Saturday, January 13, 2018

තෑන්ක්ස් මචං මම මෙට්‍රික්ස්


කැම්පස් ජීවිතේට ඉස්සර කලනය (calculus) කියන ගණිතමය සංකල්පය ගැන අදහසක් වත් නොතිබ්බ අපිට, කෘෂි විද්‍යාවට අයිති සමහර සංකල්ප තේරුම් ගන්ඩ පහසු මගක් විදිහට කලනය ඉගෙන ගන්ඩ උනා. මේ කලනයේ එන එක කොටසක් තමයි න්‍යාස (matrix) ගැන තියන කොටස. කලනය, න්‍යාස වගේ දිව පටලවෙන අමාරු වචන වෙනුවට මෙව්වට ඉංග්‍රීසියෙන් කියන නං දෙකම පාවිච්චි කරන්නං මේ කතාව කියන්ඩ. ඒ තමයි කැල්කියුලස් සහ මෙට්‍රික්ස්.

කැල්කියුලස් කියපු ගමං අපිට ටැන් ටැන් (අපි Tin Tin කියන අකුරු ටික දිහා බලලා ටින් ටින් කියල පහසුවට කිව්වට හරි විදිහට මේ ප්‍රංශ වචනේ උච්චාරනේ කරන්ඩ ඕන ටැන් ටැන් කියලා) කතා මාලාවේ එන ප්‍රොෆෙසර් කැල්කියුලස් මතක් වෙනවා. වෙලාවකට එතුමා කරන වැඩ හිංදා හිනා කාලා පන යනවා. වෙලාවකට ඔහු තමයි විද්‍යාත්මක උපදෙස් දෙන්නේ ජාත්‍යන්තරවත්. සමහර විට එයාගේ තියන පොඩි පොඩි චර්යාත්මක ප්‍රශ්න යටපත් වෙනවා ඇති විද්‍යාත්මක වැඩ කරන්ඩ ගියාම. ඒ කොහොම උනත් තේරුම් ගන්ඩ ටිකක් අමාරු චරිතයක්. බීමත් කමට ඇබ්බැහි වෙච්චි කැප්ටන් හැඩොක්, වීරයාගේ සුරතලා ස්නොවි සහ බුද්ධිමත් වීරයා ටැන් ටැන් වගේ චරිත ගත්තහම එව්වා ඒකාකාරියි. හැම කතාවේම එකම ලක්ෂණ පෙන්නන චරිත. හැබැයි ප්‍රොෆෙසර් කැල්කියුලස් එහෙම නෙවෙයි.

මෙට්‍රික්ස් කියල අපි දන්න ප්‍රසිද්ධ චරිතයක් නැති උනාට හරි ප්‍රසිද්ධ ඉංග්‍රීසි චිත්‍රපටි මාලාවක් තියනවා මෙට්‍රික්ස් කියලා. 1999 දී මුලින්ම තිරගත වෙච්ච මේ කතා මාලාවේ කියවෙන්නේ මායාමය ලෝකයක් යතාර්ථයක් විදිහට සලකන අනාගත ලෝකයා ගැන. මේ මායාමය යතාර්ථය තමයි මෙට්‍රික්ස් කියලා ඒ චිත්‍රපටියේ දී හැඳින්වෙන්නේ. (ඕන ඔට්ටුවක් ඔය ෆිල්ම් එක පාරක් බලලා නං තේරුං ගන්ඩ බැරුවට!! මට යාන්තං ඕක තේරුං ගන්ඩ තුන් පාරක් බලන්ඩ උනා.)


ඒ කොහොම වෙතත් කැල්කියුලස් හරි මෙට්‍රික්ස් හරි කියන වචන දෙකම සාමාන්‍ය භාවිතයේදී යෙදිලා තියෙන්නේ ඒ ගණිතමය සංකල්ප වගේම කෙනෙකුට තේරුං ගන්ඩ ටිකක් අපහසු චරිත එහෙම නැත්තං කතන්දර වලට. අද මගේ උත්සාහය පොඩි හිස්තැනක් පුරවන්ඩ. ඒ තමයි මෙට්‍රික්ස් චරිතය හඳුන්වා දීම. මං කතා හතරක් කියන්නං. පුලුවන්නං අඳුනා ගන්ඩ මෙට්‍රික්ස් ව!!!

මෙට්‍රික්ස් කියන්නේ නුවර ප්‍රසිද්ධ ඉස්කෝලෙකින් පේරාදෙණිය කැම්පස් එකේ ඇග්රිකල්චර් ෆැකල්ටි එකට ආපු චරිතයක්. ඔය කාලේ වෙනකොට ෆැකල්ටියේ පලවෙනි අවුරුද්දේ ළමයින්ට ගණිත මූලධර්ම ඉගැන්නුවේ හරි අපූරු චරිතයක්. එතුමා කියන හුගක් වචන අපි කාටවත් තේරුනේ නෑ. එතුමා ආචාර්ය උපාධියට ස්කොට්ලන්තේ ගියාට පස්සේ දිව උලුක් වෙලා. බස බස ගාලා මොන මොනවදෝ කියවගෙන ගියාට අපිට ඇහුනේ ස්...ස්...ස්...ගානවා විතරයි. අඤ්ඤ කොරොස් සබ්ජෙක්ට් එකක්, කියන මෙලෝ දෙයක් තේරෙන්නේ නැති ගුරුතුමෙකුගෙන් ඉගෙන ගන්නවා කියන එක මොනතරම් සුන්දර අත්දැකීමක් ද!!!.

(මොකට නැතත් මේ අත්දැකීම අපේ විවාහ ජීවිතේට නං පුදුමාකාර පහසුවක් ගෙනාවා. නෝන මහත්තයා කියන ඕන දෙයක් - එව්වා කොච්චර කර්කෂ උනත් - තේරුනා වගේ අහගෙන ඉන්ඩත් ඒ ගමන්ම අපි කසාද බදින්ඩ ඉක්මන් වැඩි උනා නේද  කියල හිතමින් පාරේ යන ලස්සන ගෑණු ළමයි දිහා බලන්ඩත් ඕන කරන දක්ෂතාව අපිට ලබා දුන්නේ මේ ගුරුතුමා. මොකද එතුමාගේ ක්ලාස් එකේදී අපි කරේම බැච් එකේ ලස්සන ගෑනු ළමයි ඉන්නවද කියල හොයල බලපු එකනේ).

ඔය සබ්ජෙක්ට් එකෙනුත් අමාරුම කෑල්ල උනේ මෙට්‍රික්ස් ගැන තියන හරිය. ඉතිං අපිට ග්‍රීක් බාසාවෙන් ජර්මන් උගන්නපු මේ ගුරුතුමා අඳින පළඳින විදිහටම තමුන්ගේ ඇඳුම් මොස්තරේ හැඩ ගස්සා ගෙන හිටපු අපේ බැච් එකේ එකෙකුට තමුන්ගේ ජනප්‍රිය ගුරුතුමාගේ සබ්ජෙක්ට් එක කාඩ් එකක් විදිහට දාන්ඩ අපේ ජ්‍යෙෂ්ට උත්තමයෝ කටයුතු කළා. අන්න එහෙමයි නුවරින් ආපු අර අහිංසකයට මෙට්‍රික්ස් කියල නම වැටුනේ.
මෙටාත් ඇරියේ නෑ. හිටපියව් තොපි ඔක්කොටම හොඳ පාඩමක් උගන්නන්ඩ කියලා ඌ සසර පුරා ගෙනාපු පුරුදු කැම්පස් එකේදී මුදා හැරියා. අපේ බැච් එකේ රස සාගර මවපු චරිත දෙක තුනෙන් එකක් වීමට මෙටා ට ලේසියෙන් පුළුවන් උනා.

ඉතින් මෙන්න මෙට්‍රික්ස් තුමාගේ වැඩ.  

අපේ මෙටා හරිම විනීත චරිතයක්. තමන්ට ඉතාම සුළු උපකාරයක් කරපු කෙනෙකුට උනත් දෙතුන් පාරක් ස්තූති කරන්ඩ මෙටා මතක කරේ නෑ. උදාහරණයක් විදිහට අත හෝදන්ඩ ටැප් එකක් ගාවට ඌත් එක්ක ගියා කියල හිතමු. අපි ඉස්සරෝම ටැප් එක අරිනවා. එතකොට මෙටා උගේ ස්තූතිය පටන් ගන්නවා.

තෑන්ක්ස් මචං....තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්...

අපි ඇරපු ටැප් එකෙන් අපි ඉස්සරෝම අත හෝද ගෙන ඒක වහන්නේ නැතුව ඌට අත හෝද ගන්ඩ ඉඩ දුන්නොත්, ඌ ආයෙත් තෑන්ක්ස් කරනවා.

තෑන්ක්ස් මචං...තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්... 

බැරි වෙලාවත් ටැප් එකෙන් අපි අත හෝද ගන්ඩ කලින් ඌ අත හෝද ගත්තොත් ඒත් ඌ තෑන්ක්ස් කරනවා.

තෑන්ක්ස් මචං...තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්...  

සමහර දවස් වල ඌ එක්ක වචන සීයක් කතා කරොත් ඒකෙන් විසි පහක් තිහක් තෑන්ක්ස් මචං කියන වචන දෙකට වෙන් වෙලා. ඌරන්ට මොන සෞඛ්‍යද කියනවා වගේ අපි වගේ අශීලාචාර පුරුදු වලින් වැහිලා හිටපු කට්ටියකට මුගේ මේ හැසිරීම හරි ප්‍රශ්නයක් උනා. ඉතින් අපි ඌත් එක්ක කතා කළා ඒ ගැන.

මචං මෙටා මොකද බං උඹ හැමවෙලේම තෑන්ක්ස් කියන්නේ පොඩි දේකටත්?”

ඉතින් මචං අනිත් එවුන් පොඩි හරි උදව්වක්නේ කරන්නේ. ඒකයි මම තෑන්ක්ස් කියන්නේ...

ඒ උනාට එහෙම කරන්ඩ එපා බං. උඹට ලොකු උදව්වක් කරොත් විතරක් තැන්ක්ස් කරපං. නැත්තං මිනිස්සු හිතයි උඹ නක්කලේට තෑන්ක්ස් කියනවා කියල.

ඇත්තද මචං? මිනිස්සු එහෙම හිතයිද?”

අනික උඹ ඕනවට වඩා ඔලුව නමන්ඩ ගියාම උන් උඹේ කරේ නගින්ඩ හදයි. තව එකක් උඹ හැම වෙලේම තෑන්ක්ස් කියන එක හරි වදයක් වෙනවා කතා කරන අනික් කෙනාට.

“තෑන්ක්ස් මචං කිව්වට, මං එහෙම එකක් හිතුවේ නෑ

“ඔන්න ආයෙත් කිව්වා!!. උඹ නොහිතපු හින්දනේ අපි මේ කිව්වේ. උදාහරණයක් විදිහට අපි උඹට මොන උදව්ව කරත් මීට පස්සේ තෑන්ක්ස් කියලා කියන්ඩ එපා. අපි එහෙම කරන්නේ උඹ අපේ යාලුවා හිංදා. ඉතිං විශේෂ ස්තූතියක් ඕන නෑ. මෙහෙම කියලා අපි වෙන වැඩකට යන්ඩ නැගිට්ටා.

තෑන්ක්ස් මචං. උඹලා එහෙම කියපු එක ලොකු දෙයක්!! තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්... මෙටා අපිට කිව්වා.

අපි අපේ කටවල් ගලක උලා ගන්ඩ ඉක්මනට එතනින් මාරු උනා.

ඊළඟ කතාවට පොඩි පසුබිම් විස්තරයක් ඕන. අපේ ලෙක්චර් හෝල් එකේ ඉස්සරහම පේලිය හැමදාම වෙන් උනේ ඇස් වල ආබාධ සහිත සහෝදර සහෝදරියන්ට. මීට අමතරව ඔය පේලියට ගිය එකෙක් තමයි මෙට්‍රික්ස්. ඒකට හේතුව ලෙක්චර්ස් වෙලාවෙදි නින්ද යන එක අඩු කර ගැනීමට උගේ තිබිච්ච උත්සාහය. හැමදාම මෙට්‍රික්ස් වාඩි වෙන්නේ රසික කියල යාලුවෙක් ළඟ.

දැන් මෙන්න කතාව ඔබ වෙත ඉදිරිපත් කිරීමට ගරු මෙට්‍රික්ස් තුමා වෙත මයික්‍රෆෝනය...සහාය විස්තර කථනය මගෙන්.

මචං මාර වැඩක් උනා නේ අද දවල් ලෙක්චර් එක වෙලාවෙදි!”  දවසක් හවස තුනට විතර මාව හොයා ගෙන හොස්ටල් එකට ආපු මෙටා කිව්වා.

ඇයි මොකද උනේ?”

කාපු ගමම්මනේ මචං මං ලෙක්චර් එකට ගියේ. ඉතින් මං වෙනද පුරුදු තැනින් වාඩි වෙලා ලෙක්චර් එක අහගෙන හිටියා. ටික වෙලාවක් යනකොට මට ඉන්ඩ බෑ නිදිමත. ඒ හිංදා මම චුට්ටකට ඇස් දෙක පියා ගත්තා.

ඉතිං?”

ඉතිං ටික වෙලාවක් යනකොට මගේ අත ටිකක් ලෙස්සලා ගියා. නිදිමත හිංදා ඔලුව තියන් හිටියේ ඒ අත උඩ නේ.

ඉතිං?”

මගේ ලෙස්සලා ගිය අත තව අතක ගෑවුනා. හරිම සිනිදුයි. උඹ දන්නවනේ රසිකයත් නිකං කෙල්ල වගේනේ හික්...හික්...මාත් ඉතිං ජොලියටත් එක්ක අනිත් අතින් අරූගේ අත අල්ලගෙන තව ටිකක් අත ගාලා බැලුවා. මචං මාරම සිනිදුයි උගේ අත. පොඩි එකෙක් ගේ වගේ.

ඉතිං මොකද බන් උනේ...?”

අනේ මචං තෑන්ක්ස් මේ මං කියන දේ අහගෙන ඉන්නවට. උඹේ වැඩත් පාඩු කරගෙන මේක මාර උදව්වක්....උඹට වැඩක් නං මං පස්සේ කියන්නං

නෑ..නෑ..දැන් කියහං! මටත් දැන් කුතුහලේ මූට මොකද උනේ කියල දැන ගන්ඩ.

ඊට පස්සේ මචං මං උගේ වැලමිට ගාව ඉඳලා අල්ල හරියට වෙනකල් හිමීට අත ගාගෙන ආවා. ලෙචා මොන මොනවදෝ කියවනවා මට ඇහුනා. හැබැයි මට පුදුම අරූගේ අතේ සිනිදු ගතියට!

ඉතිං ඉතිං....?”

ඊට පස්සේ මම අල්ල හරියේ ඉඳන් ආපහු වැලමිට හරියට එනකල් හිමීට අත ගාගෙන ආවා....පස්සේ මට හිතුනා මේකා මොනවහරි ක්‍රීම් එකක් ගානවා ඇති මෙච්චර සිනිදු වෙන්ඩ කියලා. මට ඕන උනා ඒ ක්‍රීම් එකේ නම අහ ගන්ඩ. ඉතිං මම ඇහුවා ඈ බං උඹ ගාන ක්‍රීම් එක මොකද්ද?” කියලා.

මොකද්ද ක්‍රීම් එක?”

මම එහෙම ඇහුවා විතරයි... මෙට්‍රික්ස් විහිලු වලට සීමාවක් තියෙන්ඩ ඕන. ඔය බලු වැඩේ නැවැත්තුවේ නැත්තං ගහනවා තොට සෙරෙප්පුවෙන්!! කියලා කියපි.

කව්ද රසිකයා?”

නෑ බං අර දීපානි. රසිකයා ඉඳලා තියෙන්නේ අනිප්පැත්තේ. මම අත ගාලා තියෙන්නේ ඒකිගේ අත!!! ඒකිගේ මූණ තරහෙන් රතු වෙලා. මට චූ බර හැදුනා ඒකිගේ මූණ දැක්කහම

අම්මට සිරි!!!! ඉතිං උඹ මොකද කරේ? මම එහෙම ඇහැව්වේ දීපානි කියන්නේ ටිකක් කට සැර චරිතයක් කියලා මම දැනගෙන හිටපු හිංදා.

මං මචං ඉතින් දහ දොළොස් පාරක්ම සොරි කිව්වා. වෙන මොනවා කරන්ඩද?”මෙටා ගේ ගති සොබාව දන්න හිංදා මට හිතා ගන්ඩ පුලුවන් උගේ සොරි කියවිල්ල දීපානිට මල වදයක් වෙච්ච විදිහ.

එතකොට ඒකි මොකද කරේ?”

මම දිගටම සොරි කියන කොට ඒකි කිව්වා ලෙක්චර් එක ඉවර වෙච්ච ගමං කනට ගහනවා ඔය කරච්චලේ නැවැත්තුවේ නැත්තං කියලා!!!”. 

අම්මප?.. ඉතින් උඹ මොකද කරේ?”.

මං ලෙක්චර් එක ඉවර වෙන්ඩ කලින් නැගිටලා එලියට ගියා. ඒකි මට ගහයිද බං?”

නෑ...මං හිතන්නේ නෑ. ඕක මතක තියා ගෙන ඉඳලා උඹට ගහයි කියලා.

ෂුවර් ද?”

හ්ම්….. ෂුවර්!!

තෑන්ක්ස් මචං. තෑන්ක්ස් ඈ. උඹ මාර උදව්වක් කරේ. මං හින්දටම බයේ හිටියේ!!!!

දීපානි මූට නොගහැව්වේ අපරාදේ කියලා හිතුනේ එතකොට. අඩු ගානේ එහෙම උනා නං මෙටා ගේ තෑන්ක්ස් කිරිල්ල නවතින්ඩ තිබ්බා!!!

දැන් ඔයාලට හිතෙන්නේ මෙටා කියන්නේ හරිම විනීත චරිතයක් කියලනේ. ඊළඟ කතා වලින් මෙට්‍රික්ස් ගේ අවලං වැඩ ගැන කියන්නං. ඒ කතා කියන්ඩ මට ටික දවසක් දෙන්ඩ.


ඒ කොහොම උනත් මෙටා මට උගන්නපු පාඩම තමයි අපේ ජීවිත මතු පිටිං පේනවට වඩා හරි සංකීර්ණයි කියන එක. එක අතකින් බලන කොට බොහොම විනීතව සමාජය ඉදිරියේ හැසිරෙන අපි හුග දෙනෙක් ජීවත් වෙන්නේ මායාවී යතාර්ථයක. මෙට්‍රික්ස් එකක් එහෙම නැත්තං න්‍යාසයක් තේරුම් ගන්ඩ නං න්‍යාසයට පිට ඉඳන් බලන්ඩ ඕන. ජීවිතෙත් සංකීර්ණ න්‍යාසයක්. ඒත් අපි කාටවත් ජීවිතෙන් එලියට ගිහිල්ලා ජීවිතේ දිහා බලන්ඩ බෑ. ඒ හිංදා අපිට ජීවිතේ හරියට තේරුං ගන්ඩත් බෑ. ඒ හිංදා කරන්ඩ තියෙන්නේ අපේ මෙට්‍රික්ස් කරා වගේ බොහොම විනීත විදිහට ජීවිතේට මූණ දෙන එක. ජීවිතේ සරළව ගන්න එක.

30 comments:

  1. මරු. ආසාවෙන් කියෙව්වා. අද ඉඳලා දිගටම මේ පැත්තේ එන්නම්

    ReplyDelete
    Replies
    1. ජේමිස් බණ්ඩා තුමාව සාදරයෙන් පිලිගන්නවා කට්ටකාඩුවට. දිගටෝම එන්ට. මං ලියන එව්වා ගැන හොඳ නරක කියන්ට. එතකොට තමයි සාර සුබාවට කට්ටකාඩුව හදා ගන්ඩ පුලුහන් වෙන්නෙ ඕං!!!

      Delete
  2. මෙට්‍රික්ස් ගැනනං බොලා කියල තියෙන කතාව ඇත්ත. මටනං ඒ ෆිලුමෙ මෙලෝ දෙයක් තේරුනේ නෑ.

    තෑන්ක්ස් මචං මේ කතාව කිවුවට. හැක්..

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර වරෙන් ෆිලුම් තුනම උඹට කියල දෙන්නං ටක්කෙටම.. හැක්

      Delete
    2. අපේ මෙටා ත් එහෙමමයි. දවස් දෙක තුනක් නෙවෙයි අවුරුදු දෙක තුනක් ආශ්‍රය කලත් අඳුන ගන්ඩ අමාරුයි. හැබැයි අපේ දේශක තුමා වගේ ටක්කෙටම ඌව අඳුනා ගත්තු සැට් එකකුත් ඉන්නවා. හැබැයි එකක් පැහැදිලියි එක මොහොතක් ඌව ආශ්‍රය කලත් දවස් දෙක තුනක් හිනා වෙන්ඩ පුළුවන් ඒ අත්දැකීම මතක් කරලා.

      Delete
  3. තෑන්ක්ස් මචං. තෑන්ක්ස් ඈ. උඹ මාර උදව්වක් කරේ.
    මේවගේ කතාවක් අපිට කියල.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මද්දා තුමනි තෑන්ක්ස් ඈ..ඔබතුමා මාර උදව්වක් කලේ මට තෑන්ක්ස් කරලා. තෑන්ක්ස් ඈ....!!!

      Delete
  4. ඔය වගේ උන්ට හොඳ බේත් තියෙනව..... හැබැයි ඉතිං අවදානමක් අරං කරන්න ඕන....හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පන්නිලගේ තුමනි අපේ මෙටා අහිංසකයා. දැන් නම් දරු පවුල් කාරයා. බේත් හේත් කොරන්ට ගොහිං ලෙඩා මළොත්?

      Delete
  5. තෑන්ක්ස් මචං. තෑන්ක්ස් ඈ. උඹ මාර උදව්වක් කරේ

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් රන්සකු තුමනි තෑන්ක්ස් ඈ..ඔබතුමා මාර උදව්වක් කලේ මට තෑන්ක්ස් කරලා. තෑන්ක්ස් ඈ....!!!

      Delete
  6. ලොකුමල්ලිගේ ඔය කතාව හින්දම මම ළඟදීම ඔය චරිතය බලන්ඩ එයා වැඩකරන තැනට
    යන්ඩ ඉන්නේ.ගිහිල්ල ඇවිල්ල තෑන්ක් කරන්නම

    ReplyDelete
    Replies
    1. ඔබතුමා අපේ මෙටා ව හම්බ වෙන්ඩ යන වෙලාවක මාත් උන්දැව මතක් කොලා කියන්ට. හැබැයි මං ඌ ගැන ලියලා තියනවා කියල නං කියන්ට එපා. බුදු සංතෝ මාව කයි පණපිටින්.

      Delete
  7. කතාව කීවට තෑන්ක්ස් ලොකු මල්ලි. ඉතුරු හරියත් ඉක්මනට කිව්වොත් ගොඩක් තෑන්ක්ස්.

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරම් ඉක්මනට ඉතුරු කොටස ලියන්නං හැලප තුමනි. හුගක් වෙලාවට හෙට අනිද්දම. හැබැයි අපිත් කැමතියි අපේ ගුරුවරු වෙච්චි ඔබතුමාලත් ඔය උපදෙස ටක්කෙටම පිලිපදිනවනං. අර කවියකුත් තියනවනේ..
      ඔවා දෙනු පරහට
      තමා සම්මතෙහි පිහිටා සිට
      දු??ත් දනන් දෙන
      ඔවා වැ??න් කියන බණ වැනි කියලා.
      මං සෙන්සර් කරපු වචන දෙක කට්ටකාඩුවේ පළමු ලුහු බදින්නා වෙනුවෙන් පාවිච්චි කොරන්ට කැමති නැති වචන දෙකක්.

      Delete
  8. කට්ටා කතාවක් කියන්න පටන් ගත්තම හරියට ෂිචුකාර් සීයා වගේ. වෙන කතා තුන හතරක් කියලයි මුල් කතාව ඉවර කරන්නේ :)

    ReplyDelete
    Replies
    1. හේමාංග තුමනි මේ ලිපිය වෙනුවෙන් පළවුණු අදහස් වලින් මම කැමතිම අදහස ඔබ තුමාගේ. අපේ අප්පොච්චි කියාපු විදිහට නං ඔය ගතිය ඇවිල්ලා තියෙන්නේ අපේ අම්මගෙන්.

      අපේ අත්තම්මා පොත් දෙකක් ගෙනැල්ලා දුන්නලු තමුන්ගේ දූවරු දෙන්නට. එකක් සඳ කිදුරු ජාතකේ අනික උම්මග්ග ජාතකේ. අපේ ලොකු අම්මා ගත්තේ සඳ කිඳුරු කතාවලු. ඒකලු උන්දැ කතා කරන කොට හැම වෙලේම වැලපිල්ලකුත්, අදෝනාවකුත් එක්කම කතා කරන්නේ. අපේ අම්මාට හම්බ උනේ උම්මග්ග ජාතකේ. ඉතින් අපේ අම්මා ජීවත්ව ඉන්නකල් ම එක කතාවක් කියන්නේ ඒකෙ අතුරු සිදුරු කතා දෙක තුනකුත් එක්කමයි!!! ඔය අපේ අම්මගේ සහෝදර සහෝදරියෝ ගැන වෙනම දවසක ලියන්නං.

      ඒ කොහොම උනත් මම ලියන විදිහට ඔබතුමාලා අකමැති නං මූනට කියන්ඩ. වෙනස් කර ගන්ඩ බලන්නං වැඩි දෙනෙක් ඒ විදිහට කැමති නැත්තං.

      අනික කවුද ඔය කියන ශිචුකාර් සීයා? මං ආසයි දැන ගන්ඩ.

      Delete
  9. තෑන්ක්ස් මචං උඹ ලොකු උදව්වක් කරේ. අනිති කතා ටිකත් කියහං. මේ දවස් වල උඹ තමා කතා ෆැක්ටේරිය කට්ටා. හැක්

    ReplyDelete
    Replies
    1. අනේ කාලේ වනේ වාසේ කිව්වලු දේශක තුමනි. අබුද්දස්ස කාලෙට ලූල්ලු, ආදෝ, කනයි, පෙතියෝ නැති උනාම පොඩි තිත්ත පැටවුනුත් මාලු වෙනවලු. ඒ වගේ තමයි මම කතා පැට්ටේරිය වෙලා තියෙන්නේ!!! තෑන්ක්ස් මේ කොමෙන්ට් එකට!!!

      Delete
  10. ඉතාමත් ඉස්තූතියි ඔබට

    ReplyDelete
    Replies
    1. නමා මා හිස
      පිළිගනිමි ඔබ
      හදින් නැගෙනා
      තුතිය මා පිය
      සුරඟ තුමෙනී!!!

      Delete
  11. හෙහ් හෙහ්... මරුනේ... අර නින්ද ගියපු එක නම් මටත් සහතික වෙන්න පුළුවන්. මොකද මෙහෙම එකෙක් අපෙත් උන්නා. ඒ උනාට ඊට වඩා කෙනෙක් හිටියා උගේ නම 'දොස්තර'. මුලින්ම නම් 'ඩොක්ට' කියලා පටන් ගත්තේ, කෙලවර උනේ දොස්තර වෙලා. ඌ ගැන නම් ලියන්න ගියොත්....... හෙහ් හෙහ්

    ඊලග කොටස අපිට කියවන්න පුළුවන් ජාතියේ එකක් වෙයි කියල හිතනවා...

    ඔය මෙට්‍රික්ස් කියලා එකෙක් උන්නා.. මට දැන් මතක නැහැනේ ඒ ජොලි කතා. කර්පට් නම් දනිමි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලිඛිතා මැඩම්. ඔබ තුමීත් පේරාදෙණියේද? කර්පට් ගැනත් කියන්ඩ බොහෝ දේ තියනවා. ඊළඟ කොටස අනිවා බලන්ඩ මම එකත් ලියන්නේ සිංහලෙම්ම තමා. කල්කියුලස් පාඩමේදී අපි වින්ද අමාරුව ඔබ තුමීලට දෙන්ඩ බලාපොරොත්තුවක් නෑ.

      Delete
    2. අනේ නෑ මම පේරාදෙණියේ නෙවෙයි. කර්පට් කෙනෙක් මගේ යාලුවෙක්. ඒවා ඉතින් පරම්පරා ගානම් යන නම්නෙ.

      ආ.... අමතක උනා.. මේ මෙට්‍රික්ස් නුවර කඩේ කෙනෙක් කිව්වා?? මාරයිනේ... හිහ් හිහ්

      Delete
    3. ඒක ඇත්ත කර්පට් ලා පරම්පරාවෙන් පරම්පරාවට යන නං.
      ඔව් අපේ මෙටා තුමා නුවර කොල්ලෙක්!! හරියටම කිව්වොත් නුවරින් මාතලේ පැත්තට වෙන්ඩ.

      Delete
  12. තෑන්ක්ස් මචන් තෑන්ක්ස් කතාව පට්ට තෑන්ක්ස් උබට කරදරද මන්දා ඒ වුනාට තෑන්ක්ස් මේක ලිව්වට....

    ReplyDelete
    Replies
    1. අපේ තඩි තුමා අර පැල ඉනි වැට ගහන්නේ නැතුව ඔන්න ඔහොම වචන දෙක තුනක් කියනවනං අපිට සතුටුයි. තෑන්ක්ස් ඔබතුමා මේ කතාව කියෙව්වට!!

      Delete
  13. මැට්රිස්, අම්මප එහෙමත් දේකුත් තිබ්බනේ ඉස්සර කාලේ.
    වැඩි කොරල, එකතු කොරල, අහවල් තැන තියල, අනිත් පැත්ත ගහල. අනේ අම්මේ එව්වයේ කොරපු වැඩ.
    තෑන්ක්ස් මචං සෑර් ....තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්... කවුද සෑර්ල නැත්තං මෙව්වා අපිට මතක් කොරල දෙන්නේ. නැද්ද ඈ.
    තෑන්ක්ස් ඈ...මේක මාර උදව්වක්...

    ReplyDelete
  14. මේට්‍රික්ස් එකේ බැක්වර්ඩ් ජම්ප් එක කොහොමද? පසුව ෆිල්ම් වලත් ඒක දැම්මා

    ReplyDelete