අපේ ලයනල් රංවල මහත්තයගේ ලස්සන ගේය පදයක් නිතරෝම
මේ දවස් වල ඇහෙනවා...
මේ අවුරුදු කාලේ ...හිනා වෙයං රාළේ
තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ....
අවුරුදු කාලේ ආපුවම කැවුම් මතක් වෙනවා නං මට
ඊගාවට මතක් වෙන චරිතේ තමයි කිංස්ලි අයියා. කොහොම උනත් කිංස්ලි අයියා තරං කැවුම්
කන්ඩ දස්සයෙක් මම නං ජීවිතේටම දැකලා නෑ. මනුස්සයට අතිරහ කැවුම් ගෙඩි හතළිහක් පනහක්
කොටා බාන එක සුළු වැඩක්.කිංස්ලි අයියා ගැන කියන්ඩ කතා එමටයි. කිංස්ලි අයියලගේ පවුල
අපේ ගමට පදිංචියට ආවේ අනූ ගණන් වල. ඊට ඉස්සර කිංස්ලි අයියලාට වෙච්ච වැඩ ගැන වෙනම දවසක
කියන්ඩ තරං දේවල් තියනවා.
ඒ කොහොම වෙතත් කිංස්ලි අයියා කියන්නේ උපං ගෙයි
මෝඩයෙක්. හැබැයි පොඩි 'වැඩ පෙන්නීමේ' දොළ දුකකුත් නොතිබ්බා නෙවෙයි. වැඩියක්ම ගෑල්ලමයි ඉන්න තැන වලදි මනුස්සයා
පොර වෙන්ඩ හදනවා එක මොහොතෙන්. මම එක උදාහරණයක් කියන්නං කෝ මිනිහගෙ ගති සොබාව දැන
ගන්ඩත් එක්කලා.
අපේ ගමේ පොසොන් පෝයට දන්සැලක් දෙනවා. ඔය දන්සැලට
මූලිකත්වය ගන්නේ ගමේ කොල්ලෝ කෙල්ලෝ. ඉතිං ඔය සැට් එකම පොතකුත් අරං ගමේ ගෙවල් වලට
යනවා මාසෙකට විතර ඉස්සර දන්සැලට දායකත්වයක් ඉල්ලමින්. ඔය කියන අවුරුද්දේ, ඒ කියන්නේ කිංස්ලි අයියලා අපේ ගමට පදිංචියට ආපු අවුරුද්දේ, ඉටිකිරිස් කෙල්ලෝ දෙතුං දෙනෙකුත් හිටියා මේ දන්සැල් ආධාර එකතු කරන සැට්
එකේ. කිංස්ලියට ඕන උනා කලර්ස් පෙන්නන්ඩ. ඇයි යකෝ අතිං ගාණක් යන එකේ ඒ ගමම්ම සෙට්
කර ගන්ඩ පුළුවන් උනොත් මල් හතයි නේද කියල හිතපු කිංස්ලි අයියා කල්පනා කළා මේ ආධාර
කණ්ඩායම ඉස්සරහා ෆුල් සුද්දා වෙන්ඩ.
“අයියේ අපි ආවේ ගමේ දන්සැලට ආධාර එකතු කරන්ඩ”
“ආ වෙරි ගුඩ්! වෙරි ගුඩ්!!”
“අයියලගෙ ගෙදරින් දෙන අධාරය මේ පොතේ ලියන්ඩකෝ”
“තවුසන්...තවුසන්!”
“අයියම ලියන්ඩකෝ”
“නංගි ලියන්ඩ… තවුසන් තවුසන්!”
“නෑ..නෑ අයියම ලියන්ඩ!”
(මගුලක් කතා කරනවා මේ කෙල්ල. මෙච්චර ඉංග්‍රීසියෙන් කතා කරලා සිංහලෙන් නම
ලියන්ඩත් මොකද්ද වගේ. හැබැයි ඉංග්‍රීසියෙන් නම ලියන්ඩත් අකුරු මතක නෑ. දැන් මොකද
කරන්නේ) මේ කිංස්ලි හිතපු විදිහ.
ගමේ අනික් හැමෝම සිංහලෙන් නම ලියල් තියෙද්දී
තමුන් විතරක් අමාරුවෙන් හරි ඉංග්‍රීසියෙන් නම ලියා ගත්තොත් ලකුණු කීපයක් වැඩිපුර
වැටෙයි කියල හිතපු කිංස්ලි බැරි මර ගාතේ අර පොතේ නම ලිව්වා. මිනිහ නම ලියපු
විදිහටයි අකුරු වල හැඩේටයි අනුව කෙල්ලෝ ටික තේරුං ගත්තා මුගේ තරම. ඊට හපං මූ නම
ලියල තිබ්බ හැටි.
Kinsi Lee
එදා ඉදං කොල්ලෝ කෙල්ලෝ හැමෝම මූ ඉන්න තැන
කිංස්ලි කිව්වට නැති තැන කිව්වේ කිං සිලී (මෝඩ රජා) කියල. ටික කාලෙකට පස්සේ මම
ඇහුවා ඇයි එහෙම ලිව්වේ කියල. මෙන්න උගේ උත්තරේ.
“ඇයි මල්ලි බෘස් ලී කියල ලියන කොට අගට Lee වෙනවනං මගේ නම
ලියනකොට විතරක් එහෙම නොවෙන්නේ කොහොමද?”
අන්න එහෙම පොරක් තමයි අපේ අද කතා නායකයා.
දැන් කතාවට යමු.
කිංස්ලි අයියා වැඩ කරේ මාවනැල්ලේ තිබ්බ යකඩ උණු
කරලා එක එක බඩු හදන කොම්පැනියක සුළු සේවකයෙක් විදිහට. එතැන ඉඳන් මාවනැල්ල ටවුමට
කිලෝ මීටරයක් විතර දුරයි. හවස වැඩ ඇරිලා කට්ටිය පයිම්ම ටවුමට එන්නේ එක්සයිස් එකටම
නෙවෙයි. ඔය එන පාරේ තිබ්බා ලංකාවේ ඒ කාලේ ප්‍රසිද්ධ වෙච්ච කේක් කර්මාන්තශාලාවක්.
සීයක් දෙසීයක් විතර වැඩ කරපු මේ බේකරිය තිබ්බේ ලංකාවේ රැකියාවේ නියුක්තව සිටියදී මැරිච්ච පළමුවැනි පොලිස් කොස්තාපල්ව
සිහි කරන්ඩ හදපු 'සභාන් ස්මාරකය' ට අල්ලපු වැටේ. ඔය බේකරියේ ලස්සන ගෑල්ලමයි හෙමත් වැඩ කරපු හිංදා අපේ
කිංස්ලි අයියා ඇතුළු නඩේ ඒ ආසිරාවේ කරක් ගැහීම සාමාන්‍ය දෙයක් වෙලා තිබ්බා.
බේකරියේ එක ෂිෆ්ට් එකක් ඉවර වෙන්නේ හයට. පහට වැඩ ඉවර වෙන කිංස්ලි ඇතුළු කණ්ඩායම
හොඳට නාගෙන හෙම පහ හමාර වෙනකොට බේකරිය පැත්තට සේන්දු වෙනවා ලස්සන ඉස්තිරියාවො
බලන්ඩ.
ටික දවසක් යනකොට කිංස්ලි අයියගේ යාලුවෙක්ගෙ
හඳුන් පොත කී ගාන්ට පටන් ගත්තා එක ලස්සන ඉස්තිරියාවක් හිංදා.
“අම්මප මල්ලි මාර ලස්සනයි ඒ කෙල්ල. හරියට සබීත වගේ මල්ලි!!” කිංස්ලි අයියා
මට කිව්වේ එහෙමයි. හැබැයි මේ බලාපොරොත්තුවට පොඩි පරහක් තිබ්බා. ඒ තමයි ඒ ළමයා ඒ
වෙනකොටත් බේකරියේම වැඩ කරපු තරුණයෙකුට බහ දීල තිබ්බ එක.
ඔය අතරේ දවසක් මට ආරංචි උනා කිංස්ලි ඉස්පිරිතාලේ කියල. මම ගියා බලන්ඩ. මෙන්න ඌ
කියපු දේ.
“එහෙම කෙල්ල බෑ කිව්ව කියල කොහොමද මල්ලි. අපේ දසුනයා උදේ ඉඳන් රෑ වෙනකල් මේ කෙල්ල ගැනමයි
කල්පනාව. ඌ මටත් මීට ඉස්සර උදවු කරලා තිබ්බ එක එක වැඩ වලට. අනික අපේ වැඩපොලෙත්
මල්ලි එකාට එකා නෑ. ඉතින් විස්වාසේකට ගන්ඩ පුළුවන් එවුං හරි අඩුයි. ඉතිං අරූ ඇවිත්
මගෙන් ඉල්ලුවා ප්ලෑනක් ගහල දෙන්ඩ කියල කෙල්ලව සෙට් කර ගන්ඩ. මොකද ඉතින් මම ඔය සීන්
ගැන අත්දැකීම් තියන පොරනේ! ඉතිං මල්ලි අපි හිතුවා අර කොල්ලව කෙල්ල ඉස්සරහම චොර
කරලා පීචං ලෙවල් එකට දැම්මොත් ඒකි අරුත් එක්ක තියන සම්බන්ධෙ නවත්තයි කියල.
යාළුවෙලා ඉන්න කෙල්ලක් නෙවෙයි කසාද බැඳපු කෙනෙක් උනත් තමුන් ඉස්සරහ කොල්ල ගුටි කන
හැටි දැක්කහම හිතන්ඩ පටං ගන්නවනේ මල්ලි මේ මොන පඟර නැට්ටෙක්ද? මූට ගුටි නොකා ඉන්ඩ බැරිනං කොහොමද කෙල්ලෙක්ව රැක ගන්නේ කියල”.
“ඉතින් අපි ප්ලෑන් කරා බේකරිය ඇතුලටම ගිහිං අරූගෙ බෙල්ලෙන් ඇදලා අරං
අම්බානකට නෙලන්ඩ. අරූට ගහන එක කෙල්ල දැක්කොත් තමයි මල්ලි වැඩියෙම්ම හොඳ. ඉතිං අපි
පොඩි පනිවිඩේකුත් යැව්වා බේකරියට අපි මේ සතියේ දවසක එනවා පුළුවන්නං බේරිලා
හිටපල්ලා කියල. කොහොමද මල්ලි 'චැනල්' කරලා ගහනකොට!!”.
“ඉතිං අපි ඊයේ හවස යන්ඩ සෙට් උනා. වැඩිය ගෙනියන්ඩත් හොඳ නෑනේ මල්ලි. එකෙකුට
විස්සක් විතර ගහනකොට වැඩ පෙන්නන්ඩ බැරි වෙනවා. ඉතිං දසුනයයි මායි විතරයි ගියේ”.
“අපි බේකරියට ගිහිං ගේට්ටුව ඇරියා. බල්ලෙක්වත් නෑ මල්ලි ඇතුලේ. මුං අපිට මේ
තරං බයද කියල හිත හිතා අඩි දහයක් විතර ඇතුලට ගියා. මොකෙක්වත් නෑ. මම ළඟ තිබ්බ දර
පොල්ලක් අතට ගත්තා. ළඟ තිබ්බ බැරල් එකකට දෙතුං පාරක් ගහලා සද්දේ දාලා ඇහුවා කවුද
ඩෝ චණ්ඩි? කියල”.
“ම්හ්...මීක් සද්දයක් නෑ මල්ලි. අපිට මාර ජොලි. දසුනයා තව දර පොල්ලක් අරං
බැරල් දෙකකට ගහන්ඩ පටං ගත්තා නිකං අර සම්ප්ලවර් එකේ ඩ්‍රම ගහනවා වගේ. මම ආයෙත්
ඇහුවා කවුද ඩෝ චණ්ඩි වරෙව් එළියට බල්ලෝ වගේ හැංගිලා ඉන්නේ නැතුව කියල”.
“ම්හ්..ඒත් නෑ මල්ලි කිසිස් සද්දයක්. මං හිතුව
අපි එවපු පනිවිඩේට උං බයවෙයි කියල. ඒත් මෙහෙම බයවෙයි කියල නං හිතුවෙම නෑ. මට මාර
ජොහොර් එකක් ආව අපි ගේමක් නැතිවම අරූ පීචං කරා කියල මතක් උනාම. ඒ හින්ද මම කෑ ගහල
කිව්ව අඩෝ දීපා එක්ක යාලු වෙලා ඉන්න පහිඳට මේ කියන්නේ අදම තොගේ සම්බන්දෙ නවත්තපන්
නැත්තං තොගේ බඩ බොකු අදිනවා නිකං බාබත් වගේ කියල. දසුනයත් කිව්ව මෙහෙම නෙවෙයි
තොපිට කන්ඩ වෙන්නෙ සම්බන්දෙ නැවැත්තුවේ නැත්තං කියල!”
“ඉතිං... ඉතිං...?”
“එතකොටම මල්ලි මට නිකං මොකද්ද සද්දයක් ඇහුන
පිටිපස්සෙන්. මම හැරිලා බැලුව. බලනකොට මල්ලි බේකරියෙ ගේට්ටුව ඔටෝමැටික් වැහෙනවා.
අපිට වැඩේ තේරෙන කොට පරක්කු වැඩියි. මට පොලු විස්සකින් විතර ගැහුවා මල්ලි උං
වටකරගෙන. දසුනය ලේ පෙරාගෙන බිම වැටිල ඉන්නවා මම දැක්ක. මට මතක් වෙනකොටත් මයිල්
කෙලින් වෙනවා මල්ලි. උං අපිට සෙට් වෙලා නෙලුව නැති වෙන්ඩම”.
“ඊට පස්සෙ..?”
“ඊට පස්සේ ඉතිං මොනවද උං අපිව ගේට්ටුවට උඩිං
උස්සලා විසිකෙරුව. අඩු ගානේ පරයෝ හිතුවේ නෑ අපේ කොන්ද කැඩෙයි කියලවත්!”
“ඊට පස්සේ?”
“මට කල්පනා උනා උං දැන් සෙට් වෙන්නෙ මොකටද කියල.
උං බැලුවෙ පාර දිගට අපිට නෙලන්ඩ. මම දඩි බිඩි ගාල නැගිටල පාරෙ ගිය බස් එකක
එල්ලුනා. බැලින්නං ඒක කොළඹ යන එකක්. උං මං දිහා සතෙක් දිහා බලන විදිහට බැලුවෙ”.
“ඒක වැරදියි නේද?”
“එක අතකින් වැරදිත් නෑ මල්ලි. කමිසෙ කීතු කීතු.
කලිසමේ එක කකුලක් ඉරලා. අනික ලේ වලින් පෙඟිලා. බැලු බැලු අත ලේ!!”
“උං මට බැනලා බස් එක නවත්තලා මාව එළියට ඇදලා
දැම්මා. කරුමෙ කියන්නෙ මල්ලි ඒ හරියටම අපේ වැඩපොළ ඉස්සරහ. වස නෝන්ඩිය!!”
“ඉතිං?”
“ඉතිං මොනවද මල්ලි රෑ වෙනකල් ඉඳලා ඉස්පිරිතාලෙට
ආවා. තාම කොන්ද හොල්ලන්ඩ බෑ මල්ලි!!”
කිංස්ලිය සතියක් විතර ඉස්පිරිතාලෙ ඉඳලා බලෙම්ම
ටිකට් කපාගෙන ආවා. මේ වැඩෙන් හොඳකුත් උනා. කොල්ලන්ට අමතක උනා කිං සිලී කියන නම.ඒ
වෙනුවට කිංස්ලි අයියව අවුස්සා ගන්ඩ ඕන උනාම ටිකක් හයියෙන් 'කවුද ඩෝ චණ්ඩි' කියල අහපුවම හොඳටම ඇති.
මේ අවුරුද්දේ කිංස්ලි අයියා මතක් වෙන්ඩ තව
හේතුවක් තියනවා. ඒ තමයි කිංස්ලි අයියගේ වැඩ ඉස්සරහට ගෙනියන දාසය දෙනෙක් ගැන
පත්තරවල කියවන්ඩ ලැබීම. පොඩි වෙනසකට තියෙන්නේ කිංස්ලි අයියා බේකරියක් ඇතුලෙදි ගුටි
කාපු එකත් අර දාසය දෙනා මුළු සමාජය ඉස්සරහම රෙදි ගලව ගත්තු එකත් කියන කාරනා දෙක
විතරයි. අනුන්ගේ සීනි කිරන්ඩ යෑම, තමුං අමතක නොවන ලෙස ඇණ ගැනීම වගේම දෙපැත්තෙන්ම පීචං
වීම කියන කටයුතු වලදි කිංස්ලි අයියා මීට අවුරුදු විස්සකට විතර ඉස්සර කරපු දේ අද මේ
අය කරගෙන. දසුන් වගේ "තොපිට ඉස්සරහට කන්ඩ වෙන්නෙ මෙහෙම නෙවෙයි!!" කියල
පාරම්බාපු පොරවල් අඩු ගානේ හතර පස් දෙනෙක් මට නං විදිහට කියන්ඩ පුළුවන්. හැබැයි ඒ
කටට බ්‍රේක් නැති ගතිය උන්ගේ ජම්ම ගතියක්. අර කතාවක් තියනවනේ මාළුවා නහින්නේ කට
හින්දයි කියල.
මට මතක් වෙනව සුභාෂිතය. බලන්ඩකො 30-31-32 කවි.
නුව ණැත් තවුන් පහකොට දුදනන් සෙවුන
නොම ගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින
රජුටත් එරටටත් අතුරක් නැත වෙනින
පැමිණෙත ලොවට බුහුනා ගුණ යුතු නපුරු
මෙදියත නසිනු මිස යහපත නොවේ සරු
නොනැවත යුගත පත්වූ සඳෙහි සත් හිරු
විකසිත නොවී දායෙයි සම විල් තඹුරු
රුදුරු ගිනිකඳක් ගත් සඳෙහි වනතුරු
මිතුරු වේය දිගතින් හමන මඳමරු
මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු
මිතුරු නෑ කෙනෙක් නිවටුන්හට කවුරු
අන්තිම පදේ ආයෙත් කියන්ඩද...
මිතුරු නෑ කෙනෙක් නිවටුන්හට කවුරු ?
නිවටයෙකුට මිතුරු වෙන කෙනෙක් හොයා ගන්ඩ බෑ. එහෙම
කවුරු හරි යාලුවෙක් වගේ ඉන්නවනං මිත්‍ර ප්‍රතිරූපකයෝ ගැන අපේ බුදු හාමුදුරුවෝ
දේශනා කරල තියන දේ දැන ගැනීම වටිනවා. නුවණැත්තවුන් පැත්තකට දාලා කටමැත දෙඩවීම
ජීවනෝපාය කරගත්තු, තමන්ගේ බඩ වැඩියාව එකම ජීවන ප්‍රතිපදාව කරගත්තු මිනිස්සු තරං හෙණයක් රටටවත්
පාලකයන්ටවත් නෑ.
අන්න එහෙම හූනියං දුරින් දුරුවන් වෙන සුභම සුභ
සිංහල දෙමළ අලුත් අවුරුද්දක් ඔබ සැමටත් මටත් ලබාවා!
එකසිය විස්සට
දෙසිය විස්සක් කෙසේ වෙතත් ඉන්න ටික දොහ හරි අනුන්ට කරදරයක් නොවී ජීවත් වෙන්ඩ අපි
හැමෝටම වාසනාව ලැබේවා.
ගෙඩිය පිටීන් ඉස්සුවා පත්තරේට
ReplyDeleteපුංචි උණත් සතා භයානකයිනේ මල්ලී..
ReplyDeleteහෙක්.. හෙක්.. ලොකු මල්ලිටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteලොකුමල් ලී
ReplyDeleteසුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.ගෙදර ආවනම් පැනිකොමඩු එකක් බීල යන්ඩ තිබුන නේද?
++++++++++
ReplyDeleteShaaaaah!Niyamayi.
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDelete