පහුගිය මාරතු මාසෙන් පාස්සෙ මුලු රටටම විතරක් නෙවෙයි මුලු ලෝකෙටම ලැබුවෙ මහ නරක කල දසාවක්. කොවිඩ් මාරයාගේ යක්ස හෙවනැල්ලෙන් වැහිලා ගිය මේ මාස හය හත ඇතුලෙ නිදහසේ හුස්මක් කටක් ගන්ඩ තරම් වාතාවරණයක් අපි කාටවත් තිබුනෙ නෑ. කොළඹ අවිවේකී තරඟයෙන් පොඩ්ඩකට මිදිලා ගෙදර දොරේ වැඩිපුර කාළයක් ගත කරන්ඩ ලැබිච්ච බව නං කියන්ඩම ඕන. මීට කලියෙන් එහෙම කාළයක් උදා වෙලා තිබ්බෙ 88-89 කාලෙ කැලෑ ආණ්ඩුවේ භීෂණේ හින්ද ඉස්කෝල වහල තිබ්බ කාලෙ. ඒත් ඒ කාලෙ අපි පොඩි කොල්ලො කුරුට්ටො. මොනව තේරෙනවද?
අම්මල අප්පච්චිල කන්ඩ බොන්ඩ දෙන දෙයක් කාල බීල දවල් දවසම සෙල්ලම් කරල රෑට රෑ උනාම ගෙදරට එනවා. ඔය කාලෙ කීර් ති විජේබාහු කියල චරිතයක් අස්සන් කරපු ලියුම් කරදාසියකින් ආමි එකෙයි පොලිසියෙයි (නේවි එකෙයි ගුවන් හමුදාවෙයි වැඩ කරපු අයගෙ පවුල් වලටත් ඒ තර්ජනේම තිබ්බ කියල කිව්වත් අපෙ ගමේ තියා අහල ගං හතකවත් ඒ දෙකේ වැඩ කරපු කෙනෙක් හිටියෙ නැති හිංද අපිට එහෙම තර්ජනයක් තේරුනේ නෑ) වැඩ කරපු අයගෙ පවුල් පිටින් මරල දානවා කියල කතාවක් ගිය කාලෙ. අපේ ගමෙ කවුරුවත් එහෙම මැරුවෙ නැති උනාට සූදානං සරීරේ කියල අපේ ගමේ ආමි සහ පොලිස් පවුලුත් රෑට තම තමුන්ගේ ගෙවල් වල හිටියේ නෑ. එහෙම රාත්‍රී සංක්‍රමණික පවුලක අපේ යාලුවෙක් ඔය දවස් වල රෑට හිටියේ අපේ ගෙදර. අනික් පැත්තෙන් මොන ගම්පොල දෝ කියල මහ මරුමුස් පොලිස් ලොක්කෙක් කෑගල්ලෙ වැඩ බාරගත්තා කියල ආරංචියට ගමේ හිටපු කැලෑ ආණ්ඩුවේ උදවු කාරයොත් රෑට රෑට හැංගිලා තමයි හිටියෙ. ඔන්න ඔහොම චරිත දෙක තුනකුත් රෑට අපේ ගෙදර. ඉතින් ඔය කවුරු එක එකා මරා ගන්ඩ ට්‍රයි කලත් රෑට රෑට කට්ටියම අපෙ ගෙදර තුන්සිය හතර ගහනවා.
ඔය කාලේ අපේ අප්පච්චිට එයා වැඩ කරපු තැනින් පෑලියගොඩ පැත්තේ පොඩි ඇනෙක්ස් එකක් දීලා තිබුනා. ආපහු ඉස්කෝලේ පටං ගත්තම මං ඉස්කෝලෙ ගියෙත් ඔය ඇනෙක්ස් එකේ ඉදගෙන. ඔන්න ඔය ඇනෙක්ස් එකටත් හරි අපූරු මිනිස්සු දෙන්නෙක් තාවකාලික පදිංචියට ඇවිල්ලා හිටියා. එක්කෙනෙක් වයසයි. අවුරුදු පනහක් හැටක් විතර. අනික් එක්කෙනා අවුරුදු තිහක් තිස් පහක් විතර. මේ පොරවල් දෙක හරි ජොලි චරිත. දෙන්නට දෙන්නා හෙන ගැඹුරු ශාස්ත්‍රීය සංවාද වල යෙදෙනවා, තුන්සිය හතර ගහනවා, එක බත් එකක් ගෙනත් බෙදාගෙන කනවා. අප්පච්චිගෙන් සල්ලි ඉල්ලගෙන ෆිල්ම් බලන්ඩ යනවා. අප්පච්චිත් යකෝ මුන්ට ඉන්ඩ දෙනවා මදිවට තව ෆිල්ම් බලන්ඩත් මං සල්ලි දෙන්ඩ ඕන කියල බොරුවට බැන බැන සල්ලි දෙනවා (හැබැයි අපේ අම්මටනං අප්පච්චි කිව්වෙ ඒ දෙන්නට දෙන සල්ලි, ගෙවල් වලින් ඒ අයට සල්ලි එවපුවම ආපහු දෙනව කියල. ඒ ඇත්තමද කියන්ඩ නං මම දන්නේ නෑ).
ඔය කාලෙ අප්පච්චි මට
නීතියක් දාල තිබ්බ අර දෙන්නා ගැන කට හොල්ලන්නෙ නෑ කියල. මම ඒ තහනමට හේතු අහපුවම
තමයි අප්පච්චි මට කිව්වෙ අර ඉන්නේ එලියේ සමාජයේ නයි පොලොංගු වගේ ගහ මරා ගත්තු පක්ෂ
දෙකේ ඒ ගහ මරා ගැනීම් වලට ටිකක් ලොකුවට සම්බන්ධ චරිත දෙකක් තමයි කියල! උන් දෙන්න
එක බත් එක බෙදාගෙන කාල, බර්ග්මාන්ගෙ ෆිල්ම් බැලුවට,දවල් දවස පුරා තුන්සිය හතර
ගැහුවට ඊට මාස කීපෙකට ඉස්සර මිනිස්සු සිය ගානකට වග කියපු චරිත. ඔහොම මාස හයක් විතර
ගියාට පස්සේ මේ දෙන්න ගෙවල්වලට ගියා. අර වයසක අංකල් දැනට අවුරුදු කීපෙකට ඉස්සර
මැරුනා කියල මම දැනගත්ත. අර අයියා අන්තිමට දැක්කෙ අප්පච්චිගෙ මල ගෙදර ඇවිල්ල
මිනියට දන ගහල වැඳපු වෙලාවෙ.
ඒ කොහොම උනත් අප්පච්චි
අර ඩබලත් එක්ක මාවත් එක්කගෙන ගියා දවස් කීපයක්ම ෆිල්ම් බලන්ඩ. ඉන්ග්මාන් බර්ග්මාන් ගේ චිත්‍රපටි සතියක් එල්ෆින්ස්ටන් එකේ තිබ්බ. මට ඒ ෆිල්ම් එච්චර නෙවෙයි
කොහොමවත් තේරුනේ නෑ. බර්ග්මාන් කියන්නෙ නලුවද නිලියක්ද කියලවත් මට ලොකු තේරුමක්
නෑ. හැබැයි අපේ ඇනෙක්ස් හිටපු ඩබල දවස් ගානක් යනකල් කතා කරන්නේ ඒ ෆිල්ම් ගැන. ඊට
පස්සෙ මට තේරෙන විදිහේ ෆිල්ම් එකක් වෙච්ච සුපර් මෑන් බලන්ඩ රීගල් එකටත්,
අප්පච්චිගේ උවමනාවට මධුර ජවනිකා බලන්ඩ ආපහු එල්ෆින්ස්ටන් එකටත් අපි ගියා. මධුර
ජවනිකා හදපු දයානන්ද ගුණවර්ධන මහත්තය අපේ අප්පච්චිගේ ගුරුවරයෙක්. ඒ කෑගලු විද්‍යාලයේදි.
ඉතින් අපි තිරයෙන් පිටි පස්සට ගිහිං එතුමවත් හම්බ වෙලා ආවත් මගේ ඔලුවෙ තිබ්බෙ
නෙයිනගෙ සූදුව ගැන!! කොච්චර වැදගත් දේවල් පෙනෙන්ඩ තිබ්බත් අපිට වටින්නෙ අපේ වයසට,
හිතන පතන විදිහට ගැලපෙන දේවල් විතරයි.
බර්ග්මාන් ගැන පස්සෙ
තමයි මට තේරුනේ. භීෂණ කාලේ සොදුරු මතක (මට ඒ කාලේ තේරිච්ච භීෂණයක් නෑ. මට තිබ්බෙ
පොඩි ජොලියක්. ගෙදර වැඩිපුර ඉන්ඩ ලැබෙන එකයි දවල්ටත් සෙල්ලං කරලා රෑටත් 304 ගහන්ඩ
පුලුවන් වෙච්ච එකයි ගැන සතුටු වෙනවා මිසක්ක වෙන මොනවා කරන්ඩද) එක්ක මම ෆිල්ම් බලන්ඩ
ඇබ්බැහි උනා. පොත් කියවන එක ඇරුනම මගේ ප්‍රධාන විනෝදාංශය උනේ ෆිල්ම් බලන එක. චිත්‍රපටි
වලින් පෙන්නන මායාවී යථාරූප ගැන මගෙ තිබ්බේ ලොකු ආදරයක්.
ඒත් ජීවිතේ දවසින් දවස
වැඩිවෙන වගකීම් හා අවිවේකීබව එක්ක හිතේ හැටියට ෆිල්ම් බලන්ඩ මට ඉඩක් හම්බ උනේ නෑ.
අනික මාස කීපෙකට කලින් එකිනෙකා මරා ගන්ඩ ලේ පිපාසාවෙන් හිටපු චරිත දෙකක් එක්ක මම
අප්පච්චිගේ ආදරය හා රැකවරණය ඇතුලේ ආරක්ෂිතයි කියල දැන දැන ෆිල්ම් හරි නාට්‍ය හරි
බලනවා වගේ රියල් ලයිෆ් ත්‍රිලර් තොගයක් හම්බ වෙච්ච හින්ද ආය මොකටද සල්ලි දීල
ෆිල්ම් බලන්නෙ?
කොවිඩ් අත් අඩංගුවත්
එක්ක මම පහුගිය ටිකේ ආපහු ෆිල්ම් නැත්තං අපේ ගමේ කියන විදිහට පිච්චර් බලන්ඩ පටන්
ගත්තා. ඊට ඉස්සර මම අවුරුද්දකට බලන්නෙ උපරිම ෆිල්ම් 30 විතර. පහුගිය මාස හතට මම
ෆිල්ම් 110 බලලා තියෙනවා. ඒ කියන්නේ මාසෙකට ෆිල්ම් 15 විතර සාමාන්‍යයක්. මීට අමතරව
ටෙලි නාට්‍ය කොටස් 200 විතරත් බලලා. අවාසනාවට, වීරයා ගෙදර ඇවිත් බැලුවට පස්සේ තාම
එක සිංහල ටෙලියක් වත් බලන්ඩ උනේ නෑ. දවල් වරුවට රාජකාරි වැඩ තියෙන හින්දත් ඩේටා
සීමා හින්දත් මේ දේවල් 90% විතර බලලා තියෙන්නෙ රෑ දෙකේ ඉදන් උදේ අට දක්වා කාලෙදි.
ඒ බලපු ෆිල්ම් අතරින්
එකක් උනේ Earthquake Bird. 1980 ගනන්
වල ජපානය පසුබිම් කරගෙන තමයි මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ. මට ඒ ෆිල්ම් එක ගැන
කියන්ඩ ඕන උනේ ඒකෙ තියෙන එක දෙබස් ඛන්ඩයක් හින්ද. ෆිල්ම් එකේ එක චරිතයක් ජපන්
ජාතික ඡායාරූප ශිල්පියෙක්. නම ටෙයිජි. මනුස්සයා විනෝදෙට කරන්නෙ ඡායාරූප ගන්න එක. කථාවෙ ප්‍රධාන චරිතෙ රගපාන්නෙ
කාන්තාවක්. ඇගේ නම ලුයිසා ෆ්ලි. ඇය මට මතක විදිහට ඇමරිකානු කාන්තාවක්. ඇය අහනවා අර
ඡායාරූප ශිල්පියාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්.
මම අහලා තියෙනවා දහ නව
වැනි සියවසේ දි බටහිර ජාතිකයො ජපානෙට ආපුවම ජපන් ජාතිකයො ඔවුන්ගෙ ෆොටෝ ගන්නවට
විරුද්ධ වෙච්ච බව. ඔවුන් හිතුවලු ෆොටෝ එකක් ගත්තම තම්න්ගෙ ආත්මෙන් කොටසක් අඩු
වෙනවා කියල! ඇත්තද ඒ කතාව?
ඔව්...මට තේරුම් ගන්ඩ
පුලුවන් ඒ කතාව...ඒ මොකද ඡායාරූපයට පෙනී ඉන්න කෙනා හැම වෙලාවෙම යමක්
දෙනවා...තමුන්ගෙ චරිතයෙන් කොටසක් තමයි ඡායාරූපයේ සටහන් වෙන්නෙ!!!
මටත් හිතෙනවා ඒ කතාව
ඇත්ත කියල. ආත්මෙන් කොටසක් අහිමි වෙනවද නැද්ද කියන එක නෙවෙයි.ඡායාරූපයක් කියන්නෙ -
ස්වභාවික ඉරියවුවක් පෙන්නන ඡායාරුප්පයක් කියන්නෙ- ඒ ඡායාරුවට පෙනී ඉන්න කෙනාගෙ
ඇතුලාන්තයේ පිළිබිඹුවක්..ඒකනෙ සමහර ඡායාරූප දිහා බලන කොට සැබෑ මනුස්සයෙක්ම අපිට
පෙනෙන්නෙ.
මට හිතෙන්නෙ මේ කථාව
අනික් කළා මාධ්‍යවලටත් අදාළයි කියල. චිත්‍රයක් උනත්, ගීතයක් උනත්, කෙටි කථාවක්,
කවියක්, නවකථාවක්, නාට්‍යයක් විතාරක් නෙවෙයි බ්ලොග් සටහනක් පවා එය නිර් මාණය කරන
කෙනාගේ ඇතුලාන්තය තමයි පෙන්නන්නේ.
අර ෆිල්ම් එකේ තවත් මං
ආස කරන දෙබස් ඛන්ඩයක් තියෙනවා...
අපි ජීවත් වෙන්නෙ මරණීය
වටපිටාවක...හැබැයි අපි තවමත් ජීවතුන් අතර!!
මට අයෙත් මතක් වෙන්නෙ අර
වයසක මනුස්සයයි, තරුණයයි මරණයට බයෙන් තමන්ගේ ප්‍රතිවාදී කඳවුරේ කෙනෙක් එක්ක ජීවිතේ
බෙදා ගත්තු හැටි. ඔවුන් මරණීය වටපිටාවක් හදන්ඩ දායක වෙච්ච අය..හැබැයි ඔවුන්
ජීවතුන් අතර...ඔවුන්ගේ අණට එහෙම නැත්තං ආයුධ වලට යට වෙච්ච ජීවිත කීයක් ඒ වෙනකොට මේ
ලෝකෙන් සමුගෙන තියෙන්ඩ ඇද්ද? හැබැයි ඒ අණ දුන්න එහෙම නැත්තං ආයුධ ඔසවපු ඔවුන්
ජීවතුන් අතර....
කෙනෙක් කියාවි ඒ අණ
දුන්නෙ එහෙම නැත්තං ආයුධ අතට ගන්ඩ වට පිටාව සැලැස්සුවෙ සමාජය කියල.... වෙන්ඩ
පුලුවන්...මම නෑ කියන්නෙ නෑ....
පොඩ්ඩක් හිතල බලන්ඩ අද
අපි ජීවත් වෙන සමාජය...අපිත් ජීවත් වෙන්නෙ මරණයේ සෙවනැල්ල වැටුනු සමාජයක.
කොරෝනා හිංද අද වෙනකොට
ලෝකෙ මැරිච්ච ගාන 1,190,516 ක්. ඒ
ඔක්කොමලා මැරුනෙ 2020 අවුරුද්දෙ කියල උපකල්පනය කරොත් මේ වෙනකොට හැම තත්පර 22 කටම
එක්කෙනෙක් කොරෝනා හිංද මැරිලා. කොරෝනා හින්ද ලෙඩ උනා කියල හඳුනාගත්තු මිනිස්සු ගාන
45,683,708..ඒ කියන්නෙ ලංකාවෙ ජනගහනය වගේ දෙගුණයකට ටිකක් වැඩියි. මේ හැම කෙනෙක් ම
කොරෝනා හිංද අඩුම ගානෙ දවස් 15 එකතැන් වෙලා හිටියා කියල නිකමට හිතමු...එහෙම නං
නිස්කාරනේ විනාශ වෙලා තියෙන මිනිස් දින ගණන මිලියන් හයසිය අසූ පහකට වැඩියි.
අවුරුදු වලින් කිව්වොත් අවුරුදු දහ අට ලක්ෂ හැත්තෑ හත් දාහක්!! ආර් ථිකයට වෙච්ච
හානිය තවම ගණං බලලවත් නෑ. ඇත්තටම කිව්වොත් තව අඩුම තරමෙ මාස හයක් හතක් මේ ලෙඩේ
එක්ක ඔට්ටු වෙන්ඩ මිනිස්සුන්ට වෙයි. සමහර අංශ ආයෙත් 2019 තත්වයට පත්වෙන්ඩ අවුරුදු
හතර පහක්වත් යයි කියලයි විශේෂඥයෝ කියන්නෙ. ඒ වෙනකොට කොරෝනා හින්ද කෙසේ වෙතත්
දුප්පත්කම හින්ද කෝටි ගානක් මිනිස්සු විනාශ වෙලා ඉඳියි!!!
මීටත් වඩා මරණීය
වටපිටාවක් කොහෙද? අඩුම ගානෙ අපේ ජීවිත කාලය ඇතුලත මානවයා මුහුණ දීපු ලොකුම තර්ජනය
මේක.
හොදයි අපි මොකක්ද මේකට
කරන්නෙ?
මම හරි කැමතියි විද්‍යා
ප්‍රබන්ධ වලට. හුගක් ඉස්සර මම කියවපු විද්‍යා ප්‍රබන්ධයක මානව ශිෂ්ඨාචාරය ලොකු
අනතුරකට මුහුන දෙනවා. බේරෙන්න පුලුවන් අතලොස්සකට බව හොඳටම පැහැදිලියි. දැං මොකද්ද
කරන්න ඕන? මිනිස්සු කියන්නෙ තමන්ගෙ සුභ සිද්ධිය විතරක් හිතන සත්තු ජාතියක් නෙවෙයි.
ඔවුන් තම්න්ගේ අනාගත පරම්පරා ගැන අනිත් සත්තුන්ට වඩා හිතනවා. ඒ හින්ද අර අනතුරට
මුහුන දීපුවම මිනිස්සු තීරණය කරනවා තමන් මැරිලා යන්ඩ ඉස්සර තමන්ගේ තියෙන දැනුම
ගබඩා කරන්ඩ. කා වෙනුවෙන්ද? අනාගත පරපුර වෙනුවෙන්. තමන් මැරිලා ගියත් අනාගත
පරම්පරාවට තමන්ගේ දැනුමෙන් වැඩක් ගන්න පුලුවන් වෙන්ඩයි ඒ.
අපිත් මේ වෙලාවෙ එහෙම
දෙයක් කරන්ඩ ඕන නේද? අපේ මරණය අදද හෙටද කියල අපි දන්නවද? පන නම් තණ අග පිනි බිඳු
වැන්නේ කියල කියනවනේ...කොරෝනා වලින්ම නැති උනත් වෙන දෙයකින් හරි හෙට අනිද්දා
වෙනකොට අපිට ලියන්ඩ බැරි තත්වයක් උදා උනොත්...
ඔන්න ඒ හින්ද මම
කට්ටකාඩුව ලියන වේගය ටිකක් වැඩි කරන්ඩ තීරණය කලා. ඔය කොච්චර කිව්වත් තියෙන වැඩ
රාජකාරිත් එක්ක වේගයේ ලොකු වෙනසක් වෙයි කියල හිතන්ඩ අමාරුයි. හැබැයි පහුගිය කාලෙට
වඩා වැඩි වේගයකින් ලියවෙයි. මොකද කට්ටකාඩුවේ අන්තිම ලිපි 50 ලියන්ඩ අවුරුදු දෙකයි
මාස තුන හමාරක් ගතවෙලා තියෙන හිංදා...ඒ කියන්නෙ එක ලිපියක් ලියවෙන්නෙ දවස් දාසයකට
සැරයක්!!! හිතල මතල කරන දෙයක් නොවුනට සති දෙකකට එක ලිපියක්වත් නොලියන්නෙ වැඩ වැඩි
කම නිසාමයි. ඊට ඉස්සරලා ලිපි පනහක් ලියන්ඩ මට ගත වෙලා තියෙන්නෙ මාස හතයි. ඒ
කියන්නෙ දවස් හතරකට පහකට පාරක් එක ලිපියක්. ඊටත් කලින් ලිපි පනහ ලියන්ඩ ගත උනේ මාස
පහයි. ඒ කියන්නෙ දවස් තුනකට එක ලිපියක්!
මෙ ඔක්කොම ලිව්වෙ
කට්ටකාඩුවට අද මේ ලියන්නෙ 150 වැනි ලිපිය කියල කියන්ඩ...බ්ලොග් අඩවියක් පටන් ගන්ඩ
උනන්දු කරවපු, හැමදාම ලඟ ඉදන් දිරි දීපු
‘ඩොක්ටර් ඩී’ව බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරන ගමන් මෙතෙක් මගෙ ගුණ දොස්
පෙන්නමින් මාව දිරිමත් කරපු හැමෝටම පින් දෙමින් මම බොහොම අහිංසක සතුටක් ලබන බව
කියන්ඩම ඕන. කට්ටකාඩුව අටවගන්ඩ තාක්ෂණික උදව් දුන්නු අටම්පහුරෙ අටංතුමා, මාතලන්
වගේම කට්ටකාඩුවේ පළමු ලුහුබදින්නා වූ හැලපතුමාවත් මතක් කරන්නෙ ආදරයෙන්.
ඉස්සරහ ලිපි වල ලංකාවෙ
වගේම ලෝකෙ වෙනත් තැන්වලත් ඉතිහාසෙදි වෙච්ච රසබර සිදුවීම් ගනනාවක් තියෙයි. මොකද
ඉතිහාසය කියන්නෙ වෙලා ඉවර, මැරිච්ච දෙයක් නෙවෙයි. ඉතිහාසයමයි ආපහු ආපහු අනාගතය
විදිහට අපි ඉස්සරහට එන්නෙ. නම ගම වෙනස් උනාට කතාව එකයි!!
හෙන්රි ජයසේන මහත්තයා
කිව්ව කුවේණි නාට්‍යයෙදි මෙන්න මෙහෙම...
බොහෝ දේ සිදුවූ අතීතේ
වැළලිලා ඇත අන්ධකාරේ
පොළෝ පස් යට උනුන්
කඳුළැලි
ලෙයත් ඩහදිය එකට මුසු
වී....
පොළෝ තලයෙන් වැසුනු බිජුවට
නැගී එන සේ දිනෙක පසු කල
අතීතේ සැඟවුනු කඳුළු
බිඳු
ලෙයත් ඩහදිය මඳ සිනාරැලි
අන්ධකාරෙන් දුරාතීතේ
නැඟී යළි එක්වේය අප හා
අපේ කඳුළැලි ලෙයත් ඩහදිය
සමග මුසු වී ලෝ දහම සේ!!
එතකොට මම ලියන්නෙ කා
වෙනුවෙන්ද? මගෙ ආදරණීය පැටව් දෙන්න වෙනුවෙන්. ඒ දෙන්න තමයි මගේ ජීවිතේ. ඒ කියන්නෙ එක විදිහකින් මම ලියන්නෙ මං වෙනුවෙන්ම තමයි. ඒ ලියන එක තමයි ඔබ තමුන්නාන්සෙලා
එක්කත් බෙදා ගන්නෙ.
එහෙනං ගොහිල්ලා එන්නං... ආවඩා ආයු බෝ වේවා!!!
150ට සුබ පැතුම්! ආත්මයෙන් ලොකු කෑල්ලක් ගූගල් සමාගමට අයිති වේවා!
ReplyDeleteස්තූතියි සුභ පැතුම් වලට. ගූගල් සමාගම නොමිලේ බ්ලොග් පහසුකම නොදෙන්ඩ මෙහෙම කලාවක් දියුණු වෙයිද? මං හිතන්නෙ ධනවාදයේ එක මිහිරි ඵලයක් මෙවැනි පහසුකම්..
Deleteජය වේවා
ReplyDeleteඑසේම වේවා!!
Deleteජිවිතේ ලබපු හොදම නිවාඩුව තමයි මේ වැටුප් සහිත කොරෝනා නිවාඩුව. දරුමල්ලෝ එක්ක සෙල්ලමක් කරන් ගෙදරදොරේ වැඩක්පලක් කරන් ඉන්න එකම කොච්චර සැනසීමක්ද. දැනුත් පොඩ්ඩා මේක කොටන්න දෙන්නේ නැතිව බෙල්ල බදාගෙනයි ඉන්නේ. ලොකුමලයාට වාගේ අත්දැකීම් ලබන්නට නම් බැරිවුනා. ඔය භීෂණ කාලේ පොඩි කොල්ලෝ හින්දා ලොකුවට තේරුමක් තිබුනේ නෑ. අනික අපේ පැත්තේ ලොකුවට භීෂනයක් තිබුනෙත් නෑ.
ReplyDelete150 ඉක්මනින් ඩබල් වෙලා අපිට කියවන්න සාරවත් ලිපි පලවේවා කියලා පතනවා.
අපිට නං ගෙදර සිට වැඩ තමයි නීතිය...හැබැයි ගෙදර ගත කරන ඵලදායී කාලය වැඩිවෙච්ච බවනම් පිළිගන්ඩම ඕන...මං හිතන්නෙ 'නව සාමාන්‍ය' තත්වය මේකයි...ඒක නරකම නෑ රස්සාවක් තියෙන තාක්කල්...
Delete150 ට සුභ පැතුම්! වැඩි වැඩියෙන් ලියන්න අවකාශ ලැබේවා කියලා පතනවා.!
ReplyDeleteස්තූතියි ඔබතුමාගේ සුභ පැතුමට!!
Delete150 ට සුබ පැතුම් !!
ReplyDeleteකාලයක් ලංකාවෙ වගේම ලෝකෙම වෙසෙන ලාංකිකයින්ගෙ ජනප්‍රියම මාධයයක් වෙලා තිබ්බ බිලොග් ලෝකය කොරෝනා නිසා හරි ආපහු පණ ගහල එනවනං ලොකු දෙයක් වෙයි කියල කො.කා. ල වෙච්ච අපි බලාපොරොත්තු වෙනව.
දිගටම ලියන්න ශක්තිය ලැබේවා.
කොකා? මං හිතන් හිටියෙ "නයා" කියලයි :o
Deleteனයා තමයි කොකා උනේ. හැක්..
Deleteකොමෙන්ට් කරුවන්ගේ සංගමයේ ගරු සභාපතිතුමා ට බොහොම ස්තූතියි...
Deleteමේක අපි වගේ සරල පක්සීන්ට බරසාර වැඩියි. ලොකූ "බිලොග්" ලෝකයේ ලොකු අඩුවක් පුරවනවා.150 ට සුභ පැතුම්. දිගටම ලියන්න ශක්තිය ලැබේවා!
ReplyDeleteසරළ පක්ෂීන්ට බර වැඩිනම් ඒක ලොකු අඩුපාඩුවක්...බරසාර විදිහට යමක් කියනවානං මොකක් හරි හොරයක් තියෙනවා...omne ignotum pro magnifico කියල කතාවක් තියෙනවනේ...ඒ කියන්නෙ යමක් නොතේරෙන විදිහට කිව්වම ඒක හරි වැදගත් දෙයක් කියල හිතන්ඩ පෙළඹෙනවය කියන එක...හැබැයි ඇත්තටම වැදගත් නෑ...ඒ හිංද ඉස්සරහටවත් ඒ වැරැද්ද හදා ගන්ඩ බලන්නං...ස්තූතියි බස්සාතුමාට.
Delete150 ට සුබ පැතුම්.
ReplyDeleteතැන්ක් යූ වේවා!!
Delete150 වැන්නට සුබ පැතුම්.තව තවත් ලියන්නට දිරිය ලැබේව.අනාගතය වෙනුවෙන් දැනුම ගබඩා කරන යොජනාව නියම අදහසක් .ඇත්තටම ප්‍රයොගිකව මෙක කරන්ඩ ක්‍රමයක් ගැන්ල බැලුවොත් නරකද
ReplyDeleteඔබ වැන්නන්ගේ දිරි ගැන්වීම් නිසයි මෙච්චර දුර ආවෙ...ස්තූතියි දසේ!!
Delete//රාත්‍රී සංක්‍රමණික පවුලක අපේ යාලුවෙක් ඔය දවස් වල රෑට හිටියේ අපේ ගෙදර. අනික් පැත්තෙන් මොන ගම්පොල දෝ කියල මහ මරුමුස් පොලිස් ලොක්කෙක් කෑගල්ලෙ වැඩ බාරගත්තා කියල ආරංචියට ගමේ හිටපු කැලෑ ආණ්ඩුවේ උදවු කාරයොත් රෑට රෑට හැංගිලා තමයි හිටියෙ. ඔන්න ඔහොම චරිත දෙක තුනකුත් රෑට අපේ ගෙදර. ඉතින් ඔය කවුරු එක එකා මරා ගන්ඩ ට්‍රයි කලත් රෑට රෑට කට්ටියම අපෙ ගෙදර තුන්සිය හතර ගහනවා.// අහපු සුන්දරම ඒ වගේම හිනා වෙලා පණ ගිය කතාව. ඒ වගේම තරහත් යනවා ඒ වගේ උන් ගැන. හැමදාම ඔහොමනෙ එන දීපු එකා ගොඩ. ෆූට් සොල්ජර්ස් ලා වලපල්ලේ
ReplyDeleteඊයෙ හිටිය
Deleteඅද ඉන්නව
හෙට ගැන කුමට...!!!
හැමදාම වන්දි ගෙවන්නෙ foot soldiers ලා...ඇත්තටම අජිත් මහත්තයෝ හතර කෝරළේ ඉතිහාසෙම foot soldiers ලගේ ඉතිහාසයක්...ඒ වෙනුවෙන් අපිට ලැබුනෙ නුවර පෙරහැරේ මුලින්ම අපේ කොඩිය ගෙනියෑමේ 'වරප්‍රසාදය'!!!!...ඔබතුමාට හිතෙන්නෙ මගෙ මුතුන්මිත්තෝ කී දාහක් ඒ වෙනුවෙන් ජීවිත පූජා කරා කියලද? 1983-2009 කාලෙත්වැඩියෙන්ම හමුදාවට ගියේ කුරුණෑගල කෑගල්ල වගේ දිස්ත්‍රික්ක වලින්....අපි නිකං 'Buffalo soldiers' ලා එක විදිහක....
පහුගිය යුද්දේ කලෙත් කුරුණෑගල කට්ටිය තමා වැඩියෙන් මැරිලා හෝ යුද්දෙට ගිහින් තියෙන්නේ නේද? , කට්ටේ කුරුණෑගලද? අර වේදේ ගැන පණිවිඩයක් වට්ස් ඇප් කළා
Deleteනෑ මම කෑගල්ලේ...මං කියන්නෙ කෑගල්ලෙ උනත් කුරුණෑගල උනත් ආර්ථිකව අමාරු පලාත් වලින් තමයි බොහෝ විට foot soldiers ලා බිහිවෙන්නෙ...පණිවිඩේ බලලා උත්තර දෙන්නම් තව ටිකකින්...
Deleteඅනේ ඉතින් මම 150 පිරුන දවසේ බ්ලොගක් ලිව්වේ නැහැනේ. ඊළඟ පනහට වත් ලියන්න ඕනේ.
ReplyDeleteඅන්න ඒකයි...මං 50,100 වගේ වෙලාවල් වලදි තම්මැට්ටම ටිකක් ගැහුවා...ඔබතුමාගෙ ඊලග 50 දි බැලලයිකා එකක් ගහමු!!!
Deleteඑකඟයි . මම නම් මගේ ගිටාර් එක ආයෙත් අරගෙන තියෙන්නේ. අවුරුදු 20ක් අතින්වත් ඇල්ලුවේ නෑ. 500 දී ඒක තමයි ගැහෙන්නේ :)
Deletehttps://www.youtube.com/watch?v=MN3pUB3556g
ගිටාර් එකක් ගත්තා මීට අවුරුදු දහයකට විතර ඉස්සර...පස්සෙ ඒක මල්ලිට දුන්නා ගෙදර තිබිල පුස් කන හිංදා...
Delete150 ට සුබ පැතුම්. ඉදිරියටත් තව තවත් හරබර රසවත් දේ ලියන්නට දිරි ලැබේවා.
ReplyDeleteස්තූතියි...ස්තූතියි
Deleteඑකසිය පණහට - සුපැතුම් මුලින් එක්කොට
ReplyDeleteතව තව ලියන්නට - තියෙනව නොවැ හැබෑවට
කියලා මතක් කොට
කියමි 'ලියපං ලොකූ හනිකට'
ලියනව ලොකා ලියනව මම මොහොත බලා...
Deleteඑන්නද ගිහින් ඉසඹු නොදෙන ලොක්කන්ට තලා..?
මෙන්න වැන්දා
Deleteතල නම් එපා කිව්වා
මම ලෙඩ ගෝතෙ හින්දා
උඳු මුං හොඳා කිව්වා!
150ට සුබ පැතුම්. ඔබේ ලිපි වෙනස්, රසවත් . දිගටම ලියන්න
ReplyDeleteස්තූතියි පැතුම්...පුලුවන් තරම් විවිධත්වයකින් යුතුව ලියන්ඩ උත්සාහ ගන්නම්...
Deleteසුබ පැතුම්150 ට වගේම.තව ඉස්සරහට ලියන්නත්
ReplyDeleteකාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවටත් සුභ පැතුමටත් මිච්චම් නන්ඩ්‍රි!!!
Deleteසුබ පැතුම් !
ReplyDeleteNative Americans
http://blogs.reuters.com/photographers-blog/2011/05/12/capturing-souls/
https://skeptics.stackexchange.com/questions/8380/did-some-cultures-believe-that-photography-can-steal-your-soul
Islamic
https://www.dar-alifta.org/Foreign/ViewFatwa.aspx?ID=5987
:-D :-D
https://www.firstpost.com/tech/news-analysis/cameras-steal-souls-new-research-3560455.html
ස්තූතියි ප්‍රා ජේ...මීට පස්සෙ එකෙක්ට මගෙ ෆොටෝ එකක් ගහන්ඩ දෙන්නෙ නෑ....!!!
Deleteමාත් ලිවීම ඉක්මණ් කළා... වැඩේ තියෙන්නෙ, සමහර ලියවිලි බ්ලොග්වල දකින්න කලින් ෆේස්බුක් එකේ දකින පුරුද්දක් ඇති වෙලා තියෙනවා. ඒක අලුත් ප්‍රවණතාව වෙන්නැති.
ReplyDeleteකොහොම හරි බ්ලොග් එකත් යාවත්කාලීන කරමු දැති හුළහ තුමා....
Deleteඑකසිය පණහක් ලිවීම ලොකු ජයක්! දිගටම ලියන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteස්තූතියි ඔබතුමාට!!
Deleteආයුබෝවේවා!
ReplyDeleteහැට්ටර් ලොක්කා...තැන්ක් යූ වේවා!! තැන්ක් යූ වේවා!!
DeleteCongrats on your milestone.අපිට ලබා දෙන දැනුමට සහ විනෝදයට ඉස්තුතියි.
ReplyDeleteකොරෝනා කාලෙ හැමෝම productive සහ පවතින දෙයක් කරන්න හිතන එක ගැන නම් සතුටුයි, හැම කලු වලාවකම රිදී රේඛාවක් වගේ.
Thank you very much Lotus...කොරෝනාව අභියෝග එල්ල කරන කොට අපි කොහොම හරි ඒ අභියෝග ජයගන්ඩ ඕන නේ...ඒකනේ මනුස්ස ගතිය!!!
Deleteජයවේවා! දිගටම ලියන්න.. දිගටම කියවනවා!!
ReplyDeleteස්තූතියි කුෂ්....කට්ටකාඩුව කියවන අය තමා ලියන්ඩ පොලඹවන්නේ...පුලුවන් කාලයක්, ලියන්ඩ දේවල් තියෙනකල් ලියන්ඩ බලනවා...
Deleteමෙන්න වැඩක් පටන් ගත්ත. බ්ලොග් තරගයක් ම නෙමේ. මගේ කතාව ලියාගෙන යන්න කට්ටියම. 1, 2, 3, 4, වශයෙන්. තමන් දාන්න මාතෘකාව.
ReplyDeleteබ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් - 1
https://kolambagamaya.blogspot.com/2020/11/1.html
කට්ටකාඩුවට ලබා දුන්න ගෞරවය වෙනුවෙන් අප්‍රමාණව ස්තූතියි...මාත් ලියනවා කථාවක් මේ කථාවට පසු වදනක් විදිහට....ළගදීම....
Deleteනොවරදවාම බලන බ්ලොග් එකක්.. ලොකු මල්ලි රජ්ජුරුවන්නෙ පැටිගිරිය බොහොම රහට කියල දුන්නට පස්සෙ තමයි මම ඉතිහාසය කියවන්ඩ ඇබ්බැහි උනේ....මුන්නැහේගෙ ලිවීමෙ රටාව හරිම සිත්ගන්න අපූරු එකක්..එකසිය පනහට දෙසිය පනහක් ආයු වැඩේවා ලොකු මල්ලියෙ...
ReplyDelete150වන ලිපියට සුභපැතුම් .මේ කොමෙන්ටුව ලියවෙන්නේ මුල් පෝස්ටුවෙන් මාසෙකට පස්සේ. ඔබට මේක කියවන්න ලැබෙයිද දන්නෑ.ඔබ ලිපි 50ක් ලියන්න අවුරුදු දෙකක් ගත්ත එක පුදුමයක් නෙවෙයි. ඔබේ ලිපිවල මම දකින විශේෂම ලක්ෂණය තමයි මූලාශ්‍ර සොයායෑම සහ ඒ සබැඳි විස්තර උපරිමයෙන් පලකිරීම. ඔබ එකම මාතෘකාවකට කොටුනොවී විවිධත්වයෙන් ඉහල ලිපි පලකරනවා. ගොඩක්ම ස්තූතියි. වැඩි වඩියෙන් ලියන්නට උත්තේජනය, කාලය සහ ශක්තිය ලැබේවා.
ReplyDeleteCongratulations on your 150th Post. Perhaps you may not see my comment as it is nearly a month since the original post. Your taking over 2 years for the last 50 posts is not a surprise. Specialty of your writing is diving deep into the source, including maximum details, and maintaining diversity. This is not an easy task and more time consuming than writing a biography, elaborating on area(s) of expertise, or addressing current affairs. A writer’s contribution will not be measured by the volume but by the quality, diversity, and ability influence. You are leading in all 3. Wish you motivation, space and courage to continue.
කියවන කෙනාට යමක් දැනගන්න ලැබෙන බ්ලොග් එකක්....
ReplyDeleteසුබ පැතුම්..!