Thursday, May 3, 2018

සිසිකොස්ටස් නම් කුළී හේවායා



ඉතිහාසය කියන්නේ මම හැමදාමත් කැමති විෂයයක්. පුරා විද්‍යාවත් ඉතිහාසයත් කියන්නේ විෂයයන් දෙකක්. පුරා විද්‍යාව, ඒ සම්බන්ධ විශේෂඥ දැනුමක් තියන අයට සීමා වෙලා තියෙද්දී ඉතිහාසය කියන්නේ අතීතයේදී මේ මේ දේවල්, මේ මේ ආකාරයෙන් වෙන්ඩ ඇති කියලා උපකල්පන හා පුරා විද්‍යා සාක්ෂි මත කරන යම් ආකාරයක කතන්දර ගොඩක්. දැන් ඉතිහාස විශේෂඥයෝ කියයි මගේ මේ කතාව වැරදියි කියල. හොඳයි මම කැමතියි වැරැද්ද බාර ගන්ඩ. හැබැයි ලංකාවේ අවුරුදු දෙදාස් පන්සීයකට වැඩි ඉතිහාසයේ එක දිගට අවුරුදු පනහක් පෙන්නන්ඩ කිසිම උපකල්පනයකින් තොරව ඉතිහාස කතාව ගොඩ නගපු!!!
සිසිකොස්ටස්

හැබැයි වඩා වැදගත් දේ ඉතිහාසය කියන්නේ කතන්දරයක් විතරයි කියල අහක දාන එක නෙවෙයි. ඒ ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න එක. මේ වෙසක් පෝය අල්ල පනල්ලේ අපේ සමහරු කතා බහ කරන්නේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවෙද, ඉන්දියාවෙද? එහෙම නැත්තං බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියද නැද්ද?, වැඩිය නං ඒ කොහාටද? කවද්ද? වගේ දේවල්. ඊට වඩා වැදගත් නැද්ද බුදු හාමුදුරුවෝ ඇත්තටම දේශනා කලේ මොනවද? අපි ඒ දේවල් වලින් කීයෙන් පංගුවක් ඇත්තටම පිලි පදිනවද? කියල හිතල බැලුව නං. මම බුදු හාමුදුරුවෝ ගැන කතා කලාට මේ අදහස යේසුස් වහන්සේ, නබි නායක තුමා වගේ අනෙකුත් ආගමික නායකයන්ටත් අදාලයි.

මම ඉතිං කතන්දර අහන්ඩ කැමති මනුස්සය හිංද ඔය වගේ ඉතිහාස කතන්දර තිහ හතලිහකුත් අහල තියනවා. මේ එයින් එකක්. 


කතන්දරේ පටං ගන්නේ 1757 න්. ඔන්න ඔය අවුරුද්දේ එංගලන්ත කාරයෝ පිහිටුවා ගෙන හිටපු නැගෙනහිර ඉන්දියානු සමාගම (East India Company) ඉන්දියානු අර්ධද්වීපයේ  සමහර කොටස් පාලනය කරන්ඩ පටන් ගන්නවා. මේ අය අතරේ හිටපු සුද්දෝ කීප දෙනෙක් මුස්ලිම් ආක්‍රමණ වලට ඉස්සර ඉන්දියාවේ ඉතිහාසය මොකද්ද කියලා හොයන්ඩ උත්සාහයක් දරනවා. මේ උත්සාහය පටං ගත්තු හැටි මම වෙනම දවසක කියන්නං. එතකල් මේ කතාව අහන්ඩකෝ. ඉතිං මෙහෙම හොයා ගෙන යනකොට ඒ අයට හම්බ වෙනවා සමහර තොරතුරු බුද්ධ කියල කෙනෙක් ඉන්දියාවේ ජීවත් වෙච්ච බවත්, එයාගේ ධර්මය සෑහෙන කලක් ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණු බවටත් තොරතුරු.

හැබැයි කවුරුවත් මේ 'බුද්ධ' ගැන වැඩි විස්තර දන්නේ නෑ. හිංදු ආගමික නායක බ්‍රාහ්මණ වංශිකයෝ 'බුද්ධ' කියන නම ඇහෙනවටත් අකමැතියි. අනෙක් පැත්තෙන් විෂ්ණු දෙවියන් අදහන හින්දු භක්තියන් ඔහුව විෂ්ණු ගේ නවවැනි අවතාරය විදිහටත් පිලිගන්නවා. ඉතිං සුද්දෝ හිතුවා බුද්ධ කියල හඳුන්වපු දෙන්නෙක් ඉන්ඩ ඇති කියල. එක්කෙනෙක් මිනිස්සුන්ට කරදර කරපු ආක්‍රමණිකයෙක් වෙන්ඩ ඕන. අනික් කෙනා මිනිස්සු ජීවත් වෙන්ඩ ඕන ආකාරය පිළිබඳව නීති පනවපු කෙනෙක් වෙන්ඩ ඕන!! 

ඔන්න ඔහොමයි ඒ කාලේ සුදු ඉතිහාසඥයෝ හිතුවේ. හැබැයි මේ එක බුද්ධ කෙනෙක් වත් ජීවත් උනේ කොයි කාලෙද කියල හරියටම කියන්ඩ කවුරුවත් දැනගෙන හිටියේ නෑ. මේ කාලේ වෙනකොට සංස්කෘත බස දැනගෙන හිටපු අය හිටියට පාලි හෝ අනෙකුත් ප්‍රාකෘත භාෂා දන්නා කවුරුවත් ඉන්දියාවේ හිටියේ නෑ. හිටියත් සුද්දෝ දැනං හිටියේ නෑ එහෙම කෙනෙක් ගැන. අවාසනාවට බුදු දහම ගැන බොහෝ කරුණු ලියවිලා තිබුනේ මේ නොදන්නා බාෂා වලින්. සංස්කෘත බසින් ලියවෙච්ච බෞද්ධ පොත් පත් හොයා ගන්ඩ තිබ්බේ නෑ ඔය කියන කාලේ.

ඒ උනත් හම්බ වෙලා තිබ්බ ඔක්කොම සාක්ෂි වලින් කියවුනේ 'බුද්ධ' ඉපදුනෙත්, වැඩි කාලයක් ජීවත් උනෙත් මගධ කියල හඳුන්වපු රටේ කියල. මේ මගධය ඉන්දියාවේ කොයි තැනක තිබ්බ රටක්ද කියල ඒ වෙනකොට කවුරුවත් දැනගෙන හිටියේ නෑ. නොදන්න රටක ජීවත් වෙච්ච නොදන්න පුද්ගලයෙක් හිංදා ඇති වෙච්ච ආගමක් මුල් කරගෙන ලොකු ඉතිහාසයක් ගොඩ නගන්ඩ බෑ. නිකමට හිතන්ඩ දුටුගැමුණු රජ්ජුරුවෝ ජීවත් උනේ කොහෙද, කොයි කාලෙද කියල අපි දැනගෙන හිටියේ නැත්තං කොහොමද එළාරත් එක්ක ෆයිට් එක ගැන කියන්නේ?

ඔන්න ඔහොම ඉන්නකොට මගධයේ හිටපු රජ පෙළපත ගැන 'පුරාණ' කියල හඳුන්වපු වේද ග්‍රන්ථ වලින් යම් යම් සාක්ෂි ලැබෙනවා. ඒ කතා වලට අනුව බ්‍රිහද්රථ රජ්ජුරුවෝ තමයි මගධ රාජ්‍යයේ ආරම්භකයා. එතුමාගේ පරම්පරාව අවුරුදු දාහක් විතර මේ රට පාලනය කළා. ඊට පස්සේ ප්‍රදෝත්‍ය පරපුර තවත් අවුරුදු 137 පාලනය කළා. ඊට පස්සේ හරන්‍යක වරු. ඊට පස්සේ ශිශුංග රජවරු දහ  දෙනෙක්. මේ රජවරු පැරදුනේ නන්ද කියල කෙනෙකුට. පළවෙනි නන්ද රජු ශුද්‍ර වර්ණයට එහෙම නැත්තං සමාජයේ පහළම වංශයට අයිති කෙනෙක්. ඔන්න අනාවැකියක් කියල තිබිලා තියනවා මේ රජකමට උරුමයක් නැති 'අඩු කුලේ' එකාව පරද්දලා බ්‍රාහ්මණ වංශිකයෙක් රජකම පැහර ගන්නවා කියල. 

මෙන්න මේ නන්ද රජවරු ගැන සුද්දෝ අහලා තිබුනා. ඒ නන්ද වරුන්ගේ පරාජයට හේතු වෙච්ච මහා පඬි රුවණක් ගැන සංස්කෘත පොත් පත් වල ලියවිලා තිබුන හිංදා. ඒ තමයි චානක්‍ය කියන බ්‍රාහ්මණයා. ඔහු චන්ද්‍රගුප්ත කියන රජතුමාව සිංහාසනයට ගෙනාවා. මේ චන්ද්‍රගුප්ත මෞර්ය කියන රජ පෙළපත පටං ගත්තලු. අවුරුදු 137 මගධය පාලනය කරපු මෞර්ය වරුන්ගේ තුන්වැනි රජ්ජුරුවෝ තමයි අපි කවුරුත් දන්න අශෝක. එහෙම නැත්තං ධර්මාශෝක. මේ රජ්ජුරුවෝ අවුරුදු තිස් හයක් හෝ තිස් හතක රට පාලනය කරපු බවත් 'බුද්ධ' ගේ ධර්මය විවිධ ප්‍රදේශ වලට පතුරුවා හරින්ඩ උත්සාහ ගත බවත් සුද්දෝ දැන ගත්තා.ඒත් තාම ප්‍රධාන ප්‍රශ්න එකකටවත් ඒ කියන්නේ මේ කියන කාලය මොකද්ද, මගධය එහෙම නැත්තං මගධ රටේ අග නුවර තිබ්බේ කොහෙද කියල කවුරුවත් දන්නේ නෑ.

මේ ඉතිහාසගත ගැටලුව විසඳා ගන්ඩ උත්සාහ කරපු එක සුද්දෙක් හිටියා. එයාගේ නම සර් විලියම් ජෝන්ස්. සර් විලියම් තේරුම් ගත්තා දැනටත් ලෝකයා දන්න ඉතිහාසගත සිද්ධියක් එක්ක මේ කතන්දරේ පටලවන්ඩ පුළුවන් උනොත් ඔන්න මේ කතා කරන කාළය මොකද්ද කියල තේරුම් ගන්ඩ පුළුවන් වෙන බව. ඔහු උත්සාහ ගත්තා බයිබලයේ තියන සිද්ධිත් එක්ක මේ කතා සංසන්දනය කරලා බලන්ඩ. යේසුස් වහන්සේගේ උත්පත්තිය එක්ක මේ සිද්දි වල සම්බන්ධයක් හොයා ගන්ඩ පුළුවන් නං 'බුද්ධ' ගේ දහම ප්‍රධාන වෙච්ච සංස්කෘතිය ඉන්දියාවේ පැතිරිලා තිබුණු කාලය තේරුම් ගන්ඩ පුළුවන්. ඒත් එහෙම කිසිම සම්බන්ධයක් හොයා ගන්ඩ සර් විලියම්ට බැරි උනා. ඊගාවට ඔහුට මතක් උනේ පොඩි කාලේ අහපු, ඉස්කෝලෙදි ඉගෙන ගත්තු, විශ්ව විද්‍යාලයේදී වැඩි දුරටත් අධ්‍යයනය කරපු මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්ගේ කතාව.

ඇලෙක්සැන්ඩර්

ඔය ඇලෙක්සැන්ඩර් ගේ හමුදාව ඒ කාලේ හැටියට උගත්තු පිරිච්ච හමුදාවක්. ඒ හින්දම ඇලෙක්සැන්ඩර් ගේ ඉන්දියානු ආක්‍රමණයට සහභාගි වෙච්ච හමුදාවේ දාසය දෙනෙක් තම තමුන්ගේ යුද්ධ අත්දැකීම් ලිව්වා. නිකමට හිතන්ඩ ලිවීම කියවීම වඩා බහුල වෙච්ච අද කාලේ අපේ රටේ තිබ්බ තිස් අවුරුදු යුද්ධය ගැන යුද්ධයට ඇත්තටම සම්බන්ධ වෙච්ච කී දෙනයිද ලියල තියෙන්නේ. මම හිතන්නේ නෑ අවුරුදු කීපෙක ඇලෙක්සැන්ඩර් ගේ ඉන්දියානු සටන් ගැන මීට අවුරුදු 2350 කට විතර ඉස්සර ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 327-326 කාලේ ලියපු තරම් ප්‍රමාණයක් ලංකාවේ යුද්ධය ගැන අත්දැකීම් තියන අය ලිව්වයි කියල.

සර් විලියම් හොයාගත්තු ඇලෙක්සැන්ඩර් ගේ කතාව කෙටියෙන් ගත්තොත් මෙහෙමයි.
ඉන්දියාවට ඇතුල් වෙච්ච ඇලෙක්සැන්ඩර්ට සමහර රජවරු කැමැත්තෙන්ම යටත් උනා. ඒත් සමහරු අන්තිම ලේ බිංදුව දක්වාම සටන් කළා. සමහර කඳුකර ප්‍රදේශ එහෙම සටන් කරපු අය අතර ප්‍රධානයි. මේ කඳුකර ප්‍රදේශ යටත් කරපු ඇලෙක්සැන්ඩර් ඒ කඳු මත බලකොටුවක් ඉදිකළා. තමන්ට තව ඉදිරියට යන්ඩ තියන හිංදා මේ බලකොටුවේ නායකත්වයට සිසිකොට්ටොස් එහෙම නැත්තං සිසිකොස්ටස් කියන කුළී හේවායා පත්කලා. මේ සිසිකොට්ටොස් ඉන්දියානුවෙක්. ඔහු කලෙක ඉන්දියානු හමුදා වෙනුවෙන් සටන් වැදුනා බැක්ට්‍රියාවට විරුද්ධව.  ඒ සටනෙන් බැක්ට්‍රියාව දිනන කොට සිසිකොට්ටොස් පැත්ත මාරු කළා. ඔහු බක්ට්‍රියානු හමුදාවට සේවා සැපයුවා. ඊගාවට ඇලෙක්සැන්ඩර් බැක්ට්‍රියාවට විරුද්ධව සටන් කරන කොට සිසිකොට්ටොස්, ඇලෙක්සැන්ඩර් ගේ පැත්ත ගත්තා. මේක තමයි කුළී හේවායන්ගේ හැටි. ලංකාවේ හමුදාවට විරුද්ධව ඔත්තු ලබා දුන්නු ලංකාවේ හමුදාවේ කී දෙනෙක් හිටියද? හැමදාම සිසිකොට්ටොස් ලා හිටියා. ඉන්නවා.

මේ කඳුකර ප්‍රදේශ තිබ්බේ වර්තමාන ජෙලුම් ගංගාවට බටහිර පැත්තේ. ඒ කියන්නේ වර්තමාන පකිස්තාන අගනුවර වෙන ඉස්ලාමාබාද් හරියේ. ඇලෙක්සැන්ඩර් ජෙලුම් ගංගාවෙන් නැගෙනහිරට ගියා. එහෙ හිටියේ පොරෝස් කියන රජ්ජුරුවෝ. මුලින් යුද්ධ කලත් තමන් පරදින බව දන ගත්තහම මේ රජ්ජුරුවොත් ඇලෙක්සැන්ඩර්ට යටත් උනා. ඇත්තටම ඔහු යටත් වෙන්ඩ පොළඹවා ගත්තේ කඳුකර ප්‍රදේශ වලින් ආපු ඉන්දියානු කුළී හේවායෙක්. ඔහු ගැන වැඩි විස්තර නැති උනත් මේ ඉස්සරලා කියපු සිසිකොට්ටොස් ම වෙන්ඩ ඉඩ තියෙන්නේ කඳුකර ප්‍රාන්ත වල කැරැල්ලක් පැන නැගුණු හිංදා. ඉතා මෑතකදී සම්පූර්ණ විනාශයකට භාජනය වෙච්ච ඒ කඳුකර පැති වලට ආයෙත් කැරැල්ලක් ගහන්ඩ පුළුවන් උනේ ඒ ප්‍රදේශ පාලනයට පත් කරපු කෙනා මොකක් හරි හේතුවකට එහෙ නොහිටපු හිංද වෙන්න පුළුවන්. පොරෝස් ට යටත් වෙන්ඩ පොළඹවා ගන්ඩ ආවේ සිසිකොට්ටොස් නං කතාව පැහැදිලියි. මේ හේවායා පොරෝස් රජ්ජුරුවන්ගේ පරණ යාලුවෙක් කියලත් කියවෙනවා. කොහොම හරි තමන්ගේ යාළුවගේ රට විදේශීය ආක්‍රමණිකයාට පාවා දෙන්ඩ පොළඹ වන්නේ කුළී හේවායෙක්. එච්චර නං මදැයි තව ඩිංගෙන් පොරොස් රජ්ජුරුවන්ගේ බෙල්ලත් ගහලා යනවා. හැබැයි පොරෝස් රජ්ජුරුවෝ පරාජයේදී උනත් දක්වපු අභිමානනීය පෞරුෂත්වය දැකපු ඇලෙක්සැන්ඩර් ඔහුට ජීවිත දානය දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රටේම ආණ්ඩුකාරයා විදිහටත් පත් කරනවා.

වයඹදිග ඉන්දියාවේ ගංගා සිතියම 

දැන් ඇලෙක්සැන්ඩර් සූදානං වෙන්නේ වර්තමාන බීස් ගඟ තරණය කරලා නැගෙනහිර පැත්තට එන්ඩ. හැබැයි එහෙ ඉන්නේ ඉතා බලසම්පන්න රජෙක්. නම සැන්ඩ්‍රේම්ස් එහෙම නැත්තං ඇග්‍රේම්ස්. මේ මහ එපා කරපු චරිතයක් තියන තුප්පහි රජෙක් බවත් ඔහු කරණවෑමියෙක්ගේ පුතෙක් බවත් හැමෝම කියනවා. ඔහුගේ බලසම්පන්න හමුදාව ගැන අහපු ඇලෙක්සැන්ඩර් තමන්ගේ ඉන්දියානු ආක්‍රමණය නවත්තන්ඩ තීරණය කරලා ආපහු යන්ඩ තීරණය කළා. ඒ උනාට යටත් කරගත්තු ප්‍රදේශ බලා කියා ගන්ඩ තමන්ගේ හොඳම සෙන්පතියෙක් වෙච්ච ෆිලිප්පොස් සහ යුඩීමස් නවත්තලයි ඇලෙක්සැන්ඩර් ආපහු යන්ඩ පිටත් උනේ. ෆිලිප්පොස් තමයි ගාන්ධාර දේශයේ ආණ්ඩුකාර වරයා විදිහට පත් උනේ. ඒ කියන්නේ අර සිසිකොට්ටොස් බොස් තමයි ෆිලිප්පොස්.

ඇලෙක්සැන්ඩර් තමන්ගේ ආපහු ගමනේදී පර්සියාවේ කලක් නතර වෙලා ඉන්නවා. එතකොට ඔහුට ආරංචි වෙනවා තමන්ගේ සගයා වගේම හොඳම සෙන්පතියෙක් වෙච්ච ෆිලිප්පොස් ව මරලා දාලා කියල. මරණෙට සැක කරන්නේ ඉන්දීය කුළී හේවායෝ. ඇලෙක්සැන්ඩර් නියෝග කරනවා ඔක්කොම කුළී හේවායන්ව සේවයෙන් ඉවත් කරන්ඩ. අපේ යාලුවා සිසිකොට්ටොස් රැකියා විරහිතයෙක් වෙන්නේ එහෙමයි.

ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් ගේ මරණයත් එක්ක මහා බල අරගලයක් පටං ගන්නවා. ඒ බල අරගලෙන් දිනන සෙලියුකස් ආපහු ඉන්දියාව දිහාට එනකොට බඩු බනිස්! ග්‍රීක ඉතිහාසඥයෝ කියන විදිහට සිසිකොට්ටොස් / සිසිකොස්ටස් / සැන්ඩ්‍රෝකොට්ටස් / ඇන්ඩ්‍රෝකොට්ටස් / සැන්ඩ්‍රකොට්ටස් හෝ සැන්ඩ්‍රෝකොප්ටස් කියන රජෙක් මහා අධිරාජ්‍යයක් ගොඩ නගලා. ඔහු පොරෝස් රජ්ජුරුවන්ගේ රට විතරක් නෙවෙයි යටත් කළ නොහැකියි කියපු සැන්ඩ්‍රේම්ස් එහෙම නැත්තං ඇග්‍රේම්ස් රජ්ජුරුවන්ගේ රටත් යටත් කරලා. මෙන්න මෙතෙන්දි තව ඉතිහාසඥයෙක් සැන්ඩ්‍රේම්ස් එහෙම නැත්තං ඇග්‍රේම්ස් රජ්ජුරුවන්ට නන්ඩ්රූස් කියලත් නමක් තිබ්බා කියල කියනවා. 

ඒ කියන්නේ සෙලියුකස් ආපහු ඉන්දියාවට ආපු ක්‍රිස්තු පූර්ව 305 වෙන කොට සිසිකොට්ටොස් රජ වෙලා ඉවරයි. අවුරුදු විස්සකටත් වඩා අඩු කලකින් එච්චර ලොකු අධිරාජ්‍යයක් ගොඩ නැගුවේ කොහොමද කියල සෙලියුකස් හොයල බලනවා. එතකොටයි ඔහු දැන ගන්නේ සිසිකොට්ටොස්, ඇලෙක්සැන්ඩර් ටත් බෝලෙ බැස්සුවා කියල. ඇලෙක්සැන්ඩර්වත් බය කරපු අර සැන්ඩ්‍රේම්ස් බලගතු රජෙක් නෙවෙයි. ලොකු යුද්ධ හමුදාවක් හිටියට ඒ රටේ මිනිස්සු ඔහුට විරුද්ධව කැරළි ගහන්ඩ සූදානමිනුයි ඉඳලා තියෙන්නේ. ඒ මිනිස්සු ඇලෙක්සැන්ඩර්ව මල් මාලා දාලා පිළිගන්න ලෙවල් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඒක වලක්කපු අර කුළී හේවායා අධිරාජ්‍යයෙකුට කොකා පෙන්නලා තමන්ම රජ වෙලා.

සර් විලියම් හොයා ගන්නවා ග්‍රීක ඉතිහාසඥයෝ ග්‍රීක බසට පෙරලපු සිසිකොට්ටොස් කියන ඉන්දීය කුළී හේවායගේ ඉන්දීය නම. ඒ සශිගුප්ත. සශි කියන්නේ චන්ද්‍ර කියන එකට සමාන පදයක්. පැහැදිලිවම කිව්වොත් මේ සිසිකොට්ටොස් කියන්නේ මෞර්ය අධිරාජ්‍යය පිහිටවපු අධිරජ චන්ද්‍රගුප්ත!!

චන්ද්‍රගුප්ත ට සිහසුනට යම් උරුමයක් තිබුන බවත් මේ සටන් හා පාවා දීම් ගැන ඉන්දියානු කතාව මීට වෙනස් බවත් අපි පිළිගන්ඩ ඕන. ඇත්තටම උනේ මොකද්ද කියල කවුරුවත් දන්නේ නෑ. ඒ තමයි ඉතිහාසයේ හැටි.

ඒ කොහොම උනත් මට ප්‍රශ්නයක් තියනවා. මේ චන්ද්‍රගුප්ත තමුන්ගේ මුණුපුරා වෙච්ච අශෝක එවනකල් ඉන්නේ නැතුව තමුන්ම ලංකාවට ධර්ම දූතයෝ එව්වා නං මොකක් වෙයිද? කුල බේධය කියන මහ තුප්පහි ක්‍රමය වැඩියෙම්ම ක්‍රියාත්මක වෙන්නේ  සංඝ සමාජය තුල. මට සැකයි මේ ආයතනගත කරලා පිළිපදින්නේ අර තිලොවටම කරුණාව දක්වපු මහා වීරයා ගේ - අපේ බුදු හාමුදුරුවන්ගේ දහමද -කියල.  හැබැයි චන්ද්‍රගුප්ත ධර්මදූතයෝ එව්වා නං කුළී හේවා කම, මිතුරන් පාවා දීම වගේ දේවල් සාධාරණීකරණය කරන දහමක් අපිට ලැබුනා වෙන්ඩ පුළුවන්. එහෙම නං අද වෙන දේ සහ එදා වෙච්ච දේ ගලපා ගන්ඩ අපිට ලේසියි.

හැමෝටම ආයු බෝ වේවා!! කුළී හේවායන්ගේ නොව ධර්මාශෝක රජ්ජුරුවන්ගේ ධර්මදූත සේවයෙන් අපිට ලැබුණු දහම වැටහේවා!!!

ආශ්‍රිත ග්‍රන්ථ - චාර්ල්ස් ඇලන් ගේ Ashoka - The Search for Indias Lost Emperor (2012)

26 comments:

  1. Replies
    1. ස්තූතියි ඔබට. ඉතිහාස ගඟ දිගේ යෑම ඇත්ත ගඟක් දිගේ යෑමට සමාන නොවුනත් යම් රසයක් තියනවා නේද?

      Delete
  2. මට නං මේ තරං දිගට පරිකල්පනය විහිදුවන්න අමාරුයි. කොයිහැටි වෙතත් මට දැනට හිතෙන විදිහට 'බුද්ධ' කියන චරිතයත් කවුරුහරි මවාපු චරිතයක් වෙන්න පුළුවං. ඒ වගේම බුද්ධාගමත් සාමූහික මණ්ඩලයක් විසින් හදපු සමාජ ආචාර ධර්ම මාලාවක් වෙන්නත් පුළුවං. හැබැයි කොයික උනත් එතන තියෙන 'තම තම නැණ පමණින් දැනගතයුතු' නිදහස හන්දා මමත් පවතින්න උත්සාහ කරන්නෙ ඒ ආචාරධර්ම පද්ධතියට අනුවයි. කොටිම්ම කියතොත් ත්‍රිපිටකගත බුද්ධධර්මය කියන්නෙ සමාජයේ යහපැවැත්මට උදව්වන ආගමක්.

    ඇලෙක්සැන්දරගෙ රාජ්‍ය බිඳවැටුනෙ ඒ දවස්වල සන්නිවේදනයෙ දුර්වලකම හංද කියලයි මං හිතන්නෙ. එතැන අතරමැදියන්ට ඕන දෙයක් වෙනස් කරන්න හැකියාව තිබුණා. ඒ වාසිය චන්ද්‍රගුප්තටත් ලැබෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++

      Delete
    2. සුරංග මල්ලි ඔබේ පරිකල්පනය හොඳටෝම ඇති මේ ඉතිහාස කතන්දර තෝර බේර ගන්ඩ. මගේ පෞද්ගලික මතය නං ඇත්තටම බුදු හාමුදුරුවෝ කියන්නේ මහා වීර චරිතයක්. ඇත්තටම හිටපු කෙනෙක්. කවුරුවත් මවපු චරිතයක් නෙවෙයි. හැබැයි අද අපි දකින බුද්ධාගම නං අර උත්තමයා දේශනා කරපු දේමද කියන එක සැකයි. ඒ දහමත් ඇති හැබැයි ඊට උඩිං හුගක් කොළ රොඩු වැටිලා. වෙනම පුරා විද්‍යා කැණීමක් කරන්ඩ වෙනවා මුල් බුදු සමය මොකක්ද කියල තේරුම් ගන්ඩ. වල්පොල රාහුල හාමුදුරුවන්ගේ පොත් වගේම ත්‍රිපිටකය සිංහල බසින් තිබෙන පරිවර්තනත් මේකට අපිට උදව් වෙනවා. අනිවාර්යයෙම්ම පිරිසිදු බුදු දහමත් දැන් තියන 'මටම බෙදාපන් දහමත්' එකිනෙකට වෙනස්.

      ඇලෙක්සැන්ඩර් ගේ තිබුන එක ප්‍රශ්නයක් සන්නිවේදන දුර්වලතාව. තව ප්‍රධාන ප්‍රශ්න දෙක තුනක් තිබ්බා. මත්පැනට අධික ලොල් බව, තීරණ ගැනීමේ තිබුණු ඒකාධිපති ස්වභාවය එයින් සමහරක්. ඒ කොහොම උනත් ඉතා කෙටි කලක් තුල එතෙක් ලෝකේ පහළවුණු විශාලතම අධිරාජ්‍යය ගොඩ නගපු තරුණ නායකයෙක් (ඔහු මිය යන විටත් අවුරුදු තිස් ගණනයි වයස) විදිහට තව හදා ගන්ඩ දේවල් ගණනක් තියෙන්ඩ ඇති.

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_37.html

    ReplyDelete
  4. මටත් බුදු දහමේ සමහර තැන් පැහැදිලි නෑ.ඇත්තටම බුදුන් කියපු දේ ඒ කාලෙන් පසුව ඉවර වෙන්න ඇති.පසුව නොයෙක් දෙනා නොයෙක් දේ කියනවා,ලියනවා.බුදුන් ජීවත් වූ ඉංදියාවෙත් අඩු ජනතාවක් තමයි මේ ධර්මය සමග හිටියේ.පසුව එන්න එන්නම අඩු උනා.අපි ඒක අපිට ඕනලෙස මොඩ් කරගත්තා.ලංකාවේ අපි කියන්නේ අපි තමයි අයිතිකාරයෝ කියල.ගිහි ජීවිතයේ හිත සුපිරිසිඳුව යන්න බෑ.ප්‍රායෝගික තත්වය ඒකනේ.ඇලෙක්සැන්ඩරට බෝලේ බස්සපු උන් නියමෙට ඉන්නවා.උන්ගේ ඉදිරියත් ටොප්.වැඩේ කියන්නේ ඇලෙක්සැන්ඩරටත් නරක නෑ.කාලය එනකම් පොඩ් ලේට් එකක් විතරනේ.අන්තිමට බැලුවම උන් ඔක්කොම දිනලා.අපි නන්නත්තාරයි.ඒ අපේ කරුමෙලු.ඉතින් පිං කරන්නලු.පුලුවන් තරම් මහා සංඝරත්නයට දන් දෙන්නලු.එන ආත්මෙදී අර කට්ටිය අතරට යන්න පුලුවන්.නැත්නම් දිවිය ලොකේ,දෙකක් නෑ.ඒ උන්නාන්සේලා අපිට අත්හරින්න කියමින් හොඳට එක්කහු කොරනවා.මෙවන් පින්බිමක් තවත් නැත.ලෝකෙටම එකයි.

    ReplyDelete
    Replies
    1. ඕනැම ධර්මයක් ඉතින් ශාස්තෲ කියපු ඒවාට එකතුවෙලා, අඩුවෙලා වැඩි වෙලානෙ එන්නෙ. එක හේතුවක් සමහර දේවල් පැහැදිලි නොවීම, ඉතින් religious scholars ලා එකතුවෙලා සංගායනා කරනවා ඊට පස්සෙ පැහැදිලි කිරීම කරනවා. ඒවා හරි ද වැරදිද කියන්න ශාස්තූ නෑනෙ. ඊට පස්සෙ පූජකයින්ට වාසි වෙන්න, පාලකයින්ට වාසි වෙන්න , අනිත් ආගම්වලින් ආරක්ෂාවෙන්න / අභිබවා යන්න, මහායාන (චීන, ජපන්, මොන්ගෝලියන් etc)/හීනයාන(ලංකා, බුරුම, තායි,සිරිදම්ම,ඥානසාර etc), කතෝලික (රෝම. සිරියන්, ග්‍රීක්, රුසියන් ආදී)/ ප්‍රොතෙස්තන්ත (හැටහුටහමාරක්), රිෆෝම්/කොන්සවටිව්/ඕතඩොක්ස් etc[යුදෙව්], ශියා (සයිඩී, ඉස්මායිලි etc)/සුන්නි ((වෙලාවක් හා ලියන්න ඉඩනෑ ඔක්කොම ලිව්වොත් උදාහරණයක් වශයෙන් ශියා සෙක්ට් එකේ ඉස්මායිලී කොටසේ ශාඛා තියනවා බෝරා එකක්)) ආදී තමන්ට අනුව වැරදි නිකායන් මර්ධනයට, තමන් වඩා හොඳයි පෙන්වීමට (සමහරු ප්‍රධාන කරුණු හා එකඟවුනත් තමන්ගේ නිකායේ, තම කොටසේ තමන්ගේ පූජකයා තමයි හරියටම ආගම කියන්නෙ කියල විස්වාසයි), ලෞකික දියුණුව සඳහා, වර්ථමානයට ගැලපීම සඳහා වෙනස්කම් වෙනවා.
      සාස්තෲ දැන් ආයිත් ආවොත් දැන් ආගමට එයාව අඳුරගන්න බැරිවෙනවා, එයාට දැන් ආගම අඳුරන්න බැරිවෙනවා

      Delete
    2. @ ලලිත් ගුණවර්ධන තුමා,

      ස්තූතියි ඔබේ අදහසට.

      බුදුන් ජීවත් වූ කාලයේ සහ ඊට ටික කලකට පසුව වනතුරු ඉන්දියාව තුලත් සෑහෙන අනුගාමිකයන් පිරිසක් හිටියා. ඒ ජනප්‍රියත්වය තමයි බමුණන්ගේ කෝපය ඉහළ දැම්මේ. ඇත්තටම බුද්ධාගම විනාශ කලේ ඉස්ලාම් මෝඝල් ආක්‍රමණිකයන් නෙවෙයි. ඊට බොහෝ කලකට පෙර බුදු දහම සාමාන්‍ය ජනතාවගෙන් ඈත් උනා. ඒ බමුණු බලපෑම් නිසා. අපි කලේ මොකක්ද? අපි ඒ බමුණු බලපෑම බුදු දහම තුලට දා ගත්තා. දැන් තියෙන්නේ කොත්තුවක්. අපි දැන් ඉස්ලාම් දහමෙන් බුදුඩ් දහම රැක ගන්ඩ රෙද්ද කරට අරගෙන කෑ ගහනවා. හැබැයි නයි රෙද්ද අස්සේ හොඳට ඉන්නවා. දේවාල තියන පන්සලකට බුදු හාමුදුරුවෝ වැඩියොත්, ලාභ සත්කාර වලට ගිජු වෙලා ධර්මය කුණු කොල්ලෙට විකුණන කට්ටිය දැක්කොත් මොනවා හිතෙයිද?

      ඇත්තටම අපිට බෝලෙ බැස්සුවේ හිංදු දහම. අනිත් ආගම් බාහිර තර්ජන විතරයි.

      @ ප්‍රා ජේ තුමා,
      හරියටම හරි. කිතු දහමට ශාන්ත පීටර් කල දෙය බුදු දහමට සිදු උනේ දෙවෙනි නැත්තං තුන්වැනි ධර්ම සංඝායනාවේදී. පැවැත්ම ස්ථීර උනා. හැබැයි මුල් දහම යම් යම් වෙනස්කම් වලට භාජනය උනා. අද කාලේ ගැන කියන්ඩ ඕන නෑ නේද? ස්තූතියි ඔබේ අදහසට.

      Delete
  5. පෝරස් = පෞරවයන්ගේ රජු (පන්ජාබ් පැත්තෙ )

    ReplyDelete
    Replies
    1. පෞරව රජුගේ බලය හෝ කොටසක් ග්‍රීක් ආක්‍රමණයෙන් පස්සෙ චන්ද්‍රගුප්තට හිමිවුනා.
      කොහොමවෙතත් ඔහුව බලයට මුලින්ම ගෙනාපු ග්‍රීකයන්ගේ මූලාශ්‍ර චන්ද්‍රගුප්ත ක්ෂ්ත්‍රිය (royal or warrior) නොවන පවුලකින් කියනකොට ඉන්දීය මූලාශ්‍ර ඔහු ක්ෂ්ත්‍රිය කියනවා, ඒ මදිවට සමහර බෞද්ධ මූලාශ්‍ර (ග්‍රීක මූලාශ්‍රවලට සෑහෙන කාලයකින් පසුව ලියවුන) ඔහු සිද්ධාර්ථ ගෞතමයන්ගේ ශාක්‍ය කුලයටත් සම්බන්ධයි කියනවා.
      ඔබ හරි. ඉතිහාසය අපිට හරියටම කියන්න බෑ. ඒත් වුනාට රජවුනාට පස්සෙ පස්සේ රාජ්‍ය ප්‍රොපගන්ඩා වලින් පවුල ක්ෂත්‍රිය කිරීමත්, අශෝක බෞද්ධ වුනාට පස්සේ ශාක්‍ය කුලයටත් නෑකම් කිරීම වගේ මාකටිං වැඩ හැමදාම හැම තැනම වෙලා තියනවා.

      අපිට පුලුවන් වැඩි චාන්ස් එක බලන එක විතරයි. ග්‍රීකයන් තරහට ඔහු ගේ උපතේ අඩුවක් කිව්වද (ග්‍රීක් මූලාශ්‍ර ලියවුනේ ඔහු ග්‍රීකයන් එක්ක හොඳට ඉන්නකොටද? වෙනස් වුනාට පස්සෙද?), අධිරාජ්‍යයෙක් වුනාට පස්සෙ රාජ්‍ය යාන්ත්‍රණය හා වන්දිභට්ටයන් එක්ක ලොකු කතාවක් හැදුවද (අසෝක ශාක්‍ය කෑල්ලකුත් එකතු කලාද ) කියලා හිතන්න වෙනවා. මට නම් වැඩිය චාන්ස් එක හිතා ගත්තෑකි. ඒත් නිවැරදිමයි කියන්න බෑනෙ.
      කාලෙකින් බ්ලොග්වලින් මං ආසම ජාතියේ වැඩක් කලාට ලොකුමල්ලි මහතාට ස්තුතියි

      Delete
    2. ඇත්තෙන්ම චන්ද්‍රගුප්තගේ ජන්මය හරියටම ක්ෂත්‍රියම තමයි කියන්නේ බෞද්ධ මූලාශ්‍ර විතරයි. ග්‍රීක් වලට අමතරව හින්දු/ ජයින මූලාශ්‍රත් කියනවා ඔහු චානක්‍ය/කෞටිල්‍ය ගේ ශිෂ්‍යයෙක් වුනාට උපත ශෘද්‍රසහ/හෝ මොණරුන් ඇති කරපු ක්ශ්‍රත්‍රිය නොවන පවුලකින් කියලා. (මොණරුන් ඇති කිරීමේ ඉන්ඩස්ට්‍රි එකකුත් තිබුනා කියල දැන ගත්තා මේකෙන්. බෞද්ධ සාහිත්‍යයයේ මොණර මස් ගැන සෑහෙන්න තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති. මංඉතිහාසයට ආස මේ නිසයි, විවෘත මනසකින් හදාරනකොට හුඟක් ෆැසිනේටින් දේවල් අහුවෙනවා. )

      Delete
    3. +++++++++++++++++++++++++

      Delete
    4. ස්තූතියි ඔබේ අදහසට. මට අමතක වෙච්ච දෙයක් ඔබ මතක් කරලා දුන්නා. ඒ තමයි චන්ද්‍රගුප්තගේ කුළ ගොත්. ඔහුගේ පියා සිංහාසනයෙන් නෙරපුනු ක්ෂත්‍රිය පරපුරක කෙනෙක් බවත් - බොහෝ විට නන්ද රජුගේ පියා අතින් විනාශ වෙච්ච ශිශුංග වරයෙක් - ජීවිතය බේරා ගන්ඩ පළා යද්දී මොණරුන් ඇති කරන කුලයක (මොණර - පාලියෙන් මෝර යන්නෙන් මෞර්ය යන පදය බිඳුණු බවත් සඳහන්) තරුණියක් සමග විවාහයෙන් ලැබුණු දරුවා චන්ද්‍රගුප්ත බවත් කියවෙනවා.
      දැන් ප්‍රශ්නේ ඔහුගේ පියා ඛත්රිය වීම නිසා චන්ද්‍රගුප්ත ක්ෂත්‍රියද යන්න. මට මතක් වෙනවා දීඝ නිකායේ සීලස්කන්ධ වර්ගයේ අම්බට්ට සූත්‍රය. අම්බට්ට නම් බ්‍රාහ්මණ මානවකයාත් එක්ක බුදු හාමුදුරුවෝ පවත්තපු සංවාදයක් එහි අඩංගුයි. මෙන්න ඉන් උපුටා ගත් කොටස්.
      "ක්ෂත්‍රිය කුමාරයෙක් බ්‍රාහ්මණ දියණියක් සමග එකට වාසය කරනවා නම්, ඔවුන්ගේ එකට වාසය කිරීමෙන් දරුවෙක් ලැබෙනවා නම් ඒ දරුවා බ්‍රාහ්මණ සමාජය තුල සැලකීමක් ලබනවාද?" බුදුන් වහන්සේ ඇහුවා.
      "භවත් ගෞතමයෙනි ලැබෙනවා". අම්බට්ට පිළිතුරු දුන්නා.
      "එසේ නමුත් ක්ෂත්‍රිය වරුන් ඒ දරුවාව ක්ෂත්‍රිය අභිෂේකයෙන් ඔටුනු පලන්දනවාද?"
      "භවත් ගෞතමයෙනි මෙය නොවේමය"
      "ඒකට හේතුව කුමක්ද?"
      "භවත් ගෞතමයෙනි මවු පාර්ශවයෙන් ඔහු නිසි තැනට පැමිණ නෑ."

      ඒ කියන්නේ චන්ද්‍රගුප්ත ක්ෂත්‍රියයෙක් නෙවෙයි. ඒ උනාට රජ උනාට පස්සේ තමන්ව ඉහළ ජන්මයක් හා ගාව ගන්ඩ උත්සාහ කරන හීනමානයෙන් පෙලිච්ච / පෙලෙන රජවරු ගැන අපි අහලා තියනවා නේද? ඒ රජවරුන්ට සුරංගනා / චාටු කතා ගොතා කියන ඒ හින්දම සැලකිලි ලබන පිරිසකුත් එදත් හිටියා අදත් ඉන්නවා.

      ග්‍රීකයන් සිසිකොස්ටස් ගැන ලියපු මුල් ගමන් විස්තර 16 ම කෙටි කාලෙකින් විනාශ වෙලා ගිහිං. දැන් තියෙන්නේ ඒ විස්තර වලින් උපුටා දක්වපු කොටස් පමණයි. නමුත් එහි චන්ද්‍රගුප්ත ගැන හරියටම කියවෙන්නේ කුමක්දැයි මම දන්නේ නෑ.

      ස්තූතියි ඔබේ දිරි ගැන්වීමට.

      Delete
  6. well well loku ayya mamath kalayak thisse studdy karna ekak oka..
    api adahnne ashoka daramaya..
    ashoka lokka karapau wadema thamayi ape rajawaruth apita kare..

    api niwan yanna ona
    unta ona deyak kara ganna deela

    ReplyDelete
    Replies
    1. රන්සකු මල්ලියේ ප්‍රශ්නේ තියෙන්නේ නිවන් දකින මග වෙච්ච නියම බුදු දහම නොපෙන්වා තම තමුන්ට වාසි ලැබෙන ' මටම බෙදාපන් දහම' දේශනා කරන 'ඔවුනුයි'.
      ඔබ මේ ගැන කියවනවානම් චාර්ල්ස් ඇලන් ගේ පොත කියවන්ඩ. එහි මුද්‍රිත පිටපත් ලංකාවේ විකුණන්ඩ නෑ. නමුත් ඊ බේ මගින් ගෙන්වා ගත හැකියි. ඊට අමතරව ඊ පොතක් ලෙස බාගත කර ගන්ඩත් පුළුවන්. හරිම ලස්සන පොතක්.

      Delete
  7. අර කිව්වා වගේ අපේ රටේ තියෙන්නේ කගේ බුද්ධාගමද?මධ්‍යම පළාතට පත් කරපු ආණ්ඩුකාරය ගේ කුලේ බලල එයාව එපා කියපු මහලොකු බුද්ධ පුත්‍රයන් ඉන්න රටක් මේක.
    කොහොම උනත් මේකතාවේ තව කෑල්ලක් තියෙනවනම් එකත් ලිව්වනම් හොද කියල හිතෙනවා.සිස්කොටසලා එතට වැඩිය අද ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දසනායක තුමනි ඔබේ අදහසට. අපි ඔය මහනායක හාමුදුරුවරු ගැන කතා නොකර ඉමු. මට දුක සාපේක්ෂව ප්‍රගතිශීලී මල්වත්තේ හාමුදුරුවෝ මේක කිව්වා කියන එකයි. මේ කතාව තව දිගයි. හැබැයි ළඟකදී නැවත චන්ද්‍රගුප්ත ගැන ලියන්ඩ නං අදහසක් නෑ.

      Delete
  8. anika hamuduruwaru apita kiyana bana okkoma budu hamuduruwoo eyage golayanta deshana karapu dewal

    buddagama issarahata dala ratawal allapu eka thama ashoka kare,,
    ape ayath ekama thama kare

    ReplyDelete
    Replies
    1. රන්සකු මල්ලියේ මම හිතන්නේ ඔබේ අදහසට වෙනස් විදිහකට. මම හිතන්නේ බුදු හාමුදුරුවෝ උන්වහන්සේගේ ගෝලයන්ට දේශනා කරපු ධර්මය නැතුව වෙන බහු බූත දැන් අපිට අහන්ඩ ලැබෙනවා කියලයි. අපිට බුදු හාමුදුරුවෝ කියපු දේ, උන්වහන්සේගේ අසිරිමත් ජීවන දර්ශනයම අහන්ඩ ලැබුනොත් ඒ අනුව මිනිස්සු පිලි පැද්දොත් මීට වඩා බොහොම දියුණු සමාජයක් අපිට ලැබේවි.

      Delete
  9. ඉන්දියානු කතාවලනම් තියෙන්නෙ ඇලෙක්සැන්ඩර් පෞරවයන්ට පරාජය වී ආපසු ගිය බව....ග්‍රීක කතාවල ඔහු ජයගත් නමුදු රැකගෙන පවත්වාගෙනයාමේ අපහසුව නිසා අත් හල බව..කොහොම නමුත් සුළුපටු දුරක්ද උන්නැහේ ඇවිත් තියෙන්නෙ ගහගෙන දිනාගෙන..

    අශෝක දුන්නත් චන්ද්‍රගුප්තගෙ කෑලිත් අමුනගන්න එක අපේ ජාතික පිළිවෙත.. අපි කොත්තු කන්ට කැමති මිනිස්සු...


    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ නෑ ග්‍රීකයෝ පෞරවයන්ට පැරදිලා ආපහු ගියා කියලා. අද උනත් ස්වැට් නිම්නයේ ඉඳලා කාබුල් දක්වාම වගේම ඉන්දු ගංගාවේ නැගෙනහිර පැත්තට එනකල් -තක්ෂිලා ප්‍රදේශයත් ඇතුලත්ව ඉතා කෙළින් නාස් තියන නිල් පාට ඇස් ඇති බැලූ බැල්මට යුරෝපීය ජාන මිශ්‍ර බව පෙන්වන ස්වදේශික ජන කොටස් ඉන්නවා. අනික ඒ පැත්තේ කළා ශිල්ප වලට ලැබුණු ග්‍රීක අභාසය අති මහත්. මේ ඔක්කොම වෙන්න සෑහෙන කාලයක් ඇලෙක්සැන්ඩර් ගෙන් පස්සෙත් ඒ ප්‍රදේශ වලට ග්‍රීක බලපෑම තිබුනා වෙන්න ඕන.

      ඔහුගේ රණ ශූරත්වය ගැන නම් කියල වැඩක් නෑ. එවැනි නායකත්වයක් ඉන්පසු ලෝකෙ දැක්කේ නෑ කියලයි මට හිතෙන්නේ.

      කොත්තු වලට අපි ආස හිංද නේන්නං අද එක එක රහ කොත්තු තියෙන්නේ....!!! හිහ්.... හිහ්...

      Delete
  10. Replies
    1. ස්තූතියි පොලියානා.... ලියන්ඩකෝ ඉතිහාසය ගැන කවියක් නිකං ඉන්න වෙලාවක!!

      Delete
  11. දිගටම ලියන්න...

    ReplyDelete