Saturday, September 23, 2017

න්...නෑ ....මං කැම්පස් එක්...කේ නෙවෙයි


මං අන්තිමට කියපු හොල්මං කතාවේ පොලෝසිය ගැන තුං හතර තැනක තිබ්බ හින්ද සමහරු ඇහුව මට පොලෝසියත් එක්ක ඇරියස් එකක් තියනවද කියල. ඔය ඇරියස් කතාව හින්ද මට මතක් උනා අපේ බැච් එකේ හිටපු ඇරියස් තිබ්බ චරිතයක් ගැන. කාඩ් එක වැලි පොළඟා.ආදරේට කිව්වේ වැලියා කියල. තවත් කොට වෙලා මේක 'වැලී' උනා අන්තිම කාලේදී.  ගම කුරුණෑගල. කුරුනෑගල කිව්වට ඈ සූ......ට්ටක් එහා....කුලියාපිටිය පැත්තේ...කුලියාපිටියෙ කිව්වට එතනිනුත්...පෝ.......ඩ්ඩක්...නෑ….. පෝ....ඩ්ඩකුයි තව චූ......ට්ටකුයි එහා ගමක. මං දන්නේ නෑ මේ කුරුණෑගල තියන ගං වලට නං දාන්නේ කොහොමද කියලා. මීට ඉස්සර කතාවක හිටපු බණ්ඩියා තුමාගෙ ගමේ නම වගේම වගේම වැලී තුමාගේ ගමේ නමටත් අකුරු හතරයි. පටන් ගන්නේ ක යන්නෙන්. කයන්න කීවට 'කි' යන්නෙන්.

අපේ වැලී ට තිබ්බ මාර ඇරියස් එකක් අරක්කු එක්ක. මූට පේන්ඩ බෑ අරක්කු!!අරක්කු වලින් ලෝකෙට වෙන විනාසේ වලක්වන්ඩ  ඔය පස්සේ කාලෙක මතට තිත වගේ ගොං පාට් වැඩසටහන් ආවට අපේ බැච් එකේනම් ඒ වැඩේට මුල පිරුවේ වැලී!අරක්කු තිබ්බොත් නේ මිනිස්සු බොන්නෙ. එහෙම නං අරක්කු නැති කරන්ඩ ඕන. අරක්කු හදන එව්වො නැති කරන්ඩ අපිට බෑ. අරක්කු අරං ඇළකට හරි ගඟකට හරි හැලුවොත් මාලු මැරෙනවා. බිමට හැලුවොත් ඇහැට පේන්නේ නැති කෝටි ගානක් පොඩි, පොඩි සත්තු මැරෙනවා. හපොයි කව්ද දෙයියනේ මේ අපරාදෙ නවත්තන්නේ!!!? කව්ද ඉතිං අපේ වැලී තමයි. මිනිහා අරක්කු දැක්ක ගමං කෙලිම්ම උගුරෙන් පල්ලෙහාට හලා ගන්නවා. සත්තු මැරෙන්නෙත් නෑ, ලෝකේ අනිත් මිනිස්සු අමාරුවේ වැටෙන්නෙත් නෑ .අනික බඩේ අමාරු වලටත් කියාපු බේත!


වැලී නිතරම උත්සාහ ගත්තා කැම්පස් එකේ නම්බුව තියා ගන්ඩ. ඒ වගේම ගම අමතක නොකර ඉන්ඩ. මිනිහ කරපු හැම වැඩකම මේ ලක්ෂණ දෙක කැපිල පෙනුනා. උදාහරණෙකට ගත්තොත් බැච් එකේ මොකක් හරි විවිධ ප්‍රසංගයක් හරි විවිධප්ප්‍රසංගයක් (විවිධ + අප්‍රසංගයක්) හරි තිබ්බොත් මූ සරමක් ඇඳගෙන කරේ රතු පාට ලේන්සුවක් දාගෙන තොවිල් කවි කියනවා ඕසෙට. ඊරියගම බාර් එකේ අරක්කු විනාස කරන්ඩ යන්නේ සරමක් හරි කොට කලිසමක් හරි ගහගෙන ඉරිච්ච ටී ෂර්ට් එකක් ඇඳගෙන...ඒ මොකද එතකොට කව්රුවත් හිතන්නෙ නෑ මූ කැම්පස් එකේ කියලා. ඉතිං කැම්පස් එකේ ගවුරවේ රැකෙනවා. අරක්කුත් විනාස වෙනවා. කොහොමද ටිකිරි මොලේ!!!??? 


මේ මං කියන්ඩ යන සිද්දිය උනේ අපි මහ ඉලුප්පල්ලමේ (M.I.) ඉන්නකොට. පේරාදෙණියේ අමද්‍යප ව්‍යාපාරෙ ඉදිරියෙම්ම හිටපු වැලී M.I. වලත් අරක්කු විනාශ කරන වැඩ පටන් ගත්තා අපි එහෙ ගිහිං දෙවැනි දවසේ. මාටිං අයියගේ රා පොලට 'වැලී' ගියේ සුදු සරමකුයි සුදු අත් දිග කමිසෙකුයි ඇඳගෙන.  ඇයි කලිසම ගහගෙන ගියොත් මාටිං අයිය දැන ගන්නව මේ පාර බැච් එකෙත් රා ද, අරක්කුද. කසිප්පුද, ගංජා ද කියල විසේසයක් කරන්නේ නැතුව මත්ද්‍රව්‍ය විනාස කරන්ඩ පෙරමුණ ගත්තු ගොයියලා ඉන්න බව. හුහ්...ඉතිං මොකටද ඩෝ කැම්පස් එක පාවලා දෙන්නේ? තනියෙන් බීලා කාණුවල වැටිලා ඉන්න එක වෙන දෙයක්. හැබැයි අපි කැම්පස් එකේ නම රැක ගන්ඩ ඕන...ඒකයි වැලී ජාතික ඇඳුමට බැස්සේ රා පොලට යන්ඩ.
ඔය මාටිං කාරයා කපන්නේ එක පොල් මලයි. හැබැයි සීයක් ආවත් ගෙදර රා තියනවා !! කොහොමද යකෝ මේක වෙන්නේ කියල හිත හිත දැන් අපේ වැලී අමද්‍යප සටනේ!!! පැය බාගයක් විතර ගියාම වැඩේ තේරුනා. මාටියා කරන්නේ කසිප්පු කලවං කරන එක. එක රා බෝතලේකට කසිප්පු බෝතල් හයක් හතක විතර සූ...ටි ප්‍රමාණයක්!! හැබැයි ඒක තේරෙනකොට පරක්කු වැඩියි.


වැලී එනකොට මාටිං අයියට තිබ්බේ එක ගෙදරයි. යකෝ මේ පැය බාගෙට මාටියා තව ගෙයක් හදලා! හත්වලාමේ මාටිං අයියට නිවුන් සහෝදරයෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවද මංදා? නැත්තං කොහොමද මේ මාටිං අයියලා දෙතුන් දෙනෙක් පේන්නේ? මහ පාරේ බයිසිකලේ නවත්තලා නියරක් උඩින් තමයි මාටිං අයියලාගේ ගෙදරට ආවේ...හැබැයි මෙන්න බොලේ ආපහු යන්ඩ හදනකොට නියරවල් දහයක් දොළහක් එකට එක්කහු වෙලා මහා පාරක් වගේ තියනවා!!! කොහොම හරි වදෙන් පොරෙන් පාරට ආවා කියමුකෝ...බයිසිකලේ පැටව් ගහලද මංදා බයිසිකලුත් හත අටක්ම පේනවා වැලීට!!! අමාරුවෙන් දනි පනි ගහලා බයිසිකලේට නැග ගන්නවා විතරයි වැලී ට මතක!!!

මල්ලි....මල්ලි...ඒයි නැගිටහාන්කො බං!!”

කව්ද යක්....කෝ....ක්...කෑ ගහන්නේ ?”

මේ මල්ලි උඹ කැම්පස් එකේද?”

කවුද්....ද යක්....කෝ කැම්පස්?”

එහෙනං කොහෙද බං උඹ...?”

........

ඒයි…. කියහන්කෝ මලයා...උඹව පාරේ දාලා යන්ඩ බෑ නේ අපිට...අපි මේ හදන්නේ උඹව ගෙදරට ගෙනියන්ඩනේ...

කට්..ටියා වෙ...

වැලී ට ඊට වඩා දෙයක් කියන්ඩ පන නෑ. කටියාව කියන්නේ මහ ඉලුප්පල්ලමට හැතැම්ම තුනක් විතර එහා තියන ගමක්.

ඒයි මචං කටියාවේ මළ ගෙදරක් තියනවා. මූ පිට ගමකින් ඒ මළ ගෙදර ආපු එකෙක් වෙන්ඩ ඇති. අපි ඒ මළ ගෙදරට මූව බාර දෙමු එක මනුස්සයෙක් කියනවා වැලීට හීනෙන් වගේ ඇහුනා.

හොඳා එහෙමවත් කරමු නොදන්න පලාතක මෙහෙම වැටිලා ඉන්න කොට නයෙක් වත් ගැහුවොත්?” තව මනුස්සයෙක් එහෙම කිව්වා.

අර මිනිස්සු දෙන්න තමන් ආපු අත් ට්‍රැක්ටරේ ටේලරේට වැලී වයි ටික දුරකට එහා වැටිලා තිබ්බ උගේ බයිසිකලෙයි දා ගත්තා. අකුලක ඇමිණිලා තිබ්බ සුදු සරම අරං වැලී ව වැහුවා. නැත්තං මේ නිර්වස්තරෙන් මිනිහෙක්ව ට්‍රැක්ටරේක දාගෙන යනකොට පොලිසියෙන්වත් නැවත්තුවොත් මොකක් කියන්ඩද?

විනාඩි දහයක් පහළවකින් කටියාවේ තිබ්බ මළ ගෙදරට අර මිනිස්සු දෙන්න වැලී ව අරං ගියා ඒත් ඒ මළ ගෙදර කව්රුවත් මෙහෙම කෙනෙක් දැකලා තිබ්බේ නෑ!!

ඒ...මලයා...ඇත්ත කියහන්කෝ...බං උඹ කැම්පස් එකේ නේද? අපි ගිහිං බස්සන්ඩ අහන්නේ?”

කව්...ද ඩෝ කැම්ප....ස්?” මෙච්චර අමාරුවෙන් ඉඳ ගෙනත් වැලී තාම කැම්පස් එකේ නම්බුව ආරක්ෂා කරනවා. අන්න සිංහල කොල්ලෝ!!!

එහෙනං කොහෙද මලයා උඹ? උඹ මේ පැත්ත පළාතේ එකෙක් නෙවෙයි. මෙහෙනං අපි උඹව දැකලා තියෙන්ඩ එපෑය? ඇත්ත කියහන් උඹ කැම්පස් නේද?”

න්.....නෑ....ඩෝ....මොන හු&^&)$? කැම්පස් යන්නේ? ම්.... මං ක්...කැම්පස් නෙවෙයි!! වැලී තාම සටන අතාරින්නෙ නෑ

එහෙනං කොහෙද උඹ?”

වැලී තව ළඟ ගමක නමක් මතක් කරනවා... ට්..ට්...ට්‍රැක් හ.ත..ර!

ට්‍රැක් හතර එහෙම නැත්තං යාය හතර කියන්නේ කටියාවේ ඉඳන් හැතැම්ම තුනක් හතරකට එහා තියන ගමක්!

අප්පට සිරි උඹ ඉස්සරලා කිව්වේ ට්‍රැක් හතර කියලද? අපිට ඇහුනේ කටියාව කියලනේ. කියන්ඩ එපෑ එහෙම? ට්‍රැක් හතරේ කොයි ගෙදරද?”

...................වැලී සද්ද නෑ..

මූ ආයෙත් කර්පට් උනා වගේ....එකෙක් කියනවා.

දෙහි ටිකක්වත් නෑනේ දෙන්ඩ?”

ට්‍රැක් හතරේ මෙහෙම එකෙක් දැකල නෑනේ බං අපි?”

"සමහරවිට නෑදෑ ගෙදරක ආපු එකෙක් වෙන්ඩ ඇති"

"කෝකටත් බලමුකෝ ට්‍රැක් හතරට ගිහිං"

අනේ අර මිනිස්සු දෙන්න මූව ට්‍රැක් හතරට එක්කගෙන ගිහින් ගෙවල් හත අටකිම්ම අහලා මූ අඳුනනවද කියලා. ඒ කවුරුවක්වත් අපේ වැලීගෙ නෑදෑයෝ නෙවෙයිලු!! අපොයි කාත් කවුරුවත් නැති අසරණයා!

දැන් අර මිනිස්සු දෙන්නටත් මල පැනලා. ඇයි යකෝ යන්ඩ ආපු ගමන පැත්තකින් තියලා පැය දෙකක් තුනක් මේ නාඳුනන එකෙක් වෙනුවෙන් විනාස කරගත්තා මදිවට ඌ කියන කුණු කතා අහගෙන ඉන්ඩත් ඕන. ඔය කාලේ යුද්දෙ එක සීරුවට නැගලා ගිය කාලයක්. මේකා ත්‍රස්තවාදියෙක්ද දන්නෙත් නෑ. හැබැයි තාම අර මිනිස්සු දෙන්නගේ හිත කියන්නේ මූ අහිංසකයෙක්..., අහිංසක බේබද්දෙක් කියලා. මොන කොටියද කසිප්පු ගහලා හෙලුවෙන් පාරෙ වැටිලා ඉන්නේ? ඉතින් අර බෝධිසත්වයෝ දෙන්න අන්තිමට ගෙදරකින් දෙහි ගෙඩි තුන හතරක් ඉල්ලගෙන මූට පොවලා අන්තිම තීරනේට ආවා. ඒ කැම්පස් එකට ගිහිං අහලා බලන්ඩ මේ අහිංසක බේබද්දා එහෙද කියලා!!

අපි වැලී ව බාර අරගෙන උගෙ කාමරේට ගෙනිච්චා..ඒ යන ගමනුත් මූ කියනවා
"යක්...කෝ...මං ක්....කැම්පස් එකේ නෙවෙයි..." කියලා.

අපි මහ ඉලුප්පල්ලමේ ඉගෙන ගන්න කාලෙ එහෙ ඉන්න ගොවි පවුලක් එක්ක වැඩ කරන්ඩ ඕන කන්නයක් පුරාවටම. ඒක, කෝස් එකේ තිබ්බ හොඳම කෑල්ලක්. අපි හැමෝම මේ කෑල්ලට හරි කැමැත්තෙන් සහභාගී උනත් වැලී හැමදාම කිව්වේ ඌට මාර ලැජ්ජාවක් එනවා කියලා ඌ සම්බන්ධ වෙච්ච ගෙදරට යන්ඩ කියලා. අර අත් ට්‍රැක්ටරේ මූව නිර්වස්තරෙන් ගෙනිච්ච එක අයියෙකුගේ ගෙදරක් තමයි මූට වැඩ කරන්ඩ  හම්බ වෙලා තිබ්බේ. මූට අයියා මතක නැති උනාට ඒ අයියට නම් මූව හොඳට මතකයිලු!! හිටපු ගමන් ඒ අයියා පොඩි හිනාවක් හෙම දාල කියනවාලු "අම්මප මලය උඹ එපා කියද්දී  අපි එදා උඹව  බලෙම්ම කැම්පස් එකට දාපු හින්ද තව ටික කාලෙකින් උඹට උපාධියකුත් හම්බ වෙනවා නේද" කියලා!!!!

කතාව ඉවරයි. වැලී දැන් කස්ටම් එකේ ලොකු තැනක. ඌට අරක්කු එක්ක තිබ්බ ඇරියස් එක තාම තියනවා. ඊට අමතරව දැන් ඌට විස්කි, බ්‍රැන්ඩි, ජින් වගේ දේවල් එක්කත් ඇරියස් තියනවලු!! ඒ කොහොම උනත් ඌ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන චරිතයක් කියලයි ආරංචිය. අඩු ගානේ ඌ ඒ වැඩෙන් හරි කැම්පස් එකේ නම තාම ආරක්ෂා කරනවා.

ඇරියස් නැති කර ගන්න ක්‍රම දෙකයි. එකක් පලි ගැනීම. වැලී අරක්කු වලින් කරනවා වගේ. දෙක ඇරියස් නැති ලෝකයක් හදන්ඩ අපිට පුළුවන් විදිහට දායක වෙන එක. මහගම සේකර හිතුව වගේ...ලෝකය තනි යායක්...කරන්ඩ උත්සාහ කරන එක. හරියට වැලී කස්ටම් එකේ නීතිය නවන්නේ නැතුව පාවිච්චි කරනවා වගේ රට වෙනුවෙන්!!!  


මහ ඉලුප්පල්ලමේ මිනිස්සු අව්රුද්දකට පාරක් කඩා පාත් වෙන කැම්පස් සෙට් එක කරන ගොං වැඩ, බලු වැඩ සහ මරි වැඩ වලට සමාව දෙමින් අපිව විඳ දරා ගත්තා. නැත්තං හැම අව්රුද්දේම වෙච්චි එක එක අකරතැබ්බ වලට ඒ රත්තරං මිනිස්සු ඇරියස් කවර් කරන්ඩ ගියා නං හප්පේ...අපි මැරිච්ච තැං වල දැන් දාර තේක්ක ගස් බුරුත ගස් කළුවර ගස් වැවිලා. එහෙ මිනිස්සුන්ට බුදු බව ලැබෙන්ඩ ඕන අපිව බලා ගත්තට. අපිව රැක ගත්තට!!   

13 comments:

  1. Replies
    1. ලාංකීය උඹ වගේ ජාතිවාදීන්ට අනාගතයක් තියේවිද තඩියෝ

      Delete
  2. මම අහල තියනවා කට්ටකඩුවේ ලොකු මල්ලිත් එක පාරක් ඔය කිව්වා විදිහට පොඩ්ඩක් අමද්‍යප විරෝදී වෙලා ඇත ටට්‍රැක්ටරයකින් හොස්ටෙල් එකට ගෙනත් දැම්ම කියල .කොහොම උනත් අවුරුදු 42 කට කලින් මහිලුප්පල්ලම ගත කරපු ජීවිත් කොයිතරම් සුන්දරද.

    ReplyDelete
    Replies
    1. මාත් අත් ට්‍රැක්ටර් වලින් ඇවිත් තියනවා ඒත් බීලා වැඩි වෙලා නෙවෙයි. මගේ හිතේ අරක්කුත් එක්ක හුගක් කුලියාපිටියේ කට්ටියට ඇරියස් තියනවා. එහෙම නේද දසනායක මහත්තයා?

      Delete
  3. මහ ඉලුක්පල්ලමේ මිනිස්සුන්ගෙ හිත හොඳ හින්ද හොඳයි. නැත්තං වැලීට වැලිකඩ තමයි නවතින්න වෙන්නෙ.

    ඇරියස් කවර් කරගන්න මාර ක්‍රමයක් තමයි අරකනං.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි!

      චුටි හනි කොහොමද ඔයා වැලිකඩ යන්න කැමති ද එහනම් ඇති තරම් සමනල් බුවාලා ඉන්නවා අපේ යළුවො ඔයාට පට්ට සප්පක් දෙයි එහෙදි ඇරියස් කවර් කරගන්න ගිහින් එන්න මන් පිට යන්නේ නැතිව ඉන්නම්

      ටෙක් කෙයාර් හනි ... සියු සුඋන් ...

      Delete
  4. වැලිය වගේම නම්බුව බේරගෙන ගේම ගහන්ඩ පුරුදු වෙච්ච කොල්ලො කලින් බැච් වලත් ඉන්ට ඇති... එක නිසා තමයි අවසාන විග්‍රහයේ දී ඌව කැම්පස් එකට ගෙනත් දාන්ට තීරණය උනේ..සහයෝගීතාවය ඉතා විශිෂ්ඨයි...

    ReplyDelete
    Replies
    1. ඔව් සත්තකින්ම. ජාමේ බේරාගත්තු උන් වගේම කාඩ් කුඩු පට්ටං කරපු උනුත් ඉඳලා තියනවා හැම බැච් එකකම. ඒ ඔක්කොම දරාගෙන එහෙ මිනිස්සු අපිව සාදරයෙන් පිළිගත්තා. ඇත්තටම අපි ණයගැතියි ඒ මිනිස්සුන්ගේ කරුණාවට.

      Delete
  5. උඹ කුරුණැගලට කැපිල්ල දානව වැඩියි

    ReplyDelete
    Replies
    1. නෑ...නෑ...මද්දා අපේ බැච් එකේ හුගක් හිත හොඳ චරිත හිටියා කුරුණෑගලින් ඇවිත්. කැපිල්ල දාන්ඩ නෙවෙයි මං ඒ 'විශිෂ්ට' මිත්‍රයෝ ලියන්නේ මතකය බෙදා ගැනීමට විතරයි.

      Delete
  6. හිනා ගිහින් ඉස්මොල්ලෙත් ගියා.. හි හි හි.. නියම එකා වැලී !!

    MI වල කතා මමත් ගොඩක් අහලා තියෙනවා. දැන් මතක නැහැ. ඒ පැතිවල මිනිස්සු මේ වගේ දේවල් ඉවසන විදිය අපිට පුදුම ඊට මෙහා ජීවත්වෙන අපිට ඔවුන්ද තරම් අභියෝග නැති නිසා වෙන්න ඇති. ඔවුන් කරන ජිවන අරගලය ඇතුලේ පුදුම දරාගැනීමේ සහ සමාවදීමේ 'ලොකු හදවතක්' ඇති මිනිසුන් බිහිකරනවා.

    ඔබේ ලියමන් මගේ හිත ගන්නවා

    ReplyDelete
    Replies
    1. මං කැමතිම වචන දෙකක් දරා ගැනීම සහ සමාව දීම!! අපි නොකරන නමුත් අය අපි වෙනුවෙන් කරයි කියලා අපි බලාපොරොත්තුවෙන....ස්තූතියි ප්‍රශංසාවට සහ මං දේවල් දරා ගෙන බ්ලොග් එකට එනවාට!!!

      Delete
    2. මරු කතාව... කථානායක සහ සළකුණු ගත්තාම මට හිතෙන්නේ මමත් හිටියෙ ඔය බැජ් එකේ කියලා...

      Delete