සමහර විට ලොකු ලොකු දේවල් අමතක උනාට පොඩි පොඩි දේවල් අපේ ජීවිත කාලෙ පුරාම මතක තියෙනවා. මට තාම මතකයි මම පොඩි කාලේ ගිය ඉස්කෝලේ සිංහල උගන්නපු ගුරුතුමී පහ වසරෙදි සමණලයා බිත්තර දමන්නේ කොළයේ යටි පැත්තේය කියල උගන්නනවා. මට තාම හිතා ගන්ඩ බෑ ඇයි ඒ කාරනේ මතක තියෙන්නෙ කියල. එහෙම මතක තියෙන සිද්ධි එක්ක අපි නොදන්න යමක් යටිහිතේ තැන්පත් වෙනවද? සුවදක්? රූපයක්? නැත්තං අතීත මතකයක්?
නිදිගෙ පංච තන්තරේ ලියන
අපේ නිමල් දිසානායක නොහොත් ලොකා මහතා එතුමාගෙ ජීවිත කතාව අමු හිංගලෙන් ලියන ගමන්
මම එතුමාගෙ ලිපියකට දාපු කමෙන්ට් එකක් ගැන ලොකු විස්තරයක් හොයල මටත් කිව්ව. ඒ
කතාවට පසුබිම් උනේ අම්පාරෙ තියෙන පොත් කඩයක්. මම ඒ කඩේ දැනගෙන හිටියේ මීට අවුරුදු
15-20 විතර කලියෙන්. බාර්, හෝටල්, සුපර් මාකට් වගේ දේවල් දවසින් දවස වැඩි වෙද්දි
කොළඹින් පිට පලාතක තියෙන පොත් කඩයක් - මං මේ කියන්නෙ නවකථා, කෙටි කථා, ඉතිහාස
පොත්, කවි පොත් වගේ මුද්‍රිත පොත් පත් තියෙන කඩ ගැන (අභ්‍යාස පොත් විකුනන්ඩ තියෙන
කඩ වලටනේ අපි දැං පොත් කඩ කියල කියන්ඩ පුරුදු වෙලා තියෙන්නෙ!!)- බංකොලොත් වෙලා වැහිලා යන්නෙ නැතුව තාම තියෙනවා කියල
දැනගත්තු එකත් සංතෝසෙට කාරණයක්. ඒත් එක්කම මතක් උනා අපි නාඹර කොලු ගැටයා කාලෙ
වෙච්ච සිද්දියක්. මං මේ සිද්දිය කිසි හැංගිල්ලක් නැතුව කියල දාන්නෙ අපේ නිදිතුමා
ගේ මග පෙන්වීම අනුව යමින්.
මං මේ කියන්ඩ යන කාලෙ සුනාමියට
පස්සෙ අවුරුද්දක් දෙකක් විතර ගෙවිච්ච කාලයක්. ‘දිසාපති පන්හිද’ බ්ලොග් අඩවිය ලියන
ලංකාවෙ හිටපු ප්‍රවීන පරිපාලන නිළධාරියෙක් වෙච්ච සුනිල් කන්නංගර මහත්තයා අම්පාරෙ
මහ දිසාපති විදිහට පත්වෙච්ච අලුත කියලයි මට මතක. එහෙම නැත්තං එතුමා එහෙට මහ
දිසාපති වෙලා එන්ඩ ටික කාලෙකට ඉස්සර. මුලු ලංකාවෙම කච්චේරි, දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල
බවට පත්වෙලා මහ දිසාපති වරු දිස්ත්‍රික් ලේකම් වරු බවට පත් උනාට අම්පාරෙ එහෙම උනේ
නෑ. එතුමගේ නිළ වාහනේ එතකොටත් තිබ්බෙ මහ දිසාපති කියන බෝඩ් ලෑල්ල. මගෙ මතකය හරි නම්
මගෙ කිට්ටු මිත්‍රයෙක්, ගුරුවරයෙක් වෙච්ච හේරත් අබේවීර මහත්තයා (එතුමා තමයි පස්සෙ
කාලෙක පළාත් ලේකම් වෙලා ඉන්දැද්දි කොටි ත්‍රස්තවාදීන් අතින් මිය ගියේ ත්‍රීකුණාමලේදී)
ඒ වෙනකොට අම්පාරෙන් ගිහිං. එහෙම නැත්නං එතුමා අම්පාරෙ හිටපු අන්තිම කාලෙ.
දෙමාපියෙක් වගේ අම්පාරේ වඩ කටයුතු කරන්ඩ ඕන විදිහ කියල දුන්නෙ අබේවීර මහත්තයා. මං
හිටියෙ දිසාපති කන්තෝරුවත් එක්ක කිට්ටුවෙන් වැඩ කරපු ආයතනයක. කොටිම්ම ඒ කාලෙ කච්චේරිය
අපේ ගෙදර වගේ තමයි.
අපේ කන්තෝරුවේ හිටියා
ලස්සන ගෑණු ළමයෙක්. කසාද බැදලත් නෑ. කොල්ලෙක් හිටපු බවකුත් දැනගන්ඩ තිබ්බෙ නෑ. ඉතිං
මගේ විතරක් නෙවෙයි කන්තෝරුවේ හිටපු හුගක් අවිවාහක කොල්ලන්ගේ නෙත් විතරක් නෙවෙයි
සිතුත් පැහැර ගන්ඩ මේ දැරිවිට පුලුවන් කම ලැබුනා. අම්මපා කිව්වට ඇස් වහක් කට වහක්
නෑ ඉටි රූපෙ වගෙයි උන්දැ! කටහඩ පොඩි බෙලෙක්ක හොලවන විදිහක් උනාට යන එන ගමන බිමන
පවා ලතාවකට කලාවකට තමයි මේ දැරිවි සිද්ද කලේ. අපි වගේම දුර පළාතකින් ඇවිත් බෝඩිමක
රෑ කාලෙ ගත කරපු අපිට දවල්ට අපේ ඔෆිස් එක
එළිය කරපු ඒ දැරිවිව දැක්කත් බඩ පිරෙනවා. සත්තයි! බොරුනං බලන්ඩකො තමුන්නැහෙලම කාල
යන්ත්‍රයක් හදාගෙන ඒ කාලෙට ගිහිං.
ඒ කාලේ අම්පාර ගැනත්
යමක් කියන්ඩම ඕන. යුද්දෙන් බැට කමින්, හෙම්බත් වෙලා හිටපු අම්පාර තාම ජීවත් උනේ ඩී.
එස්. සේනානායක මහත්තයාගෙ කාලෙ. කොටිම්ම ගල් ඔය ව්‍යාපාරය ඇරුණම ලොකු දියුණුවක්
අම්පාරට ලැබිලා තිබුනෙම නෑ. මට මතක විදිහට ඒ වෙනකොටත් මාවිල් ආරු මුදගැනීමේ ක්‍රියාන්විතය
පටං අරං තිබ්බේ නෑ. හවස හත විතර වෙනකොට අම්පාර හොල්මන් නගරයක් වගේ. රෑට කන්ඩ දෙයක්
ගන්ඩවත් තිබ්බෙ කඩවල් දෙක තුනක් විතරයි. ඒ කඩවල් වලත් නොවැරදීම තිබ්බෙ ෆ්‍රයිඩ්
රයිස් කියල විකුණපු තෙල් තාච්චියක බත් කර කරලා ගත්තු කෑම වර් ගයකුයි කෑවොත්
පහුවදාට හය හත් පාරක් කක්කුස්සියේ තපින්ඩ වෙන කොත්තු කියල කෑමකුයි.
ඉතිං ඈත ගම් දනවු වලින්
ඇවිත් අම්පාරේ රස්සාව කරපු අපි වගේ අයට තිබ්බේ ප්‍රධාන කෑම වේලවල් දෙකයි. උදේටයි
දවල්ටයි. උදේට කන්ඩ මරු කඩයක් තිබ්බා පොල් වගා ජනපදය හරියෙ. ටවුමෙ ඉදන් ටිකක් ඈත
උනත් අපි මෙතෙන්ට ගියේ අඩු ගානකට බඩ පිරෙන්ඩ කන්ඩ පුලුවන් හිංද. මට තාම හිතා ගන්ඩ
බෑ අගල් නවයක් දහයක් දිග හොදට පැණිපොල් දාපු ලැවරියා එකක් රුපියල් හතරට පහට දුන්නෙ
කොහොමද කියල ඒ කඩේ. ඉදියාප්ප උනත් දහයක් විතර කෑවම හොද ගණං! මට තව හේතුවක් තිබුනා
ඔය කඩේ හරියට යන්ඩ. ඒ මාත් එක්ක එකට කැම්පස් එකේ ඉගෙන ගත්තු සහෝදරයෙකුත්
සහෝදරියකත් ඔය ජනපදයේ පදිංචි වෙලා ඉදීම. මට මතක තිබ්බේ ඒ අයගේ ඇඩ්‍රස් වල පොල් වගා
ජනපදය කියල තිබ්බ කියල විතරයි. දැං වගේ ටෙලිෆෝන් පාවිච්චියක් නැති ඒ කාලේ සම්බන්ධතා
පවත්වා ගැනීම කොච්චර අමාරුද කියල කියන්ඩ දෙයක් නෙවෙයි. ඇත්තටම ඔය කියන කාලේ වෙනකොට
ජංගම දුරකථන පාවිච්චිය ජයටම පටං අරං. ප්‍රශ්නේ තිබුනෙ මම ඔවුන්ගෙන් සමුගත්ත කාලයෙදි දුරකථන භාවිතයක් නොතිබ්බ
හිංදා ඔවුන්ගේ දුරකථන අංක මා ලග නොතිබ්බ එක. ඔය කඩේට ගිය හැම වෙලාවකම වගේ ඔවුන්
ගැන විපරම් කලත් කිසි තොරතුරක් හොයාගන්ඩ බැරි උනා.
ඔහොම ටික කාලයක් ගියාට
පස්සේ අම්පාර වටේ තිබ්බ එක එක ලස්සන තැන් බලන්ඩ යන්ඩ අපි පුරුදු උනා. බුද්ධංගල, රජගල, ගොනාගොල්ලෙ පුංචි සීගිරිය වගේ තැන් බල බලා අපි ඇවිද්දා හවස් වරු වල. අන්න එතකොට තමයි අපේ
ඔෆිස් එකේ වැඩ කරපු සෙකියුරිටි අයියා ආරංචියක් ගෙනාවේ මලයඩි කන්ද ගැන. අපිටත් ඕන
වෙලා තිබ්බෙ මොකක් හරි අලුත් තැනකට යන්ඩ. නැතුව මලයඩි කන්දේ විශේෂත්වයක් අපි
දැනගෙන හිටියේ නෑ. සෙකියුරිටි අයියලගෙ ගෙවල් තිබ්බෙත් හිගුරාන සීනි කර් මාන්ත
ශාලාව කිට්ටුවමයි. ඒ හින්ද මලයඩි කන්ද බලන්ඩ යන කට්ටියට රෑ කෑම සෙකියුරිටි අයියලගෙ
ගෙදරින් කියපු ගමන් රෑට හරියට කන්ඩ විදිහක් නැතුව හිටපු හැමෝම මේ ගමනට එක්කහු
වෙන්ඩ ආවා. ඒ විතරක් නං බැරියෑ අර මං ඉස්සරලා කියපු දැරිවිත් කිව්ව අනේ මාත් ආසයි
මලයඩි කන්ද නගින්ඩ එන්ඩ කියල.
ආ...ඉතිං යංකො නංගි. අපි
ඔක්කොමත් යනවා. අපි ඔයාව එක්කගෙන ඇවිත් බෝඩිම ළගින්ම බස්සන්නං කියල ළකුණු දාගත්තේ
වීරසිරි. වීරසිරි කියන්නෙත් අර දැරිවිට බැල්ම දාගෙන හිටපු චරිතයක්. මොන කරුමෙකටද
මංදා මට ඔය වගේ ගණදෙවි නුවණවල් පහල වෙන්නේ නෑ.
අනේ අයියා එහෙනං මාත්
එන්ඩද?
එන්ඩ එන්ඩ නංගි. එස් ඕ
උනත් කැමති වෙයි ඌ වැඩ කරන කන්තෝරුවේ ලස්සන ගෑණු ළමයි ඉන්නවා කියල ගමේ අයට
පෙන්නන්ඩ!
අනේ විහිලු නෙවෙයි
අයියා...ඇත්තටම අහන්නේ. එහෙනං මං බෝඩිමට කියන්ඩද?
හරි හරි. ඕන නං මාත්
එන්නං බෝඩිමේ ඇන්ටිට කතා කරන්ඩ. ඒ ඇන්ටි මාව හොදට අදුනනවා. මතකනේ ඔයාට බෝඩිම හොයල
දුන්නෙත් මමනේ!
(අපායට ගියත් කළින් යන්ඩ
ඕන කියල කියන්නෙ ඔය වගේ වෙලාවට තමයි. ඒ කියන්නෙ අපි නොදැන හිටියට වීරසිරියා ඇම
දාලා හුගක් කල්. තව ටික දවසකින්ම මේකි වීරසිරියා එක්ක සෙට් වෙනවා කියන එක අහන්ඩත්
දෙයක්ද?)
අනේ එහෙම පුලුවන් නං
ලොකු දෙයක් අයියා!!
(හුහ්...අයියා ඈ....! කොහොමද
සිරික්කිය. මේකි අයියා කිව්වෙ නිකං ලතාවකට ඇදලා පැදලා නේද? මේ කෙල්ලගෙත් කැමත්තක්
තියෙනවද දන්නෙ නෑ වීරසිරියා ගැන. ආයෙ මොකද දැං ඉන්න උඩිච්චියොත් ඉතිං හතර කොන
පාගලා කස්තිරං අල්ලපු එවුන් නේ! ෂැ: යකෝ මට බැරි උනානෙ මෙච්චර කල් ඉදලා මේකිට
වචනයක් කතා කර ගන්ඩ. මොන එකක්ද මංදා ටෝකක් දාන්ඩ කියල මොකෙක්වත් ඒකි ලග නැති
වෙලාවක් බලලා ලගට ගිය ගමම්ම මගෙ කකුල් දෙකත් වෙවුලලා, කටේ කෙළ හිදිලා හීනි දාඩිය
පාරක් දානවනෙ!)
හරි මං බෝඩිමෙන් අවසර
අරං දුන්නොත් මට මොනව දෙන්නෙ?
මොනව දෙන්ඩද ඉතිං?
එහෙනං මං එන්නෙ නෑ.
තනියම ගිහිං බෝඩිමේ ඇන්ටිගෙන් අවසර ඉල්ලගන්න එකයි තියෙන්නෙ!
මං ඉල්ලගන්නවා තමයි!
දෙයි දෙයි බේං කියල! මං
දන්නවනේ උන්දැගේ හැටි!
අනේ වීරසිරි අයියා ඔයා
හොද එක්කෙනා වගේ බෝඩිමේ ඇන්ටිට කතා කරනවා නේද?
මොනවද දෙන්නෙ?
මං අයිස් ක්‍රීම් එකක්
අරං දෙනවා!!
(හපොයි බුදු අම්මේ! මේ
වගේ කතා අහන්ඩ මොකට මං ඉපදුනාද? මේකි වීරසිරියට අයිස් ක්‍රීම් කවනවා බලං ඉන්ඩ තරං
මං අවාසනාවන්ත උනානෙ. අනෙ මගෙ බල්ලවත් කැමති වෙන්නෙ නෑ ඔය උර චක්කර මාලෙට. ඒ උනාට
කොහොමද දෙයියනේ එක ඔෆිස් එකක වැඩ කරන්නේ මේ ඉටි රූපයක් වගේ ඉන්න කෙල්ල අර
වීරසිරියා වගේ එකෙක් එක්ක නඩලං නටනකොට!)
වීරසිරි, අර කෙල්ලගේ
බෝඩිමට යද්දි මං අම්පාර ටවුමට බඩ ගෑවේ හෝටල් ඇරුනම මගේ ප්‍රියතම නවාතැන වෙලා තිබ්බ
වැලිගම පොත් සාප්පුවට. ඔය අලිගම පොත් සාප්පුවේ තිබ්බ හොද තමයි පැයක් දෙකක් යනකල්
පොත් පෙරල පෙරල බල බලා හිටියට මේකා පොතේ කොළ ඉරනවාදැයි විපරම් කරන්නට එන ගොබිලන්
නොසිටීම. ඉතිං පොතක් ගන්ඩ වගේම පොතක් පෙරලන්ඩත් හොද තිප්පොලක් එතන. මම සුසුපුරු
විදිහටම පොත් දිහා බල බල යද්දි එක පාරටම දැක්කා අපේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ලියාපු “පාචීන පස්ස- උත්තර
පස්ස- නැගෙනහිර පළාත උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” පොත. මගෙ හිතේ කොනකින් එක
පාරටම පොඩි ගිනි දැල්ලක් පත්තු උනා. මේ පොතේ මලයඩි කන්ද ගැන තියෙන්ඩ පුලුවන් නේද
කියල. පොත අරං කියවලා බැලින්නං මම හිතුවා හරි. මලයඩි කන්ද ගන විස්තර ඔක්කොම ඒකෙ
තියෙනවා. මාත් සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්තා පොත සල්ලි දීලා. අරං අකුරක් නෑරා
කට පාඩම් කලා මලයඩි කන්දේ විස්තරේ.
අපේ වීරසිරියා අර
ගෑල්ලමයාගෙ බෝඩිමට ගිහිං අවසර අරං දුන්න හිංදද නැත්තං ඒ ලමයාම අවසර අරංද මං දන්නෙ
නෑ අපි මලයඩි කන්ද තරණය කරන්ඩ හිතං හිටපු දවසේ කොහොමින් කොහොම හරි ඒ ළමයයි තවත්
අපේ ඔෆිස් එකේම වැඩ කරපු ගෑල්ලමයි දෙන්නෙකුයි අපේ ගමනට සම්බන්ධ උනා.
අපේ සෙකියුරිටි අයියා
අපිව බොහොම සාදරෙන් පිළි අරගෙන එයාගෙ ගෙදරට එක්කගෙන ගියා. ඒ කන්ද නගින්ඩ ඉස්සර.
දැං අයියා මේ කන්දෙ
තියෙන විශේෂත්වය මොකද්ද කියල අපි දන්නෙ නෑනෙ. කියන්ඩකො ඒ ගැන! මම කතාවට මුල
පිරුවා.
අනේ මහත්තයො මං ඔය
විස්තර දන්නෙ නෑනෙ. මං දන්නෙ පුරාණ නටඹුන් ගොඩක් ඔය කන්දේ තියෙනවා කියල විතරයි.
කොයි රජ්ජුරුවන්නෙ කාලෙ
හවදපු ගොඩනැගිලිලුද දන්නෑ?
අනේ එච්චර කියන්ඩ නං
මාත් දන්නෙ නෑ. පංසලේ හාමුදුරුවෝ හිටියොත් සමහරවිට අහගන්ඩ පුලුවන් වෙයි.
බැරි වෙලාවත් හාමුදුරුවෝ
හිටියොත් මගෙ ප්ලෑන් එක ගස්. එතකොට වීරසිරියයි මායි දෙන්නම එක ගොඩට වැටෙනවා. එහෙම
උනොත් මගේ ප්ලෑන් වතුරේ.
අයිය ඔය මලයඩි කන්ද
කියන්නෙ හිගුරාණ සීනි කම්මල ගාවම තියෙන එච්චර අමාරුවක් නැතුව යන්ඩ පුලුවන් කදු ගැට
දෙකක් තියෙන තැනක්ද? ඉලුක්පිටිය කියලත් කියන්වද ඔය හරියට?
ඔව්. ඔව් මහත්තයා. හරියට
හරි! මහත්තයා ගිහිං තියෙනවැයි මීට ඉස්සර?
මොන? මං කොහෙ යන්ඩද? ඒ
උනාට මගෙ හිතේ මං ඔය ගැන සෑහෙන පොත් පත් තොගයක් කියවලා තියෙනවා කියල මට දැනුයි
මතක් උනේ!!
අනේ! කොච්චර එකක්ද එහෙනං
අපිට මහත්තයාගෙන්ම විස්තර අහගන්ඩ පුලුවන් වෙයිනෙ!!
මට හරියටම ෂුවර් නෑ. ඔය
කන්ද උඩ මතක විදිහට විහාර කීපෙකම නටඹුන් තියෙනවා. කාවන්තිස්ස රජ්ජුරුවො රජ වෙන්ඩ
ඉස්සර අම්පාර පැත්තෙ යුව රාජයෙක් වෙලා ඉන්න කාලෙ කෙරෙව්වා කියලයි කියන්නෙ නේද?
ඔන්න ඔහොම මම එල්ලාවල
හාමුදුරුවන්ගේ පොතෙන් අහුලගත්තු කෑලි, ඒ වෙනකොට මං දැනං හිටපු සමහර ඉතිහාස
කතන්දරත් එක්ක රස කරල, ලුණු මිරිස් එක්කහු කරල, කරපිංච රම්පෙ තුන පහේ අඩු වැඩිය
ඔක්කොම පදමට එක්කහු කරල, අගේ වැඩි කරල කියන්ඩ පටන් ගත්තා. මං දැක්කා මෙච්චර වෙලා
වීරසිරියා ගාවටම වෙලා හිටපු අර ළමයා මගේ බුද්ධි ප්‍රභාවයෙන් මත් වෙලා වගේ මං කියන
කතන්දර වලට ඇහුම්කං දෙනවා. මගෙ කතාව දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ තාත්තගෙ තාත්තාගෙන්
පටං අරං සද්ධාතිස්ස කුමාරයා අම්පාරෙ කුඹුරු කරවපු විදිහ හරහා වළගම්බා රජ්ජුරුවො
අපේ ගෙවල් ගාව හැංගිලා හිටපු තැන දක්වාම ආව. කිව්වම මොකද මේ කතාව සෙකියුරිටි
අයියලාගෙ ගෙදර ගාව ඉදන් මලයඩි කන්ද නැගලා බහින කල්ම දිග් ගැහුනා ආයුබොවන්ඩ!
සෙකියුරිටි ආයියලාගෙ
ගෙදරදි වීරසිරියාට අඟල් පහක් හයක් ඈතින් හිටපු අර දැරිවි මලයඩි කන්ද නගින කොට
උගෙන් අඩි හයක් හතක් ඈත් වෙලා මට අඩියක් දෙකක් තරමට කිට්ටු උනා. අනේ කන්ද බහින කොට
පල්ලම හින්දද මංදා ඒ ළමය හිටියෙ මට අඟල් හය හතක් දුරින්. පල්ලම හින්දමයි කියන්ඩත්
බෑ එහෙම නං ඒ දැරිවි වීරසිරියටත් එහෙමට කිට්ටු වෙන්ඩ එපෑ. හා නැද්ද මං අහන්නෙ?
මලයඩි කන්දත් එක්ක මගේ
ප්ලෑන් එකේ පළවෙනි කොටස හරි ගියා. ඒ අර ළමයා වීරසිරිගෙන් ඈත් කිරීම. දෙවෙනි පියවර
මම ඒ ළමයට කිට්ටු වීම. ආන්න ඒක පටං ගන්නෙ කොහොමද කිය කියා හිතහිතා වැලිගම පොත්
සාප්පුවට ගියත් මං වීරසිරියට කරපු කුප්ප වැඩේ හින්දද කොහෙද ගෑල්ලමයින්ගේ හිත් දිනා
ගැනීමට පාවිච්චි කරන්ඩ පුලුවන් පොතක් හොයා ගන්ඩ බැරි උනා. දිට්ඨ ධම්ම වේදනීය කරුමේ
පඩිසං දීලා මට මාස දෙකක් විතර යනකොට මාරුවක් හම්බ උනා. එදත් එදා හිටං අද වෙනකල් අර
වගේ ඉටි කිරිස් රූපයක් තියෙන ළමයෙක් මං වැඩ කරපු කිසිම කිසි තැනක හිටියෙ නෑ. ගියපු
තැනක් ඇත්නං හිටියෙ නව සීවථික භාවනාවට ගන්ඩ හොද රූප දරන්නියො. ආන්න ඒකයි බුදු
බනෙත් කියල තියෙන්නෙ අනුන්ට වලවල් කපන්ඩ එපා කියල. තමන්ව උපමා කරගෙන අනුන් ගැනත්
හිතන්ඩ කියල!
ඔන්න දැං අපි එදා ඉදං අවුරුදු දහයක් විතර ඉස්සරහට එනවා....
ඔහොම ජීවිත ගග ගලාගෙන යන අතරෙ මම
අර කියපු මගෙ බැචීව හම්බ උනා. ඒ වෙනකොට එතුමිය අම්පාර පැත්ත අත ඇරල නුවරට සේන්දු වෙලා.
අවාසනාවකට එතුමිය පිළිකාවකට ගොදුරු වෙලයි හිටියෙ. ටිකෙන් ටික කාලය ගත වෙනකොට පිළිකා
මාරයාත් එයාව බිලි ගත්තා. අවුරුද්ද හරියටම කියනවා නං 2016. කරුමේ කියන්නෙ එතුමියගෙ
අවසාන කටයුතු සිද්ද වෙන දවසෙ මට ආපහු අම්පාරෙ රාජකාරි වැඩකට යන්ඩ වෙලා! මම කලේ උදේ
පාන්දරම මළ ගෙදර ගිහිං මගේ මිතුරියට අවසාන ගෞරවේ දක්වලා අම්පාරට පිටත් වෙච්ච එක. මගේ
වැඩ කටයුතු වේලා පහින්ම ඉවර උනේ නොහිතපු විදිහට. මගේ මිතුරියගේ වියෝව හිතේ තද දුකක්
ඇති කරලා තිබුන. ඒ හිංද මට ඕන උනා ආපහු අම්පාරෙ දන්න කියන තැනකට යන්ඩ. ඒ තමයි වැලිගම
පොත් සාප්පුව.
මේ වෙනකොට අම්පාර මම
ඉස්සරල කියපු තත්වෙට වඩා හුගක් වෙනස් වෙලා. වැඩේ කියන්නෙ මම විසි තිස් වතාවක් ගිහිල්ලා
තියෙන ඒ පොත් සාප්පුව හොයා ගන්ඩවත් මට බැරි උනා. ඒ හින්දා එදා හවස් වරුව ගත උනේ සේනානායක
සමුද්‍රයේ වැව් බැම්ම උඩ අපෙන් සදහටම වෙන් වෙලා ගිය සොහොයුරිය ගැන මතකයන් එක්ක!!
ඔන්න ඔය සිද්දි දෙක හිංද
මම හිතනවා ඔය පොත් සාප්පු කියන එව්ව හදිස්සියේ මේ ලෝකෙ ප්‍රාදූර් භූත වෙලා ආපහු
අන්තාරස්දාන වෙලා යන මහා මැණික් කැට තොගයක් පුරවපු දිව්‍ය විමාන කියල. නැත්තං කොහොමද
මම මලයඩි කන්ද ගැන හිත හිතා (කවුද කිව්වෙ අර දැරිවි ගැන හිත හිතා ඉන්දැද්දි කියල?)
ඉන්න වෙලාවෙ තිබ්බ පොත් සාප්පුව, මගේ සොහොයුරියකගෙ අවසාන කටයුතු සිද්ද වෙන වෙලාවෙ
අතුරුදහන් උනේ? මේ දිව්‍ය විමාන වල සදාකාලික තාරුණ්‍යය ගෙනදෙන අමෘතය තියෙනවා අර මැණික්
කැට අතරේ හැංගිලා. අපි ඒ මැණික් කැට පීරමින් හොයා ගන්ඩ ඕන අමෘතය!! ඒ සදාකාලික තාරුණ්‍යය
හොයනවා නං.
එහෙම නැතිව අර පංච කල්‍යාණයෙන්
යුක්ත වෙච්ච දැරිවිටයි වීරසිරියාටයි උනේ මොකද්ද කියල නං ඔබතුමන්ලා තුමියන්ලා හොයන්නෙ
ඒක අමෘතය හෙවිල්ල පැත්තක තියල රබහ කෑලි වලට රැවටිලා ඉදීම වගේ වැඩක්!
අපි හැමෝටම අමෘතයම හොයා
ගන්ඩ වාසනාව ලැබේවා!!
අම්පාරත් ඇඹිලිපිටිය , පිලියන්දල වගේ ගමක් , ග්‍රාම සේවක කොට්ඨාසයක් හෝ වෙනත් ලොකු බිම් ප්‍රදේශයක් නොමැති නගරයට පමණක් ඒ නම තියන එකක්ද?
ReplyDeleteපැහැදිලි කිරීම - මං කිව්වෙ පිලියන්දල නගරයට හා ප්‍රදේශයට ඒ නම තිබුනට එය පිහිටා ඇති බිම අයිති වෙන්නෙ වෙන නම් වලින් තියන ගම්වලට.
Deleteහැමදාම වගේ හොද ප්‍රශ්නයක් ප්‍රා ජේ. මගෙ හිතේ අම්පාර කියන නගරය ඇතිවෙන්නෙ ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමයත් එක්ක. එක අතකට අම්පාර දිහා ඒ කාලෙ අනිත් දිස්ත්‍රික්ක වල අය බලල තියෙන්නෙ අර ඇමරිකාවෙ Wild West දිහා බලපු විදිහට කියලයි මට හිතෙන්නෙ. සූරා නොගත් මහා ධන නිධාන ඔවුන්ට ආරාධනා කරල තියෙන්නෙ. 1960 දශකයේදී මඩකලපු දිස්ත්‍රික්කයෙන් වෙන් කරගත් ප්‍රදේශයක් තමයි අම්පාර දිස්ත්‍රික්කය විදිහට නම් කරන්නේ. හැබැයි ඒ වැඩේ එච්චරම සාර්ථකව වෙලා නෑ කියලයි මට හිතෙන්නෙ. තාම මහ ඔය ආසන්නයේ තියෙනවා මඩකලපුවට අයිති ගම්මාන. අනික් අතට වෙරළතීරයේ ඔකඳ වගේ පැත්තක ඉදන් දෙහිඅත්තකණ්ඩිය දක්වා කිලෝමීටර් සීයකට වඩා දුර ප්‍රදේශ අයිති වෙන්නෙ අම්පාර දිස්ත්‍රික්කෙට.
Deleteඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්ඩ තරම් තොරතුරු මං ගාව නෑ. හැබැයි හොයාගන්ඩ පුලුවන් වෙයි. නමුත් අලුතින් ඇති කරපු නගරයක් හිංදා ඔබ කියනවා වගේ 'අම්පාර' යටකර ගත්තේ වෙන ගම් කීපයක් වෙන්ඩ ඉඩ හුගක් වැඩියි. අම්පාර ප්‍රදේශයට ඉස්සර කිව්වෙ වැව්ගම් පත්තුව කියල. 1955 දි මඩකලපුව දිස්ත්‍රික්කෙට අයිති ප්‍රදේශ අතරෙ වැව්ගම්පත්තුවත් තියෙනවා.
https://www.survey.gov.lk/sdweb/pdf/surveydocuments/22%20of%201955.pdf
1920 විතර සේනානායක සමුද්‍රය හදන්න මුල්ම යොජනාව ඉදිරිපත්කල මඩකලපුවේ ඉංජිනේරුවා එයාගේ ගැටළුව වුන ගංවතුර නවත්තන්න ඩෑම් එකක් හදන්න තැනක් හොයාන යන ගමනේ කරත්ත වලින් යාහැකි අවසාන ගමනාන්තය විදිහට අම්පාර කියන ගම්මානය නම් කරල තියනවා කියා පේරාදේණියේ සිලොන් රූම් එකේ ගල්ඹය ප්‍රොෙජක්ට් රිපෝට් එකක තිබුනා, ඒකේ විදිහට ඒ වෙනකොට අම්පාරේ වැව තිබිලා තියනවා වගේ මතකයි.
Deleteආඩම්බරයි මට මම ගැන - චලන ගැන
ReplyDeleteමිනිහයි මට හොයල එව්වේ - කියපු තැන
වැලිගම කඩෙන් ගිය දුර - ගැන හිතාගෙන
ඉන්නේ යන්න 'මලයඩි' හිත තියාගෙන
වෙන්කොට තිබේ අම්පාරේ යන්න දින
අදහස් නම් තියේ තැන් ගොඩකට යන්න
බැරිවී වැඩි වුණොත් දවසට පැය ගණන
යනවා ෂුවර් මලයඩි ගමනත් ඔන්න
ආඩම්බරයි මට ඔබ ගැන -චලන ගැන
Deleteකෙනෙකුට පිහිට වීමයි අම්පාරෙ ගුණ
හැබහින් නැතත් සිහිනෙන් නිතරම විදින
වැව්ගම් පත්තුවේ රහ නෑ තව අවසාන
යුද විරුවන්ට බත දුන් මේ සොදුරු බිම
පරසතු වැනිය එරටුන්ගේ මිනිස්කම
හැම අගලකම ඇති නටඹුන් ගැන බැලුම
දවසක් කොහෙද සියවසකුත් මදි මිතුර
This comment has been removed by the author.
ReplyDeleteදැයට කිරුළ නිසාත් අම්පාර ගොඩන් වෙනස් උනා.අම්පාර නගරය සුන්දරයි.කොටි කාලේ දුශ්කර උනත් දැන් අම්පාර නුස්කලන්කව ජිවත් වෙන්න දියුණු නගරයක්.අග නගරෙන් ඈත උනත් හරි ලස්සන විවිධාකර මිනිස්සු ඉන්න නගරයක්.ස්තුතියි අඅම්පාරේ මතකයන් මේ විදියට අකුරු කරනවට..ඒක ආඩම්බරයක් මට නම්...🙏
ReplyDeleteචලන ඔබට ස්තූතියි වැලිගම පොත් සාප්පුව තාම තියෙන බවට ආරංචිය දුන්නට. ඒක පරණ අමතකවෙලා ගිය නෑදෑයෙක් හම්බ උනා වගේ හැගීමක්. ඔබ කියන දේ හරියටම හරි. අම්පාරේ හුගක් හිත හොද මිනිස්සු හම්බ උනා. මම කාලයක් උත්සාහ කලා මායාරංජන් හිටපු පළාත් වලට යන්ඩ. නමුත් රස්සාවත් එක්ක ඒක කරගන්ඩ බැරි උනා. පුලුවන් උනොත් ආයෙත් දවස් කීපෙක යන්ඩ අප්‍රමාණ ආසාවක් තියෙනවා!!
Deleteලංකාවේ සමහර නගර තියනවා අවුරුදු ගානක් ගිහිල්ලත් ලොකු සංවර්ධනයක් නොවිච්ච .අම්පාරත් ඒ වගේ කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteබාගෙවිට, අපේ ලොකා ඔය දැරිවිවත් හොයල දෙන්න ඉඩ තියෙනව...
ReplyDeleteඩ්රැකී, තරහක් තියෙනවද අම්මපා!
Delete