හුග දෙනෙක් හොල්මං කියල දෙයක් විශ්වාස කරන්නේ නෑ. මාත්
හොල්මං වැඩිය විස්වාස කරන කෙනෙක් නෙවෙයි. මම හොල්මං විශ්වාස කරන්නේ නෑමයි කියල
දිවුරල කියන්ඩ නං බෑ. මොකද මට වෙච්ච එක ඇබැද්දියක් ගැන මීට කලින් මම ලියල තියනවනේ.
ඒ ගැන කාට හරි කියවන්ඩ ඕන නං මෙතෙන්ඩ කොටන්ඩ. ඉතිං මම හොල්මං වගේ දේවල් විස්වාස
කරන්නේ නැත්නං එහෙම වෙලාවක බයක් ඇති වෙන්ඩ විදිහකුත් නෑ. හැබැයි තර්කානුකූලව
කල්පනා කරල බැලුවොත් හොල්මං ඉන්නවා කියල කියන්ඩත් බැරි තරං. හැබැයි අපේ ගමේ
එක්කෙනෙක් ඉන්නවා සත්ත වෙනවා එයා හොල්මං හිටපු ගෙදරක් කුලියට අරං කාලයක් ජීවත් වෙච්ච
බවත් අන්තිමට ඒ ගේ දාලා එන්ඩ උනේ හොල්මං වලින් වෙන කරදර ඉවසා දරාගෙන ඉන්ඩ බැරි
වෙච්ච හිංදා බවත්.
ඔය කාරණේ හින්දම මම යුද හමුදාවේ දැනටත් සේවයේ ඉන්න මේජර්
මිත්‍රයෙකුගෙන් අහල බැලුව කවදාවත් හොල්මනක් දැකල හරි ඇහිල හරි තියනවද
කියල.මනුස්සයා ජොබ් එකට ගියදා ඉඳන් යුද්දේ ඉවර වෙනකල් මගේ හිතේ සීයෙට අසූවකට වඩා
කාලයක් හිටියේ යුද බිමේ. සිය ගණන් මැරුණු තැන් මනුස්සයා දෑහින් දැකල තියන බව මම
හොඳාකාරවම දන්නවා. එයා මට කිව්වේ අවුරුදු පහළවකට අධික රැකියා ජීවිතේ එකම එක වතාවක්
ඇරුණම කවම කවදාවත් හොල්මනක් දැකල නැති බව. ඒ එකම එක වතාවෙත් එයා ඇත්තටම හොල්මනක්
දැකලා නෑ ඇහිලා විතරයි. ඉතිං ඒ සද්දෙත් හොල්මනක්ද නැත්නම් ඒ පරිසරයේ තියන ස්වභාවික
සද්දයක්ද කියන්ඩ මනුස්සයාට බෑ.
මීට වඩා හොල්මං මුණ ගැහෙන්ඩ ඉඩ තියන කෙනෙක් හොයා ගන්ඩ
ඉඩක් නැති හිංදා හොල්මං කියල ජාතියක් මේ ලෝකේ නැති බව මම දවසක් කිව්වේ මගේ යාළුවෙකුටත්
මම ලඟින්ම ආශ්‍රය කරන හාමුදුරුනමකටත්. ඒ හාමුදුරුවෝ අදෘශ්‍යමාන බලවේග වලින්
මිනිස්සුන්ට හොඳක් වෙන දේවල් කරලා දෙන බව මම දැනගෙන හිටියා. ඒ උනත් අද කියන්ඩ
යන්නේ ඒ හාමුදුරුවෝ මට කියපු දේවල් නෙවෙයි. අර යාලුවා කියපු දේවලුයි.
යාලුවා මට කිව්වේ එයාගේ යාළුවො දෙන්නෙක්ට වෙච්ච වැඩක්.
මෙන්න කතාව.
සිසිර කියන්නේ රසායණ විද්‍යා එහෙම නැත්නං තේරෙන බාසාවෙන් කිව්වොත් කෙමිස්ට්‍රි
උපාධියක් තියන කොල්ලෙක්. තාරක කියන්නේ කළමනාකරණ එහෙම නැත්නං මැනේජ්මන්ට් උපාධියක්
තියන කොල්ලෙක්. දෙන්නා හොඳම යාළුවො. ඒ කියන්නේ ගහට පොත්ත වගේ. අපේ යාං හෑල්ලේ
සුරංග මහාචාර්ය තුමා කියන විදිහට නං ගහට චේන් සෝ එක වගේ දෙන්නට දෙන්නා නැතුව බෑ.
අනික දෙන්නම පදිංචිය එකම ගමේ . හැබැයි මොන
ඩිග්‍රිය තිබ්බත් අවාසනවාට දෙන්නටම රස්සාවක් හම්බ උනේ නෑ කැම්පස් එකෙන් අවුට් වෙලා
මාස හය හතක් යනකල්.
ඉතිං උපාධියේ රස්නේ බැහැගෙන යනකොට අතේ මිටේ කීයක්වත්
නැතිවෙන දුක ඇති වෙන්ඩ පටං ගත්තා මේ දෙන්නටම. දෙමාපියන්ට, සහෝදර
සහෝදරියන්ට යුතුකම් ඉස්ට කරන්ඩ තියන බව අය අමුතුවෙන් කියන්ඩ දෙයක් නෙවෙයිනේ. එව්වා
මෙව්වත් පහු පහු වෙවී තියෙද්දී මුල් කාලේ දවසට දෙක ගානේ ගිය ඉන්ටර්වීව් වලත් ලොකු
අඩු වීමක් දැනෙන්ඩ පටන් ගත්තා. ඉතින් රස්සාවක් කියන හීනේ දවසින් දවස ඈතට තල්ලු
වෙලා ගියා කිව්වොත් මම හරි.
"මචං අපි මෙහෙම ඉඳලා හරියන්නේ නෑ නේද?" දවසක් තාරක
ඇහුවේ සිසිරගෙන්.
"හරියන්නේ නැති බව දන්නවා ඒත් වෙන මොනව කරන්ඩද බං?"
"අපි අපේම වැඩක් පටං ගම්මුද?"
"අපිට මොනවද කරන්ඩ පුළුවන්නේ? මේසන් වැඩක්
හරි ලී බඩු හදන්ඩ හරි අපි දන්නේ නෑනේ"
"එව්වා විතරද ස්වයං රැකියා තියෙන්නේ?"
"ඔය ලියුං කවර අලවන එක, ඉටිපන්දන් හඳුන් කූරු
හදනවා වගේ දේවල් කළා කියල ඒ හැටි ආදායමක් ගන්ඩ බෑ ලොක්කා"
"ඒ ඇරුනම වෙන මොනවත් නැද්ද කියල හිතපන්කො"
"ඉතිං උඹත් හිතපන්කො මට කියන්නේ. මොනවද වෙන තියන රස්සා?"
"මට පොඩි අයිඩියා එකක් ඇවිත් තියෙන්නේ දැන් දවස් තුන
හතරක් ඉඳන්"
"කියපං බලන්ඩ"
"පෙරමුද?"
"මොනවද?"
"බබා වෙන්ඩ එපා යකෝ. පෙරන්නේ රෙද්දද කසිප්පු මිසක්?"
"අපි? කසිප්පු පෙරන්ඩ? ඊට පස්සේ පොලිසි ගානේ ලගින්ඩ උනාම?"
"උඹ බය වෙන්ඩ එපා උඹේ කෙමිස්ට්‍රි දැනුමයි මගේ
මැනේජ්මන්ට් දැනුමයි එක්කහු කරාම අපිට වෙනස් විදිහක් වැඩක් කරන්ඩ පුළුවන් වෙන්ඩ
ඕන"
ඉතිං යාළුවො දෙන්නා වෙනස් විදිහකට කසිප්පු පෙරන්ඩ සහ
විකුණන්ඩ පටන් ගත්තා. කසිප්පු පෙරීමේ ක්‍රියාවලිය එහෙම නැත්තං ආසවන ක්‍රියාව ගැන
සිසිර එක්ස්පර්ට් කෙනෙක්. මනුස්සයා දවසකට ස්පිරිට් ලීටර් දහයක් පෙරන්ඩ පුළුවන්
වෙන්ඩ බඩු ටික හැදුවා. ගෝඩා හැලිය රත් කරන්ඩ හොට් ප්ලේට් එකකුත් හැදුවා. දර දාලා
රත් කරන්නේ නැති හිංදා දුම දානවා අඩුයි. කොටිම්ම ඕල්මෝස්ට් සීරෝ දුම. විකිණීම ප්‍රශ්නයක්
උනේ නැත්තේ ඒ පැත්තේ හිටපු කසිප්පු මුදලාලිගේ බෙදාහැරීම් නියෝජිතයෝ ටික මුදලාලි
හරහාම අල්ල ගන්ඩ තාරකට පුළුවන් වීම හිංදා. මුදලාලි කැමති උනේ ඇත්තටම හිත හොඳ කමට.
උපාධි කාරයෝ දෙන්නෙක් ජීවත් වෙන්ඩ අප්‍රසිද්ධියේ කසිප්පු පෙරන එක මුදලාලිගේ හිත
උණු කරන්ඩ සමත් උනා. අනික ස්පිරිට් ලීටර් දහයක් කියන්නේ මුදලාලිගේ බිස්නස් එකට
දැනෙන්නේවත් නැති තරං පොඩි ප්‍රමාණයක්.
ඉතිං අපේ යාළුවො දෙන්නා කසිප්පු බිස්නස් එක පටං ගත්තා. තව
එක ප්‍රශ්නයක් උනේ කරන්ට් බිල. එකට හොඳ විසඳුමක් දෙයියෝ ගෙනත් දුන්නා වගේ හම්බ
උනා. ගමේ කනත්ත ලඟදි කරන්ට් වයර් ළඟටම යනකල් හැදිච්ච ගොරොක් ගහක් තිබ්බා. ඔය
ගොරොක් ගහේ මුදුනට නැග්ගහම කරන්ට් වයර් වලට කම්බි කොක්කක් දා ගන්න එක මහා ලොකු
වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රධානම වියදමක් වෙච්ච ඉන්ධන වියදම දරන්නේ ලංකාවේ බදු
ගෙවන ජනතාව. ඒ සංකල්පෙත් නරකම නෑ. "තොපිට බැරිනං අපිට රස්සා දෙන්ඩ බදු ගෙවපියව් අපිට කසිප්පු පෙරන්ඩ!
ඒ කොහොම උනත් වැඩේ සාර්ථකව කෙරීගෙන ගියා මාස හතර පහක්.
බොන්ඩ ඇවිල්ලා කතන්දරේ මුළු ලෝකේ පුරාම ප්‍රචාරය කරන ලොන්ත කෑලි වල සම්බන්ධයක්
නැති හින්දත් මුං දෙන්නා පොලීසියට බයට හරි තමුන්ගේ තත්වේ රැක ගන්ඩ හරි මොකක් හරි
හේතුවකට මේ ස්වයං රැකියාව ගැන හන්දියෙයි අතනයි මෙතැනයි ටෝක් ඉෂූ කරන්ඩ නොගිය
හින්දයි අඩුම තරමේ ගෙවල් වල මිනිස්සුවත් දැනං හිටියේ නෑ මුංගේ රස්සාව මොකද්ද
කියලා.
ඔය අතරේ ගමේ මුන් දෙන්නගෙම හොඳම බොක්කක් වෙච්ච යාලුවෙක්
හදිස්සියේ මලා. දවස් දෙක තුනක්ම මල ගෙදරට බැහැලා වැඩ කරපු සිසිරයි තාරකයි දෙන්නට ඒ
දවස් වල පෙරීමේ රස්සාව කරන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. අනික දවස් හතර පහක ඉඳලා වැහැපු
වැස්ස අමුතු පාලු මූසල ගතියක් මුළු පළාතටම එක්කහු කරලා තිබ්බා. අර යාළුවගේ අවසාන
කටයුතු කරපු දවසේ සිසිරගේ නංගිගේ වැඩකට සල්ලි අවශ්‍යතාවක් ඇතිවෙලා. අනික පෙරන්ඩ
සූදානං කරලා තිබ්බ ගෝඩා සෑහෙන ප්‍රමාණයක් දැන් ගොඩ ගැහිලා. ඉතිං දෙන්නම තීරණය කරා
එදා රෑ කනත්තේ ස්කාගාරයට පන දෙන්ඩ.
මල ගෙදර කටයුතු ඉවර කරලා හවස හතට අටට විතර දෙන්න කෙලිම්ම
ආවේ කනත්ත ලඟට. මල ගෙදරට ඇඳගෙන හිටපු සුදු කලිසමයි ෂර්ට් එකයි තමයි දෙන්නම ඇඳන්
හිටියේ. දවස් දෙක තුනක් වැහැපු වැස්ස හිංදා ගොරොක් ගහ හොඳටෝම තෙමිලා. මුං
දෙන්නගෙන් එකෙක් වත් ගස් නගින්ඩ එච්චර සූරයෝ නෙවෙයි ඒ හිංදා එකා පිට එකා නැගලා
කරන්ට් වයර් වලට කොක්ක දාන්ඩ දෙන්නා තීරණය කරා.එකෙක් ගොරොක් ගහ බදා ගෙන ඉන්දැද්දී
අනිකා අරූගේ පිට උඩට නැග්ගේ වයර් ටිකත් අතට අරං.
මෙන්න මේ වෙලාවේදී තමයි ගමේ මනුස්සයෙක් බයිසිකලයක්
පැදගෙන කනත්ත පාර දිගේ යන්ඩ ආවේ. කනත්ත පැත්තෙන් පොඩි සද්දයක් ඇහිච්ච හිංද අතේ
තිබ්බ ටෝච් එක කනත්ත පැත්තට හරවන්නේ වැඩිය හිතන්නේ නැතුව. මනුස්සයා දකින්නේ මොකද්ද? සුදු පාට අඩි
දහයක් දොළහක් විතර උස මනුස්සයෙක් කනත්ත ළඟ ගොරොක් ගහ ගාව හිටගෙන ඉන්නවා. මිනිහට චූ
වෙන්ඩ ඇති එතනම. හැබැයි ඒත් එක්කම මිනිහට බය කියන දේ උහුල ගන්ඩ බැරි උනා.
බුදු අම්මෝ මහසෝනා!!
මිනිහ කිව්වේ එච්චරයි වේගෙන් බයිසිකලේ පැදගෙන ගියා.
හැබැයි වැඩි දුරක් ගියේ නෑ. ළඟ තිබ්බ ලයිට් කණුවක වැදුනා. වැදිච්ච ගමං එතනම
වැටුනා. ආය නැගිට්ටේ නෑ.
සිසිරටයි තාරකටයි මේ වෙච්ච දේ මොකද්ද කියල හිතා ගන්ඩත්
බැරි උනා. ඒ කොහොම උනත් අර මනුස්සයා නැගිට්ටේ නැති හිංද එකෙක් ලඟට ගිහින් බැලුවා.
නහයෙන් කටෙන් ලේ දාගෙන වැටිලා ඉන්න තමන්ගෙ අසල්වැසියා දැක්කම මහා බයක් වගේම
දුකකුත් ඇති උනා. එකෙක් කසිප්පු පෙරණ බඩු ටික හංගන්ඩ යොදවලා අනිකා ඉක්මනටම ළඟ තියන
ගෙවල් මණ්ඩිය හොයාගෙන දිව්වේ උදවු ඉල්ලන්ඩ. ලෙඩා පැයක් විතර ඇතුලත ඉස්පිරිතාලෙට
ගෙනිච්චත් එතකොටත් පරක්කු වැඩියි. පැය බාගෙකටවත් කලින් ලෙඩා ගෙනාවනං බේරගන්ඩ ඉඩක්
තිබිච්ච බවයි දොස්තරලා කිව්වේ.
සමහරවිට එක්කෙනෙක් කසිප්පු පෙරන බඩු ටික හංගන්ඩ නොගිහිං
දෙන්නම ලෙඩාව ගෙනිච්චනං තත්වේ ටිකක් වෙනස් වෙන්ඩ ඉඩ තිබ්බා. හැබැයි ඒක හරියටම
කියන්ඩ බැරි ලංකාවේ මිනිස්සු හුඟක් වෙලාවට මැරෙන්නේ අනතුර නිසා නොවෙන හිංදා. ප්‍රථමාධාර
ගැන නොදන්න සෙට් එකක් වැරදි විදියට ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන කොට සිද්ද වෙන
අනතුරු හින්දා ලෙඩෙකුගේ ජීවිතේට වෙන අකරහනි අනන්තයි. ඒ මොනවා උනත් අර මනුස්සයා
ඉස්සරෝම අනතුරට පත් උනේ මහසෝන් හොල්මනට බයවෙලා නොවෙන විත්තිය සිසිරත් තාරකත්
දෙන්නම දැනගෙනයි හිටියේ.
මේ වරදකාරී හැගීමෙන් මිදෙන්ඩ දෙන්නටම බැරි උනා. ඉතින්
දෙන්නම තමන්ගේ ස්වයං රැකියාව අත් ඇරලා දාන්ඩ තීරණය කරා.
සල්ලි හම්බ උනා වගේ නෙවෙයි මචං අර මනුස්සයා අපි නොහිටියා
නං අදත් ජීවතුන් අතර කියල මතක් වෙන කොට පපුව හෝස් ගාලා දාලා යනවා! සිසිර මගේ
යාලුවට කියල තිබ්බේ මේ සිද්ධිය වෙලා අවුරුද්දකට විතර පස්සේ. ඒ වෙනකොට සිසිරටත්
තාරකටත් දෙන්නටම ආණ්ඩුවේ රස්සාවල් හම්බ වෙලා.
මේ ලඟදි මගේ යාලුවෙක් පොඩි වැඩක් කරවගන්ඩ තමුන්නේ ප්‍රදේශයේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහිං. යන්ඩ ඉස්සරලා තමං දන්නා අඳුනන ප්‍රා ලේ
කෙනෙක්ගෙන් අහල බලපුවම වැඩේට ගත වෙන්නේ පැය බාගයයි. වැඩිම උනොත් පැයක් යයි. අදාළ
ප්‍රා. ලේ. කන්තෝරුවේ ගහලා තියන ලොකු බෝඩ් එකකත් අහවල් අහවල් වැඩේට යන්නේ මේ මේ
වෙලාවල් කියල ගහල තියන හිංද යාලුවා ඒකෙත් බැලුවා. බැලින්නං දවසක් ඇතුලත වැඩේ
කෙරෙනවා කියලයි කියන්නේ. ඉතිං අදාළ ලියවිලි ටික ඔක්කොම හරි විදිහට බාර දීලා අදාළ
විෂය බාර නෝනා මහත්තයාගෙන් ඇහුවම කොච්චර කල් යයිද වැඩේට කියල කිසි ගානකට නැතුව
කිව්වලු සතියක් විතර කියලා!
අදට සති දෙක හමාරයි තාම වැඩේ වෙලා නෑ!
අපේ බදු මුදල් වලින් පිං පඩි ගන්න මේ වගේ එව්වොන්ට
මහසෝනා නොපෙනෙන්නේ ඇත්තටම හොල්මං නැති හින්දද නැත්තං අපේ කරුමෙටද? එහෙමත් නැත්නං
නොපෙනෙන බලවේග ගැන කිසි විස්වාසයක් නැතුව පෙනෙන මොණර කොළ පස්සේ යන්ඩ රජයේ - ඒ
කියන්නේ මේ අපේ -සේවකයෝ පුරුදු වෙලාද? දෙයියනේ අපේ සේවකයෝ අපේ වැඩක් කර ගන්ඩ ගියාම
පරක්කු කරනවානං, වැඩේ කරලා
දෙන්ඩ පගාව ඉල්ලනවානං එහෙම නොලැබෙන කොට වැඩේ නොකෙරෙන තැනට පත් කරනවානං එක්කෝ මුන්ට
මහසෝනා ගහන්ඩ ඕන නැත්තං අපිටම ගහන්ඩ ඕන.
ඔය වගේ තුප්පහි වැඩ කරනවට වඩා හොඳයි ප්‍රා.ලේ. කන්තෝරුවේ නෝනා වරුනි මහත්වරුනි කසිප්පු පෙරන එක!
ඕඩි වර වර මහසෝන් දිෂ්ටි වර වර
කලන්දාප දෘෂ්ටාන්ත වර වර අග්නි ජාලා වර වර.....
දියෙන් වර ගොඩින් වර...ඕඩි වා වා වර වර!!!!
නියමයි . කසිප්පු පෙරමු . දියෙන් වර ගොඩින් වර...ඕඩි වා වා වර වර!!!!
ReplyDeleteSupiri kathawa! Eka husmata kiyewwa.
ReplyDelete
ReplyDelete+++++++++++
https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_185.html
ReplyDeleteදවසකින් කරන්න පුලුවං වැඩේ සතියක් අදින එවුවො බයකරන්න මහසෝන උනත් කැමති නෑ බං. මොකද උං බය වෙන්නෙත් හොල්මන දැකල සතියක් ගියාට පස්සෙ. හැක්..
ReplyDeleteරාජ්‍ය සේවය ගැන නම් කියල වැඩක් නෑ ලොකු මල්ලිතුමා... මමත් අර්ධ රාජ්‍ය සේවකයෙක් වුනාට ඇත්ත පිළිගන්න එපැයි. අවංකව වැඩ කරන පිරිසකුත් ඉන්නවා. එත් එයාලගේ පැවැත්ම අඩුයි.
ReplyDeleteඅනික, ඕනම තැනක ඉන්න බොස් ගේ චර්යාව මත කාර්යක්ෂමතාව තීරණය වෙන ගතියකුත් තියෙනවා.
මගේ පුද්ගලික විශ්වාසයනම් යම් යම් බලවේග පවතින බව.එක්තරා අත්දැකීමක් මට තියෙනවා,එය එකවිටම එදා මා සමග ලංකාවේ හිටපු සුදු ජාතික මහත්මයාටත් දැනුනා,දැක්කා.පසුව ඔහු විස්තර කලා යුරෝපයේ ඔහුගේ අත්දැකීම්.සමාජයට වැදගත් දෙයක් කීවොත් මස්,මාංශ නොකන අයට ඔය දේවල බලපෑම අඩුයි.නමුත් කුහක අය නොවිය යුතුයි.තව දෙයක් කියන්නම්,ඔබ දිනපතා සතුන්ට හෝ කුරුල්ලන්ට කන්න දාන්න,වතුර දෙන්න.අනාගතයේදී ඔබව සතුන්ගෙන් වෙන කරදර වලින් සුරැකෙනවා.එක කලක මා මේ කිසිවක් ගනන් නොගත්ත කෙනෙක්.ඒත් සොබා දහම මට අත් දැකීම් ලබාදී අප අතරම ඇති ස්වභාවික ඒ රීතීන් මට පසක් කළා.ඔබ තුමාගේ ලිවීමේ හැකියාවට ආචාර කරමි !
ReplyDeleteමගේ පාස්පෝට් වැඩේ නම් (2015 දෙසැම්බර්) එක දවසෙන් සිදුවුණා!
ReplyDeleteතඩිය දාල තිබ්බ මෙතඩ් එක.
ReplyDelete