Saturday, January 20, 2018

ගෙජ්ජියක් බඳිමුද?


අපේ රට හරි පුදුම රටකි. එහෙම කියන එකේ කිසි අලුත් දෙයක් තොරතුරක් නැත්තේ මේ රට ගැන දන්නා හැමෝම මේ රට මහ පුදුම රටක් බව හොදිම්ම දන්නා හින්දාය. ඒත් අපි හැමදාම වෙච්ච දේවල් ආයෙත් වෙනකොට අනිච්චේ දුක්කේ රටකට ගිය කලක්!!” කිය කියා විලාප තබන්නෙමු. එහෙම විලාප තැබිල්ලේ අලුත්ම නාටකය කාන්තාවන්ට තැබෑරුම් වලට යන එන එක තහනං කරපු ගැසට් නිවේදනය හා සම්බන්ධය. මේ නිවේදනය ගැන සමහරු බොහෝ සතුටු වන අතර සමහරු බොහෝ දුක් වෙති. නමුත් ඔය මල ජරාව කටේවත් නොතියන අපිට නං ඔය නිවේදනේ තිබ්බත් නොතිබ්බත් එකය. මොකෑ ගමේ කසිප්පු පොලට ඔය මහාණ්ඩුවේ රෙකුලාසි සතප්පහකට වැඩක් නැති හින්දාය. හැබැයි නිවේදනෙන් එලියට පැනපු එක එකාගේ පිරුවට වල පාට ගැන නං ටිකක් කතා කිරීම වටියි. ඉතින් ගැන තමයි අද කතාව.

මට මතක් වෙන්නේ අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු බණක්. කාට හරි සැක නං බලා ගන්ඩලා මහා පරිනිර්වාණ සූත්රය. දීඝ නිකායේ තියන බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්ඩ යන අතරේ දේශනා කරපු ධර්ම කොටස් අඩංගු කරලා තියන සූත්රයක්. ඔය සූත්රයේ තියනවා බුදු හාමුදුරුවෝ දේශනා කරපු සතර මහා අපදේශ. මොනවද මේ සතර මහා අපදේශ?


බුදු හාමුදුරුවෝ දේශනා කරනවා කව්රු හරි හාමුදුරුනමක් ඇවිල්ලා කිව්වොත් මම මේ අහවල් කාරණය ඇහුවේ බුදු හාමුදුරුවන්ගෙන් කියලා, එහෙම කියපු ගමං එකපාරටම පිළිගන්ඩ එපා කියලා. එහෙම පිලි ගන්නේ නෑ වගේම ඒක පිරිහෙලා ප්රතික්ෂේප කරන්ඩත් එපාලු. එහෙම නං මොකක්ද කරන්ඩ ඕන? අදාළ කාරණය සංසන්දනය කරලා බලන්ඩලු බුදු සසුනේ තියන ධර්මයත් විනයත් එක්ක. අලුත් කාරණය ධර්මයත් විනයත් එක්ක ගැලපෙනවානං විතරක් පිලි ගන්ඩලු. එහෙම ගැල පෙන්නේ නැත්තන් ප්රතික්ෂේප කරන්ඩලු. මේක තමයි පළමු අපදේශය. දෙවෙනි, තුන්වැනි හා හතරවැනි අපදේශ වලින් කියවෙන්නේ පිරිවර සහිත, ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසකගෙන් හෝ එවැනි සුදුසුකම් ඇති තනි භික්ෂුවකගෙන් හෝ එවැනි අලුත් කරුණක් ඇහුවොත් හැසිරෙන්ඩ ඕන විදිහ. කිසි වෙනසක් නෑ අර මුලින් කිව්වා වගේම ධර්මයත් විනයත් එක්ක ගැලපෙනවා නං පිලිගන්නවා. නැත්තං ප්රතික්ෂේප කරනවා.

දැන් ඔය මහාපදේශ කොහොමද බල පාන්නේ බාර් වල කටයුතු සිද්ද වෙන්ඩ ඕන ආකාරය කියවෙන ගැසට් එකට?

මම හිතන විදිහට නං නීතියක් තියෙන්ඩ ඕන අදාළ රටේ මිනිස්සුන්ට කරන්ඩ බැරි පුළුවන් දේවල් ගැන මාර්ගෝපදේශයක් ලබා දෙන්ඩ. එහෙම නැතුව නීතියක් තිබ්බ පලියට එව්වා සිද්ද වෙනවා හෝ කරන්ඩ පුළුවන් කියලා කවුරු හරි කියනවනං එක මෝඩ කතාවක්. උදාහරනෙකට අපි කවුරුත් දන්නවා සැකේකින් තොරව මිනී මැරුම් චෝදනාවක් ඔප්පු කරන්ඩ පුළුවන් උනොත් වරදිකාරයාට මරණීය දණ්ඩනය දෙන්ඩ පුළුවන් ලංකාවේදී. ඒකෙ අදහස ඔප්පු කර ගන්ඩ බැරි වෙන විදිහට මිනී මැරීම ලංකාව තුල කරන්ඩ පුළුවන් කියන එක නෙවෙයි. පාරේ වාහන පදවන්ඩ තියන වේග සීමාව මෙච්චරයි කියන එකෙන් අදහස් වෙන්නේ නෑ වාහන තදබදයක් තියන වෙලාවල් වලදී හරි සෙනග වැඩිපුර ඉන්න තැන වලදී හරි අර වේගෙන් ගිහිල්ලා මිනිස්සු හප්පන්ඩ පුළුවන් කියලා

පිරිමින්ට බාර් එකට යන්ඩ තහනමක් නැතුවට හැම පිරිමියාම බාර් වලට යන්ඩ ඕන කියල නියමයක් නෑ. සමහරු බොන්නෙම නෑ. සමහරු කියල ගෙන්න ගන්නවා. සමහරු ගෙදරම පෙරා ගන්නවා. ඔය ගෙදරම පෙරා ගන්න වැඩේ නීති විරෝධී උනත් එහෙම දේවල් ඕන තරං සිද්ධ වෙන බව අපි හැමෝම දන්නවා. හා නැද්ද? කියන්නේ මොන නීති තිබ්බත්, නොතිබ්බත්  මිනිස්සු තමන්ගේ උවමනා එපාකම් ඉෂ්ට කර ගන්නවා. එතකොට නීති වලින් වැඩක්ම නැද්ද?

නීති වලින් වැඩක් වෙන්නේ කවුරු හරි සමාජ විරෝධී විදිහට තම තමන්ගේ උවමනා එපාකම් පිරි මහ ගන්ඩ ගියාම වෙන අලකලංචි වලට උත්තර හොයන්ඩ. උදාහරණයක් විදිහට ඕන කෙනෙකුට අරක්කු බොන්ඩ පුළුවන් උනාට, එහෙම බීලා ගෙවල් වල මිනිස්සුන්ට තඩි ගහන්ඩවත්, තිත්ත කුණුහරුපෙන් බැන අඩ ගහන්ඩවත් අයිතියක් නෑ. එහෙම වෙන වෙලාවල් තියනවනං වගේ දේවල් වලක්වා ගන්ඩ තමයි නීතිය උදවු වෙන්නේ. තව නීතියේ අවශ්යතාවක් තමයි අපි කල යුතු, නොකළ යුතු දේවල් තීරණය කරන්ඩ මිම්මක් විදිහට එහෙම නැත්තං රාමුවක් විදිහට පාවිච්චි කරන්ඩ හැකි වීම. ලංකාවේදී බීලා කාටවත් කරදරයක් නැතුව ඉන්ඩ නීතියෙන් තහනමක් නැති උනාට සමහර අරාබි රටවල් වල මත් ද්රව් පාවිච්චිය පවා - අනුන්ට කරදරයක් වීම නෙවෙයි- රටවල නීතියෙන් තහනං. කියන්නේ අර අපි කටයුතු කලයුතු රාමුව, රටින් රටට සමහර විට එකම රටේ ප්රදේශයෙන් ප්රදේශයට වෙනස් වෙනවා.  

ඔය 'රාමුව' හදා ගන්ඩ නීතිය විතරක් නෙවෙයි ජන සමාජයේ තියන සාරධර්මත්,  තනි තනි පුද්ගලයාගේ අධ්‍යාපනයත් වැදගත් වෙනවා. එක එක ජන කොටස් වල සාරධර්ම එහෙම නැත්තං හොඳයි නරකයි කියල පිලි ගන්න දේවල් වෙනස් වෙනවා. උදාහරණයක් ගත්තොත් අපේ ගං පළාතේදී කවුරු හරි ගෑණු කෙනෙක් බීලා පාරේ වැටිලා හිටියොත්, ඒක මහ අපරාධයක්, වනචර කමක්, තුප්පහි කමක්, විදිහටයි සැලකෙන්නේ. හැබැයි වතුකරේදී මේක සාමාන් සිදුවීමකට ආසන්න දෙයක්. අපේ ගමෙන් හැතැම්ම තුන හතරකට එහා තියන රබර් වතුවල වැඩ කරන දෙමළ ජාතික කාන්තාවන් කීප දෙනෙක් බීලා වත්තේ පාර අයිනේ වැටිලා ඉන්නවා ඕන දවසක තාම බලා ගන්ඩ පුළුවන්. කියන්නේ වත්තට අදාළ 'රාමුව' නෙවෙයි අපේ ගමට අදාල වෙන්නේ. ඊට හාත්පසින් වෙනස් 'රාමුවක්' තමයි කොළඹ ඇතුළු නාගරික පෙදෙස් වල ඉහල පැලැන්තියට අදාළ වෙන්නේ. කියන්නේ ජන කොටස් හොඳයි, සම්මතයි, ගැලපෙනවා කියල හිතන පතන දේවල් වෙනස් වෙද්දී - කියන්නේ සාරධර්ම වෙනස් වෙද්දී- අර රාමුව වෙනස් වෙනවා කියන එක.

සාරාංශයක් විදිහට ගත්තොත් රටේ හෝ පළාතේ නීතියයි, තම තමුන් අයිති වෙන ජන කොටසේ සාරධර්මයි, අධ්‍යාපනයයි කියන කාරණා තුනෙන් තමයි අර ' හැසිරීමේ රාමුව' හැදෙන්නේ. බුදු හාමුදුරුවෝ දේශනා කරපු සතර මහාපදේශ වගේ කවුරු මොන විදිහට කිව්වත් නීතියයි, සාරධර්මයි, අධ්‍යාපනයෙන් ලැබිච්ච අවබෝධයයි එක්ක සංසන්දනය කරලා තමයි මිනිස්සු කළ යුතු නොකළ යුතු දේවල් තීරණය කරන්නේ. ඕක තමයි ඇත්ත. ඔය තුනෙන් එකක් විතරක් තිබ්බා කියල ලොකු වැඩක් වෙන්නේ නෑ.

ඉතින් කාන්තාවන්ට බාර් වලට යන්ඩ බාධා පැනෙව්වා කියල කාන්තාවෝ මත්ද්රව් පාවිච්චි කරන එක අඩු කරයි කියල හිතනවනං එක බොරුවක්. වගේම එහෙම යන්ඩ තියන බාධා ඉවත් කරා කියල කාන්තාවෝ මත්ද්රව් පාවිච්චිය ඉහල යයි කියල හිතනවා නං එකත් බොරුවක්. මොකද නීතිය විතරක් නෙවෙයි හැසිරීම පාලනය කරන්නේ. බාර් ඇරලා තියන් වෙලාව වැඩි හෝ අඩු කළා කියලත් පාවිච්චියේ ලොකු වෙනසක් වෙයි කියල හිතන්ඩ අමාරුයි. අපි දන්නවා පෝයට බාර් වහලා. හැබැයි පෝයට ඉස්සර දවසේ බාර් වල අලෙවිය සාමාන් දවසක ප්රමාණයට දෙගුනේකටත් වඩා වැඩියි. මිනිස්සු බාර් වහලා තියන දවසටත් පාවිච්චියට ටිකක් වැඩිපුර ගන්න හිංදා. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ බාර් වහපු දවසට 'කළු කඩයක්' නිර්මාණය වීමත්, වැඩිපුර ස්ටොක් කරපු එකෙන් වැඩිපුර අඩියක් ගහලා ගෙවල් වල මිනිස්සුන්ට වැඩිපුර කරදරයක් වීමත් විතරයි!!!

දැන් ඔය තහනම තිබ්බ පහුගිය අවුරුදු ගණනාවක ලංකාවේ කාන්තාවෝ මත්පැන් පාවිච්චි කරේ නැද්ද? ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට 2010 වෙනකොට අවුරුදු පහළොවට වැඩි ලංකාවේ පිරිමි වසරකට ශුද්ධ ඇල්කොහොල් ලීටර් 26.7 බොනකොට කාන්තාවෝ ලීටර් 2.9 බිව්වා. ඒ කියන්නේ දල වශයෙන් පිරිමි බොන ප්‍රමාණයෙන් නවයෙන් එක් පංගුවක්! පිරිමින්ගෙන් 56.9% ජීවිතේ කවදාවත් නොබී ඉන්දැද්දී කාන්තාවන්ගේ ඒ අගය 80.5%. අනික් පැත්තට ඒ කියන්නේ ලංකාවේ කාන්තාවෝ 19.5% කවදා හරි මත්පැන් පාවිච්චි කරලා තියනවා කියන එක. තව ඕනද ආණ්ඩුවේම සාක්කි කාන්තාවෝ මත්පැන් පාවිච්චිය හෝ විකිණීම කරනවා කියන එකට. මෙන්න 2017 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන. සුරාව සම්බන්ධ වැරදි හින්දා 2014 දී කාන්තාවෝ 135 සිර ගත වෙලා. මේ ගණන 2015 දී 69 ක්. 2016 දී 74 ක්. තව අහු නොවිච්ච කී දාහක් ඇද්ද? මේ කවුරුවත් හිරේට දාලා තියෙන්නේ ඔය කියපු ගැසට් නිවේදනේ අනුව නෙවෙයි.

අනික් අතට මෙච්චර නීති තද කරන්ඩ හදන සුද්දවන්තයින්ගේ පැටිකිරිය බලපුවම අය හත් පොලේ ගා ගත්තු අය බව පැහැදිලියි. කාන්තාවන්ගේ සුරක්ෂිත බව, ආත්මාභිමානය වගේ දේවල් රැකලා දෙන්ඩ හදන්නේ කවුද? ගුරුවරියක් දන ගස්සවපු පාහරයට ආසන සංවිධායක කමක් දෙන, විදුහල්පතිනියක් දන ගස්සපු බල්ලෙක් මහ ඇමති කරලා තියා ගෙන ඉන්න, තරුණියකගේ හැසිරීමට මඩු වල්ගෙන් තලන්ඩ ඕන කියන මිනිස්සු තමයි මේ කාන්තා අභිමානය රැකලා දෙන්ඩ දත කන්නේ. ඔය වගේ චරිතයක් ගැන මගේ එක් ගුරුතුමෙක් වෙච්ච මහාචාර්ය තුමෙක් කියපු කතාවක් මතක් උනා. එතුමාට පින් දෙන ගමන් අපි කතාව බලමු නේද?

ඔන්න ඈත එපිට ගමක පන්සලක් තිබ්බා. පන්සලේ වැඩ හිටියේ සාමාන් හාමුදුරුනමක්. උන්වහන්සේගේ තනි නොතනියට දවසක් උපාසක මහත්තයෙක් ආවා. මේ උපාසකයා පන්සලේම නතර වෙලා පන්සලේ වැඩ පොළ ටික අපූරුවට කරගෙන ඉන්න ගමන් බන භාවනා එහෙමත් කරන්ඩ උනන්දුවක් පෙන්නුවා. ඉතිං හාමුදුරුවොත් පුළු පුළුවන් විදිහකට භාවනා ක්රම එහෙම උගන්නලා උපාසක තුමාට උදවු කළා. පන්සලේ දායකයන්ටත් හරි සතුටුයි. සමහරු නං හිතුවේ මේ ඇවිල්ල ඉන්නේ  හාමුදුරුවන්ටත් වඩා ගුණ යහපත්, සිල්වත් උපාසකයෙක් කියලයි. ඉතින් සමහරු හාමුදුරුවන්ට නොවැන්දත් උපාසක මහත්තයාට වැඳලා යන්ඩ පුරුදු උනා.

ඔහොම ටික දවසක් ගියාම එක දවසක උදේ විහාර මලුව පැත්තෙන් පොඩි ගෙජ්ජි සද්දයක් හාමුදුරුවන්ට ඇහුනා. හාමුදුරුවොත් කල්පනා කරා, කරා එත් මේ සද්දේ මොකද්ද කියලා හිතා ගන්ඩ බෑ. අන්තිමට හාමුදුරුවෝ විහාර මළුවට වැඩලා බැලින්නං අර උපාසකයා ගෙජ්ජියක් කකුලේ බැඳගෙන මිදුල අතුගානවා.

උපාසක මහත්තයා ඔය මොකද ගෙජ්ජියක් බැඳගෙන මිදුල අතු ගාන්නේ?” හාමුදුරුවෝ ඇහුවේ පුදුමෙන්.

නෑ අපෙ හාමුදුරුවනේ මට කල්පනා උනා මම මේ මලුව අමදින කොට අපේ ඇහැට නොපෙනෙන පොඩි පොඩි සත්තු මගේ කකුල් දෙකට පෑගිලා මැරෙනවා නේද කියලා!” 

ඉතිං?”

ඉතින් අපෙ හාමුදුරුවනේ ටික ටික නමුත් අකුසල් රැස් වෙනවනේ. ඉතින් මම හිතුවා පුළුවන් තරම් අකුසල් අඩු කර ගන්ඩ විදිහක්. අඩු ගානේ සද්දේ ඇහෙන සත්තු ඉන්නවනං අයටවත් දැන් මගේ පයට නොපෑගී ජීවිතේ බේර ගන්ඩ පුළුවන්නේ!!”

හාමුදුරුවන්ට හරි පුදුමයි උපාසක මහත්තයාගේ සීලය ගැන. එක අතකින් මහන දම් පුරන තමන් තුළවත් නැති තරං සත්ව කරුණාවක් හිතේ දරා ගත්තු මේ ගිහි මනුස්සයා දිහා හාමුදුරුවෝ බැලුවේ පුදුමයත්, ගෞරවයත් මුසු හැගීමකින්.

අම්මපා මහත්තයෝ ඔබතුමා කවදාවත්ම, කිසිම පවක් කරලා නැද්ද?” හාමුදුරුවෝ ඇහුවා.

ම්හ්...නෑ අපෙ හාමුදුරුවනේ...මතක ඇති කාලෙක නෑ!!” ටික වෙලාවක් කල්පනා කරපු උපාසකයා කිව්වා.

...හරි පුදුමයි නේ!!? හොදට මතක් කරලා බලන්ඩ...පොඩි හරි අකුසලයක් කරලා නැද්ද?”

ම්....ම්....ම්.... හාමුදුරුවනේ පොඩී... ඇවතක් නං වෙලා තියනවා!”.

මොකක්ද ?” හාමුදුරුවන්ටත් ඕන මේ මහා සීලවන්තයා අතින් වෙච්ච පොඩි වැරැද්ද මොකද්ද කියලා දැන ගන්ඩ.

අපේ ගෙදරට ඉස්සරහා ගෙදර බැදපු ගෑණු කෙනෙක් හිටියා. උන්දැත් එක්ක මගේ පොඩි සම්බන්ධයක් තිබිලා ළමයි දෙන්නෙක් හම්බ උනා!!.

ඇත්තට?” හාමුදුරුවෝ නළල රැලි ගන්නගෙන කිව්වා. “එච්චරද?”

...තව පොඩී.... ඇවතක් උනා..!”

මොකක්ද?”

අපේ ගෙට පහලින් ගෙදර දුවලා දෙන්න එක්ක මගේ සම්බන්ධයක් තිබිලා අයටත් දරුවෝ දෙන්නෙක් හම්බ උනා!!".

අප්පේ...එච්චරද?”

තව පොඩී... ඇවතක් උනා….. අපේ ගෙට එහා පැත්තේ ගෙදර නංගියෙක් එක්ක මගේ සම්බන්ධෙන් නංගිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා!!”

හෑ...එච්චරද?”

නෑ..තව පොඩී... ඇවතක් උනා. එහා ගමේ ගෑණු දෙන්නෙක් ටත් මං හිංදා ළමයි ඉන්නවා!

"ඈ පර බල්ලෝ ඔය ගෙජ්ජිය බදින්ඩ තිබ්බේ කකුලේ නෙවෙයි තොගේ අංගජාතෙනේ" කියල හාමුදුරුවෝ මිනිස්සු රැස් කරන්ඩ ගන්ටාරේ ගහන්ඩ ඉක්මනට වැඩියා මේ සීලවන්ත උපාසකයගෙන් හාමුදුරුවන්ට ඇවතක් වෙන්ඩ ඉස්සර!!!

ඕනවට වඩා සුද්දවන්තයෝ වෙන්ඩ දගලන චරිත තරං දෙපිට කාට්ටු, කුහක මිනිස්සු මම ජීවිතේට දැකලා නෑ. අර රණස්ගල්ලේ හාමුදුරුවෝ ලියපු ලෝකෝපකාරේ 89 වැනි කවිය මතකද?

ඔවා දෙව් පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැදි දන  කියන බණ වැනි.

ඒ වගේ සුද්දවන්තයන්ගේ ගෙජ්ජියක් එල්ලන්ඩ පුලුවන්නං මුළු මහත් සමාජයටම ලොකු උදව්වක්. අඩු ගානේ ගෙජ්ජි සද්දේ ඇහුණාම හරි අපි හිතන්ඩ ගන්නවනේ මේ එන්නේ රෙද්ද පල්ලේ බේරෙන උපාසක චරිතයක් කියලා. එක අතකින් අපි හැමෝටම පොඩි පොඩි ගෙජ්ජි බැඳ ගන්ඩ වෙයි හැබැයි ලොකු ලොකු ගෙජ්ජි බඳින්ඩ ඕන කට්ටියගෙන් තමයි පරිස්සං වෙන්ඩ ඕන!!

20 comments:

  1. මා අතින් සිදු වූ තාක්ෂණික ඇවතක් නිසා මෙම ලිපිය දෙවරක් පළවූ අතර එය නිවැරදි කිරීමට යාමේදී සිදුවූ තවත් තාක්ෂණික ඇවතක් නිසා පළමු පලවීමද මැකිණි. එම මුල් ලිපි දෙකට ලැබුණු ප්‍රතිචාර මෙසේ එකතු කරමි.


    මද්දාJanuary 20, 2018 at 10:10 AM
    “තව පොඩී.... ඇවතක් උනා….. "

    ReplyDelete
    Replies
    1. තව දෙක තුනක් උනොත් පාවිච්චියට ගන්ඩ ගෙජ්ජියක් ගෙනත් තියා ගම්මුද?

      Delete
  2. මා අතින් සිදු වූ තාක්ෂණික ඇවතක් නිසා මෙම ලිපිය දෙවරක් පළවූ අතර එය නිවැරදි කිරීමට යාමේදී සිදුවූ තවත් තාක්ෂණික ඇවතක් නිසා පළමු පලවීමද මැකිණි. එම මුල් ලිපි දෙකට ලැබුණු ප්‍රතිචාර මෙසේ එකතු කරමි.


    ඉකොනොමැට්ටා Economatta
    10:01 (2 hours ago)

    ඉකොනොමැට්ටා Economatta has left a new comment on your post "ගෙජ්ජියක් බඳිමුද?":

    To the point...

    ReplyDelete
  3. මා අතින් සිදු වූ තාක්ෂණික ඇවතක් නිසා මෙම ලිපිය දෙවරක් පළවූ අතර එය නිවැරදි කිරීමට යාමේදී සිදුවූ තවත් තාක්ෂණික ඇවතක් නිසා පළමු පලවීමද මැකිණි. එම මුල් ලිපි දෙකට ලැබුණු ප්‍රතිචාර මෙසේ එකතු කරමි.

    පොලියානා අලිසන්දිරි has left a new comment on your post "ගෙජ්ජියක් බඳිමුද?":

    එළ ....ගෙජ්ජි බදින්න ඕනේ සිල්වතුන් බොහොමයි.
    එත් ඉතින් බැඳීම් නැති ඔයකාරේ ක්‍රියා වලින් ඇවතක් වෙන්නැති බවට කෙස් පැලෙන තර්ක කරන එතුමන්ලාගේ බක්තිමත් ඇවතුම් පවතුම්ම ගෙජ්ජියක් තමයි



    Posted by පොලියානා අලිසන්දිරි to කට්ටකාඩුව at January 20, 2018 at 11:07 AM

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා තුමියනි ඔබේ අදහසට. ඔබේ කවි වල කියවෙන බොහෝ 'සමූහයන්ට' ගෙජ්ජි බදින්ඩ ඕන තමා.

      Delete
  4. මා අතින් සිදු වූ තාක්ෂණික ඇවතක් නිසා මෙම ලිපිය දෙවරක් පළවූ අතර එය නිවැරදි කිරීමට යාමේදී සිදුවූ තවත් තාක්ෂණික ඇවතක් නිසා පළමු පලවීමද මැකිණි. එම මුල් ලිපි දෙකට ලැබුණු ප්‍රතිචාර මෙසේ එකතු කරමි.

    Praසන්ன has left a new comment on your post "ගෙජ්ජියක් බඳිමුද?":

    ලංකාවෙ නීති ගේන්නෙ නීති තියෙන්න ඕන ඒවට නෙමෙයි.

    Posted by Praසන්ன to කට්ටකාඩුව at January 20, 2018 at 11:35 AM

    ReplyDelete
    Replies
    1. නීති අටෝ රාශියක් තියනවා. සමහර නීති ගැන පොලීසිය දන්නෙත් නෑ. සමහර නීති ගැන අධිකරණ ක්ෂේත්‍රයේ අයගේ දැනුමත් හරිම අඩුයි. විශේෂයෙන්ම පරිසර නීති ගැන මගේ අත්දැකීම ඒකයි. ඒ අතරේම සමහර අත්‍යවශ්‍ය කාරනා වලට නීති නෑ. සමහර නීති යල් පැනලා. දැක්කනේ ලගදි රුපියල් දාහක දඩයක් නියම වෙච්ච සිද්දිය!!

      Delete
  5. ඔය මඩු වලිග කාරයා සමථ මණ්ඩලයේ සාමාජිකයෙක් වෙලා නඩු අහනව අද දවල් මං හීනෙං දැක්කා.

    ReplyDelete
    Replies
    1. සුරංගතුමනි එහෙම නං ඒ සමත මණ්ඩලේ වඩාත් හබක් වෙයි. මඩු වල්ගෙන් අනුන්ට තලන්ඩ ඉස්සර එතුමාට කියන්ඩ ඕන තමුන්ටම තලා ගන්ඩ කියලා කියන බබා උක්කුං කතා වලට.

      Delete
  6. ඔබතුමාගේ අදහස් ගැන මාත් එකඟයි.ලංකාවේ නායකයෝ අවවාද දෙන්නනම් ඉස්තරම් කට්ටිය.නමුත් එතුමන්ලාගේ වැඩ ....? ලෝකේ දියුණු රටවල් එහෙම නෑ.බොරුකලොත් ගැලවීමක් නෑ.මට සමහර වෙලාවට හිතෙනවා ඒ රටවලද බෞද්ධ නායකයෝ ඉන්නේ කියලත්.යම් කෙනෙක් තමන්ට නීතියෙන්ම ලොකු බලයක් තියෙද්දි ,සමාජයේ ගරුත්වයත් ලබද්දී මෙවැනි හැසිරීමක් පෙන්වීම කණගාටුයි.අපි නොමැරෙන්න ආපු අයද? හරිනම් ඔවුනට ලැබුන මේ අවස්ථාව උපයෝගී කරගෙන නියම මනුස්සකම පෙන්වාදීමට හැකිවිය යුතුයි.එවන් පුද්ගලයෝ සමාජයේ අමරණීය වේවි !

    ReplyDelete
    Replies
    1. අපේ බෞද්ධ කම තියෙන්නේ උප්පැන්න සහතිකේ විතරයි. මේ තරං බොරු කියන, මේ තරං හොරකං කරන, මේ තරං කාමයේ වරදවා හැසිරෙන, හැබැයි 'ඔක්කොම සුද්දවන්තයෝ' වෙච්ච රටක් කොහොමද බෞද්ධ බහුතරයක් ඉන්න රටක් වෙන්නේ?

      Delete
  7. ආසන සංවිධායකකම දුන්නේ ඌ ජනප්‍රිය නිසාලු.මේකෙන් තේරෙනව අපේ ගම්බද පලාත්වල මේවගේ ප්‍රශ්න ගැන මිනිස්සු බලන විදිහ.එක නිසාම තමයි දේශපාලකයෝ බය නැතිව මේ වැරදි කරන්නේ.ගම්බද පලාත්වල මිනිස්සුන්ට මේ තත්වය අවබෝධ කරවන්ඩ තව කොයිතරම් කාලයක් යයිද?

    ReplyDelete
    Replies
    1. මේක අපේ රටේ තියන ලොකු ප්‍රශ්නයක්. ඔය මදාවි චරිත ලොකු ලොකු තැන් වලට පත් වෙන්නේ හොර චන්ද දාලාම නෙවෙයි. මිනිස්සු කැමැත්තෙන් චන්දෙ දෙන හිංදා. බත් පැකට් එකට, අරක්කු බෝතලේට රුපියල් 500 කට චන්ද විකුණන කී දාහක් ලංකාවේ ඉන්නවද? මම තාම දැකලා නෑ චන්ද දායකයන්ගේ හැසිරීම ගැන කරපු සමාජ විද්‍යාත්මක ගවේෂණයක්. අනික් අතට අපේ උගත්තුත් පක්ෂ වලට බෙදිලා බේගල් දෙසා බාන කොට අනික් මිනිස්සු ගැන කවර කතාද?

      Delete
  8. ඕනැම වැඩිහිටියෙකුට කඩේකට ගිහින් බඩුවක් ගන්න සම අයිතිය තියෙන්නෙ ඕනනෙ. බොනවද නැද්ද එක පුද්ගලික තීරණයක්

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ප්‍රා ජේ තුමනි. වැඩිහිටියන් වැඩිහිටියන් විදිහට සලකන්නේ නැතුව වැඩිහිටියෝයි පොඩි අත දරුවොයි වරදවා ගත්තහම ලොකු අල කලංචි වෙන්ඩ පුළුවන්.

      Delete
  9. සුරංගගෙ බ්ලොග් එකෙන් දැකල ආවෙ. උඹ නං පට්ට ඈ...!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රකී තුමාව සාදරෙන් පිලි ගන්නවා කට්ටකාඩුවට. අපි ඉතින් හුග කාලයක් බලා හිටියා බ්ලොග් ලෝකේ වැඩකාරයෝ, පුරෝගාමියෝ අපේ වගේ සූට්ටං තැන වලට වඩිනකල්. හරිම සංතෝසයි ආවට. හිතනවා දිගටෝම එයි කියලා.

      Delete
  10. මම කලින් වතාවකුත් මේක කියුවද මංදා උඹට.. ලොකු මලයෝ මාතෘකාව දානකොට තව පොඩ්ඩක් හිතපන්.. පෝස්ට් එකේ අන්තර්ගතය පොඩ්ඩක් හයිලයිට් වෙන විදියට දාන්න.. විශේෂයෙන්ම මේ වගේ කාලින මාතෘකාවක් ගැන ලියද්දි.. අපිනම් දැන් උඹේ තෝම්බුව දන්නා නිසා අනිවා ඇවිත් කියෝනව.. ඒත් සමහරු මාතෘකාව බලල ඉන්ටෙරෙස්ටින්ග් වගේ නම් තමයි කියවන්නේ.. හිට්ස් නම් බල්ලට ගියදෙන්.. ඒත් මේවා වැඩි දෙනෙක් කියවන්නම ඕනි.. ඒක නිසා මං කියපු එක ගැන ටිකක් හිතපං..

    පෝස්ට් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. මං මේ මද්දියම ප්‍රමානෙ ගෙජ්ජියක් හොය හොයා යන ගමන්.. ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කල්‍යාන මිත්‍ර තුමනි ඔබේ උපදෙසට. මට මතක නෑ මේ වගේ උපදෙසක් මීට පෙර ලැබුණු බවට. මින් පස්සේ ඒ ගැන හිතන්නං.

      Delete