Saturday, February 17, 2018

ආර්යයෝ සොයා යෑම


පහුගිය ලිපියෙන් අපි කතා කරානෙ භාෂා ගස් කියල හඳුනා ගන්ඩ පුළුවන් එක මව් බසකින් නිර්මාණය වෙච්ච එහෙම නැත්තං එක බසක් මූලික කරගෙන සම්භවය වෙච්ච භාෂා ගණනාවක් අදත් ලෝකයේ පවතින බව. ඇත්තටම අපේ කතාව පටන් ගත්තේ බටහිර ආසියාවේ හා මධ්යම යුරෝපයේ ජීවත් වෙච්ච එඬේර ගෝත්රිකයන් පිරිසක් අලුත් වාසස්ථාන හොයාගෙන නැගෙනහිර දෙසට හා බටහිර දෙසට සංක්රමණය වීම ගැන කතා කරලා. එහෙම බටහිර පැත්තට ගියපු අය යුරෝපයේ බොහෝ ප්රදේශ වලට සංක්රමණය උනා. අද අපි හොයල බලන්නේ නැගෙනහිර පැත්තට ගිය කට්ටිය එහෙම නැත්තං අපේ ආදී මුතුන් මිත්තෝ පිරිසක් ගැන. මේ සිතියමේ දැක්වෙන්නේ අය පැතිරිලා ගිය විදිහ.



කොහොමද පැතිරිලා ගියේ? දඬුමොනරෙන් රූං ගාලා ඉගිලිලා නේද? නෑ බොලව් බොහොම මහන්සියෙන්, අඩියෙන් අඩිය, භාධක මැද්දෙන්, සීතලට, රස්නෙට, ගං වතුරට, කාන්තාරේ රස්නෙට, පිපාසාවට, බඩගින්නට එකා මත්තේ එකා නැහෙද්දී තමයි මේ ගමන ගියේ.

ඒ උනාට ඔය අවුරුදු සිය ගානක් සමහරවිට දාස් ගානක් ගත වෙච්ච ගමන බලාගෙන හිටපු කවුරුවත් දැන් ඉන්නවය? ඊට හපන් ඒ මුලිං ආපු කට්ටිය දැන් වෙන වෙන නං ගං හදා ගෙන. තමුංගේ ආරම්භය බොහොම අහිංසක විදිහට පටන් ගත්තු ගමනක් කියල පිලි ගන්ඩත් කැමති නෑ. ඉතින් මේ ගැන තියන වාද විවාද බොහොමයි. ඉතිං මම හිතුවා අපේ කතාවේ එක පියවරක් පන්නලා තුන්වැනි කොටසට යන්ඩ. මොකද දෙවැනි කොටස නිකං සුරංගනා කතාවක එහෙම නැත්තං විද්‍යා ප්‍රබන්ධෙක හැඩ රුව ගන්න හිංදා. ඒක පස්සේ කියන්නං.
තුන්වැනි කොටස පටන් ගන්නේ ඉන්දියාවෙන්. ඔය මුලින් පටන් ගත්තු ගමන ඉන්දියාවට ඇවිත් නතර උනාය. ඒ මිනිස්සුන්ගෙන් තමයි අද ඉන්න බොහෝ උතුරු ඉන්දියානුවන් පැවත එන්නේ සහ හුගක් උතුරු ඉන්දීය භාෂා වල ඇරඹුම වෙච්ච සංස්කෘත භාෂාව ගෙනාවෙත් මේ සංචාරක ගොපලු පිරිසය (ගමන පටන් ගන්නකොට ගොපල්ලෝ උනාට ගමන අතර මගදී මේ අය හොඳ ගොවියන් බවට පත්වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්දියාවට එන්නේ හොඳ ගොවීන් පිරිසක්) කියන කතාව දිරවගන්ඩ ඉන්දියානුවන්ට බැරි උනා. ඒ හිංදා ඒ අය, මේ මතයට නොයෙක් ප්‍රති විරුද්ධ මත ගෙනාවා. හරියට පහුගිය පළාත් පාලන චන්දෙ පැරදිච්ච අපේ බුලත් කොළ පාක්ෂිකයෝ වගේ. මේ පටලැවිල්ල ලෙහා ගන්ඩ කිසි මගක් නැතුව ඉන්දැද්දී අන්තිමට නවීන විද්‍යාව තමයි උදවු උනේ. අද කතාව ඒ ගැන.


මේ ගැන කතා කරපු බොහෝ විද්වතුන් ඉන්දියාව තුල ජීවත් වෙච්ච ප්‍රධාන ජන කොටස් දෙකක් ගැන කතා කළා. එක කට්ටියක් පුරාතන උතුරු ඉන්දියානුවන් එහෙම නැත්තං ඒන්ෂන්ට් නොර්ත් ඉන්ඩියන්ස් (ANI) ලා. අනික් කට්ටිය පුරාතන දකුණු ඉන්දියානුවන් එහෙම නැත්තං ඒන්ෂන්ට් සවුත් ඉන්ඩියන්ස් (ASI) ලා. මෙහෙම දෙකොටසක් ගැන කතා කරේ මේ දෙගොල්ලන්ගේ භාෂා වල, සමාජීය සිරිත් විරිත් වල හා ජාන වල තිබිච්ච වෙනස්කම් පැහැදිලි කරන්ඩ වෙන ක්‍රමයකින් බැරිවෙච්ච හිංදා. ඒ තරමටම මේ දෙකොටස එකිනෙකා ගෙන් වෙනස්. දැන් එතකොට මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි එක කොටසක් පිලි ගත්තා ASI ලා ඉන්දියාවේ මුල් පදිංචි කාරයෝය ANI ලා පස්සේ ආපු එක්කෝ සංක්‍රමණික එහෙම නැත්තං ආක්‍රමණික මිනිස්සු කොටසක්ය කියලා. ANI ලා ඉංදියාවට ආවේ අදින් අවුරුදු 3,500 - 5,000 අතර කාලේ කියලා තමයි මේ මතය දරපු පර්යේෂකයෝ කිව්වේ. මේ කතාව ඉන්දියානු ජාතිකවාදී පර්යේෂකයන්ට ඇල්ලුවේ නෑ. ඔවුන් මේ මතයට අභියෝග කළා.

ඒ අය කිව්වේ ANI හා ASI කියලා කොටස් දෙකක් හිටියත් ඒ කොටස් දෙකම ඉන්දියානු භූමිය තුලම බිහිවෙච්ච කොටස් දෙකක් කියලා. ලංකාවේ රාවණාගෙන් හා එයාගේ ජනතාවගෙන් මුළු ලෝකෙම ජනාවාස උනා කියලා තප්පුලන කොටසක් ඉන්නවනේ. ඉතින් ඉන්දියාව කියන්නේ අපිට වඩා ලොකු ජනගහනයක් ඉන්න රටක් වෙච්චි මෙහෙම විරුද්ධ මතයක් දරපු කොටසක් නොහිටියා නං තමයි පුදුම. ඔවුන් එකඟ උනා මොකක් හෝ කාරණයක් හිංදා ANI වරු ASI වරුන්ව එක්තරා ආකාරයකට යටත් කර ගත්තා කියලා. හැබැයි මේ දෙකොටසම ඉන්දියාවේම හිටපු ස්වදේශිකයෝ කියලයි ඔවුන් කිව්වේ. භාෂාව, සංස්කෘතිය වගේ දේවල් අවුරුදු දාස් ගානක කාලයක් තුලදී කොයිතරං වෙනස් වෙන්ඩ පුලුවන්ද? ඉතින් ඒ වගේ සාධක මත ඉන්දියානු ස්වදේශිකයන් විදේශීය ජාතියක් කිරීම වැරදියි කියල තමයි ඔවුන් කිව්වේ.

ANI වරු විදේශිකයන්ය කියන මතය ගෙනාපු අය පුරාතන හිංදු ආගමික ග්‍රන්ථයක් වන රිග් වේදයෙන් පවා කරුණු ගෙන හැර පෑවා. ඔවුන් කිව්වේ වසර දහස් ගණනක් තුල ලියවුනා කියලා හැමෝම පිළිගන්න මේ රිග් වේදයේ මුල් පරිච්චේද තුල ඒ කියන්නේ පැරණිම කාලයේ ලියවෙච්ච කොටස් වල කියවෙන සමහර කරුණු ANI වරුන්ගේ පැවති චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවෙන ඒවා මිසක් පසුකාලීන වේද කොටස් ලියවුනු ඉන්දියානු සමාජයට අදාළ නැති කොටස් බව. ඒත් ආගමික ග්‍රන්ථයක් මත පදනම්ව ඉතිහාසගත කරුණු තීරණය කිරීම විද්‍යානුකූල නැති බවට, ANI වරුන් ඉන්දියානු ස්වදේශිකයන් කියන මතය දරපු කට්ටිය කිව්වා.

මේ වගේ වෙලාවල් වලට චෙස් ක්‍රීඩාවේදී නං කියන්නේ ස්ටේල් මේට් තත්වයක් කියලා. දෙපැත්තටම දිනුමක් නෑ. එක පැත්තක් විහින් පරාජය බාර ගත්තොත් මිසක් විසඳන ක්‍රමේකුත් පේන්ඩ නෑ. හරියට අද ලංකාවේ දේශපාලනේ වගේ නේද? ඔන්න ඔය වෙලාවේ ජාන තාක්ෂණය දියුණු වෙලා එක එක ජන වර්ග වලින් තෝරා ගත්තු විශාල පිරිසක් යොදා ගෙන පර්යේෂණයක් කළා.

ඔය ජාන විද්‍යාවේදී කියනවා හැම මනුස්සයෙකුගේම ලිංගිකත්වය තීරණය කරන වර්ණදේහ එහෙම නැත්තං ක්රෝමසෝම දෙකක් තියනවා කියලා. සාමාන්‍ය ගැහැණියකගේ X කියල හඳුන්වන වර්ණදේහ දෙකක් තියනවා. එකක් ලැබෙන්නේ තාත්තාගෙන්. අනික අම්මාගෙන්. සාමන්‍ය පිරිමියෙකුගේ එක X වර්ණදේහයකුත් එක Y වර්ණදේහයකුත් තියනවා. X ලැබෙන්නේ අම්මගෙන්. Y තාත්තාගෙන්. ඒ කියන්නේ Y වර්ණදේහය හැම වෙලාවේම පිය පුතු පරම්පරාවෙන් යන ලක්ෂණ ගෙනියනවා. X වර්ණදේහය හැමවිටම මව් - දූ පරම්පරාව නියෝජනය කරනවා කියලා කියන්ඩ බැරි උනත් මවගෙන් දුවට යන ලක්ෂණ කොහොමද තීරණය වෙන්නේ කියන එක පැහැදිලි කරන්ඩ තරම් අද ජාන විද්‍යාව බලවත්. මම ඒ ගැන මෙතන කියන්ඩ යන්නේ නැත්තේ ලිපිය නීරස වෙන නිසාත්, අපේ කතාවට ඒ දේවල් අදාළ නොවෙන නිසාත්.

ඔන්න දැන් අර මම කියපු ජාන පර්යේෂණයේ ප්‍රථිපල ආවා. X වර්ණදේහ වල මව් - දූ පරපුරට යන කොටසක් යොදාගෙන කරපු පර්යේෂණයේ ප්‍රථිපල කොයි පැත්තටද වාසි? ප්‍රතිපල අනුව තීරණය උනා පහුගිය අවුරුදු 12,500 විතර කාලය තුල කිසිම අලුත් ජාන මිශ්‍ර වීමක් ඉන්දියාව තුල සිද්ධ වෙලා නෑ කියලා. ඒ කියන්නේ ANI වරු පිටින් ආවා නෙවෙයි. ඉන්දියාවේම හිටපු අය. පිටිං මොකෙක් හරි ආවා නං ඒක නොගිණිය හැකි තරමේ කුඩා ප්‍රමාණයක්. හරියට අර මඩු වල්ග කාරයාගේ පක්ෂේ ගත්තු චන්ද ප්‍රමාණය වගේ. මේ ප්‍රතිපලේ ඉන්දියානු ස්වදේශික මතය දරපු විද්‍යාඥයෝ විසිල් එකකුයි බල්ටියකුයි ගහලා පිලි ගත්තා. මේ පර්යේෂනේ සිද්ධ උනේ 2010 විතර.

හොඳයි පිටින් කවුරුවත් ආවේ නෑ කියල කියමුකෝ.  එහෙම නං කොහොමද භාෂාවේ, සංස්කෘතියේ තියන වෙනස්කන් පැහැදිලි කරන්නේ. ම්හ්...ඒකට පිළිගන්ඩ පුළුවන් උත්තරයක් කා ගාවවත් නෑ. අර මොනවද කාපු රිලවු වගේ කට්ටියම එක එක මත ගෙනාවා. හැබැයි ඒ එකක් වත් විද්‍යානුකූල නෑ.

මේ අතරේ පර්යේෂකයෝ කණ්ඩායමක් අලුතෙන් හිතුවා කොහෙද වැරදුනේ කියලා. ASI වරුන් අතරේ තිබ්බා මව් දෙවගන පිදීමේ චාරිත්‍රයක්. ASI සමාජය මාතෘ මූලිකමයි කියලා කියන්ඩ බැරි උනාට මාත්රූත්වයට බොහොම ගරු කරපු සමාජයක්.  එහෙම සමාජයක්   මීට අවුරුදු 5,000 විතර උඩදී කණපිට හැරවුනේ කොහොමද? හරියටම ඔය කියන කාලෙදී එක පාරටම ඉන්දු යුරෝපීය භාෂාවල් ඉන්දියාව තුල භාවිතය පටන් ගත්තේ කොහොමද? හිංදු ආගම හා වේද ග්‍රන්ථ ඇතිවෙන්නේ කොහොමද? ගංගා නදී තීරයේ මහා ජනාවාස බිහිවෙන්නේ කොහොමද? අවමංගල චාරිත්‍ර පවා වෙනස් වෙන්නේ කොහොමද? තම කුලයේ අය සමග පමණක් විවාහ වීමේ චාරිත්‍ර  පටන් ගත්තේ කොහොමද? මුං, කුරහන් වගේ භෝග වර්ග වගා කිරීම නවත්තලා උතුරු ඉංදියානුවන් තිරිඟු වගේ දේවල් වවන්ඩ පටන් ගත්තේ ඇයි? මුං, කුරහන් වවපු ගොවියෝ ටික ටික ඉන්දියාවේ පල්ලෙහාට ආවේ ඇයි? මේ කරුණු එකින් එක ගත්තහම මොකක් හරි න්‍යායක් ගෙනත් උත්තර හෙව්වට මේ කරුණු ඔක්කොම එකම කාලෙකදී උනේ ඇයි කියන එකට තනි උත්තරයක් තිබ්බේ නෑ.

තව අවුරුදු දෙක තුනක් යනකොට ජාන විද්‍යාව තව දියුණු උනා. පිරිමි Y වර්ණදේහ යොදාගෙනත් පර්යේෂණයක් කරන්ඩ විද්‍යාඥයෝ උත්සාහ කළා. ඒකෙ ප්‍රතිපල කොහොමද?  එකම පරම්පරාවක් හොයා ගන්ඩ පුළුවන් වර්ණදේහ කොටස් වලට කියනවා හැප්ලෝ ග්රූප්ස් කියලා. මේ බලන්ඩකෝ Y වර්ණදේහයේ R 1 a කියන හැප්ලෝ ග්රූප් එක යොදාගෙන කරපු පර්යේෂණයේ ප්‍රතිපල. ඔන්න බලන්ඩ කොහෙද ANI වරුන්ගේ නෑදෑයෝ ඉන්නේ කියලා.


ඔය සිතියමත් එක්කම බලන්ඩකෝ ඉන්දු ආර්ය  භාෂා පැතිරිලා ගිය ආකාරය තියන සිතියම. ඇමරිකාව ටිකකට අමතක කරන්ඩ මොකද එහෙට්ට ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, පෘතුගීසි  ගියේ කොහොමද කියලා අපි ඔක්කොම දන්නවනේ. දෙකම බොහෝ දුරට සමානයි නේද?    



මේ ප්‍රතිපල ආවේ 2015 දී. දැන් ප්‍රශ්නේ ඉවරයි. විද්‍යාත්මක සාධකත් සමාජයීය සාධකත් හරියටම ගැලපෙනවා. උත්තරේ මොකක්ද? මීට අවුරුදු 3,500 - 5,500 අතර කාලේදී බටහිරදිග ආසියාවෙන් එහෙම නැත්තං නැගෙනහිර මධ්‍යම යුරෝපෙන් කට්ටියක් ආවා උතුරු ඉන්දියාවට. ඔවුන්ගෙන් ඇති මහත් බහුතරය පිරිමි. ඔවුන් අතර කාන්තාවෝ හිටියනං හිටියේ ඉතාම සුළු පිරිසක්. මේ පිරිමි සෙට් එක තමුන් අලුතෙන් ආපු රටේ සංස්කෘතිය, භාෂාව, ඇතුළු හැම දෙයක්ම තමන්ට ගැලපෙන විදිහට වෙනස් කර ගත්තා. ඒ අය සුදු පාටට හුරුයි. දැන් කියන විදිහට නං පැහැපත් සමක් තිබ්බ අය. මේ සුද්දන් තමුන්ගේ ගමන එන අතර මගදී ඉගෙන ගත්තු ශිල්ප ක්‍රමත් එක්ක හැප්පෙන්ඩ, ගේම ඉල්ලන්ඩ ඒ වෙනකොට ඉන්දියාවේ හිටපු ස්වදේශිකයන්ට පුළුවන් උනේ නෑ. එක්කෝ ඒ අයව බලෙන් පාතට දැම්මා එහෙම නැත්තං වෙන විකල්පයක් නැතුව ඒ අය පල්ලන් බැස්සා. ස්වදේශිකයන්ට වඩා තමන් උසස් බව අඟවන්ඩ මේ අලුත් ආක්‍රමණිකයෝ තමන්ටම නමක් දා ගත්තා ආර්යයෝ කියලා.

ඔබට හිතෙන්නේ මෙහෙම දේවල් වෙන්නේ නෑ කියලද? එහෙමනං මතක් කර ගන්ඩ ඔය ආර්යයෝ වෙච්චි අපේ සිංහල මිනිස්සු හිංදා ලංකාවේ ස්වදේශික වැදි ජනතාවට වෙච්ච දේ? අද ඒ මිනිස්සු 'වැද්දෝ' වෙලා ඉන්නේ කාගේ වැඩ හින්දද? අපි දැනුත් දෙමළෙක් වගේ කලුයි කියන්නේ නැද්ද? ‘දෙමළෙක් වගේ කෑ ගහන්ඩ එපා කියන්නේ ඔවුන්ගේ බස අපේ බසට වඩා පහත කරන්ඩ නෙවෙයිද (ඉන්දු ආර්ය භාෂාවක් කතා කරන සිංහල අපිට ද්‍රවිඩ භාෂාවක් වෙච්ච දෙමළ කනට නුහුරුයි තමා. ඒකනේ හින්දි ලස්සන වෙද්දී දෙමළ කරච්චලයක් වෙන්නේ!)? සිංහල සමාජයේ බලු වැඩ කරන එවුන් 'සක්කිලි' වෙන්නේ කොහොමද? 'පර' දෙමල්ලු ගැන කියන අපිට වැදි නායක තුමා 'පර' සිංහලයෝ කියල කිව්වොත් අපි එතුමාට මොකක් කරන්ඩ හිතයිද?

38 comments:

  1. ලොකුමල්ලිගෙන් විවිධ මාතෘකා යටතේ ලොකු දැනීමක් ලැබෙන එකට සතුටුයි.ඇත්තටම් අපි ආර්යයන් ගැන කතා කලත් අද තම ඔවුන්ගේ ඉතිහාසය ගැන දැනගන්ඩ ලැබුනේ.මඩු වල්ගේ ඉතිහාසය ගැනත් ලිව්වොත් නරකද/

    ReplyDelete
    Replies
    1. මඩු වල්ගේ ඉතිහාසය තමයි අපි මේ ලියමින් ඉන්නේ නේද දසනායක තුමනි. අපිට තව කාලෙකින් අපේ මුනුපුරු මිනිපිරියන්ට කියල දෙන්ඩ පුළුවන් මඩු වල්ගේ කතාව.....ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  2. මේ සමාන අධ්‍යයනයකින් මෑතකදි කියවුණා නේද සිංහල දෙමළ අතරත් ජානමය සම්බන්ධයක් තියෙනවග? එ් ගැන මොකද හිතන්නෙ කට්ටා?

    ReplyDelete
    Replies
    1. සිංහල දෙමළ කියන්නේ බොහොම ලිහිල් බැම්මකින් බැඳිච්ච ජාතීන් දෙකක්. ආර්යයන් හා ඉන්දීය ස්වදේශිකයන් වගේ ලොකු වෙනසක් අපි අතරේ තියෙන්ඩ විදිහක් නෑ. ඔබ වන්නි රාජාවලිය ගැන කියෙව්වොත් දැනගන්ඩ පුළුවන් කොහොමද වවුනියාව, මුලතිව්, කිලිනොච්චි වගේ පළාත් දෙමල උනෙත් අනුරාධපුරේ වගේ ප්‍රදේශ සිංහල විදිහටම දිගටම පැවතුනෙත් කියලා. උඩරට රාජධානියේ අන්තිම මොහොත වෙනකල්ම බොහෝ විදේශිකයන්ට සිංහල කුළ ධූරාවලියේ ඉහලටම අන්තර්ග්‍රහණය වීමේ පහසුකම සලසලා තිබුනා. එහෙම ආපු බොහෝ දෙනෙක් දකුණු ඉන්දියානුවන්. ඉතින් කවුරු හරි මේ දෙගොල්ලන්ගේ ජාන පරීක්ෂා කලොත් ලොකු වෙනසක් වෙන එකක් නෑ මගේ හිතේ. ප්‍රමුදිත හේමාංග තුමනි ඔබතුමා කියන අධ්‍යයනය ගැන මම දන්නේ නෑ. හැකිනම් එය සිදුකල පර්යේෂකයන් ගැන යමක් අප සමගත් බෙදා ගන්න. ස්තුතියි ඔබතුමාගේ අදහසට.

      Delete
    2. Damilayin saha Sinhalun athara lily jaanamaya wenasak thiyenava. Eya sinhalunge Saha demalunge deha lakshana sansandhanayedi pahadili wagema jaana pareekshana walinda ema wenasa pahadili Wei.

      Delete
  3. හරිම සාරවත් ලිපි.හිතන්න බොහෝ යමක් තියෙනවා.මම කලකට පෙර කියවපු පොතක නැගෙනහිර යුරෝපය ගැන තිබුනා.කාලය ලෙනින් විප්ලවය කරපු කාලය.ඒ පැත්ත කීවොත් දැන් අසර්බයිජානය හෝ උස්බෙකිස්තානය.කඳුකර ගොවීන් විප්ලවයක් පහල වෙනබව දැන උන්නේ නැතිලු.මේ සමහර අයගේ වාසගම " ඛාන්".ඉතිං මට එකපාරට මතක් උනා එදා ඉංදියාවේ,පකිස්තානයේ මේ වාසගම ඇති සුදු මිනිස්සු ඉස්සර අර පැතිවලින් ආ අය වෙන්නැති කියල. (ශාරුක් ඛාන්,අමිර් ඛාන්,.......) අපි, ආර්යෝ කීවට යුරෝපීය හෝ උතුරු ඉන්දියානුවෝ තරම් පියකරු නැත්තේ ඇයි? වහා කිපෙනසුලු,කලබල වෙනසුලු ගති ඇත්තේ මන්ද?තමගේ කෙනාව පාවා දෙන්න,නැති කරන්න වඩා කැමති ඇයි?මේ දූපතේ කටුක,උණුසුම් පරිසරයේ බලපෑමද ?

    ReplyDelete
    Replies
    1. ලලිත් ගුණවර්ධන තුමනි බොහොම ස්තුතියි ඔබතුමා ගේ අදහසට. 1. මම දන්නා තරමින් ඛාන් යනු මොන්ගෝලීය ආක්‍රමණ සමග ඉන්දියාවට ලැබුණු නමක්. එය ආර්ය - ඉන්දු යුරෝපීය - නමක් නෙවෙයි. ටාටාර් ජාතිකයන් - සෝවියට් රුසියාව තුල ජීවත් වූ - පවා මේ නම මුල ඉඳන් පාවිච්චි කරලා තියනවලු. 2. ඉන්දියාවට ආපු විදේශීය බලපෑම් නිසා ඔවුන්ට පසු කාලීනව විවිධ වර්ගයේ ජාන ලැබුනා. ඔබ අද දකින 'පියකරු' බව ඒ අලුත් ජාන සම්මිශ්‍රණ වල ප්‍රථිපලයක්. ඔබ දැක ඇති ඇෆ්ඝනිස්තානයේ හා සමහර උතුරු පාකිස්තාන ප්‍රදේශ වල ජීවත් වන රිජු නාස් ද නිල්වන් ඇස් ද ඇති අය. ඒ මහා ඇලෙක්සැන්ඩර් ගේ දායාද. අපි ඊට වඩා වෙනස් ජාතීන් සමගයි ගැටුනේ. මට නම් අපේ මිනිස්සු තරම් ලස්සන කවුරුවත් මේ ලෝකේ නෑ. 3. අපිට නිතර තරහ යන්නේ, අනෙක් මත ඉවසන්නේ නැත්තේ අපේ ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න ඇති. මේ ලගදි මම ඉන්දීය NDTV චැනල් එකේ දැන්වීමක් දැක්කා. ඔවුන් කියන්නේ අනෙක් සියලු දෙනා 'ටැබ්ලොයිඩ්' ජනමාධ්‍ය කලාවක යෙදෙද්දී ඔවුන් විතරක් එලෙස නොකරන බව. ඒ 'ටැබ්ලොයිඩ්' කතාව මගේ හිත ගත්තා. ඒ විදිහට ගත්තහම අපි ඉන්නේ ටැබ්ලොයිඩ් සමාජයක.

      Delete
    2. උස්බෙකිස්ථානය කියන නම හැදුනෙත් ඔස්-බෙග්-ඛාන් කියන මොංගෝලියන් ඛාන්ගෙ නමින්.. ඔය හරියෙ තියෙන 'ථාන්' රටවල් ඔක්කොම වගේ ඇවිල්ලා ගෝල්ඩන් හෝර්ඩයේ නශ්ටාවශේෂ..

      Delete
    3. ඔබ තුමාලා දෙදෙනාටම ස්තූතිවන්ත වෙමි.

      Delete
    4. මං හිතුවේ රාවණා රජ්ජුරුවන්ගේ දඬුමොණර‍ය උස් තැනක ලෑන්ඩ් කරලා බෙක් නැමති එන්ජින් ඔයිල් දාපු ස්ථානය කියල

      Delete
  4. honda lipi tikakk malli ayye,
    lankaawe rawanna thumage rata.. kaa gahanna epa oon..
    thawa rahasak kiyannam.. yasodara deviyagen dwaddata labuna ratak..
    katawth kiyanna eppa oon

    ReplyDelete
    Replies
    1. Sthoothiyi ransaku malliye. Apoyi oya rawana wenuwata ape rate habe weerayo gana kathaa karamu. Hasalaka Gamini wage api danna aththa minissu. Ammapa me rata Yasodhara dewiyata dewadda widihata dunna ekakda? e kiyanne eeta kalin Dewadaththage thaathata ayithi ratak? Eka wenna athi dewadaththa wada karana ewwo me rate wadi....katawath kiyanda epa hode....:)

      Delete
  5. බලන් හිටියා වගේ කියන්න උත්සාහ කරලා තියෙනවා. එත් ඇත්තටම බලන් හිටියේ නැති නිසා මේ කියල තියෙන කරුණු බොහොමයක් අමූලික බොරු වෙන්න තියන හැකියාව බොහොම වැඩියි. උදාහරණයක් විදිහට ළඟදී ඊශ්‍රායලයෙන් හම්බුණු පොසිලය නිසා පරිණාම කතාව අවුරුදු ලක්ෂෙකින් දෙකකින් අතීතයට යවන්න වෙනවයි කියන්නේ.
    https://www.timesofisrael.com/jawbone-fossil-found-in-israeli-cave-resets-clock-for-modern-human-evolution/

    "සිංහල මිනිස්සු හිංදා ලංකාවේ ස්වදේශික වැදි ජනතාවට වෙච්ච දේ?" කියල මොනවා අදහස් කරනවද දන්නේ නැහැ. ඔය කියන වෙච්ච දේ ගැන ජාන පරීක්ෂණ නම් කරලා නැතුව ඇති. කකුල් හතරේ සිංහයෙකුගෙන් මිනිස්සු පැවතෙනවා කියන සුරංගනා කතා පොතේ නම් එහෙම දෙයක් තියෙනවද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අඛිල තුමනි බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. මම මේ කිසිම පර්යේෂණයකට සහභාගී උනේ නෑ කියල ලිපි පෙලේ මුලිම්ම කිව්වනේ. එනිසා මේ ලියන සියල්ල වෙනත් කවුරු හැර හොයා ගත්තු එව්වා. හැබැයි හුගක් පර්යේෂණ පත්‍රිකා ලෝකේ පිළිගත් ක්‍රම විධි අනුව පිළිගත් විද්‍යාත්මක සඟරා වල හෝ පොත් වල පළවූ එව්වා. විද්‍යානුකූලව අද හොයාගෙන තියන ඕන දෙයක් හෙට ඊට වඩා දියුණු විද්‍යාත්මක ක්‍රමයකින් බොරු කියලා ඔප්පු කරන්ඩ පුළුවන්. එතෙක් දැනට හොයා ගෙන තියන දේ ඇත්ත. ඔබ කිව්වා වගේම අලුත් දත්ත ලැබෙන කොට සමහරවිට විද්‍යාව අලුතෙන් ලියවෙනවා. අද වෙනකොට ඩාවින් ගේ පරිණාමවාදයත් අභියෝගයට ලක්වෙලා තියන බව ඔබ දන්නවා ඇති. ඉතින් මම ලියලා තියන දේවලුත් වැරදි වෙන්න පුළුවන්. ඒ වැරදි පෙන්නලා දීලා හරි දේ ලෝකෙට කියන්ඩ උත්සාහ ගත්තොත් අපේ සමාජය දියුණු වෙයි. ඒක තමයි වෙන්න ඕනත්. සිංහල මිනිස්සු හිංදා වැදි ජනතාවට වෙච්ච දේ තමයි ඔවුන්ගේ නායක තුමා අදත් කියන්නේ. ඔවුන්ගේ ගම් බිම් වලින් එළවලා අපේ ගම් වලට කොටු කරලා හිගමනට පත් කරේ අපේ පහුගිය පරම්පරාව. කෙනෙක් හිතන්ඩ පුළුවන් දැන් වැදි ජනතාවගේ ජීවන තත්වය කැලේ ඇතුලේ හිටියට වඩා හොඳයි නේද කියලා. මම ඔය ප්‍රශ්නේ අහපු දෙතුන් පාරකම ඔවුන් කිව්වෙත් එදාට වඩා අද හොඳ බව. හැබැයි ඒ තීරණේ ගන්ඩ බල කල නොයුතුව තිබ්බා කියලයි මම හිතන්නේ. ඔවුන් කැමැත්තෙන් ආවා නම් එහි වරද අප පිට පැටවෙන්නේ නෑ.
      ඔබතුමා කියන්නේ අපි පටන් ගත්තේ සිංහයෙක් ගෙන් නෙවෙයි කියලද? එතකොට අපි 'සිංහ ලේ' කියලා කෑ ගහන්නේ බොරුවටද? :)

      Delete
    2. විද්‍යාවෙන් කියන දෙය නම් හැමදාම වෙනස්වෙන බව දැන දැනත් තමන්වත් හරියට නොදන්නා දෙයක් පදනම් කරගෙන අනිත් මත පල්ලෙහාටම දාල කතා කරන එක ගැන පුදුමයි. වර්තමාන පරපුරෙන් වැදි ජනතාවට ලොකු අගතියක් වෙනවා ඇති. මං හිතුවේ ඔබතුමා ජීවහත්ත දිසාලා ගැන අදහස් කරන්න ඇති කියලයි.
      හේතු පල දහම විශ්වාස කරන මනුස්සයෙක් නම් ඔය කකුල් හතරේ සිංහයෙකුගෙන් මිනිස්සු පැවතෙනවා කියන කතාව බැහැර කරයි මං හිතන්නේ. (මේ ගැන ලෝකේ පිළිගත් ජාන පර්යේෂණ කරලා තියෙනවද?) කවුරුහරි 'සිංහ ලේ' කියලා කෑ ගහන්නේ ඇයි කියන එක නම් දන්නේ නැහැ.

      Delete
    3. වැද්දන්ගේ සංස්කෘතිය ඔය විදියට හරි පවතින්නේ සිංහලයන්ගේ හොඳකම නිසයි.
      බලන්න දෙමළ මිනිස්සු ඉන්න ප්‍රදේශවල වැද්දන්ට වෙලා තියෙන දේ
      ඔවුන් අඩුකුලේ දෙමළුන් බවට පත්වෙලා.

      අනිත් කරුණ තමයි 1815න් පසු ලංකාව සිංහල බෞද්ධ රටක් නොවෙයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් එයින් වැද්දන්ට වන හානියට සිංහලයන් වගකිවයුතු නෑ.

      Delete
    4. අඛිල තුමනි නැවතත් ස්තූතියි ඉතා වැදගත් ප්රතිචාරයට. සංවාදයයි වැදගත්. මම කිසි විටක අන්ය මත 'පල්ලෙහාටම දාලා' කතා කර නෑ. ඇත්තෙන්ම මා කලේ ANI වරුනුත් ස්වදේශික කණ්ඩායමක් බවට පවතී මතය සනාථ කිරීමටත් ජාන විද්යාත්මක සාධක සොයාගත් බව සඳහන් කිරීමයි. එය සමාජ හා සංස්කෘතික සාක්ෂි සමග සැසඳුනේ නැතත් සත්යය සත්යයමයි එය බොරු යැයි ඔප්පු කරන තාක් කල්. ANI වරුන් විදේශික කණ්ඩායමක් බවට සාක්ෂි ලැබුණු විට එය සංස්කෘතික හා සමාජමය සාක්ෂි සමග ගැලපුනා. මා සඳහන් කර ඇත්තේ එයයි. මගේ ලිවීම් රටාව නිසා එක් මතයක් පහලට දමා ඇතැයි සිතේ නම් මා කනගාටු වෙනවා. මම කියන්නේ මෙවැනි මත දෙකක් තුනක් නෙවෙයි දහස් ගණනක් පවා බිහිවිය යුතුයි. එතකොට තමයි හොඳම මතයට ගරු කරන සමාජයක් බිහිවන්නේ.
      සිංහයා ගෙන් පැවත එන කතාව ගැන මම 100% ඔබ සමග එකගයි.මා හිතන්නේ එය හුදෙක් මිත්යා කතාවක් පමණයි.

      Delete
    5. ජගත් පතිරණ තුමනි ඔබතුමාගේ ප්‍රතිචාරයට බෙහෙවින්ම ස්තූතියි. එය බොහෝ දුර හිතන්නට පොළඹවන පිළිතුරක්. වැඩි ජනතාවගේ ඉරණම සිංහල සමාජය තුලා හා දෙමළ සමාජය තුළ වෙනස් වෙන්නේ කොහොමද කියලා මම කිසිම විශ්ලේෂණයක් දැකලා නෑ. එය ඉතා වැදගත් සමාජ විද්‍යාත්මක කරුණක් බව නම් පිළිගන්න වෙනවා. දෙමළ සමාජය තුල වැඩි ජනයාට හිමිවී ඇති තැන අඩු නම් (කුල ක්‍රමය තවමත් තදින් පවතින දෙමළ සමාජ තුල එසේ වීමට ලොකු ඉඩක් පවතිනවා මම හරියටම දන්නේ නැති උනත්) ඊට වඩා සිංහල සමාජ තුල ඔවුන්ගේ තත්වය හොඳ නම් එය සාපේක්ෂකව සතුටට කරුණක්. නමුත් එක වැරද්දක් මහා පරිමාණ වන නිසා අනිත් සුළු වැරදි, වැරදි නොවන්නේ නෑ. මම කිව්වේ ඒ නිරපේක්ෂක තත්වය ගැන. මෙරටේ ස්වදේශිකයන් ලෙස ඔවුන්ගේ තත්වය ගැන අපිට සෑහීමකට පත්වෙන්නට බෑ නේද?
      1815 න් ලංකාව ගැන ඔබ කියන මතය ඉතා කුතුහලය දනවන සුළුයි. මොකද ව්‍යවස්ථාවේ තිබුනට ඇත්තටම අපි බුද්ධාගමට මුල් තැන දෙන රටක්ද කියන එක එහෙම නැත්තං බෞද්ධ හැදියාවෙන් යුතු රටක්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. තීරණ ගත් සහ ගන්නා බොහෝ දෙනෙක් ගේ පවුල් පසුබිම ඇන්ග්ලිකන් දහම බව මම දන්නවා. මේ ගැන ලියවුනු ලිපි / පර්යේෂණ පත්‍රිකා ගැන ඔබතුමා දන්නවද? ඒ ගැන තව අපව දැනුවත් කළහැකි නම් අගෙයි.

      Delete
    6. ජගත් පතිරණ මහතා සමග සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.
      වැද්දන් ස්වදේශික වී සිංහලයන් එසේ නොවන්නේ ඇයි? එහෙම වෙන්නේ අපි සිංහයාගෙන් පැවත ආවොත් විතරයිනේ.

      ඔබතුමාගේ පහල පලවෙනි කියමනට මං එකඟ වෙන්නේ නැහැ. එත් එය ඊට යටින් තියෙන ඔබතුමාගේම තවත් කියමනකට පරස්පර විරෝධියි වගේ නේද?

      "එය සමාජ හා සංස්කෘතික සාක්ෂි සමග සැසඳුනේ නැතත් සත්යය සත්යයමයි එය බොරු යැයි ඔප්පු කරන තාක් කල්."
      "ලංකාවේ රාවණාගෙන් හා එයාගේ ජනතාවගෙන් මුළු ලෝකෙම ජනාවාස උනා කියලා තප්පුලන කොටසක් ඉන්නවනේ."

      "තප්පුලන" කිව්වහම මට හිතුනේ පහලටම දාල කතා කරනවා කියලයි.

      Delete
    7. ස්තූතියි අඛිල තුමනි. ඔබේ අදහසට. වැද්දන් ස්වදේශික ලෙස මා සැලකුවේ ඔවුන් මේ රටේ මුල සිටම සිටි ජන කොටස නිසයි. සිංහලයන් යනු ඉන්දියානු හා ස්වදේශික ජනතාව මිශ්‍ර වීමෙන් මුලින් ඇරඹුණු ජාතියක් බවයි මගේ හැගීම. එය සිදු වූයේ අද ලංකාවේ ජීවත් වන අනෙක් ජාතීන් මෙරට පැමිණීමට පෙර බව ඇත්තයි. නමුත් ඒ වැදි ජනතාවගේ ආරම්භයට පසු බවයි මගේ හැගීම. ඔබ උපුටා දක්වන මගේ වාක්‍යය තුලින් මා අදහස් කලේ ජාන විද්‍යාත්මකව ඔප්පු කල දේ සමාජ හා සංස්කෘතික සාධක සමග නොසැදුනද එය වැරදි යැයි කවදා හෝ ඔප්පු වන තෙක් නිවැරදි බවයි. මෙලෙස කියවුනේ X වර්ණදේහ යොදාගෙන කල පර්යේෂණහි ප්‍රතිපල විස්තර කිරීමටයි.
      තප්පුලන යන්නෙන් යම් හෙලා දැකීමක් ඇති විය හැකි බව පිලි ගන්නවා. නමුත් කිසිදු පුරා විද්‍යාත්මක සාක්ෂියක් නොමැති ප්‍රවාදයක් කර පින්නාගෙන යන කොටසකට එය ගැලපෙන වචනයක් බවයි මම සිතුවේ. මේ රාවණා ප්‍රවාදයට කිසිදු සාක්ෂියක් නෑ හුදෙක් කට කතා පමණයි.

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. ඔබතුමාගේ පිළිතුර කියවීමෙන් මට තේරුනේ වැද්දන් ස්වදේශිකයන් බව හා සිංහලයන් එසේ නොවන බව ඔබතුමාගේ මතය පමණක් බවයි. ඒ ප්‍රවාදයට ජාන විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක හෝ වෙනත් සාක්ෂි නැතිද?

      Delete
    10. නැහැ එය මගේ හැගීම පමණක් නොවෙයි. මමත් ඒ අදහස දරන්නෙක් බවයි මා කියන්නේ. වැදි ජනතාව හා සිංහල ජනතාව අතර වෙනස්කම ගැන ජාන විද්‍යාත්මක සාක්ෂි පවා තිබෙනවා. නමුත් දැනට මා ළඟ ඒ තොරතුරු නෑ. සමාජ විද්‍යාත්මක පර්යේෂණ නම් හුගක් සිදුවී තිබෙනවා.ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
    11. සිංහලයන් හා වැදි ජනතාව අතර "වෙනසක්" තියෙනවා කියන්න නම් කිසිම පර්යේෂණයක් ඕනේ වෙන එකක් නැහැ මං හිතන්නේ. ඒත් වැද්දන් ස්වදේශිකයන් බව හා සිංහලයන් එසේ නොවන බව කියන්න නම් පර්යේෂණ, සාක්ෂි ගොඩක් අවශ්‍ය වේවි. සංවාදයේ යෙදෙන්නට ලැබීම සතුටක්, මං නවතින්නම්.

      Delete
    12. ස්තූතියි අඛිලතුමනි. මා ඉතාම ප්‍රිය කල බ්ලොග් ප්‍රතිචාර කීපය අතරට ඔබ හා ජගත් පතිරණ මහතා සමග කල මේ කෙටි සංවාදය අයත් වෙනවා. එය මම ලියන ආකාරය හා සමහර වචන යෙදීම ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බව පසක් කල වටිනා අදහස් කීපයක්. ඔබත් මමත් එකග වන හා නොවන කරුණු තියෙන්ඩ පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ ඒ කරුණු ගැන මිනිසුන් ලෙස සංවාදයේ යෙදීමට හැකි වීමයි. ශිෂ්ටාචාරය වසර දහස් ගණනක් තිස්සේ දියුණු වී අපට දායාද කොට ඇත්තේ එයයි. නැවතත් බොහොම ස්තුතියි!!

      Delete
  6. මේ ලිපි පෙළ මුල ඉඳන් අගට කියවාගෙන එත්දි මගෙ හිතේ මැවිච්චි ලොකු මල්ලි අයියා ටිකෙං ටික මහ දැනුමැත්තෙක් වෙනවා. මේ වගේ ලෝකෙ අහු කොන්වල තියෙන දැනුම එක්කහු කරලා අපේ ඔඩොක්කුවට ගෙනැත් අතාරිනවාට බොහොම පිං. ඉන්දියාවෙ මලයාලං කාරයන්ගෙයි අපෙයි පෙනුම එක වගේ වීම ගැන විස්තරයක් හොයාගන්න ඇහැක් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. සුරංග මලයා කවුද 'සිතියම' කියල බ්ලොග් එකක් පටන් ගත්තේ තමන් දන්න සිතියම් විද්‍යාව අපිට කියල දෙන්ඩ? කවුද මහන මැෂින් ගැන තමන් දන්නා දේ තමුන්ගේ බ්ලොග් එකෙන් කියන්ඩ පටන් ගත්තේ. ඒ දෙන්නම මගේ බ්ලොග් ගුරුවරු. ඔවුන්ට තරම් හැකියාවක් මට නැති උනත් මගෙත් උත්සාහය ඒ ගුරුවරු පෙන්නපු මග යන්ඩ.
      මලයාලම් කාරයෝ ගැන හොයන්ඩ ගියොත් වශී බන්ධනයක් වත් කොරයිද මංදා....ඊට හොඳයි මෙහෙම යමු. ස්තූතියි ඔබේ අදහසට.

      Delete
    2. ඔන්න ගුරුවරු. තමන්ගේ නොදුටු ගෝලයන් ගැන දක්වන ප්‍රතිචාරය!!!

      Delete
  7. හර බර කතන්දර
    එතකොට අපේ ශ්‍රේෂ්ට මුතුන් මිත්ත තෙදබල රාවණා උතුමන්ගේ අසුර බළකාය කොහෙන් මතු උනාද කියල අදහසක් තියෙනෙවද ලොකු මල්ලි තුමනි?

    ReplyDelete
    Replies
    1. නොදන්නෙමි මැතිණිය. සෙවීමට අදහසක්ද නැත.

      Delete
  8. //'පර' දෙමල්ලු ගැන කියන අපිට වැදි නායක තුමා 'පර' සිංහලයෝ කියල කිව්වොත් අපි එතුමාට මොකක් කරන්ඩ හිතයිද?//

    එතකොට කට්ටඩි මහත්තුරු කිව්වොත් ඉන්දියානු ව්‍යාප්තවාදයේ බලල් අතක් ලෙස අසෝකගේ ඔත්තුසේවය විසින් අපේ ඉන්දියානු ගැති රජුන් හා රදලයන් හරහා හෙල ජනතාව මත පැටවූ විදේශීය මිත්යාදෘස්ටික බුද්ධාගමෙන් අපේ පිරිසිඳු හෙල දේසීය ශ්‍රේස්ට සම්යක්දෘස්ටික යක්-බූත-ගස්-ගල් වන්දනා ආගම බේරා ගනිමු කියල?


    ඒක නෙමෙයි තියරි එකක් තියනව නේද ආර්ය කියන්නේ ජානමය ලෙස පැතිරුනු දෙයකට වඩා භාෂා/සංස්කෘතික ලෙස ක්‍රමයෙන් පැතිරුන දෙයක් කියලා?

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ තුමනි ස්තූතියි ඔබේ අදහසට. ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින්. ඉතින් අපි විහින් කට්ටඩියන් පෙරමුණට නොගෙනාවොත් ඒ අයට තවම හඩක් නෑ.
      ඔව්. ඔබ කියන දේ හරි ආර්ය ව්‍යාප්තිය පිළිබඳව තියන එක මතයක් ඒක. නමුත් එවැනි මත බොහෝ ගණනක් ඇරඹුණේ දැන් ලැබෙන ජාන විද්‍යාත්මක සාක්ෂි නොමැති කාලයේයි. නමුත් වර්තමාන සාක්ෂි හමුවේ පවා ඔබ කියන මතය සම්පූර්ණයෙන් බිදී ගොස් නෑ.

      Delete
  9. ඔබේ ලිපි ලිවීමේ රටාව , අන්තර්ගත කරුණු යන ද්විත්වයම ඉතා ඉහල මටමක පවතී! වටිනා ලිපියක්! සාරවත් ලිපියක්!! කියවන්නට සිතෙන ලිපියක්!!!

    ReplyDelete
  10. තව විස්තර දැනකන්න ඕන. මේ මිත්‍යා රාවණ විකෘර්තිය නිසා අපි ද්‍රවිඩ කුලයේ ජන වර්ගයක් වන එක නැවතිය යුතුයි.

    ReplyDelete