නිධන් හාරනවා කියපුවම හැමෝම හිතන්නේ නීති විරෝධී වැඩක් කරන්ඩ යනවා කියලයි. සමහරවිට අද්භූත දේවල් වලට අපි කොහොමත් ආස කරන හින්දා හැංගිලා තියෙන සම්පත් මතු කර ගන්ඩත් ඒ ගැන කතා හදන්ඩත් අපේ හිත් අතුලේ කැමැත්තක් ඇති. මට නං ඔය නිධං හෑරිල්ල ගැන පෞද්ගලිකව කිසිම අත්දැකීමක් නෑ. හැබැයි මම පොඩි කාලෙ අහපු දැකපු දේවලුයි තරුණ කාලෙ අහපු දේවල් කීපෙකුයි එක්ක තමයි මේ කතාව කියන්නෙ. හැබැයි මම ඉස්සෙල්ලත් කිව්ව වගේ නිධං ගැන මගේ කිසිම ඇහින් දුටු සාක්ශියක් නෑ.
කවුරු හරි කෙනෙක් හිතා මතා වටිනා වස්තුවක් හංගලා යන්නේ ආපහු ඇවිත් තමන්ට හරි තමන්ගේ නෑදෑ යාලු මිත්‍රයෙකුට හරි ගන්ඩ පුලුවන් වෙන තැනක. ආපහු ඇවිල්ලත් දස වද විදලා ගන්ඩ නං මිනිස්සු වටිනා වස්තුව තැන්පත් කරන එකක් නෑ මට හිතෙන විදිහට. ඇයි යකෝ අපි හම්බු කරපු අපේ සල්ලි ආපහු අපිම ගන්න කොටත් බිලි පූජා දීලා, මන්තර මතුරලා ගන්ඩ වෙනවා නං මොන කරුමයද්ද?
එක අතකින් මට එහෙම
හිතුනට ලංකාවෙ මිනිස්සු හිතන්නෙ එහෙමමත් නෙවෙයි. ඔන්න මං උදාහරණයක් කියන්නං. වැඩිය
පහසුකං නැති ඈත අතීතේ වගේ නෙවෙයි මේ දියුණු අද කාලේ පවා අපේ මිනිස්සු ඔය ආණ්ඩුවේ
බැංකුවල සල්ලි තැන්පත් කරන්නේ! මගෙ අම්මේ ඒ බැංකුවකට ගියාම තියෙන රැස්පට්! මේ ලගදි
දවසක් මගේ පරණ පවක් පටිසන් දීලා මටත් යන්ඩ උනා අර අකුරු තුනක් තියෙන බැංකුවට.
ඉස්සර සල්ලි කැටයක් සළකුණ විදිහට තියාගෙන සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරන්ඩ
අපිට කියල දුන්නෙ..ආං ඒක. හරියටෝම පැයකුත් විනාඩි විස්සක් තැප්පා මහ දිග පෝලිමක.
අනික් බැංකු එකකවත් එච්චර පෝලිමක් නෑ. මං ඉතින් පෝලිමේ ඉන්න ගමන් කරන්ඩ දේකුත් නැති
එකේ ලගපාත හිටපු අයත් එක්ක කතාවට වැටුනා.
එහෙම කතා කර කර ඉන්නකොට
තමයි දැන ගත්තේ රටට සේවයක් කරල දැං විශ්‍රාම අරං ඉන්න වයසක අම්මලා තාත්තලාට ඒ
බැංකුවෙන් ඩෙබිට් කාඩ් එකක් දෙන්නේ නෑ කියල. මං දන්නෙ නෑ අනික් බැංකුවල තත්වය.
අනිත් බැංකුත් එහෙම නං උන්ටත් එක්කම තමයි මේ කියන්නෙ...බොලාට මක් වෙනවද අර වයසක
අම්මලා තාත්තලා තමන්ගේ විශ්‍රාම වැටුප ගන්ඩ පෝලිම් වල රස්තියාදු කරන්නෙ නැතුව
ඩෙබිට් කාඩ් එකක් දුන්නනං?
මං එක අම්මෙක්ගෙන් ඇහුවා
ඇයි එහෙම නොදෙන්නෙ, අම්මා අකමැතිද ඩෙබිට් කාඩ් එකක් ගන්ඩ කියල. ඒ අම්මා කිව්වෙ අපි
හරිම කැමතියි...සිහි මොලේ තියෙන මොකාද මේ පෝලිම් වල මද්දහනේ තපින්ඩ කැමති කියල. ඒ
අම්මා මට කියපු විදිහට නං ඩෙබිට් කාඩ් නොදෙන්නේ විශ්‍රාමිකයන් ජීවතුන් අතර ඉන්නා
බව සැක හැර දැන ගන්ඩලු!
විශ්‍රාමිකයො ජීවතුන් අතර
ඉන්නවද කියල දැන ගන්ඩ තමයි අවුරුද්දකටා පාරක් පෝරමයක් පුරවලා යවන්ඩ තියෙන්නෙ ආණ්ඩුවට.
බැංකුවේ වැඩේ රජයෙන් ගෙවන විශ්‍රාම වැටුප අදාල පුද්ගලයාට අපහසුවකින් තොරව ලබා දීම.
නැතුව අර විශ්‍රාමිකයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියල හොයන එක නෙවෙයි. ඒකට ඉස්පිරිතාල
තියෙනවා.
අපේ අම්මා ජීවතුන් අතර
ඉන්න කාලේ අම්මගෙ විශ්‍රාම වැටුප ගියේ පෞද්ගලික බැංකුවකට. අනේ ඒ බැංකුවේ නං අම්මට
ඩෙබිට් කාඩ් එකක් දීලා තිබුනා. එදා තිබ්බ පහසුකම් අද නැති වෙන්ඩ සාධාරණ හේතුවක්
නෑ. මං නං හිතන්නේ මේක අර සතෙන් සතේ ඉතුරුකිරීම ගැන කියල දෙන බැංකුවේ
උප්පරවැට්ටියක්...මිනිස්සු සල්ලි ගන්න එක අඩු කරන්ඩ! මම නං එහෙම වෙලාවක කරන්නෙ
එකපාර ඔක්කොම අරං සල්ලි ගන්ඩ පහසු වෙන බැංකුවක දාන එක. හැබැයි අර අම්මා එහෙම
හිතන්නේ නෑ...ඒකයි මම කිව්වේ ලංකාවෙ මිනිස්සු හිතන විදිහ මට ටිකක් අපැහැදිලියි
කියල. තව පාරක් අර වගේ පෝලිමක ඉන්ඩ මේ සම්මජ්ජාතියේ ආයෙ නං ආය බෑ කියල හිතපු මම
තිබ්බ සල්ලි ටික ඔක්කොම අරං ආවා.
ඒ එනකොට තමයි මතක් උනේ නිධන්
හෑරිල්ල ගැන අවුරුදු කීපෙකට එහා වෙච්ච සිද්දියක්. ඔය කාලේ මම ඈත පිටිසර ගම් දනවුවල
ඇවිද ඇවිද පාරම්පරික වී සහ අනෙකුත් භෝග ජාති හොය හොයා හිටපු කාලයක්. මේ සිද්දිය උනේ
මොණරාගලදි. හරියටම කියනවානං ඇතිමලේ- කොටියාගල පැත්තෙදි. ඒ කාලේ ඒ පැත්ත හරි භයානකයි.
ත්‍රස්තවාදී ප්‍රශ්නෙ ඔඩු දුවලා තිබ්බ කාලයක්. කොටියාගලට කීප පාරක්ම කොටි ගහලා මිනිස්සු
මරලා තිබ්බා. ජීවිතයත් මරණයත් පෙනි පෙනී අර වගේ ගමන් ගියේ ඒ කාලේ තිබ්බ උණ හින්දම තමයි.
ඒ කොහොම උනත් ඔය ගමන් වලදි පැය තුන හතර පයින්ම ඇවිදගෙන ඈත හේන් වලට යන්ඩ උනා. කොටි
තර් ජනේ විතරක් නෙවෙයි, සතා සරුපයාගේ අවදානමත්, ඒ ඔක්කොටම වඩා බදින තුවක්කුවල අවදානමත්
දරාගෙන බිත්තර වී මිටක්, බේත් මුං අහුරක් හොයාගෙන ඇවිද්දේ මොකටද කියල දැං හිතුනට ඒ
ජීවිතේ පොඩි ජොලියකුත් තිබ්බා. ඔය වගේ ගමනක් අතරතුර අපිට හම්බ වෙච්ච ගමන් සගයෙක් තමයි
සුදත්. සුදත් ගැන වෙනම කතා ගණනාවක් ලියන්ඩ පුලුවන්. ඒ විදිහට අනං මනං කතා කිය කිය යද්දි
මම නිකමට ඇහුවා නිධන් ගැන.
සුදත් ට නිධන් හම්බ වෙලා
නැද්ද?
අපෝ මහත්තයා ඔය ගැන නම්
කතා කරන්ඩ එපා...
ඒ මොකද? ඇයි නිධන් හාරලා
පොලිසියටවත් අහු උනාද?
මම මේ මොණරාගල කැලෑ ඇතුලේ
සිද්ද වෙන ඕන වැඩක් කරලා තියෙනවා. ඒත් නිධන් හෑරිල්ල නං කරලා නෑ!
ඇයි ඒ? නිධන් හම්බ උනේ නැද්ද
නැත්තං ගන්ඩ හුගක් මහන්සි වෙන්ඩ ඕන හින්දද?
අපොයි නෑ...මහත්තයා දන්නවනේ
මගෙ රස්සාවත් එක්ක හුගක් මිනිස්සු හම්බ වෙනවා. ඔය මිනිස්සු අතරේ ඕන තරම් කට්ටිය හිටියා
නිධන් හෑරිල්ලට බැහැපු. සමහරු මටත් කතා කරා නිධන් ගන්ඩ යන්ඩ...
ඉතින් ගියෙ නැත්තේ?
ඕක මහ සහගහන වැඩක් මහත්තයා.
මං කතාවක් කියන්නං ඇස් දෙක පල්ලා මට මූණ දෙන්ඩ වෙච්ච...ඒ කාලේ මම හිටියේ මඩුල්ලේ...
මානා පදුරු තලමින්, හේන්
අතර කාලයත් සමග මැකී ගිය අඩි පාරවල් සොයමින් යන ගමන වෙහෙසකරය. ඒ වෙහෙස නිවෙන්නේ මෙවැනි
අද්භූත, ත්‍රාසජනක කතා වලිනි. සුදත් ගේ හුගක් කතා පටන් ගන්නේ ඇස්දෙක පල්ලා යැයි දිවුරමිනි.
එනිසා මේ නිධන් හෑරිල්ලෙ කතාවත් මහන්සිය නිවා ගැනීමට පමණක් උදව් වෙන කතාවක් කියල හිතමින්
මමත් කතාවට උඩ ගෙඩි දුන්නා...
අරනෝලිස් කියල මනුස්සයෙක්
හිටිය ඒ ගමේ. හොරට ගස් කප කපා හිටියෙ. මනුස්සයට නිදන් වදුලක් හම්බ වෙලා තිබ්බා කාලෙකට
ඉස්සර. මිනිහ වැඩිය අකුරු කියවන්ඩ ලියන්ඩ දන්න මනුස්සයෙක් නෙවෙයි. ඉතින් ඒ වදුල මට
පෙන්නුවා කාටවත් ඒ ගැන විස්තර කියන්නෙ නෑ කියල පොරොන්දු කරගෙන.
ඉතින් සුදත් දැන් මට කියනවනේ
ඒ විස්තරේ. එතකොට පොරොන්දුව කැඩෙන්නෙ නැද්ද?
ඉන්ඩකො කියල ඉවර වෙනකල්.
කතාව ඉවර උනාම තේරෙයි.
හා ඉතින් කියන්ඩකෝ එහෙනං...
ඒ අකුරු කියවන්ඩ හරි අමාරුයි.
සිංහල දෙමළ අකුරු මිශ්‍ර බාසාවකින් වගේ තමයි ලියල තිබ්බෙ...කොහොම හරි මටත් ඒ වදුල
කියවගන්ඩ බැරි උනා.
ඊට පස්සෙ?
ඊට පස්සෙ ඉතින් අරනෝලිස්
මට කිව්ව මේක කියවන්ඩ දන්න කෙනෙක් හොයල ඩදෙන්ඩ කියල. ඕක විශ්වාස නැති මිනිහෙකුට කියන්ඩත්
බෑනෙ මහත්තයා. ඒ හින්ද මගෙ අතිනුත් වදුල කියවන්ඩ පුලුවන් කෙනෙක් හොයල දෙන්ඩ පහු උනා.
මහත්තයට මතකද අමරසිරි මහත්තයා අර ජල සම්පාදන ප්‍රොජෙක්ට් එකේ වැඩ කලේ?
ම්හ්...එහෙම මතකයක් නෑ සුදත්.
මේ වගේ දවසක් මම අමරසිරි
මහත්තයත් එක්ක උල්පත් තියෙන තැනක් බලන්ඩ ගියා ගමකට වතුර දෙන්ඩ. ඒ ගමන් අමරසිරි මහත්තයා
මගෙන් ඇහුව මේ පැත්තෙ නිදන් තියෙනවද එව්ව ගැන මං දන්නවද කියල. මාත් කිව්ව ටිකක් දන්නවා
කියල. අමරසිරි මහත්තයා ටිකක් ඔය සයිඩ් එකේ වැඩ කරලා තිබ්බ කෙනෙක්. පොඩි පොඩි නිදන්
තුන හතරක් ගොඩ දාපු වගකුත් කිව්ව. කොහොම උනත් අමරසිරි මහත්තයාට නිදන් ගැන හොද දැනුමක්
තිබ්බ කියලයි මට හිතුනෙ.
ඉතින්? අරනෝලිස් ගෙ නිදන්
වදුල ගැන අමරසිරි මහත්තයාට කිව්වද?
ඔව්නෙ මහත්තයා...මහත්තයා
කොහොමද එහෙම හිතුවෙ?
නෑ මට නිකමට හිතුන...ඉතිං
මොකද උනේ සුදත්? දැං වෙච්ච දේ දැනගන්ඩ මටත් හෙන කුතුහලේ.
අමරසිරි මහත්තයා එක පයින්
කැමති උනා. මම අරනෝලිස්ටත් කිව්ව අමරසිරි මහත්තයා ගැන. අරනෝලිස්ට කිව්ව මෙන්න මෙහෙම
කෙනෙක් ඉන්නවය හැබැයි ඔය නිදන් වදුල එක පාරටම දෙන්ඩ එපා මොකද මම කාල බලල නෑනෙ අමරසිරි
මහතතයව..ඒ හින්ද ඕනවට වඩා විශ්වාස කරන්නෙ නැතුව අරනෝලිස් ගෙ වැඩේ කරගන්ඩ කියල.
ඒ වැඩේ අමරසිරි මහත්තයට
බාර දීල සුදත් අත පිහදා ගත්තා කියලනං කියන්ඩ එපා...මම දන්නවනේ පුතයගේ තරම!
නෑ...නෑ මහත්තයා අරනෝලිස්
හරි අහිංසක මනුස්සයා. ඔයා කියන්නෙ හැමදාම මම ගියාම මොනවහරි උයල කන්ඩත් දෙනව මහත්තයා.
මිනිහ හරි හිත හොද මනුස්සයා.
හරි හරි නිධානෙට මොකද උනේ
කියන්ඩකො?
මාසෙකට දෙකකට පස්සෙ අමරසිරි
මහත්තයා කොළඹිනුත් කට්ටියක් ගෙනත් අරනෝලිස් එක්කම නිධානෙ ගන්ඩ ගියා. ඒ කවුරුවත් ආයෙ
මඩුල්ලෙදි නං දකින්ඩ හම්බ උනේ නෑ...
ඇයි නිධානෙ හිටපු භූතයෙක්
බිලි අරන්ද?
නෑ කට්ටියම නිධානෙ අරගෙන
ඈත පැත්තකට පැනලා ගියා.
සුදත් කොහොමද ඒ අය පැනලා
ගියා කියල දන්නෙ?
ඔය අපේ ඔෆිස් එකේ ඉන්න සමන්ති
දන්නවා නේද මහත්තයා?
දවස් කීපයක් සුදත්ව හම්බ
වෙන්ඩ එයා වැඩ කරන ඔෆිස් එකට මමත් ගිහින් තිබ්බා. සමන්තිගෙ රස්සාව මොකක්ද කියල හරියටම
මං දන්නෙ නෑ. ඒත් මම යනකොට සුදත් නොහිටියොත් සුදත් ට දෙන්ඩ ඕන පණිවිඩේ සමන්ති ගාව තියල
එන්න කියල සුදත් කියල තිබ්බ හින්ද මම සමන්තිව යම් තරමකට අදුරනවා.
ඔව්..
අරනෝලිස් කියන්නෙ වෙන කවුරුවත්
නෙවෙයි මහත්තයා ඒ සමන්තිගෙ තාත්තා! මං තියා සමන්තිවත් ඔය නිධං හෑරිල්ලෙන් පස්සෙ අරනෝලිස්ව
දැකලා නෑ.
ඉතිං සුදත් කොහොමද හරියටම
කියන්නෙ අරනෝලිස් ගමෙන් ගියාමයි කියල? අරනෝලිස් කැලේ ඇතුලෙම මරල දාලද කියල කවුද දන්නෙ?...අනික
ගමෙන් යනවනං තමන්ගෙ දුවව තනිකරල යනවද?
අරනෝලිස් හැම මාසෙම සමන්තිට
සල්ලි එවනවා. මනි ඕඩර් එකකින්. සමහර දවස්වල ලියුං කවරෙ ඇතුලට දාලමත් එවනවා.
ඉතිං වෙන කෙනෙකුටත් එහෙම
සල්ලි එවන්ඩ පුලුවන්නෙ? අනික අරනෝලිස් අකුරු දන්නෙත් නෑ කියල කිව්ව නේද?
ඒ අරනෝලිස් නෙවෙයි නං ඇයි
හැම මාසෙම නොවැරදීම සමන්තිට සල්ලි එවන්නෙ? අමරසිරි මහත්තයයි අනික් මිනිස්සුයි අරනෝලිස්ව
මැරුව නං මෙච්චර කල් සමන්තිට සල්ලි එවන්ඩ ඕන නෑනෙ!!
ඒකත් ඇත්ත..හැබැයි මට නං
ඒ කතාව එච්චර විශ්වාස කරන්ඩ බෑ...මොකද්දෝ අමුත්තක් තියෙනවා ඒකෙ!
මොකද්ද මහත්තයා අමුත්ත?
ඒ කතාව නිකං නිතරම අහල තියෙන
කතාවක් නෙ. ගමක නිධානයක් ගැන දන්න මනුස්සයෙක් ඉන්නවා. ටවුමෙන් එන මිනිස්සු අර මනුස්සයව
රවට්ටලා නිධානෙත් අරං අර මනුස්සයත් මරල පැනල යනවා. ඒත් තමන්ගෙ හෘද සාක්ෂිය වද දෙන
හින්ද මාස් පතා අර මරණෙ හිංද අනාථ වෙච්ච දුවට සල්ලි එවනවා! අනික අකුරු නොදන්න තාත්තා
ලියුං එවන්නෙ කොහොමද, කොහෙන්ද කියල දුව හොයන්නෙත් නෑ!!!
එහෙනං මහත්තයා විශ්වාස කරන්නෙ
කොහොම කතාවක්ද?
අඩු ගානෙ අරනෝලිස් ටවුමෙන්
එන අයගෙ උදව්වෙන් නිධානෙ අරගෙන පැනලා යනවා. සමන්ති ටික දවසක් ගමේ ඉදලා කතාවක් පතුරුවනවා
තාත්තව මරලා හංගලා කියල...පොලීසියත් මිනීමරුවො හොයනවා. අමරසිරි මිනීමැරුම් චෝදනාවලට
රිමන්ඩ් කරනවා...ඊට පස්සෙ හිමීට සමන්ති අරනෝලිස් ඉන්න පැත්තකට යනවා....තව ඕන්නං කියන්ඩ
පුලුවන් අරනෝලිස්ට දැං ටිකක් නුහුගුණේ වගේ කියල සමන්ති ලියල එව්ව කියලත්!!
මහත්තයත් මාර කතා කාරයනේ!
මහත්තයො ආන්න අපි හොයපු හේන....
කොහොම හරි එදා අපි හොයපු
හුගක් පැරණි බීජ හම්බ උනා ඒ හේනෙ තිබිලා. ආපහු ගමන වෙන් උනේ වෙන මොකක් හරි කතාවකට.
මටත් ඔය කතාව අමතක වෙලා ගියා.
ඔය සිද්ධිය වෙලා මාස හතරකට
විතර පස්සෙ දවසක් උදේම මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. නොදන්න නොම්බරයක්. නොගෙන ඉන්ඩත්
හදල ඕන කෙහෙල්මලක් කියල කතා කරා.
ඔය .......මහත්තයද?
ඔව්. කවුද ඔය කතාකරන්නෙ?
මම මොණරාගල සුදත් ගෙ වයිෆ්.
ආ මිස් කොහොමද මගේ නොම්බරේ
හොයාගත්තෙ? කෝ සුදත්?
මතක් කරන්ඩෙපා මහත්තය ඔය
පාහරය ගැන. මායි ළමයි දෙන්නයි දාල ඌ පැනල ගිහිල්ල!
ඈ!!! කවද්ද?
දැං දවස් තුනක් වෙනව. ඔෆිස්
එකේ හිටපු සමන්ති කියල කෙල්ලෙක් එක්ක...
ඔය කියන්නෙ අර අරනෝලිස්
ගෙ....මට කියන්ඩ හම්බ උනේ එච්චරයි...
මහත්තයත් දන්නවද අර නිධං
හාරපු කතාව?
මට දවසක් සුදත් කියල තියෙනවා....අර
කොළඹ කට්ටියක් එක්ක නිධං හාරන්ඩ ගිහිං අතුරුදහන් වෙච්ච කෙනා නේද ඔය?
න්...නෑ මහත්තයා...මට සුදත්
කිව්වෙ කොළඹ කට්ටියව රවට්ට්ලා අරනෝලිස් නිධානෙ අරං පැන්න කියලනේ. ඒ කොළඹ කට්ටිය ඒ
කාලෙ නං රිමාන්ඩ් එකේලු හිටියෙ. නඩුව ඇදි ඇදී යනවලු!
ආ එහෙමද සුදත් කිව්වෙ?
ඔව්...දැං ඒ අරනෝලිසාට ටිකක්
නුහුගුණේ වගෙත්ලු. එහෙම තැනකටනෙ මේකා මාව අනාථ කරල පැනල ගිහිං තියෙන්නෙ? ඔය අරනෝලිස්ව
බලන්ඩ අරකිගෙ තනියට ඉස්පිරිතාලේ ගියෙ මේකා මහත්තයා!
කවුද කිව්වෙ?
සුදත් ම තමයි කිව්වෙ...අර
මහත්තයත් එක්ක හේන් වල ඇවිදින්ඩ ගිහිල්ලා ඇවිත් ටික දවසකින් තමයි අරුන්දෑ ඉස්පිරිතාලෙ
නවත්තලා තියෙන්නෙ!
හ්ම්...ඒකත් එහෙමද? මිස්
මට දැන් කතා කරේ...?
අනේ මහත්තයා සුදත් මහත්තයට
හම්බ උනොත් කියන්ඩ අඩු ගානෙ ළමයි දෙන්න ගැනවත් ටිකක් බලන්ඩ කියල...අපි හරි අසරණ වෙලා
ඉන්නෙ මහත්තයා....
ඊට පස්සෙ මට අද වෙනකල් සුදත්ව
හරි සමන්තිව හරි සුදත් ගේ නෝනා මහත්තයා හරි හම්බ වෙලාවත් කතා කරලවත් නෑ. හැබැයි සුදත්
ගෙත් මගෙත් දෙන්නගෙම -ඇත්තටම සුදත් නෝනාගෙත් කැම්පස් යාලුවෙක් ගෙන් දැන ගන්ඩ හම්බ
උනා සුදත් මාස් පතා ළමයි දෙන්නට සල්ලි එවනවා කියල!!!
මට දුක එදා මං හදපු කතාවෙ
අන්තිමට අරනෝලිස් තමන් කරපු අපරාදෙ හෘද සාක්ෂිය ඉවස ගන්ඩ බැරුව එල්ලිලා මැරුන කියල
කියන්ඩ බැරිවෙච්ච එක ගැන....සමහර විට මගෙ කතාව කොපි කරෞ සුදත් ඒ කෑල්ලත් හිතට ගන්ඩ
ඉඩ තිබ්බ! ඒත් නෑ සුදත් මාව පාවිච්චි කලේ ටිකක් අමුතු කතාවක් හදාගන්ඩ විතරයි. සමහර
විට අපි තාම කරන්නෙ ඒකම නේද කියලත් හිතෙනවා...
එක විදිහකින් ගත්තොත් අපි
අපිම හදාගත්ත කතාවක චරිත!!
ෂේක්ස්පියර් තමන්ගෙ Midsummer
Nights Dream නාට්‍යයෙදි ලියනවා මෙහෙම...
අනේක වධ හිංසා සහිත මේ නීරස පැය
රසවත් කරන්නට නැත්ද රංගනයක්!!
ඒකෙ අනිත් පැත්තත් ඇත්ත
කියල මට හිතෙනවා. රංගන වැඩි වෙන්නෙ අනේක වධ හිංසා සහිත නීරස පැයකදීමයි...ඊලග ලිපියෙන්
හමුවන තුරු අනේකවිධ රංගනයන් නරඹමින් සැනසෙමු!!
එතකොට සුදත්ට නිධන් දෙකයි....
ReplyDeleteඅරනෝලිස් ගත්තු නිධානේත් අරනෝලිස් උත්පාද කරපු නිධානෙත් ගත්තා ..
කොටියාගල මාඇල්ල ගුහාවට හිහින් තියනවද?
ReplyDeleteකට්ටකාඩුවෙ මලයා හරි අපූරු කතාකාරයෙක් නෙව? බොහොම අගෙයි.
ReplyDeleteඅහල තියන විදිහට හැම නිධාන්යක්ම බොහොම බරපතල විදිහට ආරක්ෂා කරලා තියෙන්නේ .ඒකේන් අදහස් කරන්නේ කාටවත් ගන්ඩ බැරිවෙන්ඩ ද ? .අර බැංකුවේ කතාවටත් යමක් කියන්ඩ හිතුන.දැන් ඔය බැංකුවල ඉන්න ලොක්කන්ට, මේ මිනිස්සුන්ට ඉක්මනින් ඒ වැඩේ කරගන්ඩ ක්‍රමයක් එහෙම හදන්ඩ හිතෙන්නේ නැතුව ඇති නේද? .ඔය බැංකු දෙකටම හුගක් යන්නේ අහිංසක දුප්පත් අය. අපි කතා කරන්නේ සිස්ටම් චේන්ජ් ගැන .හිතා ගන්ඩ පුළුවන්නේ අපේ රටේ අනාගතය ගැන .
ReplyDeleteනිධන් කතා ගැන වැඩිය කියන්න දන්නේ නැහැ. අපේ තාත්ත නිදන් හාරන්ඩ ගිහින් මැරුණු මිනිහෙක් ගේ මිනියක් මහා කැලේ මැද තනියම මුර කරගෙන හිටියලු එලි වෙනකන්. (මහේස්ත්‍රාත් එනකන්). හැබැයි තැන බදුල මොනරාගල අතර මැද. ඔය කතා තියෙන්නේ ඔය පැත්තෙමද මන්ද
ReplyDeleteබැංකු ගැන කතා කළොත් - මම 200දී අපි බැඳපු කාලේ මාතර හම්බන්තොට පැත්තේ ගියා. සල්ලි මාරු කරන්න තිබ්බේ රජයේ බැංකුවක් විතරයි . (නැත්නම් ඔය කොටුවෙන් වැඩි ගානට මාරු කරන පොට් මම දන්නවා) රජයේ බැංකුවේ අඩු ගානට මාරු කරගන්න (පවුම් 100-200) විනාඩි 45 කට වඩා ඉන්න උනා. අත්සන් කරන්න, පාස්පෝට් එක දෙතුන් පාරක් පෙන්වන්න . මේස දෙක තුනකටම අරන් ගියා. උන් රිසිට් 5 විතර ලිව්වා. මේ පවුම් පොඩි ගානකට මුන්ට පිස්සුද කියල හිතුන. ඊට පස්සේ ඒ ශාඛාවේ ලොක්ක හෝ මැනේජර් එනකන් ඉන්න කීව සල්ලි දෙන්න. ඒ මොකටද කියල ඇහුවම සර් (මැනේජරය )පාස්පෝට් එක බලල සල්ලි දෙන්නේ කීව. වෑන් එකේ ඉඳගෙන ඉන්න බැරිකමට ඉනෙස් ඇතුලට ඇවිත් ඇහුවා තවම සල්ලි මාරු කලේ නැත්ද කියල. අර සල්ලි මාරු කරන ඩෙස්ක් එකේ හිටි එකා සල්ලියි පාස්පෝට් එකයි අරන් ඇවිත් මට දීල කියනවා, ඔයා කියන්න එපැයි ෆොරිනර් කෙනකුට කියල. යකෝ මගේ පාස්පෝට් එකේ මූ බැලුවේ මොකක්ද කියල මට තේරුනේ නැහැ. මට මළ පැනල එලියට ආවේ. ඕකම ඉන්දියාවේදීත් උනා හැබැයි 2006 දී. මම අද වෙනතුරුත් බැංකුවකින් සල්ලි මාරු කරලා නැහැ ඊට පස්සේ. එක්කෝ කලින් මාරු කරගන්නවා කොළඹින්. (දැන්නම් ATM නිසා ප්‍රශ්නයක් නැහැ) . තවමත් එහම්ද කියල දන්නේ නැහැ.
ReplyDeleteMata mathak wune japan kathawak mama mathak na..
ReplyDeleteකතා මැද කතා. 'මම කාලි' කියලා බෙරිහන් දෙන්නෙත් ඔය තත්වෙම extension එකක්. කිව්වත් වගේ අපි හැමෝම ජීවිතේ කරන්නෙ පොඩි පොඩි impersonation තමයි.
ReplyDeleteනිධන් කළා වස්තුව අනතුරු කලදී
ReplyDeleteඑව්වා රකින්නෙත් සමහරු දිවි පුදදී
පාදා ගන්න ඕනැන්නෙත් බිලි පුදදී
ඉතිං මොටද අන් සන්තක මැණික් රිදී?
සුපිරි ලිවීමක්. එක හුස්මට කියෙවුවා.
ReplyDeleteමදෑ කොළා. සුදත්ට කතාවෙ අන්තිම ටික ෆයිනලයිස් කරගන්න බැරුව තමයි ලොකුව අල්ලගන්න ඇත්තෙ.
ReplyDeleteඇත්තටම නැද්ද නිධානයක් හෙම.... හාරන්න.