Monday, January 8, 2018

ජෙරුසෙලම, තී නම් මනහරය


අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට ගිහින් බුද්ධගයාව වැඳ ගන්ඩ ගියාම දැක්කා බුද්ධගයාවට ඇතුල් වෙන්ඩ කිසිම බෞද්ධයෙකුට අවසර නෑ කියල. ඒ වෙනකොට ඒ කියන්නේ 1891 ජනවාරි 22, බුද්ධගයාව කියන්නේ මහන්තා කියල හින්දු පූජකයෙක් යටතේ පාලනය වෙච්ච ශිව කෝවිලක්. ඉතිං ධර්මපාල තුමා පටං ගන්නවා ජාත්‍යන්තර ව්‍යාපාරයක් මේ බුදුන් උපන්න ශුද්ධ භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ. විවිධ උත්සාහයන් ගණනාවකට පස්සේ 1914 දී එතුමාට පුළුවන් වෙනවා පොඩි සාර්ථකත්වයක් ලබා ගන්ඩ. ඉන්දියාවේ ලෝක ප්‍රකට කවියා රබීන්ද්‍රනාත් ටාකූර් 1922 දී මෙහෙම කියනවා.

"බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ උතුම් ස්ථානයේ, ඒ ආගම ගැන හෝ බෞද්ධ වන්දනා විධි පිළිබඳව හෝ මනා අවබෝධයක් නැති එම ආගමට තරඟකාරී ආගමකට අයත් පූජ්‍යස්තානයක්  නොපැවතිය යුතු බව හිංදු ආගමික ප්‍රතිපත්ති පිළිබඳව හොඳින් දන්නා සියලු හින්දූන් පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි" 


කවුද මේ කියන්නේ? හිංදු ආගම අදහපු ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක්. එතුමා කිව්වා වගේම නිදහස් ඉන්දියාව පළමු වතාවට බුද්ධගයාව පාලනය කරන්ඩ මණ්ඩලයක් පත් කරනවා 1949 දී. ඒ වෙනකොට ධර්මපාලතුමා අපවත් වෙලා අවුරුදු 16 වෙනවා. මේ මණ්ඩලේට සාමාජිකයෝ 9 යි. සභාපති අනිවාර්යයෙන් හිංදු කෙනෙක් වෙන්ඩ ඕන. සාමාජිකයොත් බහුතරයක් හිංදු. හැබැයි ඊට පෙර තිබ්බ තත්වෙට වඩා හුඟක් හොඳයි. 2013 දී මේ මණ්ඩලය පිහිටවපු පණත බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව ආයෙත් සංශෝධනය කරනවා. දැන් හිංදු නොවන කෙනෙකුට උනත් මණ්ඩලේ සභාපති වෙන්ඩ පුළුවන්!! 2013 දී බිහාර් ප්රාන්තේ තියෙන්නේ හිංදු අන්තවාදී කියල කියන භාරතීය ජනතා පක්ෂයත් ඇතුලත් සභාග ආණ්ඩුවක්.

මට කියන්ඩ ඕන උනේ හෙමිං නමුත් මිනී මරා ගන්නේ නැතුව බුද්ධගයාවට තියන බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ වැඩ කටයුතු වෙනවා කියන එක. ඒක හිංදු බහුතරයටත් රිදෙන්නේ නැති විදිහට සාමකාමීව වෙනවා කියන එක සතුටක්. එහෙම නැතුව කැත්තට පොල්ල වගේ ඉඳලා, බහුතරය රිදවලා, කොටසකගේ හිත තලලා මෙහෙම දේවල් කරන එක මහ භයානකයි.

එක ආගමකට වැදගත් ස්ථානයක් එහෙම නැත්තං නගරයක් ගැන කතාව එහෙම නං ආගම් තුනකට වැදගත් නගරයක් ගැන වැඩ කරන කොට කොහොම ඉවසිල්ලක්, ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන්ඩ ඕනද?

ජෙරුසෙලම කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් කියන ආගම් තුනටම පොදුවේ වැදගත් නගරයක්. මේ නගරේ මුලිම්ම බිහිවෙන්නේ මීට අවුරුදු 6,000 කට විතර කලින්. යුදෙව් ආගම බිහිවෙන්නේ මීට අවුරුදු 3000 කට විතර කලින් කියලයි විකිපීඩියාව කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2018 ක්. ඉස්ලාම් ආගම බිහිවෙලා දැනට අවුරුදු 1,600 විතර වෙනවා. ඒ කියන්නේ ජෙරුසෙලම ආරම්භ වෙලා තියෙන්නේ මේ මොන ආගමක්වත් පටන් ගන්ඩ ඉස්සර!!

ජෙරුසෙලම පටන් ගත්තු කාලේ හිටපු මිනිස්සුන්ඩත් මොකක් හරි ආගමක් තියෙන්ඩ ඇති. ඒ ආගමේ එකෙක් දෙන්නෙක් හරි දැනුත් ඉතුරු වෙලා ඉන්නවනං ඒ අය ඇවිත්  අපි තමයි මේකේ මුල් පදිංචිකාරයෝ තොපි ඔක්කොම හැඳි ගෑවිලා පලයල්ලා කියල කිව්වොත් දැන් ඉන්න කට්ටිය - පලස්තීන වේවා ඊශ්‍රායෙල් වේවා කවුරු උනත්- යයිද? නෑ එහෙම වෙන්නේ නෑ. ඒ මොකද මේ ලෝකේ ආගම කියන සාධකය උඩ නෙවෙයි දේශපාලන කටයුතු තීරණය වෙන්නේ. බලය මතයි ඒ තීරණය ගැනෙන්නේ. ඒක තමයි ඇත්ත, අපි කැමති උනත් අකමැති උනත්. බලයයි, ආගමයි කියන්නේ කාරණා දෙකක් උනත් ඒ දෙක එකට බැඳිලා තියන හින්දයි අපිට වෙන් කර ගන්ඩ බැරි. එහෙම මේ දෙක බැඳිලා නොතිබ්බ වෙලාවක වෙච්ච කතාවක් කියන්නං මේ ලංකාවෙන්.

අපේ ඔය විජය කුමාරයා ඉන්නවනේ. එතුම ගොඩ බැහැලා කුවේණි කුමරියත් එක්ක සම්බන්ධකමක් හදා ගෙන ස්වදේශික ජනතාවගේ උත්සවේකට ගියා කියනවනේ. ඒ ගියේ කොහාටද? සිරසවත්තුපුරේට. මගේ හිතේ ඒ කාලේ වෙනකොට ලංකාවේ ප්‍රධාන නගරයක්- හුගක් වෙලාවට අගනුවර -වෙන්ඩ ඇති ඔය කියපු නුවර. නැත්තං ඔක්කොම ස්වදේශික නායකයෝ එතෙන්ට රැස් වෙන එකක් නෑ නේ. ඉතිං ඒ ම්ලේච්ච ස්වදේශික සංහාරෙන් පස්සේ විජය කොහෙද තමුන්ගෙ අග නුවර විදිහට තෝර ගත්තේ? උපතිස්ස ගාමය. ඊට පස්සේ ස්වදේශික- විදේශික එකමුතුවෙන් පස්සේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ කොහෙටද අගනුවර ගෙනිච්චේ සිරසවත්තුපුරේටද නෑ අනුරාධපුරේට. අවුරුදු දාහක් විතර අපේ අගනුවර වෙච්ච, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වගේ මහා බෞද්ධ ආයතන පිහිටලා තිබ්බ නගරය ආක්‍රමණිකයන් අතින් විනාශ උනාම අනෙ අප්පේ එහෙම කියල කොහොමද අපි කොහොම හරි අනුරාධපුරේම ඉන්ඩ ඕන කියල අපේ හිටපු රජවරු ආපහු ගියාද? නෑ. මහා පරාක්‍රමභාහු වගේ ප්‍රභල රජ කෙනෙක් ඉන්දැද්දී පවා රාජධානිය උනේ පොලොන්නරුව. ඊට පස්සේ කාලේ ගැන කියන්ඩ ඕන නෑ හැමෝම දන්නවනේ.
ඉතිං අග නුවර කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ දේශපාලන බලය තියන කණ්ඩායමේ උවමනාවල් වලට අනුව. ඒ උවමනාව වෙනස් උනාම එහෙම නැත්තං වෙන උවමනාවක් තියන කණ්ඩායමක් බලයට ආපුවම අර අගනුවර ආයෙත් වෙනස් වෙනවා. ඔය අගනුවර කියන සංකල්පෙට ඉංගිරිස් කාරයෝ හරි ලස්සන යෙදුමක් යොදනවා. ඒ තමයි “Seat of Power” - මට තේරෙන ඉංග්‍රීසියට අනුව නං ඒ කියන්නේ බලයේ ආසනය කියන එකයි. ඒ කියන්නේ බලය කේන්ද්‍රගත වෙලා තියන තැන.

ඉතිං ඔය වගේ මානව ඉතිහාසය ගත්තම ඉතා තාවකාලික සිදුවීමක් හිංදා මිනී මරා ගන්ඩ ඕනද? මට තියන ප්‍රශ්නේ ඒකයි.

මම බෞද්ධයෙක්. ඉතිං මම අනුරාධපුරේට හරි සැවත් නුවරට හරි, බුද්ධගයාවට හරි ලුම්බිණියට හරි ගියාම හිතෙනවා අනේ මේ අපි ඉන්නේ බුදු හාමුදුරුවෝ එහෙම නැත්තං රහත් උත්තමයෝ වැඩ හිටපු තැනක නේද? මේ මේ තැන් පහු කර ගෙන ඒ උත්තමයෝ වඩින්ඩ ඇති නේද? කියලා. ඔය ජෙරුසෙලමේ මිනී මරා ගන්න එවුන්ට හිතෙන්නේ නැද්ද ඒ නගරේ පොලොව උඩ නේද ජේසු තුමා ශ්‍රාවකයොත් එක්ක වැඩියේ කියලා. මම ඉස්ලාම් ආගම ගැන දන්නේ නෑ හැබැයි නබිතුමා හෝ එතුමාගේ ප්‍රධාන අනුගාමිකයෝ හරි ජෙරුසලමේ ඉන්න ඇති. යුදෙව් ආගමේත් ප්‍රධානියෝ ඔය නගරේ ඉන්ඩ ඇති. මේ හැමෝම තම තමුන්ගේ දෙවියන්ට කී පාරක් යාඥා කරලා ඇත්ද ඔය ශුද්ධ භූමියේ ඉදන්?මිනිස්සුන්ට යහපත උදා කරලා දෙන්ඩ ඔවුන් කොයිතරං වෙහෙස වෙන්ඩ ඇත්ද ඔය නගරේ ඉදන්. ප්‍රේමයේ පණිවිඩය දෙවියන් හා මිනිසුන් එක්කහු කරමින් කී පාරක් ගලා යන්ඩ ඇත්ද ඔය නගරේ ඉඳන්?

එහෙව් නගරයක්, ආගමක් නාමයෙන් අල්ලාගෙන මිනී මරා ගන්නේ ඇයි? බයිබලයේ ශුද්ධවර මැතිව් ගේ පොතේ මෙහෙම තියනවා.

……එහෙත් ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, කෛරාටිකයෙනි, ඔබ මා පරික්ෂා කරන්නේ මන්ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැයි වදාළ සේක. ඔවුහු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ. "මේ රූපය හා සටහන කවරෙකුගේ දැ" යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. "සීසර් අධිරාජයාගේ ය"යි ඔවුහු කීහ. එවිට උන් වහන්සේ, එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ" යි වදාළ සේක. ඔවුහු ඒ අසා මවිතව උන් වහන්සේ අත්හැර ගියහ. (ශු. මැතිව් 22:15)

ජේසුස් වහන්සේට තිබු ප්‍රඥාව උන් වහන්සේගේ වර්තමාන අනුගාමිකයන්ට තියනවනං ඔවුන් මිනී මරා ගන්න එකක් නෑ. නබි තුමාගේ හෝ යුදෙව් ආගමේ ඉගැන්වීම් ගැන මං දන්නේ නෑ හැබැයි මට හිතෙනවා ඔවුනුත් මීට සමාන දේවල් කියන්ඩ ඇති අනුගාමිකයන්ට. ඒත් ඒ එකක්වත් තේරුං නොගන්න අපි මිනී මරා ගන්නවා ජෙරුසෙලම වෙනුවෙන්.

ජෙරුසෙලම හරියට අම්ම කෙනෙක් වගේ. කවදාවත් කාටවත් අයිති කර ගන්ඩ හෝ විනාශ කරන්ඩ බැරි උතුම් සංකල්පයක්. මගේ අම්මා ජීවතුන් අතර නැති උනත් ඒ සුවඳ, ඒ හඬ මට තාම දැනෙනවා. මගේ හිතේ හැම දරුවෙකුටම එහෙමයි. ඒ වගේම ජෙරුසෙලමත් කාටවත් කවදාවත් අයිති කර ගන්ඩ වත් නැති කරන්ඩ වත් බැරි සුන්දර සංකල්පයක්. මෙන්න සාක්කි. පහුගිය අවුරුදු හය දාහක කාලෙදි ඔය නගරය දෙපාරක් සම්පූර්ණයෙන් සමතලා උනා. හැබැයි ඊජිප්තු ෆීනික්ස් කුරුල්ලා වගේ අළු උඩින් ජෙරුසෙලම නැගී හිටියා. සතුරන් විසින් 23 පාරක් සම්පූර්ණයෙන් වටලව්වා. පනස් දෙපාරක් ප්‍රහාරයන්ට ලක් උනා. 44 පාරක් එක එක පැති වලින් අල්ල ගත්තා. ඒ කියන්නේ 121 වතාවක් විනාසේ කර මුලටම ආවා. හැබැයි විනාස උනේ නෑ. ඔය කාලේ ඇතුලත අධිරාජ්‍ය කීයක් ඇතිවෙලා නැතිවෙලා ගියාද? ඉතින් මේ අමරණීය නගරයක් වෙනුවෙන් කෙටි ජීවිත කාලයක් තියන මිනිස්සු මිනී මරා ගන්න එක මොන තරං මෝඩ වැඩක්ද?

මට හිතෙන්නේ මේ ඇත්ත දැන් ඉන්න නායකයොත්, සාමාන්‍ය මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. අපේ මහා කවියා - මහගම සේකර මහත්තයා කියනවා වගේ ඔවුන් මෙහෙම හිතනවා ඇති.……

උදුරා දමා සිතෙන් පැරණි මතක
ඉදි කරමුව ඉදිරි දවස.
ඔවුහු කියති සිත ඇතුළෙන්
ඔවුනොවුන්ට.
තම තමන්ට.
එසේ වුව,
මතකයට වරින් වර ගලා එයි
අතීතයේ සුවඳ- දුගඳ
ඉන් නැත මිදුමක්.
සසඳා බලති ඔවුහු
එදත් - අදත්
උන්ගේ නියම සෙනෙහස මනිනා පඩිය
දැන් පැත්තට දමා බැලු විට බර වැඩිය

(මහගම සේකර - රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත කවි පොතෙන්)

මෙහෙම මිනී මරා ගන්නවනං ශුද්ධ නගර වෙනුවෙන්, අපි ඔය ශුද්ධ නගර එක්කහු කරලා පොළොවෙන් එළියේ තැනක තියමු. ඊට පස්සේ ආරියවංශ රණවීර කවියා කියනවා වගේ මෙහෙම කියමු.

ඔබ ඉන්න ඔතන පිටතම
උස වැඩියි ගන්න ගෙතුළට
මිටි මිටි දෑය ඇත්තෙ ඇතුළත
උස ඔබට කොහොමවත් නොගැළෙපෙන

කතා කුණු වැකුණු රෙදි පෙරෙදි වෙයි
කට දිගේ හොදි පෙරුණු බඳුන් වෙයි
නොසරුප් වදන් එහෙ මෙහෙ වදියි
නොගැඹුරු අකුණු හිස මත කෙටෙයි

ඔබ ඉන්න ඔතන පිටතම
මහා අකුණු ආවද නොසැළෙන
පත් කිරුළු පානා රජෙකු සේ
නෙක රැස් ප්‍රභා අවට විහිදමින්

මම පැමිණ වරින් වර පිටතට
ඔබ අසළ සෙවන යට වැතිර ගෙන
විඳි සුවය හද මැදුර දරා ගෙන
හොදි බඳුන් සෝදමි ගෙට පැමිණ
කැත කුණු ද සෝදමි ගෙයි වැකුණ

ඔබ ඉන්න ඔතන පිටතම
උස වැඩියි ගන්න ගෙතුලට 

(ආරියවංශ රණවීර, කණිකා - කවුළුවට අතු අගින් අනින ගෙන් පිටත උස ගසට)

එහෙම නැත්තං ඔක්කොම එක්කහු වෙලා මෙහෙම ප්‍රතිඥා දෙන්ඩ ඕන ජෙරුසෙලමේ උපදින අනාගත පරම්පරාවට. ඔය අපේ ලංකාවේ නායකයෝ උදේ දවල් බොරුවට දෙනවා වගේ නෙවෙයි හදවතිම්ම. ප්‍රතිඥාව දැනටම ලියල මහගම සේකර.

යගදා දෑතින් සවිබල මිරිකා
මවු පොළොවේ පස එයින් හනා
පුතුනේ හෙට ඔබ දොරට වඩින විට
ගොඩ නංවන්නෙමු අලුත් ලොවක් අපි
ආදරයෙන් පිරි අලුත් ලොවක්
.......
අතීත උරුමය පාදා මතුකොට
නව යුගයේ නව හුස්මෙන් පණ පිඹ
යළි නොවැටෙන ලෙස
ඒ ගල් ටැම් මත
ගොඩ නංවන්නෙමු අලුත් ලොවක්
සන්තෝෂය පිරි අලුත් ලොවක්!!

(මහගම සේකර, නොපළ ගීත - ගොඩ නංවන්නෙමු අලුත් ලොවක් අපි)

ජෙරුසලමේ විතරක් නෙවෙයි ලංකාවේ අනාගත පරපුරටත් මේ පොරොන්දුව දෙමුද අපි?
ආදරයෙන් පිරි අලුත් ලොවක්

සන්තෝෂය පිරි අලුත් ලොවක්!

15 comments:

  1. මම නං.ඔව්ව ගැන වැඩිය හිතන්නෙ නෑ. හැබැයි එව්වයෙ තියෙන සංස්කෘතිකමය, පැරැණි වටිනාකම කාබාසීනියා කරනවට නං විරුද්ධයි. අනික් අතට හිතෙනවා එක්කොම අනිත්‍ය ලෝකෙ ඔව්වටත් ඕනෑ කුදයක් වෙච්චැයි හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්නේ මේ නගරයක් වෙනුවෙන් මිනී මරා ගන්න එක මොන තරං වැදගත් දෙයක්ද කියලා හිතලා බලන්ඩ ඕන කියන එකයි සුරංග තුමනි. හැබැයි නගරයක හරි රටක හරි පුරා වස්තු කියන්නේ කිසිම ජාතියකට, ආගමකට තනියෙන් අයිති නැති මුළු ලෝකෙටම අයිති වටිනා කම මිල කරන්ඩ බැරි දේවල්. කවුරු හරි ඒ වගේ වටිනා වස්තු විනාශ කරනවනං තලන්ඩ ඕන මඩු වල්ගෙන්!!

      Delete
  2. ආගමික ස්ථාන ගැන මට තියන ඉන්ටෙරෙස්ට් එක සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ඒවායේ අයිතිහාසික, පුරාවිද්‍යාත්මක හා කලාත්මක වටිනාකම් මත. මං පන්සල් පල්ලි දේවාල කෝවිල් වලට සෑහෙන්න යනවා ඒ වඳින පුදන අධ්‍යාත්මික කාරණාවලට නෙමෙයි ඔය අනිත් දේවලට

    ReplyDelete
    Replies
    1. අපේ හුගක් අය තේරුම් නොගන්න දෙයක් මේක ප්‍රා ජේ. උදාහරණයක් විදිහට දඹදිව වන්දනාවේ යන හුගක් බැතිමත්තු ටජ් මහල නරබන්ඩ යන්නේ නෑ ඒක ගොඩ නැගුවේ මුස්ලිම් රජෙක් නිසා. ඔවුන් හිතන්නේ ඉන්දියාවෙන් බුද්ධාගම නැති කලේ ෂා ජහාන් කියලා. ඇත්තටම ඔවුන් ඉතිහාසය දන්නෙත් නෑ. ලෝක උරුමයක් වෙච්ච වටිනා කළා නිර්මාණයක් සියැසින් බලා ගන්ඩ තියන වටිනා අවස්ථාවත් නැති කර ගන්නවා. මේකෙ දෙවෙනි කොටස තමයි සාම්පූර් දාගැබ ඩෝසර් කිරීම. මූදු මහා විහාරය වටේට ඉඩං අල්ල ගැනිල්ල. කෝට්ටේ රජ මාලිගේ උඩ ගෙවල් හැදිල්ල!!

      Delete
  3. උඩ දෙන්න කියල තියෙනව වගේ ඔය පූජනීය ස්ථානවල තියෙන පෞරාණික බව, කලාත්මක බව තමයි වටින්නෙ. අර බාමියන් කාරයො වගේ ඕවට කෙලෝල දාන්නැතුව ඉන්නවනං ඒ මදෑ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ තලේබාන් වරු බාමියන් බුදු පිළිම විනාශ කිරීම ගැන නේද? සමහර ඉස්ලාම් අන්තවාදී සංවිධාන ටිම්බක්ටු නගරයත් විනාශ කළා. එය අතීතයේදී දැනුමේ කේන්ද්‍රස්ථානයක්. අතීතයේදී නාලන්දාවට, තක්ෂිලා විශ්ව විද්‍යාලෙට ගිනි තිබ්බෙත් මෝගල් ආක්‍රමණිකයෝ. යාපනේ පුස්ථ කාලෙට ගිනි තිබ්බේ....නෑ ඒ වෙන කට්ටියක්.....

      Delete
  4. ඊස් ඇට් ජෙරුසලම අවුල ගැන සොයමින්.. ස්තුතියි එහෙම අවුලක් ඇති බව පෙන්නුවට.. ඇත්තටම අනවශ්‍ය අවුලක්.. :/

    ReplyDelete
    Replies
    1. අනවශ්‍යදත් අහනවා. එක කාලෙක මුළු උතුරු නැගෙනහිර පළාත් ඔක්කොම කොටින්ට යටවෙලා තියෙද්දී උං අගනුවර විදිහට සැලකුවේ යාපනය. ඒ කාලේ අපි ඒකට විරුද්ධ උනා කියල වැඩක් නෑ. හැබැයි ලංකාවේ හමුදාව යාපනේ අල්ල ගත්තම, ඊට පස්සේ කොටිනට යටත් වෙලා තිබ්බ හැම පැත්තම මුදා ගත්තම, කොටින්ගේ යාපන අග නුවර සිහිනය විනාශ උනා.

      Delete
  5. වටිනාම අදහසක්.ඔබ වැනි අය ලෝකේ නායකයෝ වෙලා හිටියනම් හෝ ඉන්නවානම් අද අපි ඉන්න තත්වය වෙනස්ම වෙන්න තිබුනා.නමුත් ඉතිහාසයේ දියුණුව,ධනය ලබාගෙන ඇත්තේ යුද්ධ තුලින්.බලවන්තයා ඉන්නවා,දුර්වලයා නැතිවෙනවා මේ පොළොවේ ස්වභාවය එයයි.ලොකු සතා පොඩි සතාව කනවා.යුරෝපයේ ක්‍රමය නැත්නම් ක්‍රිස්තියානි හා මුස්ලිම් න්‍යාය ඇවිත් දතට දත ,ඇසට ඇස.එහෙව් ලෝකයක බලවන්තයා දිගු ආයුෂ ලබනවා.අපි ජීවත්වන ලෝකෙ හැදිලා තියෙන්නේ එහෙමයි.බලය මුදාහැර ලබාගන්න ලෝකේ, පසුව සාධාරණ සමාජයක් හදනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත් ගුණවර්ධන තුමනි ඔබේ අදහසට. යුරෝපයේ, ආසියාවේ විතරක් නෙවෙයි කොහෙත් බලය කියන්නේ මිනිස්සුන්ව දූෂණය කරන සාධකයක්. එහෙම නේද?

      Delete
  6. මේ ලියල තියන දේ ඔය කියපු තුන්ගොල්ලටම තේරුම් ගන්ඩ බැරිද?.එහෙම නැත්නම් ඒගොල්ලන්ව පාලනය කරන්නේ වෙන අයද?ඇයි මේ වගේ ප්‍රශනයක් විසදගන්ඩ බැරි?ආගම හින්දද?

    ReplyDelete
    Replies
    1. තේරෙනවා ඇති දසනායක තුමනි. ඒ උනාට තේරෙන්නේ නැතුවා වගේ ඉන්නවා. ඇත්තටම නිදා ගෙන ඉන්න මනුස්සයෙක් ඇහැර වන්ඩ පුළුවන්. හැබැයි බොරුවට නිදි වගේ ඉන්න එකෙක් ඇහැර වන්ඩ අමාරුයි නේ!!

      Delete
  7. www.mountgerisim.blogspot.com has left a new comment on your post "ජෙරුසෙලම, තී නම් මනහරය":

    මෙම බ්ලොගකරුට ඊශ්‍රායලයේ ඉතිහාසය ගැන ඇත්තේ අල්ප දැනුමක් බව පෙනේ.
    01. යෙරුසලම යුදාගම,ක්‍රිස්තියානිය හා ඉස්ලාමය යන ආගම් 03 ටම වැදගත් නගරයක් බවට වූ සටහන-මෙය තනිකරම අසත්‍ය , ඉතිහාසය විකෘත්ති කිරීමකි.
    බයිබලයේ 'යෙරුසලම' යන්න 1000 වාරයකට වඩා සටහන්ව ඇත.
    කුරානයේ 'යෙරුසලම' යන්න එක තැනකවත් සඳහන් නොවේ.
    යේසුස්වහන්සේ යෙරුසළම මහ රජුන්ගේ නගරය ලෙස හඳුන්වා ඇත.
    ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් යෙරුසලමේ සිදුවීම නිසාම යුදාගමට හා ඊශ්‍රායලවරුන්ට යෙරුසලමේ ඇති අයිතියට කිසිසේත් පටහැනි වන්නේ නැත.
    යෙරුසළම තනිකරම යුදාගමේ කේන්ද්‍රස්ථානය හා සියළුම ඊශ්‍රායල යුදා රජවරුනේ රජධානිවලට අඩු වැඩි වශයෙන් .සම්බන්ධවූ අතර ක්‍රි,පු. 3000 සිට අද දක්වාම එය කිසි විටෙකත් අරාබි හෝ ඉස්ලාම් රාජ්‍යයක අග නුවර නොවීය.
    දාවිත් විසින් ක්‍රි.පූ. 3000දී යෙරුසළම ඊශ්‍රායලයේ අගනුවර බවට පත් කරන ලදී.
    ඔහු පුත් සලමොන් විසින් ඒකාබද්ධ ඊශ්‍රායල් රාජ‍යයේ අගනුවර ලෙස ඊශ්‍රායලය පත් කරන ලදී.
    යුදාගමිකයන් විසින් ටෙම්පල් මවුන්ට් නමින් හඳුන්වන ස්ථානයේ සලමොන් විසින් මහා දෙව් මැඳුර ගොඩ නඟන ලදී.
    එම දෙව් මැඳුරේ අති ශුද්ධස් ස්ථානයේ තිබූ භාංඩ හා එම පුජකවරුන්ගේ පැටිකිරිය සඳහා යුදාගමීක මහාවංසය වන බයිබලය කියවා බලන්න.
    සලමොන් විසින් ගොඩ නඟන ලද එම මහා දෙව් මැදුර ,බබිලොනියානු හා ඇසිරියානු ආක්‍රමනිකයන් විසින් විනාශ කිරීමෙන් පසු නෙහෙමියා ධර්ම වක්තෲන් සහ ඊශ්‍රායලයේ පාලකයාවූ සෙරුබ්බාබෙල් විසින් ගොඩ නඟන ලද 02 දෙව් මැඳුර ක්‍රි.ව. 35- 70 දක්වා රෝමානු අධිරාජ්‍ය හමුදා හා යුදෙව් විමුක්ති හමුදා අතර පැවති සටන් වලදී මුළුමනින්ම දැවී අළුවී ගියේය. එම සටන්වලදී යුදා -ඊශ්‍රායල් ජාතිකයන් 8500000 පමන් ඝාතනය වූ බව ජොසිපස් නැමැති ඉතිහාසඥයා විසින් වාර්තා කොට ඇත.
    ක්‍රිස්තුස් සමිඳුන් යෑමට -ඊමට පුරුදුව සිටියේ එකී දෙව් මැඳුරටය!
    මෑතකදී ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් යෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට කරන ලද ප්‍රකාශයත් සමඟම මෙරටේ සමහර පුද්ගලයන් විසින් කොලඹදී විරෝධතා රැස්වීමක් පවත්වන ලදී.
    මොවුන් විසින් මෙම රැස්වීම පැවැත්වීමට පෙර ඊශ්‍රායල් වරුන්ගේ හා යුදාගමේ මහාවංසය වන බයිබලය අධ්‍යනය කර තිබුනේ නම් එකී රැස්වීමට 02 වත් සහභාගි නොවනු ඇත!!!

    ReplyDelete
    Replies
    1. කුමක් හෝ හේතුවක් නිසා ඔබගේ අදහස මගේ ඊ මේල් එකට ලැබී තිබිණි. එය බොහෝ දෙනා ගේ දන ගැනීම පිණිස අදාළ ලිපිය අසල පල කලෙමි. මම ජෙරුසෙලම පිලිබඳ විශේෂඥයෙක් නොවෙමි. මම එවන්නෙකැයි කිසිවිටෙක පවසා නැත්තෙමි. මගේ ලිපියට පාදක වූයේ සදාතනික නගරයක් වෙනුවෙන් කිසිවෙකු ජීවිත වලින් වන්දි ගෙවීම අනුවණ කමක් බවට මා තුල ඇති අදහසය. ඔබේ අදහස් පල කිරීමට ස්තූතියි.

      Delete