Sunday, July 30, 2017

උතුමාණෙනි, ඔබ තුමා වෙත සාදරයෙනි!


මනික්කවාසහම් ඉලන්චේලියන්, 
මහාධිකරණ විනිසුරු,
යාපනය මහාධිකරණය,
යාපනය.

උතුමාණෙනි,

මෙය රාජකාරි ලිපියක් නොවන නිසා මාතෘකාවක් අවශ්‍ය නොවූවද ඉහත දැක්වූ පරිදි ඔබතුමාට ආමන්ත්‍රණය  කිරීමෙන් මම බලාපොරොත්තු වන්නේ මෙය හුදෙක් පෞද්ගලික ලිපියක් ද නොවන බව පැවසීමටය. මෙය හුදෙක් ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ පටු අභිලාෂයෙන් දඉනුත් ඉදිරියට ගොස් ඔබතුමා ගේ පෞද්ගලික ජීවිතයට යෝජනා කීපයක් කිරීමේ ද බලාපොරොත්තුවෙන් ලියමි.



උතුමාණෙනි,

පළමුවෙන්ම පසුගිය ජූලි 29 දා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් ඔබතුමාට කිසිදු ශාරීරික අනතුරක් සිදු නොවීම පිලිබදව මාගේ අවංක සන්තෝෂය පිළිගන්න. ඊට පෙර අධිකරණ ක්ෂේත්‍රයේ කෙසේ වෙතත් ශ්‍රී ලාංකික සිවිල් ජන සමාජය තුල එතරම් ප්‍රසිද්ධියක් නොමැතිව සිටි ඔබතුමා දින කිහිපයක් තුල බොහෝ දෙනාගේ හදවත් පැහැරගත් 'තරුවක්' බවට පත්වීම පිලිබදව ද මාගේ සුභපැතුම් පිළිගන්න.

එසේ තරුවක් වීමට පසුබිම් වූ කරුණු ඉතා ඛේදනීය වුවද එම ඛේදනීය තත්වයන් තුල සිදුවිය හැකිව තිබූ හොදම දෙය සිදුවූ නිසාය මා ඔබට සුභ පතන්නේ. ඔබතුමා දැන හෝ නොදැන ( සැලසුම් කොට හෝ නොකොට යන වදන් වෙනුවට මම දැන හෝ නොදැන යනුවෙන් භාවිතා කලේ අනාගතයේදී ඔබතුමාට රඟ දැක්විය හැකි භූමිකා පිලිබදව සාධනීය තක්සේරුවක් පසුගිය සතිය තුල දී ඔබතුමාට තිබුනේද යන කරුණ පිලිබදව අවධානය යොමු කිරීමෙනි)ප්‍රයෝජනයට ගත් ඓතිහාසික අවස්ථාව ග්‍රහණය කර ගැනීමට උතුරේ හෝ දකුණේ කිසිදු දේශපාලකයෙකුට හෝ සිවිල් සංවිධාන නියෝජිතයෙකුට මොළය කලඳක් හෝ නොතිබුනි. එය ද වාසනාවකි. මක්නිසාද යත් එවැන්නෙකු ඔබ තුමා කල දෙය කළා නම් ඒ 'කිඹුල් කඳුළු' ලෙස දකිමින් සමාජය තුල අවඥාවට ලක්වීමට පවා ඉඩ තිබුණි. සමාජයේ උගතෙකුට හිමිව ඇති මේ අවස්ථාව මග හැරීම අවාසනාවකට වඩා අපරාධයක් ලෙස මම සිතමි. එම අවස්ථාව දෙස දෘෂ්ටි කෝණ තුනකින් බැලීමට මම කැමැත්තෙමි.
1. සිංහල දෙමළ වාර්ගික දෘෂ්ටි කෝණය
2. ස්ත්‍රී පුරුෂ සමාජ දෘෂ්ටි කෝණය
3. පක්ෂ දේශපාලනයෙන් තොරවීමේ දෘෂ්ටි කෝණය

1. සිංහල දෙමළ වාර්ගික දෘෂ්ටි කෝණය

උතුමාණෙනි,

කවුරුන් කැමති වුවද, නැති වුවද තිස් වසරකට ආසන්න කාලයක් පැවති LTTE සංවිධානය පෙරටු කරගත් යුද්ධය සිංහලයන් වන අප විසින් දිනා ඇත්තෙමු. යතාර්ථය එයයි. කිසිදු ත්‍රස්තවාදී සංවිධානයකට සිවිල් සමාජයේ අනු දැනුමකින් හා සහයෝගයකින් පැවතීමට නොහැකිය යන මූලධර්මය පදනම් කරගතහොත් පරාජය කොට ඇත්තේ LTTE සංවිධානය පමණක් නොවේ. රජයේ හමුදා වල ඇති මහත් බහුතරය නියෝජනය කරන ලද්දේ සිංහල ජාතිකයන් විසින් බැවින් ජයග්‍රහණය කලේ හුදෙක් රජයේ හමුදාව පමණක් නොවේ. කරුණාකර මා වරදවා වටහා නොගන්න. මා කියන්නේ දෙමළ ජාතිකයන්ට පුරවැසි  අයිතිවාසිකම් නොතිබිය යුතු බව නොවේ. 2009 දී සිදුවූ ඓතිහාසික සිද්ධිය සිංහල අපේ හදවත් වලට දැනුණු හා දැනෙන ආකාරය එයයි. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින් වන හෙයින් අපට එම සිද්ධිය අප කැමති ආකාරයකට අර්ථ නිරූපණය කිරීමේ බාධාවක් නැත. දුටු ගැමුණු රජතුමාට මහා වංශය තුල දී ඇති ප්‍රමුඛත්වය හෝ ජූලි 22 සිද්ධිය සිදු වූ නල්ලූර් කෝවිල ඉදි කිරීමට මුල් වූ 'සපුමල් කුමාරයා'ට සිංහල හදවත් තුල ලැබී ඇති ස්ථානය හෝ සලකා බලන්න. ඔබ, ඔබේ වීරයන් මතක තබා ගෙන සිටින ආකාරයටම  අපි, අපේ 'වීරයන්' මතක තබා ගෙන සිටිමු.

යුද්ධය දිනා ගැනීම යනු සාමය දිනා ගැනීම නොවේ. සාමය දිනා ගැනීමට සිංහල ජාතිකයන්ගේ මෙන්ම දෙමළ ජාතිකයන්ගේ ද දුක් ගැනවිලි වලට සාධාරණ විසදුම් ලැබිය යුතුය. මේ යුධ ජයග්‍රාහී මානසිකත්වය ඇති තාක් සිංහල ජාතිකයන්, දෙමළ ජාතිකයන්ට සත්‍ය ලෙස රාජ්‍ය බලය විමධ්‍යගතවන ව්‍යවස්ථා සංශෝධනයකට එකග නොවනු ඇත. එම මානසිකත්වය බලෙන් යටපත් කිරීමට උත්සාහ දැරීම අනුවණ කමකි. එලෙස උත්සාහ කරන්නට කරන්නට යුධ ජයග්‍රහණය පිළිබද ආශ්වාදනීය මතකය අලුත් වනු ඇත. මා සිතන්නේ මේ තත්වය සමනය කිරීමට සාධාරණ උත්සාහයක් සාමය අගයන්නන් දැරිය යුතු බවය.!.

යුධ ජයග්‍රහණයෙන් පසු ගෙවල් දොරවල් කොල්ල කමින්, වතු පිටි විනාශ කරමින්, කාන්තාවන් දූෂණය කරමින්, ලෝක ඉතිහාසය පුරා යුධ ජයග්‍රාහකයන් වන්දි ලබා ගෙන ඇත. ඒ තිරශ්චීන යුගයන් අප පසු කර ඇතද, මිනිසා තුල ඇති 'සත්ව' ගති ලක්ෂණ පහ වීමට තරම් මානව පරිණාමය දුර ගොස් නැත. එනිසා මෙම 'උත්සාහය' පිලිබදව විවිධ කණ්ඩායම් තුල විවිධ අදහස් තිබිය හැක.

මා සිතන ආකාරයට ඒ උත්සාහය කේන්ද්‍ර ගත විය යුත්තේ  දෙමළ ජාතිකයන් ද සිංහල ජාතිකයන් මෙන්ම ඇට, මස්, ලේ, නහර වලින් සැදී මිනිසුන් බව සිංහල බහුතරයට පහදා දීම කෙරෙහිය. කරුණාකර නැවතත් මා වරදවා වටහා නොගන්න. ඉහත වාක්‍යයෙන් මා අදහස් කරන්නේ සිංහලයන් යනු හය හතර නොදන්නා මුග්ධයන් බව පැවසීම නොවේ. සිංහල අපට, දෙමළ ඔබලා සමග බෙදා ගත නොහැකි යමක් නොමැති බව, අපේ දුක ඔබේ දුකම බව, අපේ කඳුලත් ඔබේ කඳුලත් රට වට කොට ඇති මහා සයුරේ ලුණු රසම බව, අපේ මොලයට නොව හදවතට තේරෙන බසකින් පැවසිය යුතු බවය. දේශපාලකයන් හෝ සාම ක්‍රියාකාරීන් අතින් මෙතෙක් නොවුනේත් එයමය. එහෙත් උතුමාණෙනි ගිය සතියේ ගලා ගිය සිංහල ප්‍රේමචන්ද්‍රගේ රුධිරයත් ඒ උඩින් ගලා ගිය දෙමළ ඔබේ කඳුලුත් ඒ 'උත්සාහය' ආරම්භ කල බව බව සිතමි.

2. ස්ත්‍රී පුරුෂ සමාජ දෘෂ්ටි කෝණය

දැනට ලෝකය තුල පිළිගන්නා ස්ත්‍රී පුරුෂ සමාජ භාවී ඒකාකෘතිකයන් (stereotypes)අනුව ප්‍රසිද්ධියේ ගැහැනියක් ඉදිරිපිට පිරිමියෙකු හඩා වැටීම පිළිගත නොහැකි කාරණයකි. විශේෂයෙන් විනිසුරුවරයන් පිලිබදව සමාජයේ ඇති මතය නම් ඔවුන් රාජකාරීමය වශයෙන් ඉතා සංවෘත ජීවිත ගත කරන සාමාන්‍ය සමාජ ධාරාවෙන් බාහිරව කල් ගත කරන විශේෂිත පුද්ගලයන් පිරිසක් බවය. එවැන්නෙකු තුලින් පෙර දැක්වූ හැසිරීම කිසිසේත් බලාපොරොත්තු නොවන සමාජය, ඔබේ ක්‍රියාව නිසා යම්කිසි වික්ෂිප්ත භාවයකට පත්ව සිටියි.

වැදගත් වන්නේ එම වික්ෂිප්ත භාවය නොවේ. ඉන් ඔබතුමා සමාජයට දෙන පණිවුඩය කුමක්ද යන්නයි. එය හුදෙක් ආවේගයන් විසින් බුද්ධිය හා අත්දැකීම් අභිබවා යෑමක් පමණක්ද ? නැත්නම් පිරිමින්ටත් ඇඩෙන බව පිළිගැනීමක්ද? මෙය වැදගත් වන්නේ ඔබතුමා දැනට සිවලෝගනාදන් විද්‍යා තරුණියගේ අවාසනාවන්ත මරණය පිලිබදව වන නඩුවේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් වන නිසාය.සියලු වර්තමාන චූදිතයන් ද මුළු විනිසුරු මඩුල්ලම ද පිරිමින් වන ස්ත්‍රී දූෂණ නඩුවක් පැවතීම එක්තරා අවාසනාවකි. නමුත් 'ධනාත්මකව' 'හැගීම් දැනෙන' විනිසුරුවන් ඒ අතර සිටින බව දන ගැනීමද සතුටකි. 

උතුමාණෙනි, විද්‍යා තරුණියගේ නඩු තීන්දුව දීමට පෙර කරුණාකර ඔබේ ඉදිරියේ ඇති තේමිස් දෙවගනගේ හෝ ඇගේ දියණිය වන ඩිකියි දෙවගනගේ රූපය දෙස මොහොතක් බලන්න. ඩිකියි දෙවගන යනු තරුණ කාන්තාවකි. ඇගේ මව වන තේමිස් මැදි  වයසේ කාන්තාවක් විය යුතුය. ඔවුන්ගේ අතෙහි ඇත්තේ තරාදියකි.  ඔවුන්ගේ රෝම පරිවර්තනය වන ජස්ටිටියා ගේ දෑස රෙදි පටියකින් ආවරණය කොට ඇත. උතුමාණෙනි, විද්‍යා, ඩිකියි වැනිය. තවත් විද්‍යා වැනි තරුණියන් දහස් ගණනකුත් තේමිස් වැනි ලක්ෂ ගණනකුත් දිනපතා අතවරයන්ට ලක්වෙති. එවන් පාපතරයන් තවදුරටත් කාන්තාවන්ගේ ඇසට නොදැකීම පිණිස ඔබේ තීන්දුව දෙන්න. මා ඉල්ලන්නේ චූදිතයන් නිවරදිකරුවන් නම් ඔවුන් වරදකරුවන් ලෙස හදුනා ගන්නට නොවේ. වරදකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන ලෙස පමණි. ජස්ටිටියා යනු ඔබ යුතුකම් ඉටු කිරීම භාර ගත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වැනිම බව සිතන්න. ඇය වැනි ලක්ෂ ගණනක් ගැහැණු දරුවෝ ඔබේ තීරණය දෙස බලා සිටින බව කරුණාකර මතක තබා ගන්න. 

3. පක්ෂ දේශපාලනයෙන් තොරවීමේ දෘෂ්ටි කෝණය

මා දන්නා තරමින් ඔබට නිල වශයෙන් පක්ෂ දේශපාලනයක් නැත. කරුණාකර ඒ මඩ ගොහොරුවට වැටෙන්නට ද එපා. එහෙත් ඔබ වැනි බුද්ධිමතුන් හට මේ සමාජය තුල පිරවීමට මහා හිඩැසක් ඇත. එනම් දකුණ හා උතුර අතර සංහිදියා පාලමක් ගොඩ නැගීම නම් වනදේශපාලන අවශ්‍යතාවයක් ඉතිරි වී ඇත. අවාසනාවට දකුණට කතා කල හැකි උතුරේ 'දේශපාලකයින්' ප්‍රමාණය ඉතා අල්පය. ඒ අල්පයෙනුත් බොහෝ දෙනා පක්ෂ දේශපාලනය බදා ගන්නා හෙයින් ඔවුන් 'සළු වීමටත් පෙර දැවී යති'. ක්‍රිකට් භාෂාවෙන් නම් 'හිට් විකට්' වෙති.ඔබ පිලිබදව ඇති 'යු ටියුබ්' එකතු කිරීම් අනුව මට පෙනෙන්නේ ඔබ දැනටමත් යම් භූමිකාවකට පන පොවන බවය. එහෙත් ඒ කුමක් දැයි මට නොතේරෙන්නේ මට දෙමළ බස නොතේරෙන නිසාය. මට තවත් බොහෝ දේ නොතේරෙනවා විය හැක. මම නැවතත් අවධාරණයෙන් කියමි -මට බොහෝ දේ නොතේරෙනවා විය හැක- එහෙත් ගිය සතියේ අප දුටු සංවේදී මිනිසා කිසිදු මිනිසෙකුට වරදක් වන දෙයක් නොකරනු ඇතැයි මම විශ්වාස කරමි. නැවතත් ඉල්ලා සිටිමි. කරුණාකර පක්ෂ දේශපාලනයට නම් එක වන්න එපා.

උතුමාණෙනි,

ඔබතුමා ගේ පසු ගිය සතියේ භූමිකාව පිළිබද මගේ දැක්ම පැවසූයෙමි. දැන් මගේ ඉල්ලීම් දක්වන්නට ඉඩ දෙන්න. මේවා බලහත්කාරකම් නොවේ. හුදෙක් අහිංසක ඉල්ලීම් පමණි. සමහරක් ඉල්ලීම් දැනටමත් දක්වා ඇති නමුත් ඔබතුමාගේ පහසුව සදහා නැවත දක්වමි.

1. සිංහල දෙමළ අන්තර් වාර්ගික සාමය වෙනුවෙන් ඔබ වැනි සංවේදී මිනිසුන්ට සුවිශේෂී කාර්යයක් ඉටු කල හැකි නිසා ඒ ගැන ක්‍රියා කරන්න. සමහරවිට විනිසුරුවෙකුට වඩා විශාල සේවයක් ඔබට කල හැක්කේ ජාතීන් අතර අවබෝධය වර්දනය කිරීමෙන් විය හැක. ඒ සදහා ඔබ ලබා ඇති වර්තමාන ජනප්‍රියත්වය පාවිච්චි කරන්න.

2, විද්‍යා නඩුවේ තීන්දුව දෙස - වර්තමාන චූදිතයන් සහ ඊට සහයෝගය දැක්වූ තවමත් නිල වශයෙන් ප්‍රකශිත නොවූ චූදිතයන් සම්බන්ධයෙන් -අපි බලා සිටිමු. ඒ තීන්දුව විද්‍යා වෙනුවෙන් නොවේ. ඇයට ජීවය දීමට ඔබේ තීන්දුවට නොහැකිය. එහෙත් තවමත් ජීවත්වන ලක්ෂ ගණන් කාන්තාවන්ගේත් තවමත් නොඉපදුණු කොටි ගණනක් දරුවන්ගේත් ජීවිතය ඔබ අතේ බව මතක තබා ගන්න.

3. පක්ෂ දේශපාලකයන් ඔබ අල්ලා ගැනීමට බලනු ඇති. උතුමාණෙනි පරෙස්සම් වන්න.ඒ ඔබේ සතුරන්ය. ඔබ දැන් සිටින තැනින් ඒ තත්වයට පහත්විය යුතු නොවේ. එසේ වුවහොත් එය අපරාධයකි. 

ඔබට සුභ අනාගතයක් වේවා!!

මීට,
විශ්වාසී


............................................

5 comments: