Saturday, May 12, 2018

රජ්ජුරුවන්නේ පැටිකිරිය III


මතකනේ අපි ලංකාවේ රජවරු රජ වෙච්ච ආකාරය හොයන්ඩ පටං ගත්තා. මේ ඒ ගමනේ අවසාන ලිපිය. මුල් ලිපි කියෙව්වේ නැත්නං පළවෙනි ලිපිය මෙතනිනුත් දෙවැන්න මෙතැනිනුත් කියවන්ඩ පුළුවන්.

මම ඉස්සරෝම රස්සාවකට කන්තෝරුවකට ගිය දවසේ දවල් කෑම ගන්ඩ ඒ කන්තෝරුවේ තිබිච්ච කෑම කාමරේට ගියා. ඒ වෙලාවේ එතන හිටියා මට වඩා අවුරුදු විස්සක් විතර වැඩිමල් සමාජ විද්‍යාඥයෙක්. ඔහු ඒ කන්තෝරුවේ වැඩට ඇවිත් ගත වෙලා තිබුනෙත් සති  විතරයි.

"මල්ලි කොහොමද රස්සාව?"

"හොඳයි වගේ...අදනේ පටං ගත්තේ...තාම  අමාරුයි"

"දැනට තියන වැඩ කොහොමද?"

"පොඩි පොඩි වැඩ දෙක තුනක් නං තිබුනා එව්වා නං ඉවර කළා"

"ඇත්තට? ඒක හොඳයි. මට නං තාම පටන් ගත්තු වැඩක් ඉවර කරන්ඩ පුළුවන් වෙලා නෑ...!"

"මොනවගේ වැඩක්ද?"

"හැම වැඩක්ම!"


"ඒ කියන්නේ?"

"අපි වැඩක් ඉවර කරනවා කියල හිතන්නේ හරි සාපේක්ෂකව. සමහර විට ලොක්කාගෙන් බේරෙන්ඩ. එහෙම නැත්තං දැනට තියන අවශ්‍යතාවය පිරිමහගන්ඩ සෑහෙන විදිහට. හැබැයි හැම වැඩක් දිහාම නිරපේක්ෂකවත් බලන්ඩ පුළුවන්."

"හ්ම්..."

"වැඩේ අහු මුලු ඔක්කොම හොයලා සම්පූර්ණ වැඩේම ඉවර කරන්ඩ අපිට පුළුවන් වෙන තාක් කල් අපි වැඩේ ඉවරයි කියල හිතන්ඩ හොඳ නෑ."

"හ්ප්ම්....හ්ම්ප්....කඃ කඃ ....මම ගිලපු බත් කට පිට උගුරේ ගියා."

ඒ සමාජ විද්‍යාඥ අයියා ගැන තව හුගක් දේවල් කියන්ඩ තිබුනත් එයත් එක්ක මගේ පළවෙනි කතා බහ මෙහෙම ලියන්ඩ හිතුනේ ලංකාවේ රජවරු ගැන විශේෂයෙන්ම ඒ ඒ රජවරු රජකමට පත් උනේ කොහොමද කියල හොයන්ඩ ගත්තට පස්සේ. ඕන උනේ රජ වෙච්ච හැටි හොයන්ඩ. මුලින් හිතුවේ පැය පහ හයකින් වැඩේ ඉවරෙටම ඉවරයක් කරලා දාන්ඩ පුලුවන් කියල. හැබැයි අන්තිමට හරියටෝම පැය විස්සකට වැඩියෙන් ගත වෙලා. පහුගිය දවස් දහය ඇතුලත මේ පැය විස්ස හොයා ගන්ඩ මගේ නින්දත්, පොඩි එවුං එක්ක ඉන්ඩ තියන කාලෙත් තමයි දන් දුන්නේ. කවද හරි දවසක පොඩි උන්ට ඉතිහාසේ ඉගෙන ගන්ඩ පොඩි හරි ආසාවක් මේ හිංදා ඇති වෙයි කියල මම හිත හදා ගන්නවා.

ඒත්...මේ ඉතිහාස චාරිකාවේදී හම්බ වෙච්ච අපි වැඩිය අහලා පුරුදු නැති අවශේෂ චරිත ටිකක් හම්බ උනා. ඒ අය ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්ඩ සෑහෙන දායකත්වයක් දක්වපු අප්‍රසිද්ධ චරිත. එයින් දහ දෙනෙකුගේ නං මම කියන්නං. හොයල බලන්ඩ මේ කට්ටිය ගැන. රට වෙනුවෙන් මොනවා කලත් නොකලත් මනුස්සයෝ විදිහට ඔවුන් දිහා බලපුවම එක වෙලාවකට දුකකුත් තව වෙලාවකට අනුකම්පාවකුත් එනවා. මේ කාටවත් ඉතිහාසේ හම්බ වෙන්න ඕන ගෞරවය හම්බ වෙලා නැති බවයි මට හිතෙන්නේ.

  1. මහසෙන් රජුගේ මේඝ වර්ණාභය ඇමති
  2. දෙවෙනි ජෙට්ටතිස්ස රජු 
  3. ලීලාවතී රැජිණ
  4. මිත්ත රජු මරා දැමූ රාජ්පුත් සෙනෙවියා
  5. තුන්වැනි පරාක්‍රමබාහු 
  6. නොකළ වරදවල්  පටලවපු පළවෙනි රාජසිංහ
  7. වීදිය බණ්ඩාර
  8. පඬි රටින්, කාලිංගයෙන් අහරෙන්  රට අල්ලා ගනිද්දී ඒ වැරදි තමන්ගේ අකවුන්ට් එකට දා ගත්තු දෙමළ මිනිස්සු (අපි අදත් හිතන්නේ මේ රට අල්ල ගත්තු තරමක් අල්ල ගත්තේ දෙමළ මිනිස්සු කියලනේ. හැබැයි අල්ලපු වාර ගණන බැලුවොත් පඬි රටෙන් කාලිංගයෙන් ආපු කට්ටිය වැඩියි)
  9. හැමෝගෙම පෞද්ගලික යුද්ද වලට ගිහිල්ලා මැරිච්ච අසරණ සෙබළු
  10. ඒ මැරිච්ච සෙබළුන්ගේ පවුලුත් ආරක්සා කරගෙන ඊගාව රජාගේ යුද්දෙට සේනාව හොයන කොට ඒවටත් මදි වෙලා දිවි ගෙවපු අසරණ මිනිස්සු




     අපේ කතා පැත්තකින් තියල බලමුද පොළොන්නරුව කාලිංග මාඝ අල්ලගත්තු තැන ඉඳන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ දක්වා කට්ටිය.





දැන් අපේ ස්කෝ කාඩ් එක අප්ඩේට් කරමු.

මුළු සිංහල රජ වරුන් ගණන                                             174
පෙර සිටි රජා මරා / පන්නා දමා රජ වීම්                          36
සහෝදරයා මරා රජ වීම්                                                       04
ප්‍රධාන සෙනෙවියෙක් රජා මරා රජ වීම්                             01
පුතා පියා මරා රජවීම්                                                            02
රැජිණ රජා මරා රජවීම්                                                         01
දොරටු පාලක රජා මරා රජවීම්                                           01
චාරිත්‍රානුකූල රජවීම්                                                              94
අසම්මත ආකාරයට රජ වීම්                                                22
රජ වූ ආකාරය අපැහැදිලි සිදුවීම්                                        13

ඒ කියන්නේ මට ආපු පණිවිඩේ වැරදියි. හැබැයි මෙතෙන්දි ගණන් ගත්තේ ප්‍රධාන රාජධානියේ හිටපු රජවරුන් විතරක් බව මතක් කොරන්ඩ ඕන. රුහුණේ, යාපනේ, කන්ද උඩරට සහ වෙනත් අවශේෂ රාජධානි වල හිටපු  පාලකයෝ ගැන සලකලා බැලුවේ නෑ. පොත් දෙක තුනක එකිනෙකට වෙනස් තොරතුරු තියනවා නං වඩාත්ම විශ්වාසනීය විදිහට කතාව කියල තියන කෙනාගේ තොරතුර තමයි ගත්තේ.

අර මට උපදෙස් දුන්න විද්‍යාඥ අයියා කියපු විදිහට 'සාපේක්ෂකව' ගත්තොත් මේ වැඩේ ඉවරයි. ඒත් නිරපෙක්ෂකව ගත්තොත් ඉවර නෑ. ඒ මොකද රජවරු රජ වෙච්ච හැටි හොයන්ඩ මම පටන් ගත්තේ මට ආපු වට්ස් ඇප් පණිවිඩයක් ඇත්තද කියල හොයන්ඩ ගිහිං නේ. ඒ පණිවිඩේ ගැන හොයා ගත්තට ඒ වගේ පණිවිඩ හය හතක දවසකට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපිට අහන්ඩ දකින්ඩ හම්බ වෙනවා. ජනමාධ්‍ය වලින් එන තොරතුරුත් එහෙම්ම තමයි. ඉතින් මෙව්වගෙ ඇත්ත නැත්ත හොයන්නේ නැතුව ගෙඩිය පිටං ගිල්ලොත් මහා විනාසයක් තමයි වෙන්නේ. මොකද එව්වා සීයෙට අනූවක් කාගේ හරි උවමනාවට අතේ පල කරපු ගජ බින්න!

ඇත්තෙන් බොරුව අදුන ගන්ඩ අපි කාට කාටත් වාසනාව ලැබේවා. එහෙම නැත්තං අපිටත් වෙන්නේ එක එක රජා වෙනුවෙන් කඩේ ගිය අසරණ සෙබලුන්ට වෙච්ච දේමයි. අන්තිමට රජ්ජුරුවෝ මහා වංසේ. අපි බලු වංසේ!!!

ආශ්‍රිත ග්‍රන්ථ
  • සිංහලේ මහා රාජවංශෙ I හා II - පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
  • ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය I කාණ්ඩය II භාගය
  • රාජාවලිය - ඒ.වී. සුරවීර සංස්කරණය
  • ධර්ම පරාක්‍රමබාහු -පුර්තුගීසින් මැවූ සිංහලේ ව්‍යාජ රාජයා - මැන්දිස් රෝහණධීර
  • ලංකාව පෘතුගීසි යුගය -පළමුවැනි කාණ්ඩය පෝල් ඊ. පීරිස්
  • ගම්පොළ යුගය -ආචාර්ය හරිස්චන්ද්‍ර අබයරත්න
  • රයිගම්පුර රාජධානිය - ගුණසේන ගමගේ
  • ඉතිහාසයේ සඟවනු ලැබූ සීතාවක - ඉන්දික විතානගේ
  • කුරුනෑගල්පුර යුගය - දෙගම්මැද සුමනජෝති හිමි සංස්කරණය
  • ලංකාවේ ඓතිහාසික යුග හතරක් -සුමනසිරි දසනායක
  • මහනුවර යුගය - සුමනසිරි දසනායක
  • කෝට්ටේ සහ සීතාවක යුග -සුමනසිරි දසනායක
  • අස්ගිරි තල්පතින් අලුත්වන උඩරට ඉතිහාසය - මැන්දිස් රෝහණධීර


7 comments:

  1. 7 තමා ලංකා ඉතිහාසෙ මගෙ ෆේවරිට්ම, ඒ වගේම අපේ ඉතිහාසෙන් ලැබෙන්න ඕන නිසි ගෞරවය නොලැබුන කෙනෙක්.
    මට හැමදාම හිතෙන දෙයක් තමයි ඔය ලිස්ට් එකේ 6 වෙනියයි 7 වෙනියයි සමගි වෙලා සංධානයක් හදාගත්තනම් ලංකාවෙ ඉතිහාසෙ කොච්චර වෙනස් වෙන්න තිබුනද කියල.

    ReplyDelete
    Replies
    1. ඔව්.... ඔබ කියනවා වගේම ඒ දෙන්න එක්කහු උනා නම් අපේ ඉතිහාසය හුගක් වෙනස් වෙන්ඩ ඉඩ තිබ්බා. ඒ දෙන්නට කොනප්පු බණ්ඩාර (විමලධර්මසූර්ය රජ්ජුරුවෝ)ත් එක්කහු උනා නං පෘතුගීසි ලංකාවෙන් පන්නන්ඩ තිබ්බා. ඊට අමතරව සීතාවකට අයිති නාවික හමුදාවක් තිබ්බ හිංදා ලංදේසි එක්ක ගනුදෙනුවත් ඒ හින්දම ඉංග්‍රීසි එක්ක ගනුදෙනුවත් මීට වඩා හුගක් වෙනස් වෙන්ඩ ඉඩ තිබ්බා.

      Delete
    2. වීදිය බණ්ඩාර ගැන ගොඩක්ම නිවැරදි කියවීමක් තියෙනව සයිමන්ගෙ සාපේක්ෂනී නවකතාවෙ.

      ඔය තුං දෙනා එකතු නොවුනෙ, කොහොමත් මිනිස්සුන්ගෙ තියෙන කොමන් ගතිලක්ෂණයකට... තම තමන්ගෙ න්‍යායපත්‍ර ජාතික අවශ්‍යතාවට වඩා ලොකු විම. වීදිය බණ්ඩාරට එදිරිමනසූරිය එක්ක පෑහෙන්ඩත් බැරි උනා‍නෙ. උන්නැහැ බැන්දෙත් ටිකිරි බණ්ඩාරයෙ සහෝදරියක් දෙවෙන වතාවට. එහෙමත් වෙලා සන්ධානෙයක් ගහගන්ඩ බැරි උනා.කොනප්පු බණ්ඩාර විතරයැ, කරල්ලියද්දෙ එක්කවත් ටිකිරි බණ්ඩාරට පෑහෙන්ඩ බැරි උනා. අර ආඬිගුරා විතරයි නියම නිලේ ඇල්ලුවෙ. (මයෙ හිතේ ඔය ආඬි ගුරාගෙ පරපුරේ තමයි අර අයවැය කතාවෙදි බුදියගත්ත අජිත් මාන්නප්පෙරුම) ඔහොම උනේ නැත්තං පරංගි කන්නෙ දොඹෙං.

      Delete
  2. රජකම නූලෙන් ගහලගිය රාජ්‍යයට උරුමකම් තිබුන කී දෙනෙක් නමක් ලියවෙන් නැතුවම සමුගන්ට ඇද්ද...ලීලාවතී රැජිනට වැඩිකල් පවත්වා ගන්ට බැරි උනත් තුන්වතාවක්ම කිරුළ හිමිවුනා..මට දුක ලොකුමල්ලි මහත්තයට අපේ දෝන කතරිනා බිසවුන්වහන්සෙ අර දහ දෙනාගෙ ලිස්ට් එකට දාන්ට බැරිවීම ගැන.... රජකමට හිමිකම තිබිලත් දෙවතාවක්ම අග බිසව පමණක් වෙලා අවුරුදු තිස් ගාණකින් මියගිය ඇය ගැන මගෙ හිතේ තියෙන්නෙ ගෞරවයක්...අපේ සාහිත්‍යකාරයො වෙන්ටැති ඒක ඇතිකලේ...

    ReplyDelete
    Replies
    1. දෝන කතිරිනා...අපේ කුසුමාසන දේවිය ගැන මට මතක් උනා. ඒත් එතුමිය ගැන අපේ කලාකරුවෝ ඕන තරං කතා කරන හිංදා තමයි මම ඇයව මේ ලැයිස්තුවට නොදැම්මේ. මට මතක් වෙනවා දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ මධුර ජවනිකා නාට්‍යය. ඒ තරම් හොඳට කුසුමාසන දේවියට ගරු කල වෙනත් නිර්මාණයක් මා දැක නෑ.

      Delete
  3. https://gadyanohothkavi.blogspot.com/2018/05/iii.html

    ReplyDelete
  4. //නොකළ වරදවල් පටලවපු පළවෙනි රාජසිංහ//

    ඉතිහාසය ලිව්වෙ හාමුදුරුවරු. හාමුදුරුවන්ව තරහ කරගත්තාම එහෙම වෙනවා. මහසෙන්ටත් එහෙමයි. එහෙම නැත්නම් එක රජෙක්ව පෙරලල තව රජෙක් හෝ වංශයක් ආවහම හිටපු එකාව කලුම කලු කරන එක ලෝක ස්වාභාවයක්. ඒකට ඉතිහාසය වගේම කලාවත් යොදා ගන්නවා.
    ටියුඩර් වංශය සතුටු කරන්න ශේක්ස්පියර් තුන්වන රිචඩ්ව කලුම කලු කලා වගේ. ශේක්ස්පියර් මැක්බත්ව ඊටත් වඩා අසාදාරණ විදිහට vilify කරල තියනව. ඒක නම් ඊට ඉස්සර හිටපු ඉතිහාසකාරයන් කරපු දෙයක් අරගෙන වෙන්න ඇති.

    ReplyDelete