අලියා කියන්නේ දැනට ගොඩබිම මත ජීවත් වෙලා ඉන්න ලොකුම සතාය. පොඩි කාලේ පටම්ම අලියෙක් දැක ගන්ඩ අපිට තිබ්බේ ආසාවක්. නිතරම ලොකු ලොකු දේවල්ම කරන්ඩ අම්මලා තාත්තලා අපිව පොළඹවන හින්දමද කොහේදෝ පාරේ අලියෙක් ගියත්, අඩුම ගානේ දම්වැල් එකට හැප්පෙන ලොකු සද්දයක් පාර පැත්තෙන් ආවත් අම්මලා අපිව එක්කගෙන යනවා අලි බලන්ඩ. කව්ද කියල තියනවනේ අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නෙ නැති වැඩ දෙකක් කියලා. ඒක හිංදා වෙන්ඩැති තාමත් අපි අලි බලන්ඩ කැමති. මේ ලඟදි දවසක අලියෙක් එන සද්දයක් ඇහිලා පාර දිහා බලනකොටම මගේ හිතට ආවා අලි කියන්නේ මොක්කුද කියලා ටිකක් හොයල බලන්ඩ. මං ඉතිං ඔය සත්ව විශේෂඥයෙක්වත්, අලින්ටත් වඩා අලි ගැන දන්න ලංකාවේ හීලෑ අලින්ගේ අයිතිකරුවන්ගේ සංගමේ කෙනෙක් වත් නොවෙන හිංදා පොතක් පතක් බලලා තමයි
කරුණු හොයා ගත්තේ.
අලි ගැන පොතේ පතේ තියන දේ ඇත්තමද කියල අහගන්ඩ මං අපේ ගමේ ඉන්න අලි පිලිබඳ විශේෂඥයා - කඩේ මාමා - වත් සම්බන්ධ කරගත්තා. උන්දැගේ ගෙදර ඉස්තෝප්පුවේ සද්දන්ත කොළ පාට
ඇතෙක් ගේ පිංතූරයක් ගහලා තියන හින්දත්, ඔය ලංකාවෙ අලි රැහැට විඩෙන් විඩේ නායකත්වය දුන්න 'අලි කාරයෝ' කීප දෙනෙක්ගේ පින්තූර එල්ලලා තියන හින්දත් මට හිතුනා උන්දැ තමයි මේ වැඩේට අල්ලගන්ඩ හොඳම චරිතේ කියල. ඉතින් ඔන්න වැඩි වැල් වටාරම් නැතුව කතන්දරේ.



