පොලිස් කාරයෙක් කිව්වම අපේ හිතට එන්නේ කොහොම රූපයක්ද? කොයි වගේ
හැසිරීමක්ද එයාට තියෙන්නේ?
මොන වගේ පිලි ගැනීමක්ද එයාට සමාජෙන් තියෙන්නේ? ඔබට මේ ප්‍රශ්න
වලට තියන උත්තර එකකට එකක් වෙනස් වෙන්ඩ පුළුවන්. හැබැයි පොඩි එවුං බත් කන්නේ නැති
කොට ඔන්න පොලිස් කාරයක් එනවා කියල අම්මලා පොඩි එවුන්ව බය කරවනවා. මෙතෙන්දි පොලිස්
කාරයා සමාන වෙන්නේ ' ගෝනි බිල්ලට', 'ගොර ගොර
බිල්ලට' එහෙම නැත්තං 'හොල්මං' වලට. සමාජ
පිළිගැනීම ගත්තොත් 'පැන්ෂන් ගිය
පොලිස් කාරයා වගේ' ඉන්ඩ වීම මහ
පජාති වැඩක් බවයි කියවෙන්නේ.
මේක කාටූන් එකක් උනාට මූණුවර දෙමටේ අංකල්ට සමානයි මගෙ හිතේ
ඒ කොහොම උනත් අන්තිමට ගත්තහම පොලිස් කාරයා ගැන සමාජේ
තියෙන්නේ එච්චර හොඳ කම්පනාවක් නොවිච්චි. මම අද කියන්ඩ
යන්නේ ඊට සම්පූර්නෙම්ම වෙනස් චරිතයක් ගැන.
අපේ අප්පච්චිගේ ඉස්කෝලෙ සමකාලීනයෙක්. දෙන්න හිටියෙ එක පංතියේද නැද්ද කියන්ඩ
නං මං දන්නේ නෑ හැබැයි බොහොම ළඟ යාලුවො. නම දෙමටෙ කියල විතරක් කියමු අපේ අප්පච්චි
කියපු විදිහටම. දෙමටෙ අංකල් ගැන කතා දෙක තුනක් කියවන්ඩ කැමති නං අද තමයි ඒකට දවස!!
ඔන්න ඉස්කෝලෙන්
එහෙම සමු අරං අපේ මේ දෙමටෙ අංකල් ගියා කියමුකො පොලීසියට. දැන් අපි අංකල් සාජම්මහත්තයා
කාලෙට යමු. ඔය කාලේ තමයි ලංකාවට ප්‍රයිවෙට් බස් ආවේ. ඔන්න නිවාඩුවට ගෙදර ආපු දවසක
අපේ දෙමටෙ අංකල් ගියා නෑදෑ ගෙදරක. මෙන්න බොලේ ඒ ගෙදරට අලුම්ම අලුක් රෝස බස් එකක්
ගෙනැත් පාරේ දුවන්ඩ! අංකලුත් මේක අත පත ගාලා බැලුවා. අම්මද බොල පොලීසියේ ලොකු
එවුන්ට සැලුට් ගගහා ඉන්නවා වගේද මේ කිරි ටොයි වාහනේ!! ගෙවල් වල ඉන්න මිනිස්සුත්
පාරට ඇවිත් අත අල්ලනවා මේ බස් එකේ යන්ඩ.
“පුංචම්මේ කවුද දැන් මේ බස් එක වැඩ කරන්නේ?”
“කොන්දොස්තර කමට නං උඩහ ගෙදර කොලුවා එන්නං කිව්වා ඒත් තාම
හරි හමං ඩයිවර කෙනෙක් හම්බුන්නෑ!”
“මං එන්ඩද මේක එළවන්ඩ?”
“බොට පිස්සුද කොලුවෝ. පොලිසියේ රාජකාරි නවත්තලා මේක
එළවන්ඩ එන්ඩ?”
“නෑ..නෑ...නිවාඩු දවස් වලට විතරයි!”
“චැ: ඒ උනාට මොන නව නිංගිරාවද්ද උඹ බස් එළවන්ඩ පටං ගත්තම.
අපේ අක්ක මටයි දෙස් දෙවොල් තියන්නෙ”
“නෑ..නෑ...ඒක මං බලාගන්නංකො...ඔන්න එහෙනං හෙට ඉඳන් මං
එනවා!”
“උඹලට ඕන එකක්!”
දෙමටෙ අන්කල් ගියා
තැපැල් කන්තෝරුවට. දැම්ම ටැලිගැරාං එකක් පොලෝසියේ ලොකු මහත්තැන්ට මෙන්න මෙහෙම
කියලා.
‘නයෙක් දෂ්ට කළා. අසනීපයි. සතියක් නිවාඩු දෙන්න!’
ඔන්න හෙටට එළි උනා
කියමුකො. උදෙම්ම අර නයා කාපු දෙමටේ අංකල් ඇවිල්ල රෝස බස් එක එළවන්ඩ පටන් ගත්තා.
වැඩේ නැගලා යනවා. හෝං ගහනවා. වමට කපනවා. දකුණට කපනවා. ගාටනවා. ඇරල යනවා. බ්‍රේක්
ගහනවා. රිවස් කරනවා. මිනිස්සුන්ට කෑ ගහනවා. වැඩ කෝටියයි!! පොලිසියේ හිටියනං මේ
ආතල් කොහෙද කියල හිත හිත අංකල් බස් එක වැඩ කරනවා!
ඒ සතිය ඉවර උනාම තව
සතියක් නිවාඩු දාන්ඩ හිතුනත් ගෙදර උන්දැගෙ බල කිරීමට අංකල් වැඩට ගියා. ගියා කිව්වට
හිත තියෙන්නෙ බස් එකේ. පොලිසියේ පොත්වල කුරුටු ගගා එහෙම නැත්තං මොකෙකුට හරි දෙස්
දෙවොල් තිය තිය ඉන්නව වගේද හොඳ හුලං පාරකුත් කාගෙන බස් එලවන එක.
ඔන්න ඊගාව සිකුරාදා
නිවාඩු හම්බුනා කියමුකෝ. අංකල් ගෙදර එන්ඩත් ඉස්සර ගියේ පුංචම්මලාගේ ගෙදර. පොර බස්
එක එළවමින් හිටපු එකාව එළවලා හවස් වරුවම බස් එලෙව්වා. ඊට පස්සේ තමයි ගෙදර ගියේ.
ඉතුරු නිවාඩු දවසත් දෙකත් ගෙවිල යනව තේරුනේ
නෑ. වැඩට යන්ඩ ඕන දවසේ උදේ අංකල් ලැස්ති වෙලා ගෙදරින් ගියා. ගියේ කොහාටද?... වැඩට? මොන පිස්සුද තැපැල්
කන්තෝරුවට. ගැහුව ආයෙත් ටැලිගැරාං එකක්.
‘වහලෙන් බිමට වැටුනා. සති දෙකක් නිවාඩු දෙන්ඩ!’
පුතය දැන් ඒ සති
දෙකෙත් බස් එලවනවා. ඔය අතරේ පොලිසියේ යාළුවො කට්ටියක් අංකල් බලන්ඩ එනවා. ඇයි දෙයියනේ
මිනිහෙක් වහල පල්ලේ වැටුනම බලන්ඩ යන්ඩ එපාය. කරුමේ කියන්නේ උං සෙට් එක ටවුමට
එනකොටම අංකල් වැඩ කරපු බස් එකත් ටවුමට ආපු එක. වැඩේ අතේ මාට්ටු. ඕනෑම හොඳ යාලුවෝ
කීප දෙනෙක් අතරේ වගේම මෙතනත් හිටියා හරිම හොඳ, අංකල්ව
වැරැද්දෙන් මුදවා ගන්ඩ උස්සාහ කරපු යාලුවෙක්. එතුම මේ අලකලංචිය ඒ කියන්නේ වහලෙන්
වැටිලා හිටපු මනුස්සයා බස් එළවන එක ගැන පොඩි ලියමනක් ලියල පොලිසියේ ලොකු තැනකට
වාර්තා කරා. වාර්තා කරා කිව්වට වාර්තාවක්මත් නෙවෙයි පොඩි පෙස්සං කරදාසියක්!
වෙච්ච දේ කියන්ඩ ඕන
නෑනේ. අංකල්ට වැඩ තහනං උනා. පොලීසියට අපහාස කිරීමේ චෝදනාවට!
බස් කාරයෝ අතරේ
තරගේ වැඩි වෙච්ච හින්දත්,
තමුසේ ගෙදරට වෙලා ඉන්නවා මම කන්ඩ දෙන්නං
හැබැයි ආය බස් එලවල අහු උනොත් මම එක මොහොතක් මෙහෙ ඉන්නෙ නෑ කියල දෙමට ඇන්ටි බර බරේ
දාපු හින්දත් අය කොල්ලට බස් එක දීල තිබුනොත් අපේ සහෝදරකං ඉවරයි කියල අංකල්ගේ අම්මා බස් අයිතිකාර පුංචම්මට
රතු නිවේදනේ නිකුත් කරපු හින්දත් කියන කරුණ කාරණා ඔක්කොම හිංදා අර අපූරු බස්
එළවිල්ලත් හබක් උනා.
දැන් ඔය දෙමටේ
අංකල්ට රස්සාව නැති වෙච්ච කාලේ තමයි මම කැමතිම කාලේ. මොකද දන්නවද. නිකං ගෙදර ඉන්ඩ
කම්මැලි කමට අංකල් හැම සති අන්තෙකම අපේ ගෙදර ආවා අප්පච්චි හම්බෙන්ඩ. ඒ ආපු හැමදාකම
අංකල් වරද්දන්නෙ නැතුව ගෙනාපු දෙයක් තිබ්බා. ඒ තමයි බටර් පාන් ගෙඩියක්. අපේ ගෙවල්
ළඟ ටවුමේ තිබ්බා සම්පකාර බේකරිය කියල නම වැටිච්ච බේකරියක්. ඔන්න ඔතනින් තමයි අංකල්
අර බටර් පාන් ගන්නේ. ඉතින් රස්සාව නැතුව අංකල් ගෙදර හිටපු අවුරුදු දහය පහළොවට ඔය සම්පකාර
බේකරියේ හදපු බටර් පාන් හාරසීයක් පන්සීයක් විතර අපේ ගෙදරට ගේන්ඩ ඇති.
අපේ අම්මා අප්පච්චිගේ යාළුවො ගැන කවුරු හරි නෑදෑ කෙනෙක් ඉස්සරහ කියන්ඩ පටං ගන්නෙම “අර එක යාලුවෙක් ඉන්නවා බටර් පාන් නැකතක ඉපදිච්ච” කියලා. අප්පච්චිත් දෙමටේ අංකල්ට නිතරම කිව්වා මොනවත් නොගේනාවට කමක් නෑ ඔය අටමගල නං තවත් උස්සගෙන එන්ඩ එපා කියලා. ඒත් දෙමටේ අංකල් නෙවෙයි අත ඇරියේ. අන්න මිනිස්සු. කවදාවත් පරණ පුරුදු වෙනස් කරන්නේ නෑ!
මේකෙ ලොකු සයිස් එක තමයි ඔරිජිනල් බටර් පාන් එක
අපේ අම්මා අප්පච්චිගේ යාළුවො ගැන කවුරු හරි නෑදෑ කෙනෙක් ඉස්සරහ කියන්ඩ පටං ගන්නෙම “අර එක යාලුවෙක් ඉන්නවා බටර් පාන් නැකතක ඉපදිච්ච” කියලා. අප්පච්චිත් දෙමටේ අංකල්ට නිතරම කිව්වා මොනවත් නොගේනාවට කමක් නෑ ඔය අටමගල නං තවත් උස්සගෙන එන්ඩ එපා කියලා. ඒත් දෙමටේ අංකල් නෙවෙයි අත ඇරියේ. අන්න මිනිස්සු. කවදාවත් පරණ පුරුදු වෙනස් කරන්නේ නෑ!
ඔහොම අවුරුදු සෑහෙන
ගානක් ගිහිං ආණ්ඩුව පෙරලුනා කියමුකෝ. මේ කාලේ වෙනකොට අංකල්ගේ සහෝදරයෙකුත් හමුදාවක
ඉහල තනතුරක් දැරුවා. ඔය අතරෙදි අර ආණ්ඩු මාරුවෙනුයි ඉහල තානාන්තරේක හිටපු
මල්ලිගෙයි පිහිටෙන් අපේ අංකල් තමන්ට දේශපාලන පළිගැනීමක් උනා කියල රස්සාවත්
උසස්වීම් දෙක තුනකුත් ගත්තා. මේ ආරංචිය අරන් අංකල් අපේ දිහා ආවා බටර් පාන්
ගෙඩියකුත් අරං. එතකොට අපේ අප්පච්චි කිව්වේ "ඕකනේ දෙමටේ කියන්නේ උඹ බටර් පාන්
නැතුව වටිනා කියන දෙයක් දිගටම ගෙනාවනං එක පාරටම පොලිස්පති කමට උනත් යන්ඩ
තිබ්බා" කියලා.
දෙමටේ අංකල් හුගක්
කල් රාජකාරි කලේ දළදා මාලිගාව පැත්තේ. අප්පච්චි කිව්වේ දළදා හාමුදුරුවන්ටත් මූ
බටර් පාන් පූජා කරනවද දන්නේ නෑ කියල.
ඔන්න දවසක්
අප්පච්චියි අපියි කාර් එකක යනවා නුවර පැත්තේ. එක පාරටම විසිල් එකක් වැදුනා. ට්‍රැපික්
පොලිස් කාරයෙක් ළඟ පාතක නොහිටියත් අප්පච්චි බයටම වාහනේ අයින් කරලා නැවැත්තුවා.
බැලින්නං පාරෙන් එහා පැත්තේ පොලිස් කාරයෙක් ඉන්නවා. අප්පච්චි ලයිසන් එක හෙම හොයා
ගන්න කොට පොලිස් කාරයා දුවගෙන ආවා අපි ගාවට.
“ලොකු මහත්තයා සර්ට එන්ඩ කියනවා!”
“හරි... හරි...ලයිසන් ටික අරං එන්නං!”
“ලයිසන් ඕන නෑ..සර් එන්ඩ”
“ඒ මොකෝ ලයිසන් එපා කියන්නේ?”
“සර්ට දෙකක් කතා කරන්ඩ තියනවා කියල සර්ව අඬ ගහගෙන එන්ඩ
කියල තමයි අපේ සර් කිව්වේ!”
පොලිස් කාරයෙක්
දෙකක් කතා කරන්ඩ තියනවා කිව්වම මාත් අප්පච්චිත් එක්ක ගියේ මොන විජ්ජුම්බරයක්ද කියල
දන්නේ නැති හිංදා. ගිහිං බැලින්නං පොලිස් කාර් එක ඇතුලේ ඉන්නේ දෙමටේ අංකල්!
“මචං මම දැක්කා උඹලගේ කාර් එක. මං හිතුවේ ඒක හොරු අරං
යනවා කියල. ඒකයි නැවැත්තුවේ!!!”
අප්පච්චි අංකල්ගේ
කණට කරලා මොනවද කිව්වා.
“අඩෝ එහෙම කියන්ඩ එපා මචං... මං පොලිස් කාරයා. මේ
යුනිෆෝම් එකටවත් ගරු කරපංකො!”
“එතකොට තෝ බස් එලෙව්වේ අමුඩේ ගහගෙන හිටපු කාලෙද? ගොං හරකා!!!” එහෙම කියපු අප්පච්චි අපේ කාර් එකට ගියා.
තමුන්ගෙ ලොකු
මහත්තයට ගොං හරකා කියල බැනල යහතින් යන අපේ අප්පච්චි දිහා බලල පොලිස් පොඩ්ඩටත් හිනා
ගියා.
තව ටික කාලයක්
යද්දී අපේ අප්පච්චි හදිස්සියෙ නැති උනා. දෙමටේ අංකල් ඇවිත් කඳුළු පිරිච්ච ඇස් වලින් පැය බාගයක් විතර මිනිය දිහා බලං හිටපු
හැටි මට තාම මතකයි. එදත් අංකල් බටර් පාන් විස්සක් විතර ගෙනල්ලා තිබ්බේ මල
ගෙදරට එන අයට තේ දෙන්ඩ!!
ඔහොම ගිහිං අංකල්
පැන්ෂන් යන දවස උදා උනා. අංකල්ගේ ගති ගුණ දන්න පොලිසියේ කට්ටිය වෙන වෙනම සමුගැනීමේ
උත්සව සංවිධානය කළා. ග්‍රාමාරක්ෂක ලගේ ඉඳන් ඩී.අයි.ජී ලා දක්වා වෙන වෙනම අංකල්ට
සුභ පැතුවේ දවස් තුන හතරකදී. අන්තිම දවසේ අංකල්ට කතාවක් කරන්ඩ උනා. අවුරුදු ගානක්
තමන් හදවතින් සේවය කරපු පොලිසියෙන් අද සමු ගන්න බව කියපු අංකල් ටිකක් ඉඳ ගත්තා. අය
කවදාවත් දෙමටේ අංකල් නැගිට්ටේ නෑ. පපුවේ අමාරුවකින් එයා යන්ඩ ගිහින් තිබුනා!!
හරි විනෝදකාමී
චරිතයක් වෙච්ච දෙමටේ අංකල් වගේ මිනිස්සු ඉන්න තැන හරි ලස්සනයි. එහෙම මිනිස්සු
පොලිසියට ගැලපෙන්නේ නෑ කියන එක බොරුවක්. පිත්තල බොත්තන්, කාකි සූට් යට හදවතක් වැඩ කරනවා. ඒ හදවතට කතා කරන්ඩ ඉඩ
දෙන දෙමටේ අංකල් වගේ මිනිස්සුන් ගෙන් පොලිසිය පුරවන්ඩ පුළුවන් උනොත් විතරයි තමන්ගෙ
රාජකාරිය මිනිස්සුන්ව නොරිදවා කරන පොලිසියක් බිහි වෙන්නේ. නැතුව යුනිෆෝම් එකේ පාට
වෙනස් කරලවත්, බලෙන් භාවනා කරන්ඩ දක්කලවත් නෙවෙයි. එහෙම පොලිසියක්
නීතිය නවයි මිනිස්සුන්ගෙ පැත්තට ඔව් මිනිස්සු මර හඬ දෙද්දී එක එක පැත්තට නවල
නෙවෙයි!!!!
'යාදිසං වපතේ - තාදිසං හරතෙ' - 'වපුරන දෙය කුමක්ද - නෙලන්නේද ඒ දෙයමය' එක තමයි දෙමටෙ අංකල් ගේ ඉස්කෝලෙ ආදර්ශ කියමන!!
පොලිසියටත් එක පොදුයි!!!
අංකල් ගෙදර ඉන්න කාලෙදි බොලාගෙ ගෙදර අයට බටර් පාං නම ඇහුනත් ඔක්කාරෙට එන සයිස් එකක් තියෙන්න ඇති. හැක්..
ReplyDeleteමොනව උනත් හොඳ මනුස්සයෙක් වගේ.
ඇත්තටම හරි හිත හොඳ මනුස්සයෙක්. ඒත් ඒ හිත හොඳ කම සමහරු වැරදියට පාවිච්චි කළා.ජීවිතේ දිහා සැහැල්ලුවෙන් බලපු චරිතයක්!!
Deleteලස්සන මනුස්සයෙක් ගැන ලස්සන ලිපියක්.
ReplyDeleteස්තූතියි වැසි දැරිය තුමියනි. ඒ චරිතය හරියට නියඟකින් පස්සේ වහින වැස්සක් වගේ...පොඩි හුලඟකුත් එක්ක වැවකට වැටෙන වැහි පොදක් වගේ..
Deleteඕම ෂීන් එකක් මතකයි මතකයි වාගේ
ReplyDeleteමේ දැන් අවුරුදු පහ හයකට කලින් ජීවිතෙන් සමු ගත්ත කෙනෙක්. අමතක වෙන්ඩ තරං කාලයක් නෑ...
Deleteamata mathak Mahara bandanagare hitapu Deyya (Jailor Jayakody) and Ahinsaka Silva,
ReplyDeleteatama umbata deyya mathakda ?
E aya gana liyandako Ransaku.... hoda minissu gana katha api beda gaththe naththan jeewithe hamba wena apathayo hinda jeewath wena ekath epa wenawa
DeleteHari lassana kathawa!
ReplyDeleteSthoothiyi Sarath Perera thumani!
Deleteලාංකික ජීවිත තුල ඇති සරල සුන්දරත්වයේ අපූරුබව.හොඳ මිනිස්සු අතර පමණයි.මම දවසක් මගේ ඉස්කෝලේ මිතුරෙකුට කතාකෙරුවා උපදෙසක් ගන්න.මිනිහා මාරු.තනතුර පොලිස් ඒ.එස්.පී.තව එකෙකුට කතා කලා.මිනිහත් එහෙමයි.ඔන්න ඕකයි තත්වය.හොඳ සරල අයගේ කතා අහද්දී මනස තැන්පත් වෙනවා.නමුත් මේ ආර්ය ජාතියනම් කල්කිරියාවෙන්,පැවැත්මෙන් පරිහානියට තමයි ගමන.
ReplyDeleteහොඳ මිනිස්සු ගැන සුභාරංචිය අපි බෙදා හදා ගත්තේ නැත්තං ඒ මිනිස්සු ගැන මතකය අමතක වෙලා යාවි. ඒකයි මම පොඩි උත්සාහයක් දැරුවේ. මුළු සමාජයම පල්ලෙහාට යන වේගය පොඩ්ඩක් හරි අඩු වෙයි මෙහෙම මිනිස්සු වැඩි වැඩියෙන් බිහි උනොත්.
Delete++++++++++
ReplyDelete!!!!!!!!!!!!
Delete++++++++++++++++
ReplyDelete!!!!!!!!!!!!!!!!
Deleteමේකෙන් එක දෙයක් පැහැදිලියි.... උඹලයි තාත්තා දෙමටේ අංකල්ටත් එහා ආතල් පොරක් කියලා...
ReplyDeleteඅපේ අප්පච්චි ගැන දවසක් කියන්ඩ දේවල් තියනවා. කුකුල් කේන්ති කාරයෙක් (ඒ ගති ගුනේ නං මටත් නොඅඩුව තියනවා!), හරි සොඳුරු රසකාමියෙක්, දයාබර පියෙක්, ජීවිතේ කුරුළු පිහාටුවක් තරමටත් වඩා සැහැල්ලුවෙන් ගත්තු කෙනෙක්...ඔව් එක අතකින් ගත්තහම ආතල් චරිතයක් තමයි!
Deleteමම නම් (අලුත්)බටර් පාන් වලට තාමත් ආසයි, තාත්තලාගේ හැබෑම යාලුවෝ ගෙනාවේ බටර් පාන් තමයි, ඉස්කෝලේ ඇරිලා එනකොට මිදුලේ බුලත්කෙල පාර 3-ක් සහ නොදන්නා කමිසයක් මල් ගහක වනල තිබ්බොතින් දන්නවා බටර් පාන් ඇවිත් කියා. හැබැයි ඉතින් දේසපාලනේ කතාකරන්න එන වුන්නම් හිස් අතින් ඇවිත් බඩ පැලෙන්න බපුරවගෙනයි යන්නේ, අම්ම එයාලට කිව්වේ හාලි කියල.
ReplyDeleteඅපෝ දේශපාලනේ කතා කරන එක අපේ ගෙදර තහනං දෙයක්. මොකද අප්පච්චි කොයි පක්ෂෙටද සපෝට් කියලා එයාගේ යාළුවො දන්නේ නැති කම. එක දවසක යූඑම්පි, තව දවසක් රාජාලි තව දවසක ස්වාධීන!! ඒ හිංදා ගෙදර සීනි තේ කොළ ටික බේරුනා!!!
Deleteඑල ද බ්රා ලියවිල්ල..
ReplyDeleteස්තූතියි මෙන්ඩා තුමනි. දිගටම මේ පැත්තේ එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Delete