතාව.. 160 ක ගේ හිත් සතුටු වෙන්න කෑම දෙන්න.. බුදු අම්මෙ.. ඒකනං කවදාවත් මේ කපේදි වෙන්නැති වැඩක්.. අනිත් එකත් ලියහං.. ආසාවෙන් කියවන්න පුලුවන්
ReplyDeleteදේශක තුමනි අපිට ඊලගට වෙච්ච දේ ඇහුවොත් ඇග කිලිපොලා යනවා. හප්පේ එහෙම විලි ලැජ්ජාවක් කිසිම ෆූඩ් ග්රූප් එකකට නොවේවා!!! තව සතියකින් ඒ කතාව කියන්නම්. ස්තූතියි දිරි ගැන්වීමට!!!
Delete+++++++++++++
ReplyDeleteස්තූතියි!
Delete+++++++++++
ReplyDeleteස්තූතියි!
Deleteඅපි MI හිටපු කාලේ කෙලින්ම උයල බෙදාගන්ඩ තමයි තිබ්බේ, මට මතකයි එක දයසක් රෑට රොටි දීල ඒවා කන්ඩ බෑ කියල අපි වෝර්ටඩ වලියක් දැම්ම,පොරත් රොටි
ReplyDeleteකෑල්ලක්ව්වා කාලා කිව්වා ඔව් කන්ඩ බෑ නෙනේනම් කියල එතනින් අපේ විරෝධය ඉවරයි.
මම හිතන්නේ දඹුල්ලේ ගිහින් ගත්තු අත්දැකීම ගැන අදටත් ලොකුමල්ලිට සතුටු ඇති කියල.පොඩි බන්ඩයියල හැම තැනම ඉන්න්වා ඒවගෙන් උන් ලබන සන්තෝෂය ඊර්ෂ්‍යාව යටපත් කරමින් මතුවෙනවා.
ඒ ඒ කාලේ එව්ව නෑ දැන් කාලේ
Deleteස්තූතියි දසනායක තුමනි.
නියමයි ඈ.. මෙතරම්ම කට්ටක් කෑවේ නැතත් කැම්පස් ජීවිතේ සහ ඒ කාලේ කාපු කටු මතක් වුණා!
ReplyDeleteලියනු මැනව ඒ උණුසුම් චොකලට් දින ගැන....
Deleteස්තූතියි මලී තුමියනි.
අඩි තිය තියා මහ දහවල් දිනක එදා
ReplyDeleteතඩි යට තිබුණු එළවළු මලු පිටට බදා
කඩි යෙක් වගේ ඇද්දලු දැඩි වෙහෙස නොදා
පඩි නැති වුනත් ඒ මතකය තිබෙයි සදා....
ජයවේවා!!!
හවස් කලෙක මහ පොළොවේ අඩිය තියා
Deleteඇදි බර ගැනයි හිටියේ මම ලියා තියා
ඔබෙ රස කවිය දුටු විට හද ගැඹුරෙ තියා
මතක සයුර කැළඹෙයි එහි වෙරළ සොයා
ස්තූතියි දුමින්දතුමනි ඔබේ රස කවියට!!
හඃ..හඃ..හඃ.. හා.. අපේ ට්‍රේනින් මුල් අවුරුද්දේ අපිටත් තියෙනවා 'මෙස්මන්' (Mess men) කියල රාජකාරියක්.. බැච් එකේ උන්ට තේ කෑම වෙලාවට ඇරෙන්ජ් කරන එක තමයි කරන්න තියෙන්නේ.. සෑහෙන 'මෙස්මන්' රස කතා මතක් උනා.. :)
ReplyDelete