Sunday, November 8, 2020

එක් හිස් රාවණ-හමුවිය සැදෑවක

මෙතෙක් කථාව....

කොළඹ ගමයා වියුණුව රසික අප වෙත ගෙනෙන අජිත් ධර්මකීර්ති මහතාණන් වාසය කරන්නේ පරසිදු ලන්ඩන් පුරවරයෙහිය. කට්ටකාඩුව වියුණුවට අත්‍යාවශ්‍යව තිබෙන එක්තරා පුරාණ පුස්කොලපොතක අත් පිටපතක් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇති බව දැන ගන්නා කට්ටකාඩුවේ ලොකු මල්ලී, හැකියාවක් ඇත්නම් එම අත් පිටපතෙහි පිටපතක් තමන්ට ලබා දෙන ලෙස කාරුණික ඉල්ලීමක් කරයි. එය පිලිගන්නා අජිත් සුධීමතුන් සිය පියඹගේ විරෝධයද, කොරෝනා තර්ජනයද නොතකා ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී නොසිතූ අයුරින් කෞතුකාගාරය තුල තනිවන අතර මාසයක පමණ කාලයක් කොරෝනා තර් ජනය හේතුවෙන්  කෞතුකාගාරය වසා දැමෙයි. අජිතුන් හමුවට පැමිනෙන්නේ කවුද?

වැඩි විස්තර සඳහා කොළඹ ගමයා වියුණුවට මෙතැනින් පිවිසෙන්න........බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්



ලා කහ පැහැති ආලෝකය දසතම එක ලෙස පැතිර පවතින බවත් එහි ප්‍රභවයක් නොමැති බවත් මට තේරුම් ගියේ එවිටය. එය හැබෑවටම පවතින ආලෝකයක් ද නැතහොත් මගේ සිතේ ඇඳුනු ආලෝකයක් වැනි හැගීමක්දැයි මම සිතන්නට වීමි. වසර සිය ගණනක් තිස්සේ සමහර විට දහස් ගණනක් තිස්සේ රාමායණය කියවු නොකියවූ බොහෝ දෙනාගේ සිත් පැහැර ගත් රාවණයන් මා අබිමුව සිටිද්දී මම අවට පැතිර පවතින ආලෝකයේ ප්‍රභවය සොයමින් කල් මැරීම කෙතරම් අනුවණ කමක් දැයි සිතෙත්ම රාවණ රජුගෙන් කුමක් ඇසිය යුතු දැයි සිතන්නට වීමි. සිත නිසල වන්නට වන්නට කොහෙන්දෝ නැගෙන බෙර හඬක් මා සවනත වැකෙයි.....

ඩම...ඩම...ඩම....

මට ශිව තාණ්ඩවයේ ඒ ප්‍රසිද්ධ ශ්ලෝකය මතක් වෙයි....


ජටාටවී ගලජ්ජප්‍රවාහ පාවිතස්ථලෙ

ගලෙ’වලම්බ්‍ය ලම්බීතාං භුජංග තුංග මාලිකාම්

ඩමට් ඩමට් ඩමට් ඩමන් නිනාදවඩ් ඩමර් වයං

චකාර චණ්ඩ තාණ්ඩවං තනෝතු න: ශිව: ශිවම්

.......ගලා හැලෙන නදී තෙර අසබඩ, සිය නාගයා ගෙල වට දවටාගෙන ඩම, ඩම,ඩම යන හඬින් බෙරය වයමින් රගන ශිව දෙවිදුනි සදා අපට සුවය සදනු මැන....

නටන්ඩ හිතෙනවා නේද ඒ බෙර සද්දෙට? රාවණ අසයි

හ්ම්...බෙර සද්දයක් ඇහෙන කොට නටන්ඩම තමයි හිතෙන්නෙ!

ඉතින් ඇයි නටන්නෙ නැතුව ඉන්නෙ?

මට නටන්ඩ බෑනෙ හොදට...

කවුද ඔබව විනිශ්චය කරන්නෙ...අනික මං අරුණම කවුරුවත් බලාගෙන නෑ...අනික එලියේ නටන්ඩ බෑරි අපි වගේ උදවියට නං නටන්ඩ වෙන්නෙම මේ වගේ තැනක තමා...

ඒකත් ඇත්ත...රජ කෙනෙක් පාරෙ නැටුවොත් ඒක හරි නෑ..

මම ඕන දෙයක් වෙද්දෙන් කියල නටන්ඩ පටං ගත්තා...රාවණත් මාත් එක්ක තාලෙට නටනවා... තාලෙට..? කාටද තාලයක් ඕන....තාලය ඕන වෙන අහන්ඩ දකින්ඩ කෙනෙක් ඉන්නවා නං නෙ....

ඩම...ඩම....ඩම......බෙර පදය වේගවත් වෙනවා...මගෙ දෙපාත් ඒ රිද්මෙට නැත්නම් ඊටත් වඩා වේගෙන් වැනෙන්ඩ පටං ගත්තා...රාවණත් ඊටත් වඩා වේගෙන් නටනවා...මමත් අත ඇරියෙ නෑ....අන්තිමට අපි එකිනෙකාගෙ අත් අල්ලගෙන රවුමට කැරකෙන්ඩ පටන් ගත්තා....අර කහ ආලෝකය රතු පාටටත්, ඊට පස්සේ සුදු පාටටත් හෙරෙන කල්ම අපි නැටුවා...නටල ඉවර වෙනකොට අපිට හොදටම මහන්සියි...දාඩියෙන් කමිසෙ තෙත් වෙලා... රාවණට නම් මොකද ඔහු උඩු කය නිරුවත්වනේ ඉන්නෙ....

ආහ්...කාලෙකට පස්සෙ හිතේ හැටියට නැටුවා!!

කවුද ඉතින් කෞතුකාගාරෙකට එන්නෙ නටන්ඩ...මගෙ හිතේ මේ කෞතුකාගාරෙ ඇතුලෙ කවුරු හරි කෙනෙක් ඇත්තටම නටපු පළවෙනි වතාවද කොහෙද?

ඇයි ඇත්තටම නටපු කිව්වෙ? බොරුවට නටන වෙලාවලුත් තියෙනවද? මං ඇහුවෙ පුදුමෙන්...

මොකද නැත්තෙ....පුස්ථකාල වල, මේ වගේ කෞතුකාගාර වල තියෙන්නෙම බොරුවට නටපුවගෙ සිහිවටන නේ...

ඒ කියන්නෙ?

මේ පොත්වල තියෙන විදිහට එහෙම නැත්තං මේ පොත් ලියපු කට්ටිය හිතපු විදිහට හැමදේම උනානං අද ලෝකෙ මීට වඩා කොච්චර වෙනස් තැනක්ද?

ඒකත් ඇත්ත...ඔබතුමා මොකද මේ පැත්තෙ ආවෙ?

එහෙනං කොහෙද මම ඉන්ඩ ඕන?

ලංකාවෙ සමහරු හිතන්නෙ ඔබතුමා කොහෙහරි ගල් ගුහාවක් ඇතුලෙ තාම නිදාගෙන ඉන්නවා කියල....

එහෙම හිතන අයගෙ හිත් ඇතුලෙත් එහෙම නොහිතන අයගෙ හිත් ඇතුලෙත් මම ජීවත් වෙනවා..

මට ටිකක් පැහැදිලි මදි...

කෙනෙක් මං ගැන හිතනවා නං ඒ කියන්නෙ එයාගෙ හිත ඇතුලෙ මට ඉඩක් වෙන් කරලා තියෙනවනේ...කෙනෙක් මං මේ ලෝකෙ හිටියෙ නෑ කියල තර් ක කරනවා නං ඒ කරන්නෙත් මං ගැන හිත හිතා. ඒ කියන්නෙ එහෙම අයගෙත් හිත ඇතුලෙ මම ජීවත් වෙනවා...ඔව්ව මෙව්ව කතා කර කර ඉන්ඩ ගිහිං තව ඩිංගෙන් මම ආපු වැඩෙත් අමතක වෙනවා...

හැබෑවටම ඔබතුමා ආවෙ මොකටද? මං හිතුවෙ මට උදව් වෙන්ඩ කියල...

ඔව්..ඒකට තමයි ආවෙ. දැං කියමු බලන්ඩ මොකද්ද ඔය හොයන පොත කියල....

ඔබතුමා ජීවත් වෙච්ච කාලෙන් බොහොම පස්සෙ කාලෙක හැබැයි අදට වඩා අවුරුදු පන්සීයකට හයසීයකට ඉස්සර ලියවෙච්ච පොතක් හොයාගෙනයි මම ආවෙ. ඒක දැනට ලංකාවෙ හොයා ගන්ඩ නෑ...

මොකද්ද පොත? විෂකුම්භනපැදිය, නීලගිරිසන්තය, කාලං අග්නිසන්දය, මුණමුරකෞරවය, කවිලාශඅග්නිය, කුම්භණීමුරාග්රථය, රකුන්අනාඥාවලිය, මුරාතන්ත්රය….එව්වයින් එකක්ද?

ඒ මොනවද ඒ?

ඔව්වනේ පුරාණයේ ඉදන් පැවත ඇවිල්ලා දැන් නැතිවෙලා ගිහිල්ලා කියල හිතන පොත්...

මම නං අහල වත් නෑ...එච්චරයිද අපිට නැතිවෙලා තියෙන පොත්...

අපොයි නෑ... වෙසමුණිධරණිවතය, සුබෝධිපුරාණය, ගොරාපාසලම, විසිකාග්රවරණය, තෝරතිගාතය, රක්ඛසුලාධිය, කුකුරමානපැදිය තව ඕනද?

ඔය පොත් කොයි කාලෙ ලියවෙච්ච එව්වද රජතුමනි?

කියන්නෙනං මහසෙන් රජ්ජුරුවන්ගෙ කාලෙටත් ඉස්සර ලිය වෙච්ච එව්ව කියල....

අනේ එව්ව තියා ඊට හුග කාලෙකට පස්සෙ අපේ අභයගිරියෙ හාමුදුරුවරු ලියපු උත්තර විහාර වංශයවත් දැනට හොයා ගන්ඩ නෑනෙ...

ඉතිං ඒ පොත් හොයනවද දැං ඉන්න මිනිස්සු?

සමහරු නං හොයනවා...සමහරුන්ට නං ගානක් වත් නෑ...තව සමහරු කියනවා මේ පොත් සමහර තැන්වල තාම තියෙනවා හංගලා කියල....

ඒ පොත් නැති වෙන එකමයි හොද!

ඇයි එහෙම කියන්නෙ රජතුමනි?

ඉතිහාස පොත් කියන්නෙ ජාතියක ජවය නැති කරන දෙයක්...!!!

ෂ්.....රජතුමනි ඔබතුමා මොනවද ඔය කියන්නෙ?

ඉතිහාසයේ නියම තේරුම නොදන්න මිනිස්සු ඉන්න සමාජෙකට ඉතිහාස පොත් කියන්නෙ හූනියමක් විතරයි!

ඇ...ඇයි ඔබතුමා එහෙම කියන්නෙ?

මොකටද ඉතිහාසෙ තියෙන්නෙ?

ඉතිහාසෙන් අපිට පාඩම් ඉගෙන ගන්ඩ පුලුවන්...කථාවක් තියෙනවා කිසිම දෙයක් අලුතෙන් සිද්ධවෙන්නෙ නෑ...චරිත වෙනස් උනාට ඉතිහාසයම තමයි ආපහු ආපහු සිද්ධ වෙන්නෙ කියල..,

ඒක හරි...ඉතිහාසෙම තමයි ආයෙ ආයෙ අපි ඉස්සරහට එන්නෙ...කොටිම්ම මට හිතෙනවා අපි ඉන්නෙ රේඛීය කාළයක් තියෙන විශ්වයක නෙවෙයි චක්‍රාකාර කාලයක් තියෙන තැනකය කියල!! ඒ ඇරුනම වෙන මොනවද අපිට ඉතිහාසයෙන් තියෙන ප්‍රයෝජන?

ඉතිහාසෙන් අපිට අභියෝග වලට මූන දෙන්ඩ ධෛර්යයක් දෙනව...

හරියටම හරි...ඔබ මට කියන්ඩ ඕන තැනටම ආවා...

ඒ කොහොමද?

ඉතිහාසෙන් අපි පාඩම් ඉගෙන ගනෙ නැත්තං අපිට ඉතිහාසෙන් තියෙන එකම වාසිය පොඩි ධෛර්යයක් හිතට දෙන එක!!...ඒකටත් හෙනහුරා ලබන්නෙ ඉතිහාස පොත් කාරයො හින්ද?

මටනං තේරෙන්නෙම නෑ රජතුමනි...!

නිකමට හිතල බලන්ඩ අන්දරේ ගැන...මහදැනමුත්තා, දස්කොන්, විජය කුමාරයා, කුවේණි, කොටිම්ම මේ මං ගැනම?

මොකද්ද ඔය ඔක්කොමලගෙ තියෙන සමානකම...? වැඩිපුර නටපු හින්දද මංදා මගෙ ඔලුවත් එක්ක කුරුවල් වෙලා වගේ.....

ඒ ඔක්කොමලා ඉතිහාසෙන් පිට ජීවත් වෙන චරිත...ඔය කිසිම කෙනෙක් කරපු කියපු දේවල් කවුරුවත් හරියටම ලියල තියල නෑ...

අපරාදෙ!!!

මොන අපරාදෙද? ඒ මිනිස්සු  මිනිස්සුන්ගෙ හිතේ ජීවත් වෙන්නෙම එහෙම නොලියපු හිංදා?

පිස්සුද රජතුමනි එහෙම වෙන්නෙ කොහොමද?

දැං කවුරුහරි ඒ මිනිස්සු ගැන හරියටම ලිව්ව කියමුකෝ...ඔන්න දැං ඇට සැකිල්ල තියෙනවා. තවත් කෙනෙකුට උපරිමව කරන්ඩ පුලුවන් ඒ ඇටසැකිල්ලට හරියන විදිහට පොඩ්ඩක් මස් එක්කහු කරන්ඩ....වදුරෙක්ගෙ ඇටසැකිල්ලකින් උපරිමව චිම්පන්සියෙක් හදයි...හැබැයි ඩයිනෝසර් කෙනෙක්, මකරෙක් හදන්ඩ බෑ  එතකොට ඒ චරිතේ මිනිස්සුන්ට කුතුහලයක් ගෙනෙන්නේ නෑ...

ම්....ම්......ඔලුව කැරකෙනවා වගේ...

නිකමට හිතන්ඩකො ඔය මහදැනමුත්තා කරා කියන දේවල් පරපරාවෙන් පරම්පරාවට රහ කර කර කියන්නෙ ඇයි? දැං කාලෙ කොල්ලො ඇම්ඩන් ගැන කොච්චර කතා හදනවද? ඉන්දියාවෙ සැන්ටා සිං එක්ක බැන්ටා සිං, ලංකාවෙ උඩුරාවණ ගැන කවුරු හරි ඉතිහාස කාරයෙක් පොතක් ලිව්ව නං එහෙම කෙනෙක් කවදාවත් හිටියෙ නෑ....ඕක බොරුවක් කියල...

දැං ඕක මේ ලංකාවෙ ඉන්දියාවෙ විතරද වෙන්නෙ?

අපොයි නෑ...නස්රුදීන් හිටියෙ එහෙ නෙවෙයි. ඉන්දියාවෙ, ග්‍රීසියෙ, රෝමයෙ දේව කථා ඔක්කොම මිනිස්සුන්ගෙ හිත් වල ඉපදිච්ච සීමාවක් නැති කුතුහලයෙන් පන ලැබිච්ච එව්ව...හා නැද්ද?

වෙන්ඩ පුලුවං!...වෙන්ඩ පුලුවං!!..කවුද බෑ කිව්වෙ?

අන්න ඒකයි මං කියන්නෙ ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගන්නෙ නැති ජාතියකට ඉතිහාස පොත් ලියනවා කියන්නෙ, ඉතිහාසෙ කියල දෙනවා කියන්නෙම උංගෙ ඉතුරු වෙලා තියෙන ජොහොර් එකත් නැති කරන මගුලක් කියල!!

එතකොට ඔබතුමා කියන්නෙ ඉතිහාසෙ හරියටම හොයා ගන්ඩ හොයා ගන්ඩ මිනිස්සුන්ට ඒ ගැන රස කර කර කථා ලියන්ඩ තියෙන ඉඩ අඩු වෙනව කියල.

දැං බලන්ඩ මීට අවුරුදු විස්සකට තිහකට උඩදි හිටපු මිනිස්සු හිතුවෙ මේ මම රාවණ ගැනයි මගේ දඬුමොණර යානය ගැනයි විභීෂණ ගැනයි විතරයි...ඒත් දැං මිනිස්සු මගෙ දෙමාපියෝ, සහෝදර සහෝදරියෝ, බිරිද, යාලු මිත්‍රයෝ...මේ ඔක්කොම ගැන ලියනවා....තව ටික කාලෙකින් ගෙදර හිටපු බල්ලා ගැනත් ලියයිද දන්නෙ නෑ...ඕක ඉතිහාසයේ හැමෝටම වෙච්ච දෙයක්

ඇත්තනේ...අපි සිංහබාහුගෙ තාත්තා සිංහයෙක් කියල නාට්‍ය පවා හදල තියෙනවා නේන්නං... !!!

බලන්ඩ කොච්චර ලස්සනද....ගල් ලෙන බිඳලා.....ලෙන් දොර ඇරලා.... සිංහබා..සිංහබා.... රාවණ රජු සිංහයා අනුකරණය කරමින් වටයක් නැටුවේය....ඔහ්..එතකොටයි මටත් මතක් උනේ....මං දැං යන්ඩ ඕන...මන්දො බලාගෙන ඇති...

කවුද මන්දො කිව්වෙ?

මන්දෝදරී..මන්දෝදරී උන්දැටත් මාත් එක්කම ඉදල එපා වෙලත් ඇති....මම නං මේ වගේ පොඩි පොඩි ආතල් එකක් හරි ගන්නවා.....ආතල් එකක්..... එහෙම නේද දැං ලංකාවෙ මිනිස්සු කියන්නෙ?

ඔ..ඔව්..ඔව්...

සුප්පාදේවි සිංහයා එනකල් බලං හිටිය වගේම මන්දෝදරිත් මං එනකල් බලං ඉන්නවා...ඔයා එනකල් නෝනා බලං ඇති..! මේ ගොඩනැගිලි වල ගිනි ආරක්ෂණ පද්ධති ඇතිනෙ...පොඩි ගින්නක් පත්තු කරානම් ගිනි නිවන හමුදාව එයි...ඒ අය එනකල් ඉදලා හිමීට මාරු වෙලා යන්ඩ...

එතකොට ඔබතුමා ආවෙ ඒ පණිවිඩේ දෙන්නද?

මං ආවෙ ඔබව බේර ගන්න....පේනවනේ මම මෝඩයා වගේ ආපහු එන්ඩ හිතාගෙන ටිකකට සීන් එකෙන් එලියට ගියාම වටේ පිටේ ඉන්න මිනිස්සු කරන දේවල්...දැං ඇත්තටම මං ආවත් කවුරුවත් මාව අඳුනගන්නෙ නෑ...මොකද මිනිස්සු දන්නෙ ඇත්ත රාවණ නෙවෙයි...මිරැන්ඩොගෙ රාවණ!!!

ඒකත් ඇත්ත...

අවුරුදු දාස් ගානක් නෙවෙයි  එක මාසයක් නැතුව හිටියොත් මිනිස්සු කතා හදයි....

කට කතා වලට ඔබතුමා බයද?

යකෝ... මට මාව නැතිකරේ ඔය කතා!!...උඹත් මාසයක් ම මෙහෙ ඉදල ගෙදර ගිහිං බලහං...ඔන්න මම යනවා......

ඩම.ඩම..ඩම...ඩම.ඩම...ඩම......

රජතුමනි....රජතුමනි....!!

මොන!...රාවණ අතුරුදන් වෙලත් ඉවරයි! අර කහ ආලෝකයත් ඒ එක්කම නැති වෙලා...බෙර සද්දෙත් නෑ...මම විතරයි කට්ට කරුවලේ....

රාවණ අතුරුදන් උනාද නැත්තං අතුරුදන් කලාද? අතුරුදන් කලානම් ඒ කියන්නෙ රාවණටවත් රාවණ නැති වෙන තැනට වැඩ කලේ කවුද? ඒ ගැන හොයන්ඩත් පුලුවන්..හැබැයි රාවණ කිව්ව වගේ ඉකමනට ගෙදර යන එකත් හොද දෙයක්!! නැත්තං ඊගාවට අතුරුදන් වෙන්නෙ මාව!!!

 පසුවදන:

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පෙරදිග අංශයේ ගින්නක් ඇතිවී තිබේ. වඩාත්ම පුදුමය නම් ගින්න නිවීමට ගිය ගිනි නිවන හමුදාවට කංසා සහිත ගමන් මල්ලක් හමුවීමය. එහි කෙසෙල් ලෙල්ලක් හා වතුර බෝතලයක් තිබුණි.

සේයාරුව උපුටා ගත්තේ පහත වෙබ් ලිපිනයෙනි....

https://sites.google.com/site/rawanamaharaju/

අජිත්තුමා පටන්ගත්තු බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙදි රාවණ රජ්ජුරුවො හම්බවෙච්ච කතාව, විවිධ සිංහල වියුණු රචකයන් විසින් විවිධාකාරයෙන් ඉදිරියට ගෙනියනවා. පහත සබැඳිය ඩ්‍රැකීගේ අඩවිය වියුණුවට

 https://drackey.blogspot.com/2020/11/blog-post_11.html


 

 

 

 

 

 

 

 

 

 

45 comments:

  1. **** කතාව නියමෙට යනවා

    ReplyDelete
    Replies
    1. දැං ඔබතුමාගෙ කොටස එනකල් මග බලාගෙන ඉන්නෙ...

      Delete
  2. බැරි වෙලාවත් රාවණා රජ්ජුරුවන්ට PCR ටෙස්ට් එකක් එහෙම කරන්න උනොත් ඒක එක ටෙස්ට් එකක් හැටියටද එහෙම නැතිනම් ටෙස්ට් දහයක් හැටියටද ගණන් ගැනෙන්නේ?? දවස අවසානයේ ඉන්වෙන්ටරි ක්ලෝස් කරන කොට, එක නමකට ටෙස්ට් කිට් දහයක් ලියලා බැලන්ස් කරන්නේ කොහොමද??

    ReplyDelete
    Replies
    1. මට ඒ ප්‍රශ්නෙට උත්තර නැති හිංද කයිලාස විජම්බුර ඉර්සින්නාන්සෙගෙන් ඇහුවා....මෙන්න එතුම දුන්න උත්තරේ...ශ්‍රී රාවණයන්ගේ පපුතුරෙහි ඉළය පැත්තට වන්නට ඇදි නිල්වන් ඉරක් ඇත. කොරෝනා ආසාදනයක් සිදුවුවහොත් එම ඉර රෝස රතු පැහැයට හැරේ.....එනිසා රාවණ රාජෝත්තමයානන්ට PCR පරීක්ෂණ අවශ්‍ය නොවේ...

      Delete
    2. හා හා ඒක හිතුනේ නැහැනේ. මරු

      Delete
    3. හිතන්ඩ...හිතන්ඩ..හිතන තරමට මරු...ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
  3. මේ තියෙන්නේ මරු එකක්. රාවණා උනත් ගෙදර උන්දැ කියන දේ අහනවා. මම හිතන්නේ මිනිස්සු ඉතිහාසෙන් ඉගෙන ගෙන අද වෙනකම් කරන එකම දේ ඒක විතරයි. අජිත් උනත් නෝනාට සද්දේ දාල ආවට මොකද ආපු වෙලාවේ ඉඳල යන්නනේ බලන්නේ ... මදැයි වෙච්ච දේ

    ReplyDelete
    Replies
    1. ගේ බලාගෙන ඉන්න අය එක්ක වැඩි සද්දේ ගෙන යන්න හොන්ඩ අනහනේ පැතුම්

      Delete
    2. අපි කථා ලිව්වට අන්තිමට එයාගෙ කථා අහන්ඩ ඕන නේ...ඒක තමයි ලෝකෙ පුරා කාළයෙන් කාළයට පරම සත්‍යය!!! ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
  4. පට්ට කතාව. අර පට්ටේ පට්ට කියන්නේ. අර රාවණා ගේ අත් අල්ලන් නටපු එක තමයි වැඩිය ඇල්ලුවේ නැත්තේ. රාවනා කාරයෝ කාඩ් එකක් ගහයිද දන්නේ නැහැ. අන්තිමට මම රාවනා අල්ල ගන්න හාන්වයි කියලවත්.
    ශික් අර කංසා මල්ල ගැන කට්ටේ කොහොමද දැන ගත්තේ < රාවනා ඔහොම කෙනෙක් හිතුවේ නැහැ. බ්රුටස් නෙමේ මාක් ඇන්තනි වගේ පිහියෙන් අනලානේ පිටි පස්සට

    ReplyDelete
    Replies
    1. කයිලාස විජම්බුර ඉර්සින්නාන්සෙනං කිව්වෙ එතුමා කැමතිම කෑල්ල අත් අල්ලං නටපු එක කියල...ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
    2. ඇත්තට , මම එහම එකක් දැනන් හිටියේ නැහැ. නොදන්න දේවල් ඉතින් කොපමණ තියනවද ? මන්දෝදරී එකක් විතර නෙමේද අත් අල්ලන් නටල තියෙන්න. එක අතකට අත් දහයක් ඕනෙනේ. එනිසා පස් දෙනෙක් එක්ක එකපාර නටන්න පුළුවන්.මගේ කැත හිතද ද මන්ද. මට ඒ දවස් වල හිතුන. ඔලු දහය , අත් දහය තිබ්බනම් පල්ලහ එකත් දහයක් තිබ්බ ද කියල. එහෙම වුනොත් මන්දෝදරී එක්ක තව කිහිප දෙනෙක්ම එක පාර අල්ල ගන්න තිබුනනේ කියල. he he

      Delete
  5. රාවණා ඉතිහාසය නම් මෙහෙ ෆුලි එස්ටැබ්ලිශ්ඩ් දැන්.
    විජයබාහු පරාක්‍රමබාහු ගැන මෙලෝ දෙයක් නොදන්න අයත් රාවණාගෙ ස්පේස් ශට්ල් එකේ පයිලට්ගෙ බාප්පගෙ රසදිය සබ්මැරීන් එක ටින්කර් කරපු බාස්ගෙ පුන්චි අම්මගෙ නමත් දන්නවා.
    රාවණා "ඉතිහාසය" කිව්වට ඒක දිනපතා අප්ඩේට්වෙලා පැටව් ගහන එකක්, විශේෂයෙන් fb එකේ.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා ඉතිහාසෙන් පිට ඉන්න චරිතවල කතාව...විජයබාහු ලා පරාක්‍රමබාහු ලා ඉතිහාසෙ ඇතුලෙ ඉන්න මිනිස්සු....අපි කැමති අද්භූත දේවල් වලට...ඇත්තට නෙවෙයි...කොහොම උනත් ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
  6. මිනිස්සු වැඩියෙන් කැමැති බොරුවටද
    චණ්ඩි හැමෝමත් අඹුවට බයයිද
    ඉතිහාසෙන් වැඩ ගන්නේ කවුරුද
    උත්තර දෙන්නකො රාවණ සුරින්ද

    ReplyDelete
    Replies
    1. චන්ඩි ගැනනං මං දන්නෙ නෑ...මං නං බ...ය...න්..නෑ...ග්..ගව් රවේ.ගෞරවේ...(ලොකත් බැංද නං බලාගන්ඩ තිබ්බ...බය වෙනවද බලන්ඩත් එක්ක බදිමුද?)

      Delete
    2. මාත් හරි ආසයි අද්බූත කතාවලට. මාවල්, ඩීසී කොමික්ස් , වෙන ග්‍රැෆික් නවල්ස් තාම කියවනවා. ඒත් ඒවගේ දේවල් ඉතිහාසය කියල කියන අයනෙ රාවණාවාදීන්

      Delete
    3. ලොකු වෙනසක් නෑ ප්‍රා ජේ...ඇකිලීස්, තොර්, ටයිටන්ස්...ග්‍ර්‍රීක රාවණාවරුම නේද? එක අතකින් බැලුවොත් ක්‍රිප්ටන් ඉතිහාසය තමයි ක්ලාක් කෙන්ට් කියන්නෙ...හා නැද්ද?

      Delete
    4. ඇකිලීස්, යුලිසීස් කොහොමවෙතත් ට්‍රෝයි යුද්ධය සමහරවිට ප්‍රාග් අයිතිහාසික යුද්ධයක් මත ලියවුනු ප්‍රබන්ධයක් වෙන්න පුලුවන්. ඒකියන්නෙ සමහර විට අයිතිහාසික නවකතාවක චරිතවගේ . "සමහරවිට".
      කොහොමත් ලිඛිත ඉතිහාසයට ඉස්සර. එතකොට ඇට් බෙස්ට් ප්‍රාග් අයිතිහාසික. අයිතිහාසික කියල තහවුරු කරගන්න ලිඛිත සහ / හෝ පුරාවිද්‍යාත්මක සාධකවලින් තහවුරු කරගන්න ඕනෙ. ඉලියඩ් , ඔඩිසි, රාමායණය, මහා භාරතය ඉතිහාස පොත් හෝ වාර්තා නෙමෙයි. සමහරවිට ලියවුන ඉතිහාසයට ඉස්සර වුන මොකක් හරි සිද්ධියක් හො සිද්ධි සමූහයක් එක් කර ලියපු ප්‍රබන්ධ

      රාවණාවාදීන්ට අනුව රාවණා ඩී එස් සේනානායක කියල කෙනෙක් හිටියටත් වඩා තහවුරු වුන සාධක සහිත චරිතයක් වගේ. :-D

      Delete
    5. හරියටම කියනවානං රාවණාවාදීන් පොඩි මූලධර්මවාදී නිකායක්...ඔවුන් පිළිගන්නේ ඔවුන්ගේ මතය පමණයි... අවාසනාවට ඒ මතයත් කිසිම පදනමක් නැති එකක්!!!

      Delete
    6. දෙයියෝ සාකි මාවල්, ඩීසී කතා ඇත්ත ඒවා නෙම්යිද?
      ප්‍රා ට හිතිලා නැත්ද මේ රාමා රාවනා කතාව හා ඉලියඩ් කතාව පැරිස් කුමරිය උස්සන එක සමාන කතා කියල. වඳුරු බලකාය විතරයි නැත්තේ.
      දෙකම එකම රටක වෙන්නත් පුළුවන්.

      Delete
    7. @අජිත්,
      ඉන්දු යුරෝපීය (ආර්යන්) භාෂාවල මිත්‍යා කතා හා දේව මණ්ඩල හුඟක් සමානයි. සියුස් = ඉන්ද්‍රා, හේඩීස් = යම, පොසයිඩ්න් = වරුණ, හෙෆයිස්ටස් = විශ්ම කර්ම , සුර = දෙවියන්, අසුර = ටයිටන්

      රිසර්ච් පේපර් තියනවා විජය කතාව හා ඔඩිසි එක අතර සමානකම්, ජාතක කතා සහ ග්‍රීක් කතා අතර සමානකම් ගැන

      Delete
    8. ප්‍රා, අජිත්,

      විජය ගේ කතාවට සැහෙන්න සමානයි ජේසන් සහ මීඩියා. එතනත් තාත්තව මරලා රන් බැටළු ලොම් ගන්න මීඩියා උදව් කරනව. ඊට පස්සෙ කසාදත් බැඳලා දරුවොත් ලැබුණට පස්සෙ ජේසන් මීඩියා අත් අරිනව. ඊට පස්සෙ මීඩියා ජේසන් ට සාප කරනව. ලා සේම්...!

      Delete
    9. ඒකත් ඇත්ත. සමහර විට ත්‍රප්රෝබෙන් වලට ආපු ග්‍රීක් වෙළෙන්දෝ අපේ කතව අහගෙන යන්න ඇති. අන්න වැඩේ පට්‍රන් ගමුද ඉලියඩ් කතාවත් අපේ තමයි ඒක මෙහ වුනේ කියන්න. අස්සයෝ තමයි හොයා ගන්න ඕනේ.

      Delete
    10. ලංකාපුරය සම්බන්ධ ඉලියඩ් කතාවෙ අස්සයො වෙනුවට වඳුරො ඉන්නෙ... හැක්!

      මට පේන්නෙ ඔය හැම එකකම මුල් තියෙන්නෙ බැබිලෝනියාවෙ කියල. මහා ජලගැල්ම පවා තියෙනවනෙ. කතෝලිකයන්ට නෝවා, හිංදුන්ට මනු.

      Delete
    11. ග්‍රීක් හා හින්දු දේව මණ්ඩල කතා තැප්‍රොබේනයට ග්‍රීක් වෙලෙන්දො එන්න හුගක් ඉස්සර ඇතිවුන ඒවා

      මතයක් තියනවා ආර්යන් කියන්නේ ඇත්තෙන්ම ජානමය පැතිරීමකට වඩා සංස්කෘතික හා භාෂාමය පැතිරීමක් කියලා. භාෂා, දේව මණ්ඩල, මිත්‍යා කතා වගේ දේවල් සමානවුනේ ඒ නිසා

      Delete
    12. @ ප්‍රා ජේ- බැබිලෝනියානු සම්භවයක් නං මේ කතාවලට තියෙන්නෙ ආර්ය සංස්කෘතිය වෙන්න බෑ නේද? යුදෙව්ව්වවන් අතරත් මෙවැනි කතා තියෙන හිංද ආර්යයන් බිහිවීමටත් පෙර මේ කතාවල මුල් බීජ හැදෙන්ඩ ඇති කියලයි මට හිතෙන්නෙ...

      Delete
    13. ප්‍රා එහෙම කියන්න බැහැ. ග්‍රීසිය බ්‍රොන්ස් යුගයේ සිට වෙළඳම් කරනවා. ක්‍රිස්තු පුරවා 750 කාලෙදිත් ආසියාවේ ඇවිත් ටිඑබ්නවා වෙළඳාමට. ඉලියඩ් පොත ලියල තියෙන්නේ ක්‍රිස්තු පුරවා 700-750 විතර කියල කියන්නේ. ඊට මෙහාවෙන්නත් පුළුවන්. ලංකාවේ දන්න ඉතිහාසය පණ්ඩුකාභය ගාවට ගියාට ඊට කලින් අනිවාර්යයෙන් තිබිල තියෙනවා ජනාවාස
      https://www.ancient.eu/article/115/trade-in-ancient-greece/

      Delete
    14. @ අජිත්- හැබැයි මේ කතා අඩුම තරමෙ අවුරුදු 2-3000 ක්‍රි පූර්ව යුගයට යන තරම් පරණයි නේද? ග්‍රීක සභ්‍යත්වයටත් වඩා මේ කතා පරණයි මං දන්න තරමට....මුලින්ම මානවයා අප්‍රිකාවෙන් එලියට එනකොට පොඩි ජනගහනයක් ඉන්දැද්දි ලොකු ගංවතුරක් ආවනං ඉන් බේරුනේ කීප දෙනෙක්නම් ඔවුන් ලෝකෙ පුරා යද්දි කතාව පැතිරුනා වෙන්ඩ ඇති....

      Delete
    15. ඉලියඩ් ලියල තියෙන්නේ ක්‍රි පූ 750 විතර කියල තමා වෙබ් එකේ සර්ච් කලහම එන්නේ. අනිත් කතා මොනවාද?
      https://en.wikipedia.org/wiki/Iliad
      වයිකින්ග් ලගේ කතා බලල තියනවද? මේ වගේම කතා තියනවා. සහෝදරයා කුමරිය උස්සපුව වගේ ඒවා

      Delete
    16. මං කිව්වෙ මහා ජල ගැල්ම වගේ කතා...දේව සංකල්පය ක්‍රමිකව දියුණු වෙනවත් එක්ක කතා ටිකත් වෙනස් උනා ඒ ඒ සංස්කෘතියට ගැලපෙන විදිහට...සුමේරියානුවන් අතරත් මෙවැනි කතා තිබිල තියනව නේද? වයිකිං කතා කොයි කාලෙටද අයිති? ඔවුන් හොද දේශ ගවේෂකයො බව ඇරුනම මම ඔවුන් ගැන කියවලා නෑ...

      Delete
    17. ආර්ය සම්භවය මයෙ හිතේ ඉන්දු ඉරානීය සභ්‍යත්වය විදිහට තනිකර තිබුණු කාලෙ සම්භව වෙලා, දෙපැත්තට ගිහිං ඉන්දියාවෙ සහ බැබිලෝනියාවෙ පැතිරුණා වෙන්න පුළුවන්. අර බාබෙල් කොත ගැන කියවෙන්නෙත් ඔය කාලෙ වෙන්න පුළුවං.

      Delete
    18. However, since the late 20th century, a growing number of scholars have rejected both the Aryan invasion hypothesis and the use of the term Aryan as a racial designation, suggesting that the Sanskrit term arya (“noble” or “distinguished”), the linguistic root of the word, was actually a social rather than an ethnic epithet. Rather, the term is used strictly in a linguistic sense, in recognition of the influence that the language of the ancient northern migrants had on the development of the Indo-European languages of South Asia. In the 19th century “Aryan” was used as a synonym for “Indo-European” and also, more restrictively, to refer to the Indo-Iranian languages. It is now used in linguistics only in the sense of the term Indo-Aryan languages, a branch of the larger Indo-European language family.
      https://www.britannica.com/topic/Aryan

      Delete
  7. Replies
    1. මොකද්ද? මොකද්ද ??? කෝ මට පේන්නෙ නෑනෙ?

      Delete
  8. අපේ කට්ටිට ඩයිනෝසරල හැදුවෙ මදුරුවෙක්ගෙ බඩේ තිබ්බ ලේ බින්දුවක් අරගෙනනෙ. අයියෝ රාවයට එච්චර දෙයක්වත් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ රාවණා පාක්, රාවණා පාක් -2, රාවණා වර්ල්ඩ් වගේ සීරීස් එකක් හදන්ඩ පුලුවන්!! කතාවක් තියෙනවා ස්පීල්බර්ග් කියන්නෙත් ඉස්පිල්ලෙ බණ්ඩාර කියල රාවණ රජ්ජුුරුවන්නේ ලේකම් කෙනෙක්ගෙ පරපුරකින් පැවත එන කෙනෙක් කියල...රාවණා රජ්ජුරුවන්ගෙ ලියුම් වල ඉස්පිලි දැම්මෙ එයාලු!!

      Delete
    2. ඉස්පිල්ලෙ බණ්ඩාර... ඩෙඩ්!

      Delete
  9. පට්ට ඈ... අද රෑ මාත් එකක් ලියනව.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔබතුමාගෙ ලිපියට ලිංක් එකක් දැම්ම...අගේ ඇති කථාව!!

      Delete
  10. රාවනගෙන් අහන්ඩ තිබුන හොඳ ප්‍රශ්නයක් තමයි දඩු මොනරය අහසේ ගියේ එයාගේ ඍද්ධි බලයෙන්ද නැත්නම් වෙන මොකකින් හරිද කියල.

    ReplyDelete
    Replies
    1. මේ වගේ වැස්ස තියෙන හවස් වරුවක ඇල්කොහොල් වලින් තමයි හුගක් උඩ යන එන්ජින් දුවන්නෙ...දවල්ට නං රසදිය නෙවෙයි අමෘතෙ දැම්මත් බිමින් තමයි යන්නෙ...

      Delete
  11. මොකද නැත්තෙ....පුස්ථකාල වල, මේ වගේ කෞතුකාගාර වල තියෙන්නෙම බොරුවට නටපුවගෙ සිහිවටන නේ...

    ++++++++++++++

    ReplyDelete
  12. දෙවෙනි පාර කොටන්නේ. මොන මගුලක් වෙලාද මන්දා. ඉතිහාසයක් නැති රටවල් ඉතිහාසයක් තියෙන රටවල් විනාශ කරනවා. ඇමරිකාව උදාහරණය. අපේ රාවණා අපිට හොඳා. අජිත් ධර්මයත් රාවණා වගේ පිටිං නේ ගෙනාවේ.

    ශ්‍රී රාවණා සිද්ධම් !!!!

    ReplyDelete
    Replies
    1. පිටිං ආව කියල වරදක් වුනාද? උඹල 1505 ඉඳන් නෙමේ කපු කටින කාලේ ඉඳන්ම පිටින්නේ ගෙන්න ගන්නේ :)

      Delete