Wednesday, March 21, 2018

උඩරට මැණිකෙට - දෙවෙනි කොටස


අපි සුද්දව අල්ලගෙන කෝපි වගාව පටන් ගන්ඩ උන්ව පාවිච්චි කරපු හැටි ගැන මම කිව්වනේ පහුගිය ලියුමෙන්. අද කියන්ඩ යන්නේ ඊගාවට කෝච්චි පාර හදපියව් කියල අපි අනාඥාවක් නිකුත් කරපුවම ගුද මාර්ගය මැහුම් දාල මහල ඉවර වෙලා අරළු පෙති දෙක තුනක් බීපු එව්වෝ වගේ සුද්ද දඟලපු විදිහ ගැන කියන්ඩ. අවාසනාවට එහෙම දඟල දඟල ඉන්න පොටෝ එකක් නං නෑ ඒත් මේ වෙච්ච සංගදි ගැන උම්ම ලියල තියන විස්තර කියවපුවම අපිට හිතා ගන්ඩ පුළුවන් දඟලපු විදිහ.


එහෙනං ඔන්න පටන් ගන්ඩයි යන්නේ. මේ ටිකට් ගත්ත නොගත්ත කියල තරහක් නෑ කැමති තැනකින් වාඩි වෙලා ඔන්න කියවන්ඩකෝ කතාව.


1845 වෙනකොට කෝච්චි පාරක උවමනාව තදිම්ම දැනෙමින් තිබ්බා. කාලේ හැම මගුලම ආණ්ඩුවෙන්ම කරගන්ඩ බලා ගෙන හිටියේ නෑ සුද්දෝ. හිංද කොම්පැනියක් පටන් ගත්තා තම තමුන්ම සල්ලි දාලා. නිකමට හිතන්ඩකො එහෙම දෙයක් අද වෙයිද කියල සුද්දො අතරෙ. අපි නං ඉතිං අද උනත් ආණ්ඩුවෙන් කරන කල් බලා ගෙන ඉන්නෙ නෑ අපි අපිම කර ගන්නවනේ. කෝච්චි පාරක් හදනවා වගේ දෙකයි පනහේ වැඩ නෙවෙයි මම කියන්නේ මේ අපේම වල කපා ගන්නවා වගේ බැරෑරුම් වැඩ හොඳේ

ඉතිං එංගලන්තෙ දී හැදුවා කොම්පැනියක් ලංකාවේ රේල් පාර හදන වැඩේට. කොම්පැනියේ නම සිලෝන් රේල්වේ කොම්පැනි. මූලික ආයෝජනය පවුම් මිලියනයක්. එකක් පවුම් 50 ගානේ කොටස් 20,000 විකුනලා තමයි මේ සල්ලි හියා ගන්ඩ ප්ලෑන් කරේ. 1845 දී පවුම් මිලියනයක් කියන්නේ අද කාලේ හැටියට පවුම් මිලියන් 118 විතර වටිනවා. කියන්නේ අද කාලේ රුපියල් මිලියන් 25,763 විතර වටිනවා. මුංගේ ගොන්කම කියන්නේ ඔය ගානෙන් නෙළුම් කුළුන වගේ දෙලොවටම වැඩක් වෙන ජාතික අවශ්යතාවල් එක හමාරක් හදන්ඩ තිබ්බා (නෙලුම් කුළුනේ වියදම රුපියල් මිලියන් 16,375 යි!!!!). එහෙම උනා නං කොච්චර ආඩම්බරයක්ද නේද උන්ටත් අපිටත් දෙගොල්ලන්ටම!

මේ කොම්පැනිය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා නොමිලේ ඉඩම් දෙන්ඩ කියල. ආණ්ඩුවත් කැමති උනා. හිංද මූලික මැනුම් කටයුතු පවා පටං ගත්ත. ඔන්න ඔය වෙලාවේ ඉන්දියාවේ හිටපු සුද්දන්ගේ ආණ්ඩුව අම්බ ගොං වැඩක් කරා. වෙනකොට ඉන්දියාවෙත් කෝච්චි පාරවල් හදන්ඩ පටන් අරං තිබ්බේ. ඊස්ට් ඉන්ඩියා රේල්වේ කොම්පැනි කියල සමාගමක්. අපි වගේ මොලේ පාවිච්චි කරල සුද්දගේ ඔලුව අතගාල ගණන් අඩුවට වැඩේ කර ගන්ඩ උන්ට මොලේ නැති උනා. උන් මේ සමාගමට පොරොන්දු උනා එහෙ ආයෝජනය කරන මූලික ආයෝජනේට 4% අවම ලාභයක් ලබා දෙන බවට සහතිකයක්. දන්නවනේ ඔය වගේ දේවල් මෙහෙට සුටුස් ගාල ආරංචි වෙනවා. කාට හරි හරි ගියොත් ඔය සුද්දන්ට ඉරිසියාව ඇතිවෙනවා පැලෙන්ඩ. සුද්දොත් එක්කම හිටපු අපේ උන් කීප දෙනෙකුටත් ඔය ගති ගුනේ තියනවනේ. මෙන්න මෙහෙ කෝච්චි පාර හදන එවුනුත් ඉල්ලුවා 4% ක්!!

ඔය වෙනකොට කෝපි පිටරට යවන කොට ගහපු බදු වලින් ලැබිච්ච ආදායමත් සෑහෙන්ඩ අඩුවෙලා තිබ්බේ. ඉතිං අපි වෙනුවෙන් රටේ වැඩ කටයුතු බලා ගන්ඩ පත්කරලා හිටපු ආණ්ඩුකාරයා ඇහුවා තොපිට පිස්සුද යකුනේ කොහේ තියන සල්ලියකින්ද තොපිට 4% ගෙවන්නේ කියල. ඔන්න අර සින්ජප්පූරු අරජුන වත් හිටිය නං 4% මොටද දෙන්නංකො 40% කියල දෙන්ඩ තිබ්බ. කොහෙද කාලේ එහෙම වැඩකාරයෝ හිටියේ නෑ. හිටියනං අද චීනෙට ණය දෙන්ඩ තිබ්බ අපිට. ඇමරිකාව සල්ලි වලට ගන්ඩ තිබ්බ හුග කාලෙකට ඉස්සර! අයියෝ නේද?

ඔය පලහිලව්ව හිංද ලංකාවේ කෝච්චි පාරක් හදන වැඩේ ලත් තැනම ලොප් උනා. හැබැයි පොරවල් නිකම්ම හිටියේ නෑ.

හරි මිලියනයකට 4% නේ දෙන්ඩ බැරි එහෙනං අපි අපි පාරෙන් කොටසක් හදන්නං පවුම් ලක්ෂ තුනකට. අපිට දීපල්ල ඉඩම් 99 අවුරුදු බද්දට. කාලෙටම 5% ලාබයක් මේ ලක්ෂ තුනට හම්බෙනවා කියල සහතිකෙකුත් දියල්ල කියල කනිපින්දම් කියන්ඩ පටං ගත්ත. ඉස්සෙල්ල පොරොන්දුව හැතැම්ම 72 වෙච්ච කොළඹ ඉදන් නුවරට මුළු දුරටම පාර හදන්ඩ. දැන් කියන්නේ හැතැම්ම 32 විතරක් හදනවා කියල. ආණ්ඩුකාරයත් මේ වැඩේට කැමති වෙන්ඩයි හිතං උන්නේ.

ඔන්න එතකොට එංගලන්තෙ රිම් එකෙන් යන්ඩ පටන් ගත්ත. වැලේ වැල් නැතුව ගියා. කෝපි වල මිලත් වාරෙ ආපුවම පිපිඤ්ඤා මිල වගේ සත පහට වැටුනා. ඔය කාලේ හිටියේ කොලින් කැම්බල් කියන ආණ්ඩුකාරයා. උන්දැ 1847 අප්රේල් වල ලංකාවෙන් ගියා.ඊට පස්සේ ආවේ ජේම්ස් එමර්සන් ටෙනන්ට්. පොර හිටියේ මාසයයි. ඊට පස්සේ ආවේ අපි කවුරුත් දන්න ටොරිංටන් සාමි.

අපිත් ඔය කාලේ නිකං හිටියේ නෑ. ඔහොම ලාභ අලාභ බල බලා වැඩ කරන එකනං අපිටත් කරන්ඩ පුළුවන් කියල හිතල ගැහුවා කැරැල්ලක්. ඔය පුරන් අප්පු හෙම කට්ටිය එක්කහු වෙලා 1848 කැරැල්ල පටන් ගත්ත. ඔය සන්ඩුව විසදන්ඩ කරපු පාහර වැඩ හිංද අපි කෙලිම්ම ආදරණීය වික්ටෝරියාගේ ආණ්ඩුවට කිව්වා මූ නං අපිට එපා කියල. පොර 1850 ඔක්තෝබර් වල ආපහු ගියා. ඊගාවට ආවේ ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්.

උන්දැගෙ කිසිම කැමැත්තක් තිබ්බේ නෑ කෝච්චි පාර හදන වැඩේට. දැනුත් ඉන්නවනේ ඔහොම පොරවල්. අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියෙ පයින්. ඉතිං තොපි මොකටද බස් එකේ යන්නේ. පලයව් තොපිත් පයිම්ම...එහෙම නැත්තං අපි පොඩි කාලේ ලිව්වේ ගල් ලෑල්ලේ ඉතින් තොපිත් එහෙමම හිටපියව් තොපිට මොකටද ටැබ් කියල අහන එව්වෝ නෑ කියලද කියන්නේ?

ඉතිං කෝපි වතු කාරයෝ මූව අන්දවන විදිහක් හිතුව. පොරට බිස්නස් කියන එව්වා මෙලෝ රහක් නෑ. හිතන්නෙම ආදි කාලෙ විදිහට. අඹරන්නං ගුලියක් කියල හිතල කෝපි වතු කාරයෝ යවනවා ලියුමක් පොරට.

අති උත්තම උතුමාණෙනි,

ඔබතුමාට මල වදයක් බවට පත්වී ඇති මහනුවර හමුදා කඳවුර පවත්වාගෙන යෑමේ අධික වියදම අඩු කර ගත හැකි ක්රමයක් අපි කල්පනා කරලා හොයා ගත්තෙමුය. කොළඹ නුවර අතරේ දුවන රේල්ලුවක් තිබුනොත් මේ වැඩේ නොම්බර එකට කර ගන්ඩ පුළුවන්ය. හිංදා අපි හමුදා බටයෝ ගැන අනුකම්පාවෙන් මේ වැඩේ ඉක්මන් කරන්ඩ ඕනෑය.

මීට 

ගලඋඩ කෝපි වවන අහිංසක සේනාවේ ඥානවන්තයා වෙමිය. 

දැන් කාලෙනං විසිල් එකකුත් ගහලා බල්ටියකුත් ගහලා මේ කතාව පිලි ගත්තත් අපේ විලියොන් කාරයා නෙවෙයි එහෙම ලියුමකින් තැම්බුනේ. උන්දැ කියපි ඔය කිව්වට කෝච්චි වලින් ලබන්ඩ පුළුවන් ආදායම ගැන ඒක හදන්ඩ ඉසර පේන කියන්ඩ බැරිය. ඕනෑම නං පාරට ආයෝජනය කරන සල්ලි වලට දෙන්ඩ ඕන පොලියෙන් බාගයක් ආණ්ඩුවෙන් දෙන්නං ඉතුරු කොටස හොයා ගන්ඩ කෝපි අපනයන බද්ද වැඩිකරන්ඩ වෙනවය කියල. මේකෙන් පේන එක දෙයක් තමයි මේ ආණ්ඩුකාරයෝ තමන් මේ පාලනය කරන්නේ මහජන මුදල්ය, හිංද තමන්ගෙ බූදලේ වගේ කැමති කැමති විදිහට සල්ලි පාවිච්චි කරන එක නොකළ යුතු දෙයක්ය කියන මූලධර්මය අකුරටම පිලි පැද්ද බව.

මේ වෙනකොට කෝපි වතු කාරයන්ගෙ දත කට පූට්ටු කරවන තව වැඩක් උනා. ලෙඩක් හැදිලා ලංකාවේ හිටපු ගොන්නු (කකුල් හතරේ) හතරෙන් එකක් මැරිලා ගියා. හින්ද නුවර ඉඳල කොළඹට කෝපි ගේන වියදම දෙගුනෙට ආසන්න ප්රමානෙකින් වැඩි උනා. හිංද ආණ්ඩුකාරයාගේ යෝජනාවට කැමති වෙනව ඇරෙන්ඩ වෙන කරන්ඩ දෙයක් තිබ්බේ නෑ. කෝපි වතු කාරයෝ ඉදිරිපත් කරේ එකම ඉල්ලීමයි. මේ බදු වැඩි කිරීම සීමිත කාලෙකට විතරක් කරන්ඩ කියන එකයි . කියන්නේ කෝච්චි පාර හැදුවට පස්සේ මේ බද්ද ගහන එක නවත්තන්ඩ කියල. මොකද බදු වැඩි කරන්ඩ පැනගෙන එන එව්වෝ බදු අඩු කරන්ඩ පුළුවන් වෙනකොට අන්ධයෝ ගොළුවෝ වගේ ඉන්න ලෙඩේ දැන් විතරක් නෙවෙයි කාලෙත් තිබ්බ හිංදා.

දැන් අලුත් ආණ්ඩුකාරයෙක් එනවා. තමයි හෙන්රි වෝඩ්. 1856 අංක 1 දරණ පණත ව්යවස්ථාදායක සභාවට එන්නේ සිලෝන් රේල්වේ කොම්පැනියට වැඩේ බාර දෙන්ඩ අවසර ගන්ඩ. ආණ්ඩුව කැමති වෙනවා පවුම් අට ලක්ෂයක මූල ධනයකට අවුරුදු 99 සඳහා 6% පොලියක් දෙන්ඩ. ඊට අමතරව ඉඩම් දෙන්ඩත් ආණ්ඩුව කැමති වෙනවා. හැබැයි තැපැල් හා හමුදා ප්රවාහනය නොමිලේ කරන්ඩ ඕන කියල කොන්දේසියක් දැම්මා. ඊට අමතරව නඩත්තු වියදම් ඔක්කොම කොම්පැනිය දරඳ ඕන අවුරුදු 99 පුරාම.

ඔන්න දැන් වතුකාරයොන්ට තරු පෙනුනා. යකෝ රේල් පාර හදන්නේ රටට. හැබැයි අපි සල්ලි දාන්ඩ ඕන මදිවට ඒක නඩත්තු කරන්ඩත් ඕන. මේක අතිං කාල හරක් බලනවා වගේ වැඩක් කියල උං විරුද්ධ වෙන්ඩ පටන් ගත්තා. කෝච්චි පාර ඕන ඕන කියල මුලිම්ම කියපු උන්ම දැන් ඒකට අකමැති වෙනවා. දැනුත් එහෙමද නැද්ද?

කෝපි වතු කාරයෝ දැන් යෝජනා කරන්නේ ආණ්ඩුව කෝච්චි පාර හදන්ඩ ඕන බවයි. නොර්ත් ආණ්ඩුකාරයට තද උනා. තොපි නිකං මඩේ හිටවපු ඉන්න වගේ එක එක වෙලාවට එක එක කතා කියනවා. කවුරු කොයි වෙලාවේ කියන දේද විශ්වාස කරන්ඩ ඕන කියල මට තේරෙන්නේ නෑ....උන්දැ කියපු කතාව එදාට විතරක් නෙවෙයි අදටත් වලංගුයි මයෙ හිතේ. කොහොමින් කොහොම හරි 1856 සැප්තැම්බර් වලදි පණත සම්මත උනා.

ආණ්ඩුව කෝච්චි පාර හදන වැඩේට ඇත ගැහුවේ නැත්තේ කොම්පැණියකට වැඩේට ඕන කරන සල්ලි ආණ්ඩුවට වඩා පහසුවෙන් හොයා ගන්ඩ පුළුවන් කියන විශ්වාසෙ තිබ්බ හින්දයි. අද නං ආණ්ඩු හිතන්නේ විදිහට නෙවෙයි. හැම දේම ආණ්ඩුවම කරන්ඩ ඕන කියලයි නේද? එංගලන්තෙදි ආණ්ඩුව ව්යාපාර කරන්ඩ ගිහිං ඇණ ගෙනයි හිටියේ. අත්දැකීම මෙහෙදිත් ලබාගන්ඩ ආණ්ඩු කැමති උනේ නෑ. කරපු වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තු ආණ්ඩු තියනවා කියලා අහන එකත් පුදුමයි නේද?

1856 අංක 2 ආඥා පනත මගින් කෝච්චි පාරට ඕන සල්ලි හොයන්ඩ අපනයන බදු වැඩි කරන්ඩ ආණ්ඩුව යෝජනා ගෙනාවා. හැබැයි කොපි වලට විතරක් නෙවෙයි ඔක්කොම අපනයන වලට. දැන් බදුල්ලේ හා දකුණු පළාතේ හිටපු කොපි වවන වැවිලිකාරයොයි පොල් හා දුංකොළ ගොවියොයි ඔක්කොම විරුද්ධ උනා මේ වැඩේට. මොකද මේ කෝච්චි පාරෙන් අයට කිසි වාසියක් නැති හිංද. මදිවට දැන් වැඩිපුර බද්දකුත් ගෙවන්ඩ වෙලා.

මේ විරුද්ධතා වලට ආණ්ඩුවට කන් දෙන්ඩ උනා. ආණ්ඩුව කිව්වා එහෙම නං පවුම් මිලියන් 1.2 කට (අද කාලේ විදිහට පවුම් මිලියන් 124.1 කියන්නේ රුපියල් මිලියන් 27,120 කට වඩා වියදම වැඩි වෙනවා නං වැඩේ නවත්තල දාන්ඩ. වතු කාරයෝ කැමති උනා. ඊට පස්සේ මිනින්දෝරුවෙක් ගෙනල්ලා පාර හදන්ඩ හොඳම විදිහ හොයල බැලුවා.  එයාගේ ඇස්තමේන්තු අනුව පවුම් 856,000 කෝච්චි පාර හදන්ඩ පුළුවන් කියල තීරණය උනා. කියන්නේ මුල් එකඟතාවය අනුව පාර හදන වැඩේ නවත්තන්ඩ ඕන නෑ. හින්ද වැඩේ පටන් ගන්ඩ කියල 1857 දි අර කොම්පැණියට ආණ්ඩුව අවසර දුන්නා.

වැඩේ පටං ගන්ඩ ආපු ඉන්ජිනේරුවට තේරුනා අර මිනින්දොරුවා වැඩේ කාලා කියල. එයා කියපු ගානට වඩා හුගක් ලොකු වියදමක් වැඩේට යන බව ඉංජිනේරුවා කිව්වා. එයාගේ ඇස්තමේන්තුව උනේ පවුම් මිලියන් 2.2. කියන්නේ මුලින් කියපු ගැන වගේ තුන් ගුනෙකට ආසන්න ගානක් මේ වැඩේට ඕන බව. මේ ගාණ අහපුවම වතුකාරයන්ගේ ඇඟේ මාළු ගඟේ නටන්ඩ පටං ගත්තා!!! හැමෝම බන්නේ ආණ්ඩුකාරයාට.

අවුරුද්දක් විතර දෙගොල්ලෝ බැණ අඬගහගත්තා. ඒත් උත්තරයක් හම්බ උනේ නෑ. අන්තිමට කොම්පැනියට වන්දි ගෙවලා කොන්ත්රාත්තුව කැන්සල් කරන්ඩ 1861 දී තීරණය උනා. වන්දිය පවුම් 297,500. අන්තිමේ ආණ්ඩුවට ශුද්ධ පාඩුව පවුම් 243,275! අද කාලේ රුපියල් වලින් නං මිලියන් 6,082.4. මහ බැංකු හොරකමේදී උනා කියන මිලියන් 11,145 අලාභෙන් 54% ලොකු අලාභයක් තමයි මේ!!!!

දැන් ලංකාවට රේල් පාරකුත් නෑ! සල්ලිත් නෑ!! රේල් පාරක් හදන්ඩ ප්ලෑන් එකකුත් නෑ!!! වෝඩ් ආණ්ඩුකාරයා ගිහිං චාල්ස් මැකාති පත් වෙලා එනවා ආණ්ඩුකාරයා විදිහට.
ඕනෑම කෙනෙකුට හැමදේම හිතන පතන විදිහටම ලැබෙන්නේ නෑ. ඒක තමයි ජීවිතේ හැටි. හැබැයි වැඩකාරයා කියන්නේ නැති බැරි තැනක ඉඳලා ඇති හැකි තැනකට සාධාරණ විදිහට එන්ඩ උත්සාහ කරන කෙනාට. වගේ තමයි ලංකාවේ කෝච්චි කතාවත්. හදන්ඩ පටන් ගත්තු දවසේ ඉඳලා අවුරුදු 18 උත්සාහ කළා. හරි ගියේ නෑ. අඩු ගානේ එක අඩියක පාරක් වත් හදා ගන්ඩ බැරි උනා. එහෙමෙයි කියල සුද්දා වැඩේ ඇත ඇරියේ නෑ. ඔන්න බලමුකො ඊගාව අවුරුදු දහ අට ඇතුලතදී වෙන්නේ මොනවද කියල.

අදට කෝච්චිය නවත්තනවා. ආවඩා ආයුබෝ වේවා!!!


6 comments:

  1. ටෙනන්ට් මාසයක් විතරක් වැඩබලන ආණ්ඩුකාරයා වෙලා හිටියට , අවු 4ක් විතර කොලෝනියල් ලේකම් වෙලා මෙහෙ හිටියා. එයාගෙ පොත් නම් හුඟක් ප්‍රයෝජනවත්, විශේෂයින් Sketches of the Natural History of Ceylon සහ The Wild Elephant and The Method Of Capturing It in Ceylon.

    ReplyDelete
  2. ආයුබෝ වේවා!!!!!!!!!

    ReplyDelete
  3. සෙල්ලං නෑ නේද වැඩේ බලාගෙන ගියාම.

    ReplyDelete
  4. ඇත්තෙං බැලුවං අපි හොඳා. අපි කඹ අදින්නෙ අවුරුදු කාලෙට විතරයි. සුද්දො අවුරුදු දහාටක්ම කඹ ඇදලනෙ.

    ReplyDelete
  5. ඔච්චර වැඩ බකල් වෙද්දීත් සුද්ද වැඩේ නතර නොකළේ ලංකාව සුද්ද කරන්ඩ පුළුවන් හින්දද

    ReplyDelete