Sunday, March 4, 2018

ආර්ය කතාව III - වර්ණ හා ජාති



මතකද අපි කතා කර කර හිටියා ආර්යයෝ ගැන. පොඩි වෙනසකට පහුගිය ලිපි දෙක තුන ලියවුනේ වෙනත් මාතෘකා යටතේ. එහෙම කියලා පටන් ගත්තු වැඩේ නවත්තන්ඩ හොඳයැ? ඉතින් ඔන්න මම ආර්ය කතාවේ දෙවෙනි කොටස (දෙවැනි ලිපියෙදි මම කිව්වා එක කොටසක් පන්නලා කතාව කියනව කියල. ඒ පන්නපු කොටස තමා අද ලිපියේ මුල් කොටස) හා හතරවෙනි කොටස අඩංගු තුන්වැනි ලිපිය ලියන්ඩයි යන්නේ. පහුගිය ලිපි කියෙව්වේ නැත්තං මෙතනින් පලවෙනි ලිපියත් මෙන්න මෙතැනින් දෙවෙනි ලිපියත් බලා ගන්ඩ පුළුවන්.

දෙවෙනි ලිපියේ තියෙන්නෙ තුන්වැනි කොටසලු තුන්වැනි ලිපියේ දෙකයි හතරයි දෙකම තියනවලු...මේ මොන හරුපයක්ද කියල ඔබ තුමාලට හිතෙන්ඩ ඉඩ තියෙනවා. ඇත්තටම ආර්යයන්ගේ ඉතිහාසයත් එහෙමම තමයි. මොකක්ද ඉස්සරලා උනේ මොකක්ද පස්සේ උනේ කියල හරියටම කියන්ඩ තාම කාටවත් බෑ. ඉතිං ඒ වගේ අවුලක් තියන කොට එක එක මත ඇතිවෙන එක පුදුමයක් නෙවෙයි. මම මේ කියන්ඩ යන්නේ එක මතයක් ගැන විතරයි. ඒ මතය ඇත්ත වෙන්නේ කොහොමද කියල කෙනෙක් ඇහුවොත් දෙන්ඩ තියන උත්තරේ දැනට හොයා ගෙන තියන කරුණු අනුව පුරා විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක, සංස්කෘතිකමය, වාග් විද්‍යාත්මක හා ජාන විද්‍යාත්මක කරුණු එකකට එකක් ගලප්පන්ඩ පුළුවන් මේ මතයෙන් විතරක් හිංදා මේ මතය දැනට ඇත්තක් විදිහට ගනං ගන්නවා කියලයි. හෙට අලුත් යමක් හොයා ගන්ඩ පුළුවන්. එහෙම උනොත් මේ කතාව වෙනස් වේවි. එහෙනං කියවමුද ආර්ය කතාව දෙවෙනි කොටස?


ඔය ආර්යයෝ කොටසක් මධ්‍යම ආසියානු තණ බිම්වල ඉඳලා තමුන්ගේ නැගෙනහිරට එන්ඩ පටන් ගත්තා කියල කිව්වනේ. මේ අය ඔරිජිනල් එඬේරු. ගොවිතැනක් දැනගෙන හිටියනං ඒ ඉතා ප්‍රාථමික වැඩක් විතරයි. හැබැයි මේ අය ඉස්සරහට යනකොට හරි අමුතු දේවල් හොයා ගත්තු මහා ශිෂ්ටාචාරයක් හම්බ වෙනවා. ඒ තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය එහෙම නැත්තං මොහෙන්ජොදාරෝ - හරප්පා කියන නගර නිර්මාණය කරපු මහා ශිෂ්ටාචාරය. 

මෙන්න ඉන්දු නිම්න ශිෂ්ටාචාරේ පැතිරිලා තිබ්බ ප්‍රදේශය 

ක්‍රිස්තු පූර්ව 3,300 විතර ඉඳලා 1,300 වෙනකල් පැවතිච්ච ශිෂ්ටාචාරයක්. මේ ශිෂ්ටාචාරය කොච්චර දියුණු වෙලා හිටියද කියනවනං නගර සැලසුම්කරණය ගැන විශේෂයෙම්ම සනීපාරක්ෂක පහසුකම් ගැන පවා හිතපු කුණු වතුර යන්ඩ වෙනම කානු පද්ධති හදපු තැනක්. මොවුන් තඹ, ලෝකඩ, ඊයම්, ටින් වගේ ලෝහ එක්ක වැඩ කරපු වෙළෙන්දන් හා කලාකරුවන් හිටපු සමානාත්මතාව අගය කරපු ශිෂ්ටාචාරයක්. එක අතකින් හැමෝටම මූලික අවශ්‍යතා ටිකවත් ලබා දුන්නු ඒ පරණ නගර තමා ඇත්තම 'ශිෂ්ටාචාර'. එකෙක් මරාගෙන හරි අනිකා වස්තුව පොදි බඳින අද කාලෙට කොහොමද කටක් ඇරලා ශිෂ්ට මිනිස්සු ඉන්න තැනක් කියන්නේ?

ඔන්න බලන්ඩකෝ ඉන්දු නිම්න ශිෂ්ටාචාරේ නටඹුන් 

බාර්ලි වගේ දේවල් මුලිම්ම වවන්ඩ පටන් ගත්තේ මේ අය. සීබු කියල හඳුන්වන හරක් වර්ගය මුලිම්ම මිනිස් සමාජය තුල ඇති කරන්ඩ පටන් ගත්තෙත් මේ කට්ටියම තමයි.
මගේ බලාපොරොත්තුව තිබ්බේ මේ ශිෂ්ටාචාරය ගැන දිග විස්තරයක් කරන්ඩ. හැබැයි මෑතකදි කියවපු පොතකින් ඒ ශිෂ්ටාචාරයේ සංස්කෘතිය ගැන තිබ්බ සමහර මත විශේෂයෙන්ම ඔවුන්ගේ ආගම හා භාෂාව ගැන තිබ්බ මත ප්‍රශ්න කෙරිලා තියනවා දැක්කා. එනිසා මම හොයල තිබ්බ පරණ තොරතුරු ඔබ සමග බෙදා ගන්න එකේ තේරුමක් නැහැ. ඔවුන්ගේ භාෂාව ප්‍රාග් ද්‍රවිඩ භාෂාවක් බවයි කියවෙන්නේ. ඔවුන්ගේ අකුරු තවම කියවා ගැනීමට හැකියාවක් ලැබී නෑ. ඒ හින්ද අපි දැනට ඉන්දු නිම්න ශිෂ්ටාචාර කතාව පොඩ්ඩකට නවත්තමු.

අර දුරු කතර ගෙවාගෙන එන එඬේර 'ආර්යයෝ' ඉන්නවනේ. මේ අය ඉගෙන ගත්තා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ දැනුම. ඔවුනුත් කෘෂිකර්මාන්තය පටන් ගත්තා. ඒක හිංදා වැඩි විවේකයක් හම්බ උනා වඩා පලදායි දේවල් කරන්ඩ. ඔන්න ඔය දැනුමත් අරන් තමයි ආර්යයෝ ගොඩ බහින්නේ ඉන්දියාවට.

ඔන්න එහෙනං අපි යනවා හතර වෙනි කොටසට.

මතකනේ අර  පුරාතන උතුරු ඉන්දියානුවන් එහෙම නැත්තං ඒන්ෂන්ට් නොර්ත් ඉන්ඩියන්ස් (ANI)   සහ පුරාතන දකුණු ඉන්දියානුවන් එහෙම නැත්තං ඒන්ෂන්ට් සවුත් ඉන්ඩියන්ස් (ASI) ලා ගැන කතාව.

අන්තිමට විද්‍යාඥයෝ තීරණය කලේ ඉන්දියාවට 'ආර්ය' සංක්‍රමණයක් ඇත්තටම සිද්ද උනා මීට අවුරුදු 3,500 - 5,500 කට විතර ඉස්සර කියලා. මෙහෙම ආපු ආර්යයෝ ඒ වෙනකොටත් ඉන්දියාව නිජභූමිය කරගෙන හිටපු ASI වරුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය ක්‍රම ක්‍රමයෙන් තමන් යටතට ගත්තා. හුග දෙනෙක් කියන දෙයක් තමයි ආර්යයන් සමග අලුත් තාක්ෂණය වගේ හොඳ දේවල් එක්කම කුල බේධය වගේ නරක සංකල්පත් ඉන්දියානු සමාජයට එක්කහු උනා කියන එක. නමුත් ඔබ සමහරවිට පුදුම වේවි ආර්යයන් කවදාවත් කුළ ක්‍රමයක් හඳුන්වා නොදුන් බව සමාජ විද්‍යාඥයන් කියන බව ඇහුවොත්.  

අපි අහල තියන කතා එක්ක මේක නොගැලපෙනවා වගේ පෙනුනත් ඇත්ත ඒක තමයි. ඇත්තටම ආර්යයන් එක්ක ආවේ කුළ එහෙම නැත්තං 'ජාති' කියන බෙදීම නෙවෙයි. වර්ණ ක්‍රමයයි.

මොකක්ද මේ වර්ණ ක්‍රමය කියන්නේ? ඒක එක එක්කෙනාගේ රස්සාව එහෙම නැත්තං වෘත්තිය මත පදනම් වෙච්ච බෙදීමක්. එහෙම ප්‍රධාන බෙදීම් හතරක් තිබුනා.
1. බ්‍රාහ්මණ - පූජා කටයුතු වල යෙදෙන පිරිස
2. ක්ෂත්‍රිය - රාජ්‍ය පාලන කටයුතු වල යෙදෙන පිරිස
3. වෛශ්‍ය - වෙළදාම් කටයුතු වල යෙදෙන පිරිස
4. ශුද්‍ර - අවශේෂ සුළු රැකියාවල යෙදෙන පිරිස

මෙන්න මෙහෙමයි එකළ සමාජය හැදිලා තිබ්බේ

කොටිම්ම මේක පංති බෙදීමක්. ඉහළ පංතිය හා පහළ පංතිය කියන අදත් සමාජයේ පවතින බෙදීම වඩා විස්තරාත්මකව වෙච්ච විදිහ තමයි මේ. හැබැයි මොකද්ද ඉහල පංතිය? බ්‍රාහ්මණ ද ක්ෂත්‍රියද? අපි අහල තියන විදිහට නං බ්‍රාහ්මණ තමයි ඉහළම. හැබැයි බෞද්ධ ත්‍රිපිටකයේ තියන සමහර සූත්‍ර වලදී බුදුරජාණන් වහන්සේ මේ මතය සුණු විසුණු කරනවා. උදාහරණයක් විදිහට බලන්ඩකෝ  දීඝ නිකායේ සීලස්කන්ධ වර්ගයේ අම්බට්ට සූත්‍රය. ඒකෙ එක තැනකදී (15 වන ගාථාව) අම්බට්ට මානවකයා කියනවා මෙහෙම...

"භවත් ගෞතමයෙනි මේ වර්ණ හතරක් තියනවා. ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ක්ෂුද්‍ර  කියලා. භවත් ගෞතමයෙනි, මේ වර්ණ හතරෙන් වර්ණ තුනක්, ඒ කියන්නේ ක්ෂත්‍රිය, වෛශ්‍ය, ක්ෂුද්‍ර යන කුල [ මෙය සිංහල පරිවර්තනයේදී කුල යනුවෙන් යෙදී තිබුනත් මුල් පාලි පිටකයෙහි දැක්වෙන්නේ 'වණ්ණා' යනුවෙනුයි. එහෙයින් සිංහල පරිවර්තනය වර්ණ යනුවෙන් නිවැරදි විය යුතුයි] තුන ඒකාන්තයෙන්ම බ්‍රාහ්මනයා ගේ මෙහෙකරුවන්මයි...."
    
නමුත් සූත්‍රයෙහි විස්තර වන පරිදි බුදුන් වහන්සේ බ්‍රාහ්මණ වර්ණයට වඩා ක්ෂත්‍රිය වර්ණය උසස් බව තර්ක කරනවා. යමෙකුට මෙය තනිකරම සමාජ විද්‍යාත්මක දැක්මකින් ගත්තොත් බ්‍රාහ්මණ ශ්‍රේෂ්ටත්වය ගැන ක්ෂත්‍රියයෙකු වූ බුදුන් වහන්සේ  ඇතුළු ක්ෂත්‍රිය සමාජය තුල පැවති අදහස කියල කියන්නත් පුළුවන්. ඒ කොහොම උනත් අපිට ගන්ඩ තියෙන්නේ වර්ණ ක්‍රමය තුල කුමක් ඉහලද යන්න පිලිබඳ එකඟතාවක් නොවූ බව.
අනික් අතට ශුද්‍ර වර්ණයේ උපන් පුද්ගලයන් වෛශ්‍ය වර්ණයට අදාල රාජකාරියක් වූ සිටු තනතුර වැනි තනතුරු වලට පත්වූ කතා ද බෞද්ධ සාහිත්‍යය තුල හමු වෙනවා. ඇත්තටම මෙය එදා සමාජයේ පැවතුනු සිරිතක්. ඒ කියන්නේ කෙනෙකුට නව ශිල්ප ක්‍රම ඉගෙන ගැනීම තුලින් තමන්ගේ රැකියාව වෙනස් කර ගැනීමට ඉඩ තිබුනා. එහෙම නැත්තං වර්ණ ක්‍රමය තුල ඉදිරියට යෑමට හැකියාව තිබුනා.

ඇත්තෙම්ම සමහර විද්‍යාඥයෝ කියන විදිහට වර්ණ ක්‍රමය මුලින්ම යොදා ගත්තේ වඩා පැහැපත් සමේ වර්ණයක් හිමිව තිබු 'ආර්යයන්' ට ඊට සාපේක්ෂකව පැහැපත් නොවූ සමක් හිමිව තිබු ස්වදේශික ඉන්දියානුන් ගෙන් වෙන් කරගත් උසස් තත්වයක් ලබා දෙන්නයි. ඒකට යොදා ගත්තේ මැවුම්වාදය. හිංදු පිළිගැනීම උනේ මහා බ්‍රහ්මයා මිනිසුන් මවන විට ඔහුගේ කටින්, අත් වලින්, කලවෙන් හා යටි පතුලෙන් පිලිවෙලින් බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර යන කොටස් බිහි වූ බවට වන මිත්‍යා විශ්වාසය. නමුත් යම් ශිල්පයක නිපුනයාට වර්ණ ක්‍රමය තුල ඉදිරියට යෑමට ඉඩ තිබුන නිසා මේ මතය 'කන්ඩ ඕන වෙච්ච හම කබරගොයාත් තලගොයා කරගැනීමේ න්‍යායට ඇතුලත් උනා.

එතකොට කුළ ක්‍රමය එහෙම නැත්තං 'ජාති' ක්‍රමය කියන්නේ මොකක්ද? මේක හරි දරදඬු බෙදීමක්. හුගක් වෙලාවට උපත හෝ රැකියාව මත පදනම් උනත් වර්ණ ක්‍රමයේදී වගේ ඉහලට යෑමේ හැකියාවක් පහල කොටස් වලට තිබුනේ නෑ. අනික වර්ණ ගණන හතරකට සීමා වෙද්දී කුල මහා විශාල ගණනක් තිබුනා. ඒ මදිවට එක කුලයක්‌ උප කුළ සෑහෙන ගණනකටත් බෙදී  තිබුනා.  උදාහරණයක් විදිහට ඉන්දියාවේ කුළ 3,000 පමණත් උප කුළ 25,000 පමණත් තවම අඳුනා ගන්ඩ පුළුවන්ලු. දාලිත් වරු ඇහෙම නැත්තං සමාජයේ පහලම ස්ථරයේ මිනිස්සු මේ කුළ ක්‍රමයෙන් පිට ඉන්න කට්ටියක් කියලයි කියන්නේ. සමහරු කියන විදිහට කුල ක්‍රමයට අනුගත වෙන්නේ වර්ණ හතරට අයත් මිනිසුන්. මේ වර්ණ හතරට අයත් නොවන 'පංචම' වර්ණයකට අයිති මිනිස්සු තමයි දාලිත් වරු. අන් ටචබල්ස් එහෙම නැත්තං 'අල්ලන්නවත් සුදුසු නැති මිනිස්සු' කියන්නේ මේ දාලිත් වරුන්ට.

ඒ කොහොම උනත් මේ බෙදීම් එක දවසකින් දෙකකින් ඇති උනා නෙවෙයි. එකම හේතුවක්  මුල් කරගෙන ඇති උනත් නෙවෙයි. සමාජය ඉදිරියට යද්දී ඇති වෙච්ච බෙදීම්. උදාහරණයක් විදිහට මුල්ම වේද ග්‍රන්ථ ලියවෙන යුගයේ තිබ්බේ 'වර්ණ' දෙකක් පමණක් බව කියවෙනවා. ඒ කොහොම උනත් බලවතා තමුන්ගේ වාසියට හදා ගත්තු තව එක දෙයක් තමයි මේ වර්ණ ක්‍රමය එහෙම නැත්තං කුල ක්‍රමය. වඩා සාධාරණ සමාජයක් වෙනුවෙන් කැපවෙන කණ්ඩායම් තුලත් මේ 'හණමිටි' අදහස් තියෙන එක තමයි දුක!!

අපේ බුදු හාමුදුරුවෝ අග්ගික භාරද්වාජ සූත්‍රයේදී දේශනා කරනවා යමෙක් වසලයෙක් එහෙම නැත්තං දාලිත් වරක් වෙන විදිහ. කරුණු 34 තියනවා ඔක්කොම. මෙන්න ඉන් කීපයක් ඔබේ දැන ගැනීමට සහ වසලයෙක් නොවී ඉඳීමට....

1. තරහ යන ගතිය
2. වෛර බඳින ගතිය
3. ගුණමකු වීම
4. අනෙක් පණ ඇති සතුන් කෙරෙහි දයාවක් නොමැති වීම
5. සොරකමට පුරුදු වීම
6. ණය නොගෙවා පලා යාම
7. අනාචාරයේ හැසිරීම
8. මවට හා පියාට නොසැලකීම
9.බොරු කීම
10, පරුෂ වචන කීම


15 comments:

  1. වටිනා ලිපියක තවත් කොටසක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද තුමනි ඔබේ ඇගයීමට

      Delete
  2. මං කැමතිම පොතක් -
    https://www.goodreads.com/book/show/976493.The_Golden_Strangers
    ඔය කෙල්ටික් සංස්කෘතියේ වෙනස්වීම් ගැන.

    ඉන්දියාව ගැනත් මතයක් තියනවා වුන ආර්‍යයන් තම ගවයන් (පසුව වන්දනාමාන කිරීමට තරම් වටිනා ) සමග ඉන්දියාව ඇතුලට ආක්‍රමණය කලාට පසුව පසු බැස්ස ස්වදේශිකයන් රෑට හොරෙන් පැමින ගව දෙනුන්ගේ කිරි බුරුල්ල කැපීම වගේ දරුණු ක්‍රියා කලා ආර්‍යයන් එනිසා ඔවුන් යක්ෂ රාක්ෂ ලෙස හැඳින්නුවා කියල

    ReplyDelete
    Replies
    1. *herders වුන ආර්‍යයන්

      Delete
    2. මමත් ඒ කතාව අසා තිබෙනවා. මට ඔබේ අදහස දක්කහමයි මතක් උනේ ලංකාවෙත් ස්වදේශිකයන් යක්ෂ, රාක්ෂ, නාග වගේ නම් වලින් හැඳින්වන බව.

      Delete
  3. Replies
    1. ස්තූතියි අටම් තුමනි ඔබේ ඇගයීමට.

      Delete
  4. ලොකු මලය සෑර්,

    අමනාප වෙන්ඩ එපා සෑර් ,හැට්ටර්ටනං ක්ෂුද්‍ර කිව්වම නිකං micro වගේ තේරුමක් එන්නේ. ඉස්සර ඉස්කෝලේ පොතේ 'ශුද්‍ර' වගේ වචනයකුත් තිබ්බ වගේ මතකයි. මේ ලියවිලි වටින reference මැටීරියල් සෑර් බලන්ඩ විතරක් නෙවේ පරිශීලනය කොරන්ඩ ඕනේ එව්වා.පොඩ්ඩක් පරණ පොතක බලන්ඩකෝ කෝමද තිබ්බේ කියල ඈ. (ඊට පස්සේ මේ කොමෙන්ට් එක මකල දාන්ඩ සෑර්.)
    අනේ මේ ලොකු සෑර්, හැට්ටර් ඉස්පෙලින් හදන්න එනවා කියල නං හිතන්ඩ එපා සෑර්.

    තැන්කිව් සෑර්, තැන්කිව් එහෙනං ඈ.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් තුමනි බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නලා දීම පිළිබඳව. කෙනෙකුගේ වරදක් අනුකම්පාවෙන් යුතුව පෙන්නලා දීම උතුම් ගුණයක්. පින් සිද්ද වේවා ඒ වෙනුවෙන්. මම භාවිතා කරපු මූලාශ්‍ර සමහරක ඒ වචනය ක්ෂුද්‍ර ලෙසත් (උදාහරනෙකට මම උපුටා දක්වලා තියන මුල්ම රූපය ) සමහර මූලාශ්‍ර වල එය ශුද්‍ර විදිහටත් භාවිතා කර තිබුනා. අම්බට්ට සූත්‍රය උපුටා ගත්තේ කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ ත්‍රිපිටක පරිවර්තනයෙන්. ඒ උතුම් පොත මේ මොහොතේ මා ළඟ නෑ. එනිසා එය හුද්‍ර ලෙස වෙනස් කලේ නැහැ. නමුත් එය එහි භාවිත අක්ෂර වින්‍යාසයෙන්ම තබන්නම්. එතෙක් මම ක්ෂුද්‍ර යන්න ශුද්‍ර ලෙස වෙනස් කළා. මේ වචන දෙකම භාවිතා වන බවයි මගේ හැගීම. නැවතත් ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.

      Delete
  5. වටිනවා - කදිම ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැසි දැරිය ඔබේ අදහසට.

      Delete
  6. වැදගත් තොරතුරු ටිකක් තියෙන ලිපියක්.

    ReplyDelete
  7. දැන් ලොකුමලය සෑර් ඔය වර්ණ කතාව අර්ථ දක්වන, සිංහලෙන් කියනවනං ඩිෆයින් කොරන, මෙන්න මේ විදියේ සොලෝකයක් තියෙනවනේ. රිග්වෙදේ පුරුෂ ශුක්තම් එකේ;
    මේකේ විනාඩි 5:01 සිට 5:20 තියෙන්නේ ඔය සොලෝකේ තමයි.

    බ්‍රාහ්මණෝ ස්‍යත් මුඛමාසිධ්
    බාහු රාජන්‍යහ් ක්‍රිතහා
    ඌරු තදාස්‍ය යද් වයිශ්‍යහා
    පද්භ්යායන් ශුද්‍රෝ අජායත

    ඔහුගේ (මැවුම්කරු බ්‍රහ්මන්ගේ) මුහුණ බ්‍රාහ්මණයන් වුණා
    ඔහුගේ දෙවුර ක්ෂත්රියයන් වුණා
    ඔහුගේ කලවා වයිශ්‍යයන්ද (සහ)
    යටිපතුල ශුද්‍රයන්ද වුණා

    නමුත් සෑර්ට කියන්ඩ හැට්ටර් දැක්ක හොඳම පරිවර්තනය තිබුනේ අපේ ඩ්‍රැකී සෑර්ගේ බ්ලොග් එකේ. ඒක PG13 පමණක් සුදුසුයැයි හැඟෙන නිසා සහ කොපිරයිට් කතා ඔක්කොම තියෙන නිසා කැමති අය මෙන්න මෙතනින් බලාගන්ඩකෝ. මොන සීරියස් කතාවේ උනත් පොඩි ෆන් එහෙකුත් ගන්ඩ එපැයි පොඩිපහේ පිට් එහෙකුත් එන්ඩ. නැද්ද සෑර්

    (සම්පුර්ණ පුරුෂ ශුක්තම් එක සහ එහි ඉංගිරිසි තේරුම අවශ්‍යනං මෙන්න මෙතන තිබේ.)

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. අන්න කතා!! මේ කතා ආතල් එකක් සඳහා පමණයි ආගම් වාදයක් අවුස්සන්ඩ නෙවෙයි ඕං. තෑන්ක් යූ ලොක්කා!!

      Delete