හිතවත් බ්ලොග් සහෘදයනි, කට්ටකාඩුව කියවන සහෘදයිනි,
කාරුණික ඉල්ලීමයි....!
ඔබ මේ ලිපිය කියවා, එහි අඩංගු කරුණු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීමට සුදුසු දෙයකැයි සිතන්නේ නම් එළඹෙන උත්සව සමයේ 'නොසිතා වස පානය කරන' බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඔබ තුමන්ලා ගේ හා තුමියන්ලාගේ බ්ලොග් අඩවි හා අනෙකුත් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්න.
ස්තූතියි...........
අවුරුද්දත් කිට්ටු කිට්ටු.... එරබදු මල් පොට්ටු පොට්ටු... කියල කිව්වට මොකද ආයිබොවන් මම නං තාම එරබදු මලක් දැක්කේ නෑ ඕං මේ අවුරුද්දේ. ඒ විතරක්යැ කොහාත් තාම නං අපේ ගංකරේට ඇවිල්ල නෑ වගේ. හැබැයි අපේ ජාතික ක්‍රීඩා දෙක ඒ කියන්නේ බූරුවා ගැහිල්ලයි, කැට ගැහිල්ලයි නං පටං ඇරගෙන සතියක් විතර වෙනවා. ඊයේ බූරුවා ගහලා පැරදිච්ච පල්ලෙහා ගෙදර මාමා ඒ දුකට කරපට් වෙන්ඩ නැටුං තෙල් බීලා. ඒ මදිවට ලේ වල සීනි මට්ටම හොඳටෝම වැඩිවෙලා කියල කියනව මං අහගෙන. මම දන්න තරමින් උන්දැ සීනි දාල ප්ලේන්ටියක් වත් බොන්නේ නැති චරිතේ. ඉතිං මං ඇහුව මෙහෙම.
"කොහොමද මාම සීනි වැඩි උනේ?මොකද ඊයේ අරක්කු වෙනුවට පැණි බෝතලයක් වත් බිව්වද?"
"නෑ පුතේ මාත් මේ කම්පනා කරන්නේ කොහොමද සීනි වැඩි උනේ කියල. අම්මප මම සීනි කට හරියේ තියන්නැති මනුස්සයනේ උඹලා දන්නවනේ ඉතිං!"
"අපොයි මොකද නොදන්නේ? මාම ඉතින් සීනි තියන මොකවත්ම කෑවේ බිව්වේ නෑ කියලද කියන්නේ?"
"අම්මප පුතා නෑ නෑමයි. අය බොරු කියල තෑගි ගන්ඩයැ?"
"හරි කියමු බලන්ඩ මොනවද මාම ඊයෙ දවසට් කෑවෙ බිව්වෙ?"
"කොහෙ කන්ඩද පුතා උදේම බූරු පොලට ගියාම නැගිටිද්දි හතරයි"
"ඒ කියන්නේ උදේට කෑවෙත් නෑ දවල්ට කෑවෙත් නෑ?"
"ම්හ්...රුපියල් අටදාහක් පරාදයි ඒ වෙනකොට. තව අතේ තිබ්බේ පැන්ෂන් එකෙන් ඉතුරු වෙච්ච රුපියල් දෙදාහක් විතරයි. ඒකෙන් ගෑනිටයි ළමයින්ටයි අවුරුද්දට මොනවත් අරන් දෙන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්න කොට ගුණපාලය එක්ක සෙට් උනා. අපි දෙන්න බෝතල් දෙකක් ගෙනල්ල ඒක ඉවර කරල නැගිට්ටෙ රෑ නවයට!"
"ඉතිං?"
"ඊට පස්සෙ ගෙදර ගියාම ගෑණි බැන්න කියහංකෝ. උඹලට ආය අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ අපේ උන්දැගෙ කට ගැන"
"ඉතිං මාම බනින එකත් සාධාරනයිනේ. මොනවද රෑට කෑවේ?"
"මොනවා කන්ඩද පුතා ගෑණි බයින කොට? එහෙම්ම ඇඳට වැටිලා නිදා ගත්තා!"
"ඒ කියන්නේ ඊයේ දවසටම කෑවේ නෑ?"
"හ්ම්"
"බිව්වේ මොනවද?"
"සංස්ථා බෝතලෙයි සැන්ඩි විදිහට .......... කෝලා මෙගා බෝතලෙයි විතරමයි. තව ඕන්නං
වීදුරු තුන හතරක් බොන්ඩ ඇති උදේ වරුවේ!!!"
ඔය කියන විදිහට පල්ලෙහා ගෙදර මාමා මුළු දවසටම බීලා තියෙන්නේ අරක්කුයි අහවල් වර්ගයේ කෝලා ලීටර් එක හමාරකුයි විතරයි.
මම ගෙදර ඉන්න ගමං බැලුව කොහෙන්ද මේ තරං සීනි ඇගට ආවේ කියල. අරක්කු බෝතලයක් හොයා ගන්ඩ නැති හිංද ගෙදර තිබ්බ පැණි බීම බෝතල් කීපෙක විස්තර හොයල බැලුව.
ටවුමෙ කඩේක තිබ්බ පැණි බීම එක එක වර්ග ගැනත් හෙව්වා මේ ඒ විස්තරේ.
එක තේ හැන්දක සාමාන්යයෙන් සීනි ග්රෑම් 4 අඩංගුයි. එක මේස හැන්දක සීනි ග්රෑම් 12.5 ඒ කියන්නේ ආසන්න වශයෙන් තේ හැඳි තුනක් ප්රමාණයක් අඩංගුයි.
ඇමරිකානු හෘද සංගමය (American Heart Association) අනුමත කරන්නේ එක දවසකට පිරිමි කෙනෙක් සීනි ග්රෑම් 37.5 විතර ප්රමාණයකුත් ගෑණු කෙනෙක් සීනි ග්රෑම් 25 විතර ප්රමාණයකුත් ආහාරයට ගැනීම සෞඛ්යයට හිතකරයි කියලා. ඒ කියන්නේ පිරිමි කෙනෙක් තේ හැඳි 9 කුත් ගෑණු කෙනෙක් තේ හැඳි හයකුත් කෑවම හොඳටම ඇති. මේ ගාණ
අනුවත් හොඳින් ව්යායාම කටයුතු වල යෙදෙන නොයෙදෙන ආකාරය අනුවත් වෙනස් වෙන බව අපි මතක් තියා ගන්ඩ ඕන.
මම මෙතෙන්දි උපකල්පනය කරන්නේ බල්ලෙක් පිටි පස්සේ පැන්නුවොත් හරි තරහ කාරයෙක් පිහියක් අරං එලෙව්වොත් හරි මිසක්ක වෙන කිසිම දිවිල්ලක් හෝ හැල්මේ ඇවිදිල්ලක් සිරිතක් විදිහට නොකරන මේ අපි වගේ කට්ටිය ගැන හොඳේ. එහෙව් අපිට තේ බීමෙන් විතරක් නං සීනි හම්බ වෙන්නේ, එක තේ කෝප්පෙකට තේ හැඳි තුනක් සීනි දානවා නං දවසට තේ තුනක් බිව්වම හොඳටම ඇති. හැබැයි ඔය අතරට කේක්, බිස්කට්, ටොපි, චොකලට්, රස කළ කිරි, අයිස් ක්රීම් වගේ දේවල් එක්ක පැණි බීමත් බොනවනං ඒකට හරියන්ඩ වැඩිපුර ව්‍යායාම කරන්ඩ වෙනවා. එහෙම නැත්තං නොයෙකුත් රෝග හදා ගන්ඩ කැමති වෙන්ඩත් වෙනවා. ඒ ලෙඩ මොනවද අරව මෙව්වා විස්තර මම කියන්ඩ යන්නෙ නෑ. දොස්තර කෙනෙක් හම්බ වෙච්ච වෙලාවක අහ ගන්ඩකෝ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ සංවිධානය කරපු එක ප්‍රදර්ශනේකදී මම දැක්කා එක ප්‍රදර්ශන පුවරුවක්. මම ඒකෙන් හිතට ගත්ත දේ තමයි එක ග්‍රෑම් එකක් සීනි ඕන ප්රමානෙට වඩා කෑවොත් එක විනාඩියක් හැල්මේ ඇවිදිමින් ව්‍යායාම කරන්ඩ ඕන බව. එහෙම නැත්තං විනාඩි බාගයක් දුවන්ඩ ඕන කියල. අයියෝ ඕක මොකද්ද කියල හිතෙනවා නං මතක් කර ගන්ඩ අපි වැඩිපුර කන හැම ග්‍රෑම් එකකටම ව්‍යායාම කරන්ඩ වැය කලයුතු කාලය එන්ඩ එන්ඩ වැඩි වෙනවා කියන එක. ඊට වඩා ලේසියි කට පරිස්සං කර ගන්න එක.
ඉතිං ඒ විස්තර පොඩ්ඩකට පැත්තකින් තියල කරගෙන ආපු කතාවට හැරෙමු. මේ මම ඉදිරිපත් කරන්නේ බීම වර්ග කීපයක විස්තර විතරයි. තව එව්වා දැන ගන්න විදිහට ලිපිය අලුත් කරන්ඩයි බලාපොරොත්තුව. අනික කිසිම බීම සමාගමකට පහර ගහන බලාපොරොත්තුවකුත් මගේ නෑ. මම මේ ඉදිරිපත් කරන්නේ ඔවුන් තම තමන්ගේ බීම ඇසුරුම් වල ඉදිරිපත් කරලා තියන ගණන් මිනුම් ම
තමයි.
වැඩේ පැහැදිලියි නේද? මෙතන තියන හුගක් වර්ග වල වීදුරුවක් දවසකට බිව්වොත් එදා මුළු දවසට ම ඕන සීනි ප්රමාණය ඇඟට ඇතුල් වෙලා ඉවරයි. අපි එක වීදුරුවකින් නවතිනවද? ......නෑ හුගක් වෙලාවට මේ අධික සීනි සාන්ද්‍රණය හිංදා අපේ තිබහ තව වැඩි වෙනවා. එතකොට තව වීදුරු එකක් දෙකක් බීලා දාන්ඩ තියන ඉඩ වැඩියි. අනික් පැත්තෙන් මේ අධික පැණි රහ ගතිය හිංදා පොඩි දරුවෝ මේවට ඇබ්බැහි වෙන්ඩ තියන ඉඩත් වැඩියි. අනිත් පැත්තෙන් මේ දවස්වල තියන අධික රස්නය හින්දත් පැණි බීම බොන්ඩ තියන ඉඩකඩ වැඩියි.
දැනට මම දැක්ක වැඩිම සීනි සාන්ද්‍රණය සහිත බීම බෝතලය
ඉස්සරහට එන්නේ උත්සව සමය. අමුත්තන්ට සංග්‍රහ කරන්ඩ කියල අපි හුගක් වෙලාවට මේ වර්ග වල හෝ වෙනත් සාන්ද්‍ර පැණි බීම - කෝඩියල් වගේ- දෙන්ඩ තියන ඉඩ වැඩියි. යාලුවන්ට, ගෙදරට අමුත්තන්ට ඒ විදිහට පිළිගන්වන්නේ ඇඟට අහිතකර වසක් බව අපි හිතන්නේ නෑ නේද?
මේ ග්‍රෑම් ගණන් මීට ඉස්සරත් මම අහල තිබ්බ. ආණ්ඩුව අලුතින් අඳුන්වලා දීපු වර්ණ සංකේත ක්‍රමය හිංද බීම වර්ග වල තියන සීනි ප්‍රමාණය දැන ගන්ඩත් ලේසියි. හැබැයි අපේ හිතට වදින්නේ නෑ. ඒක හිංද මම පොඩි වැඩක් කියන්නං. ඇත්තටම මම ඒක දැක්කෙත් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදර්ශන කුටියෙදීම තමයි. පල්ලෙහා තියන චායාරූපයේ විදිහට සීනි ටිකක් අරං කිරල බලන්ඩ එක වීදුරුවක් පැණි බීම බොනකොට සීනි කොච්චර ඇඟ ඇතුලට යනවද කියල. ඔන්න එතකොට තමයි වැඩේ බරපතල කම තේරෙන්නේ.
මම හිතාගත්තා මේ අවුරුද්දේ අපේ ගෙදරට පැණි බීම වර්ග ගේන්නේ නෑ කියල. මොකටද දැන දැන සල්ලි දීල වහ බොන්නේ ඊට වඩා හොඳ දේවල් ඕන තරං බොන්ඩ තියෙද්දි? ......නැද්ද මං අහන්නේ?
සිංහල අවුරුද්දෙදි අපි ප්‍රාර්ථනය කරන්නේ රෝග පීඩා දුරු වෙලා සෞභාග්‍යය උදා වෙන්ඩ, එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වෙන්ඩ කියල. එහෙම හිත හිත පැණි බීම බිව්වොත් නං ගොයියෝ එකසිය විස්ස, තිහ හතලිහට අඩු වෙන්ඩ බැරි නෑ. ඉතිං ඒ ගැනත් හිතල මේ අවුරුද්දට සූදානං වෙමු!!!.
හැමෝටම ආවඩා ආයු බෝ වේවා!!!
දැනි දැනි රසය මත්තෙම සොයමින් තාම
ReplyDeleteපෙනි පෙනි රෝග එනමුත් ගෙනයයි බීම
තනි වී සිතනු මෙය වළකන්නේ කෝම
පැණි රහ වුණත් නිරසයි වැඩියෙන් කෑම .....
හැමදාටම ඔබින ලිපියක්.
ජයවේවා!!!
කවියෙක් ලියන කවි පද ඇසෙනා තැනක
Deleteඇති ලස්සනක් කෝ වස බෝතල් ගොඩක
ස්තූතියි දුමී.
පැනිබිම බෝතලයක් බීපු කාලයක් මතක නැහැ. මම නිරීක්ෂණය කරලා තියෙන තවත් දෙයක් තමයි, සමහරු කෑම කන්න ගියාම වතුර වෙනුවට මේ වගේ බීම බෝතලයක් ගන්නවා. ( අර ඒ ජාතියේ එකක් නැතිනම් කෑම එපාය කියලත් ප්‍රචාරණය කලේ!)
ReplyDeleteඅර තියෙන වගුව නම් Excel දාලා පොඩ්ඩක් විතර ෆෝමැට් කරලා ගත්තනම් පංකාදු පහයි.
ලිපිය නම් නියමයි. මම මේ කල්පනා කලේ මේක කියෝලා අවුරුද්දට ඔය ගෙදර එන්න කට්ටිය පොරකයිද කියල.
මාත් ඒ මුලාවේ තමයි හිටියේ ලිඛිතා මැඩම්. විශේෂයෙන්ම දුර බැහැර පළාත් වල ගිය විට ඒ ප්‍රදේශ වල වතුරේ තත්වය නොදන්නා හින්දත් අර වර්ගයේ බීම බොන්ඩ පුරුදු වෙලා හිටියා.මේ පාර අපේ ගෙදර එන අයට පැපොල් සහ පැණි කොමඩු තමයි දෙන්නේ.
Deleteඅගේ ඇති ලිපියක්. හැබැය ඉතිං වැඩේ කියන්න කොච්චර කිවුවත් අපේ අය ඕව බොන එක නවත්තන්නෙ නැති එකනෙ.
ReplyDeleteඅපේ විචාරක ලොක්කත් ඔය ගැන කාලෙකට කලින් කියල තිබුණ මෙහෙම.
Deletehttps://wicharaka.blogspot.com/2016/08/blog-post_26.html
ප්‍රසන්න මට හිතෙන්නේ මේවගේ තියන විස ගතිය දැක්කහම තමුන් බොන එක කෙසේ වෙතත් අඩු ගානේ තමුන්ගේ දරුවන්ටවත් මෙව්වා දෙන එක නවත්තයි කියලා. ඕනෑම දුර ගමනක් පටන් ගන්නේ එක පියවරකින්. මම හිතන්නේ අපි ඒ පියවර දැනටමත් තියලා. මට ඊයේ හම්බ වෙච්ච සුපිරි වෙළඳ සැල් සේවක සහෝදරයා කිව්වේ දැන් හුගක් වර්ග වල ලීටර් 2 බෝතලය වෙළඳපොළට එන එක නවත්වා ඇති බවයි. ප්‍රමාණය මත පැනවෙන බදු බර අධික වීම නිසා මිල ඉහල යාම දැනටත් ඔවුන්ට තේරිලා.
Deleteවිචාරක තුමාගේ ලිපිය ගැන දැනුවත් කිරීම ගැන ස්තූතියි.
ඒක ඇත්ත. දැන් ගොඩක් මෙගා බෝතල් එන්නෙ සීනි රහිත ඒව.
Deleteඉතිං බොලා හිතන්නෙ ඔය 'සීනි රහිත' ඒවායෙ සීනි රහ ගන්නෙ කොහොමෙයි කියලය? ඒ දාන කෙමිකල්ස් සීනිවලට වඩා වසයි බොලවු..
Delete//අරක්කු බෝතලයක් හොයා ගන්ඩ නැති හිංද// ඇයි ඔහේ කලින්ම ඒ ටික බෝතල් පත්තර කාරයට විකුණ්නද අවුරුද්දට 'බඩු' ගේන්න. හැක්..
ReplyDeleteආය මොකටද අවුරුදු ලංවෙලා පෝලිමේ ඉන්නේ...හිහ්...හිහ්...හිහ්
DeleteCheers!
ReplyDeleteලොකු මල්ලි!!
Deletecolumn label වල අවුලක් වගේ පේනවා.
ReplyDeleteපොඩ්ඩක් චෙක් කරලා බලන්න
ස්තූතියි එය පෙන්නා දීම ගැන. මම ඒ වැරැද්ද හැදුවා දැන්.
Deleteමේ දැන් ඔබේ table එක ඩවුන්ලෝඩ් කරලා ඔෆිස් එකේ notice board එකෙත් display කලා.
DeleteThanks for knowledge sharing
මම බලාපොරොත්තු වෙනවා මේ ලිපිය හෙට තව කරුණු සහිතව යාවත්කාලීන කරන්ඩ. කැමති නම් ඒ අලුත් වගුවත් මිතුරන් සමග බෙදා ගන්න. ස්තූතියි.
Deleteගොඩක් වටිනා ලිපියක්
ReplyDeletethanks for that
Thanks ඔබට කට්ටකාඩුවට ගොඩ උනාට
Deleteමොකටද දැන දැන සල්ලි දීල වහ බොන්නේ ඊට වඩා හොඳ දේවල් ඕන තරං බොන්ඩ තියෙද්දි? ......නැද්ද මං අහන්නේ?
ReplyDeleteYes, of course!
ආන්න ඒකයි!!!
Deleteවතුර සහ වෙනත් ස්වභාවික බීමක් ඇරෙන්නට බෝතල් කරපු දේකට කියල බොන්නෙ සෝඩා සහ රහමෙර ටිකක් විතරයි. අවුරුදු විස්සකින් විතර ඔය වස බීම බීල නෑ. දන්නා කෙනෙකුට බොන්න දෙන්නෙත් නෑ.
ReplyDeleteඑළ එළ. මම නං මේ බීම සෑහෙන පමණට බිව්වා. ඒත් දැන්නං නවතන්ඩයි හිතාන ඉන්නේ.
Deleteමම නං ඔය රහමෙහ පානය කරනකොට එකේක බීම ජාති කලවං කරන්නෙ නෑ.. අයිස් කැට 2-3ක් දාගන්නවා පමණයි.. රහ වෙනස් වෙන්නෙත් නෑ, ඇඟට අගුණෙකුත් නෑ.. මොකටද ඔය එකේක වසවිස ඇඟට දාගන්නෙ, නැද්ද මං අහන්නෙ.. ;-)
ReplyDeleteඅපේ ගමේ නං ඔය අයිස් කැට දාන්නෙත් නෑ. එව්වත් මොන මල ජරා වතුරෙන් හදලද දන්නේ බුරතිනෝ තුමනි?
Deleteඅදතමා මේ පැත්තට ආවේ... වටිනා ලිපියක්... නිතරම නැතත් ඉදලා හිටලා හරි මේවා බොන අවස්ථා නැතුව නෙවෙයි... හප්පා දැන්වත් හැදෙන්න ඕනේ
ReplyDeleteඑතකොට ඔබ තුමිත් හරියට අබ්භා මුත්තෝච චන්දිමා (වළාවෙන් මිදුණු පුන් සඳ) වෙනවා එහෙනං. සඳ සොදුරු එතකොටනේ නේද?
Deleteපැපොල් සහ පැණි කොමඩු නියමයි
ReplyDeleteනරකද ලිව්වොත් කවියක් කාරිය පැපොල් සහ පැණි කොමඩු ගැන? මේ පලතුරු වගේම රසට ලිව්වොත් බීම බොන ගමන් රස වින්ද හැකි.
Deleteහුහ්.. අපේ ගෙදර උන්දැ මට තේ දෙන්නෙ දවසට දෙවේලයි. වේලකට සීනි හැඳි බාගෙයයි අල්ලට. එතකොට මුන්දෑ මට දවසට හිමිකම තියෙන සීනි හැඳි අටක් අහිමි කරන එක බරපතල වරදක් නෙවද?
ReplyDeleteඒකට හරියන්න මං අපේ මාමණ්ඩි ලවා "හකුරුවල සීනි නෑ" කියල කියෝගත්තා. දැං හකුරු පලුවක් කනව එක වේලකට.
මලයා සූටි මැණිකේ දන්නවා සීනි ගැන. සුරංග මලයාට සීනි නොදුන්නත් හිතේ තියන පැණි ටිකම මදෑ කියල සූටි මැණිකෙ කියනවා මං අහගෙන....හකුරු වල සීනි නැත්තෙ මොකෑ...අපේ පැත්තේ තනිකර කිතුල් පැණි වලින් හැදුවා කියල විකුණන තරමක් විකුනන්නේ තනිකර සීනි වලින් හදපුවා.අපි එහෙමයි සාධාරණ වෙළඳාම් කරන්නේ!!!!
Deleteසීනි කෙවම මොකද වෙන්නේ කියල මේ video එකේ හොඳට පැහැදිලි කරල තියෙනවා. මේක දැක්ක දවසේ ඉඳන් අපේ ගෙදර සීනි පාවිච්චිය නවත්තලම දැම්ම. https://www.youtube.com/watch?v=dBnniua6-oM
ReplyDeleteස්තූතියි දැනුවත් කිරීමට!
Deleteදැන් සීනි නැති බීමත් තියෙනවා නේද ඔය වර්ග වලම. ඉතින් ඒවා ප්‍රශ්ණයක් නෑ නෙද
ReplyDeleteනෑ ඒක ඊට වඩා භයානකයි. ඒවගේ සීනි නැති උනත් පැණිරස තියනවා. ඒ කියන්නේ වෙනත් රසායණික ද්‍රව්‍ය එකතු කරලා තියනවා. උදාහරණයක් විදිහට සැකරින්. ඒ ද්‍රව්‍ය කොයිතරං සෞඛ්‍ය ආරක්‍ෂිතද කියල හිතල බලන්ඩ.
Deleteමත්වතුරත් අන්තිමට මේද බවට පත්වෙනවා නේද ?.එතකොට අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ශරීරයට එකතුවෙනවා කියල මම අහල තියනවා.
ReplyDeleteඑහෙනං ඒකත් නවත්තලා දාන්ඩ දසනායක මහත්තයා!
Delete