ගිය සතියේ බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් ගැන කට්ටකාඩුවට නිතර ගුරු හරුකම් සපයන 'ඩොක්ට ඩී' එක්ක අදහස් හුවමාරුවක් උනා. එතෙන්දි එතුමා කිව්ව කතාවක් මගේ හිත බැඳ ගත්තා. මේ කතාව හැබෑ සිද්ධියක්ද නැත්නම් යාන්ස් එකක්ද කියලනං මම දන්නේ නෑ.
කතාවට පාදක වෙන්නේ දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සේ නැගෙනහිර හා බටහිර විදිහට බෙදිලා වෙන් වෙච්ච ජර්මනිය. නැගෙනහිර ජර්මනිය සෝවියට් රුසියාවට හිතවත් සමාජවාදී කඳවුරට ගමන් කරද්දී බටහිර ජර්මනිය ධනවාදී කඳවුරත් එක්ක ඉස්සරහට යමින් හිටියා. දෙවනි ලෝක යුද්ධයේදී නාසිවාදයෙන් ජර්මනිය බේරා ගන්ඩ වැඩිපුර ජීවිත පරිත්යාගයෙන් කටයුතු කලේ රුසියාව. හැබැයි ධනවාදයත් එක්ක බටහිර ජර්මනිය ඉක්මන් ආර්ථික සංවර්ධනයක් ලඟා කරගනිමින් සිටියා. මේක නැගෙනහිර ජර්මානුවන්ගේ ඇහේ කටු අනිනවා වගේ වැඩක්! නැගෙනහිර ජර්මානුවෝ කරේ තමුන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩවල් බටහිර පැත්තට දාපු එක. අපේ ගඳ ගහන දේවල් ගොඩ ගහන්ඩ තමයි උඹලගේ රට තියෙන්නේ!!!
දැන් බටහිර ජර්මන්නු කලේ මොකක්ද දන්නවද?
ඔවුනුත් අර කුණු ගොඩට වඩා ලොකු කුණු ගොඩක් ගෙනත් නැගෙනහිරට දාපු එකද? නෑ...ඔවුන් ඉතාම හොඳ පලතුරු සහ එළවලු හොඳට ඇසුරුම් කරලා නැගෙනහිර ජර්මානුන්ට ගන්ඩ පුළුවන් වෙන පරිද්දෙන් තියපු එක...ඒ පාර්සල් ඇතුලේ පොඩි කඩදාසි කැබැල්ලක මෙහෙම ලියලා තිබුනා...
ඕනෑම කෙනෙක් දෙන්නේ තමන්ට වැඩිපුර තියෙන දේ!!!
අපි ගාව තියෙන්නේ කරුණාව නම් අපි එලියට බෙදන්නේ කරුණාව. අපි ළඟ තියෙන්නේ තරුණ ජවය නම් අපි බෙදන්නේ ඒ ජවය. අපි ගාව තියෙන්නේ ගඳ ගහන අදහස් නම් අපි බෙදන්නේ ඒ දේවල්. අපි ළඟ තියෙන්නේ මෝඩකම නං ඥානය බෙදන්නේ කොහොමද?අපි ගාව තියෙන්නේ අමනකම නම් මොනවද බෙදන්නේ?
මට මතක් උනා කොරෝනා කාලේ කතා දෙකකුත් සුනාමි කාලේ කතා තුනකුත්. අපිට අපි ගැනම හිතන්ඩ ඒ කතා හොඳ අවස්තාවක් සලසනවා කියල හිතලයි මම මේ කතා කියන්නේ.
මේ කතාව සුනාමියෙන් ටික කාලෙකට පස්සේ වෙච්ච දෙයක්. හම්බන්තොට දිස්ත්රික්කයට බෙදා දීපු සුනාමි සහනාධාර ගැන සමාලෝචන රැස්වීමක් තිබ්බා. මේ කතාව කිව්වේ ඒ කාලේ හම්බන්තොට දිස්ත්රික්කෙට දේශපාලන නායකත්වය සපයපු රට දන්නා හඳුනන නායකයා. ඔහු කියපු සංඛ්යාලේඛන හරියටම මතක නැති උනත්
සාරාංශය මෙහෙමයි...
හම්බන්තොට ඉන්න පවුල් සංඛ්යාවෙන් සුනාමියට ඉස්සරලා වඩු කර්මාන්තය කරන පවුල් සීයෙට පහක් හිටියා කියමු...හැබැයි සුනාමියට පස්සේ ජීවනෝපාය සංවර්ධන ආධාර විදිහට අර වගේ පස් ගුණයකට විතර වඩු උපකරණ කට්ටල බෙදලා දීලා තියෙනවා. ධීවර බෝට්ටු තිබ්බට වඩා පස් හය ගුණයක් විතර බෙදලා. කටුවන මිනිස්සුන්ටත් ධීවර බෝට්ටු බෙදලා දීලා තියෙනවා. දැන් ඒ හුග දෙනෙකුට ඒ උපකරණ වලින් කිසිම පලක් නෑ...වෙලා තියෙන්නේ වෙනදා ධීවර රස්සාව කරපු මිනිහටවත් තමුන්ගේ බෝට්ටුව මූදට දාන්ඩ කට්ටිය නැති වෙච්ච එක...ඇයි...ඒ බෝට්ටු වල වැඩ කරපු මිනිස්සු, තමුන්ට නිකං හම්බ වෙච්ච බෝට්ටු විකුණලා ඒ සල්ලි වලින් බිබී ඉන්නවා!!
ඔහු වචන කීපෙකට කැටි කරේ සම්පත් බෙදා දීමේ තිබ්බ අසංවිධිතබව හිංදා වෙච්ච අලකලංචිය.
ඔය කාලේ මම අම්පාර පැත්තෙත් වැඩ වගයක් කරමින් හිටියා. දවසක් පානම කලපුව පැත්තෙදි මම දැක්කා අලුත්ම ධීවර
බෝට්ටු තිහකට වැඩි ප්රමාණයක් එක උඩ එක ගොඩ ගහලා තියෙනවා. බැලූ බැල්මට ඒ බෝට්ටු කිසිම වැඩක් ගන්නේ නැතිව කුණු ගොඩක් වගේ විනාශ වෙන්ඩ ඇරලා තිබ්බ බවක් තමයි පෙනුනේ. ඊට පස්සෙන් සතියේ මම වැඩ කරපු ආයතනයේ වැඩසටහන් ප්රගති සමාලෝචනයකදී පානම පැත්තටම තව ධීවර බෝට්ටු ගණනාවක් බෙදලා දෙන්ඩ නියමිත බව දැනගන්න ලැබුනා. මං ඇහුවා අච්චර බෝට්ටු වැඩිපුරත් තියාගෙන තව බෝට්ටු බෙදන්ඩ හදන්නේ ඇයි කියල.
ඒ බෝට්ටුවල මාළු අල්ලන්ඩ ගියාම කිඹුල්ලු ගහනවා! අපේ ක්ෂේත්‍ර නිලධාරි තුමෙක් කිව්වා.
ඒ මොකද ඒ?
ඒ බෝට්ටුවලට මොකක් හරි හේතුවකින් කිඹුල්ලු ඇටෑක් කරනවා වැඩියි!
මොකද ඒ බෝට්ටු වලට විතරක් කිඹුල්ලු ගහන්නේ?
ඒ බෝට්ටු වල ගාලා තියෙන පාට කිඹුල්ලුන්ට පේන්නේ නැති පාටක් ලු. ඉතින් කිඹුල්ලු හිතන්නේ ඒ සතෙක් කියලලු!!
පස්සේ දවසක සත්තව විද්යාඥයෙක්ගෙන් මමත් අහලා බැලුවා ඒ ඇත්ත නැත්ත...බැලින්නං කතාව ඇත්ත.
සාමාන්‍යයෙන් ඒ පාට බෝට්ටු නිෂ්පාදනය කරවන්නේ නැති බවත් අදාළ රාජ්‍ය නොවන සංවිධානය ඒ පාට බෝට්ටු නිෂ්පාදනය කරවලා තියෙන්නේ ඒ තමන්ගේ සන්නාම වර්ණය හින්දා බවත් අහන්නට ලැබුනා. ෆයිබර් බෝට්ටු නිෂ්පාදනයේ යෙදෙන තාක්ෂණයක් නිසා
නැවත වර්ණ ගැන්වීමත් අපහසුයි කියලත් එහෙම පුළුවන් උනත් අදාළ ආයතනය තමන්ගේ සන්නාම වර්ණයෙන්ම බෝට්ටු තිබීම අත්‍යාවශ්‍ය බව කීමත් හිංදා ධීවරයන්ට වෙලා තියෙන්නේ ඒ බෝට්ටු කුණු ගොඩට දාන එක. කෝටි ගාණක ආධාර කුණු ගොඩට ගියේ එහෙමයි.
සුනාමි කතා කියන කොට තවත් කතාවක් මතක් උනා. ඒ තමයි හම්බන්තොට දිස්ත්රික්කයේ ලුණුගම්වෙහෙර රජයේ ප්රධාන කන්තෝරුවක තිබ්බ රැස්වීමක්.
සුනාමියෙන් මාස කීපයකට පස්සේ. රැස්වීම් ශාලාවේ පස්සට වෙන්ඩ ලොකු කාඩ්බෝඩ් පෙට්ටි තොගයක් ගොඩ ගහලා තිබුනා. අපේ රැස්වීම තිබුනේ උදේ වරුවේ. රැස්වීම ඉවර වෙනකොට දවල් කෑමට වෙලාවත් හරි. ළඟ කඩේකින් බත් පාර්සල් ගෙන්නා ගත්තත් වතුර බෝතලයක් හොයා ගන්ඩ බැරි උනා. අදාළ ආයතනයේ ප්රධානියාත් අපිත් එක්ක ආහාර ගන්ඩ ආවා. අපිට වතුර ප්රශ්නයක් තියෙන බව දැනගත්තු එතුමිය බොහොම කරුණාවෙන් කිව්වේ අර පිටි පස්සේ ගොඩ ගහලා තියෙන පෙට්ටි වලින් එකක් කඩලා ඕන තරම් වතුර ගන්න කියලයි.
ඒ මොනවද?
සුනාමියට ප්රංශෙන් එවපු වතුර පෙට්ටි!
ප්රංශෙන්..? වතුර...? සුනාමියට..?
ඔව්...අපිට ඔව්ව හම්බ උනේ මාස තුන හතරක් ගිහිං...ඒ වෙනකොට කිසිම වතුර ප්රශ්නයක් තිබ්බේ නෑ...අනික මිනිස්සු ඒ වතුර බොන්ඩ කැමතිත් නෑ...!!
ඒ මොකද? ප්රංශ වතුර කිවුල් රහයිලුද?
නෑ...මේ අර ස්පාක්ලින් වෝටර් කියන එව්වනේ. එව්වා බොන්ඩ මිනිස්සු කැමති නෑ...අරක්කු බොන්ඩ සැන්ඩි විදිහට නං හොඳයි කියල තමයි මිනිස්සු කිව්වේ!!
ඒක ඇත්ත ලංකාවේ සෝඩා වතුර පාවිච්චි වෙන්නේ සැන්ඩි විදිහට මිසක් බොන වතුරට ආදේශකයක් විදිහට නෙවෙයි. හැබැයි මූඩිය ගලවලා ටික වෙලාවක් තිබ්බම කාබන් ඩයොක්සයිඩ් වායුව වාෂ්ප වෙලා යන හිංදා බොන්ඩ බැරි කමකුත් නෑ.
ඔව් ඒකනං එහෙම තමයි..හැබැයි ඔය බෝතල් බෙදලා මිනිස්සුන්ගෙන් බැනුං අහනවට වඩා හොඳයි ඔන්න ඔහේ ගොඩ ගහලා තියෙන එක. දැන් ඔයාලට උනත් හදිස්සියේ බොන්ඩ වතුර ටිකක් හොයා ගන්ඩ පුළුවන උනේ අපි එහෙම තිබ්බ හින්දනේ....
මං ගිලපු බත් කට උගුරේ හිර වෙනවා දැනුනා ඒ කතාවට!!!
ඊළඟ කතාව අපේ 'ඩොක්ට ඩී' ට වෙච්ච වැඩක්. එතුමා කට්ටකාඩුව පටං ගන්ඩ මට උදව් කළා වගේ අංකුර කතන්දර කියන්නන්ට උදවු කරන එක තාම අත ඇරලා නෑ... එතුමාගේ අවධානයට මේ ලගදී ලක්වෙලා තියෙන්නේ යූ ටියුබ් චැනල් එකක් බොහොම අමාරුවෙන් පවත්තාගෙන යන තරුණයෙක්. මේ කොලුවා ඉන්නේ බදුල්ල පැත්තේ ගමක. ස්මාට් ෆෝන් එකකින් තමයි වීඩියෝ හදන්නේ, එඩිට් කරන්නේ, අප්ලෝඩ් කරන්නේ, කමෙන්ට් කරන්නේ ඔක්කොම. ගෙදරත් එහෙමට කියල සරු සාරයක් නැති අල්ල පනල්ලේ මේ කොලුවා කොහොම කොහොම හරි ගැට ගහගෙන යූ ටියුබ් චැනල් එක පවත්තාගෙන යාම ගැන ඩොක්ට ඩී ගේ හඳුන්පොත කී ගාන්ඩ පටන් ගෙන. අනේ පවු නේද...මේ කොල්ලට තව ටිකක් උදවු කරොත් හොඳයි නේද වගේ සානුකම්පිත හිතුවිලි වලින් පිරිලා ඩොක්ට ඩී තව යාළුවො කීප දෙනෙකුත් එක්කහු කරගෙන ඔය යූ ටියුබ් චැනල් එකක් ඉහල මට්ටමෙන් පවත්තාගෙන යන්ඩ ඕන කරන තාක්ෂණික උපකරණ ටිකක් අරං දීලා කොරෝනා කාලේ නිවාඩුවේ.
මෙන්න අර කොලුවා ඒ අලුත් පහසුකම් වලින් වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරලා. තමන් දුන්න උපකාරයෙන් වඩා හොඳට ඒ වැඩේ කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්ඩ අපේ ඩොක්ට ඩී ත් ඉක්මනට යූ ටියුබ් චැනල් එකට ගිහිං.
අර කොලුවා උදැල්ලක් අරගෙන වත්තට ගිහිං වලක් කපන ගමන් කියනවලු තමන්ට අලුතෙන් හම්බ වෙච්ච උපකරණ ටික ගැන. ඊට පස්සේ මෙන්න බොලේ අර මෙච්චර කල් තමන් පාවිච්චි කරපු විසිතිස් දාස් ගානක් වටිනා ස්මාට් ෆෝන් එක අර වලට දාලා වහලා කියනවලු ඉඳල ටොප් කොලිටියේ වැඩ පෙන්නන්නං කියල!!
ඩොක්ට ඩී ගේම වචන වලින් කියනවා නං "ළඟ පාතක
හිටියා නං කනට දෙකක් ගහනවා...තමන්ට ඕන නැත්නම් වෙන ඕන කෙනෙකුට දෙන්ඩ තිබුනනේ අර අපූරුවට වැඩ කරපු ෆෝන් එක"!!!
අපි එහෙම තමයි..නැග්ග ඉනිමගට පයින් ගහන්ඩ අපි හරි දස්සයි!!
අපි හිතන්නේ
අපිට කවුරු හරි
යමක් දෙන්නේ ඒ මනුස්සයාගේ පශ්චාත් බාගේ කහන හින්ද කියල. ඒ
මොන තරම් කැප කිරීමක් කරල අපිට උදවු කරනවද කියන එක අපි මොහොතකටවත් හිතන්නේ නෑ. මම දැකලා තියෙනවා එංගලන්තේ අල ගොවියෝ තමන්ගේ අස්වැන්නෙන් කොටසක් රාජ්‍ය නොවන සංවිධාන වලට දෙනවා සංවර්ධනය වෙන රටවල එක එක යහපත් වැඩ කරන්ඩ කියල. ඒක අපි වගේ රටවල් වලට ආපුවම අපි ඩෙගා නටනවා.
අර බදුල්ලේ කොලුවා ගැන හිතන්ඩකො. තමුන්ට වැඩක් නැත්තං, ඔන්ලයින් ඉගෙන ගන්ඩ කිසිම ක්රමයක් නැතිව දුක් වෙන දාස් ගානක් ළමයි ඉන්න මේ රටේ එක ඉස්කෝලේ ළමයෙකුට මාස කීපෙකට අර ස්මාට් ෆෝන් එක දුන්නා නං හෙන ගහනවද? නිකං දෙන්ඩ බෑ කියල හිතනවා නං විනාස කරලා දාන්නේ නැතුව රුපියල් දාහකට දෙදාහකට විකුනපන්. ඒ සල්ලි වලින් අම්මට තාත්තට ආප්ප දෙකක් ගිහින් දුන්නා නං අතේ හොරි එනවද?
ඔන්න ඔය වෙලාවේ මට තව කතාවක් මතක් උනා.
මේ පහුගිය දවස් වල අපේ පේරාදෙණියේ කෘෂිකර්ම පීඨයේ අපි බොහොම හිතවත් ආචාර්ය තුමෙක් පවත්තාගෙන යන පොඩි ශිෂ්යත්ව ක්රමයක් ගැන අහන්ඩ ලැබුනා. ඊයේ
පෙරේදා දවසක එතුමාව හම්බ උනාම අර ශිෂ්යත්ව ව්යාපෘතිය ගැනත් අහගන්ඩ පුළුවන් උනා.
පහුගිය කාලේ රටම කර්ෆිව් පිට තියෙන කොට කුලී වැඩක් වත් කරගන්ඩ විදිහක් නැතුව ළමයි සෑහෙන ගානක් අමාරුවේ වැටුනා. ඒ අස්සේ ඔන්ලයින් උගන්නන්ඩ පටන් ගත්තම ඩේටා කාඩ් දාගන්ඩ වත් විදිහක් ඒ ළමයින්ට තිබ්බේ නෑ. ඒ ළමයින්ට තිබ්බේ විකල්ප දෙකයි. එක ඉගෙන ගන්න එක නවත්තන එක. නැත්තං ඇඳිරි නීතිය අස්සේ කීයක් හරි හොයා ගන්ඩ ගිහිං
හිරේ යන එක. එක හින්ද තමයි අපි මාස් පතා සල්ලි ටිකක් එක්කහු කරලා ඒ ළමයින්ගේ අකවුන්ට් වලට දැම්මේ. ස්ටාෆ් එක තමයි සල්ලි දුන්නේ මුල් මාස ටිකේම. එන්ඩ එන්ඩ අමාරුකම් තිබ්බ ළමයි වැඩි වෙච්ච හින්ද පිටිනුත් දන්නා කීප දෙනෙකුට කිව්වා සල්ලි දෙන්ඩ කියල.
තාම ළමයින්ට අමාරුකම් තියෙනවා නේද?
ඔව්...ඒ උනාට ඒ ළමයිම කතා කරලා කිව්වා දැන් අපිට පාට් ටයිම් ජොබ් එකක් හරි කරලා සල්ලි හොයා ගන්ඩ පුළුවන් ඒ හිංදා අපිට වඩා උවමනාකං තියෙන කට්ටියකට ඒ සල්ලි දෙන්ඩ කියල!
මොනවා!! මේ ලංකාවේ එහෙම උනා කියල අහන්ඩ හම්බෙන එකත් වාසනාවන්...අර බදුල්ලේ ‘ස්මාට් ෆෝන් වල දමන්නා’ වගේ කට්ටිය ඉන්න රටක ස්වේච්චාවෙන් තමන්ට හම්බ වෙන දීමනාවක් එපා කියන කොල්ලෝ කෙල්ලෝ රටටම වාසනාවක් නෙවෙයිද? ඔන්න අපේ විමලරත්න කුමාරගම කවියා කියපු මේ කවි මතක් වෙන්නේ තමන්ට ලේසියෙන්ම ගන්ඩ තිබ්බ සල්ලි තමන්ට වඩා
තියෙන අනිත් අය වෙනුවෙන් කැප කරපු කොල්ලෙනි කෙල්ලෙනි උඹලාටයි!!
දුක් කම් කටොලු බල රිදුමෙන් මිදේවා
සැනසිලි පියවිලිම පෙර මග ඇදේවා
පිනි හිරු ඔබට කිසි දුක නොදේවා
ඔබගේ අතින් නොදිරන රෙදි හැදේවා
තමන්ගේ යහපත වෙනුවෙන් අනුන් කරන කියන දේවල් වල අගය නොතේරෙන සමාජයක අපිට පුළුවන් වේවිද කෙලෙහිගුණ දන්නා සමාජයක් බිහිකර ගන්නට? අපිට බැරි වෙලාවේ උදවු කරපු අය ආපහු තමන්ට ප්රත්යුපකාරයක් බලාපොරොත්තු වෙනවා කියල මම හිතන්නේ නෑ. හැබැයි තමන් තවත් මනුස්ස ප්රාණියෙකුට උදවු කරා වගේ තමන්ගේ
උදවු
ගන්න අයත් කවදා හරි වෙනත් සත්වයෙකුට උදව්වක් උපකාරයක් කරයි කියල එතුමන්ලා බලාපොරොත්තු වෙන්ඩ ඇති. මම මෙතෙන්දි කෙලෙහි ගුණ කිව්වේ ඒ ගැන හිතලා. බුදු හාමුදුරුවොත් කිව්වනේ කෙලෙහි ගුණ දන්නා මිනිස්සු හරි දුර්ලභයි කියල. හැබැයි අර පේරාදෙණි තරුණ තරුණියන්ගේ කැප කිරීම් අපිට තවම බලාපොරොත්තුවක් ඉතිරි වෙලා තියෙන බව කියල දෙනවා.
ඊයේ හඳපාන තුළ ඇයි සුවඳ රැදී
පෙනෙනා නොපෙනෙනා සුවඳක් මහද අදී
නොදනිමි කිමද හුරු සුවදක් ඇඟට වදී
ගෙවුයන පුරා ඇති මල් වල සුවඳ මදී
ස්පාර්ක්ලින් වෝටර් නේද කට්ටේ...?
ReplyDeleteඑහෙමයි චෙෆාකි තුමනි. නොවක් තුති වරද පෙන්වාදීම ගැන...නිවැරදි කළෙමි.
Deleteඑය අත්වැරැදීමකින් සිදුවූ දෙයක් නොව කට්ටෙ..පෝස්ට් එකට හානි වෙන නිසා පෙන්නා දුන්නේ...😍
Deleteවරද සැගවීමට වඩා පෙන්වා දීම ම උතුම් කියලයි මම හිතන්නේ. අපිට එය නිවැරදි කරගන්න එය මහගු උපකාරයක්... ජීවිතේ ඇති තුරාවට ස්පර්ක්ලින් වෝටර් බෝතලයක් දැක්ක ගමන් මතක් වෙනවා ඔබතුමාව...ඉන් අනතුරුව ඒක සැන්ඩි විදිහට පාවිච්චි කලොත් දෙවියන්ව...තිබහ නිවා ගන්නට නම් පාවිච්චිය ඈත ලුණුගම්වෙහෙරේ ආණ්ඩුවේ කන්තෝරුව!!!
Deletehttps://phys.org/news/2016-05-crocodile-eyes.html
ReplyDelete
DeleteThanks Pra Jay for valuable insights. I think this proves the notion of those fishermen. FYI- the brand colour in question was something very close to Red...
The sensitivity of the saltwater crocodiles' colour photoreceptors was slightly shifted to shorter (bluer) wavelengths compared with that of the photoreceptors of the freshwater crocodiles, even though neither species can focus underwater, suggesting they may use their vision underwater more than we have previously thought," he said.
Yes, Panama lagoon should have saltwater crocs.
DeleteIt is interesting. Does it mean that these reddish boats would be in no danger in a Wewa, from freshwater crocodiles (Muggers), but blue boats would be attacked? Who was the Zoologist you talked to? Dr. Anslem de Silva? Are there any papers published? Recently, I had to do some research on crocodile communal fishing methods for an article. So,I read a bit up on croc facts. I didn't find any material on crocs attacking boats of a particular colour. So, wouldn't this merit more research by zoologists and perhaps, publication?
Good Idea Pra Jay...I didn't speak to Dr. Anslem on this particular issue. I didn't realize the importance of it. On the fresh water fishing, i think the design of the boat differs from fresh water lake fishing to the estuaries and to the deep sea fishing. So once you manufacture a boat, you cant shift from sea / estuaries to lakes.
Deleteමමත් අහම්බෙන් දැක්කා ඔය කියන වීඩියෝව. මම දැක්ක විදිහටනං කොල්ල බොරුවක් කළේ. ඌ ෆෝන් එක වළලනවා වගේ බොරු ඇඩ් එකක් දැම්මෙ. උගෙ චැනල් එකම බොරුවෙන් දුවන එකක් කියලයි මටනං හිතුනෙ.
ReplyDeleteස්තූතියි දිනුක...මට ඒ වීඩියෝ වේ සබැඳියක් ඒවා තිබුනත් මේ පෝස්ට් එක ලියන වෙලාවේ එය හොයා ගැනීමට බැරි උනා. ඇත්තටම ඔහු ෆෝන් එක වල දමන්නට නැතුව ඇති. නමුත් මම හිතන්නේ එයින් පෙන්නපු නාස්තිකාර ජීවන රටාව ගැනයි අපි දුක් වෙන්න ඕන. තමන්ගේ සල්ලි වලින් ඉස්සරහට යනකොට අපිට තේරෙනවා කොච්චර මහන්සි වෙන්න ඕනද ඒ දේවල් ලබා ගන්න කියල. නමුත් අනුන්ගේ සල්ලී වලින් යමක් ලබා ගත්තම අපිට තේරෙන්නේ නෑ ඒ දුන්න කෙනා කොච්චර කැපකිරීමක්ද කරන්නේ කියල.
DeleteNGO's are chasing people in shopping centers (here in AUS)showing pictures of poor people. Then they spend about 85% to finance NGO staff's good life and the 15% is wasted like you said above. During the war in SL all NGO staff were staying in Colombo 7. Most of them are 3rd class westerners with 3rd class behaviors (I experienced few) NGO staff created the nightclub couture in SL. Hopefully not many in SL now.
ReplyDeleteThank you for your views Mr. Wijebahu. I personally don't think this is limited only to the NGOs. Actually there are some NGOs who do wonderful work. But we should be thankful for those who sacrificed for our comforts. Even the people who paid taxes so we could get free education, free health etc. How many of us at least try to understand how fortunate we are to live in a society subsidized by the tax payers?
Deleteහරිම වැදගත්.... ලොකූ, මං හරිම කැමතියි මෙහෙම ජීවී උදාහරණවලින් ජීවන තක්සලාව සැරසීම ගැන! ගොඩක් ස්තුතියි!
ReplyDeleteජීවන තතු නං බොහොමයක් තියෙනවා. හැබැයි ලොකා ගේ තරම් හැල හැප්පිලි මගේ ජීවිතේ නැති කොට ඒ ගැන තියෙන අත්දැකීමුත් හරි පටුයි. පන්චතන්තරේ කියවන හැම දවසකම මම ලොකා ගේ අත්දැකීම් මට ලැබුනා නං මං මොනවා කරනු ඇත්දැයි හිතනවා. හුගක් වෙලාවට එහෙනං මම මැරිලා වලලපු තැන් වල දැන් දෑත බදලා අල්ලන්ඩ බැරි රූස්ස ගස්!!!
Deleteමගේ විශේෂයක් නැහැ ලොකූ... ජීවත් වෙද්දී එන තත්ත්වවලට මුහුණ දුන්නා විතරයි. ඔයා වුනත් ඒ ටිකමයි කරන්නේ ඔයාට ප්‍රශ්න ආවා නං. වැඩේ කියන්නේ එදා ඉඳලම මට වෙන්නේ නම් මරු වැඩ!
Deleteපෙනෙනවානේ 'කොරෝනා' හින්දා සරු සාකච්ඡා ගොඩකට පොට පෑදුනු හැටි. හැඟීම් දඩමීමා postsවලින්....
මතක්වුනේ මාළුවා හා බිලීපිත්ත . අපි පුරුදුවෙලා ඉන්නෙ මාළුවා බඩට දාගෙන එවේලේ කුසගින්න නිවාගන්න මිසක් බිලීපිත්තකින් මාළු අල්ලන විදිහ පුරුදුවෙන්න නෙවෙයිනේ .
ReplyDeleteඔව්. අපි කැමතිම අනුන් අල්ලපු මාළු කන්ඩ. මට හිතෙනවා අපි සමාජයක් විදිහට වැහෙන්ඩ වැහෙන්ඩ අපේ කම්මැලි කම ඉහල යනවා කියල.
Deleteස්තූතියි චමින්ද තුමනි ඔබතුමාගේ අදහසට.
අර නෛ් එක වළලන්ඩ ඇත්තෙ ජෝක් එකකට කියල හිතෙනව. ඒ සංකල්පය ගැන නං කට්ටෙ හරි.
ReplyDelete"නෛ්" කියන්නෙ මහ අමුතු වචනයක්නෙ. ඒක "ෆෝන්" කියලා වෙනස් විය යුතුයි.
Deleteඅම්මපා මං හිතුවා මගේ අතින් අකුරු වැරදිලා ටයිප් කරලා කියල. ඒ හිංදා මුළු ලිපියම ආපහු කියෙව්වා. ම්හ්...එහෙම වැරද්දක් පේන්ඩ නෑ...පස්සේ තව විනාඩි කීපයක් කල්පනා කරා මොකද්ද මේ කියන්නේ කියල. ඔන්න එතකොට තමයි තේරුනේ මේ කියන්නේ ඔබතුමාගේම මුල් කමෙන්ටුව ගැන නේද කියල. අපේ ගමේ කියන්නා වාගේ බලමුකෝ ඒකෙත් හැටි...!!!
Deleteහූ කිය කියා හිනා වුනෙමි
Deleteස්තූතියි ඔබේ ඉල්ලීමට. ඉඩක් ලැබුණු විට එහි ගොස් බලන්නම්. සිංහල බ්ලොග් සින්ඩිකේටර් වලට ඔබතුමා දැනටමත් ඇතුලත්වී ඇතැයි හිතනවා. ජය වේවා!!
ReplyDeletepay it forward සංකල්පය ලබන්නන්ට ඉගැන්නුවනන් හරි ලොකු.
ReplyDeleteකිඹුල් තතු ගැන තුති.
ස්තූතියි....Pay it forward හොද සංකල්පයක්...අඩුම තරමෙ පොදු ජනතාවගෙ බදු මුදල් වලින් ඉගෙන ගෙන උන්ගෙන්ම හොරා කන්නෙ නැතුව හිටියත් ඇති කියලයි මට හිතෙන්නෙ...
Deleteකට්ටන්කාඩුස් .......කොහොමෙයි ඉතින්
ReplyDeleteඔහෙ ඉන්නවා දෙවි තුමනි...( සකල සිංහල බ්ලොග් කලාවට අධිපති අටං දෙවි උතුමනි...)
Deleteකට්ට මල්ලි, ඔය නැගෙනහිර ජර්මන් වරු කුණු විසි කරපු කතාව දාර පචයක්. ඕක හදල තියෙන්නේ ඇමරිකන් බයිබල් සෙට් එකක්. මම දන්න විධිහට යෙහෝව විට්නස් කියන කට්ටිය. මම මගේ බිරිඳට කීවම එයාට හිනා ගියා. සුවර් එකට ලංකාවේ කෙනෙක් නේද ලියන්න ඇත්තේ කියල. මේ ලින්ක් එකේ අග බැලුවොත් තේරෙයි. https://steemit.com/story/@abdurahman/a-story-separated-from-the-wall-berlin-e6137bd356df7
ReplyDeleteThis comment has been removed by the author.
Deleteපළමුවෙනි කාරණේ ඔය වෝල් එක ගාවට කාටවත් යන්න බැහැ. එතනට ගිය කෙනෙකුට තේරෙයි. මම වෝල් එක පහු කරලා ඕන තරම් ගිහින් තියනවා දුම්රියේ . වෝල් එක ගාවට ගියොත් වෙඩි තියනවා. එහෙම මැරුණු හෙන තොගයක් ඉන්නවා. දෙවෙනි එක වෙස්ට් එකේ අයට පාර්සල් එවැන්න පුළුවන් ඊස්ට් එකේ නෑදෑයන්ට . තුන්වෙනි කාරණේ තමා වෙස්ට් බර්ලින් කියන්නේ නැගෙනහිර ජර්මනිය ඇතුලේ තිබ්බ නගරයක්. කුණු විසි කරන්න තැනක් නැහැ. ඉතින් ඇත්ත සිද්ධිය තමා වෙස්ට් එකේ කුණු ඊස්ට් එකට වික්ක එක. මොකද ඊස්ට් එවුන් වෙස්ට් එකට වඩා දුප්පත් නිසා සල්ලි ගන්න ඔය වගේ වැඩ කළා, ඔය කතාව වහන්න තමා ඔය බොරුව ගොතල තියෙන්නේ. මේවා බලන්නකෝ.
Deletehttps://www.the-berlin-wall.com/videos/rubbish-from-the-west-in-the-gdr-627/
https://www.newscientist.com/article/mg12517011-300-west-german-toxic-waste-may-no-longer-go-east/
https://www.nytimes.com/1972/10/29/archives/east-germany-to-handle-west-berlin-garbage.html
ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට...මං ඒකයි උඩදිම කියල තිබ්බෙ මේක යාන්ස් එකක් වෙන්ඩත් පුලුවන් බව. කොහොමත් සමාජවාදී නැගෙනහිර යුරෝපය ගැන ගෙතුනු උපහාස කතා බොහොමයි. අජිත් ධර්ම තුමනි නැගෙනහිර යුරෝපියානුන් අතරත් බටහිර ගැන උපහාස කතා තියෙන්ට ඇති. පුලුවන්ද ඒ අතීතේ හාරා අවුස්සලා බලන්ඩ....
Deleteඅනේ මන්දා ලොකු මල්ලි අයියා මහත්තයෝ මට නං සසර කරකැවිලා තීන්නෙ.
ReplyDeleteඔව්ව ගැන ඔච්චර හිතට ගන්ඩ එපා සුරංග මලයා...මේ සංසාර චක්කරේම අවුලක් තමයි. කරකැවිලා තමයි තියෙන්නේ. ඕක හරියට නොතේරෙන එක තමයි ප්‍රශ්නේ කියල අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියන්නේ...
Delete