Thursday, February 1, 2018

එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට...!


අද පෙබරවාරි මාසේ පටං ගත්තා. ඊයේ පෙරේදා වැහැපු වැස්ස නොවෙන්ඩ මේ පාර නිදහස් දවසට අලගල්ලේ කන්ද වත් නගින්ඩ තිබ්බා කියල තමයි ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ. ඉතිං මටත් හිතුනා අපේ ගං පළාතේ තියන මේ චාරිත්තරේ ගැන ඔබ තමුන්නැහෙලත් එක්ක වචනයක් දෙකක් කතා කරන්ඩ.

ලාංකිකයෝ හුග දෙනෙකුට නිදහස් දවස කියන එක තවත් එක නිවාඩු දවසක් විතරක් උනාට අපේ ගං පලාතට නං එහෙම නෑ.  පොඩි එකා කාලේ ඉඳලම අපේ ගම් පැත්තෙ කට්ටිය නිදහස් දවසට මොකක්  හරි කන්දකට නගිනවා. එක්කෝ අලගල්ලේ, එක්කෝ බලන කන්දට. එක්කෝ බතලේගලට එහෙම නැත්තං උතුවන්කන්දට. එහෙම කඳු නගින්ඩ බෑ කියල හිතෙන උදවිය මා ඔය කොමලියගේ සුන්දර නිමවුමක් වෙච්ච බෝවැල්ල හරි බලන්ඩ යනවා. හැබැයි කන්දක් නගින එක තමයි චාරිත්තරේ. ඒ ගිහින් ඇවිල්ල සතියක් දෙකක් යනකල් පම්පෝරිය කන්ද නැගපු විස්තරේ ගැන! බලන්ටෙපායැ රහ කර කර කන්ද නැගපු හැටි කියන අපූරුව අපේ අම්මලා, අප්පච්චිලා, නැන්දම්මලා, මාමලා, කිරි අත්තලා, කිරි අම්මලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා...ඒ විතරක් නං මදැයි දඩාවතේ යන අපේ ගම ආසිරාවේ ඉන්න බල්ලොත් කතා වෙන්නේ මේ කඳු නැගිල්ල ගැන!!!

මේ අලගල්ල කන්ද  
 
ඇයි මේ කඳු නගින්නේ? කවද්ද මේ චාරිත්තරේ පටන් ගත්තේ? ඇයි මෙහෙම පුරුද්දක් පවත්තගෙන යන්නේ? මේ ප්‍රශ්න එකකටවත් අපි කා ගාවවත් උත්තර තිබ්බේ නෑ. අනික මේ වැඩේ අපේ ගමට සීමා වෙච්චි එකක් විතරකුත් නෙවෙයි. මගේ හිතේ ගලබඩ, කිනිගොඩ දෙකෝරලේම මිනිස්සු එකා වගේ කරන වැඩ දෙකයි තියෙන්නේ. එක හුස්ම ගන්න එක. දෙක පෙබරවාරි හතර වෙනිදට කන්දක් නගින එක!! 

කාලෙකට ඉස්සර -මතකේ තියන විදිහට මම හයේ හතේ පන්ති වල ඉන්දැද්දී -   දවසක් ගමේ කොලු නඩේ වෙච්චි අපි හොයා ගෙන ගියා අපේ ගමට අල්ලපු ගමේ හිටපු වයසක ගම්මුලාදෑනි මහත්තයෙක්ව. "මොකද මේ ඉලන්දාරි ටික මේ පැත්තේ?" කියල අහපුවම අපි අනිත් හැම සිංහලයම වගේ එක හඬින් කිව්වා "නෑ... මේ නිකං ආවේ!" කියල. ඒ උනාට උන්දැත් අනික් ඕනෑම සිංහලයෙක් වගේ හොදාකාරවම දන්නවා කෙනෙක් නිකං නිස්කාරනේ තව එකෙක්ව හොයාගෙන නොයන විත්තිය. ඉතින් එතුම අපිට ඉඳගන්ඩ හෙම කියල වදෙන් පොරෙන් අපෙන් ඇහුවා ආපු කාරණාව. ඔන්න එතකොට තමයි සිංහල සිරිත අනුව ආපු කාරණේ කියන්නේ.

මාමේ ඇයි ඇත්තටම අපි නිදහස් දවසෙදි කඳු නගින්නේ?”

මම පොඩි එකා සංදියේ තමයි අපිට සුද්දන්ගෙන් නිදහස හම්බ උනේ... මුලාදෑනි මාමා කතාව පටං ගත්තා.

උඹල දන්නේ නැති උනාට අපේ අත්තල මුත්තල කිව්වේ සිංහල රජ්ජුරුවන්නේ කාලේ ඉඳලා අපි නිතරෝම හූරා කෑමට ලක්වෙච්ච මිනිස්සු ටිකක් කියලා. පුරුතුගීසි කාරයෝ හරි ලංදේසි කාරයෝ හරි නුවර අල්ලන්ඩ ගියොත් යන්නේ අපේ ගං බිම් උඩින්. දන්නවනේ ඒ කාලේ කොළඹ නුවර පාර වැටිලා තිබ්බේ අවිස්සාවේල්ලෙන් ඔය හිඟුල, ගනේතැන්න හරහා මාකඩවර, බලන, ගන්නෝරුව පැත්තෙන් කියලා. ඉතින් මොන හමුදාව ආවත් ඉස්සරෝම කොල්ල කෑවේ අපිව. අපිට තමයි පැවරුනේ බලන බලකොටුවේ ඉඳගෙන රට අල්ලන්ඩ එන සුද්දන්ව පන්නන එක. සිංහල රජ්ජුරුවොත් අපිව ඇන්දුවා ඉර හඳ කොඩිය දීලා. අපිත් ඇඳ ගත්තා අපි තමයි රජ්ජුරුවන්නේ ආරක්ෂකයෝ කියලා. මොන එකාද නුවර අල්ලන්ඩ ආවේ අපි උන්ගෙන් බැට කෑවා.අපිත් ඇරියේ නෑ. එකා මත්තේ එකා නැහිලා හරි සටන් කළා. අන්තිමට මරුනේ කව්ද? අපි!!! ගෙවල් දොරවල් පිච්චුවේ කාගේද? අපේ. රජ්ජුරුවන්නේ මාලිගේ පිච්චුනේ කලාතුරකින්. එහෙම පිච්චුනත් අපි ගිහිං මාලිගේ හදන්ඩ ඕන. අපේ පැල් කොට හදා ගන්ඩ මොන බල්ලෙක්වත් නෑ ගමේ අනික් මිනිස්සු ඇරුනම!!”

ඔය වෙලාවේ තමයි මුළු රටම සුද්දට යට උනේ. කොළඹ නුවර පාර කැපුනා. බලන බලකොටුව වැඩක් නැති උනා. අපේ ජීවිත බේරුනා. වතු වැවිල්ල හිංදා කාගෙ කාගෙත් ජීවිත සරු උනා. කුල බේදේ ටික ටික අඩු උනා. ළමයින්ට ඉගෙන ගන්ඩ ඉස්කෝල හැදුනා. මොන මොන අඩු පාඩු තිබ්බත් අපි යුද්ද කරලා මරා ගන්නේ නැතුව ජීවත් උනා. ඔන්න එතකොට තමයි අපිට සුද්දගෙන් නිදහස හම්බෙන්ඩ යනවා කියලා කනින් කොනින් ආරංචි පතුරුනේ. අන්තිම යුද්දෙන් පස්සේ පරම්පරා දෙක තුනක් පහුවෙලා තිබ්බත් ඒ කාලේ හිටපු වැඩිහිටියන්ට මතක තිබ්බා රජ්ජුරුවන්නේ කාලේ අපි විඳපු දුක! ඒ වගේම මතක තිබ්බා ඊට පස්සේ කාලේ, ඒ කියන්නේ සුද්දගේ කාලේ  රටට නිදහස නැති උනාට, අපි විඳපු නිදහස!!. කොටිම්ම කියනවා නං රට නිදහස් වෙනකොට අපි හිරේ. රට හිර වෙනකොට අපි නිදහස්!!!....”

“….මේක කුනුහරුපයක් වගේ දැනුනට ජීවිත වලිං වන්දි ගෙවපු, ගෙවල් දොරවල්, වතු පිටි හරක බාන යුද්දෙට බිලි දීපු අපේ අත්තලා, මුත්තලා ගේ කතා අහලා තිබ්බ අප්පච්චිලාට ඒක හොඳට තේරුනා. ඉතිං උන්දැලාට අපිට නිදහස හම්බෙන්ඩ යනවා කියන එක මහ අපබ්‍රන්සයක්!! ඇයි යකෝ මෙච්චර හොඳට හිටපු එකේ, දැන් දැන දැන වලේ වැටෙන්ඩ යන්නේ කියලා.

කොටිම්ම මේ හම්බෙන නිදහස මොකද්ද කියලා අපිට තේරුනේ නෑ. අපිට යුද්දෙන් මැරෙන්ඩ ද මේ නිදහස? ආයෙත් මොකෙක් හරි නුවර යන වෙලාවට අපේ ගෙවල් දොරවල් ටික ගිනි තියවා ගන්ඩ නිදහසදඑහෙම නැත්තං අපේ කොල්ලෝ ටික රජ්ජුරුවෝ වෙනුවෙන් යුද්දෙට ගිහිං මැරිලා ගියාම අඩන්ඩ තියන නිදහසද?”

ඒ හින්දම ඔය හම්බෙනවා කියන නිදහස මොකද්දෑ කියල බලන්ඩ, නිදහස හම්බෙනවා කියපු දවසේ අපි අම්මලා අප්පච්චිලත් එක්ක සූදානං සරීරේ කියලා මේ පැත්ත පළාතේ තියන කඳු උඩට ගියා

මොකක්!!?” අපිට එහෙම කියවුනේ අපි බිබී හිටපු තේ ටික පිට උගුරේ යද්දී

දැන් තොපි හිනා වෙයව් පාහර හැත්ත...! තොපි දැක්කද අපේ ගං ගිනි ගන්නවා? තොපි දැක්කද අපේ අත්තලා මුත්තලා දරු මල්ලො යුද්දෙන් බේරගන්ඩ උන්ව අරං කැලේට රිංගනවා?...මෙතැන හිකි හිකි ගාන්ඩ නං ඉන්නවා!!! මුලාදෑනි මාමට තරහ ගියා නප්පියට!!

නෑ...මාමේ නෑ...තරහ ගන්ඩ දෙයක් නෑ...අපි නොදන්න හින්දනේ මාමගෙන් අහගන්ඩ ආවේ!!”. අපි ඔක්කොම කිව්වේ මුලාදෑනි මාමා හිත හොඳ මනුස්සයා බව දන්නා හිංදා.

 “ඔව්..අපි ගියා කඳු උඩට!! පේනවද බලන්ඩ ඔය දෙන නිදහස මොන වගේ එකද්ද කියල. ඉස්සරනං පුරුතුගීසි කාරයා එනකොට ලෙව්කේ පැත්තට වෙනකල් බලන කන්ද උඩ ඉඳන් බලා ගන්ඩ පුළුවන්. එතකොටයි අපි යුද්දෙට ලෑස්ති උනේ!!”

ඉතින් මාමේ මොකද උනේ?”

අපි දැක්කේ නෑ ඔය කියපු නිදහස දෙනවා. පහුවදා පත්තරේ නං තිබ්බා නිදහස හම්බුනා කියලා!

අපි කවුරුවත් හිනා උනේ නෑ. එච්චර දැනුං තේරුං නැති උනාට අපිට තේරුනා මොකද්දෝ ලොකු තේරුමක් මුලාදෑනි මාමගේ කතාවේ තිබ්බා කියලා.

ඔන්න ඔහොමයි ඔය කඳු නැගිල්ල පටං ගත්තේ. දැන් උඹලත් ඒකම කරනවා. අඩු ගානේ ඇයි එහෙම කරන්නේ කියලවත් වයසක අපෙන් ඇහුවේ උඹලා විතරයි. මට ඒකට හරි සතුටුයි. එහෙම කියලා ගේ ඇතුලට ගිය මාමා බ්‍රවුන් පේපර් පිට කවරයක් දාපු පොතක් ගෙනල්ල දුන්න.

උඹලා ඔය ඉංගිරිස් පොත කියවපල්ලා. බලහන්කො ඒ කාලේ හැටි...අපිට සමු දෙමින් මුලාදෑනි මාමා කිව්වා. අපේ සෙට් එකේ ඉංග්‍රීසි ටිකක් හරි කියවන්ඩ පුළුවන්කම තිබ්බේ මට විතරක් හිංදා පොත මට සින්න උනා. (ඒ පොත පුන්චිබණ්ඩාර දොළපිහිල්ල මහත්තයා ලියපු In the Days of Sri Wickramarajasingha. මේ ලිපිය ලියන මොහොතේත් ඒ පොත මගේ ඉස්සරහ තියනවා. පොතේ කරුණු සම්පූර්ණයෙම්ම ඇත්ත නොවුනත් රජ්ජුරුවන්නේ  කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්ඩ ඇද්ද කියලා පොත කියෙව්වම හිතා ගන්ඩ  පුළුවන්. මේ ගැන වැඩි විස්තර ඇහැලේපොළ නිළමේ ගැන මම ලියපු මේ ලිපියෙනුත් ඒ කාලේ වෙච්ච සමහර සටන් ගැන පාදඩ තුමා ලියපු පරංගි මහ හටන හා කොන්ස්තන්තීනු හටන කියන ලිපි මෙතැනිනුත් බලා ගන්ඩ පුළුවන්. හැබැයි ඒ කොතැනවත් කියවෙන්නේ නැති මගේ මුතුන් මිත්තෝ තමයි ඔය හැම හටනකම ඉස්සරහට ගිය සෙබළු!).

මුලාදෑනි මාමා අසූ ගණන් වල අග මියැදුනා. ඒ වෙනකොටත් අර හම්බෙච්ච නිදහස ගැන තිබ්බ සැක සංකා ඇත්ත කරවමින් අපේ අම්මලා අප්පච්චිලා 71 දීත් 88-89 දීත් කැලේ හැංගුනා. මොක නැතත් නිදහස් අධ්‍යාපනේට පිං සිද්ද වෙන්ඩ අපි රස්සාවල් වලට ගිය හිංදා හමුදාවට යන්ඩ උනේ නෑ. ඒත් ඒ තරං වාසනාවක් නොතිබ්බ දාස් ගානක් සිංහල දෙමළ කොල්ලෝ කෙල්ලෝ අපි නොදන්න නිදහසක් වෙනුවෙන් ජීවිත පූජා කළා. 'මායිම් ගම්මාන' වල අම්මලා අප්පච්චිලා රෑ කීයක් නං තමුන්නේ දුවල පුතාලගේ පණ රැක ගන්ඩ කැලෑ වල ජීවත් වෙන්ඩ ඇද්ද? කී දාහක් පණ බේර ගන්ඩ රට අත් ඇරලා යන්ඩ ඇද්ද? කී දාහක් අදත් තමුන්නේ නැති වෙච්ච දුව පුතා වෙනුවෙන් අඩනවා ඇද්ද?

ඇත්තටම මට හිතෙනවා අපිට මේ හම්බෙච්ච නිදහස බර වැඩිද කියලා. මේ නිදහස මීට වඩා ඇගට දැනෙන විදිහට ගන්නේ කොහොමද? අපි නිදහසට කියමුද අපිට දැනෙන විදිහකට එන්ඩ කියලා. නන්දා මාලිනී ගේ ගී ගායනාවක් මට අතීතෙන් ඇහෙනවා.

ගංගාව දකින්නට එන්න ඔබත්
සිනා කඳුළු පිරි අතීතයෙන්
දිගු ඉවුරු දොවා ගලනා 
ගංගාව දකින්නට එන්න ඔබත්…!
මල් යාය දකින්නට එන්න ඔබත්  
එලිය අඳුර තුල අතීතයෙන්
මුදු සුවඳ උරා පිපෙනා
මල් යාය දකින්නට එන්න ඔබත්…! 
සා මුව සිහ බඳු නෑ සිය පිරිවර
රුපු සෙන් හමුවේ…. කෙසරුන් සේ නැගුනා…..
නීළඹ සිඹිමින් කඳු වැටි ගහ කොළ
මව්බිම මතුයේ….  විරුවන් වෙත නැමුනා….
රැයේ දහවලේ කඳුලැලි හංගා
ලෝහිත රුහිරය වගුරා….. නොසැලී සිටියා

එතුමියගේ ගයනාවේ තියන ඔක්කොම සුදුසුකම් සපුරලත් අපි තාම ගංගාව දැක්කේ නැත්තේ ඇයි? කෝ මල්යාය? එදා මායිම් ගම්මාන වෙච්ච අපිටත්, පස්සේ මායිම් ගම්මාන වෙච්ච උතුරු නැගෙනහිර සිංහල, මුස්ලිම් ගම්මානත්, අද මායිම් ගම්මාන වෙලා තියන ගං රටවල් වල ජීවත් වෙන හැම දෙනාගෙමත් ඉරණම රුපු සෙන් හමුවේ කෙසරුන් සේ නැගීම විතරද? ‘රැයේ දහවලේ කඳුලැලි හංගා ජීවත් වීම විතරද? අපිට මල් යාය අකැපද?

දැන් මට මතක් වෙනවා අපිට නවය වසරේදී සිංහල උගන්නපු අමරපති මැඩම් ගේ කතාවක්. හිරි යන්ඩත් එක්ක කියවමු නේද ඒ කතාව?

ඔය ඉන්දියානු නිදහස් සටනට මහත්මා ගාන්ධි තුමා නායකත්වය දෙන වෙලාවේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් තිබ්බලු. ඉංගිරිස් ආණ්ඩුවත් ඇරියේ නෑ, ඔය නීති කඩ කරන හැම කෙනාම හිර බාරෙට ගත්තලු.  ගාන්ධිතුමාත් දන්නවා හිර ගෙවල් වලට දාන්ඩ පුළුවන් සීමාවක් තියනවා කියලා. ඉතින් එතුමත් වැඩේ නවත්තාන්නේ නැතුව කරගෙන ගියා. ඔය වැඩසටහනට අයිති එක එක අංග යටතේ කොච්චි පාරවල් වල බිම ඉඳගෙන කොච්චි වැඩ කරන්ඩ නොදී සිටීමේ ව්‍යාපාරෙකුත් තිබ්බලු. දවසක් ඔහොම කොච්චි පාරේ ඉඳගෙන කට්ටිය විරෝධය දක්වනකොට පොලිසිය ඇවිත් ඔක්කොමලා අල්ලාගෙන ගියා. ඒ කට්ටිය අතරේ හුග දෙනෙක් නිදහස් සටන් කාමීන් වෙනකොට කීප දෙනෙක් හිටියා උදේ කොච්චි පාරේ මලපහ කරන්ඩ ආපු එවුනුත්. ඒත් ඒ කට්ටිය ඔක්කොම නිදහස් වෙනකොට මිනිස්සු දාස් ගානක් ඇවිල්ලා, ජාතික වීරයෝ විදිහට මල් මාලා දාලා පිළිගත්තා,. මහත්මා ගාන්ධිත් එක්ක මේ මලපහ කරන්ඩ ගියපු උනුත් ජාතික වීරයෝ උනා. දැන් අමරපති මැඩම් ගේ වචන වලට කෙලිම්ම යමු.

"ඔයාලටත්  ඕන නං ජාතික වීරයෝ වෙන්ඩ පුළුවන්. එක ගාන්ධි වගේ වැඩ කරලා. දෙක හරි වෙලාව එනකල් බලා ඉඳලා පාරෙ කක්ක කරලා. තමුන් කැමති විදිහ තම තමුම්ම තීරණය කර ගන්ඩ!!"

එදා අමරපති මඩම් කියපු දේ හරියටම නොතේරුනාට මම ඔය කතාව සිංහල පොතේ ලියාගෙන තිබිලා පස්සේ හම්බ උනා. එතකොට මට තේරෙනවා ලංකාවෙත් ඔය කියන නිදහස් සටනේ සමහර වීරයෝ ඇත්තටම පාරේ 'රීපු' උන් බව. ඒ විතරක් නෙවෙයි එහෙම ජාතිය යන්ඩ තියන පාරේ රීපු උන් පස්සේ රටේ නායකත්වයටත් පත් උනා. එහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි! එදත් එහෙමයි. අදත් එහෙමයි!!

ඒත් අපි තාම පරක්කු නෑ. අපි ඔක්කොම එක්කහු වෙලා ගායනා කරමු නිදහසේ ගීතය!
බැඳලා දාමු අපේ සම්පත් වෙන රටවල් වලට ගලා යන වක්කඩ. අපේ අනාගත පරම්පරාවට සැකෙන් බියෙන් තොරව කඳු උඩට නැගලා ක්ෂිතිජය බලන්ඩ පුළුවන්,  සත්‍යයේ මල් පිපිච්ච, තර්කයේ ගංගාව ගලන අලුත්ම යුගයක් උදා කරමු. මං මොකටද අලුතින් ලියන්නේ. අපි අහමු ගුණදාස අමරසේකර මහත්තයගේ වක්කඩ බඳිමු කවි පෙළ.

කළු කරගෙන හතර වටින් වැහි කළුවක් මුදුන් වෙනව
හණිකට බැඳපන් වක්කඩ, මේ සැරෙ නොවැරදි වහිනව
දෙයියෝ අපි ගැන බලලා වැස්ස වලාහකය එවල
පොදේ නොකැඩි වැස්ස වැහැල , පිරෙනව ඇළ දොළ ඉතිරිල
බැඳපන් වක්කඩ හණිකට ඔන්න ඔන්න පොද වැටෙනව
පොලොව සතුටෙ 'හූම්' ලනව මෙන්න බලාපන් දැනෙනව

කවිය තව දිගයි. එහෙම වක්කඩ බඳින එක දේශපාලකයෝ කරන කල් බලා ඉන්ඩ ඕන නෑ. අපේ කුඹුරෙ වක්කඩ අපි බඳිමු. එක යායට ගොයියෝ ඔක්කොම වක්කඩ බැන්දම පැහෙයි කුඹුර රන් පාටින්!!

ඔබ සැමට අර්ථාන්විත නිදහසක් ලැබේවා!

ආශ්‍රිත ග්‍රන්ථ

භාව ගීත- ගුණදාස අමරසේකර, විසිදුනු ප්‍රකාශකයෝ (2009)

48 comments:

  1. අද උදේ නිදහස තදින්ම හම්බවුනා, වාහනවල පැය ගාණක් ඉඳං රේඩියෝ අහන්න, ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් වැඩ කරන්න, ගාලු පාර රිහර්සල්වලට වැහුවාම

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ මමත් අහන්නේ ඔය පෙබරවාරි හතර - ඇයි අපේ නිදහස් දවස පෙබරවාරි හතර උනේ ....ඕක අයිවර් ජෙනින්ග්ස් මහත්තයාගේ නෝනගේ උපන් දිනය - අපිට පෙන්නන නිදහස කාටද ඇත්තටම ලැබුනේ කියලා? අපි නිදහස් ජාතියක් වීම හොඳයි හැබැයි ඒ නිදහස ඇත්ත එකක් නං. අද කව්ද 'මායිම් ගම්මාන වැසියෙක් නොවෙන්නේ? හැම ලෙඩෙක්ම මායිම් ගම්මාන වැසියෙක්. ආණ්ඩුවයි වෛද්‍ය සංගමෙයි ගහගන්නකොට තැලෙන්නේ ලෙඩ්ඩු. අපි පෙබරවාරි හතර කඳු නගිනවා. ලංකාවේ හුගක් අය කට ඇරන් බලා ඉන්නවා ගාලු මුවදොර හමුදා පෙළපාලි. හැබැයි අපි කවුරුවත් දකින්නේ නෑ ඔය කියන නිදහස. අපි දකින්නේ අපේම මිනිස්සු පෙළපාලි යනවා එක එක ඇඳුම් ඇඳගෙන. පෙලපාලියද නිදහස කියන්නේ?

      Delete
    2. නිදහස , සර්වජන චන්දබලය හා ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනේ වැඩවසම් මානසිකත්වයෙන් නොමිදුනු මිනිසුන් සහිත රටකට. ඉන්ගලන්තෙත් අවු 1000ක් විතර ඉතා හිමින් දියුණු වුන ක්‍රමයක් දඩෝං ගාල අපිට දුන්නා. ඉන්ගලන්තෙත් දැනට අවු 200-300 කට විතර ඉස්සර දේශපාලනේ සෑහෙන්න දූෂිතයි (see- rotten boroughs). කාලය ගතවීමෙන් තමයි වෙනස් වෙමින් දියුණුවුනේ. අපිට ෆිනිෂ්ඩ් ප්‍රොඩක්ට් එක ඉබේම ලැබුනා. ඒකෙන් වැඩක් කරගත්තෙ දේශපාලකයො විතරයි. මිනිස්සු ඉස්සර නිලමෙලට, රටේ මහත්තයලට වැඳපු විදිහට චන්දෙන් පත්වෙන දේසපාලුවන්ට වඳින්න ගත්තා

      Delete
    3. හරියටම හරි ප්‍රා ජේ. මේ ඇත්ත අපේ මිනිස්සු කවදා තේරුම් ගනීද? මම මීට අවුරුද්දකට විතර ඉස්ස්සර දැක්කා එකේ වැඩසටහනක්. කොහොමද එංගලන්තේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නයක් අහන්ඩ සූදානම් වෙන්නේ කියලා. ඔවුන්ට පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් නෙවෙයි. ඇමරිකානු සෙනට් විවාද දිහා බලන්න. ඒවායේ තනි තනි නියෝජිතයාගේ මතයටත් තැනක් තියනවා. ඔවුන් යම් තීරණයකට පෙර තමන්ගේ චන්ද දායකයා හැසිරෙන විදිහ ගැන හිතනවා. මතකද මෑතකදී පරිපූරක අය වැයට පක්ෂව චන්දය දුන් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනට් සභිකයෝ? ලංකාවේ එහෙම උනා නං මොකක් වෙයිද?

      Delete
    4. ඉන්ගලන්තයේ සර්වජන චන්දබලය ලැබෙනකොට ජනතාව servile mentality එකෙන් බොහෝදුරට ඈත්වෙලා. මෙහෙ නොවුන නිසා ජනතාවට මානසිකව එහෙම වෙන්න චාන්ස් එකක් local දේසපාලකයො දුන්නේ නෑ.

      මං හැමදාම හිතන්නේ මේ රටට වැඩියෙන්ම ආදරේ මෙහෙ දේසපාලකයො කියලා. මොකද මෙහෙ වගේ බලයක් හා සැපපහසුකම් ලැබීම හා වගකීම / වගවීම අඩුවීම වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේසපාලකයින්ට නෑ. ඉතින් මේ රට හොඳම දේසපාලුවන්ට. පිටරට පෞද්ගලික සංචාර මෙහෙ යන සමහර දේසපාලකයින් හරියට අමාරුකම් විඳිනවා තමන්ට කිසිම ගෞරවයක් නෑ කියලා. ලංකාව දේසපාලකයින්ගේ පාරාදීසයක්

      Delete
  2. ඔය පොත ගැන විස්තර ටිකක් දැන ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමාර තුමනි. මේ පොත පිටු 303 තියන පරිච්චේද 13 තියන එකක්.ප්‍රකාශනය සමන් මුද්‍රණාලය, මහරගම. 1959 දී තමයි පළමු මුද්‍රණය. මගේ ළඟ තියන මුලාදෑනි මාමාගේ පොත ඒ මුද්‍රණයේ එකක්. ඔහු සත්‍ය තොරතුරු කතා රූපයෙන් ලියා ඇති බව තමයි කියවෙන්නේ. හැබැයි මෑතකදී පළවුණු මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතාගේ පොතේ - එය නෙරපූ රජ නමින් සිංහලට පරිවර්තනය වී තිබෙනවා දැන්. මං හිතන්නේ සරසවි ප්‍රකාශනයක්- කරුණුත් එක්ක මෙහි කරුණු සමහරක් සැසදෙන්නේ නෑ. මහාචාර්ය ඔබේසේකරගේ පොත වඩා තර්කානුකූල බව පෙනෙන හේතුව මේ පොත කතා ස්වරූපයෙන් ලියා තිබීමද යන්න නොදන්නා නමුත් මේ පොත් දෙකම සිංහලේ අන්තිම රජුගේ කාලය ගැන හොයන කෙනෙක් කියවන්ඩ ඕන පොත් දෙකක් කියලයි හිතෙන්නේ.

      Delete
  3. ඔයපොත ස්කෑන් කරලා pdf අප් ලෝඩ් කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මම පෙර දී කිවූ ලෙසම එහි පිටු 301 තිබෙනවා. එනිසා එය ලේසි වැඩක් නෙවෙයි. අනික අපි බුද්ධිමය දේපොළ හිමිකම් ගැනත් හිතන්ඩ ඕන නේද? විජේසිංහ තුමනි ඔබේ උනන්දුව අගය කරමින් ම මම හිතනවා ඔබට උනන්දු වුවහොත් එහි පිටපතක් පුස්තකාලයක හොයා ගන්ඩ පුළුවන් වේවි කියලා. මට පෙර උත්තරේදී කියන්ඩ බැරි උනා 1959 දී මෙහො මිල රුපියල් 12.

      Delete
  4. අපට නිදහස නොලැබුණා නං මීට වඩා සතුටින් ඉන්න ලැබෙයි කියල උඹට හිතෙන්නෙ නැද්ද ලොකු මල්ලි.

    ReplyDelete
    Replies
    1. අඩු ගණනෙ මිනිස්සුන් පොඩ්ඩක් දියුණු වෙනකම්, චන්දෙ මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද කියන එක ටිකක් ඉගන ගන්න කම් 1960 ගණන් වෙනකම්වත් අල්ලගෙන හිටියනම්

      Delete
    2. හැලපතුමනි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා Sunday Times පත්තරේට ගිය සතියේ ලියපු ලංකාවේ දුම්රිය සේවය ගැන තීරු ලිපිය කියවන්ඩ. එදා සුද්දෝ කොහොමද දුම්රිය පටන් ගත්තේ කියලා. අපි ගැන අපි දුක් වෙන්ඩ ඕන ඒ උනන්දුවෙන් සීන් එකක් පශ්චාත් නිදහස් සමයේ නැතිවීම ගැන. නමුත් මම පෞද්ගලිකව හිතන්නේ නෑ අපි සුද්දන්ට් යටත් ව සිටිය යුතුයි හෝ එලෙස සිටීම හොඳයි කියලා. අවාසනාවට අපිට බැරි උනා රට හරි මග ගෙනියන්ඩ. විශේෂයෙන් 56, 59, 71, 83,87-89 වගේ සිද්ධි වලක්වා ගන්ඩ අපිට බැරි උනා. එහෙම නේද?

      Delete
    3. ඒක තමයි කියන්නේ අපි සුද්දාගෙන් නිදහස් උනා නෙවෙයි සුද්ද අපෙන් නිදහස් උනා කියල.. හැක්.

      Delete
  5. සිරාවට ලබ්බේ නිදහසක් තමයි ලංකාවට ලැබිලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. නටපු තොවිලෙකුත්, බෙරේ පලුවකුත් නැති කතාවක් තමා අපේ ගම්පැත්තේ කියන්නේ...!!

      Delete
  6. ලොකු මල්ලි අයියේ..!! මේක කියවල අපි ගැනම සියළුම ජාතින් ගැනම තුක් නොදකින් කියන්න බැරි තරමටම කළකිරීමක් දැනුන. රෙද්දෙ නිදහස.. 😡😡😡😡

    ReplyDelete
    Replies
    1. ටික්කා මල්ලියේ ඔබේ සහ කම්පනය ගැන ස්තූතියි. හැබැයි අපේ පරම්පරාවට නොලබිච්ච නිදහස ඉස්සරහට එන දුවලා පුතාලට වත් ලැබෙනවානං අපිට අපේ රට ගැන ආඩම්බර වෙන්ඩ පුළුවන්. හැබැයි ඒක නිකං හම්බ වෙන්නේ නෑ. කවුරුවත් අපිට ගෙනැල්ලා දෙන්නෙත් නෑ. අපිම මහන්සියෙන් හදා ගත්තොත් තමයි.

      උදාහරනෙකට කියන්ඩද අපි හැමෝම ජාති ජාතිත් ණය ගති උත්තමයෙක් වෙච්ච සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහත්තයා නිදහස් අධ්‍යාපන යෝජනා ඉදිරිපත් කරමින් එදා රාජ්‍ය සභාවට 1944 මැයි 30 කරපු කථාවෙන් කොටසක්......"ගරු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභික වරුනි, එදා ඔගස්ටස් අධිරාජ්‍යයා පුරසාරම් දෙඩුවා මා එනවිට තිබූ ගඩොලින් බැඳි රෝමය වෙනුවට ඉතිරිකොට ආවේ කිරි ගරුඬමය රෝමයකි කියල. ආන්න ඒ වගේ අප යන විටද මිල අධික අධ්‍යාපනයේ මිල බැස්සුවාය, වසා මුද්‍රා තබන ලද පොතක් මෙන් වූ අධ්‍යාපනය විවෘත ලිපියක් බවට පත් කළාය, ධනවතුන්ගේ වරප්‍රසාදයක් වූ අධ්‍යාපනය දිළින්දන්ගේ දායාදයක් බවට පත් කළාය කියලා උදම් අනන්ට මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට හැකිවුවහොත් එය කොතරම් අගේද?"

      මල්ලි අපේ පරම්පරාව යන දවසට කියන්නේ මොකද්ද?

      Delete
  7. //"ඔයාලටත් ඕන නං ජාතික වීරයෝ වෙන්ඩ පුළුවන්. එක ගාන්ධි වගේ වැඩ කරලා. දෙක හරි වෙලාව එනකල් බලා ඉඳලා පාරෙ කක්ක කරලා. තමුන් කැමති විදිහ තම තමුම්ම තීරණය කර ගන්ඩ!!"//මේ කතාව ලංකාවෙම මිනිස්සුන්ට තේරුම්ගිය දවසට තමයි පාර්ලිමේන්තුව සුද්ද වෙන්නෙ.

    මේ සතියෙ අලගල්ල නගින්ඩ යන්ඩ ඕනි,අඩිපාරවල් සුද්ද කරලා ගල උඩ ඉඳන් කඹ දාන නිසා යන්ඩත් ලේසිවෙයි.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒකයි!!ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  8. සුද්දා අපෙන් නිදහස් වෙලා ගියා බං....

    උඹේ ලිවිල්ල මල් මසුරන් කොලුවෝ....

    ReplyDelete
    Replies
    1. මාතලන් සෑර්ගේ කතාව සැටිපිකෙට් ඇත්ත. සුද්ද අපෙං නිදහස් උනා.
      දැන් බලන්ඩ ලොකු මල්ලි සෑර් අපේ වැඩ කිඩ. සුද්දට නිදහස දීල අපි සෙලිබ්‍රේට් කොරනවා. මහම්මත් තුමා උපන් රටේ, සීයට සීයක්ම වගේ එයාගේ අනුගාමිකයින් ඉන්න රටේ නැති උනත් අපි මහම්මත් තුමාගේ උපන්දිනේ සමරනවා. අන්න ඒ වගේ එල කොල්ලෝ ඉන්න රටක් මේක.
      මතකයි නේද ඉස්සර බාග ගනං උගන්නනකොට කියල දෙනවනේ ලවය බෙදීම හරය (හරි නේද මං කිව්වා) කියල දෙයක්. ඉතින් ගානක අගය වැඩි කොරන්ඩ ලවය වැඩි කොරන්ඩ ඕනේනේ. අපේ අය වැඩි කොරනවා නමුත් ඉරෙන් පහල කොටස, ඒ කියන්නේ හරය.අන්තිමේ වැඩි කොරා තමයි වෙලා තියෙන්නේ අනිත් පැත්ත.
      සාදුල සින්දු ලියනවා, බේකරියේ කාබයිට් විකුනනවා. කන්ද පාමුල ඉඳල තමයි බලං ඉන්නේ. එකට තමයි කැමති. මුලාදෑනි මාමල වගේ ලොකු මල්ලි සෑර්ලවත් ඉඳ හිටලා වත් කන්ද නගින එකත් කන්ද නගින්ඩ මතක් කොරන එකත් බෝම හොඳ වැඩ.

      Delete
    2. හැට්ටර් තුමාගේ කතාවත් සැටිපිකේට් ඇත්ත. අවුරුද්දේ දොළහෙන් එකක් රජයේ නිවාඩු. තව දොළහෙන් තුනක් සති අන්ත. තව දොළහෙන්දෙකක් නිවාඩු හිමියි. එතකොට අවුරුද්දේ බාගයක් ඉවරයි. ඊගාවට වැඩ කරන්නේ පැය අටක් හිංදා ඇත්තටම වැඩ කරන්නේ මාස දෙකක් විතරයි. ඔය වැඩ කරන පැය අටෙනුත් නිදා ගන්න, පත්තරේ බලන, උදේ, දවල් කෑම, පත්තරේ බලන, දැන් නං ෆේස් බූක් යන, අනුන්ගේ ඕප දූප කතා කරන, මේකප් දාන, වෙන පෞද්ගලික වැඩ කරන වෙලාව අත ඇරපුවම වැඩක් වෙන්නේ මාසෙක විතර කාලයක්. මෙහෙව් රටට මොට පායාද සූරියා කිව්වලු!!!

      Delete
    3. මාතලන් තුමනි මට මැවිලා පේනවා 48 පෙබරවාරි පහ ලන්ඩන් වල පත්තර හෙඩිමක්!! Ultimately we are free!!

      Delete
  9. A very thought- provoking article!

    ReplyDelete
  10. අපිට උගන්වපු ඉතිහාසය පිටුපස තව ඉතිහාසයක් තියෙනවා.ගොඩක් වෙලාවට ඒක දුක්බරයි.ලංකාවේ බොහෝ වෙලාවට ඇත්ත හංගනවා.වර්තමාන එදිනෙදා ජීවිතයේදී පවා මම එය දකිනවා.හැමදේම බොරු කඩතුරාවකින් වහගෙන ඉන්න අපි ආසයි.සරලබව නෑ.සැහැල්ලු,අවංක මිනිහාට පිළිගැනීමක්,තැනක් නෑ.එහෙව් ජාතියකට පැවැත්මක් නෑ.ජීවත් උනත් මැරිලා වගේ!

    ReplyDelete
    Replies
    1. ලලිත් ගුණවර්ධන තුමනි හැබෑවටම කාටද මේ වහල තියන ඉතිහාසය එහෙම්ම තියා ගන්ඩ ඕන? මට හිතෙන්නේ මුළු සමාජයටම අඩු ගානේ සමාජයේ සියලු ප්‍රභූ සහ මද්යම පාන්තික කොටස් වලට ඕන මේ ගඳ ගහන ඉතිහාස කොටස වහ ගන්ඩ. උටෝපියානු සිහිනය දකින්ඩ පුළුවන් වෙන්නේ ගඳ දැනෙන්නේ නැති නින්දකදී!!

      Delete
  11. අපි මහා ලොකුවට එක ලේ බිදුවක්වත් නොසෙල්වා සුද්දාගෙන් නිදහස ගත්ත කියල පම්පෝරි ගහනවා.අපිට දැන් බැරිද සුද්දාගෙන් ඉල්ලන්ඩ ආයේ මෙහෙ එන්ඩ කියල.නිදහස තියනවා පාර්ලිමේන්තුවේ ඉන්න හොරු රැළට.

    ReplyDelete
    Replies
    1. අපොයි සුද්දෝ ආපහු ආවොත් අපේ වැඩ පුරුදු වෙලා ගිහිං උන්ගේ රටත් විනාශ කර ගනියි.

      Delete
  12. "ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්දැයි අවබෝධ කොට නොගත් ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම වඳුරකුට දැලි පිහියක් ලබා දීමට වඩා භයානකය."

    ReplyDelete
    Replies
    1. ඔය කියමන අද කාලේ හැටියට වෙනස් කලොත් වඳුරාට න්‍යෂ්ටික බෝම්බයක් ක්‍රියාත්මක කරනා යතුරක් දුන්නාක් වැනිය!! ඌත් නසී, වටේ ඉන්න එවුනුත් නසා මුළු ලෝකයත් නසයි!!

      Delete
  13. ඔච්චර ම අප්සෙට් ගහන්න එපා. ලංකාව නරකම රටක් නෙමේ. ලංකාවට වඩා සවුත්තු රටවල් තියනවා ඕන තරම් . නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය තියනවා. නිදහස් දදේශපාලකයෝ පිරිසක් ඉන්නවා. නිදහස් පාරවල් හදල තියනවා. තමන්ට ඕන වෙලාවට යන නිදහස් දුම්රිය තියනවා. නිදහස් පෞද්ගලික් බස් සේවාවල් තියනවා., නිදහස් පෞද්ගලික වෛද්‍ය ආයතන තියනවා, නිදහස් තමන්ටම අයිති ත්‍රි විල් තියනවා , නිදහස් ආණ්ඩුවෙන් දෙන නිදහස් වාහන තියනවා, තමන්ට ඕන විධිහට හොරු අල්ලන නිදහස් පොලිසියක් තියනවා, නිදහස් පත්තර තියනවා ඒවායේ අයිතිකාරයට නිදහස තියනවා , නිදහස් රුපවාහිනී සේවා තියනවා, අයිතිකාරයට ඕන කෙනෙකුට බනින්න පුළුවන්, නිදහස් මහේස්ත්‍රාත් ල ඉන්නවා ජනාධිපති පත් කරන, නිදහස් නීතිඥයෝ ඉන්නවා, නිදහස් දොස්තරලා ඉන්නවා, නිදහස් නේස් නෝනලා ඉන්නවා, අපොයි තව කොපමන නිදහස් දේ තියේද?

    ReplyDelete
    Replies
    1. නිදහස් නේස් නෝනලා ඉන්න තැනක් අනේ අපිටත් කියන්නකෝ.

      Delete
    2. අජිත් ධර්ම තුමනි ඇත්ත අපේ රට ලෝකේ සමහර රටවල් වලට වඩා හොඳයි. තාම අපි කොහොම කොහොම හරි 'නිදහස්' අධ්‍යාපනයත්, නිදහස් සෞඛ්‍යයත් පවත්තගෙන යන එක ඒකට උදාහරණ. හැබැයි ඇයි අපිට හොඳ ම රටවල් අතරට යන්ඩ බැරි...?
      එහෙම බැරි වෙලා තියෙන්නේ ඔබතුමාගේ අදහසේ දෙවැනි කොටසේ සඳහන් ගොබිලෝ හිංදා. මුං නිදහස් අධ්‍යාපනය කියලා හිතන්නේ වරප්‍රසාද ලත් කීප දෙනෙකුට නොමිලේ ඉගෙන ගන්ඩ ඉඩ තැබීම සහ අනිත් උන් පුලු පුළුවන් විදිහකට ජීවිතේ ගැට ගහ ගන්ඩ උත්සාහ කිරීමට ඉඩ දීම. මට හිතෙන්නේ නිදහස් අධ්‍යාපනය වෙන්ඩ ඕන වරප්‍රසාද ලත් අයට ඒ වරප්‍රසාද පාවිච්චි කරලා ඉගෙන ගන්ඩ සහ වරප්‍රසාද නොමැති අයට නොමිලේ ඉගෙන ගන්ඩ පුළුවන් අන්තිමට දෙගොල්ලොම තම තමන් කැමති ජීවිත ගත කරන්ඩ පුළුවන් රස්සාවල් කරන ක්‍රමයක්. එහෙම නැති තාක් අපි පරණ වැඩවසම් ක්‍රමය පවත්තගෙන යනවා!! එහෙම නේද?

      Delete
    3. එහෙමයි . එකඟයි

      Delete
    4. අපොයි එහෙම කියන්ඩ එපා අජිත් ධර්ම තුමනි මට ලැජ්ජා හිතෙනවා!!

      Delete
  14. නිදහස දෙන්න ඉස්සර මිනිස්සුන්ගෙ මොළගෙඩි ටික නොහදපු එක තමයි ලොකුම වරද. නිදහස හම්බ උනාට පස්සෙ ඒක ලබාගත්ත අය මිනිස්සුන්ගෙ මොළ අප්ඩේට් වෙන්න ඉඩ තිබ්බෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මොළ හදන්නේ කොහොමද ප්‍රසන්න තුමනි නිදහස් අධ්‍යාපනේ ගේන්ඩ හදන කොට තමුන්ගේ වතු වල පොල් කඩන්ඩ මිනිස්සු නැති වෙනවා කියලා ඊට විරුද්ධ වෙච්ච උන් රටේ නායකයෝ විදිහට පත් කරගත්තු කොට!!!

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපිය වෙනුවෙන් පළවුණු කැමතිම අදහස මේක තමයි සුරංග තුමනි. මෙව්වා ගැන කතා කරලා මොකට කාලේ නාස්ති කරනවද නේද?

      Delete
  16. වහල් මානසිකත්වයෙන් නිදහස් වෙන්න බැරි තාක් කල් අපිට නිදහසක් නෑ.. සුද්ද යම් තරමකට උත්සහ කරා රජ සිස්ටම් එකෙන් අපිට උරුම වෙලා තිබ්බ වහල් මානසිකත්වය අයින් කරන්න නීති අණ පනත් මගින්.. ඒත් උන්ගෙත් කල් ක්‍රියාව හොඳ නැති නිසා උන්ටත් මේකේ දිගට ඉන්න බැරි උනා.. අන්තිමට කොහොම හරි උන් නිදහස් වෙලා ගියා.. අපි ආපහු රජ වරුන්ගේ වහල්ලු උනා..

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කරන්ඩ එපා කල්‍යාණ මිත්‍ර තුමනි, 'වහල් ක්‍රමය' නැති කරොත් කොහොමද අපේ ළමයි හොඳ ඉස්කෝල වලට දාගන්නේ? කැම්පස් යවන්නේ? ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කරන්නේ? ටියුෂන් වලින් හම්බ කරන්නේ? ඕ.ටී. වලින් හොරකං කරන්නේ? පගා ගහන්නේ? අපේ උන්ට විතරක් හොඳම දේ දෙන්නේ? යුනියන් ලොක්කෝ වෙලා අපේ මතය අනික් උන් මත බලෙන් පටවන්නේ?

      Delete
  17. “අපි දැක්කේ නෑ ඔය කියපු නිදහස දෙනවා. පහුවදා පත්තරේ නං තිබ්බා නිදහස හම්බුනා කියලා!”"අපිට පේන්නෙත් නෑ නිදහස තියෙනවා.එත් හැමෝම සමරනවා. ඕක පෙන්නේ බුද්දිමත් අයට විතරයි මයේ හිතේ. මෙහෙ කදු නැති හින්ද රූෆ් ටොප් එකට ගිහින් බලන්නම්කෝ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා තුමියනි ඔබේ අදහසට. ඔය රූෆ් ටොප් එකට ගියාම බලන්ඩ පල්ලෙහා තියන පැල්පත් දිහා. පුලුවන්ද කවියක් ලියන්ඩ ඒ පැල්පත් වල ඉන්න දරුවනුත් අහස සිදුරු කරන මන්දිර වල ඉන්න ඔබේ දරුවනුත් තම තමුන්ගේ දක්ෂතා හිංදා එකම තලයක සෙල්ලං කරන දවසක් ගැන? මහගම සේකර මහත්තයා කිව්වා වගේ ලෝකය තනි යායක් වෙන දවසක් ගැන. හැබැයි අර ජෙප්පෝ පෙප්පෝ කියන විදිහට තියන එකා නැති කරලා නෙවෙයි.

      Delete