Tuesday, June 26, 2018

අගස්ති ඉර්සින් වහන්සේ



සුළං හමයි. ඈතින් හඳ පලුවක් පායමින් අහස ආලෝකවත් කරයි. සුළඟට ලෙළෙන කොඩි වැල් දෙක තුනක් තිබුණු පුංචි දේවාලය පේන තෙක් මානයක ඇති එකම මනුස්ස වාසයක් ගැන තියන හෝඩුවාවයි. හිතට පොඩි බයක් දැනෙන්නේ තව කොච්චර වෙලාවක් මෙතැන රඳන්ට වේ දැයි නොදන්නා නිසාය. අප සිටියේ ඉන්දියාවේ ඔරන්ගාබාද් නුවරින් කිලෝ මීටර් තුන්සීයක් විතර රට මැද්දට වෙන්න තියන කඳු ගැටයක් උඩ. මාත් එක්ක හිටියේ ක්‍රිස්පිනෝ සහ සුරූපී ටිකිෂා විතරයි. ක්‍රිස්පිනෝ ගෝවේ ඉපදුනු ඉන්දියානු ජාතිකයෙක්. ඔහු වැඩ කල WOTR කියන ආයතනය තමයි අපිට ජලාධාර ප්‍රදේශ සංරක්ෂණය ගැන ඉගෙන ගන්න මේ අධ්‍යයන චාරිකාව සංවිධානය කලේ. ටිකිෂා කෙන්යානු තරුණියක්. අවුරුදු විසි පහක් විතර ඇති. ඔය කියන කාලේ මටත් අවුරුදු විසි හතකට අටකට වඩා නෑ. අපි මේ කඳු මුදුනේ අතරමං වෙච්ච හැටි වෙනම කතාවක්. ඒක තව දවසක කියන්නං. එතකල්  කොයි වෙලාවේ අපිව හොයාගෙන අනිත් කට්ටිය ඒවිද කියන බලාපොරොත්තුවෙන්, එතකල් සත්තු සරුපයන්ගෙන් ගැහැටක් නොවී ජීවිතේ පවත්තගන්ඩ පුළුවන් වෙයිද කියන දෙගිඩියාවෙන් අපි එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.
මේ අගස්ති මුණි ගේ යැයි සැලකෙන රූපයක් 

ක්‍රිස්පිනෝ, WOTR ආයතනයේ ඉහළ නිලයක් දැරූවෙක්. ඒ හිංදා අපි අතුරුදහන් කියලා දැනගත්තු වහාම ඒ සංවිධානයේ කට්ටිය අපිව හොයන්ඩ එන බව අපි දැනං හිටියා. හැබැයි මේ කන්ද රෑ පානේ නගින එක ලේසි වැඩක් නෙවෙයි. ඒ හිංදා අඩුම ගානේ තව පැය තුන හතරක් මෙතනම ඉන්ඩ වෙන බව ස්ථිරයි. ආසියානු පිරිමි වෙච්ච ක්‍රිස්පිනෝටත් මටත් මේක දරා ගන්ඩ පුළුවන් උනාට සුන්දර ඇෆ්රිකානු තරුණිය ටිකිෂා නං හොඳටම බය වෙලයි හිටියේ.


අර කවුද ? ටිකිෂා පෙන්නුවේ අමාරුවෙන් කන්ද නගින වයසක මනුස්සයෙක්ව පෙන්නමින්.

අපේ කෙනෙක් නම් නෙවෙයි. හැබැයි ඔහු එන්නේ මේ පැත්තට වාගෙයි. ක්‍රිස්පිනෝ කිව්වා.

කවුරු හරි කමක් නෑ. මේ පැත්ත ගැන දන්න කෙනෙක් වෙන්න ඕන. එයත් එක්ක අපිට ළඟ තියන ගමකට යන්ඩ පුළුවන් වෙයි. ටිකිෂා බලාපොරොත්තුව අත අරින්ඩ කැමති නෑ.

බලමු. හැබැයි අපේ අය අපිව හොයා ගෙන එන්නේ මේ පැත්තට. ඉතින් අපි වෙනිං පැත්තකට යන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ක්‍රිස්පිනෝ ගේ ඔලුවේ වැඩ කරන්නේ ආගන්තුකයන් ආරක්ෂාකාරීව නවාතැනට ගෙනියන එක. අපිට අනතුරක් උනොත් ඒක ආයතනයට ලොකු කැළලක්.

අවුරුදු අසූවක විතර වයසක් තිබුණු ටිපූ තමයි අපේ බලාපොරොත්තු දල්වමින් ඇවිත් තිබුනේ. ඔහු පහළ ගමක පදිංචි කරුවෙක්. ඔහු තමයි අපි හිටපු තැන තිබුණු පොඩි දේවාලයේ හවසට පහන් දල්වන්නේ. මොනවදෝ යාතිකා කරමින් පහන් පූජාව පවත්තපු ඔහු ඊට පස්සේ අපිත් එක්ක කතාවට වැටුනා. ක්‍රිස්පිනෝ තමයි පරිවර්තක.

මහත්තයලට අපේ ගමට යන්ඩ තිබුනා හොයන්ඩ එන අයට පණිවිඩයක් යවන්ඩ විදිහක් තිබ්බා නං.

මේ කන්දට ටෙලිෆෝන් සිග්නල් නෑ. එහෙ ගමට තියනවද?

කියන්ඩ දන්නේ නෑ මහත්තයා. අපි කවුරුවත් ගාව ටෙලිෆෝන් නෑ.

එහෙනං අපි මෙතැන ඉන්න එක හොඳයි. ඔයාට ප්‍රශ්නයක් නැත්නං.

මට කිසි ප්‍රශ්නයක් නෑ. මේ අය කවුද?

මේ මහත්තයා ලංකාවෙන්. මේ නෝනා කෙන්යාව කියන රටේ. කාපිරි මිනිස්සු ඉන්න රටක්.

ලංකාවෙන්? ඒ කියන්නේ රාවණා ගේ රටින්?

ඔව්. ඔයා ඒ කතාව දන්නවද? මමත් නිහඩතාව බින්දා.

ඒ කතාව නොදන්නේ කවුද?

මේ දේවාලේ කවුරුන් වෙනුවෙන් හදපු එකක්ද?

ශිව දෙවියන් වෙනුවෙන්. ඔබ දන්නවද රාවණ ගේ රටින් මේ වගේ ඈත එපිට රටක තියන ශිව දේවාලයකට ආරක්ෂාව පතා ආපු එකේ ආශ්චර්යය?

නෑ

ශිව දෙවියන් හරිම ආදරෙයි විෂ්ණු ට. විෂ්ණු තමයි රාමා විදිහට උපත ලැබුවේ.

ශිව ආදරෙයි විෂ්ණුට?

ඔව්. පොතක් තියනවා විෂ්ණු සහශ්‍රනාමම් කියලා. ඒකෙ තියන විදිහට භාවනා කරන කොට විෂ්ණුට කියන නම් දාහක් මතුරමින් භාවනා කරන්ඩ පුළුවන් මෝක්ෂය ලඟා කර ගන්ඩ.
ඉතිං ?

ඒ පොතේ එක තැනක තියන විදිහට ශිව එයාගේ බිරිඳ වෙච්ච පාර්වතීට කියනවා අනික් නම් ඔක්කොම කියනවට වඩා බලවත් රාම් ගේ නම මතුරන එක කියලා. එතැනින්ම තේරෙනවනේ ශිව කොච්චර ලෙන්ගතුද කියලා විෂ්ණුට. එහෙම නැත්තං රාමට.

හින්දු දේව පුරාණය ගැන මම එච්චර දෙයක් දන්නේ නෑ. අනික මේ සංස්කෘතියට සම්පූර්ණයෙම්ම ආගන්තුක ටිකිෂා ට මේ කතා බහ හරි නීරස එකක් කියලා මට තේරුනා. ඒ හින්දම මම දේවාලයේ තිබ්බ අනෙක් දේවල් දිහා බැලුවා. දේව පිළිම වලට අමතරව තිබුනේ අම්බෙඩ්කාර් මහත්තයාගේ රූපයක් සහ තවත් මට අඳුනා ගන්ඩ බැරි කොට සිරුරක් තිබ්බ කෙනෙක් හිටපු  කැලැන්ඩරයක් විතරයි. කුළ බේදය ඉහලින්ම රජ කරවපු හිංදු දේවාලයක් ඇතුලේ අම්බෙඩ්කාර් තුමාගේ පින්තූරයක් තියන එක මොන තරම් විහිලුවක්ද කියලා මට හිතුනා. නිදහස් ඉන්දියාවේ ව්‍යවස්ථාව නිර්මාණය කරපු අම්බෙඩ්කාර් තුමා හීන යැයි සම්මත කුලයක උපත ලැබූවෙක්.  ඔහු ඒ හින්දම 'කුළ හීනයන්' වෙනුවෙන් පෙනී හිටපු නායකයෙක්. හින්දු ආගමේ කුළ පීඩනය දරා ගන්ඩ බැරි තැන ඔහු ලක්ෂ ගණනක් දාලිත් වරුන් - හීන කුල කියලා ඉන්දියානු සමාජය සම්මත කරපු කුල වල ඉපදුනු අය - සමග බුද්ධාගම වැළඳ ගත්තා.

මම විශ්වාස නොකරන රාවණ- රාම කතාව අල්ලාගෙන මම රාම ගේ පිහිට හොයා ආවා කියල කියපු ටීපු ගෙන් අම්බෙඩ්කාර් ගැන අහන්ඩ හිතුනත් මේ අතරමං වෙලා ඉන්න වෙලාවේ අහක යන ගේමක් ඉල්ලන්නේ ඇයි කියල හිතුන හිංදා කට වහ ගත්තා.

කවුද මේ කැලැන්ඩරේ ඉන්නේ?

ආ.. ඒ අගස්ති මුනි.

කවුද?

අගස්ති ඉර්සින්නාන්සේ.

ඒ කවුද ඒ?

ඔහු තමයි දෙමළ බසේ පියා.

ඇත්තට? මම ඇහුවමයි එහෙම කෙනෙක් ගැන.

ආ...ඔබ ඔහු ගැන දන්නේ නෑ?

ඔයාලගේ කට්ටිය එනතුරු අපිට තව සෑහෙන වෙලාවක් ඉන්ඩත් වෙන එකේ මම කියන්ඩද අගස්ති ඉර්සි තුමාගේ කතාව?

එහෙම ඉදිරිපත් වීමක් මම දැක්කමයි ඒ වයසේ ඉන්දියානු ගැමියෙක් ගෙන්. ඔහුට රාවණ ගේ රටේ ඉඳලා ආපු මනුස්සයාට හිංදු දේව කතා කියලා හිතේ භක්තිය ඇති කරවන්ඩ හිතිලා වගෙයි.

අනේ කොච්චර දෙයක්ද? මම හරි ආසයි කතා අහන්ඩ.

අපේ ශිව දෙවියන් ඉන්නවනේ. එතුමා පාර්වතීව බඳින මගුල් දවස උදා උනා. මංගල්ලේ   තිබ්බේ උතුරු ඉන්දියාවේ හිමාල කඳු පැත්තේ. දැන් වගේම වැදගත් කෙනෙකුගේ මගුල් ගෙදරට රටේ හැමෝටම ආරාධනා ලැබුනා. දකුණේ දෙවියොත් උතුරට ගියා මේ මගුල් ගෙදරට සහභාගී වෙන්න. කෝටි ගණනක් දෙවිවරු එක පාරටම උතුරට ගියාම හරිම වැඩක් තමයි උනේ.

ඇයි මොකද උනේ?

මේ දෙවිවරු හරි බලසම්පන්නයි. ගුණවත්. ඉතින් මේ ගුණවත් දෙවිවරු කෝටි ගණනකගේ බර පොළොවට දරා ගන්ඩ බැරි උනා. ඉන්දියාවේ උතුරු පැත්ත යට ගිහින් දකුණු පැත්ත උඩට එන්න පටං ගත්තා.

හරියට සී සෝ එකක් වගේ?

ඔව්. එතකොට දෙවිවරු කල්පනා කළා මොකක් කරන්ඩ ඕනද කියලා. මගුල් ගෙදර ආපු අයට යන්ඩ කියන්නත් බෑ. උතුර ගිලෙන්ඩ දෙන්නත් බෑ.

හ්ම්.

දෙවිවරුන්ට තිබ්බේ එකම උත්තරයයි. හුගක් එර්දි තියන ගුණවත් අගස්ති මුණි තුමාව දකුණට යවන එක. දෙවිවරු ඉල්ලුවා අගස්ති මුනි තුමාගෙන් පුළුවන් ඉක්මනට දකුණට ගිහිං ඉන්දියාව කණපිට පෙරලෙන එක නවත්තලා දෙන්ඩ කියලා.

ඉතිං ?

අගස්ති මුනි තුමා දකුණට ඇවිත් අධිෂ්ටාන කළා එතුමගේ ගුණයන්ගේ බරින් දකුණ බර වැඩි වෙලා උඩ යන එක නවතින්ඩ කියලා. එහෙමයි ඉන්දියාව කණපිට හැරෙන එක නැවතුනේ.

ඊට පස්සේ එතුමා දකුණේම නතර උනාද?

ඔව්. එතුමා තමයි දෙමළ බාසාවේ පළවෙනි ව්‍යාකරණ පොත ලිව්වේ.

මොකද්ද ඒ පොත?

මම නං දන්නේ නෑ. ඒ පොත දැන් හොයා ගන්ඩ නෑ කියලා තමයි කියන්නේ. එතුමාගේ ගෝලයා ලියපු පොත තමයිලු දැනට තියන පරණම දෙමල ව්‍යාකරණ පොත. (අගස්ති මුනි වරයා ලිව්වා කියල කියන දෙමළ ව්‍යාකරණ පොතේ නම අගත්තියම් කියලා මම පස්සේ හොයා ගත්තා. ටීපු කියාපු විදිහටම ඒ පොත හොයාගන්ඩ නැතිලු දැන්)

ඒ මොකක්ද?

තොල්කාප්පියම්. ගෝලයාගේ නමත් ඒකමයි. ඒ ගුරු ගෝල කතාවත් හරි ලස්සනයි.

ඉතින් කියන්ඩකෝ.

මම ඉස්සරලා කිව්වනේ අගස්ති මුනිතුමාට දකුණු ඉන්දියාව බලා එන්ඩ උනේ හදිස්සියේ කියලා. ඉතින් එතුමා තමන්ගේ බිරිඳ උතුරු ඉන්දියාවේ ඉන්දැද්දී තමයි දකුණට ආවේ. ටික දවසකට පස්සේ ඔහුට තම බිරිඳවත් දකුණට ගෙන්නා ගන්ඩ ඕන උනා. ඉතින් තමුන්ගේ ගෝලයෝ දොළොස් දෙනා අතරින් වැඩියක්ම විශ්වාසය තියන්ඩ පුළුවන් තොල්කාප්පියම් ව ගෙන්නපු අගස්ති මුනිතුමා මේ වැඩේ ඔහුට පැවරුවා.

ගෝලයා යවනවා බිරිඳව එක්කගෙන එන්ඩ?

ඔව්. හැබැයි මුනිතුමාට සැකයි ගෝලයා බිරිඳත් එක්ක අයුතු සම්බන්ධයක් හදා ගනීද කියලා. ඒ හිංදා ගෝලයාට පැහැදිලි කරලා දෙනවා තමුන්ගේ බිරිඳත් ගොලයාත් අතර හැම වෙලාවේම තියෙන්ඩ ඕන අවම දුර ප්‍රමාණය ගැන. ඊට වඩා දෙන්න ලං උනොත් කවදාවත් ගෝලයාටවත් බිරිඳටවත් දිව්‍ය ලෝකේ යන්ඩ බැරි වෙන විදිහට මහා ශාපයක් කළා අගස්ති මුනි.

උදව්වක් කරන්ඩ යන ගෝලයාට සාප කළා?

ඔව්. තොල්කාප්පියම් ඒ උනත් ඒ ගමන ගිහිං මුනි තුමාගේ බිරිඳව එක්කගෙන ආවා. එහෙම එනකොට වයිගායි කියන ලොකු ගඟකින් එතෙර වෙන්ඩ තිබුනා. තොල්කාප්පියම් එතෙර උනත් මුනි තුමාගේ බිරිඳ ගිලෙන්ඩ ගියා. එතකොට මෙගොඩ ගොඩේ හිටපු තොල්කාප්පියම් උණ ලීයක් මුනි තුමාගේ බිරිඳට අල්ලා ගන්ඩ දීලා මෙගොඩට ඇදලා ගත්තා. හැබැයි අවාසනාවකට එහෙම ඇදලා ගන්න කොට අර මුනි තුමා කියපු දුර ප්‍රමාණයට වඩා දෙන්නා ලං උනා. හැබැයි කිසිම වැරදි සම්බන්ධයක් ඇති උනේ නෑ. ඒ උනත් සාපය සාපයමයි.

ඒක හරි වැරදියි නේ?

ඔව්. තමන් නිවැරදිව ඉන්දැද්දීත් ගුරුවරයාට උදව්වක් කරන්ඩ ගිහිල්ලා සාපයක් වැදිච්ච එක ගැන තොල්කාප්පියම් ට හරියට තරහා ගියා. ඔහුත් අනික් පැත්තට ගුරුවරයාට සාප කළා කවදාවත් දිව්‍ය ලෝකේ යන්ඩ බැරි වෙන විදිහට.

දැන් දෙන්නටම සාප වෙලා?

ඔව්. කොච්චර උසස් සේවයක් දෙමළ බාසාවට කලත් මේ දෙන්නටම අර සාප හිංදා දිව්‍ය ලෝකේ යන්ඩ බැරි උනා.

මේ කතා කියල ඉවර වෙනවත් එක්කම WOTR එකේ කට්ටිය අපිව හොයාගෙන එන හැටි ඈතින් පෙනුනා. අපි සද්ද කරලා අපි ඉන්න තැන ඒ අයට ඇගෙව්වා. දේවාලේ වයසක ටීපු ට සමු දුන්න අපි හෙමිහිට කන්ද බහින්ඩ පටන් ගත්තා. දැන් ටීපු ජීවිතේටත් සමු දීලා ඇති. ඔහු අපිට කතන්දර කියල දීපු පිනටත් වඩා අපේ බය නැති කරලා අපිට ආරක්ෂාව සලසපු පිනෙන් දිව්‍ය ලෝකෙට යන්ඩ ඇති.

පස්සේ කාලෙක මම මේ අගස්ති එහෙම නැත්තං අගස්ත්‍ය කියල හඳුන්වන ඉර්ශි වරයා ගැන හොයල බැලුවා. බැලින්නං ටීපු දැනගෙන හිටියට වඩා වෙනස් වැඩක් තමයි ඔහු කරලා තියෙන්නේ.

ආර්ය සංක්‍රමණයට පස්සේ උතුරු ඉන්දියාවේ සීමාව උනේ වින්ධ්‍යා කඳු වැටිය. (මේ ආර්ය සංක්‍රමණය ගැන මම ලියපු ලිපි ටික බලන්න ඕන කෙනෙකුට මෙන්න ඒ සම්බන්ධතා. පළමු ලිපිය - දෙවැනි ලිපිය - තුන්වැනි ලිපිය) එතනින් පහළ පදිංචි වෙලා හිටියේ අනාර්ය වූ ස්වදේශික ජන කොටස්. 

මේ ස්වදේශික ජනකොටස් අතරට ටිකෙන් ටික ආර්යයන් හා ආර්ය ගති පැවතුම් එන්ඩ පටන් ගත්තා. හරියට අපි ටිකෙන් ටික කළු සුද්දෝ උනා වගේ. අපිට වගේම ඉන්දියානු ස්වදේශික ජනතාවටත් මේ වෙන වෙනස එච්චර නරකක් කියලා තේරුනේ නෑ. ඔවුන් ඒක ගෞරවයෙන්, කැමැත්තෙන් බාර ගත්තා. අන්තිමට ඉන්දියානු ස්වදේශීයත්වය නැතිවෙලා ආර්ය පුරුදු අලුත් ස්වදේශීයත්වය බවට පත් උනා. මතකද අගස්ති දකුණට එන්නේ උතුර පහළට ගිහිං දකුණ ඉහලට එන එක නවත්තන්ඩ. මේකෙ සැඟවුණු අරුතක් තියනවා කියලයි මට හිතෙන්නේ. අලුත් ආර්ය සංක්‍රමණිකයන්ට දකුණේ ස්වදේශිකයන්ගෙන් එල්ල වෙච්ච බලපෑම අවම කරන්ඩ නං ඔවුනුත් ආර්ය මික්ස් කරන්ඩ ඕන බව ආර්යයන්ට තේරෙන්ඩ ඇති. දෙමළ බසට නීති හදලා සංවිධානය කරන්නේ ඔහු. කියන්නේ එහෙමනං දෙමළ බස හැසිරෙන්නේ දෙමල ස්වදේශිකයන්ට ඕන විදිහට නෙවෙයි. පිටින් ආපු ආර්යයන්ට ඕන විදිහට.

මේ ආර්යකරණයට දායක වෙච්ච මුල්ම ආර්යයන්ටත් ඊට මූණ දීපු මුල්ම ස්වදේශිකයන්ටත් මහා අනතුරු ගොඩකට මූණ දෙන්ඩ වෙන්න ඇති. අපිව කළු සුද්දන් කරන්ඩ ආපු සුද්දෝ අපමණ දුකක් වින්දා අපිව යටත් කරගත්තටත් පස්සේ. ඒ කතාවද තොල්කාප්පියම් හා අගස්ති මුනි ගේ ශාප විදිහට මිනිස්සුන්ට මතක තියෙන්නේ? ඔවුන් දෙදෙනාම දිව්‍ය සැප නොලබපු බව කියන්නේ කට කහනවට නෙවෙයිද? මං ගාව මෙව්වට උත්තර නෑ. හැබැයි අද වාග් විද්‍යාඥයෝ වගේම ඉතිහාසඥයෝ පිලි ගන්නවා වින්ධ්‍යා කඳුකරයෙන් පහළ කොටස් යම් ආර්ය බලපෑමකට ලක් වෙච්ච බව ක්‍රිස්තු පූර්ව 1, 000 ට කලින්. ඒ කියන්නේ අගස්තිලාගේ උපාය හරි ගිහිං. ඊට ටික කාලෙකට පස්සේ තමයි වයඹදිග ඉන්දියාවෙන් මුහුදු මගින් ඉන්දියාවේ දකුණු දිග තිබ්බ තම්බපන්නි දූපතට ආර්යයෝ ගොඩ බහින්නේ.
ලංකාවෙත් යක්ෂ, රාක්ෂ, නාග ගෝත්‍රිකයෝ ආර්යයන් සමග එක්කහු වෙලා තමයි සිංහල ජාතිය හැදෙන්නේ. දැන් අපිට මුල මතක නෑ. විජය තමයි අපි දන්න 'ජාතියේ ආරම්භකයා'. කුවේණිලා ඉතිහාසයේ හැංගිලා ගිහිං.

විජය කියන්නෙත් ඊට පස්සේ ආපු පඬුවස්දෙව්, භද්දකච්චානා, මිහිදු හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සහ දහ අට කුළයක කර්මාන්තකරුවන් කියන්නේ තවත් 'අගස්ති' ලා පිරිසක් නෙවෙයිද?

පොසොන් පෝය සමරන ගමන්ම අපි අපේ නැතිවෙලා ගිය ස්වදේශිකත්වය ගැනත් හිතුවොත් හොඳයි නේද?

හැමෝටම සුභ පොසොන් මංගල්‍යයක් වේවා!

අනුබුදු මිහිදු මාහිමි අප වෙත ගෙනා පිරිසිදු බුදු දහම අපට අවබෝධ වේවා!!

28 comments:

  1. අපේ මහාවංසෙ වගේ ඊටපෙස්සෙ ඔය අමතර කෑලි බෑලි දාල වෙච්ච දේ රීමේක් කරපු එකක් තමයි අර මනුස්සය කියන්න ඇත්තෙ.

    අපේ ස්වදේශිකත්වය හොයන්න ගියොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලොකු මලයටත් පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !

      Delete
  2. උදේ නොවෙයි දුටුවේ මෙය දවල් තමයි
    වැදේ හිතට ලියු විස්තර වටී තමයි
    සඳේ පැහැය මෝරා එන පොහොය හෙටයි
    හදේ රැදෙන්නේ නිරතුරු දැහැමි කමයි....

    ජයවේවා!!!

    ReplyDelete
  3. අගනා ලිපියක් බොස්...

    ReplyDelete
  4. ප්‍රවාදවල හැංගිච්ච කතන්දර මතු කරලා දෙන ඔයාට පිං...

    ReplyDelete
    Replies
    1. ඒ පිං මට මේ කතා කියපු ජීවිතේ හම්බ වෙච්ච නා නා ප්‍රකාර ගුරුවරුන්ට අයිති වේවා!
      ස්තූතියි දිනුක.

      Delete
  5. මිහිඳු රහතන් වහන්සෙ කියන්නෙත් අගස්ති කෙනෙක්ට කියලත් කතාවක් යනවා. උන්නාන්සෙ අශෝක රජතුමාගේ පුත්‍රයානෙ.

    ReplyDelete
    Replies
    1. රහත් වුනට පස්සෙ කාගෙ පුතා වුනත් වැඩක් නැහැ.

      Delete
    2. රහතන් වහන්සෙ නමක්නං ඔය කියන දේ හරි තමා. හැබැයි අශෝකගෙ පුතා රහත් උන බවක් වෙන කොහෙ හරි මූලාශ්‍රයක දැකලා තියෙනවද? ඉතිහාසය, මූලාශ්‍ර ගැන ලොකු අයියා විවෘතව බලන හින්දයි මතු කරේ.

      Delete
    3. මිහිඳු හාමුදුරුවො රහත් වෙලා හිටියෙ නැහැ. අශෝක අධිරාජ්‍යයාගෙ game එකකට ලංකාව සංස්කෘතියකව යටත් කරන්න ආවෙ. ලංකාවෙන් බදුත් යැව්ව මගධයට.

      සිද්ධාර්ථ කුමාරයා බුදු උනේ නැහැ. සුද්ද්ධෝදන රජතුමාගෙ plan එකකට සක්විති රාජ්‍යය හදන්න game එකක් විදිහට තමයි බුද්ධාගම කියල එකක් හැදුවෙ. ඒක පතුරවලා රටවල් යටත් කරගන්න.

      Delete
    4. අනිත් කමෙන්ට්ස් වලට උත්තර දෙන්ඩ කලින් මේ වාදයට මම දන්න විදියට උත්තර දෙන්නම්. බුදු හාමුදුරුවන්ගේ බුදු බව හෝ මිහිදු හිමියන්ගේ රහත් බව ප්‍රශ්න කරන්න අපි කාටවත් හැකියාවක් නෑ. නමුත් ඒ සමගම වෙච්ච තවත් සංක්‍රමණ ගැනයි ප්‍රශ්නේ. අපි පලවෙනි වැව හැදුවේ අභය රජ්ජුරුවන්නෙ කාලෙ. රෙදි වියන හැටි, මැණික් පුටු හදන හැටි ඊටත් කලින් දැනගෙන හිටියේ. ඉතින් මොකටද ශිල්ප ශ්‍රෙණි 18? ඔවුන් උද්භිද විද්‍යා විශාරදයන් විතරක් නෙවෙයි....එහෙනම් ඒ කවුද? මොකටද ආවෙ? බෝදියට ආරක්ශාව මදිනම් මිහිදු හාමුදුරුවෝ බෝදිය මෙහෙට වඩම්මන්ඩ උපදෙස් දෙයිද? මෙන්න මේ අවශේශ කොටස් වල කාර්‍යය තමයි මම ප්‍රශ්න කලේ...

      Delete
    5. ලංකාවෙ ශිල්ප ක්‍රම තිබ්බ තමයි. ඉන්දියවෙන් ශිල්පීන් ආව කියල ප්‍රශ්නයක් වෙනවද? තාක්ෂණය හොවමාරු වෙලා වඩා හොද product එකක් හැදෙන එකනෙ වෙන්නෙ. ඕක දැනුත් ලෝකෙ වෙන්නෙ.

      Delete
    6. ස්තූතියි ඔබේ හරවත් අදහස් දැක්වීමට. තාක්ශනය හුවමාරු වෙලා හොද එකක් නිපැයෙනවා නම් ඒක තමයි වෙන්න ඕන. ප්‍රශ්නේ එහෙම උනාද උනානම් කොයි තත්ත්වයක් යටතෙද කියන එකයි. උදාහරණයක් විදිහට දේශීය වෙදකම වෙනුවට බටහිර වෙදකම ආවා.එහි තාක්ශණය වඩා දියුනුයි. නමුත් සර්ප වෙදකම කැඩුම් බිදුම් වෙදකම වගේ දේවල් වලදි දේශීය වෙදකම සැලකියයුතු තැනක තිබුනා. උනේ මොකක්ද? දෙක මිශ්‍ර වෙලා අලුත් එකක් හැදුනද? අපේ වෙදකම වලපල්ලට ගියේ පරම්පරා ගානක් එක්කහු කරපු දැනුම් පද්දතියකුත් එක්ක.

      Delete
    7. එක සමාජ මට්ටමක වුන සිද්ධියකින් තව සමාජ මට්ටමක වුන දෙයක් අර්ථ දක්වන එක වැරදියි නේද ?

      Delete
    8. ලංකාවෙ වංශ කතා අැරුනම අශෝක රජතුමාගේ පුතා මහණ වුණු බවක් වත් රහත්වුනු බවක්වත් ලංකාවට බුදු දහම ගෙනාපු බවත් වෙන තැනක සඳහන් වෙලා නැහැ https://en.m.wikipedia.org/wiki/Mahinda_(Buddhist_monk). එහෙම තියෙනවනං බෙදාගන්න. රාජ්‍ය කෙරුණු හැටි ගැන සෙල්ලිපි ගානක් ලියවුණු අශෝක සමයෙන් ඔවැනි දෙයක් උනානම් ඉන්දියාවේ එ් ගැන වාර්තාවක් තිබියයුතු බවයි මටනං හිතෙන්නෙ.

      Delete
    9. @ ප්‍රමුදිත - අසෝක රජු ගැන ලිපියක් ලියන්න බලාපොරොත්තුවක් තියනවා ජුලි මාසෙදි. එතකොට ඒ ගැනත් ලියන්නම්.
      @ මහේෂ් - තාක්ෂණය පැතිරීම කොයි කවදත් පොඩි අධිපතිවාදී ලක්ෂණ පෙන්නුවා. බලවත් කණ්ඩායමේ තාක්ෂණය දුර්වල කණ්ඩායමේ තාක්ෂණය අභිබවා ගියා එහෙම නැත්තං දුර්වල කණ්ඩායමේ දියුණු තාක්ෂණය බලවත් කණ්ඩායමේ දුර්වල තාක්ෂණය ඇතුලට ගිහිං එය බලවත් කණ්ඩායමේ තාක්ෂණය විදිහට ප්‍රචලිත උනා. එහෙම නැත්තං දුර්වල කණ්ඩායමේ තාක්ෂණය නැත්තටම නැතුව ගියා. එහෙම නැතුව සාධාරණ විදිහට තාක්ෂණය ප්‍රචලිත උනේ නෑ. ඔබට මේ ගැන කියවන්ඩ පුළුවන් ඊ. එෆ්. ෂුමාකර් ගේ පොත් වලින්. ඊට වෙනස් තත්වයන් ඇත්නම් කරුණාකර සියලු දෙනාගේ දැනගැනීම උදෙසා බෙදා ගන්න.

      Delete
  6. වටිනා කතාවක්... මේවගේ විස්තර ලියන එක හරි වටිනවා.. අපි කවදාවත් හිතන්නෙවත් නැති දේවල් නේ..

    ReplyDelete
  7. මරෙ මරු ..මෙව්වා ලියන්ඩ දිගටම

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කලාවේ ගුරුවරයෙක්ගෙන් ලැබෙන දිරි ගැන්වීම් ඉතා වටිනවා. ස්තූතියි.

      Delete
  8. කඳු මුදුනේ අතරමං වෙච්ච හැටි

    ලියන්නේ කවදටද

    ReplyDelete
    Replies
    1. ඒකත් ලියන්නං ළඟදීම. ඉතියෝපියානු ජාතික මහාචාර්යවරයෙක් හිංදා වෙච්ච දෙයක් ඒක.

      Delete
  9. කට්ටකාඩුවේ ලොකූ, post එක අනර්ඝයි!
    ස්තුතියි!

    හින්දු විශ්වාසයන් අනුව නම් විෂ්ණුගේ දස අවතාරවලින් එකක් විදියටයි
    බුදුන් වහන්සේවත් සලකන්නේ.

    ReplyDelete
    Replies
    1. විෂ්ණුගේ දස අවතාර හැදෙන්නේ කාලයක් තිස්සේ ඉන්දියාවේ එක එක ප්‍රදේශ වල හිටපු ප්‍රාදෙශීය දෙවිවරු කාලයත් එක්ක හයිබ්‍රිඩ් වෙලා... බුදුන්වහන්සේ ත් දස අවතාර වලට එක්කසු වෙන්නෙ එහෙමයි.. ක්‍රිස්තියානි ආගමෙත් ඔහොම එකක් තියෙනවා... පැරණි ගිවිසුමේ ඒක දේව වාදයක් ගැන තිබ්බත් ඔතන වෙලා තියෙන්නේ අර වගේ ප්‍රාදේශීය දෙවිවරු කිහිප දෙනෙක් හයිබ්‍රිඩ් වෙලා එක්කෙනෙක් හැදිච්ච එක... මම ඒක ගැන ලිව්වා කව්ද මේ එලොහිම් කියලා ආටිකල් එකකින්... ඒකෙ තව කොටහක් තියෙනවා ලියන්ට...

      Delete
    2. හොයලා කියවන්නම්!

      Delete
    3. ස්තූතියි නිමල් තුමනි මේ පැත්තේ ආවට. දිගටම එනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
      ස්තූතියි ඩියෝන් ඔබේ අදහස් දැක්වීමට.
      හින්දු දේව පුරාණය නිමක් නැති කතා වලින් පිරිච්ච එකක්. ඇත්තටම අපිට ඉතුරුවෙලා තියන පැරණි ශිෂ්ටාර තුනකම -හින්දු, ග්‍රීක, රෝම - දේව කතා වලින් මිනිස් ගුණාංග ගැන බොහෝ දේ කියවෙනවා. ඔවුන් දෙවිවරු උනත් මිනිස් සිතුම් පැතුම් එක්කයි ජීවත් වෙලා තියෙන්නේ. හිතෙන්නේ අපේ ජාතක කතා සාහිත්‍යය වගේ තමයි ඔවුන්ගේ දේව කතා සාහිත්යය.

      Delete